Sri Lanka Brief
පුවත්ඒකාබද්ද විපක්ෂයේ නව දේශපාලන පක්ෂය: රාජපක්ෂගේ ගෙලට වැටෙන අවසන් තොණ්ඩුව ! නිලන්ත ඉලංගමුව

ඒකාබද්ද විපක්ෂයේ නව දේශපාලන පක්ෂය: රාජපක්ෂගේ ගෙලට වැටෙන අවසන් තොණ්ඩුව ! නිලන්ත ඉලංගමුව

by

( මරා පස්ස හැරී සිය නවකාර්යාලය විවෘත කරයි)

නව ජනාධිපතිවරයකු පත්වී වසරක් මෙන්ම නව ආණ්ඩුවක් පත් වී මාස හයක් ගත වූ පසු දේශපාලනික වශයෙන් ඊට එරෙහි බල කඳවුර තුළ මතුවෙන මූලික අවශ්‍යතාවයක් ලෙස නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීම යැයි ඉදිරිපත් වී තිබේ. මේ සම්බන්ධයෙන් බොහොමයක්  බොහෝ දෑ කියති. නොයෙක් සංවාද ඇති වෙමින් තිබේ. උදෑසනට රටේ මුද්‍රණය වන පුවපත්වල තෝරාගත් ලිපි කියවීමට පත්කොට ඇති විද්‍යුත් මාධ්‍යවේදීන්ගේ සිට අදාළ දේශපාලන පක්ෂය නිර්මාණය කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කෙසේ හෝ මෝහනයට පත් කරන අයවලුන් දක්වා මෙම කාරණය ගැන විශාල අවධානයක් යොමු කොට තිබේ.

රූපවාහිනී නාලිකා සහ ගුවන්විදුලි නාලිකා තුළින් උදෑසන රටේ මුද්‍රණය වී ඇති පුවත්පත් කියවීම මෙතරම් දේශපාලනීකරණය වී තිබීම සැබවින්ම, පුවත්පත් කතුවරුන් මනා සිහියෙන් කියවිය යුතු කාරණයක් යැයි සිතේ. මන්ද, පුවපතක අභිලාෂයන්  විද්‍යුත් මාධ්‍යයෙන්  වෙනස් වනවා පමණක් නොව, ඊට හිමි ජීව ගුණයක් තිබේ. එය, විවරණය කළ හැක්කේ එකී ගුණය දන්නා අයවලුන් විසින් මිස, විවිධ දේශපාලන මතවාදයන් කරපින්නා ගනිමින් තමන්ට ලැබෙන දුරකථන පණිවිඩයට අනුව අඬබෙර කරුවන් සේ හැසිරෙන පුද්ගලයින්ට නොවේ. මෙමඟින්, සුවිශාල හානියක් සෑම මුද්‍රිත පුවත්පතකටම සිදු වෙමින් තිබේ. වර්තමානයේදී දැක ගත හැක්කේ, පුවත්පත් වල සිරස්තල හෝ එහි මුද්‍රිත විශේෂාංග වල සාරාංශය උපුටා දැක්වීමට වඩා, ඒ සම්බන්ධයෙන් තම මතය ඉදිරිපත් කිරීමය. එකී මතය ඉදිරිපත් කිරීම සඳහා තම සිතැඟියාවන් ඉටුකරන  දෑ තෝරාගෙන, එය අදාළ පුවත්පතේ ප්‍රතිපත්තිය ලෙස අර්ථ නිරූපණයක නිරත වෙති. මෙය සැබවින්ම බරපතළ හානියකි. එසේම වෙනම සිතා බැලිය යුතු සහ සංවාදයට බඳුන් කළ යුතු කාරණයකි. අදාළ වැඩසටහන් වල සැබෑ න්‍යායපත්‍රය හසුරුවන්නන්, නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමට ඇති අවශ්‍යතාවය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන අදහස් දෙස බැලීමෙන් මෙම කාරණය මනාව අවබෝධ වේ.

