Sri Lanka Brief
පුවත්රාජ්‍ය මාධ්‍ය හීතල යුද්ධය සහ යහපාලන අනාගතය – සුනන්ද දේශප්‍රිය

රාජ්‍ය මාධ්‍ය හීතල යුද්ධය සහ යහපාලන අනාගතය – සුනන්ද දේශප්‍රිය

by

(නිළ ගීතය නිලමැසි නාදයක් වූ වග)

2002 -2004 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සහ ජනාධිපති කුමාරතුංග අතර වූ දේශපාලන සහජීවනය බිඳී යාමාට එක් හේතුවක් වූයේ රාජ්‍ය මාධ්‍ය කව්රුන් විසින් පාලනය කළ යුතු ද යන ප්‍රශ්ණය යි.
අවසානයේ දී ජනමාධ්‍ය අමාත්‍යාංශය තමා යටතට ගත් කුමාරතුංග රාජ්‍ය මාධ්‍ය සිය පාලනයට නතු කර ගත්තා ය. පසුව ජවිපෙ, හෙළ උරුමය සහ ශ්‍රීලනිප රාජපක්ෂ නායකත්වයෙන් යුතු දේශපාලන පෙරමුණ එකී රාජ්‍ය ජනමාධ්‍ය අතිශය අන්තගාමී ලෙස 2005 මහා මැතිවරණයේ දී වෛශ්‍යා වෘත්තියෙහි යෙදවූවා ය.

රාජ්‍ය මාධ්‍ය බලයට පත්වන දේශපාලනඥයින්ගේ පාලනයෙන් නිදහස් ස්වාධීනත්වයක් භුක්ති වින්දේ නම් ද එකී ස්වාධීනත්වය තහවුරු කැරෙන ස්වාධීන කොමිෂන් සභා යාන්ත්‍රණයක් තිබුණේ නම් ද එදා හෝ අද මෙවැනි ප්‍රශ්ණයක් මතු වන්නේ නැත. මන්ද යත් එවිට දේශපාලනඥයින්ට ඒවාට ඇඟිලි ගැසීමට නොහැකි නිසාය.

වත්මනෙහි අප පසුකරමින් සිටින්නේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අතිශය වැදගත් මෙම දේශපාලන සංධිස්ථානයකි. ප්‍රවීන ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයකු වන ගෝපාල්ක්‍රිෂ්ණ ගාන්ධි පසුගිය 08දා කියා සිටි පරිදි මේ මොහොත අත හැරී ගිය හොත් යළි එවැනි මෙහොතක් නොපැමිණෙනු ඇත. ඔහු මෙම දේශපාලන මොහොත ලෙස හැදින්වූයේ දේශපාලන විසඳුමක් ඇතුලු යහ පාලන ප්‍රතිසංස්කරණ සඳහා රටෙහි ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක්ව ආණ්ඩුවක් පිහිටුවා ඇති මෙම සන්ධිස්ථානය යි. ගෝපාල්ක්‍රිෂ්ණ ගාන්ධි එළෙස සඳහන් කළේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙහි පැවැති මෛත්‍රීපාල පදවි ප්‍රාප්තියේ ප්‍රථම සංවත්සරයෙහි ආරාධිත දේශණය පවත්වමිනි.

දැන් මෙම දේශපාලන සමතුලිතභාවය කඩා බිඳ විනාශ කර දැමිය හැකි තර්ජනයක් වන තරමට රාජ්‍ය මාධ්‍ය පාලනය කළ යුත්තේ කව්රුන් විසින් කෙළෙසදැයි යන ප්‍රශ්ණය ඉස්මත්තට පැමිණෙමින් තිබේ.
මෙම විරුද්ධවාදීකම් 2016 ජනවාරි 08දාට යෙදුණු ජනාධිපති සිරිසේන පදවි ප්‍රාප්තියේ ප්‍රථම සංවත්සරය වටා කළ එළියට පැමිනුණි.

එකී සංවත්සරයේ ප්‍රධාන උත්සවය පැවැතියේ කොලඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවෙහිදීය. එහිදී ආරාධිතයිනට බෙදා දුන් පිටු 225ක් ද ලිපි 32ක් ද ඇතුළත් වූ එකම දැයක්, මහ බලයක් නම් සංග්‍රහය සංස්කරණය කරන ලද්දේ ජනාධිපති කාර්යාලයේ අනුග්‍රහයෙනි. එහි ජනවාරි වෙනසෙහි අසම සම මූලිකයකු වු අපවත් වූ මාදුළුවාවේ සෝභිත හිමි අරභයා එක් වචනයක්වත් ලියැවී නොතිබුණි. එවැනිම කාර්ය භාරයක් ඉටු කළ හිටපු ජනාධිපති කුමාරතුංග සම්බන්ධයෙන් ද දක්වා තිබුණේ එම නිශේධාත්මක විෂම සැළකිල්ලම ය.

