Sri Lanka Brief
විවරණජවිපෙ සහ දෙකට කැපුණු පණුවා කෑ වෙලේ කොකා – නිලන්ත ඉලංගමුව

ජවිපෙ සහ දෙකට කැපුණු පණුවා කෑ වෙලේ කොකා – නිලන්ත ඉලංගමුව

by

( ජවිපෙ මැයි දිනය)

රතු මැයි රැළිය; කොළ, නිල්, රතු ඇතුළු නොයෙකුත් පාට ගන්වා නිමා වී දින කිහියපක් ගත වී ඇත. බොහෝ දෙනෙකු බොහෝ කතා කිවූහ. ඒවාට මධ්‍යයේ ඉඩද වෙන් වූහ. ඇතැමෙකු තම ජයග්‍රහණය ගැන උදම් ඇනූහ. තවකෙකු තම මීළඟ අඩව්ව ඇල්ලීම සඳහා අවශ්‍ය කළමනා එක්රැස් කිරීම ආරම්භ කළ බව කීවෝය.  තවකෙකු තමන් ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නා බවට අනාවැකි කියූහ. භීතිය , ත්‍රාසය සහ දේශපාලන උන්මාදය අතර සිර වූ බොහෝ දෑ මැයි රැළියට මුවා වී සිදු විය. නමුත් මැයි රැළියකදී රටේ සාමන්‍යය ජනතාවට ඇසීමට අවශ්‍ය දෙයක් කිසියම් හෝ දේශපාලන පක්ෂයකින් කියවුණේ දැයි සැක සහිතය. මෙවැනි තත්වයන් මඟින් හීන වෙමින් පවතින්නේ රට හමුවේ ඇති අමිල අවස්ථාවයි.

මැයි දිනයේ ඇති හරය මූලික වශයෙන් විනාශ කරනු ලැබුවේ, නව ලිබරල්වාදය සහ කොමියුනිස්ට්වාදය පදනම් කරගනිමින් බිහි වූ ආණ්ඩු ( රෙජීම්) විසිනි. එහි ඇති සැබෑ වැදගත්කම විනාශකොට එය තවත් එක දේශපාලන වුවමනාකම් සංසිදුවන සැණකෙළියක් බවට පමණක් පත්කරනු ලැබීය. මේ නිසා නිදහස සඳහා වූ සැබෑ අරගලය තව දුරටත් සංකීරණ කරනු ලැබීය.

කියූ දෑ සියල්ල මොහොතකට අමතක කළද ජනතා විමුක්ති පෙරමුණ විසින් සිදුකළ මැයි රැලිය සහ ඉන් පසු අදාළ භූමිය පවිත්‍ර කිරීම ආදාළ දේශපාලන පක්ෂය විසින්ම සිදු කිරීම පැසසිය යුතු මෙන්ම අනෙකුත් පක්ෂ ආදර්ශයට ගෙන කටයුතු කළයුතු කාරණයකි.මොන දේශපාලන මගෝඩි කතා පැවසුවද වැදගත් වන්නේ කෑව බීව තැන සුද්ද පවිත්‍ර කොට සතා සීපාවට මෙන්ම මිනිසුන්ට යළිත් ජීවත් විය හැකි පරිසරයක් ගොඩ නගා එම ස්ථානයෙන් හිත හොඳින් බැහැර වීමය. එම කලාව ලංකාවේ දේශපාලනයට බොහෝ දුරින් පිහිටා ඇති කාරණයකි. නමුත් එක් පක්ෂයකින් හෝ එලෙස හොඳ දෑ සිදුවීම යහපත් කාරණයකි.

