Sri Lanka Brief
විවරණමෝඩ රජුගේ කවට භික්ෂුව – නිලන්ත ඉලංගමුව

මෝඩ රජුගේ කවට භික්ෂුව – නිලන්ත ඉලංගමුව

by

( මෙම භික්ෂුව පිටිදූවේ සිරිධමම නම් වේ)

මෝඩ රජා සහ රජවාස කපටි ආරක්ෂකයා වටා ගෙතී ඇති කතාව එක්තරා භික්ෂුවක් විසින් මෑතකදී යළිත් තම “ධර්මානු දේශනාවකදී”  මතක් කරමින්, රජා සහ ග්‍රාමසේවක අතර ඇති වෙනස පැහැදිලි කරනු ලැබුවේ , තම කුපාඩි ජීවිතයට වීරත්වයක් ලබා දීම සඳහාය. එය අදාළ භික්ෂුව ඉතා සාර්ථකව සිදු කොට ඇත. හෙතමගේ හඬට නායකත්වය ඇහුම්කම් දී ඇත.

එනම්, හෙතමගේ “ ශ්‍රී මුඛයෙන්”, වදාළ ධර්මයට අනෙක් පාර්ශවයෙන් පිළිතුරු ලබා දී ඇත. අදාළ භික්ෂුවගේ අරමුණ ඉටු වී ඇත. අදාළ භික්ෂුවට අවශ්‍ය වූයේද එයයි. අරාජික සමාජයක මෙවැනි දෑ අතිශය බහුලය. ගෞතම බුදුන්ටත් බුද්ධ ධර්මය ඉගැන්වීමට තමන්ට හැකිබව පෙන්වීමට එකලද සාසනය තුළ සිටි අයවලුන් කටයුතු කළා සේම මෙකලද එය එසේම පවතී. මේ ගැන පුදුම විය යුතු නැත. මිනිස් සමාජයේ ස්වරූපය මෙයම වේ. සමාජයක් නිවැරදිව චලනය නොවුණ තැන, ලිඳක ඇති ජලය දීර්ඝ කාලයක් නොසෙල්වී පැවතීමෙන් පල් වී කොළ රොඩු මතුපිට පාවෙන්නා සේ සමාජයේද මතුපිට තලය කොළ රොඩු වැනි අපද්‍රවය වලින් පිරීයයි.

ඕනෑම අලුගුත්තේරු කථාවක් සිදුකොට එය මාධ්‍යයේ අවදානය දිනාගැනීමට පමණක් නොව ඊට ප්‍රතිචාර ලබා ගැනීමටද ඇතැමුන් සමත් වෙති. හාස්‍යය ජනක කරුණ වනාහී එකී ඔලමොට්ටල කතාවලට නායකත්වය ප්‍රතිචාර ලබා දීමය. එමගින්, ගොබ්බ භික්ෂුව වීරයෙකු බවට පත් වේ. හෙතමගේ පෞද්ගලික දේශපාලන ආශාවන් සමාජයේ අවශ්‍යතාවයන් බවට පත් වේ. එවිට, තම පෞද්ගලික ගැටලු සහ ආරවුල් වෙනුවෙන් පෙනී සිටීමට තමන් වටා පිරිසක් තනාගත හැකිය.

බොහොමයක්, නිර්මල දෑ වල නිර්මලත්වය වනසමින් තම පැවැත්ම සඳහා ඒවා  මිත්‍යාවන් වලින් පුරවනු ලැබූ   හොරුන් මෙවැනි උපායන් නිතර අත්හදා බලති. අදාළ භික්ෂුව තම වීරත්වය සඳහා පාර කපාගනු ලබන්නේ, අතිශය සංවේදී කාරනාවක් ඔස්සේ, රටේ නායකත්වය නිර්දය ලෙස විවේචනය කරමින්, ග්‍රාම නිලධාරියා රජෙකු නොවිය යුතු බව කීමෙනි. ඔහුගේ සමීකරණය සාදාරනීකරණය කිරීම සඳහා ආකර්ශනීය වාග් මාලාවක් භාවිතා කරන්නේය. තම දිරාගිය ගරුත්වය වසා දැමීම සඳහා භාවිතා කරන වෙස්මුහුණ ඊට කදිම මෙවළමක් කරගන්නේය. බුද්ධ සාසනය වනසා ඇත්තේ මෙවැනි අලුගුත්තේරුවන් විසින් බව අමුතුවෙන් කිව යුතු නොවේ. නමුත් ඔවුහු දිනෙන් දින රටේ මහජනතාව රවටමින්, රැවටීම තම පැවැත්මේ අවිය බවට පත්කර ගනිති. මෙය ඇසූ බොහෝ දෙනෙකු “ හාමුදුරුවනේ නියම බණ පොඩ්ඩ” යැයි කියා තම මානසික ආස්වාදය  විඳිමින් අනෙකාව ප්‍රමෝද කිරීමට හතරගාතෙන් වැඳ වැටේ. එවිට අදාළ භික්ෂුව මීළඟ දේශනය තවත් වැඩියෙන් බැනවැදිය යුතු යැයි සිතති. රටේ අභාග්‍යය මෙයයි.