නව දේශපාලන පක්ෂයක හෝ සන්ධානයක අවශ්‍යතාවයක් තිබේද? නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමේදී, ඊට හවුල්වන පරිවාර පක්ෂ තම පක්ෂ විසුරුවා හැර ඊට එකතු වන්නේද? නො එසේනම් “නව පක්ෂයක්” ලෙස මතුපිටින් පෙන්වමින්, ගූඪ සන්ධාන ගත වීමක්ද? වත්මන් ආණ්ඩු සන්දර්භය හැර, මෙරට දෙශපාලන සන්ධාන ඇතිකිරගැනීම වූ කලී, හුදු මාධ්‍ය සංදර්ශන පමණි. එමඟින්, ශේෂ කළ වැදගත් දේශපාලන භාවිතයක් නොමැත. තමන්ට රිසේ සේ පක්ෂ මාරූ කිරීමට හැකි මගෝඩි දේශපාලන සංස්කෘතිය විසින් මෙය තව දුරටත් ව්‍යාකූල කොට ඇත. අදාළ කාරණය “නව දේශපාලන” පක්ෂයක් ලෙස නම කරනු ලැබුවද, ඒ වටා එක් රැස් වී සිටින්නේ පැරණි ප්‍රතික්ෂේප කළ චරිත කිහිපයක් පමණි. මෙම ව්‍යාකූල භාවය හමුවේ,  නව දේශපාලන පක්ෂයක් හෝ සන්ධානයක් නිර්මාණය කිරීම වූ කලී වැදගත් දේශපාලන පෙරනිමිත්තක් ලෙස දැකිය නොහැකිය. මන්ද එමඟින්, රටේ අභිනවයට කළ හැකි කැපකිරීම අතිශය සීමා සහිතය.මෙම මුලික හරය වසා දැමීම සඳහා, ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි නවකයෙකු දේශපාලන කුලකයට ඇද ගැනීමේ මානයක් දැකිය හැකි නමුදු එය සාර්ථක උපායක් විය හැකි යැයි නොසිතේ.

අදාළ කාරණා සම්බන්ධයෙන්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වක්‍රෝත්තියෙන් කතා කළද, ඔහුට නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීමේ දෙබිඩි ආසාවක් තිබේ. නමුත් ඔහු සැකය සහ ඇත්ත අතර මෙන්ම සිහිනය සහ සැබෑව අතර සිරවී සිටින්නේය. ඔහුට තම දේශපාලන ශේෂපත්‍රය ලෙස ලැබී තිබෙන මූලික නෛතිකය වූ කලී, “මම එහෙම කළේ නැත්තම්”, යන්නය. මෙය, වැරදුනු, මංමුලා වූ සහ අනුන්ගේ “වර්ණනා කිරීම” හමුවේ තමන්ට තමන් අහිමි වූ, බොහෝ නායකයින්ට මෙන්ම මිනිසුන්ට මුහුණ දීමට සිදු වූ මූලික කාරණයකි. ඒ සමග නිවුටෝනියානු තෙවැනි නියමය එනම් සෑම ක්‍රියාවකට ප්‍රතිවිරුද්ධ වූත් සමාන වූ ප්‍රතික්‍රියාවක් තිබේය යන්න, අතිපිහිත වීමේදී, නොසිතූ නොපැතූ දෑ සිදු වේ.

