Sri Lanka Brief
පුවත් විශේෂාංගනැගෙනහිර මහමැතිගේ වන්නමෙන් “දෙකොණ” පත්තුවෙයි – නිලන්ත ඉලංගමුව

නැගෙනහිර මහමැතිගේ වන්නමෙන් “දෙකොණ” පත්තුවෙයි – නිලන්ත ඉලංගමුව

by

දෙකොණ පත්තු වී ඇත. ඒ අදාළ සිදු වීම අරඹයා වීඩියෝ පටයක් නිකුත් වීමත් සමඟිනි. එමගින් ඇත්ත වටහා ගැනීමට වඩා සංවේදීව සිතීමට බොහෝ දෙනෙකුට අවස්ථාවක් ලැබී තිබේ. තමන්ට අවශ්‍ය තමන් ඉදිරියේ කලිසම වුව ගැලවිය හැකි පුද්ගලයෙකු අදාළ සංස්ථා සහ ආයතනවල ප්‍රධානීයා කිරීම, ප්‍රතිපත්තිය කරගෙන දසවරසකට වඩා මෙරට පාලනය කළ සංවේදී නායකයාද තම මතය ඉදිරිපත් කොට ඇත. මීට සති කිහිපයකට පෙර දෙමළ සන්ධාන නායකයා “මුත්‍රා” කිරීමට එක්තරා හමුදා කඳවුරකට ඇතුල්වීම සම්බන්ධයෙන් ඇති වූ හා හූවට වඩා වැඩි ගැම්මක් මෙම සිදු වීම මූලික කොට ගනිමින් ඇති වී තිබේ. එහි අලුත්ම ජවනිකාව අම්පිටියේ සුමන ස්වාමින්වහන්සේ විසින් රඟදක්වනු ලැබුවෝය. ඔහු අදාළ මහා ඇමතිවරයාගේ නිවසට ගොස් ඔහුට “තග” දමා මාධ්‍ය ඉදිරියේ විශාල භූමිකාවක් රඟපෑ ආකාරය අප්‍රසන්න ඛේදවාචකයකි.

අදාළ ස්වාමීන් වහන්සේ මීට වසර දෙකකට අඩු කාලයකදී තම පන්සලේ විදුලිය කැපීම සඳහා විදුලිබල මණ්ඩලයෙන් පැමිණි විට, අදාළ නිලධාරීන්ට තමන් ඉගෙන ගෙන ඇති අප්‍රසන්න වාග්මාලාව හොඳ හැටි භාවිත කරමින් පහර දීමට කඩා පැන්නේය. ඊට අදාළ වීඩියෝව සමාජ ජාල තුළ ක්‍රමිකව සංසරණය වූයේය. එවැන්නෙක් මෙවැනි කාරණයකදී පෙළ ගැසීම, උද්ගත වී ඇති අර්බුදය විසඳීම සඳහා කැපකිරීමක් කරනු ලබන නිලධාරීන් වඩාත් ප්‍රවේශම් විය යුතු කාරණයකි. නැති ප්‍රශනයක් මෙහිදී පටළවාගෙන එය රටේ ප්‍රශ්නයක් බවට පත් කළ හැකිය.

මේ වන විට අදාළ කාරණය මූලික කොට ගනිමින් හාස්‍යය ජනක ලෙස “දකුණේ ලිබරල්වාදීන්” මෙම සිදු වීම හමුදාකරණයේ දිගුවක් ලෙස හඳුන්වමින් තිබේ. එසේම, බලය හරි හැටි බෙදා නොදීමේ විපාකය නිසා මෙය සිදු වී ඇති බවත්, නාමිකව හෝ බෙදා ඇති බලය නියමිත පටිපාටිය අනුව ක්‍රියාකළ නොහැකි තත්වයක් මතු වී ඇති නිසාත් මෙවැනි කාරණා සිදු වන බව සඳහන් වී තිබේ. එසේම අදාළ සිදුවීමේදී රටේ ත්‍රිවිධ හමුදාවේ හැසිරීම, හමුදා කුමන්ත්‍රණයක පෙරනිමිති බවට වූ හැඳින්වීමක් මේ කාරණය සමබන්ධයෙන් පළ වූ අදහස් අතර කියවේ. මෙය ගැටලුව දඩමීමා කරගෙන වෙනත් දේශපාලන කාරණා ඒ මතට අලවමින් නැටීමට උත්සහ කිරීමකි. කෙටියෙන් කිවහොත්, පෑරුණු සිත් සුව වෙමින් පවතින ඉතා මන්ද ගාමී වැඩපිළිවෙල අයාලේ යැවීමකි.

