Sri Lanka Brief
පුවත්ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ඇයි? කුමක්ද?කෙසේද? ජයම්පතී වික්‍රමරත්න

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ඇයි? කුමක්ද?කෙසේද? ජයම්පතී වික්‍රමරත්න

by

පා.ම.  ජයම්පති වික්රමරත්න විසිනි.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ව්‍යුහයක් සෑදීමට, එසේම එම ව්‍යුහය ජනතාවගේත්, දේශපාලන පක්ෂවලත් පුළුල් සහයෝගයකින් සෑදීමට තිබෙන ස්වර්ණමය අවස්ථාව අද අපට උදා වෙලා තිබෙනවා. අපි අද ගන්නේ ඒ පිළිබඳව වූ පළමුවන පියවරයි. මම එසේ කියන්නේ ඇයි? සියලු ජන කොටස් සම්බන්ධ කර ගෙන, සියලු දේශපාලන පක්ෂ සම්බන්ධ කර ගෙන මීට කලින් අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හැදුවේ නැද්ද? 1947-48 අපට ලැබුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි හදපු ව්‍යවස්ථාවක් නොවෙයි. එය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයන් විසින් අපට දුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. සෝල්බරි කොමිසම එක්තරා ප්‍රමාණයකට ජනතා අදහස් විමසූ බව ඇත්ත. අමාත්‍යවරුන්ගේ කෙටුම්පත සලකා බැලූ බවත් ඇත්ත‍. එහෙත් අවසාන වශයෙන් එය බ්‍රිතාන්‍යයට වුවමනා විධියට අප මත පැටවූ ව්‍යවස්ථාවක්. එම නිසායි ඊට බලවත් විරුද්ධත්වයක් ඇති වුණේ. ඉතාමත්ම ඉක්මනින් අධිරාජ්‍යවාදයෙන් ගැලවුණු අනෙකුත් රටවල් කළා වාගේ තමන්ගේම ව්‍යවස්ථාවක් -ඉංග්‍රීසියෙන් කියනවා, “Autochthonous Constitution” කියලා. ඒ කියන්නේ එම නිදහස් රාජ්‍යයේ පොළොව මතින් හැදුණු ව්‍යවස්ථාවක්.- හැදීමට විශාල උනන්දුවක් තිබුණා. ඒ පිළිබඳව නීති ප්‍රශ්න තිබුණා.

පාර්ලිමේන්තුව තුළින් කටයුතු කර සෝල්බරි ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම අයින් කරන්න අපට පුළුවන්ද? රාජාධිකරණයේ -Privy Council- නඩු කිහිපයක නඩු තීන්දුවල වැකි කිහිපයක් නිසා ඒ පිළිබඳ සැකයක් තිබුණා. ඒ වාගේම කිසිම පක්ෂයකට තුනෙන් දෙකක බලයක් ලබා ගන්න බැරි තත්ත්වයක් තිබුණා. එම නිසා, සෝල්බරි ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගිහින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවෙන් පිටත රැස්වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් තුළින් ව්‍යවස්ථාවක් හැදීමට 1970 මැතිවරණයේදී සමඟි පෙරමුණ ජනතාවගෙන් ජන වරමක් ඉල්ලා සිටියා. බලාපොරොත්තු නොවුණු පරිදි, එවකට තිබූ සමඟි පෙරමුණට ආසන තුනෙන් දෙකකටත් වැඩි ජන වරමක් ලැබුණා. එහෙත්, අර නීතිමය ප්‍රශ්නය මතු වෙයි කියා ඒ තුනෙන් දෙකක ජන වරම පාවිච්චි කර පාර්ලිමේන්තුව තුළින් ව්‍යවස්ථාව හැදුවේ නැහැ. මේ කාරණය බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ අනුව නව රඟහලට සියලු මන්ත්‍රීවරුන් කැඳවූ විට ආණ්ඩු පක්‍ෂය සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 157දෙනාම පළමු රැස්වීමට ආවා. ෆෙඩරල් පක්ෂය, ද්‍රවිඩ සංගමය, එක්සත් ජාතික පක්ෂය, ලංකා සම සමාජ පක්ෂය, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඒ සියලුම පක්ෂ පළමු රැස්වීමට ආවා. ඒ අනුව සියලුම පක්ෂවල සම්බන්ධතාවයෙන්, සියලුම පක්ෂවල එකඟතාවයෙන් ව්‍යවස්ථාවක් හදන්නට මහඟු අවස්ථාවක් ලැබුණා. චෙල්වනායගම් මහත්මයා මෙහෙයුම් කාරක සභාවේ ක්‍රියාකාරී සාමාජිකයෙක් හැටියට කටයුතු කළා. නමුත් කියන්න කනගාටුයි, අවසානයේදී ශ්‍රී ලංකාවට ලැබුණේ සමඟි පෙරමුණට ඕනෑ ව්‍යවස්ථාවක් මිස, සියලු දෙනාම එකඟත්වයෙන් ලැබුණු ව්‍යවස්ථාවක් නොවෙයි කියන කාරණය එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ වාර්තා කියවන විට පෙනෙනවා.