මහින්ද රාජපක්ෂ මහතාට අනුව මෙය තේරුම් ගැනීමේදී මතුවන සහ මෙනෙහි කළ හැකි කාරනා සිය ගණනක් අතරින් කිහිපයක් මෙසේ ඉදිරිපත් කළ හැකිය; රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සමග දේශපාලන සංහිදියාවකට ගමන් කළේ නම් අද යහපාලන ආණ්ඩුවක් නොමැත, රාජපක්ෂ මහතා තම දරුවන් තිදෙනා වැඩිදුර අධ්‍යාපනය සඳහා රටින් පිටමං කොට හෝ ඔවුහු දේශපාලනයෙන් වියුක්ත කොට තැබුවේ නම් අද යහපාලන ආණ්ඩුවක් නොමැත, රාජපක්ෂ මහතා 18 වන ව්‍යවස්ථා සංශෝධනය  ඉදිරිපත් කොට තම තණ්හාව නීත්‍යානුකූල නොකළේ නම් අද යහපාලන ආණ්ඩුවක් නොමැත, රාජපක්ෂ මහතා  තම සහෝදරයාගේ සිතැඟියාවන් ප්‍රමෝදකිරීම සඳහා ෆීල්ඩ් මාර්ෂල් ( එකළ ජනරාල් ) සරත් ෆොන්සේකා මහතාගෙන් පලි නොගත්තේනම් අද යහපාලන ආණ්ඩුවක් නොමැත, රාජපක්ෂ මහතා අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය තම අභිමතය පරිදි එලවා නොදැම්මේ නම් අද යහපාලන ආණ්ඩුවක් නොමැත, රාජපක්ෂ මහතා තවත් වසර දෙකක් බලයේ රැඳී සිටීමට හැකියාව තිබියදී හදිසියේ ජනාධිපතිවරණයක් කැඳ වූයේ නැතිනම් අදත් ඔහු මෙරට ජනාධිපතිය. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තනිව කල්පනා කළහොත්, “මම එහෙම නොකළේ නම්”, යන ගොන්නට එකතුවන බොහෝ දෑ තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණ පරාජයෙන් පසු අමතක කළ  මූලික කරණයද මෙයයි. ඔහු පරාජිතයෙක් බව ඔහුට තේරුම් ගැනීමට ඇති ඉඩ අහුරුවා තිබේ. එය සිදු කොට ඇත්තේ ඔහු වටා ඒකරාශී වී සිටින අයවලුන් විසින් මිස, ඔහුගේ තනි පුද්ගල වෑයමකින් නොවේ. ඕනෑම සාර්ථක නායකයකු, තම පරාජයෙන් පසුව තනිව කල්පනා කිරීම සහ ඒ සඳහා දීර්ඝ කාලයක් ගත කිරීම ලෝක ඉතිහාසයේ චරිත කතාවලින් ඉදිරිපත් කරන මුලික කාරණයකි.රාජපක්ෂ මහතාට මෙය අහිමි වී තිබේ.

තම මැතිවරණ පරාජයෙන් පසු අතිශය බිහිසුණු බිඳවැටීමකට ලක්වූ මහින්ද රාජපක්ෂ මහතා, ඇත්ත දැකීම පසෙකලා තමන් වටා ඒක රාශී වී සිටින සහ තමන් බලයේ රැඳී සිටි අවධියේ තමන්ව වර්ණනා  කරමින්, ප්‍රසස්ති ගී ගායනා කළ අයවලුන් සමඟ රැඳී සිටිමින් තීරණ ගැනීම මිස වෙනස් ස්වරූපයක් විදහා දක්වා නොමැත. අදාළ කණ්ඩායම වූ කලී, ප්‍රතික්ෂේපිත කණ්ඩායම වන අතර ඔවුහු ඉන්පසු පැවති මැතිවරණ  ජයග්‍රහණය කරනු ලැබුවේ ඔවුන්ගේ කෞශල්‍යයට වඩා “මහින්ද රාජපක්ෂ” නමැති දේශපාලන වෙළඳ භාණ්ඩයේ පිහිටෙනි. රාජපක්ෂ මහතා වටා සිටින දේශපාලනඥයින් මෙය මනාව තේරුම් ගෙන ඇති නමුත්, මහින්ද රාජපක්ෂ මහතා මෙය තේරුම් ගෙන ඇති බවක් නොපෙනේ.

මිලියන 22කට ආසන්න ජනතාවක් දශකයකට අධික කාලයක් පාලනය කළ ජනාධිපතිවරයෙකු ඉන්පසු පවත්වන මැතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට ගමන් කරන්නේ විකට ඇඳුම් තරගයකට ඉදිරිපත්වන තරග කරුවෙකුගේ ලීලාවෙනි. මහින්ද රාජපක්ෂ මහතාගේ මෝහයේ තරම එයයි. දේශපාලනය වූ කලී පාර්ලිමේන්තු යෑම පමණක් නොවන්නේය, යන්න තේරුම් ගැනීමට ඔහුට නොහැකි වූවා පමණක් නොව, ඔහු විධායක අගමැතිධූරය ගැන මහත් අශාවෙන් සහ ආයාසයෙන් බලා සිටියේය.

වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රාජපක්ෂ මහතාගේ  ආශාවේ පරිධිය සියල්ලටම පෙර ගණනය කොට තිබූ බවක් පෙනෙන්නට තිබුණි. කටවහරේ එන, “දෙන්නම් ජම්බු” ප්‍රවාදය ප්‍රස්තූතයක් ලෙස භාවිතා කොට ප්‍රතිවාදියා ක්‍රමිකව නමුත් ඝෝර ලෙස ව්‍යාකූල කිරීමට හෙතම සමත් විය. මෙහිදී  ජනාධිපති මෛත්‍රී මුහුණ දී සිටින අභියෝගය වූ කලී, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනාගතය සහ ඔහුට එකවිට ප්‍රතික්ෂේප කළ නොහැකි “සිංහල බෞද්ධ” සම්ප්‍රදාය විසින් නිර්මාණය කොට ඇති “ජාතිකත්වයයි”. මෙය ප්‍රතික්ෂේප කළ නොහැකි, නොකළ යුතු මෙන්ම මනා සිහියෙක් සහ පරීක්ෂාවෙන් විමසා බලා මෙහෙයවිය යුතු ප්‍රභල කාරණයකි.

මේ කාරණය විෂක් ලෙස එන්නත් කිරීමට මෙන්ම එමගින් නිරායුධ ජනතාව ඇවිසීමට හැකියාව ලැබේ. කඩුවෙල අධිකරණ භූමියට ගොස් සිටි විමල් වීරවංශ මහතා වටා කාන්තාවන් පැමිණ හඬා වැළපීම මුදල් ගෙවා ප්‍රචාරණය කළ දැන්වීමක් හා සමාන වුවද, එමඟින් ලබාදීමට උත්සහ කරන පණිවිඩය අදාළ “සිංහල – බෞද්ධ” සම්ප්‍රදාය නියෝජනය කරනු ලබයි.

එසේම, මහින්ද රාජපක්ෂ මහතා පසුගිය අගෝස්තු මාසයේ මහමැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිය සල්ගාදු ක්‍රීඩාංගනයෙන් ආරම්භ කරන විට විමල් වීරවංශ මහතාගේ අනුවාදනයකට අනුව යමින් රැස්වී සිටි පිරිසක් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ නම කියනවිට හූ කීම සහ කඩුවෙල උසාවී භූමියට පැමිණ වීරවංශ මහතා වටා යමින් යෝෂිත රාජපක්ෂ බේරා දෙන්න යැයි හඬා වැළපීම, එකම කාසියේ දෙපැත්ත වේ. මින් මුලාවට පත් කිරීමට උත්සහ කරන්නේ රටේ ජනතාව හෝ රාජපක්ෂ මහතාගේ දේශපාලනයට විරුද්ධ පාර්ශවය නොවේ. ඉන් මුලාවට පත් කිරීමට උත්සහ කරනු ලබන්නේ, මහින්ද රාජපක්ෂ මහතාය. වීරවංශ මහතා, ඥානසාර හිමි බැහැදැකීමට යන අවස්ථාවේදී ( එසේ ගියේනම්) අදාළ කාන්තාවන් රැගෙන නොයෑම සහ යෝෂිත බැලීමට යන අවස්ථාවේදී රැගෙන යෑම අතර ඇති වෙනස මෙයයි. මහින්ද රාජපක්ෂ මහතාට ඔහුගේ සමීපතමයින් සිදුකළ දේශපාලන ඇබැද්දිය මෙයයි. තමන් සෑම විටම වර්ණනා කොට වීරයෙකුසේ ඔසවා තබනු ලබන්නා, එක්කෝ පල් මෝඩයෙකි, නැතහොත් පට්ට කපටියෙකි, යන චීන කියමන මෙහිදී මනාව ගැලපේ.

තම පරාජයෙන් පසු, ඔහුගේ දේශපාලන මතවාදයට එරෙහිව කරනු දැක්වූ කිසිවෙකු සමග හෝ පෞද්ගලිකව අදහස් විමසා බැලීමට මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කළ බවක් පෙනෙන්ට නොමැත. ඒ වෙනුවට, පරාජිත දේශපාලන කරුණු ජයග්‍රහණයට මග යැයි සිතමින් යලි යළිත් ඒවා එකතු කරගමිනින් තමන්ට ඇත්ත අවබෝධ කරගැනීමට ඇති ඉඩ අහුරුවා ගෙන තිබේ. මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම ඔහු වටා ඒකරාශී වී සිටින 50 කට ආසන්න සංඛ්‍යාවක් නව දේශපාලන පක්ෂයක් වෙනුවෙන් සිහින දකින්නේ මෙම සන්දර්භය තුළය.