එම සංග්‍රහය ජනාධිපතිවරයාට පිළිගන්වනු ලබන්නේ පුරවැසි බලය සම කැඳවුම්කරැ ගාමිණී වියන්ගොඩ විසින් යැයි නිවේදනය වුවද ඒ වනවිටම ජනාධිපති කාර්යාලයේ සමීපතමයින් දෙදෙනෙකු නැගිට එම කාරියට සූදානම් සිටියේ ය. වියන්ගොඩ ද කැපී ගියේ ය.

වසරකට පෙර සිදුවූ ජනවාරි විප්ලවයේ තේමා පාඨයන්ට කිසිසේත්ම නොගැලපෙන අතිශය පසුගාමී නිර්මානයක් වූ ‘2016 වසරෙහි ජනාධිපති නිල ගීතය’ තවත් බේදවාචකයක් බවට පත් විය. කෙටියෙන් එය රාජපක්ෂ අවතාරය ජනාධිපති සිරිසේනට ආරූඩ කරවීමක් බඳුවිය. පැය 24ක් යෑමට මත්තෙන් ජනාධිපති කාර්යාලයට එය ඉවත් කර ගැනීමට සිදු වූයේ සතර අතින් නැගී ආ විරෝධය හමුවෙහිය.

ජනාධිපති සිරිසේන සිංහල දෙවිවරුන් කණ්ඩායමක් විසින් වර්ණනාවට ලක් කැරෙන එම ගීතය අර්ථයෙන් ද සංගීතයෙන් ද රෑපයෙන් ද පසුගාමී සහ ළදරු මට්ටමේ පැවැතුණි. එම විඩියෝව විකාශණය කරන්නැයි රූපවාහිනී නාලිකා කරා යවන ලද්දේ ජනාධිපති මාධ්‍ය ඒකකයට මෑතදී බඳවා ගත් දේශපාලන අයනු ආයනුවත් නොදන්නා හිටපු රෑපවාහිනී නිවේදකයකු විසිනි.

ඊළගට ජනාධිපති කාර්යාලය විසින් ජාතික රූපවාහිනියට යවන ලද කථික ලැයිස්තුවක් මහත් මතභේදයකට ලක් විය. එම ලැයිස්තුවෙහි තිබුණේ ජනවාරි 08 දින වටා කැරෙන සංවත්සර වැඩ සටහන් වලට කැඳවිය යුතු බවට ජනාධිපති කාර්යාලය නිර්දේශ කරන අයගේ නම්ය. එම ලැයිස්තුවෙන් පිට කිසිවකු නොකැදවිය යුතු බව එහි ව්‍යංගාර්ථය විය. ප්‍රථමයෙන් එවැනි ලැයිස්තුවක් යැවීම මාධ්‍ය නිදහස කෙළෙසීමකි. දෙවැනිව එම ලැයිස්තුව පිරී ඇත්තේ ජනාධිපති උපදේශකයින්ගේ හොඳ පොතේ සිටිනා අයගෙනි.

එපමණක්ම නොවේ. ජනවාරි 08වන දින විකාශණය කිරීම පිණිස ජාතික රෑපවාහිනිය විසින් නිශ්පාදනය කර තිබූ වැඩ සටහනක් එහි සභාපති සහ අයිටීන් ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකු හා එක්ව කප්පාදු කළේ ය. එසේ කප්පාදු කිරීමට ඔහුට කිසිදු අයිතියක් නොතිබූණි. එළෙස ඔහු විසින් ඉවත් කරන ලද්දේ 18වන සංසෝධනය සම්බන්ධයෙන් තිබූ විනාඩි 03ක් තරම් වූ වැදගත් කොටසකි. රූපවාහිනී සභාපතිට අනුව 18වන සංසෝධනය ඉතිහාසයට අයත් නිසා ඒ ගැන කතා කිරීම අවශ්‍ය නැත.

තවමත් රැව් පිළිරැව් දෙන තනපට කතාවේ සිට මේ සියලු සිදුවිම් හරහා පෙනී යන්නේ ජනපති සිරිසේනගේ දේශපාලන උපදේශකයින් මැස්සන් එළවීමට රජතුමාට කඩුවෙන් කෙටූ වඳුරු ආරක්ෂකයින්ට සමාන බව ය.
ජනාධිපති සිරිසේන විසින් 09 දින පාර්ලිමේන්තුවෙහි දී කරන ලද අනර්ඝ කතාවට යුතු ප්‍රසිද්ධිය ලබා දීමට රාජ්‍ය මාධ්‍ය අසමත් විය. එමෙන්ම ජනවාරි 08 දින පැවැති සංවත්සර රැස්වීමෙහිදී ගොපාල්ක්‍රිෂ්නන් ගාන්ධි විසින් කරන ලද සාරගර්භ කතාවද ජනාධිපති උපදේශකයින් විසින් නොසළකා හරින ලදී.

