Sri Lanka Brief
පුවත්තිලකා හේරත්: සාහෝදරියකගේ නික්ම යෑම – සුනන්ද දේශප්‍රිය

තිලකා හේරත්: සාහෝදරියකගේ නික්ම යෑම – සුනන්ද දේශප්‍රිය

by

සිය වැඩිහිටි ජීවිතයම සමාජ සාධාරණත්වය සහ ස්ත්‍රී අයිතිය වෙනුවෙන් කැප කළ තිලකා හේරත් සහෝදරිය පසුගිය 14වන සඳුදා සදහටම නික්ම ගියාය. ඇය පොදු ජනයා අතරින් බිහිවූ පොදු ජනයා සමඟ ජිවත් වූ සහ ඔවුන් සමඟ අරගල භූමිය පණ ගැන්වූ සහෝදරියක වූවාය. එකී අරගලයේ පන්නරයෙන්ම තෙවසරක් පිළිකා මාරයා සමඟ සටන් වැදුණු ඇය අවසානය වනතුරු මරණය පිළිගත්තේ නැත. කුරුනෑගල රජයේ රෝහලෙහිදී ඇය අවසන්වරට සිය දැස් පියා ගත්තාය.

මා ඇය දැන හදුණා ගත්තේ 1970 ගණන් අවසානය ආසන්නයේ දීය. ඒ 1978 හෝ 79 විය හැක. 71 අප්‍රෙල් කැරැල්ල වෙනුවෙන් සිරගතව සිට 1977 අවසානයේ දී නිදහස්වූ මා එවකට මහජන පක්‍‍‍‍‍‍‍‍ෂය විසින් පවත්වා ගෙන ගිය දේ‍‍‍ශ විමුක්ති පුවත්පතට විදේශ විත්ති ලියමින් සිටියෙමි. බම්බලපිටියේ තුන්මුල්ලෙහි වූ එම පක්ෂ කාර්යාලයට ගිය දවසක එස්.ජී. පුංචිහේවා සහෝදරයා ගමනක් යා හැකි දැයි ඇසීය. මම හා කීමි.

කුරුනෑගල දොරවේරුව සහ මා එළිය ගම් යාබදව ටි.බී සහෝදරයාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරෙන්නට නියමිත වූ ගෝර්කි පුස්තකාලයේ ආරම්භක දේශණය සඳහා එස්.ජි. සහෝදරයාට ආරාධනා කර තිබුණ ද කවර හෝ වෙනත් වැඩක් නිසා ඔහුට එහි යා නොහැකිව තිබුණි.

මා මුල් වතාවට තිලකා සහෝදරිය දැක හදුණා ගත්තේ එම දේශණයට ගිය අවස්ථාවේදීය. මාඑළියේ ගෝර්කි පුස්තකාලයේ ආරම්භක මහජන රුස්වීම වූ එහි මූලාසනය දැරුවේ තිලකා හේරත් ය. එවකට ඇය සිටින්නට ඇත්තේ දහ අටවන වියෙහිය.

ඇය එහිදී සභාව හැසිරවූ ආකාරයෙන්ම අනාගත ජන නායිකාවගේ ලකුණූ විද්‍යාමාන විය. තමන්ටම විශේෂ වූ මහජන ඇමැතීමේ විලාසයක් තිබූ ඇය ඒත්තු ගන්වන කථිකත්වයකට උරුමකම් කීවේය. ඇගේ එම සහජ හැකියාවන් බහුජන අරගලය තුළ ඔපමට්ටම් විය.

කුරුනෑගල දොරවේරුව ගමෙහි උපත ලබා එගමින් බිහිවූ  විශිෂ්ඨ ගනයේ විප්ලවවාදියකු සහ සමාජ සාධාරණ අරගලකරුවකුවූ ටි.බි.විජේසූරිය (ටී.බී) සෙවනෙහි එනයින් අරගල භූමියට පා තැබූ තිලකා පසුකාලිනව ස්ත්‍රී අයිතිවාසිකම් ව්‍යාපාරයේ නායිකාවක බවට පත් වූවාය.

ජනතා විමුක්ති පෙරමුණෙන් කැඩී ගොස් ජනතා සංගමය ගොඩ නැගීමට මූලිකත්වය ගෙන තිබූ අප බොහෝ දෙනෙකු එකළ අනුරාධපුරය මූලික කොටගත් සමස්ත ලංකා ගොවි සම්මේලනය සමඟ විවිධ බහුජන ක්‍රියාකාරිත්වයන්ට හවුල් වෙමින් සිටියෙමු. ටී.බී. ගේ නායකත්වයෙන්ද එවකට දේවසරණ සංවර්ධන කේන්ද්‍රයෙහි නියමුවා වූ සේවක යොහාන් දේවානන්දගේ ප්‍රායොගික සහයෝගයද පෙරදැරිව කුරුනෑගල දිසාව ගොවි සම්මේලනයේ බල කඳවුරක් බවට පත් විය.

