Sri Lanka Brief
විවරණඒකීය රාජ්‍යයටයි ප්‍රජාතන්ත්‍රවාදයටයි එකට ඉන්න බැහැ -අහිලන් කදිරගාමර්

ඒකීය රාජ්‍යයටයි ප්‍රජාතන්ත්‍රවාදයටයි එකට ඉන්න බැහැ -අහිලන් කදිරගාමර්

by

(​ මානව හිමිකම් ක්‍රියාකාරිකයෝ සංවිධානය විසින් ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා අරගලයේ ඊයේ අද සහ හෙට මැයෙන් සංවිධානය කරන ලද සම්මන්ත්‍රණයක් පසුගියදා කොළඹ ජාතික පුස්තකාලයේදී පැවැත්විණ. එහිදී දේශපාලන ආර්ථික විශ්ලේෂක අහිලන් කදිරගාමර් විසින් කළ අදහස් දැක්වීම අදාළ සිංහලට පරිවර්තනය පහත දැක්වේ. අහිලන් කදිරගාමර් යාපනය පදනම් කොටගෙන කටයුතු කරන වාමගාමී දේශපාලන ආර්ථික විශ්ලේෂකයෙකි.)

ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා වාමාංශය පිළිබඳව මම මෙම අදහස් දැක්වීමේදී ඉදිරිපත් කරන සමහර කරුණු වඩාත් න්‍යායාත්මක ස්වභාවයකින් යුක්ත බව මුලින්ම කිව යුතුයි. මගේ කථාව කොටස් හතරකින් සමන්විතයි. පලවෙනි කොටස රාජ්‍යය පිළිබඳව. රාජ්‍යය යන්නෙන් අදහස් වන්නේ කුමක්ද. රාජ්‍යයට ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා වමේ අපි රැඩිකල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ලෙස දක්වන්නා වු අදහස සමග තිබෙන සම්බන්ධතාවය කුමක්ද. දෙවනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ඓතිහාසිකව වම විසින් සිදුකර ඇති කාර්යභාරය පිළිබඳව සාකච්ඡා කරන්නට මම කැමතියි. තෙවනුව අපගේ ආර්ථිකය විශේෂයෙන්ම අප ජීවත් වන නව ලිබරල් අවධියේදී නව ලිබරල්වාදය, නව ලිබරල් රාජ්‍යය හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය අතර ඇති සම්බන්ධය ගැනත් අවසාන වශයෙන් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් කතා කිරීමේදී ජාතික ප‍්‍රශ්නය පිළිබඳවත් යමක් පැවසීමට මම බලාපොරොත්තු ‍වෙනවා.

ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය හා රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය

අපි රාජ්‍යයෙන් පටන් ගනිමු. රාජ්‍යය යනු කුමක්ද. නැතිනම් රාජ්‍යය නමැති මෙම අදහස මතු වන්නේ කුමන කාලයකද. අදහස් පිළිබඳ හදාරන බෙහෝ ඉතිහාසඥයන් පවසනු ඇත්තේ රාජ්‍යය පිළිබඳ නූතන අදහස 13 වන සියවස හා 16 වන සියවස අතරමැද කාලයකදී යුරෝපයේ දී මතු වු බවයි. දේශපාලනික දාර්ශනිකයකු වන ක්වින්ටන් ස්කිනර් රාජ්‍යය පැහැදිලි කරන්නේ පාලකයන්ගෙන් හා පාලිතයන්ගෙන් වෙන්වු යමක් ලෙසයි. එය තවත් පැහැදිලි කරන්නේ නම් නූතන රාජ්‍යය ඊට පෙර පැවති පාලන ආකාරයන්ගෙන් වෙනස්. එම පාලන ආකාරයන් ගැන කල්පනා කරනා විට අප පාලකයින් ලෙස සලකනු ලබන්නේ රජවරුයි. නමුත් ස්කිනර් නූතන රාජ්‍යය හඳුනා ගන්නේ පාලකයින්ගෙන් හා පාලිතයින්ගෙන් වෙන්ව පවත්නා දෙයක් ලෙසයි. ඉන් අදහස් වන්නේ පාලකයින් වෙනස් වුවත් ආණ්ඩු වෙනස් වුවත් රාජ්‍යය ආයතනයක් ලෙස අඛණ්ඩව පවතින බවයි. මම හිතන්නේ මෙය අප සලකා බැලිය යුතු වැදගත් සංකල්පයක්. ‍

