Sri Lanka Brief
විවරණජවිපේ පෙන්වන කුණු සංස්කෘතියෙන් ජවිපෙටත් සහ කාට කාටත් පාඩම් – උදය ආර්. තෙන්නකෝන්

ජවිපේ පෙන්වන කුණු සංස්කෘතියෙන් ජවිපෙටත් සහ කාට කාටත් පාඩම් – උදය ආර්. තෙන්නකෝන්

by

( මැයි රැලියේදී බත් පාර්සල් කන ජවිපෙ නායකත්වය)

සිංහල බෞද්ධයා තුල ඇති සංස්කෘතියක් හා ශිෂ්ටත්වයක් නම් එය අපූරුවට පෙන්වා දෙනු ඇත්තේ මෛත්‍රීලාගේද මහින්දලාගේ ද රනිල්ලාගේ ද ජනයා තුලිනි. එය එසේ නොවන්නේ සිංහල හෝ බෞද්ධ හෝ වෙනයම් දෙයක් නිසා නොව ඔවුන්ගේ දේශපාලනයට ඇති සංස්කෘතිය වෙනස් නිසාය. වමකුඩා වුවත් ගැටලු ඇතැත් වම සමූහයක් ලෙස ගත් විට ඊට ශිෂ්ට සම්පන්න සංස්කෘතියක් ද ඇත. එය වමේ ආතමටයේ කොටසකි.

ලංකාවේ පශ්චාත් මැයි දින හැසිරීම පිළිබඳ ඇසෙන කතා බහ අතරට කුණු ශුද්ධ කිරීම යන කාරණය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණට මාධ්‍ය ප්‍රසංසාව හිමි වී ඇත. වීඩියෝ දර්ශන හා මුද්‍රිත මාධ්‍ය තුලින් මෙම සිද්ධිය වාර්තා කිරීම හේතුවෙන් ඒ සඳහා වැදගත් පණිවිඩ කිහිපයක්ම ගෙන දෙන දෙති.  එබැවින් ජවිපේ විසින් පෙන්වන ලද සංස්කෘතිය  තේරුම් ගැනීමට  වෙනත් රටවල මෙවැනිම අවස්ථාවලදී කුණු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ  කෙසේ ද යන්නත් එහි ඇති දේශපාලනික අදහස කුමක් ද යන්නත් වටහා ගැනීම වැදගත් විය හැකිය.

මුලින්ම මේ පිළිබඳව ලංකාදීප පුවත් පත හා දිණමිණ පුවත් පත පල කළ වර්තා දෙක පහතින් උපුටමි.

සීනු නොගසා පිරිසිදුකමේ පාඩමක් කියා දෙයි (ලංකාදීප)

මැයි දින රැලිය  අවසන් වූ වහාම ජනතා විමුක්ති පෙරමුණ මහ රෑ වන තුරු          කොළඹ බී.ආර්.සී පිටිය පිරිසිදු කර නගර සභාවට බාර දුන් බව දැන ගන්නට ඇත. සෙසු බොහෝ තැන් වල ගොඩ ගැසුණු වතුර බෝතල් කෑම පෙට්ටි ආදිය තැන තැන විසිරී තිබිණ. පලාත් පාලන ආයතන සේවකයන් යොදවා එම කුණු ඇදීම අද (02) සිදු කිරීමට නියමිතය.

ලංකාදීප පුවත්පත

මැයි රැළි නිසා අපවිත්‍ර වූ පරිසරය

ගාල්ලේ පැවැති මැයි දින රැළිය සදහා පැමිණි පිරිස් විසින් පරිහරණය කොට ඉතිරිකළ කැලි කසල දක්ෂිණ ලංකා අධිවේගි මාර්ගයේ පින්නදුව දෙවට පිවිසුම් මාර්ගය දෙපස ගොඩ ගැසි තිබු අයුර ඊයේ (02) පෙරවරුවේ දැකගත හැකිවිය.

මෙම මැයි රැළියට පැමිණි ජනතාව විසින් ප්ලාස්ටික් බෝතල්, කෑම පාර්සල් රැගෙන ආ පෙට්ටි ඇතුළු නොයෙකුත් අපද්‍රව්‍ය මේසේ අක්‍රමවත් අයුරින් මාර්ගය දෙපසට බැහැර කොට තිබුණු බවයි අප වාර්තාකරු පැවසුවේ.