වසර තිහක් තිස්සේ පැවති යුද්ධයේ ( දකුණේ කැරලිද ඇතුළුව)  රටේ පසට දියකරනු ලැබූ මොළගෙඩි වලින් පසු අප හමුවේ පෙනී සිටින යතාර්ථය මෙයයි. රටේ නැතිවීගිය බුද්ධිය, මෙන්ම සැබෑ වීරත්වය යළි තහවුරුකරන තෙක් මුහුණදීමට ඇති කටුක යතාර්ථය මෙයයි. මේ නිසා, රජාගේ කෑම රටේ ප්‍රශ්ණයක් බවට පත්කළ හැකිය. රජාගේ රාජ ජීවිතය නැති තැන රටට පාලනයක් නැතැයි කියමින් රටේ මතයක් පතුරුවා හැරිය හැකිය. ශ්‍රී ලංකාව වූ කලී ලෝකය යැයි පෙන්වමින් තම පැවැත්ම උදෙසා අනෙකා මුලාවේ හෙළිය හැකිය. මෙය ඔවුහුගේ පැවැත්මේ මග වේ. මෙරට හදි හූනියම් වලින් පිරී ඇත්තේ මේ නිසාය.

 

මෙවැනි තැනක නායකත්වය වඩාත් සිහියෙන් කටයුතු කිරීම සහ තමන් ප්‍රතිචාර දැක්විය යුත්තේ කුමකටද, ප්‍රතිචාර නොදැක්විය යුත්තේ කුමකටද යන්න මනා සිහියෙන් කටයුතු කළ යුතු වේ. අදාළ භික්ෂුවගේ පෞද්ගලික ගැටලුව තමන් රටේ ජනතාව හමුවේ වීරයෙකු වන්නේ කෙසේද යන්නය. ඔහුට වීරයෙකු වීමට ඇති එකම මාර්ගය අනෙකා ඇවිස්සීමෙන් කියන අමුලික මෝඩ තර්ක රට තුළ කතාබහට ලක් කිරීමය. එය ඔහු සාර්ථකව කළේය. තමන්ට සවන්දෙන්නාගේ මෝඩකම තම වීරත්වයේ මාර්ගය බවට පත් කර ගත්තේය. ඊට අනුග්‍රහය දක්වන රන්-රිදී වෙළෙන්දන් සේම ඔවුහු මෙහෙවන මාධ්‍යය භික්ෂුවගේ පණිවිඩය සමාජ ගැටලුවක් බවට පත්කිරීම සඳහා කටයුතු කළේය. තම පණිවිඩය, රටේ නායකත්වය ප්‍රතිචාර ලබාදෙන තත්වයට ඇද දැමුවේය.

 

අරාජික රටක් භාරගත් ආර්. ප්‍රේමදාස මහතාට සිදුවූයේද මෙයයි. ඉන්පසු ඔහු මිත්‍යාවෙන් වෙලීමට පටන් ගත්තේ යැයි තතු දන්නෝ දනිති. අනෙකාට ගැටලුව වූයේ ප්‍රේමදාස මහතාගේ අතීත දුක්වේදනා සහ කටුක ජීවිතය මිස ඔහු අත්පත් කරගත් ජයග්‍රහණ නොවේ. සිංහල ජාතියේ කුහකකමේ ගැඹුර මෙයයි. මෙය ව්‍යාකූල කරනු ලැබූ බුද්ධ ධර්මයෙන් වසා ඊට දේශහිතෛශී සළුපිලි අන්දවා ඇත. මන්ද එවිට අනෙකා මුලාවේ හෙළීම පහසුය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, වඩාත් වෙනස් තාලයකින් තමන්ට අනෙකාගේ වචනවලින් සිදු වූ වේදනාවට ප්‍රතිචාර දැක්වූයේය. ඇසුණු සැනින් ප්‍රතික්ෂේප කළයුතු , සම්ප්‍රප්පලාපයක් නායකත්වයට බලපෑමක් සිදුකොට ඇත. පරිපාලනයක් දුර්වල විය හැක්කේ මෙවැනි කරුණු හේතුවෙනි. අදාළ භික්ෂුවගේ මෙන්ම ඔහුගේ ආවතේවකරුවන්ගේ අපේක්ෂා බැහැරලීම සඳහා වඩාත් වැදගත් වන්නේ නිසි කළ නොනිසි දෑ නිසි ලෙස බැහැරලීමය. නායකත්වයක ජීව ගුණය රඳා පවතින්නේ එය මත යැයි සිතේ.

