Sri Lanka Brief
පුවත්එක්නැලිගොඩ නඩුවට අදාළ තොරතුරු හමුදාව තවම ලබා දී නැහැ

එක්නැලිගොඩ නඩුවට අදාළ තොරතුරු හමුදාව තවම ලබා දී නැහැ

by

ප්‍රගීත් එක්නැලිගොඩ පැහරගෙන ගොස් ඝාතනය කිරිම පිළිබඳ පරීක්ෂණයට අදාල තොරතුරු තවමත් යුද හමුදාව ලබා දි නැති බව අද හෝමාගම අධිකරණයේ දි අනාවරනය විය. අද දින ( මාරතු 15) විභාගයට ගත් අවස්ථාවෙහිදි එක්නැලිගොඩ පැහැරගෙන ගිය 2010 ජනවාරි 25 දින ගිරිතලේ තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකා කඳවුර සතු ලිපි ලේඛන ද පළමුවන සැකකරු වන ෂම්මි අර්ජුන කුමාරරත්න භාවිත කළ රථයේ විස්තර ද රහස් පොලිසියට ලබාදෙන ලෙස ද යුද හමුදාපතිවරයාට මහේස්ත්‍රාත්වරයා තවදුරටත් නියෝග කළ බව දිනමිණ පුවත් පත වාර්තා කරයි. රජයේ නීතිඥ දිලිප පීරිස් මහතා කියා සිටියේ එම තොරතුරු ලබා දිමට යුද හමදාව තවමත් මැළිකමක් දක්වන බවයි.

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් රඳවා තබා ගත්තේ යැයි සැකකැරෙන හමුදා බුද්ධි අංශ නිලධාරින්ට එරෙහිව ඝාතන චෝදනාවක් ඉදිරිපත් කළ හැකි ද යන්න පිළිබඳ නියෝගය ලබන 29 දින ලබා දෙන බව හෝමාගම මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (15) ප්‍රකාශ කළ බව ද එම වාර්තාව සඳහන් කරයි.

තවදුරටත් දිනමිණ වාර්තාව මෙසේ කියයි:

එක්නැලිගොඩ මරණයට පත්වීම සම්බන්ධයෙන්, සාක්ෂි හෝ පරිවේශනීය සාක්ෂි ඉදිරිපත් වී නොමැති බැවින් රහස් පොලිසිය ඉදිරිපත් කරන කරුණු මත තවදුරටත් ඝාතන චෝදනාව පවත්වාගෙන යා හැකි ද නොහැකි ද යන්න පිළිබඳව මේ නියෝගය නිකුත් කරන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා එම කරුණු මත ඇප දෙනවාද නැද්ද යන්න පිළිබඳව නියෝගය ද ඉදිරිපත් කරන බව ද පැවසීය.

එක්නැලිගොඩ නඩුව කැඳවූ අවස්ථාවේදී සියලු පාර්ශවයන්ගේ කරුණුවලට සවන්දීමෙන් පසුව එම නියෝගය නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසියට අවශ්‍ය සියලු ලිපි ලේඛන අඩුවක් නොමැතිව භාර දෙන බවට යුද හමුදාපති වරයාට දෙවන වරටත් නියෝග කරමින් දන්වා සිටියේ ය.

එක්නැලිගොඩ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ දිනයේ එම සැලසුම පටිගත වූයේ යැයි සැකකෙරෙන හඬපටය කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මහතා වෙත යොමුකර සවිස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

එක්නැලිගොඩ පැහැරගෙන ගිය 2010 ජනවාරි 25 දින ගිරිතලේ තුන්වැනි සන්නද්ධ බුද්ධි බළකා කඳවුර සතු ලිපි ලේඛන ද පළමුවන සැකකරු වන ෂම්මි අර්ජුන කුමාරරත්න භාවිත කළ රථයේ විස්තර ද රහස් පොලිසියට ලබාදෙන ලෙස ද යුද හමුදාපතිවරයාට මහේස්ත්‍රාත්වරයා තවදුරටත් නියෝග කළේය.