ගාල්ල ජනාධිපති බාලිකා විද්‍යාලය අසල බැහැර කොට තිබු මෙම කසල බදුන් එම විද්‍යාලයේ සිසුවියන් විසින් ඉවත්කරණු මෙසේ දැක ගත හැකිවිය. (දිණමිණ)

සංසන්දනය කිරීම එතරම් සාධාරණ නොවුවත් ස්විස්ටර්ලන්තයේ කුණු පවිත්‍රතාව මගේ දැනීමේ තරමට වෙනත් යුරෝපීය රටවලටද වඩා විධිමත්ය. මෙම විධිමත් බවට බල පාන නොයෙක් හේතු ඇතැයි පෙන්වා දිය හැකි වුවත්, එය ඇති වී ඇති සංස්කෘතිය හා ශිෂ්ටත්වය බිහි වී ඇත්තේ කෙසේද යන්න තේරුම් ගැනීමට ස්විස් දේශපාලන සංස්කෘතියට ගොඩබැසිය යුතුය.

ජවිපේ විසින් ගොඩ නගන්නට උත්සාහ කරන සංස්කෘතිය අවැසි නම් විවේචනය කළ හැකි අතර අවැසි නම් ප්‍රසංසා කළ හැකිය.

මේ දෙකම තේරුම් ගැනීම පිණිස නැවතත් ස්විස්ටර්ලන්තයට පිවිසී බලමු. ස්විස්ටර්ලන්තය යනු ලෝකයේ ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයන් ඇති රටවල් අතර එක් විශේෂිත රාජ්‍යයකි. මෙහි සෘජු ප්‍රජාතන්ත්‍රවාදය(Direct Democracy) ක්‍රියාත්මක වන අතර ඉතාම කුඩා ඒකකය වන ගම දක්වා බලය බෙදා හැර ජනතා අභිලාශයන් තීන්දු කිරීමට සිය හැකියාව උදා කර දී ඇත. ඒ අනුව කුණු කැලි කසල වැනි විෂයයන් පිළිබඳ වගකීම දරනු ලබන්නේ කුඩා පාලන ඒකනයන් විසිනි. නගරයක නම් නගරයේ පාලන ඒකකයන් විසින් ඒ කාර්යය සිදු කරයි.

ස්විස්ටර්ලන්තයේ කුණු දැමිමට ඇති භාජන විවිධය

ස්විස්ටර්ලන්තයේ කුණු දැමිමට ඇති භාජන විවිධය

විශේෂිතව ජනතාව ඒකරාශි වන අවස්ථා බහුල වශයෙන් ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන සිදු වේ. කුණු ප්‍රශ්නයේ දී ජවිපේ විසින් පෙන්වන ආදර්ශය ඊට වඩා ස්විස්ටර්ලන්තය තුල වෙනස්ය. එනම් එවැනි විශේෂිත ජන සහභාගිත්වයක් ඇති අවස්ථාවක දී එය අවසන් වූ සැනින් පිරිසිදු කිරීම සඳහා සනීපාරක්ෂක බල ඇණි සීරුවෙන් සිටීමය. එවිට සහභාගී වන්නන් අවස්ථාවේ ස්වභාවය අනුව අපද්‍රවය වලින් පරිසරය හැඩි වීම හා අපවිත්‍රවීම සිදුවේ. කුණු තැන්පත් කිරීම පිණිස ඇති භාජන ප්‍රමාණවත් නොවුණ තැන  භූමිය පුරාද විසිරී පැවැතීම දැකිය හැකිය. එහෙත් එය සහභාගී වූවන්ට හෝ සංවිධායකයන්ට ගැටලුවක් නොවන්නේය. මන්ද විනෝදවීම හා අවශ්‍ය කරන නිදහස උදෙසා රාජ්‍යයට හැම කෙනෙකුම බදු ගෙවන නිසාය. එම බදු  වලින් අවශ්‍ය සේවය සපයා දෙනු ලබන්නේ ජනතාවට අවහිරයක් නොවන ලෙසටය.