අනෙක් පසින්, අම්පිටියේ සුමන හිමි සහ දකුණේ “රණවිරු” මාධ්‍යන්ගේ හැසිරීමය. රණවිරුවන්ට නිසි තැන ලබා දීම, උසාවියක විනිසුරුවරයකු කළයුතු කටයුත්ත මාධ්‍යය භාර ගැනීමෙන් කළ නොහැකිය. මෙය “වර්ගවාදීන්” මෙන්ම වර්ගවාදය තම පැවැත්ම සඳහා භාවිතා කරන වෙළෙන්දන් භාවිතා කරණ භයානක මෙවලමකි. රටේ පැවති යුද්ධය අභ්‍යන්තර අරගලයක් මිස එය භාහිර සතුරෙක් විසින් කරනු ලැබූ ආක්‍රමණයක් ජයගැනීමක් නොවේ. මරා ගත්තේ අපි අපිමය. වාසි ගත්තේ පිට උන්ය. “යුද්ධය” එනම් එදිනෙදා අකාලයේ මැරීයන ජීවිත වැළක්වීම සැනසිල්ලට කාරණයක් වුවද, මෙය එක් වාර්ගික කොටසක් සමතලාකොට තව වාර්ගික කොටසක් ජයගැනීමක් නොවේ.

එය එසේනම්, දෙමළ බස කතාකරන මුස්ලිම් භක්තිකයින් මෙන්ම ආරක්ෂක අංශවල සේවය කළ සහ කරන කීර්තිමත් මුස්ලිම් නිලධාරීන් යුද්ධය සඳහා කළ දායකත්වය ගැන මොවුන්ට කීමට ඇත්තේ කුමක්ද? නම් වශයෙන් සඳහන් කිරීම මෙහිදී වැදගත් නොවුනත්, අර්බුදය හමුවේ විසඳුමක් සෙවූ බොහෝ දෙනෙකු මෙම කාරණය මනාව දන්නා බව අමුතුවෙන් කිව යුතු නොවේ.

සිදුවීම කෙටියෙන් මෙසේය;

අදාළ පාසල නාවික හමුදාවේ නිලධාරීන් බඳවා ගැනීම සඳහා පවත්වාගෙන ගිය ස්ථානයකි. ඒ යුද්ධය පැවති අවධියේදීය. ඉන් පසු සිදු වූ දේශපාලන වෙනස්කම් ඔස්සේ ප්‍රදේශය සිවිල් ජනතාවට පවරා දීමට අවස්ථාව ලැබුණි. තමන් භාවිතා කළ පාසල, මුඩු බිමක් සේ නැවත භාරදීමට වඩා, එකතු කරගත් මුදල්වලින් පාසල අලුත්වැඩියා කිරීමට නාවික හමුදාව තීරණය කළේය. ඉන් පසු විවිධ සමාගම්වලින් කළ ඉල්ලීම් වල ප්‍රතිඵලයක් ලෙස පාසල අලුත් වැඩියා කළ අතර ඊට පරිඝනක විද්‍යාගාරයක්ද ලැබුණි. එය විවෘත කිරීමේ කාරණය ආණ්ඩුකාරවරයා තමන්ට රිසිසේ මෙහෙයවීමට පියවර ගත්තේය. යුද්ධය පවතින අවස්ථාවකදී මිනිස් වාසයක් නොතිබුණු අදාළ ස්ථානය භාවිතා කිරීම, ඉන් පසු එය අලුත් වැඩියාකොට ළමුන්ගේ අධ්‍යාපනයට ලබා දීම, ආදී කාරණා එම පළාතේ පමණක් නොව රටේ ඕනෑම තැනක දේශපාලනඥයකු භාරගත්තේ නම්, සිදුවන ඇත්ත අපි සියල්ලෝම දනිමු. ඒ නිසා මෙම කටයුත්ත ගැන කුහකව සිතිය යුතු නැත. එය හමුදාවට අයත් නැති කාරණයක් යැයි සිතා පාසල වල් වැදීමට සලස්වා , විශාල ප්‍රෝඩාකාරී දේශපාලන සහ සමාජ වාදයක් ගෙන ආ හැකිය. නමුත් ඉන් කිසිවෙකුට සුගතියක් සිදු වන්නේ නැත. වැදගත් වන්නේ මෙම සිදුවීමේ දී දිරාගිය දේශපාලන සංස්ථාවන් හැසිරෙන අප්‍රසන්න විලාසය තේරුම් ගැනීමය. අර්බුදය ඇත්තේ එතන මිස වෙනත් තලයක නොවේ.

