Sri Lanka Brief
පුවත් විශේෂාංගපළාත් පාලනය නන්තාරකරණයෙන් බේරාගැනීමට නම් – රංජිත් හේනායකආරච්චි

පළාත් පාලනය නන්තාරකරණයෙන් බේරාගැනීමට නම් – රංජිත් හේනායකආරච්චි

by

අද වන විට නැවත පළාත් පාලන ඡන්ද පිළිබඳ විවිධ දේශපාලන පක්ෂ සහ බලවේග විසින් හඬ නගති. පසුගිය මහින්ද රාජපක්ෂ පාලන සමයේ ලංකාව එකම මැතිවරණය සැණකෙලියක්ව පැවතුණි. යලට මහට දේශපාලන අධිකාරියට හිතැති ලෙස කුමක් හෝ ඡන්දයක් පැවැත්වීම එකල සිරිත විය. ඒ ගැන හඬක් නැගීමක් නොතිබුණ තරම්ය. සියලු තීරණයන්හි අධිකාරය තමා සතු කරගෙන සිටි රාජපක්ෂ තමන්ගේ සිතු මනාපයට මිස (තමන්ට කැමති පරිදි නීතිය හීලෑ කරගෙන) නීතියකට යමක් කරනු නොලැබීය. නමුත් අද වන විට වල්වැදී සිටි නීතිය නැවත එක පියවරක් නීතියේ ආධිපත්‍ය දෙසට තබා ඇත. අධිකරණ පද්ධතිය නැවතත් නීතිය ක්‍රියාත්මක කරවීමකට අරඅදින බව පෙන්නුම් කරයි. ඒ තුලම නීතියට අනුව සිදුවිය යුතු පළාත් පාලන ආයතනයන්හි මැතිවරණ පිළිබඳව හඬ නැගීමට ඉඩක්ද ලැබී තිබේ.

ලංකා දේශපාලනය අභියස ඇති ප්‍රධානම අභියෝගයන් අතර ඇති එකම ප්‍රධානම අභියෝගයක් වන්නේ නන්නත්තාරකරණයට හසුකර ඇති පළාත් පාලන දේශපාලනය සහ දේශපාලන ආයතන මෙම නන්නත්තාරකරණයෙන් බේරා ගැනීමයි. ලංකා දේශපාලනය ප්‍රජාතන්ත්‍රවාදීකරණය කිරීමට නම් මෙම පළාත්පාලන දේශපාලනය හැදියාවක් ඇති දේශපාලනයක් බවට පත්කළ යුතුව ඇත. එසේ නොකර ලංකා සමාජය ප්‍රජාතන්ත්‍රවාදී ගමනකට නතු කර ගත නොහැක.

මහින්ද සමයේ බිහිවුන පළාත් දේශපාලන ආධිපත්‍ය දරණ සියළුම පාහේ දේශපාලඥයන් (ඉතා සුළුතරයක් හැර) හොරුන්, තක්කඩීන්, මිනීමරුවන්, ලිංගික අපරාධකරුවන් ආදී මෙකී නොකී සමාජ කුණුගොඩවල් වන පුද්ගලයන්ය. සාමාන්‍ය යෙන් නීතියක ආධිපත්‍යයක් ඇති රටවල නම් මොවුන් අයත් වන්නේ ප්‍රාදේශීය පාර්ලිමේන්තුවලට නොව රටෙහි ඇති බන්ධනාගාර, පුනරුත්ථාපන කඳවරු සහ මානසික රෝහල්වලටය.නමුත් මහින්ද පාලනය (සමහර විට එය මහින්ද චින්තනය විය හැක) විසින් මොවුන් තම පක්ෂ නියෝජිතයන් කර ප්‍රාදේශීය පාර්ලිමේන්තුවල නියෝජිතයින් බවට පත්කර ප්‍රාදේශීය පාලනය මොවුන් අතට පත්කරනු ලැබීය. මෙය එක්සත් ජාතික පක්ෂය පවා එක්තරා පමනකින් කළ නමුත් රාජපක්ෂලා මෙන් සියළු බලය ඔවුන් අතට පත්කරනු නොලැබීය.

ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම දේශපාලනය තුල බලය හිමි කොටස් පගා ගැනීම්, යටි මඩි ගැසීම් ආදී වංචාවන්හි යෙදෙන බව ප්‍රකට රහස්ය. නමුත් මේ සියල්ල කෙරෙනුයේ ඉතා සූක්ෂම ආකාරයකට නීතියේ කඩඉම් පනිමින් බව අප දනිමු. හොඳම උදාහරණය පසුගිය දිනවල එලිදරව් වූ පැනමා පේපර්ස් දූෂණයයි. ලංකා දේශපාලනයේද මූල්‍ය දූෂනයන් එදා මෙදා තුර පැවතුනි. නමුත් මහින්ද චින්තනය විසින් අපරාධයන් සහ දූෂණයන් සාමාන්‍ය සමාජ සිද්ධීන් බවට පත්කිරීම තුලින් එය සමාජ ජීවිතයේ එදිනෙදා දෙයක් බවට පත්කරනු ලැබීය. රාජ්‍ය බලය ඇති අය කරන සෑම දෙයක්ම සාධාරණ සහ නිවැරදි දෙයක් ලෙස පෙන්නූ අතර ඔවුනගේ විරුද්ධවාදීන් සාපරාධී මිනිසුන් ලෙස හංවඩු ගැසූ අතර එවැන්නන් මරා දැමීම පවා සාධාරණ බව සමාජ ගත කරනු ලැබීය.

මහින්ද රාජපක්ෂ බලයට එනතුරු මූළ්‍ය දූෂණයන්ට සම්බන්ධ දේශපාලඥයන් ඒවායේ යෙදී තිබුනානම් තිබුනේ ඉතා සූක්ෂම ආකාරයකින් සහ රහසිගතවයි. අල්ලස් ගැනීම වැනි දූෂනයන් තිබුනා වුවත් ඒවා සෑම විටම නීතියට, නීතියේ ආධිපත්‍යයට බියෙන් රහසිගතව කරනු ලැබීය. නමුත් මහින්ද චින්තනය යටතේ නීතිය ප්‍රශ්නයක් නොවීය. නීතිය මහින්ද අත ඇති මෙවලමක් බවට පත්වේ. අධිකරණය මත රාජපක්ෂවරු සහ ඔහුගේ කල්ලිය බලය පැවැත්වූවා පමණක් නොව ඔවුන් විනිශ්චයකාරවරු, අග්‍රවිනිශ්චයකාරවරු ලවා තමන්ගේ තීරණය අධිකරණය තීරණයක් ලෙස ප්‍රකාශ කරවනු ලැබීය. එතුලින් මහින්දගේ කැමැත්ත නීත්‍යානුකූල බවක් දෙනු ලැබීය.

රාජපක්ෂ කණ්ඩායම රටේ සම්පත් තම පුද්ගලික උවමානවන් සඳහා පරිහරණය කරද්දී ඔවුන් සමග ඔවුන්ගේ පක්ෂයේ සිටි සියළු දෙනාටම ඉහළ සිට පහලට ඒ ඒ ප්‍රමාණයෙන් දූෂණය තුලින් මුදල් හරි හම්බකර ගැනීමට ඉඩ සැලසුවා පමණක් නොව ඔවුනට එසේ දූෂ්‍ය ආකාරයෙන් මුදල් හරි හම්බකර ගැනීමට උපදෙස් ද දෙනු ලැබීය. සියලුම ප්‍රාදේශීය දේශපාලඥයෙකුට පවා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකුට පවා කොතනකින් හෝ මූල්‍ය දූෂණයකට රටේ සම්පත් සොරා කෑමට මාර්ග මහින්ද විසින් විවර කර දෙනු ලැබීය. මෙතුලින් මොහුගේ පාක්ෂිකයින් වන ප්‍රාදේශීය දේශපාලඥයින් මොහුගේ අතේ නැටවිය හැකි කොටසක් බවට පත්කරනු ලැබීය. ප්‍රාදේශීය දේශපාලනයේදී මහින්දගේ උවමනාවන් අනුව හැසිරෙන බලු රැළක් බඳු කණ්ඩායමකට හැර අන් කිසිවෙක් කිසිවෙකුට නාම යෝජනා දෙනු නොලැබීය. එමෙන්ම ඔහුගේ සෑම අනුගාමිකයෙකුටම අඩුම තරමෙන් බෝක්කුවක්වත් සදා නැතිනම් ලයිට් කනුවක් දමා හෝ එතුලින් රාජ්‍ය මුදල් ගසා කෑමට මාර්ග විවර කර දෙනු ලැබීය. බලයට වහ වැටුන දූෂනයට ගිජු වුන ප්‍රා දේශීය ආවතේවකරුවන් නැතිනම් එහෙයියන් පිරිසක් ප්‍රාදේශීය දේශපාලන අධිකාරය තුල බලයට පත් කරනු ලැබීය. මේ ආකාරයෙන් නන්නත්තාරකරණයට හසුකරනු ලැබූ ප්‍රාදේශීය දේශපාලනය සහ එහි දේශපාලඥයන් අද මහින්දවම ඉල්ලයි. ඒ ඔවුනට ඉන් පෙර නොලැබූ සම්පතක් මහින්ද විසින් ලබා දුන් හෙයිනි. ලංකා රාජ්‍ය සම්පත යන කේක් ගෙඩියෙන් කුඩු ටිකක් හෝ මොවුන්ගේ තොලටත් හැලෙන්නට සැලැස්වූ බැවනි. මහින්ද නොමැති තැන, ඒ දේශපාලනය නැති තැන ඔවුනටද පැවැත්මක් නැත්තේය. ඔවුන් එය හොදින් දනී. එනිසාම ඔවුන් මහින්ද වෙනුවෙන් දිවි දීමටද සූදානම්ය.