මෙවැනි විශේෂිත අවස්ථාවලට අමතරව කුණු හා අපවිත්‍රවීම යන්න ප්‍රධාන නගර කේන්ද්‍රකර ගෙන සති අන්තයේ දී සිදු වේ. එනම් තරුණ පරම්පරාවට විනෝද වීමට ගෙන දී ඇති නිදහස හේතු කොට ගෙනය. සෑම සතියකම සිකුරාදා සවස සිට ඉරිදා දක්වා යන දිනවල නගරවල ප්‍රධාන ස්ථාන වන දුම්රිය බස් නැවතුම් පළවල් ද මං මාවත් ද තරුණ තරුණයන්ගේ විනෝදය හේතුවෙන් අපවිත්‍ර වුවත් එය සඳුදා දින වන විට යතා තත්ත්වය පත් කිරීමට අදාල ක්ෂේත්‍ර බැඳී සිටී. මෙහි දී එම අපවිත්‍ර කිරීම පිළිබඳ දොසක් අපවිත්‍ර කරන්නට නොපැවරේ. එසේ දොසක් එන්නට කුණු කුණු බවට පත් වන්නේ ද නැත. එබැවින් ජවිපේ විසින් පෙන්වා දෙන සංස්කෘතිය රජය විසින් බාරගෙන ඇති අතර ජනතාව නියෝජනය කිරීම හා ඔවුන්ට අදාල පහසු කම් සැපයීම තමන් ලබා ගන්නා බදු තුලින් හරියට ඉටු කිරීමක් ලෙස හඳුනාගත හැකිය.

ජවිපේ පෙන්වන සංස්කෘතිය හා විනයට නැවත පැමිණිය හොත්, එම සංස්කෘතිය ස්විස් ජනයාගේ එදිනෙදා ජීවන සංස්කෘතියෙන් ප්‍රකට කරන්නකි. ඔවුන් එය එක දිනකින් දෙකකින් ගොඩ නගා ගත්තක් නොවන අතර ඒ සඳහා ඔවුනට දේශපාලන සංස්කෘතිය විසින් හුරු පුරුදු කරන ලද ආචාර ධර්මයන් ඉතිහාසය විසින් ගෙන දී ඇත. එම සංස්කෘතිය පුද්ගලයා පවුල පාසල හා වෙනත් සමාජානුයොජන ආයතන තුලින්ද මූර්තිමත් කර දෙන්නකි. සාමාන්‍ය ජීවිතයේ දී ඉවත දමන දෙයක් නිසි ලෙස අදාල ස්ථානයට පත් කිරීමට හා පිරිසිදුකම පිළිබඳව ශික්ෂණයක් ජනයාට ඇත. එය ඇති කිරීමට මෙන්ම ඒ පිළිබඳ හැඟීමක් ජනිත වීමට රාජ්‍ය විසින් ඊට ඇති පහසුකම් සැලසීම ද එක හේතුවක් වේ. නමුත් ලංකාව සම්බන්ධයෙන් ගත් කල ජවිපේ විසින් පෙන්වන පාඩම රාජ්‍යයට කළමනාකරණය කර ගැනීමට හෝ ප්‍රතිපත්ති සම්පාදනයට ඇති නොහැකියාව ගොඩ ගැසී ඇති කුණු කඳු හා එයම දේශපාලනික ප්‍රශ්නයක් බවට පත්වීමෙන් පෙනෙන්නකි. ඒ අනුව වැඩි පිරිසක් ගැවසෙන තැනක එකතු වන කුණු ස්ථාන ගත කිරීමට පමණක් නොව සාමාන්‍ය ජන ජීවිතයේ දී පවා ඉවත ලන කුණු කුණු වී දුගඳ හමා පවතින තත්ත්වයක දී  ජවිපේ සාමාජිකයින් විසින්ම කුණු එක්රැස් කර තමන් පරිහරණය කරන ලද ස්ථානය පිරිිසිදු කිරීම තුලින් පෙන්වන්නේ එක් පැත්තකින් රාජ්‍යයේ නො හැකියාව මෙන්ම එම රාජ්‍ය ධනේශ්වර නොවී ඇති බවක්ය.

එසේම ඔවුන් පසක් කොට පෙන්වන්නේ පැරුණි ගම්වල, පංසල් දේවාල වැනි ස්ථානවල දී සැදැහැවතුන් ස්වෙච්ඡාවෙන් කරනු ලබන සද් කාරයයකට සමාන දෙයක් යැයි කෙනෙකුට විවේචනාත්මක පැත්තක සිට කිව හැකි වුවත්, දේශපාලනික පක්ෂයක් ලෙස මෙම හුරුව හා විනය සමාජයක් ගොඩ නැගීමට මෙන්ම බලය ලබා ගත් පසු ඇති කරන රාජ්‍ය කුමක් වුවත් එය මානව සමාජයට ශිෂ්ට සම්පන්න ආදර්ශයක් සපයන බවය. නමුත් මෙහි දී ප්‍රශ්නය මතු වන්නේ සමාජයකට තමා වෙසෙන ගැවසෙන කටයුතු කරන තැනක තම හැඟීම ද මිනිසුන් ලෙස තම රට යන හැඟීම ඇති කිරීමට නම් නිෂ්පාදනය හා බලය සම්බන්ධ කාරණය පිළිබඳ සැලකිලිමත් විය යුතු වන්නේය.