මහින්ද රාජපක්ෂ මහතා නව දේශපාලන පක්ෂයක් ආරම්භ කිරීම සාර්ථක එකක් නොවන්නේ මේ නිසාය. රටට නව දේශපාලන පක්ෂයකට වඩා අවශ්‍යය වන්නේ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා දායක වීම මෙන්ම, හොරු රැකගෙන හොරුන්ව දේශප්‍රේමීන් කිරීම නොවේ. මහින්ද රාජපක්ෂ මහතා දනුවත්ව මේ සියල්ල සිදු කරන්නේ නම්, එහි පූර්ණ වාසිය අත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටය. ශ්‍රීපති සහ මංගල එකතු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන පාර්ශවය පිහිටුවීම සහ එය මුහුණ දුන් කටුක යථාර්තය නිරීක්ෂණය කිරීම මෙන්ම ගාමිණි-ලලිත් එකතු වී ආර්. ප්‍රේමදාස මහතාට එරෙහිව නැගී සිටීම ආදී දේශපාලන පාඩම් වලින් උගන්වන මුලික කාරණය මෙනෙහි කිරීම මෙහිදී අතිශය වැදගත් වේ.

මහින්ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත් වීම වූ කලී එම පක්ෂයේ වත්මන් නායකත්වයට ලැබෙන ප්‍රභල ආශිර්වාදයකි. එමඟින් පක්ෂය ක්‍රමිකව සුද්ද කළ හැකිවා පමණක් නොව එමඟින් රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට අවශ්‍යය මූලික පදනම දැමිය හැකිය. එපමණක් නොව, මේ වන විට මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් ගොනු කොට ඇති බොහොමයක් සාර්ථක පරීක්ෂණ වලට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකිය. එසේම, රනිල්-මෛත්‍රී අතර ප්‍රභල ගැටුමකින් තොරව  අදාළ කාරණාවලට යුක්තිය ඉටුකිරීමට අවශ්‍ය පදනම සකස්වීම සිදු වේ. රටේ ජනතාව සියුම් සහ ප්‍රභල තීන්දුවක් ඊට ලබා දී තිබේ.

හොරකම දේශප්‍රේමය නොවන බව, රටේ සාමන්‍යය ජනතාව හොඳින් තේරුම් ගෙන සහ ඊට අදාළ තීන්දුව ප්‍රකාශකොට වසරකට අධික කාලයක් ගතවී තිබේ. නමුත් විවිධ හේතු සහ බිඳ වැටුණු සමාජ ව්‍යුහයක මුහුණ දීමට සිදුවන ඇත්ත තත්වය හමුවේ, බොහොමයක් දෑ ප්‍රමාද වීම පමණක් නොව, ඇතැම් හොරුන් සීල්වන්තයින් සේ යහපාලනය වෙනුවෙන් පෙනී සිටිති. මෛත්‍රීට වඩා ඔවුහු යහපාලනයේ පුරෝගාමීන් සේ හැසිරෙති. කදිම ප්‍රහසනයකි.

මහින්ද රාජපක්ෂ මහතා නව දේශපාලන පක්ෂයක් නිර්මාණය කිරීම මඟින් ආණ්ඩුවට අත්වන වාසිය කුමක්ද? එනම් රටේ ජනතාව තුළ මතු වී ඇති සැකය වෙනුවට විශ්වාසය ඇතිකිරීමට අවශ්‍ය මුලික පසුබිම් සාධක නිර්මාණය වේ. එය එනම් රාජපක්ෂ මහතාට හිතු සේ නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගැනීමට ඉඩ දීම, ඊට අවශ්‍ය පුළුල් මාධ්‍ය ප්‍රචාර ලබා දීම සහ ඒ වෙනුවෙන් පෙනී සිටින මාධ්‍යවේදීන්ට තම සිතැඟියාවන් රිසි සේ ප්‍රමෝද කරගැනීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම ක්‍රමෝපායික වශයෙන් ආණ්ඩුවට වැදගත් වේ. රටේ නීතියට අනුව කටයුතු කරන තාක් දුරට, ඔවුන්ගේ නිදහසට කිසිඳු අයුරකින් බාධා නොකළ යුත්තේය.