මූල්‍ය වංචාවලට අමතරව මෙම ප්‍රාදේශීය දේශපලඥයන් මිනිමැරූ ආකාරය, ප්‍රසිද්ධියේ ස්ත්‍රීනට ලිංගික බලහත්කාරකම් කළ ආකාරය, ඔවුනගේ ක්‍රියා හෝ මහින්ද කල්ලිය විවේචනය කළ අයට අත පහ හෝ ජීවිතය පවා අහිමි කළ ආකාරය නොදන්නේ ඒවා දැන ගැනීමට අකමැති අය පමනි. ඒවා නොදැක්කේ ඒවා පෙනුන බව නොපෙනීමට දෑස් වසාගෙන සිටි අය පමනි. එනිසා ප්‍රාදේශීය දේශපාලනය සහ එහි බලය හොබවන මෙම තක්කඩින්ගෙන් එය බේරා ගත යුතුව ඇත. අපරාධ කරුවන් අයත් වන්නේ පාර්ලිමේන්තුවලට නොව බන්ධනාගාරවලටය.

ප්‍රාදේශීය දේශපාලන බලය සඳහා අලුතින් මැතිවරණ පැවැත්වීමට කාලය පැමිණ ඇත. මහින්ද චින්තකයන්ම තවදුරටත් මේවාට පත්කරනවාද? නැතිනම් අලුත් දේශාපාලයක් ඇරඹීම සඳහා දූෂණයෙන් තොර මිනිසුන් මෙම ආයතනවලට යවනවාද යන්න තේරීම සමාජය සතු ‍කාර්යයි.

මෙතෙක් පක්ෂවලින් නාම යෝජනා දීමේදී (විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ) තක්කඩීන් රැළකට නාමයෝජනා දුන් බව අප දනිමු. එය නතර කිරීමට මෙම තක්කඩීන් වෙනුවට යහපත් දේශපාලඥයනට නාම යෝජනා දීමට තම තමන්ගේ පක්ෂවලට බලකිරීම පුරවැසියා සතු වගකීමයි. එය නොතකා තව දුරටත් මෙවැනි තක්කඩිනට නාම යෝජනා දෙන පක්ෂවලට ඡන්දය දීමෙන් වැලකී සිටීම නැතිනම් එම පක්ෂ වර්ජනය කිරීම පුරවැසියා සතු වගකීමකි. මහින්ද කල්ලිය වැනි කොටස් නැවත වතාවක් තම හිතැඟියන්ගේ ලැයිස්තු ඉදිරිපත් කරනු ඇත. සමාජයේ කොටසක් ඔවුනට ඡන්දය දීමත් වැලකිය නොහැක. ඒ අප සමාජය තුල තාමත් වහල් මනසක් ඇති ගැති මිනිසුන් විශාල ප්‍රමාණයක් සිටින බැවිනි. නමුත් තක්කඩීන්, අපරාධකරුවන්, දූෂකයන් පිටු දකින මනසකට හිමිකම් කියන මිනිසුන් අප සමාජය තුල  ඊට වඩා විශාලය. ඔවුන් තම තමන්ගේ පක්ෂ නායකත්වයට යහපත් මිනිසුන්ට නාම යෝජනා දෙන ලෙස බලපෑම් කළ යුතුය. ලංකා සමාජය සහ එහි ප්‍රාදේශීය දේශපාලනය නන්නත්තාරකරණයෙන් බේරා ගත හැකි වන්නේ එවිට පමනි. ප්‍රාදේශීය දේශපාලනය මෙම පාදඩකරණයෙන් මුදවාගැනීමම ලංකා සමාජය ප්‍රජාතන්ත්‍රවාදය දෙසට පනින විශාල ඉදිරි පිම්මකි. එසේ මෙම අභියෝගය ඉදිරි ප්‍රාදේශීය මැතිවරණයේදී ජය ගැනීම ලංකා සමාජය මුහුණ පාන විශාලම අභියෝගයයි.

Back to Top