මෙවර මැයි දිනයේ සිදු වූයේ කුමක්ද? මෙවර මැයි දිනය ලංකාවේ දේශපාලන හැරවුම් ලක්ෂය තීන්දු කරන සිදුවීමක් වූයේද? ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැයි දිනට දින කිහිපයකට පෙර සඳහන් කළ ආකාරයෙන් මැයි දිනයෙන් පසු උදා වූ දිනයේ සිට මෙරට දේශපාලනය වෙනස් වූයේද? සාමාන්‍ය ජනතාවගේ ආර්ථිකය අතින් ගත් කළ සැබවින්ම සතුට වෙනුවට වියෝව, බලාපොරොත්තුව වෙනුවට හිස් බව, සිහිනය වෙනුවට දවල් හීනය, ධනාත්මක කාරණා වෙනුවට ධනාත්මක නොවන සිතුවිලි ආදීය ආදේශ වෙමින් තිබෙන සැටියෙකි. ඒ හැරෙන්නට සැලකිය යුතු මට්ටමේ වෙනසක් රටේ ජනතාව අතර සිදු වී ඇතැයි නිගමනය කළ නොහේ.

කෙසේ වෙතත් වත්මන් ආණ්ඩු රටාව තුළ සමාජ භීතිය අවම වීම සහ ස්වාධීනව සිතීමට ඇති අවකාශය පුළුල්වීම සැලකිය යුතු මෙන්ම අතිශය සුභවාදී කාරණාමැයි. මෙය හිංසාවකින් තොරව ඉදිරි වසර කිහිපය පුරා පැවතියහොත් නැති වී ගිය සමාජ ශාරය යළි අපේ මාතෘභූමියේ ජනිත වීමට මග පෑදෙනු  ඇත. ඒ වෙනුවෙන් සමාජයේ වෙසෙන සෑම පුරවැසියෙකුටම පැවරෙන මූලික වගකීම් සමුදායක් තිබේ.

එසේම මීට පෙර පැවති ආණ්ඩුව හෝ එහි නායකත්වය රටේ ආර්ථිකය බංකොලොත් කළ බවට චෝදනා කරමින්, වත්මන් ආණ්ඩුව මත පැටවී ඇති වගකීමෙන් නිදහස් විය නොහැකිය. පැවති ආණ්ඩුව වෙනුවට නව ආණ්ඩුවක් පත් කරගැනීමේ මූලික වුවමනාව වූයේද, එම ආණ්ඩුව ජනතාවගේ සැබෑ අවශ්‍යතාවයන් ගැන නොසිතන බව බහුතරයකට අවබෝධ වූ හෙයිනි. එය, වත්මන් ආණ්ඩුව රටේ රාජ්‍යය සම්පත් යොදා යලි යලිත් සඳහන් කිරීම අවශ්‍යය නැති බව ජනතාව දනිති.

වත්මන් සන්දර්භය හමුවේ හඳුනාගත හැක්කේ සම්ප්‍රදායික දේශපාලනඥයා වත්මන් සමාජය තුළ අවලංගු වෙමින් පවතින අතර, බොහෝමයක් දේශපාලනඥයින් නව මාතෘකා සහ උපායන් සොයමින් සිටින ආකාරයයි. බලහත්කාරයෙන් රඳවා ගන්නා පිරිස සහ යම් කිසි “සහනයක්” බලාපොරොත්තුවෙන් තමන් වටා ඒකරාශී වූ පිරිස හැරෙන්නට ගෞරවාන්විතව එක්වී කටයුතු කරන පාක්ෂිකයින්ගේ ප්‍රමාණය අතිශය සීමා සහිත වී ඇති ආකාරය පොදුවේ දැකගත හැකි කාරණයකි. මෙවර මැයි රැළියේදී දැක ගත හැකි වූයේ මෙම මූලික සම්ප්‍රදායික දේශපාලනය දුර්වල වීමේ භීතිය හේතුවෙන් ඇති වූ අස්ථාවරත්වයට දේශපාලනඥයා සිදුකළ සුවිශාල කැපකිරීමයි. ඒ සඳහා එක් එක් දේශපාලන පක්ෂ වියදම් කළ මුදල් පිළිබඳ පැහැදිළි ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීමේ වැඩපිළිවෙලක් තිබේනම් මෙහි ඇති සැබෑ ඇත්ත අවබෝධ කරගැනීම සඳහා අවශ්‍ය තොරතුරු ලැබෙනු ඇත. මෙය ක්‍රමිකව සමස්ථ සමාජයේ බහුතරය තුළින් ප්‍රතික්ෂේප වෙමින් පවතින විධික්‍රමයකි.