නූතන රාජ්‍යය යනු කුමක්ද. රාජ්‍යය පිළිබඳ නූතන අදහස මතු වන අවධියේ ජීවත් වු තෝමස් හොබ්ස් නම් වු දේශපාලනික දාර්ශනිකයාගේ අදහස් තුළ මෙම ප්‍රශ්නයට උත්තරයක් සම්පිණ්ඩනය කර තිබෙනවා. ඔහු රාජ්‍යයේ පැවැත්ම සඳහා වූ ප‍්‍රබලම සාධාරණීකරණය කිරීම සිදු කරනවා. ඔහුට අනුව නූතන රාජ්‍ය්‍ය මතු වන්නේ අප බියෙන් ජීවත් වන නිසා. අප සතු දේ පැහැර ගනී යැයි සිතා අප අසල්වැසියන් ගැන බියකින් ජීවත් වෙනවා. අපගේ රාජ්‍ය්‍ය ආක‍්‍රමණය කරයි කියලා අප අසල්වැසි රටවල් පිළිබඳව බියකින් ජීවත් වෙනවා. නූතන රාජ්‍ය්‍ය සඳහා හොබ්ස් ඉදිරිපත් කළ සාධාරණීකරණය කිරීම වන්නේ එයයි. රාජ්‍යයේ පැවැත්ම සඳහා බිය මූලික වෙනවා. අප නිරන්තරයෙන් බියෙන් පසු වන නිසා අප පාලනය කිරීමේ බලය අප රාජ්‍යයට ලබා දෙනවා. මම කැමතියි රාජ්‍යය පිළිබඳව වු මෙම අදහසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව සිතීම ආරම්භ කරන්නට. අපගේ බලය ස්වාධිපත්‍යය රාජ්‍යයට පැවරීමෙන් පසුව මතු වන ගැටලුව නම් රාජ්‍යය සමඟ ගනුදෙනු කරන්නේ කෙසේද යන්නයි. අපට පවසනු ලබන්නේ අප ප‍්‍රජාතන්ත‍්‍රවාදයක ජීවත් වන නිසා අපගේ බලය රාජ්‍යයට පැවරුවද අප එම රාජ්‍යය පාලනය කරනා බවයි. ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යය පිළිබඳ සාමාන්‍ය අදහස එයයි. නමුත් අපට ඇත්තටම මෙම බලය තිබෙනවාද නැතිනම් බලය ඇත්තේ වෙනත් කවුරුන් හෝ අතද. බලය ඇත්තේ රාජ්‍යය නම් වු දෙය සතුවද. නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳව ඇති ප‍්‍රධානම ප‍්‍රශ්නය එයයි.

ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍යයක් යටතේ ඇති වන්නේ පංතිය මත පදනම් වු සමාජ සම්මුතියක්. රටවැසියන්ගේ අයිතීන් ආරක්ෂා කරන්නේ යැයි පවසමින් රාජ්‍යය සැබැවින්ම කරන්නේ දේපල හිමි පන්තිය සතුව ඇති දේපල ආරක්ෂා කිරීමයි. එය විවිධ ආකාරයන්ගෙන් ධනවාදී ආයතන හා නිෂ්පාදන සම්බන්ධතාවල අඛණ්ඩ පැවැත්ම ගැන වග බලා ගන්නවා. මෙම ක‍්‍රියාවලිය හරහා රාජ්‍යය දේවල් හිමි හා දේවල් අහිමි පංතීන් අතර සම්බන්ධතාවයෙහි භාරකාරයා බවට පත් වෙනවා. ඒ අනුව ධනවාදී පද්ධතීන් යටතේ පවත්නා අසමානතාවයන් රාජ්‍යය හරහා දිගින් දිගටම පවත්වාගෙන යනු ලැබෙනවා. ඔබ සියලු දෙනා දන්නා පරිදිදාර්ශනිකයින්, මාක්ස්වාදීන් හා කොමියුනිස්ට්වාදීන් රාජ්‍යය සම්පූර්ණයෙන් අහෝසි කළ යුතු යැයි පවසන්නේ මෙන්න මේ නිසා. රාජ්‍යය පවතිනා තුරු අපට සමාන සමාජයක්, සමාජවාදී සමාජයක්, කොමියුනිස්ට් සමාජයක් ඇති කළ නොහැකියි. රාජ්‍යය අහෝසි කළ යුතු බවත් එය ක‍්‍රමිකව නැති වී යා යුතු බවත් ලෙනින් පවසන්නේ මෙම හේතුව නිසා. රාජ්‍යය හා ලිබරල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ කතාන්දරය මෙහෙම නම් අප ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉන් ගලවා ගන්නේ කොහොමද. අප අරගල කරන්නේ කුමන ආකාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් උදෙසාද. රාජ්‍යයට ඔබ්බෙන් පරිකල්පනය කරනා රැඩිකල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අදහස මතු වන්නේ මෙතනදී. රාජ්‍යයට අපගේ බලය පැවරීම වෙනුවට ප‍්‍රජාතන්ත‍්‍රවාදය ජනතාව තුළම පැවතීමට නම් කුමන ආකාරයේ සමාජ සංවිධාන, ආයතන හා ව්‍යාපාර අවශ්‍යයද කියන ප්‍රශ්නය රැඩිකල් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ සලකා බැලෙනවා.

වාමාංශයේ ප්‍රජාතාන්ත්‍රීය උරුමය

මෙතන දී මම කැමතියි වාමාංශයේ ඉතිහාසය දෙස යොමුවෙන්න. ප්‍රජාතන්ත්‍රවාදය හැඩ තැලීම නම් කෘතිය රචනා කළ ජෙෆ් එලි වැනි වාමාංශික ඉතිහාසඥයින් තර්ක කරන්නේ 19 වන ශත වර්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය මතු වුයේ ප්‍රධාන වශයෙන් විවිධාකාර වාමගාමී ව්‍යාපාරවල අරගලයන්ගේ ප්‍රතිඵලයක්‍ ලෙස බවයි. විවිධ ආයතන ක්‍රියාත්මක වෙන ආකාරය සම්බන්ධයෙන් වෘත්තීය සමිති කොමියුනිස්ට් ජාත්‍යන්තරය සහ වෙනත් විවිධ ආකාරවල සමාජ ව්‍යාපාර විසින් සිදුකරනු ලැබු අරගල නූතන රාජ්‍යයට අදාල තුලනයක් ලෙස ක්‍රියා කල අතර එහි ප්‍රතිඵල ලෙස ප්‍රජාතන්ත්‍රවාදය පැන නැගුණා. වෙනත් වචනවලින් කියනවා නම් රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය පිලිබද අදහසේ කේන්ද්‍රයේ තිබෙන්නේ මහජන ව්‍යාපාර. කෙසේ වූවත් දහනම වන සියවසේ මෙන්ම විසිවන සියවසේ මුල් කාලයේ උද්ගත වු වාමාංශික ව්‍යාපාර මෙකී ප්‍රජාතාන්ත්‍රීය ගතිකයන් මුලුමනින්ම වැලදගත්තා කියලා මින් අදහස් වන්නේ නැහැ. වාමාංශික ව්‍යාපාරවල ඉතිහාසය තුලත් අසමානතා දක්නට ලැබෙනවා. නිදසුනක් ලෙස විවිධ ආකාරයන්ගේ බැහැර කිරීම් වාමාංශික ව්‍යාපාර තුලත් දක්නට ලැබුණා. ස්ත්‍රී ව්‍යාපාරය විසින් මතු කළ ස්ත්‍රීන්ගේ ප්‍රජාතාන්ත්‍රීය අභිලාෂයන් වාමාංශය විසින් හොදින්ම නියෝජනය කළේ නැහැ. යුරෝපයේ හා උතුරු ඇමෙරිකාවේ ස්වදේශික ජනයාගේ අයිතිවාසිකම් හෝ කලු ජනතාවගේ හෝ සංක්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් වාමාංශය විසින් මුලුමනින්ම අවශෝෂණය කරගත්තේ නැහැ. ඒ නිසා වාමාංශය ප්‍රජාතන්ත්‍රවාදය සදහා අරගල කරන අතරේම වාමාංශය තුලම ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ වූ අසමානතා තිබුණා.