ඒ හා සමානව, මේ වන විටත් පරීක්ෂණ සිදුකොට ඇති කාරණා සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම එම කාරනා ගැන  විශ්වාස  කළ හැකි හඬකින් රටේ මහජනතාව දැනුවත් කිරීම  ක්‍රමෝපායික වශයෙන් වැදගත් වේ. කැබිනට් මණ්ඩල ප්‍රකාශකයා ලෙස යහපාලන ආණ්ඩුව විසින් පත්කළ රාජිත සේනාරත්න මහතා අතිශය අසාර්ථක  පුද්ගලයෙකු බව ඔප්පු කොට තිබේ. එමෙන්ම අප්‍රසන්න ලෙස ආණ්ඩුවේ මතය ව්‍යාකූල කොට තිබීම කණගාටුවකට කරුණකි. සැබවින්ම හෙතමට, ගයන්ත කරුණාතිලක මහතාගෙන් ඉගෙන ගැනීමට ඇති පාඩම් බොහෝය. කරුණාතිලක මහතා මනා විනයකින් ආණ්ඩුවේ මතය ඉදිරිපත් කරන විට, රාජිත සේනාරත්න මහතා, එහි ගුණය වෙනස් කරමින් තම පෞද්ගලික අභිලාෂයන් මුදුන් පමුණුවා ගැනීමට උත්සහ දරන්නේය. මෙය වහාම වෙනස් විය යුතු කාරණයකි. ආණ්ඩුවේ ප්‍රකාශකයෙකු වූ කලී අධිකරණයක විනිසුරුවරයෙකු හෝ පොලිස් නිලධාරියෙකු නොවේ. ඔවුහු ඔවුන්ගේ මිමි තුළ හැසිරිය යුතුවා පමණක් නොව, ඔවුහු එසේ සිදු කරන්නේදැයි සොයා බැලීම නායකත්වය සතු වගකීමකි.

මහින්ද රාජපක්ෂ මහතාගේ නව දේශපාලන පක්ෂය පිහිටුවීම නමැති සිදුවීම මඟින්, මේ සියල්ලටම යළිත් එක්සත් විය හැකි පසුබිම සකස්කරනු ඇත. මතුවෙමින් පවතින අභ්‍යන්තර කුලල්කා ගැනීම් ක්‍රමිකව ශේෂ වනු ඇත. රාජපක්ෂ මහතාට නොසිදු නොපැතූ තත්වයකට මුහුණ දීමට සිදුවිය හැකිය. එය, තම ආලවන්ත සහ කෑදර දේශපාලන සගයින් රාජපක්ෂ මහතාගේ ගෙලට දමන අවසන් තොණ්ඩුව වුවහොත් පුදුම විය යුතු නොවේ. අවාසනාව තමන් පසුපස ලුහුබඳින විට, තමන්ට මුහුණ දීමට සිදුවන සැබෑ කටුක යතාර්ථය එයයි.

මහින්ද රාජපක්ෂ මහතා මුහුණ දී සිටින සැබෑ අර්බුධය, නව දේශපාලන පක්ෂ හෝ සන්ධාන තනාගෙන විසඳීමට හැකි කාරණයක් නොවේ. තම අර්බුධය දිනා ගැනීම සඳහා  ඔහු තනිව සටන් වැදිය යුතුවේ. ජයග්‍රාහකයාට පාලනය කිරීමට ඉඩදී තමන්ගේ අභිනවය  සඳහා නිහඬවීම සහ තමන්ට වැරදුනු තැන් ගැන යලි යලිත් සිතා බැලීම මෙහිදී අතිශය වැදගත් වේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමට ඔහු තීරණය කොට නව පක්ෂයක් පිහුටුවීමේ ශේෂය ඔහු ලබන බරපතලම පශ්චාත්තාප වීම විය හැකිය. එය ඔහුගේ,  “මම එහෙම කළේ නැත්තම්”, ලැයිස්තුවට එකතුවන තවත් එක් සිදුවීමක් විය හැකිය. නැති විදුලිපුටු ගැන බියවීමට පෙර තමන් අබිමුඛව මිතුරු ලීලාවෙන් පෙනී සිටින අයවලුන්ගෙන් ප්‍රවේසම් නොවීමේ විපාකය මෙයයි.

Back to Top