ලංකා සම සමාජ පක්ෂයේ අපි එයට සහභාගි වුණා. අපේ පක්ෂයේ නායකයෙක් වන ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා සහෝදරයා ව්‍යවස්ථා ඇමති හැටියට කටයුතු කළා. ඒක වෙනම කාරණයක්. නමුත් මේ කාරණා පිළිබඳව අපි objectively බලන්න ඕනෑ. ආපසු හැරී බලන විට අපට පෙනෙන පාඩම එයයි.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ජන වාර්ගික ප්‍රශ්නය පිළිබඳව හොඳම උදාහරණය අපේ ගරු සිද්ධාර්ථන් මැතිතුමාගේ පියා වන ධර්මලිංගම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාවයි. ෆෙඩරල් පක්ෂය වෙනුවෙන් එතුමා ෆෙඩරල් යෝජනාව ඉදිරිපත් කර ඇහුවා, ”අපි ඉල්ලන්නේ ෆෙඩරල් රාජ්‍යයක්. නමුත් ඔබලාට ෆෙඩරල් ක්‍රමය පිළිගන්න බැරි නම්, අඩුම ගණනේ සමඟි පෙරමුණේ පක්ෂ සෑම මැතිවරණයකම කියූ ආකාරයට කච්චේරි ක්‍රමය අහෝසි කර දිස්ත්‍රික් මට්ටමේ සභා පිහිටුවන්න බැරිද?” කියලා.

Sir, that is stated in Column 429 of Volume 1 of the Constituent Assembly Debates of 16th March 1971 and I quote:

“If this Government thinks that it does not have a mandate to establish a federal Constitution, it can at least implement the policies of its leader, S.W.R.D. Bandaranaike, by decentralizing the administration, not in the manner it is being done now, but genuine decentralization, by removing the Kachcheris and in their place establishing elected bodies to administer those regions.”