වසර දහයකට පමණ පෙර ප්‍රංශයේ දක්ෂිණාංශය නියෝජනය කළ සාකෝසි ජනාධිපති ධූරයට පත්වූ අවස්ථාවේ ප්‍රංශ දාර්ශනික ඇලන් බදියු ඉතාම වැදගත් කෘතියක් ප්‍රකාශයට පත්කළා. සාකෝසි නියෝජනය කළ දේශපාලනය ෆැසිස්ට්වාදයට බෙහෙවින් ආසන්න වුවක්. මෙම කෘතිය මගින් කොමියුනිස්ට් උපන්‍යාසය ලෙස ඔහු හැදින්වූ අදහස බදියු ඉදිරිපත් කළා. ඔහුට අනුව වසර 200 ක් පමණ වු කොමියුනිස්ට් ව්‍යාපාරවල ඉතිහාසයේ කේන්ද්‍රීය සංකල්පනය වුයේ සමානාත්මතාවය පිලිබද අදහස. කොමියුනිස්ට් ව්‍යාපාර ඉතිහාසයේ කලින් කල නැගීම් හා වැටීම් වලට ලක්වුවත් සමානාත්මතාවය පිලිබද මෙන්න මේ අදහස එම ව්‍යාපාරවලට කේන්ද්‍රීය වු හා වෙනස් නොවන සුලු වු සංකල්පනයක් ලෙස පැවතුණා. එම ව්‍යාපාර රාජ්‍ය බලය අල්ලා ගන්නට උත්සාහ කළා. ඒ සමානාත්මතාවය සාක්ෂාත් කරගැනීමේ අභිප්‍රාය මත. සමානාත්මතාවය සදහා වූ බහුවිධ උත්සාහයන් යථාර්ථයක් කිරීමේ අභිප්‍රාය මත.

