Sri Lanka Brief
පුවත්ලෞකික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කරා – ගාමිණී වියන්ගොඩ

ලෞකික ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කරා – ගාමිණී වියන්ගොඩ

by

අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ සංවාදය දැන් ඉතා ප‍්‍රබලව මතුවෙමින් තිබේ. මෙහිදී, එක් කඳවුරක අදහස වන්නේ, නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගැන දැන් ආණ්ඩුව කතා කරන්නේ, වෙනත් ක්ෂේත‍්‍රයන් වෙතින් මතුවෙමින් ඇති විරෝධය වෙනතක හැරවීමට බවයි. ඒ සම්බන්ධයෙන් ඔවුන් දක්වන නිශ්චිත නිදසුන් කිහිපයක් තිබේ. ඉන් ප‍්‍රධාන වන්නේ, පසුගිය ආණ්ඩු කාලයේ මේ රටේ සිදුවිණැ යි කී මහ පරිමාණ දූෂණ සහ අපරාධවලට අදාළ පරීක්ෂණ සහ නඩු විභාග තවමත් ඇල්මැරුණු තත්වයක පවතින තත්වයයි. ඒවාට සම්බන්ධ කිසිවෙකු තවමත් නීතිය ඉදිරියේ දඬුවම් ලබා ඇති බවක් දක්නට නොමැති බව ඔවුහූ පෙන්වා දෙති. මේ මතය දරණ අය අතරේ අවංක යහපාලනයක් අපේක්ෂා කරන පිරිසක්ද සිටිති. එහෙත් වැඩිපුර මේ අදහස සමාජගත කරන්නේ, එදා ඔය කියන විදිහේ අපරාධ හෝ දූෂණ සිදුව නැති බවට, මේ තත්වය සාක්ෂියක් වශයෙන් ගෙනහැර පෑමට වැඩි ඇල්මක් දරන පිරිසකි. දෙවැනුව, ජනතාවගේ දෛනික ජීවිතය දිනෙන් දින දුෂ්කර වෙමින් පවතිද්දී ඒ පිළිබඳව තත්පර නොවී ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ‘බදාගන්නේ’, ආර්ථික ක්ෂේත‍්‍රයේ දක්වන අසාර්ථකතා කපටි ආකාරයෙන් මේ සංවාදය තුළ දිය කර හැරීමේ උවමනාවක් පෙරදැරිව බව, මේ දෙවැනුව කී පිරිසේ අදහසයි.

පසුගිය රජයේ දූෂණ සහ අපරාධ සම්බන්ධයෙන්, අවශ්‍ය පරිද්දෙන් සහ අවශ්‍ය ජවයෙන් යුතුව, අදාළ නීති කටයුතු සිදු නොවන බව සැබෑව. එසේම, තෙල් මිල පෙරට වඩා අඩු කර තිබියදී පවා, එහි ප‍්‍රතිලාභ සාමාන්‍ය ජනතාව අතරට නොයාම පිළිබඳ ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවක් දක්නට ලැබෙන බවත් සැබෑව. එහෙත්, ඒ කාරණා දෙක සහ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ඇති කර ගැනීමට ආණ්ඩුව දක්වන සැබෑ උනන්දුව අතර ගොඩනැගීමට වෙර දරණ ඊනියා සම්බන්ධතාව, ඇතැම් කණ්ඩායම් විසින් මේ තත්වය දඩමීමා කර ගනිමින් ඉටු කර ගැනීමට මානබලන පටු දේශපාලන ව්‍යාපෘතියක එක් අංගයක්ම මිස වෙනකක් නොවේ.

මේ ජනාධිපතිවරයාත්, නව ආණ්ඩුවත් බලයට පත්වුණේම, රටේ දේශපාලන සංස්කෘතියේ රැඩිකල් වෙනසක් රටට පොරොන්දු වෙමිනි. පසුගිය රජයේ දූෂණ සහ අපරාධ සම්බන්ධයෙන් පවා, අරටුවේ ඇත්තේ දේශපාලන සංස්කෘතියක් පිළිබඳ ප‍්‍රශ්නයක් බව යහපාලන කඳවුර එදා සිටම පෙන්වා දුන් මූලික කරුණකි. ඒ නිසා, ‘හෙල්පිං හම්බන්තොට’ හරහා සුනාමි සහනාධාර ගසාකෑමට තැත් කිරීමේ සිට පසුගිය රජය යටතේ සිදුවූ, මත්තල ගුවන් තොටුපොළ, හම්බන්තොට වරාය, සිනමා ගම්මානය සහ මිහින්ලංකා වැනි සුදු අලින් ඇතුළු වෙනත් සකල විධ දූෂිත ව්‍යාපෘති පසුපස තිබුණේ, එක්තරා දේශපාලන සංස්කෘතියක් බව එදා සිටම මේ යහපාලන කඳවුර අවධාරණය කොට තිබේ.

පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කර ගැනීමේ තීරක සාධකය වන්නේ, විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කෙරෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකසා ගැනීමයි. එබැවින්, අද ව්‍යවස්ථා සම්පාදනයක් වෙනුවෙන් ආණ්ඩුව කාලය වැය කිරීම, ඔවුන්ගේ වෙනත් අසමත් භාවයක් වසා ගැනීමට ගන්නා කූට ප‍්‍රයත්නයක් වශයෙන් දැක්වීම, නන්නත්තාර දේශපාලනික සරණාගතයන්ට මිස, බරසාර දැක්මක් ඇති කිසිවෙකුට එකඟ විය හැකි තර්කයක් නොවේ.

මේ කල්ලියේ සංඛ්‍යාත්මක අගය ඉක්මවා යන හයියක් ඔවුන් විසින් අත්පත් කරගෙන ඇති තත්වය තුළ (යහපාලන පාලකයන් ඊට වගකිව යුතුව තිබේ)  මෙකී විරෝධය හරහා යම් අභාග්‍ය සම්පන්න තත්වයකට සමාජය ඇද දැමීමේ හැකියාව ඇති බව කිව යුතුය. තමන්ට සැබවින් නැති හයියක් මොවුන් අත්කර ගන්නේ මාධ්‍ය හරහා ය. රටේ ප‍්‍රධාන ප‍්‍රශ්න අරභයා බහු-පාර්ශිවීය මත ගැටීම් රට ඉදිරියේ තැබීම මාධ්‍යයේ සිරිතයි. ඒ නිසා, අර කියන කල්ලියට විශේෂ ස්ථානයක් මාධ්‍ය වාර්තාකරණය තුළ ඉබේම ලැබෙයි. ඊළඟට, ඔවුන් ඉදිරිපත් කරන ඉහත කී මතිමතාන්තර කාලයක් තිස්සේ, විශේෂයෙන් යුද්ධ කාලයේ මේ රටේ දකුණේ පොදු කතිකාව තුළ ජනප‍්‍රියත්වයක් ලබා ගත් නිමිති ය. නිදසුනක් වශයෙන්, විදේශ කුමන්ත‍්‍රණ, එන්.ජි. ඕ. කුමන්ත‍්‍රණ, බටහිර ගැති ප‍්‍රතිපත්ති, බෞද්ධ විරෝධය වැනි කාරණා සම්බන්ධයෙන් දකුණේ ජනමතය යුද්ධ කාලය තුළ හැඩගස්වා තිබුණේ එවැනි මතවාද ගෙන යන කණ්ඩායම්වලට ආරම්භයේ සිටම විශේෂ වාසිදායක තත්වයක් මාධ්‍ය කතිකාව තුළ අත්කර දෙන අන්දමිනි.

අදාළ ව්‍යවස්ථාව මොන ආකාරයේ එකක් වේදැයි තවම ආණ්ඩුව පැත්තෙන් කිසි ලියවිල්ලක් ඉදිරිපත් නොකොට තිබියදීත්, ඉහත කී කල්ලිය, මේ කියන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් රටේ ඒකීය භාවය අහෝසි වන බව කියන්නේ එබැවිනි. පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට දී ඇති ප‍්‍රමුඛස්ථානය අලූත් ව්‍යවස්ථාවෙන් නැති කෙරෙන බව කියන්නේ එබැවිනි. එහි අරමුණ වන්නේ, පෙර පරිදිම ජාතිය සහ ආගම ඉදිරියට ගනිමින් රට ගිනි තැබීමයි. මේ කියන කාරණා ද්වය සම්බන්ධයෙන් දැනටමත් අගමැතිවරයාත්, ජනාධිපතිවරයාත් සැබෑ තත්වය රට හමුවේ තබා තිබේ. ඒ දෙදෙනාම පුන පුනා කියන පරිදි, අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සැදෙනු ඇත්තේ ඉහත කී කාරණා දෙකේ (ඒකීය භාවය සහ බෞද්ධාගමට ප‍්‍රමුඛස්ථානය දීම සම්බන්ධයෙන් වන* කිසි වෙනසක් නැතිවයි.