ෆෙඩරල් පක්ෂය වෙනුවෙන් පෙනී සිට, එහෙත් අතරමැදි යෝජනාවක් හැටියට ඉදිරිපත් කළ දිස්ත්‍රික් මණ්ඩල පිහිටුවීම, දිස්ත්‍රික් සභා පිහිටුවීමේ ඒ යෝජනාවට ප්‍රතිචාර දැක්වූයේ නැහැ. සියලුම පක්ෂ එයට වග කියන්න ඕනෑ. විශේෂයෙන් සමඟි පෙරමුණේ සිටි පක්ෂ, ආණ්ඩු බලයේ සිටි පක්ෂ ඒ ගැන කථා කළේවත් නැහැ; උත්තර දුන්නේ නැහැ; ඒකට ප්‍රතිචාර දැක්වූවේ නැහැ.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපි එදා ධර්මලිංගම් මැතිතුමාගේ යෝජනාවට ප්‍රතිචාර දක්වලා දිස්ත්‍රික් සභා පිහිටෙව්වා නම්, මේ රටේ ඉතිහාසය මීට වඩා වෙනස් වෙන්න ඉඩ තිබුණා. එහෙම නම් ෆෙඩරල් පක්ෂය පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට සහභාගි වීම වැළකී සිටීම සිදු වන්නේත් නැහැ. අවසානයේදී ඔවුන් ව්‍යවස්ථාවට සහයෝගය දුන්නත් නැතත්, ව්‍යවස්ථා ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න හොඳටම ඉඩ තිබුණා‍. අපි ඒ අවස්ථාව නැති කර ගත්තා. හුඟදෙනෙක් සිතනවා, ෆෙඩරල් පක්ෂය ඒ අවස්ථාවේදී නැඟිටලා ගියා කියලා. ඒ අය නැඟිටලා ගියේ නැහැ. ඉන් පසු භාෂාව පිළිබඳ එකඟත්වයක් ඇති කරගන්න උත්සාහ කළත් ඒ එකඟත්වය ඇති කරගන්නත් බැරි වුණා.

ඉන් පසු චෙල්වනායගම් මහත්මයා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේදී කිව්වේ මොකක්ද? He did it very apologetically. Walkout එකක්වත් කළේ නැහැ. He said,” We do not want to make a dramatic walkout. But, I want to announce that from tomorrow, the Federal Party will not attend the Constituent Assembly proceedings.” අපි ඒ අවස්ථාව නැති කර ගත්තා. එදා සියලු පක්ෂවලට එකඟ වන්න පුළුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදාගත්තා නම්, යුද ගැටුම් තත්ත්වයක් ඇති වන්නේ නැතිවාක් මෙන්ම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය මීට වඩා හොඳින් ආරක්ෂා කරගන්නත් පුළුවන්කම තිබුණා. අපි ඓතිහාසික අවස්ථාවක් එක වරක් නැති කර ගත්තා.

1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හොඳ ලක්ෂණ ගණනාවක් තිබෙනවා. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන්, ඒ කිරීටයෙන් දේශපාලන වශයෙන් සම්පූර්ණයෙන් කැඩීම, මූලික අයිතිවාසිකම් ඇතුළත් කිරීම, රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ මූලධර්ම ඇතුළත් කිරීම ආදිය ඉතාම ප්‍රගතිශීලියි. එහෙත්, 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉතාම කේන්ද්‍රගත ව්‍යුහයක් – very centralized structure එකක් – ඇති කළා. රාජ්‍ය සේවය පිළිබඳ බලතල අමාත්‍ය මණ්ඩලය ලබාගත්තා. අධිකරණ සේවයේ පහළ පත් කිරීම් පිළිබඳ අවසාන තීන්දුව පවා අමාත්‍ය මණ්ඩලයට පැවරුණා. එම නිසා එම ව්‍යවස්ථාව තිබුණේ නැහැ, දිගු කාලයක්. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙනෙන්න ඉස්සර වෙලා එක්සත් ජාතික පක්ෂය මැතිවරණයට ගිහිල්ලා කිව්වේ, මේ රටේ ජාතික ගැටලුවක් තිබෙන බව පිළිගන්නා බවයි. දෙමළ ජනතාවගේ ප්‍රශ්න විසඳී තිබුණේ නැති නිසා, විසඳාගන්න බැරි වූ නිසා ඔවුන් බෙදුම්වාදයට තල්ලු වී ගිහින් තිබෙනවා කියා පිළිගත්තා, එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රකාශනයෙන්.