21 වන සියවසේ දී සාකෝසිට එරෙහි අරගලය යන්නෙන් ඇලන් බදියු සංකල්පගත කලේ සමානාත්මතාවය පිලිබද මේ අදහස වඩාත් විශ්වීය කරන්නේ කොහොමද කියන ප්‍රශ්නය. ඔහුගේ සන්දර්භය තුල ප්‍රංශයේ හා යුරෝපයේ සමානාත්මතාවය පිලිබද ප්‍රශ්නය වඩාත් තීව්‍රව පැන නගින්නට පටන් ගත්තා මේ රටවලට සංක්‍රමණය වු අප්‍රිකානු ජාතික ශ්‍රමිකයන්ගේ සමාන අයිතීන් පිලිබද ප්‍රශ්නය මත. බිය පිලිබද අදහස මත යුරෝපය තුල මූලික ප්‍රතිවිරෝධයක් ඇතිවී තිබෙන බව බදියු අදහස් කළා. මා කලින් කී පරිදි හොබ්ස් සංකල්පගත කළ මේ බිය පිලිබද අදහස තමයි මැතිවරණයේ දී සාකෝසි විසින් භාවිතා කරනු ලැබුයේ. එක්කෝ ඒ බිය සංක්‍රමණිකයන් ගැන. ඔවුන් ඇවිත් රැකියා උදුරා ගනීවි, ඔවුන් ඇවිත් ප්‍රංශ ජාතිකයන්ගේ ජීවන අවකාශය උදුරා ගනීවි කියන බිය. එහෙම නැතිනම් වාමාංශයට සමහර විට සාකෝසි විසින් ඉදිරිපත් කළ පොලිස් පන්නයේ පාලනය පිලිබද අදහස පිලිබද වු බිය. ඒ විදිහට තමයි හැමෝම දේශපාලනය අර්ථකථනය කළේ. එහෙම නැතිව සමානාත්මතාවය පිලිබද පරිකල්පනය කරන විකල්ප දේශපාලනයක් පිලිබද අදහසක් තිබුණේ නැහැ. අප අනෙක් මිනිසුන් සමග එක්ව සටන් කරන්නේ කොහොමද. සමානාත්මතාවය සදහා වු අරගලයේ දී අප අනෙක් මිනිසුන් සමග අත්වැල් බැදගන්නේ කොහොමද. බදියු වැදගත් වුයේ මෙන්න මේ ප්‍රශ්න.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත්විට මම හිතන්නේ අප‍ගේ කේන්ද්‍රීය ප්‍රතිවිරෝධතා පටන් ගන්නේ ලංකාව නිදහස ලැබීමත් සමගමයි. මට අනුව උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ජනතාවගේ ප්‍රශ්නයටත් වඩා කේන්ද්‍රීය වු ප්‍රතිවිරෝධතාවය වුයේ වතුකරයේ දෙමළ ජනතාව පිලිබද ප්‍රශ්නයයි. ඔවුන්ට ඡන්ද බලය අහිමි කිරීම. ඔවුන්ට පුරවැසිභාවය අහිමි කිරීම. සමානාත්මතාවය පිලිබද අදහසට ඉන් වූ බලපෑම මොකක්ද. මේ රටේ වාමාංශික ව්‍යාපාරය මෙම ප්‍රශ්නය මොන තරම් දුරට ආමන්ත්‍රණය කළාද. වතුකරයේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නය, පුරවැසිභාවය සදහා ඔවුන්ට තිබෙන අයිතිය, ඔවුන්ගේ සමාජ භූමිකාව ආදී ප්‍රශ්න කොතරම් දුරට වාමාංශය විසින් අවශෝෂණය කරගත්තාද. මම සිතන්නේ මෙතැන අපගේ දේශපාලන ඉතිහාසයේ සහ වාමාංශය පිලිබද අපගේ සංකල්පනයේ යම් හිඩැසක් තිබෙනවා. මෙහිදී ආයෙමත් මතු වන්නේ බිය පිලිබද ප්‍රශ්නය. ඉන්දියාව මොකක් කරයිද. ඉන්දීය සම්භවයක් සහිත ජනයා මොනවා කරයිද. මම සිතනවා මේ ප්‍රශ්නය තවමත් වැදගත් කියලා. අප ජාත්‍යන්තර සහයෝගීතාවය ගැන සිතන්නේ කොහොමද. අපගේ බිය අබිබවා අපට දකුණු ආසියාවේ වෙනත් ජනතාවන් සමග දේශපාලන සහයෝගීතාවයක් ඇති කරගැනීම ගැන කල්පනා කරන්න පුලුවන්ද. ලිබරල් ප්‍රජාතන්ත්‍රයේ රාමුව සංයුක්ත කරන රාජ්‍යය, රාජ්‍යයේ ස්වාධිපත්‍යය සහ ජාතික ආරක්ෂාව ආදියෙන් ඔබ්බට ගිය සමාජ ව්‍යාපාර ගැන අපට පරිකල්පනය කරන්න පුලුවන්ද. උප මහද්වීපයේ වෙනත් රටවල ශ්‍රමිකයන්ගේ ව්‍යාපාර සමග සහයෝගීතාවයෙන් යුක්තව ගොඩනැගෙන ජාත්‍යන්තරවාදී වූ රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදයක් පිලිබදව අපට සංකල්පනය කළ හැකිද.