පැවැත් වූ මැයි රැළි සම්බන්ධයෙන් සැලකීමේදී එය රටේ දේශපාලන හැරවුම් ලක්ෂයක් සටහන් කළේ යැයි කිරීම ප්‍රහසනයකි. එවැන්නක් සිදු නොවූ අතර මෙම පවතින රටාවේ වෙනසක් මැයි රැළි අරඹයා සිදු වූයේ යැයි කීම අමුලික මුසාවක්ද වේ. සැබවින්ම මෙවර මැයි රැළි තුළින් සාමන්‍යය ජනතාවට ලබා දුන් පණිවිඩය වූ කලී කම්කරු අයිතීන් සහ ඔවුහුට තම දිනය සැමරීම සඳහා ඇති නිදහස සීමා කොට ඇති ආකාරය යළිත් ඔප්පු කිරීම පමණි. මෙය ක්‍රමිකව සිදුකරන අහිංසාවාදී දේශපාලන වැඩපිළිවෙලක් ඔස්සේ සැබෑ කම්කරුවාගේ අතට ගත යුතු සැමරුමකි. එය සාමූහික සමාජ වැඩපිළිවෙලක ප්‍රතිඵලයක් වේ.

ප්‍රධාන පක්ෂවල දැක ගත හැකි වූයේ, එකිනෙකාට චෝදනා කිරීම සහ රටේ නීතිය තමන් අතට ගෙන රාජ්‍යය විසින් මීළඟට අත්අඩංගුවට ගැනීමට නියමිත අයවලුන් ගැන ඇතැම් ඇමතිවරුන් සඳහන් කිරීම වැනි සැබෑ අප්‍රසන්න කාරණාය. යම් කිසි විෂයක් භාර ඇමතිවරයා හෝ ඇමතිවරිය කතා කළ යුත්තේ තමන්ගේ විෂය පතය තුළ ඇති රටට වැදගත්කමක් ඇති කාරණාය.

මැයි දින රැළි වලින් මතුව ආ අදහස් අතර සැලකිය යුතුයි යැයි සඳහන් උපමාවක් උපුටා දැක්වීම මෙහිදී යෝග්‍යය යැයි සිතේ. එනම් ජනතා විමුක්ති පෙරමුණේ නායක, අනුර කුමාර දිසානයක මහතාට අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙලේ සිටින දෙකට කැඩුණු පණුවෙකු සේය. එලෙස දෙකට කැඩුණු පණුවා සිතන දෑ වෙනුවට සිදුවන්නේ කොකාගේ ගොදුරු වීමට පමණි. මෙහිදී කොකා යන්නෙන් කුමන පක්ෂය අදහස කළේද යන්න නොදන්නා මුත්, මෙහි ඇති දේශපාලනය නිවැරදිව තේරුම් ගැනීම වැදගත් වේ යැයි සිතේ.

ජනතා විමුක්ති පෙරමුණ බිහි වූ දිනයේ පටන් අද දක්වා කොටස් කිහිපයකට කැඩී ගිය පක්ෂයකි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කුඹුරේ ගොවිමහතෙකුගේ උදැල්ලට දෙකට කැපෙන පණුවෙකුට උපමා කරන අනුර කුමාර දිසානායක මහතා, හිතාමතාම මගහැර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණේ යථාර්තය තේරුම් ගැනීමය. එක්කෝ ඇත්ත සමග හැංගි මුත්තන් කිරීමය. මේ නිසා පක්ෂය සමබන්ධයෙන් ලියවෙන ඕනෑම ආලපාළු ඕපාදූපයක් පක්ෂයේ නායකත්වයට ඇතුළු ධූරවලීයේ ඉහල සිටින අයවලුන්ට විශාල සිදුවීම් වේ. එහි පැහැදිළි උදාහරණය වූ කලී, අදාළ පක්ෂය එක්තරා පුවත්පතක පළ වූ ලිපියක් සහ පුවතක් සම්බන්ධයෙන් හැසිරෙන ආකාරයය.