ශ්‍රී ලංකාවේ වාමාංශික නොවන පක්ෂයක් එවැනි ප්‍රකාශයක් කරපු පළමුවැනි අවස්ථාව එයයි. එහෙත් මැතිවරණයෙන් හයෙන් පහක වැඩි ආසන සංඛ්‍යාවක් හම්බ වුණාට පසුව මොකද වුණේ? මැතිවරණයට පෙර ඔවුන් කිව්වා, වට මේස – round-table – සාකච්ඡාවක් පවත්වනවා කියලා. නමුත් වට මේසයක් හෝ සාකච්ඡාවක් හෝ -ඒ දෙකෙන් එකක් හෝ- තිබුණේ නැහැ. 1972දී සමඟි පෙරමුණ කළා වාගේ 1978දී එක්සත් ජාතික පක්ෂය විසින් තමන්ට ඕනෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ රට මත පටවනු ලැබුවා. අද අපි ජීවත් වන්නේ එම ව්‍යවස්ථාව යටතේයි.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද අලුත් ව්‍යවස්ථාවක් අවශ්‍ය ඇයි? ඇයි නව ව්‍යවස්ථාව සඳහා අපි පෙනී සිටින්නේ? 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විධායක ජනාධිපති ක්‍රමය මත පදනම් වූ ව්‍යවස්ථාවක්. ඒ පදනම – ඒ foundation එක – දෙදරා අවසානයි. දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් සමහර බලතල පළාත් සභාවලට ගත්තා.

තවත් විශාල contradiction එකක් තිබෙනවා. ඒ තමයි, මධ්‍යම රජයේ කේන්ද්‍රයේ විධායක ජනාධිපති ක්‍රමයක් තිබීම සහ පළාත් සභාවල පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් තිබීම. මෙයද විශාල පරස්පරයක්. දහහත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අපි විධායක ජනාධිපති ක්‍රමයේ බලතල ගණනාවක්ම ඉවත් කළා.

පසු ගිය ආණ්ඩුව දහඅටවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඒ සියල්ල නිෂේධනය කරලා මේ රටේ විධායක ජනාධිපති ක්‍රමය ලෝකයේ ශක්තිමත්ම විධායක ජනාධිපති ක්‍රමය බවට පත් කළා. එහෙත් ජනවාරි 8වන දා අප ලැබූ ජයග්‍රහණයෙන් පසුව අපට පුළුවන් වුණා, විධායක ජනාධිපති ක්‍රමයේ බලතල සියයට 60කින් 65කින් පමණ ඉවත් කරන්න. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා -ජනාධිපතිතුමා- ඉතාම පැහැදිලි ලෙස ප්‍රකාශ කළා,‍ විශේෂයෙන් මාදුළුවාවේ සෝභිත නායක ස්වාමින් වහන්සේගේ අවමඟුල් උත්සවයේදීත් ප්‍රකාශ කළා, එතුමා පෙනී සිටින්නේ විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කිරීමටයි කියලා. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපට මේ පරණ අත්තිවාරම උඩ – foundation එක උඩ – අලුත් ව්‍යවස්ථා රාමුවක් හදන්න බැහැ.

ව්‍යවස්ථාවක් කියන්නේ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම විතරක් නොවෙයි. අපි ජාතික ගැටලුවට විසඳුමක් සොයන්න ඕනෑ. අලුත් මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි, අලුත් මූලික අයිතිවාසිකම් පරිච්ඡේදයක් අවශ්‍යයි. අපේ මූලික අයිතිවාසිකම් සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්වලට පමණක් සීමා වෙලායි තිබෙන්නේ. ලෝකයේ හැම තැනම අද තිබෙන ප්‍රවණතාව මොකක්ද? සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම්වලට අමතරව කාන්තා අයිතිවාසිකම්, ළමා අයිතිවාසිකම්, සමාජ ආර්ථික සහ සංස්කෘතික අයිතිවාසිකම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළු කිරීමෙන් ඒවා උසාවි මඟින් ක්‍රියාත්මක කරවාගන්න පුළුවන්. එම නිසා අපට එවැනි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. නිකම්ම නිකම් අලුත් ව්‍යවස්ථාවක් නොව, නවීන ව්‍යවස්ථාවක් අපට අවශ්‍යයි. මේ සඳහා විකල්ප තුනක් තිබෙනවා.