මෙහි ඇති අප්‍රසන්න කාරණය වූ කලී, වර්ගවාදීන් මෙන්ම අන්තවාදීන් මෙය වෙනත් ආකාරයකින් විග්‍රහ කරන විට, ලිබරලවදීන්ද තමන්ගේ පැහැදිලිකිරීම්; බලබෙදීමේ අවුල, හමුදාකරණයේ අවුල දක්වා දීර්ඝ කරනු ලැබීමයි. භූමිය ගැන, මුද්‍රණයකර ඇති සිතියමකින් පමණක් බලා නිගමනවලට එළඹීමෙන් කරනු ලබන මෙවැනි විමසීම්, ගැටලුව තවත් සංකීරණ කරනු මිස එය ලිහා දැමීමට සමත් වන්නේ නැත. එසේම, ඉන් ගම්‍ය වන්නේ මොවුන් දන්නා ලිබරල්වාදයක් නැති බවද? නැත්නම්, දැන දැන තම දේශපාලන ව්‍යාපෘතිය විස්තාරණය කිරීමට යන්ත දැරීමක්ද? යන්න දන්නේ ඔවුහුය.

මෙම ගැටලුව නැගෙනහිර පළාත් සභා මහා ඇමතිවරයා මූලික කොට ගෙන ඇති වූ කාරණයක් පමණි. වඩාත් නිවැරදිව කිවහොත්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස කලක් කටයුතු කළ මේ වන විට නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ධූරය දරන ඔස්ටින් ප්‍රනාන්දු මහතා කළ තකතීරු කටයුත්තක් නිසා, දේශපාලනික මිනිසා තුළ සිටින “තිරිසන්” සත්වයා මිනිසුන් ඉදිරියේ එළියට ඇද දැමීමකි. එහි ගොදුර බවට පත් වන්නේ, එහි සිටින නාවික හමුදා නිලධාරියාය.

අනෙකාට බැනීමට අවශ්‍ය වූ විට තමන් සමීපයේ සිටන බලයෙන් අඩු සහ කිසිවක් තමන්ට පෙරලානොකියයි යැයි අනුමාන කරන පුද්ගලයා තෝරාගෙන ඔහුට බැනවැදීම සාමන්‍යය මිනිස් ගතියකි. මෙය, මෙරට දේශපාලනඥයින් අතර අතිශය සුලභ පුරුද්දකි. මෙම සිදුවීමේදී ඔක්කාරය හැදෙන මට්ටමින්, කතා කිරීමට මහඇමතිවරයාට සිදු වූයේ, තමන් අදාළ සිදුවීමේදී දෙවැනි කොට සලකා ඇති බව හැඟුණු නිසා යැයි සිතේ. මෙය සැබවින්ම දේශපාලන ප්‍රශ්නයකට වඩා පෞද්ගලික ප්‍රශ්නයකි. එය සමාජය ඉදිරියේ සාදාරනය කිරීම සඳහා විවිධ “වාද” (තියරි) ගෙන එනු ලබයි. වර්ගවාදීන්, අන්තවාදීන් “රණවිරුවන්ට සිදුව අපහාසයක්” ලෙස ගෙන එනු ලබයි. අනෙකුත් කොටස, බලය බෙදීමේ අවුල, අනෙකාට අඩුකොට සැලකීම ( ඩිස්ක්‍රිමිනේෂන්) සහ හමුදාකරණය ලෙස අදාළ සිදුවීම හැඳින්වීමට මාර්ගය තනා ගනු ලබන්නේ ඔහු ඉදිරිපත් කරන වචන වලින් සහ ශරීර විලාසයට වඩා ඔහු නියෝජනය කරන “වර්ගය” තම සිතීමේ මූලික අවිය ලෙස භාවිතා කිරීමෙන් පමණි.

එසේම, තම පෞද්ගලික “අනාරක්ෂාව” ( ඉන්සේකියුරිටි ) වසා ගැනීම සඳහා මහඇමති මෙන්ම ආණ්ඩුකාරවරයාද මේ වන විට පිටත ලෝකය විසින් අරුත්ගන්වා ඇති කාරණා එනම්, රණවිරුවන්ට අපහස කිරීම වැනි දෑ, භාවිතා කරනු ඇති. මේ රටේ පරිපාලනය දිරාගොස් ඇති ආකාරය මෙවැනි කාරණා මඟින් පැහැදිළි කර ගත හැකිය. රටේ පරිපාලනය කබාසිනියාකොට ඇත්තේ පුද්ගලයින් කිහිපදෙනෙකුගේ පෞද්ගලික වුවමනා එපාකම් සිදුකර ගැනීමට මිස බලය බෙදීමේ හෝ වෙනයම් කාරණයක අවුලක් නිසා නොවේ. මොවුන්ට ඇත්තේ තම පැවැත්ම පිළිබඳ අර්බුදයකි. ඒ සඳහා තමන් අවට සිටින කුමන හෝ කාරණයක් කිසිඳු හිරුකිතයකින් තොරව භාවිතා කරනු ලබයි.