මෙම තත්වය හමුවේ රට හමුවේ ඇති අභියෝගය කුමක්ද? ඒ වූ කලී, නායකත්වයේ පෞද්ගලික ජීවිතය ගැන, අනවශ්‍යය ඕපා දූප සොයා ඉන් ප්‍රමෝද වීමට වඩා වැදගත් වන්නේ රටේ සැබෑ ගැටලු විසඳීම සඳහා අදාළ පක්ෂය සතුව කෞශල්‍යයක් තිබේද යන්න විමසීම සහ ඒ සම්බන්ධයෙන් සමාජ කතිකාවක් ඇති කිරීමය. එවැන්නක් ඔස්සේ සිදු කරන විමසා බැලීමකින්, වෙලේ කොකා කන පණුවා ජනතා විමුක්ති පෙරමුණ විසින් මරා දැමුණු සැබෑ සටන්කාමීත්වය බව අවබෝධ කරගැනීමට හැකිවනු ඇත. දයා පතිරණගේ සිට ලියවී ඇති ඉතිහාසය විසින් මේ රටේ මිනිසුන්ට උගන්වන සැබෑ පාඩම එයයි.

ජනතා විමුක්ති පෙරමුණ, සමාජයට අති විශාල හානියක් කළ පක්ෂයක් වන අතර එය රට හමුවේ පැවති සැබෑ සමාජ අවස්ථා හිතමාතම කුණු ගොඩට ඇද දැමූ සංවිධානයක් වේ. එහි “විපල්වීය දේශපාලනය” නිසා රටේ පරම්පරා දෙකක් අතුගෑ වී ගියේය. වර්තමානයේ වුවද, පක්ෂය තුළ පිළිකාවක් මෙන් උඩුදුවමින් පවතින්නේ, කුහකකම සහ සැබෑ ප්‍රතිපත්ති වෙනුවට පෞද්ගලික ආශාවන් පසුපස හඹා යෑමේ ඛේදනීය කල්ලිවාදයක්ය. මැතිවරණ වලදී සහ රට හමුවේ මතුවන විවිධ දේශපාලන සිදුවීම් ඉලක්ක කරගෙන අනෙකා පිනවීමේ නොගැඹුරු පුරුද්දක් අදාළ පක්ෂයට තිබේ. ඒවායේ වාසිය සෑම විටම ලබාගන්නේ, අනෙක් පාර්ශවයයි. අනුර දිසානායක මහතාගේ වචන රටේ ඇත්ත තත්වය සමග ගැලපීමේදී කිව හැක්කේ, ඒවායේ වාසිය සෑම විටම ලබාගන්නේ වෙලේ කොකා විසිනි.

තම ඉතිහාසය පුරාම ජනතා විමුක්ති පෙරමුණ දායාද කරනු ලැබුවේ,  දහ දුකක් විඳිමින් ලෝකය දැකීමට අරගල කරන තරුණ තරුණයින් ඉදිරියේ ෆැන්ටසියක් මවා නිසි අවස්ථාව පැමිණි විට වෙලේ කොකාගේ ගොදුරු බවට ඔවුහු පත් වීමට ඉඩ හැරීමය. සැබෑ අරගලකරුවා නළුවන් පිරිසක් ඉදිරියේ තම අරගලය වෙන්දේසී කිරීමේ කටුක යථාර්තයට මුහුණ දුන්නේය. මුහුණ දෙමින් සිටින්නේය. තත්වය වෙනස් නොකළහොත්, අනාගතයේ මුහුණ දීමට සිදුවන්නේද එයයි.

අරගලය වෙනුවෙන් පෙනී සිටින වත්මන් පරම්පාරව වෙලේ කොකාගේ ගොදුරුබවට පත් නොවී සිටින්නේ කෙසේද? යන්න කිරීම මෙම දේශාපලන පක්ෂ සහ කල්ලිවලට පරිභාහිරව සිතන සියල්ලම මුහුණ දී සිටින සැබෑ අභියෝගය වේ.  එහිදී මූලික අවශතාවය වූ කලී පෙරහැරේ යන නළුවන්ගෙන් ප්‍රවේශම් වීමය.

Back to Top