ඇත්ත වශයෙන්ම නම් එයට පෙර ලංකා ගුරු සංගමය විසින් නායකත්වය දෙන ලද 71 දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ පුළුල් ව්‍යාපාරය විසින් දිස්ත්‍රික්කය පුරා බහුජන ක්‍රියාකාරී ජාලයක් ඇති කර තිබුණි. ගොවි ව්‍යාපාරය පදනම්ව ශක්තිමක් වූයේ එම ජාලයද මතිනි.

එම දිසාවෙන් බිහි වූ බොහෝ සමාජ දේශපාලන ක්‍රියාධරයින් මෙන්ම තිලකා හේරත් සහෝදරියද පන්නරය ලැබූයේ ගොවි සම්මේලනය මෙහෙයවූ පොදු ජන අරගල තුලිනි. 1980 ගණන් මැද භාගයෙහි කුරුනෑගල දිසාව පුරා පැතිර ගිය ජලබදු අරගලය ඉන් ප්‍රධාන එකක් විය. එජාප ආණ්ඩුවේ ජලබදු පිළිවෙත පැරදවීමට තරම් එම අරගලය බලගතු විය.

එවැනි සිවිල් සමාජීය බහුජන බලමුළු ගැන්වීම් 1980 දශකය සහ 90 දශකය පුරා ශක්තිමක් විය. එම අරගල තුලින් ඵෙන්ද්‍රීය ජන නායක නායිකාවෝ ප්‍රාදේශීය වශයෙන් මෙන්ම ජාතික වශයෙන් ද ඉදිරියට පැමිණියහ. තිලකා හේරත් අයත්වන්නේ අන්න එම ඵෙන්ද්‍රීය නායක නායිකාවන්ගේ පරම්පරාවටය.

ගොවි සම්මේලනය ඇසුරෙන් පැන නැගී පළමුවෙන් ප්‍රගතිශීලී කාන්තා පෙරමුණ ලෙසද පසුව කුරුනෑගල කාන්තා සංවර්ධන පදනම ලෙසද මෙරට ස්ත්‍රී අයිතිවාසිකම් ව්‍යාපාරයේ පෙරමණූ වැඩ කොටසක් ඉටු කළ ජනතා ව්‍යාපාරයේ නායිකාවක බවට තිලකා සහෝදරිය නිතැනින්ම පත් විය. එජාප-ජේ.ආර්. ජයවර්ධන මර්ධනකාරි පාලනය සමඟ වීදියේ සටන් වදිමින් 1980 ගණන් මුල් භාගයෙහි මාර්තු 08දාට යෙදෙන ජාත්‍යන්තර ස්ත්‍රී දිනය සැමරීම මෙරට ආරම්භ කිරීමේ පුරෝගාමී මෙහෙවරක යෙදුනු කාන්තා පෙරමුණ සමඟ තිලකා සහෝදරියද පොලිස් බැටන් ප්‍රහාරයන්ට මුහුණ දෙමින් ඉදිරියෙන්ම ගමන් කළාය.

පසු කළෙක ස්ත්‍රී දූෂන විරෝධී අවබෝධතා ව්‍යාපාරයක් ගොඩ නැගීමේලාද මොණරාගල සීනි බහුජාතික සමාගම් විරෝධි බහුජන අරගලයේලාද ඇය ඉදිරියෙන්ම සිටියේය.

1988 – 90 භීෂණ සමයෙන් පසු යළි සංවිධාන රටා ගොඩනගමින් දහස් ගණනාවක බහුජන ස්ත්‍රී ව්‍යාපාරයක් ගොඩ නැගීමට අවශ්‍ය නායකත්වය පෙරකී අරගලයන්හි පන්නරය තුලින් ලබා සිටි සහෝදරියන් අතර තිලකා හේරත්ද විය.