සෑම ජන කොට්ඨාමයක්ම වෙසෙන සෑම තැනකටම ස්වය තීරණ ගැනීමට ඇති අයිතිය පිළි ගැනීම මගින් මෙන්ම ඒ තුලින් තමා ජීවත්වන පරිසරය ගැන ආදරය උනන්දුව හා ගෞරවය නිර්මාණය වන සංස්කෘතියක් ඇති තැන ජවිපේ විසින් පෙන්වන සංස්කෘතිය රටකට වැඩ දායක වනු ඇත. එහෙත් ජවිපය කුණු සම්බන්ධයෙන් එවැනි ශිෂ්ටත්වයක් පෙන්නුම් කරනු ලැබුව ද දේශපාලනය සම්බන්ධයෙන් ද අලුත් ලෙස හිතන්නට හැකියාවක් පෙන්නුම් කරනු ලැබුවහොත්, තනි පක්ෂයකින් බුදු වීමට පෙරුම් පිරීමෙන් එහා ගොස් කුණු සම්බන්ධයෙන් පෙන්වන සාමූහිකත්වය දේශපාලන දෘෂ්ටියට හා භාවිතාවට ගත හැකි වුව හොත් අනාගකයේ දී ලංකාවට කදිම සංස්කෘතියක් ඇති කිරීමට ස්විස් ෆෙඩරල් ක්‍රමයේ ඉතිහාසයේ හෙල්විටියා ෆෙඩරේෂනය නිර්මාණය කළ දේශපාලන පිරිස් මෙන් ලංකා ඉතිහාසයට එක්වනු ඇත. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදය අභ්‍යාස කිරීම ද බලය ලබා ගැනීම යන කාරණය නිර්මාණාත්මක ලෙස ද කළ හැකි වුවහොත් එය කළ හැකි වන්නේ ප්‍රගතිශීලී දේශපාලන කණ්ඩායම් එකමුතු තර ගෙනය.

ඒ සඳහා ඔවුන් පෙන්වන උනන්දුව අල්ප වන අතරම තමා කේන්ද්‍ර කර ගෙන කරන එකතු කිරීම් විසින් ගෙන දෙන්නේ ද නැවත බෙදීම් නිසා මෙම කුණු වලින් පෙන්නුම් කරන ශික්ෂණය හා නිහතමානිත්වය දේශපාලනයට ආදේශ කළ හැකි වුවොත් තට්ටු මාරු බල රටාව ඉතා කෙටි කාලයකින් අවසන් කළ හැකි වනු ඇත. වම නියෝජනය කරන අනෙක් පුද්ගලවන්ට මෙන්ම පක්ෂ කණ්ඩායම්වලට ද එසේම අදාල වන්නේ ස්වං තිරණය හා බලය බලය අවශ්‍ය අයට ලබා දී ඊට නායකත්වය ලබා දීමෙන් රට බෙදීම හෝ සමාජවාදයට බාධාවක් ලෙස සිතීම මිත්‍යාවක් බව පසක් වීමෙන්ය. එසේ නොමැතිව  පෙන්වන සංස්කෘතිය හා ශිෂ්ටත්වය තුලින් තහවුරු වනු ඇත්තේ ද මානවවාදී සමාජයකට වඩා මර්ධනවාදී පාලන ක්‍රමයකටය.

සැමදාම එකම ලෙස ගඟක් ගලන්නේ නැත වන විශ්වාසය පෙරටු කොට ගතහොත් අනාගතය අතීතය ලෙස විය යුතු නැත යන්නට විශ්වාසය ඇති කර ගතහොත් ජවිපේ මෙන්ම පෙසපේට ද පෙසපේ මෙන්ම අනෙක් සෑම ප්‍රගතිශිලී ප්‍රුද්ගලයන්ට මෙන්ම පක්ෂ කණ්ඩාම්වලට ද විවිධත්වයන් සහිතව වුවත් එක්වන්නට අවශ්‍යතාව හා ඥාණය ශක්තිය හා දැක්ම ලැබේවා කියා මෙම පශ්චාත් මැයි දින කුණු සංස්කෘතිය පිළිබඳ එපිසෝඩය හමාර කරමි.

 

උදය ආර්. තෙන්නකෝන්

 

Back to Top