නව ලිබරල් රාජ්‍යය තුල ප්‍රජාතන්ත්‍රවාදය

මේ මොහොතේදී ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය යෝජනා කරන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ සමාජ ගිවිසුම-සමාජ ආරක්ෂණයන් තහවුරු කිරීම හෝ වේවා, සහනාධාර තහවුරු කිරීම හෝ වේවා, නිදහස් අධ්‍යාපනය හෝ නිදහස් සෞඛ්‍ය සේවාව තහවුරු කිරීම හෝ වේවා පසුගිය දශක තුනක කාලය තුල බරපතල ප්‍රහාරයකට ගොදුරු වී තිබෙනවා. ධනවාදයේ සමකාලීන අවධිය වන නව ලිබරල්වාදය තුල ශ්‍රී ලංකාවේ පමණක් නෙමෙයි ලෝකයේ වෙනත් බොහෝ කලාප වල මෙම තත්වය දැකගත හැකියි. ධනවාදය තුල රාජ්‍යය ප්‍රාග්ධන සමුච්චනයට පහසුකම් සපයනවා. ශ්‍රමිකයාව සූරාකෑම දිගටම කරගෙන යන්නට සහ එනයින් ප්‍රාග්ධන සමුච්චනය සුමටව කරගෙන යන්නට පුලුවන් රාමුව එය විසින් ආරක්ෂා කරනවා. එහෙත් ඒ අතරේම ධනවාදය අර්බුදවලට මුහුන දෙනවා. 1970 ගණන්වල ඇති වු දීර්ඝ කාලීන අර්බුදය විසින් නව ලිබරල් ධනවාදය නම් වු ධනවාදයේ අලුත් අවධියකට උපත ලබා දුන්නා. නව ලිබරල් ධනවාදය තුල කම්කරුවන් කර්මාන්තශාලා තුල සූරාකෑමේ හුරුපුරුදු සූරාකෑමේ ප්‍රකාරයට අමතරව ‍මාක්ස්වාදී භූගෝල විද්‍යාඥයෙක් වන ඩේවිඩ් හාවි විසින් අස්වාමීකරණ සමුච්චනය ලෙස හදුන්වනු ලබන ආකාරයටත් ප්‍රාග්ධනය සමුච්චනය වෙනවා. වෙනත් වචනවලින් කියනවා නම් නව ලිබරල්වාදය තුල ජනතාව සතුව තිබෙන දේවල් ඔවුන්ට අහිමි කිරීම, එනම් ඔවුන් අස්වාමීකරණයට ලක්කිරීම මාර්ගයෙන් ප්‍රාග්ධනය සමුච්චනය වීම ප්‍රධාන පෙළේ සමුච්චන ප්‍රකාරයක් ලෙස මතු වී තිබෙනවා. මෙහිදී මහජනයා සතු ඉඩම්, අධ්‍යාපනය සදහා මහජනයාට තිබෙන අයිතිය, මහජනයා හුරුපුරුදු වී සිටින සෞඛ්‍ය සේවාවන්, ගොවීන්ට ලැබුණු සහනාධාර, ආහාර සුරක්ෂිතතාවය සදහා ජනතාවට තිබෙන අයිතිය මේ ආදී අසීරුවෙන් අරගල කොට දිනාගනු ලැබු දේ ජනතාවට අහිමි කිරීම මගින් ප්‍රාග්ධනය සමුච්චනය වෙනවා. නව ලිබරල් ධනවාදය තුල මේ ආකාරයේ අස්වාමීකරණයන්ගේ බහුවිධ ප්‍රකාරයන් ප්‍රබල ලෙස උද්ගත වී තිබෙනවා.