එකක් තමයි, 1972දී වාගේ පාර්ලිමේන්තුවෙන් පිට ගිහිල්ලා රැස් වෙලා ව්‍යවස්ථාවක් හදන එක. අද ඒක කරන්න බැහැ. හැම මැතිවරණයකටම පස්සේ, ව්‍යවස්ථා‍වෙන් පිට ගිහිල්ලා එය කරන්න බැහැ. විශේෂයෙන් දහහත්වන සහ දහනව වන ආණ්ඩුක්‍ර ව්‍යවස්ථා සංශෝධන ඒකමතිකව වාගේ සම්මත වුණාට පස්සේ අපට ව්‍යවස්ථා විරෝධි විධියට කටයුතු කරන්න බැහැ, 1972දී කළා වාගේ.

දෙවන ක්‍රමය තමයි, තේරීම් කාරක සභාවක් තුළින් මේ කාර්යය කිරීම. 1996-2000 වකවානුවේ -චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයේ- එවැනි තේරීම් කාරක සභාවක් තිබුණා. මම ඒ කාලයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යාංශයේ උපදේශක හැටියට එයට සහභාගි වුණා. මගේ අත් දැකීම් අනුව කිව්වොත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා කවදාවත් තේරීම් කාරක සභා ක්‍රමය නම් පාවිච්චි නොකළ යුතුයි. ඒ ඇයි? එය රැස් වන්නේ ප්‍රසිද්ධියේ නොවෙයි. කාරක සභාව ඇතුළේ මොකද වන්නේ කියා අනික් අය දන්නේ නැහැ. සමහර මන්ත්‍රීවරු පිටතදි එකක් කියනවා; කාරක සභාවට ඇවිත් තව එකක් කියනවා. ඒ ඉදිරිපත් කරන ලේඛන රටට යන්නේ නැහැ, පාරදෘශ්‍ය නැහැ. එය කිසිම විනිවිදභාවයකින් තොර ක්‍රියාවලියක්. එම නිසා තමයි, මෙවර මේ යෝජනාවට මම සම්පූර්ණයෙන් සහයෝගය දෙන්නේ. ඒ වාගේ කාමරයක රැස්වී, තේරීම් කාරක සභාවක් තුළින් හදන ව්‍යවස්ථාවක් නොවෙයි මෙවර සැකසෙන්නේ. මෙය අප 225දෙනාම පාර්ලිමේන්තුවේ මේ සභා ගර්භයේ ‍පූර්ණ කාරක සභාවක් හැටියට රැස් වෙලා හදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්; ඉතාම විවෘතව, ඉතාම විනිවිදභාවයෙන් යුතුව කරන කාර්යයක්.

මීට සමාන්තරව මහජන අදහස් ලබාගන්නා කමිටුව – Public Representations Committee එක – දැනටම ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙනවා; හැම දිස්ත්‍රික්කයකටම යමින් මේ ගැන මහජන අදහස් ලබාගන්නවා. ඒ වාගේම පිට රටවල සිටින ලාංකිකයන්ට පවා වීඩියෝ තාක්ෂණය මඟින් මේ පිළිබඳව අදහස් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබාදෙන්න යනවා. අප මේ හදන ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය කථා කරන හැම වචනයක්ම හැන්සාඩ් වාර්තාවේ පළ වෙනවා. මේවා රූපවාහිනියෙන් දැක ගන්න, ගුවන් විදුලියෙන් අසන්න මුළු රටටම අවස්ථාවක් ලැබෙනවා. ඉදිරිපත් කරන හැම ලේඛනයක්ම හැන්සාඩ් වාර්තාවට යනවා. එම නිසා ඉතාම පාරදෘශ්‍ය ක්‍රමයක් තමයි මේ යෝජනා කර තිබෙන්නේ. මීටත් වඩා හොඳ ක්‍රමයක් මට නම් පෙනෙන්නේ නැහැ. එම නිසා තමයි යෝජනා කර තිබෙන මෙම ක්‍රමයට මම සම්පූර්ණ සහයෝගය දක්වන්නේ.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අප පත් කරන මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය ගැන මම තව දුරටත් විස්තර කරන්නම්.