එනයින් ගොඩ නැගුණූ කාන්තා සංවර්ධන පදනම ප්‍රගතිශීලී සහ ප්‍රජාතන්ත්‍රවාදී අරමුණූ සඳහා මහජන බලුමුලු ගැන්වීම් මත ගනුදෙනු කළ පුළුල් සිවිල් ව්‍යාපාරයෙහි ස්ථිර කොටස්කාරියක වූවාය. ජනාධිපති ජ්‍රේමදාසගේ මර්දනකාරි පාලනය සමඟ සටන් වදිමින් ආරම්භවූ ‘බියෙන් අත්මිදෙමු’ බහුජන ව්‍යාපාරය එවැනි එක් අවස්ථාවක් විය. 1990 ගණන් මැද භාගයේ සිට ගොඩ නැගණූ යුද විරෝධී ව්‍යාපාරය තවත් එවැන්නැක් විය. යුදවාදී අන්ත ජාතිවාදීන් සමඟ මුහුණට මුහුණලා සමාජමය මෙන්ම දේශපාලනිකවද සටන් වැදුණූ ජාතීන් අතර යුක්තිය සහ සමානාත්මතාවය සඳහා ව්‍යාපාරය නායකත්වය දුන් එම යුද විරෝධී ව්‍යාපාරයෙහි තිලකා සහෝදරියද පෙරමුණෙහි සිටියේය. 2002- 2004 සටන් විරාම සමයෙහි සිංහල – දෙමළ ස්ත්‍රීන් අතර අනෝන්‍ය අවබෝධය ගොඩ නැගීම පිණිස ආරම්භ වූ මූලිකත්වයන් ගණනාවක් වූ අතර තිලකා සහෝදරිය එම ප්‍රයත්නයන්හිද පෙරමුණෙහිම සිටියාය.

බහුජන පදනම් සහිත එමෙන්ම රටපුරා පැතිර තිබූ විවිධ සිවිල් ක්‍රියාකාරිත්වයන් ජාලගත කළ සංවිධාන අද මෙන් නොව එකළ ශ්‍රී ලාංකික සිවිල් සමාජය තුල සිය නායකත්වය පිහිටුවා ගෙන තිබුණි. සිය ගණන් ප්‍රාදේශීය නායික නායිකාවන් එම ජාලයන්හි ක්‍රියාත්මක වෙමින් සිටියහ. විවිධ සීමා සහිත අරමුණූ මත ක්‍රියාත්මක වූ එවැනි සංවිධාන ඒ අතරම ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, යුද්ධමය විසදුම වෙනුවට දේශපාලන විසඳුමක් වැනි පුළුල් ව්‍යාපාරයන්හි කොටස්කරුවන්ව සිටියහ. එම සිවිල් සංවිධාන ජාලයන් සතුව අත්දැකීමෙන් සහ අරගලයෙන් පන්නරය ලැබූ ජනයා බලමුළු ගැන්විය හැකි නායකත්ව පරම්පරාවක්ම සිටියෝය.

එය එක්තරා අන්දමකට ශ්‍රී ලාංකික සිවිල් සමාජයේ ස්වර්ණමය යුගය විය හැකිය. තිලකා හේරත් එම ස්වර්ණමය යුගයේ පෑයු ජන නායිකා තරුවකි.

යුදවාදය සහ යුද්ධ ජයග්‍රහණය සිය දේශපාලනය කරගත් 2005 – 2015 රාජපක්ෂ මර්දනකාරී සමය විසින් එම බහුජන ව්‍යාපාරයන් සංවිධානාත්මකව විනාශ කර දමන ලදී.

රාජපක්ෂ මර්දනකාරී පාලනය පෙරළා දැමීමෙහිලා රටපුරා 80 ගණන්හි සිට ජනතා ක්‍රියාකාරිත්වයන්හි යෙදුණූ බොහෝ පිරිස් දායක වූ තමන්ගේ ප්‍රකාශණයක් විය හැකි පුළුල් සංවිධාන ජාලයක් ඔවුනට තිබුණේ නැත.

වත්මනෙහි එදා මෙන් නොව සිවිල් සමාජ නායකත්වය රඳා පවත්නේ බොහෝවිට බහුජන බලමුළු ගැන්වීම්වලින් තොරවය. මූලික වශයෙන්ම සමාජ ජාල සහ ජනමාධ්‍ය ප්‍රචාරය මතය.

එසේ නමුත් සංවිධානාත්මකව කැරෙන මහජන අවබෝධය ජනමාධ්‍ය ප්‍රචාරයට වඩා දුරදිග යන ගැඹුරු ක්‍රියාවළියකි. ජනවාරි විප්ලවයට එරෙහිව රාජපක්ෂ විසින් බලුමුළු ගැන්වීමට තැත්දරන ජාතිවාදය පරාජය කිරීම පමණක් සැළකුවද එවැනි මහජන සිවිල් ව්‍යාපාරයක අවශ්‍යතාවය කිසිසේත්ම මඟහැරිය නොහැකිය.

තිලකා හේරත් සහෝදරිය අදට අවශ්‍ය එවැනි මහජන අවබෝධතා ව්‍යාපාරයක නායිකාවක විය. එවැනි ව්‍යාපාරයක් ගොඩ නැගීමට අප සමත්වන්නේ නම් ඇය මෙන්ම අපතුරින් නික්ම ගිය එවැනි තවත් බොහෝ සහෝදර සහෝදරියන්ගේ ජීවය සදා පවතිනු ඇත.

ජයවේවා, තිලකා සහෝදරී, ඔබට සුභ ගමන්!!

Back to Top