සැකකරුවන් වන දැනට රක්ෂිත බන්ධනාගාර ගත ෂම්මි අර්ජුන කුමාරරත්න, නාන්කුලගේ ටොෂිනාත් ප්‍රබෝධ සිරිවර්ධන, රාජපක්ෂ මුදියන්සේලාගේ ප්‍රියන්ත කුමාර රාජපක්ෂ නොහොත් නාදන්, වඩුගෙදර විනී ප්‍රියන්ත, ඩිලන්ජන් උපසේන, එස්. එම්. රවීන්ද්‍ර රූපසේන නොහොත් රංජි, වයි. ඩී. දම්නිද කුමාර අබේරත්න, එස්. එම්. කණිෂ්ක ගුණරත්න, අයියසාමි බාලසුක්‍රමනියම් හා ඩී. එන්. තරංග ප්‍රසාද් ගමගේ යන සැකකරුවන් බන්ධනාගාර අධිකාරිය මගින් අධිකරණයට ඉදිරිපත් කළේ ය.

පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ දිලීප පීරිස් මහතා කියා සිටියේ සැකකරුවන්ට එරෙහිව ඝාතන චෝදනාවක් ඉදිරිපත් කිරීමට රහස් පොලිසියට හැකියාව ඇති බවයි.

මෙය ඝාතනයක් බවට පැහැදිලි සාක්ෂි ඍජු සාක්ෂි ඉදිරිපත් වී ඇති බවත්, මෙය විශාල කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් බවත් හෙතෙම පැවසීය.

දිලීප පීරිස් මහතා මෙසේ ද පැවසීය.

මේ ඝාතනය පිළිබඳව කරුණු හෙළිදරව් කිරීම යුක්තිය හා සාධාරණය වෙනුවෙන් කරන සටනක්. මෙය නීතිඥවරුන්ගේ වෘත්තිය සටනක් නෙවෙයි. විත්තිකාර හමුදා නිලධාරින්ට එරෙහි පෞද්ගලික කෝන්තරයක් නෙවෙයි.

නීතිපති දෙපාර්තමේන්තුව බැඳිලා ඉන්නවා යුක්තිය හා සාධාරණය ඉටුකරන්න.

2010 ජනවාරි 24 දින වින්දිතයා පැහැරගෙන ගියා. එසේ පැහැරගෙන යන්න රාජගිරියට පැමිණියේ සාමාන්‍ය මිනිස්සු නෙමෙයි. යුද හමුදාවේ බුද්ධි අංශ නිලධාරින්. එසේ පැහැරගෙන පසුදින ගිරිතලේ කඳවුරට රැගෙන ගියා. ගෙන ගොස් ගිරිතලේ හමුදා කඳවුරේ ‍රඳවා ප්‍රශ්න කළේ ආරක්ෂාව පිළිබඳ නෙවෙයි. හමුදා බුද්ධි අංශයට ඕන කරන තොරතුරු නෙමෙයි. හිටපු ජනාධිපති සම්බන්ධයෙන් කාටුන් ඇඳීම, පවුල්ගහ පිළිබඳ ලිපි ලිවීම පිළිබඳ ප්‍රශ්න කළා. මෙසේ ප්‍රශ්න කළ සාජන් මේජර් රංබණ්ඩා අද සාක්ෂිකරුවකු ලෙස ඉදිරිපත් වෙනවා.

මෙය පෞද්ගලික කෝන්තරයක් ද දේශපාලන පලිගැනීමක් ද හමුදා කුමන්ත්‍රණයක් ද කියලා විමසිය යුතුයි. යුද හමුදා බුද්ධි බළකා කඳවුරේ රඳවා සිටි බවට විත්තිකරුවන් පිළිගෙන තිබෙනවා.

පසුදින හමුදා කඳවුරේ සිට අක්කරෙයිපත්තු ප්‍රදේශයට රැගෙන ගිය බවට දුරකථන සාක්ෂි මගින් අනාවරණය වෙනවා. මෙය සිදුවුණේ ජනාධිපතිවරණ සමයෙදීය. මේ ගිය සැකකරුවන් ආපසු කඳවුරට වාර්තා කරලා නැහැ.

සිද්ධිය සම්බන්ධයෙන් එක්නැලිගොඩගේ බිරිඳ හෝමාගම පොලිසියට පැමිණිලි කළා. අභියාචනාධිකරණය හමුවේ හබයාස් කෝපුස් පෙත්සමක් ගොනු කළා. ‍යුද හමුදාව කිසිවිටක එක්නැලිගොඩට මොකක්ද වුණේ කියල කිව්වේ නැහැ. නමුත් කිසිඳු චෝදනාවක් නැති එක්නැලිගොඩට ගිනි අවි ආදේශ කරලා චෝදනා ඉදිරිපත් කළා. මෙවැනි විශාල චිත්‍රයක් මවලා මේ කරුණ යටගහන්න හැදුවා. මේ වනවිටත් නඩුවේ සාක්ෂි ලෙස ඉල්ලන තොරතුරු ලබාදෙන්න යුද හමුදාව මැලිකමක් දක්වනවා.