අපේ මන්ත්‍රීවරු 225දෙනාම කාරක සභාවක් හැටියට රැස් වෙනවා. සියලුම පක්ෂවල නියෝජිතයන් ඇතුළත් වන පරිදි 21දෙනෙකුගෙන් යුත් මෙහෙයුම් කාරක සභාවක් – Steering Committee එකක් – තිබෙනවා. එය විසින් තමයි ප්‍රධාන කටයුත්ත කරන්නේ. අප 225දෙනාම මූලික සාකච්ඡාවක් කරලා, අනුකමිටු පත් කරලා, ඒ අනුකමිටුවල වාර්තා ලබාගෙන, මහජන අදහස් ලබාගන්නා කමිටුවේ වාර්තාවත් ලබාගෙන, පසුව මෙහෙයුම් කාරක සභාව – Steering Committee එක – මුල් කෙටුම්පතක් ඉදිරිපත් කරනවා. ඒ විස්තර සියල්ල ඉතාම දීර්ඝ වශයෙන් මෙම යෝජනාවේ සඳහන් කර තිබෙනවා. ඒ මුල් කෙටුම්පත නැවත සාකච්ඡා කරනවා. ඉන් පසුව සාමාන්‍ය විවාදයක් – general debate එකක් – තිබෙනවා. එයින් පසුව ඕනෑම මන්ත්‍රීවරයෙකුට සංශෝධන යෝජනා කරන්න පුළුවන්. මේ විධියට සම්පූර්ණ විවාදයකින් පසුව එම මෙහෙයුම් කාරක සභාව නැවත රැස් වෙලා, අර අදහසුත් ලබාගෙන, සංශෝධනත් ලබාගෙන, ඉන් පසුව කෙටුම්පතක් ඉදිරිපත් කරනවා. ඒ කෙටුම්පත පාර්ලිමේන්තුවට -අපේ පූර්ණ කාරක සභාවට- ඉදිරිපත් කරලා, ඒ කෙටුම්පතේ වගන්තියෙන් වගන්තියට සාකච්ඡා කරනවා කියා මේ යෝජනාවේ බොහොම පැහැදිලිව සඳහන් කර තිබෙනවා. ඒ විධියට වගන්තියෙන් වගන්තියට සාකච්ඡා කරලා, තුනෙන් දෙකක ඡන්දයක් ලබාගන්න පුළුවන් කෙටුම්පතක් හදන්න අප උත්සාහ කරනවා. ඉන් පසුව අපේ කාර්ය භාරය අවසන් වෙනවා.

එතැනින් පසුව කැබිනට් මණ්ඩලය ඒ කාර්ය භාරය පවරා ගන්නවා. කැබිනට් මණ්ඩලය එම කෙටුම්පත සම්මත කොට, තුනෙන් දෙකක ඡන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත කළ යුතු පනත් කෙටුම්පතක් හැටියට සහතික කරනවා. ඉන් පසුව එය ගැසට් පත්‍රයේ පළ කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් නියම කර තිබෙන පරිදි එම පනත් කෙටුම්පත පළාත් සභා සියල්ලටත් යවනවා. ඉන් පසු යම් කෙනෙකුට අවශ්‍ය නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඊට විරෝධය දක්වන්න පුළුවන්. නමුත්, ජනමත විචාරණයකින් සම්මත කරනවා කියා සහතික කරනවා නම් ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ ගැන ක්‍රියා කරන්න බලයක් නැහැ කියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙනවා. නමුත්, ඕනෑම කෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණයට යෑමට තහනමක් නැහැ. ඉන් පසු එය නැවත විවාද කරලා, වෙනදාට මේ ගරු සභාවේ අප සාමාන්‍ය පනත් කෙටුම්පතක් සම්මත කරනවා වාගේ, නැවත වගන්තියෙන් වගන්තිය සාකච්ඡා කරලා, තුනෙන් දෙකක ඡන්දයකින් එය සම්මත කර ගන්නවා. ඉන් පසුව ජනමත විචාරණයකින් එය අනුමත කර ගන්නවා. ඉතින් මීටත් වඩා පාරදෘශ්‍ය, මීටත් වඩා ජනතාව සහභාගි කරගන්නා, මීටත් වඩා සියලුම පක්ෂ සහ ජන කොටස් සම්බන්ධ කරගන්නා ව්‍යවස්ථා ක්‍රියාවලියක් මට නම් යෝජනා කරන්න බැහැ.