මේ සමග රාජ්‍යයේ කැත මුහුණ වෙන කවරදාටත් වඩා ඉස්මතු වී පෙනෙන්නට පටන් ගෙන තිබෙනවා. ඒ අනුව ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ වෙස් මුහුණ ගැලවී වැටෙනවා. හොබ්ස්ගේ කාලයේ ඉදලාම නූතන රාජ්‍යය හිංසාකාරී එකක් තමයි. හැබැයි දහනම වන සියවසේ සහ විසි වන සියවසේ මුල් කාලයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ වෙස් මුහුණ ඉදිරියට ආවා. රාජ්‍යය සැබැවින්ම හිංසාකාරී වුවත් එය හිංසනීය නොවන බවට ඒ අනුව වෙස්වලාවක් තිබුණා. එහෙත් නව ලිබරල් රාජ්‍යය පැන නැගීමත් සමග එනම් නව පන්නයේ ධනවාදයේ කේන්ද්‍රීය සංරචකය බවට අස්වාමීකරණ සමුච්චනය පත්වීමත් සමග මහජනයා අසහනයට පත් වීම වැඩි වැඩියෙන් සිදුවන අතර නව ලිබරල් රාජ්‍යය ඉතාමත් දෘශ්‍යමාන ලෙස ප්‍රචණ්ඩකාරී ගති ලක්ෂණ ඒ අනුව විදහා පානවා. ධනවාදයේ නෛසර්ගික ලක්ෂණයක් වන අර්බුද සහ නැවත නැවත ඇතිවෙන අර්බුද විසින් මෙම ගති ලක්ෂණය වඩාත් ප්‍රකට ලෙස ඉස්මතු කෙරෙනවා. දැන් ශ්‍රී ලංකාව තුල අපට එක පාරට අග්‍රාමාත්‍යවරයා විසින් දැනුම් දී තිබෙනවා රට අර්බුදයකට ලක්වී තිබෙන බව. මම සිතනවා රාජ්‍යයේ ප්‍රචණ්ඩකාරී මුහුණ ඉදිරියේ දී වඩාත් ‍හොදින් අපට බලාගැනීමට පුලුවන්කම ලැබේවි කියලා. යහපාලනය ගැන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන මොන තරම් දේවල් කියනු ලැබුවත් අර්බුදයක් මතුවන විට ඉතා ඉක්මනින් රාජ්‍යයේ හිංසාකාරී ස්වභාවය එලියට පනිනවා.

අප රැඩිකල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන කොමියුනිස්ට් උපන්‍යාසය ගැන සමානාත්මතාවය සදහා වු අරගලය ගැන සිතද්දී අප සිතන්නේ රාජ්‍යයෙන් පිටත සිදුකරන අරගලයන් ගැන. එහෙත් අපගේ අරගලය අපට ඊට සීමා කළ නොහැකියි. අපගේ අරගලය රාජ්‍යයට එරෙහිව කරනු ලබන අරගලයක් ද වෙනවා. මා සිතන්නේ මෙහිදී අපට මාක්ස්ගේ ව්‍යවහාරයෙන් උගත හැකියි. කොමියුනිස්ට්වාදය සදහා එනම් අපට සමානයන් ලෙස නිෂ්පාදනය කල හැකි වන ලෙස, පවතින නිෂ්පාදන සම්බන්ධතා අහෝසි කිරීම සදහා අරගලයක් පැවැතිය යුතුයි කියලා මාක්ස් විශ්වාස කළා. හැබැයි ඒ වගේම මාක්ස් කම්කරු පංති අරගලවල වැදගත්කම ද නිරීක්ෂණය කළා. පැය දොලහේ හෝ දහයේ තිබූ වැඩ දිනය පැය අට දක්වා අඩු කිරීමට එනම් වැඩ කාලය අඩු කරගැනීම සදහා වු අරගලය ආදිය. ඒ නිසා අරගලය පෙරමුණු දෙකක සිදුවිය යුතු අරගලයක් ලෙස මාක්ස් නිරීක්ෂණය කළා. එනම් නිෂ්පාදන සම්බන්ධතාවල ස්වභාවය වෙනස් කිරීම සදහා, ශ්‍රමිකයන් සූරාකෑමෙන් විමුක්ත කිරීම සදහා එනම් ශ්‍රමිකයන්ගේ විමුක්තිය සදහා වූ අරගලය. හැබැයි ඒ වගේම ශ්‍රමිකයන් සූරාකෑමට ලක්වීමේ පරිමාව අඩු කිරීම සදහා වූ අරගලය. වෙනත් වචනවලින් කියනවා නම් බහුවිධ තලවල ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය.