මීට අදාළ හාස්‍යජනක කථාවක් සිහියට නැගේ. එක්තරා කාලයක පුද්ගලයින් තිදෙනෙකු මග සොයාගත නොහැකිව ඔබ-මොබ ඇවිදිමින් තමන්ට නවාතැන් ගැනීමට හැකි ස්ථානයක් සෙවූහ. සැනකින් ඔවුහු ගමන් කරන මාර්ගයේ එක්පසෙක වැටී සිටින පුද්ගලයෙකු හමු විය. සැනකින් ඒ වෙත දිව ගිය ඔවුන් තිදෙනා අදාළ පුද්ගලයාට නැගිටීමට සහය වූහ. වැටී සිටි පුද්ගලයා තමන්ට සහයෝගය දුන් අමුත්තන් තිදෙනාට ස්තූති කරමින් තමන් ගැන විස්තරයක් ඉදිරිපත් කළේය. එනම් තමන් රටේ රජුගේ මූලික ආවතේවකරු හෙයින්, කළ උදව්වට උපකාර ලෙස සතියක් රජවාසලේ රැඳී සිටීමට ආරාධනා කළේය. සැනකින් අදාළ ආරාධනය පිළිගත් ඔවුහු රජවාසල වෙත ගොස් රජුගේ ආවතේවකරු සමග රාත්‍රී භෝජනය වැළඳුවෝය. රාත්‍රී අහාරය වළඳන අවස්ථාවේදී රජු මෙම පුද්ගලයින් තිදෙනාට තරගයකට ඇරයුම් කරනු ලැබුවේ, රජවාසල ඉතුරු වී ඇති මැකරොනී ප්‍රමාණය එක් පුද්ගලයෙකුට පමණක් සෑහෙන බැවිනි. එ පසුදින අහාරය සඳහාය. තරගය වූයේ, වඩාත් වටිනා සිහිනය දුටු පුද්ගලයාට අදාළ මැකරොනී ලබා ගත හැකි බවය. රාත්‍රී භෝජනය අහවරකොට සියල්ලෝම නින්දට ගියෝය. පළමුවැන්නා, තමන් සතුව රන් කහවනු මිලියනයක් ඇතැයි සිහින දුටුවේලු. දෙවැන්නා රජවාසලේ උරුමකරුවා බවට පත් වූයේ යැයි සිහින දුටුවේලු. තෙවැන්නා, නිදිමරා ඉතුරු වී ඇති සියලුම මැකරොනී ප්‍රමාණය අනුභව කළේලු. රටක මූලික පරිපාලන ක්‍රමවේදය සිහින සහ අතීත මුලාවන් මත තීරණය වන විට සිදුවන ඇබැද්දිය මේ හා සමානය. ඇතැමුන් සිහින දකිති. තවකෙකු නිදිවරා හොරකම් කරති. තම හොරකම් ඔප්පු නොවීම සඳහා සියලු සාක්ෂි වනසති. එවිට, නායකත්වය රට හමුවේ ප්‍රතික්ෂේප වන්නේ නායකයාටද නොදැනිමය.

ජනාධිපති මෛත්‍රී වටා ඒකරාශී වෙමින් පවතින කල්ලිය, ජනාධිපතිවරයාගේ ශුද්ධ දේශපාලන උපායන් ව්‍යාකූල කොට ඊට රාජ වස්ත්‍ර අන්දවා රට හමුවේ වැරදි තීරණ සහ නොවටිනා දෑ මූලික කරනා බවට පත්කිරීම ක්‍රමයෙන් සිදුකරන සැටියෙකි. පෙර සිටි පාලකයා කවට රජෙකු බවට පත්කොට සමාජයතුළ භීතිය වපුරා තම මඩිය තරකගත් ආකාරයෙන්ම වත්මන් පාලකයාද අඳුරේ හෙළිය හැකි යැයි ඔවුහු සිතනවා විය හැකිය. මෙය , වත්මන් නායකත්වය මනාව තේරුම්ගත යුතුව ඇති මූලික කාරණයක් වේ.

කෙසේ වුවද, අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්ති. (යහපත් මාර්‍ගයට පිළිපන් මෙලොව පරලොව ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ඒ පිළිබඳව ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් ලොව ඇත.) නමුත් ඔවුහු සොයා ගැනීම අතිශය අසීරු වේ. මන්ද සැනකින් හමුවන සුවිශාල වේදිකාවේ ලැගුම්ගෙන සිටින්නේ එක්කෝ අලි හොරෙකි. නැතහොත් පල් හොරෙකි. එසේත් නොමැතිනම් කෙසේ හෝ නළුවෙකු වීමට අරදින කෛරාටක වෙළෙන්දෙකි.  මෙම මුලාව නැසීම එතරම් පහසු නැත. නමුත් එය කළ යුතුම වේ. මෙහිදී සිහිපත් කළ යුතු මූලික කාරණය වූ කලී, සබ්බා උජු ගච්ඡන්ති නෙන්තේ උජුගතේ සති, යන්නය. තම පරිපාලනයේ මග තුළ ජනාධිපති මෛත්‍රී වසරකුත් මාස තුනක් හමාරකොට ඇත.  ඔහුට මුහුණදීමට ඇති අභියෝග ක්‍රමයෙන් පළල් වෙමින් තිබේ. රටේ කිසිඳු විධායක ජනාධිපතිවරයෙකු ජනතාවගේ ගැරහුමට භාජනය නොවී ගෙදරගියේ නැත. මෛත්‍රී මුහුණ දෙන සැබෑ අභියෝගයද එය යැයි සිතේ.  එ සඳහා ඉතිරි වී ඇත්තේ වසර පහක් පමණි.

Back to Top