හේතු දෙකක් නිසා සමහර අය මේ කටයුත්තට විරුද්ධ වෙන්න පුළුවන්. සමහරු සම්පූර්ණයෙන්ම දේශපාලන හේතු නිසා විරුද්ධ වනවා. තවත් සමහරු මේ විවාදයේදී මතුවෙන්න ඉඩ තිබෙන කාරණා පිළිබඳ ස්ථාවරයන් ගන්න කැමැති නැති නිසා මේ කාර්යයට සහයෝගය දෙන්නේ නැහැ.

අප මේ කාර්යය පටන් ගත යුත්තේ විවෘත මනසකින්. සියලුම ප්‍රශ්න – to say in English, issues are to be on the table. අපට අපේ පරමාදර්ශ තිබෙනවා. වාමාංශිකයෙකු හැටියට මගේ පරමාදර්ශය සමාජවාදයයි. මිශ්‍ර ආර්ථික ක්‍රමයක් සඳහා පෙනී සිටින සමහර පක්ෂ තිබෙනවා, ධනපති ක්‍රමය දිගටම රැගෙන යන්නට කැප වුණු පක්ෂ තිබෙනවා, ඒකීය රාජ්‍ය තියා ගැනීමට කැප වුණු පක්ෂ තිබෙනවා, ෆෙඩරල් ක්‍රමයකට කැප වුණු පක්ෂ තිබෙනවා. අපි සියලු දෙනාටම එකඟවෙලා, අවසාන වශයෙන් එකඟත්වයකට එන්නට ඉඩ තිබෙනවා. Finally, it is a compromise. 1972, 1978 කළා වාගේ පටවන්නේ නැතිව අපට අවශ්‍ය වන්නේ සියලු දෙනාම එකඟ වන compromise constitution එකක්; consensus constitution එකක්. සියලු දෙනා සියලුම වගන්තිවලට එකඟ වෙන්න වෙන්නේ නැහැ. සමස්තයක් වශයෙන් ගත්තොත් මේ රටේ ජනතාවට එකඟ වෙන්නට පුළුවන්, මේ රටේ සියලු දේශපාලන පක්ෂවලට එකඟ වෙන්න පුළුවන් අවස්ථාවක් මේක.