මධ්‍යගත ඒකීය රාජ්‍යය සහ ජාතික ප්‍රශ්නය

ප්‍රජාතන්ත්‍රවාදය පිලිබදව කථා කරන විට මම සිතන්නේ සමකාලීන මොහොත තුල අතිශය තීරණාත්මක ප්‍රශ්නයක් වන ජාතික ප්‍රශ්නය ගැන අප කථා කළ යුතුයි. මේ රටේ ජාතික ප්‍රශ්නය නොවිසදුනු ගැටලුවක් ලෙස දිගටම ඉතිරි වී තිබෙන්නක්. මෙතනදී එක් ප්‍රබල කරුණක් මා අවධාරණය කරන්නට කැමැතියි. ස්වයං නිර්ණය සදහා ජාතීන් සතු අයිතිය ගැන ලෙනින් කථා කරන විට ස්වයං නිර්ණය පිලිබද ප්‍රශ්නය ලෙනින්ට වැදගත් වුයේ එය ප්‍රජාතන්ත්‍රවාදය සදහා වැදගත් වූ නිසා. ප්‍රජාතන්ත්‍රවාදය සාක්ෂාත් වීමට නම් සෑම ජනතාවකට තම ඉරණම පිලිබද තීරණ ගැනීමේ අයිතිය තිබිය යුතුයි. යටත් කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය කියන දෙකටම එක විට පවතින්නට බැහැ. මෙන්න මේ සන්දර්භය තුල අප වටහා ගත යුතුයි දැඩි ලෙස මධ්‍යගත වු ඒකීය රාජ්‍යය පිලිබද අදහස සමග ප්‍රජාතන්ත්‍රවාදය කිසිසේත්ම එකට යන්නේ නැති බව. ලංකාව තුල මධ්‍යගත ඒකීය රාජ්‍යය සහ විධායක ජනාධිපති ක්‍රමය 1970 ගණන්වල අග භාගයේ ඉදලා නව ලිබරල්වාදය සමග ජනයා සතු දෑවල භුක්තිය ඔවුන්ට අහිමි කිරීම සමග ගැටගැසී තිබෙනවා.

ජේ.ආර්.ජයවර්ධන 1978 දී විවෘත ආර්ථිකය හෙවත් ගෝලීය වශයෙන් එය හදුන්වනු ලබන නම වන නව ලිබරල් ප්‍රතිසංස්කරණ පටන් ගත් කාලයේම විධායක ජනාධිපති ක්‍රමය ඇති කිරීම හා අපගේ ව්‍යවස්ථාව තුල ඒකීය රාජ්‍යය බලගතු කිරීම අහම්බයක් නෙමෙයි. වෙනත් වචනවලින් කියනවා නම් ශ්‍රී ලංකාව තුල නව ලිබරල් ධනවාදය උද්ගත වුයේ සහ විධායක ජනාධිපති ක්‍රමයට සමගාමීව මධ්‍යගත ඒකීය රාජ්‍යය ශක්තිමත් වූයේ එකම කාලයකදී. කොහොම උනත් ජාතික ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් අප බැරෑරුම් ලෙස කල්පනා කරනවා නම් ඒකීය රාජ්‍යය අහෝසි කිරීම පිලිබද ප්‍රශ්නය අපට මග හැර යා නොහැකියි. ජාතික ප්‍රශ්නය මේ රටේ ජීවත් වන සියලු සුලු ජනවර්ග සමග දෙමළ කථා කරන ජනතාව, මුස්ලිම් ජනතාව සහ වතුකරයේ දෙමළ ජනතාව සමග ගැට ගැසී තිබෙන ප්‍රශ්නයක්. ඒ දිශාවට තබන පළමු පියවර වන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ ඒකීය රාජ්‍යය ව්‍යුහය විසි කර දැමීම. මම සිතනවා තමුන්ව වාමාංශික යැයි හදුන්වා ගන්නා කිසිවෙක්ටම මෙම ප්‍රශ්න මග හැර යා නොහැකි බව. එක පැත්තකින් රාජ්‍යයට අභියෝග කළ යුතුයි රාජ්‍යය හැකිලී යා යුතුයි කියලා කියන ගමන් අනෙත් පැත්තෙන් දැඩි ලෙස මධ්‍යගත ඒකීය රාජ්‍යයක් වෙනුවෙන් පෙනී සිටින වාමාංශික දේශපාලනයක් කියන්නේ එහෙම් පිටින්ම පරස්පරයක්.

මූලාශ්‍ර‍ය අක්ෂය

Back to Top