අනුන්ගෙන් ණයටගත් සල්ලි වලින් හදන බෝක්කුව දේශපාලනඥයින් දෙදෙකු වේලාවන් දෙකදී විවෘත කරන විට, දත් විලිස්සා අත්පොලසන් දෙන ජාතියක් බවට අපි පත් වී තිබේ. එසේම මහා භාණ්ඩාගාරයෙන් උතුරේ සංවර්ධනය සඳහා මුදල් දෙන විට එය ආපසු එවන අන්තගාමී දේශපාලනඥයින් සිටින රටකි මෙය.එවැනි දෑ, විප්ලවීය දේශපාලන කරනා ලෙස අර්ථගන්වා ලිබරල්වාදීන්ට සතුටු විය හැකිය. වර්ග සහ අනතවාදීන්ට ජාතිය බෙදීමට යනවා යැයි කෑ ගැසිය හැකිය. නමුත් එදාවේල කෑමට කුලී වැඩ කිරීමට සිදුවන අසරණ සාමන්‍ය දෙමළ පුද්ගලයෙකුගේ මූලික අයිතියක් වන කෑමට ඇති අයිතිය තහවුරු කර ගත හැකිද? එම අසරණ මිනිසුන් බඩගින්නේ නිසා, මෙම විප්ලවාදීන් බඩගින්නේ සිටින්නේද?

තම වෘත්තියමය ගරුත්වය අරඹයා ආරක්ෂක අංශ මෙම කාර්ණයේදී අදාළ මහඇමතිවරයා වර්ජනය කිරීම වැනි තීන්දුවක් ගැනීම සාමන්‍යය දෙයකි. මෙරට බොහෝ ක්ෂේත්‍රවල එය සිදුවිය. රටේ වෛද්‍යවරයෙකු එවැනි තත්වයකට මුහුණ දුන්නේනම්, රටේ වෛද්‍ය වැඩවර්ජනයක් ඇති වනු ඇත. එවැනි වර්ජන සිදුවන ආකාරය අපි සියල්ලෝම වඩාත් හොඳින් දන්නෙමු. ඒ නිසා එවැනි පියවර ගැනීම් දැක ඒවා වැරදි යැයි කීමට වඩා වැදගත් වන්නේ එවැන්නක් යළි ඇතිවීම වැලැක්වීමට හැකි දේශපාලනික පියවර ගැනීමය.

නමුත් මාධ්‍ය ක්ෂේත්‍රය තුළ එවැන්නක් නැත, මන්ද ඔවුන්ට තම වෘත්තිය ගැන ඇති “ගරුත්වය” කුමක්ද යන්න ඔවුන්ටම ප්‍රශ්නයකි. මේ නිසා තම කතෘ සගයෙකු මහමග මරා දමන විට ඔහුගේ සමකාලීනයින්ට කළහැක්කේ ඔහුගේ මිනිය තම වාසිය සඳහා භාවිතා කිරීම පමණි. ඔහුගේ මිනිය කරමත තබාගෙන ගොස්, මමත් එතන හිටියා මම තමයි මිනිය ඉස්සුවේ, යැයි කිරීමට පමණි. දියරෙද්දෙන් බෙල්ල කැපීම සීමාව ඉක්මවා ඇති මාධ්‍ය ක්ෂේත්‍රය තුළ හෝ දේශපාලනඥයා තුළ මෙවැනි “වෘත්තියමය ගෞරවය” අරඹයා විරෝධයන් ඇති නොවේ.

මෙම සමස්ත සිදුවීමෙන් යළිත් උගන්වන පාඩම කුමක්ද? ඒ වූ කලී, නැති ගැටලු මවා පාමින් සැබෑ ගැටලුව යටපත් කොට එම ව්‍යාකූල මඩවලේ ලැගීම දැන්වත් අතහැර දැමිය යුතුය. රටට අවශ්‍යය වන්නේ, වගවීමට ( අකවුන්ටබිලිටි) සහ විනිවිදභාවයට බැඳුනු ශක්තිමත් පරිපාලන ව්‍යුහයක් මිස, අනෙකාගේ අනාරක්ෂාව නිසා රට හමුවේ විටින් විට ඇතිවන සිදුවීම් අළලා රටේ සැබෑ ගැටලු වසා දැමීමේ කූඨ චින්තන ධාරාවක් නොවේ.

Back to Top