මෙය ස්වර්ණමය අවස්ථාවක්ය කියා මම කියන්නේ තවත් හේතුවක් නිසයි, මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි. 1972 සමඟි පෙරමුණට ‍තුනෙන් දෙකක බලයක් තිබුණා. 1978 එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක බලයක් තිබුණා. අද එක්සත් ජාතික පක්ෂයට තුනෙන් දෙකක බලයක් තියා සරල බහුතරයක්වත් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සරල බහුතරයක්වත් නැහැ. නමුත්‍ මේ පක්ෂ දෙක එකට වැඩ කරනවා. ඒ වාගේම ‍අනෙකුත් පක්ෂ වන දෙමළ ජාතික සන්ධානය, ඊපීඩීපී පක්ෂය, විරුද්ධ පක්ෂයේ ඉඳ ගන්නා වෙනත් පක්ෂවල සහයෝගය ඇතිව මේ ආණ්ඩුවට තුනෙන් දෙකක සහයෝගයක් තිබෙන බව අප දන්නවා. අය වැය ලේඛනය දෙවනවර සහ තුන්වනවර කියවීම කියන අවස්ථා දෙකම අපට තුනෙන් දෙකකින් සම්මත කර ගන්න ලැබුණා. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තුනෙන් දෙකකින් සම්මත කිරීමට තිබෙන ඉඩකඩ ඉතාමත්ම වැඩියි. නමුත් අප කළ යුත්තේ අපේ ඡන්දවලින් පමණක් අලුතින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කරන එක නොවෙයි. අපට තවත් සහයෝගය ලබා ගන්න අප උත්සාහ කළ යුතුයි. අවසානයේ හැම දෙනාම ඡන්දය ලබා දෙන්නේ නැහැ. නමුත් හොඳ සාකච්ඡාවකින් පසුව පුළුවන් තරම් වැඩි ප්‍රමාණයකගේ සහයෝගය ලබා ගත යුතුයි. එවැනි සාකච්ඡාවකින් තමයි ජනතාව දැන ගන්නේ, විරුද්ධ වන අය කුමන පටු දේශපාලන හේතු නිසාද එයට විරුද්ධ වන්නේ කියා. ඒ නිසා තමයි ඉතාමත් පුළුල් සාකච්ඡාවක් අවශ්‍ය වන්නේ.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාගේ අවසරය ඇතිව අවසාන වශයෙන් දේශපාලන කරුණක් කියා මම මගේ කථාව අවසන් කරන්න කැමතියි. මේ පාර්ලිමේන්තුව තුළ ලංකා සමසමාජ පක්ෂයේ බහුතර කණ්ඩායම නියෝජනය කරන්නේ මමයි. ලංකා සමසමාජ පක්ෂයේ හිටපු අපේ නායක (ආචාර්ය) එන්.‍එම්. පෙරේරා මැතිතුමා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා 1978 සිට පෙනී සිටියා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන දුර්වලකම් කියා දුන්නා. පෙර දැක්මක් ඇතිව – අංජනමක් බලනවා වාගේ – කිව්වා, මෙන්න මේ වාගේ දේවල් තමයි වෙන්නේ කියලා. ඒ ආකාරයට බොහෝ දේවල් සිදු වුණා.

ඊට අමතරව අපට අවුරුදු ගණනාවක අත්දැකීම් තිබෙනවා. අපට නැවත ගැටුම්කාරී තත්ත්වයකට යන්නට බැහැ.‍ මේ ජාතික ගැටලුවට අපට විසඳුමක් ඕනෑ. සියලුම ජන කොටස් නියෝජනය කරන අපට විසඳුමක් ඕනෑ. දීර්ඝ කාලීන, කල් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා සියලුම දේශපාලන පක්ෂවල වාගේම සිංහල, දෙමළ, මුස්ලිම්, කඳුකර දෙමළ සහ අනිකුත් ජන කොට්ඨාස නියෝජනය කරන සියලු දෙනාටම පිළිගන්නට පුළුවන් එකඟතාවක් අප ලබා ගත යුතුයි.

මම කලිනුත් කිව්වා වාගේ අපට නවීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරන්න ‍‍‍වේවි. මම නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලට ප්‍රතිපත්තියක් හැටියට විරුද්ධ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කරන්න ඕනෑ නම් එම සංශෝධන කළ යුතුයි. නමුත් අප පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනෑ, කල් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට. කල් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියලා අපට හිතන්න පුළුවන්, නවීන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අපට අවශ්‍යයි. අපට අවශ්‍ය වෙන්නේ නිකම්ම නිකම් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා පෙන්වන්න එක ලේඛනයක් නොවෙයි. අපට අවශ්‍ය වන්නේ අනාගත පෙර දැක්මක් ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. We need to make a Constitution, not with a blank stare at the future, but with a futuristic vision. අනාගත ඉදිරි දැක්මක් ඇතිව අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්නට අප සියලු දෙනාටම වාසනාව ලැබේවා! කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. බොහොම ස්තුතියි.

Back to Top