මේ ලියුම්කරු නියෝජනය කරන්නේ, ඉහත කී විවේචකයන් සහ ආණ්ඩුව යන කඳවුරු දෙකම දරන අදහසට ප‍්‍රතිපක්ෂ මතවාදයකි. එය හැඳින්වන්නේ ලෞකික ව්‍යවස්ථාවක් යනුවෙනි. ව්‍යවස්ථාව යනු රාජ්‍ය පාලනය පිළිබඳ මූලික ලියවිල්ලයි. රාජ්‍ය පාලනය යනු ලෞකික කර්තව්‍යයකි. ආගම සම්බන්ධයෙන් කටයුතු කළ යුත්තේ, ආගමික සංස්ථාවන් මිස ආණ්ඩුවක් හෝ රාජ්‍යයක් නොවේ. අනාදිමත් කාලයක් තිස්සේ රට කැරැුවූයේ සංඝ සාසනයේ ආශීර්වාදය සහ අනුශාසනා යටතේ වීම, නූතන රාජ්‍යයත් එසේ විය යුතු යැයි කීමට හේතුවක් නොවේ. ලංකාව පමණක් නොව, යුරෝපයේ සෑම රටකමත් ඉතිහාසය, ආගමික සංස්ථාවන්හි ග‍්‍රහණයට යටත්ව පැවති රාජ්‍ය ක‍්‍රමයන් පිළිබඳ ඉතිහාසයකි. බුදුන් වහන්සේ උපන් ඉන්දියාවේ ඉතිහාසය පවා එවැන්නකි. එහෙත් ඒ රටවල් අද වන විට, ආගමික සංස්ථාව රාජ්‍ය පාලනයෙන් ඉවත් කොට තිබේ. අනිත් අතට, ආගම රාජ්‍යයට බද්ධ කරගෙන සිටින ඇතැම් මැද පෙරදිග රටවල වර්තමානය ගැන සළකන විට, රාජ්‍යයක් ආගමික වීමෙන්, රාජ්‍යයට සේම ආගමටත් සිදුවිය හැකි අනර්ථය මොනවට පැහැදිළි වෙයි.

කෙසේ වෙතත්, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඇතුළු යහපාලන ආණ්ඩුවට, රාජ්‍යය සහ ආගම අතර පැවතිය යුතු එවැනි ලෞකික ස්ථාවරයක් ගැනීමට උවමනාවක් හෝ හැකියාවක් හෝ නැති බව අපි දනිමු. එසේ වතුදු, අනාගත ලාංකීය පරම්පරාවක අනාගතය තකා, මේ ලෞකික ආකල්පය සිවිල් සමාජ කතිකාව තුළ ඉදිරියට ගත යුතුව තිබේ. එහිදී, ඉස්සර තිබුණු පමණින් හෝ දැනට තිබෙන පමණින්, හෙටටත් පැවතිය යුතු යැයි ගැනීමේ සරළමතික මනෝ තර්කණය ප‍්‍රශ්න කළ යුතුව තිබේ.

වර්තමාන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියේ මෙසේ කියැවෙයි: ‘‘ශ‍්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වැනි ව්‍යවස්ථාවෙන් සහ 14 වැනි ව්‍යවස්ථාවේ (1) වැනි අනුව්‍යවස්ථාවේ (ඉ) ජේයෙන් සියලූම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර, බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය.’’

මේ වගන්තියේ ඇති බහුබූත පටලැවිල්ල ගැන වෙනම තැනක ලියැවෙනු ඇත. දැනට, එක සැසඳීමක් පමණක් මෙහිදී කරනු කැමැත්තෙමි. එහි සඳහන් ‘බුද්ධාගම’ යන වචනය වෙනුවට ‘සිංහල ජාතිය’ යන වචනය ආදේශ කළොත් එය ලියැවෙනු ඇත්තේ මෙසේය:

‘‘ශ‍්‍රී ලංකා ජනරජය සිංහල ජාතියට ප‍්‍රමුඛස්ථානය පිරිනමන්නේය… සියලූ ජාතීන්ට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර, සිංහල ජාතිය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේය.’’

ජාතිය අරභයා මෙවැන්නක් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට ඇතුලත් කිරීම මොන තරම් නපුරු අපබ‍්‍රංශයක් වනු ඇත්දැයි අමුතුවෙන් කිව යුතු නැත. එසේ නම්, ආගම සම්බන්ධයෙන් එවැන්නක් රටක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට ඇතුලත් කිරීම ‘ස්වාභාවික’ වන්නේ කෙසේද?

– රාවය

Back to Top