2010 ජනවාරි 25 වැනි දින සිට 27 වැනි දින දක්වා ලේඛන නැත්තේ ඇයි? රාජ්‍ය නිලධාරින් විසින් රැගෙන ගියානම් වින්දිතයාගේ බිරිඳට ඒ බව දැනුම් නොදුන්නේ ඇයි. එක්නැලිගොඩගේ අත්බැඳ දෑස් බැඳ ප්‍රශ්න කළේ ඇයි. මෙන්න මේ කරුණු මත එක්නැලිගොඩට මොකද වුණේ කියල කියන්න සැකකරුවන් බැඳී සිටිනවා. රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ වසන්ත පෙරේරා මහතා අධිකරණයට ඉදිරිපත් කළ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු ප්‍රකාරව සැකකරුවන්ට එරෙහිව ඝාතන චෝදනා එල්ල කිරීමට පැමිණිල්ලට හැකියි.

මෙහිදී ප්‍රශ්නයක් මතුකළ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා පුද්ගලයකු මැරුණු බවට නිශ්චිත සාක්ෂි නොමැතිව උපකල්පන මත මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කළ හැකි ද යන්න විමසීය.

ඊට පිළිතුරු දුන් රජයේ නීතිඥවරු කරුණු දක්වමින් කියා සිටියේ මෙම සිද්ධියට අදාළව උද්ගතවී ඇති සාක්ෂි මත ඝාතන චෝදනා එල්ලකිරීමේ හැකියාවක් පැමිණිල්ල සතු බවය.

නීතිපතිවරයාට ලඝු නොවන නඩු විභාගයක් නොපවත්වා ඍජු අධි චෝදනා ගොනු කිරීමේ හැකියාව ද තිබෙනවා.

සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ එය එසේ කළ නොහැකි කාර්යයක් බවය.

අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙසේ ද පැවසීය.

“සැකකරුවන්ට ඝාතන චෝදනා එල්ලවී ඇති බැවින් මහේස්ත්‍රාත් අධිකරණයට ඇප ලබාදිය නොහැකි බවට මෙම පැමිණිල්ල විභාග කළ පූර්වගාමී මහේස්ත්‍රාත්තුමා නියෝගයක් නිකුත් කර තිබෙනවා. එම නියෝගය නීත්‍යානුකූල නොවේනම් විත්තිකරුවන් වෙනුවෙන් කළ යුත්තේ ඊට එරෙහිව මෙම අධිකරණයේ කරුණු දැක්වීමයි. එහෙත් ‍එම නීතිමය ප්‍රතිපාදනය ඉටු වී නෑ. එසේ නොමැතිනම් පූර්ව නියෝගය අහෝසි කිරීමෙන් පසුව තව නියෝගයක් ලබාදිය යුතුයි.

පූර්ව නියෝගය අහෝසි කරන්න තරම් අහෝසි කිරීමට හැකි කරුණු මෙම අධිකරණයට ඉදිරිපත් වෙලා නෑ. එක්නැලිගොඩ ඝාතනය කළා යැයි යන ස්ථාවරයේ පැමිණිල්ල තවමත් සිටිනවා. සැකකරුවන් එක්නැලිගොඩ පැහැරගෙන ගිය බවට සාක්ෂි තියනවා. එසේනම් ඔහුට මොකද වුණේ කියලා කියන්න පුළුවන් එකම පුද්ගලයා වන්නේ සැකකරු පමණයි. එසේ‍ කියන්නෙ නැත්නම් ඒකෙ ප්‍රතිවිපාකය විඳින්න වන්නේ සැකකරුවන්ටමයි. රජය ඉදිරිපත් කළ ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු අනුව මෙම නඩුවට අදාළ වන්නේ ඒ නිසයි.

මෙම කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඉහත නියෝගය කළ අතර, සැකකරුවන් ලබන 29 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර පැමිණිලි විභාගය එදිනට කල්තැබිණි.

ගොඩගම සමූහ/ දිනමිණ

Back to Top