දැන් අපි අනෙක් පැත්ත බලමු. එනම් අගමැති වික්‍රමසිංහ පාර්ශවයට බලය ඇති ලේක්හවුසියේ තත්වය යි. මෙයට පෙර ද මෙම තීරුවෙහි සඳහන් කර ඇති පරිදි ලේක්හවුසිය පළ කරන ඉංග්‍රිසි දිනපතා පුවත් පතෙහි කර්තෘ තනිකරම එජාපය සුද්ධ කිරීම වෙනුවෙන් පෙනී සිටින අයෙකි. දැන් ඔහු එහි සතිපතා ඉංග්‍රිසි පුවත්පතෙහි ද ප්‍රධාන කර්තෘ ලෙස අගමැති පාර්ශවය විසින් පත් කර තිබේ. එහි කර්තෘවරයා වූ ලක්ෂ්මක් ගුණසේකර දැන් සිටින්නේ නමට පමණක් වන අතර ඔහුගේ කාර්යාලය පවා ඩේලිනිව්ස් කතුවරයා විසින් ආක්‍රමණය කර තිබෙන්නේ ඔහුට වෙනම කාර්යාලයක් ද තිබිය දී ය. දේශපාලනිකව රනිල්වාදී නොවන ජේෂ්ඨ ජනමාධ්‍ය වේදීන්ට දැන් එහි පළ නොකියා පලා බෙදුනු ලැබේ.
සිළුමින පුවත්පතෙහි කර්තෘ වූ ලක්ෂ්මන් පියසේන ඉවත්කර එතැනට ද රනිල්වාදී කුරුවිට බණ්ඩාර පත් කර තිබේ. එහි සේවය කරන නිදහස් ජනමාධ්‍යවේදීන්ගේ ලිපි කප්පාදු කැරෙන බව ද වාර්තා වේ. දිනමිණ ඍජුවම රනිල්වාදී පිරිස් විසින් පාලනය කැරේ.

මෙම තත්වය යටතේ ජනවාරි 08වන දින පළකිරීමට නියමිතව තිබූ ඩේලිනිව්ස් පුවත් පතෙහි ඉදිරිපිට වූ අගමැති රනිල් වික්‍රමසිංහගේ ජායාරෑපයක් මත කලු කොඩියක් මුද්‍රණය කර තිබී සොයා ගන්නා ලද්දේ පුවත්පත් 20,000ක් පමණ මුද්‍රණය වූ පසු ය. පුවත්පත එහැම පිටින්ම අලුතෙන් මුද්‍රණය කැරුණි.

ජනාධිපතිගේ ඊනියා නිල ගීතය අන්තර් ජාලයෙන් ඉවත්කර ගැනීමෙන් පසු ලේක්හවුසිය සිය අන්තර්ජාල මුද්‍රණයන්හි එම ගීය යළි පළ කරන ලද්දේ ජනාධිපති කාර්යාලය එම ගීය තමන්ගේ එකක් නොවන බව ද ප්‍රකාශ කිරීමෙන්ද පසු ය. එමෙන්ම එම ගිතයේ නිශ්පාදකයා සමඟ ජනපති සිරිසේන සිනහමුසුව සිටින ජායාරූපයක් ද ලේහවුසිය පළ කළේ ය.
මෙවැනි උදාහරණ බොහෝ ය.

රාජ්‍ය මාධ්‍ය පාලනය සම්බන්දයෙන් පැන නැගී තිබෙන ආරෝව ජනමාධ්‍ය නිදහස කෙළෙසීමක් මෙන්ම යහපාලන සම්මුතිවාදී ආණ්ඩුවේ පැවැත්ම යටින් බිඳ හරියි. පෙනෙන විදිහට ඇති හොඳම විසදුම නම් රාජ්‍ය ජනමාධ්‍ය ස්වාධීන කොමාසමක් යටතට ගෙන විත් ඒවා පක්ෂ දේශපාලනයෙන් මුදා ගැනීම පමණය.

එසේ නොවුවහොත් බලාපොරොත්තු විය යුත්තේ පිපිරීමකි. ඊට ඉඩ නොතැබිය යුතුය.

Back to Top