Sunday, October 25, 2020

ජාතික සංහිදියාව ඇති කරන නව ව්‍යවස්ථාවක් කරා – ජනාධිපති සිරිසේන

නව වසරක් උදා වූ අවස්ථාවේ රැස්වුණු මේ උත්තරීතර සභාවේ පළමු රැස්වීමේදී රටට අවශ්‍ය වෙනසක් සම්බන්ධයෙන් මූලික කරුණු කිහිපයක් සහ පණිවිඩයක් ලබාදීමට අවස්ථාව ලැබීම ගැන. අපි අද කථා කරන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිබදව.

අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබද ගෙවී ගිය දශක කිහිපය තුළම ඒ පවතින ව්‍යවස්ථාවට පක්ෂපාතිත්වය සහ පවතින ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කළ යුතු සංශෝධන හා පරිවර්තනයන් පිළිබඳ දැඩි විවේචන එල්ල වී තිබුණා.

අපිට සර්වජන ඡන්ද බලය ලැබුණේ 1931. අපිට සර්වජන ඡන්ද බලය ලැබෙන විට ආසියාවේ හෝ අප්‍රිකාවේ කිසියම් රටකට සර්වජන ඡන්ද බලය ලැබී තිබූ බවක් වාර්තා වන්නේ නෑ. අපේ රටේ ජනතාවගේ දැනුම, පරිණතභාවය, සාක්ෂරතාවය පිළිබඳ එදත් ලබා තිබූ දියුණුව ඒ තුළ 1931 දී සර්වජන ඡන්ද බලය ලැබෙනවිටත් අපිට තිබුණේ ඡන්ද පත්‍රිකාවේ සලකුණක් ලකුණු කිරීමට. 30 දශකයේ 40 දශකයේ ඡන්දය භාවිතා කළ රටවල් වල සාක්ෂරතාවයේ අවම භාවය නිසා ඡන්ද පත්‍රිකාවේ සලකුණක් ලකුණු කිරීම නොව ඡන්ද පත්‍රිකාව සිදුරු කිරීමට නියමිතව තිබුණා.

අදත් ලෝකයේ ඉහළම සංවර්ධනයත් තිබෙන ඇතැම් රටවල්වල ඡන්ද පත්‍රිකාව සිදුරු කිරීමේ කාර්යය සිදු කෙරෙනවා. නමුත් අපේ වසර දහස් ගණනාවක මහා ඉතිහාස කතාවේ අපිට තිබෙන ශ්‍රේෂ්ඨත්වය සහ ප්‍රබුද්ධත්වයත් අපිට තිබෙන ගෞරවනීය නාමය මුළු ඉතිහාසය පුරා දිවයන නිසා අනුරාධපුර, පොළොන්නරු, දඹදෙණි, ඇතුගල්පුර, කෝට්ටේ , මහනුවර යුගයන් සහ අද කොළඹ යුගයට එනවිට එක් එක් යුග තුළ අපේ ඉතිහාසයේ තිබු මහා ශාස්ත්‍රීය දියුණුව සහ තාක්ෂණික දියුණුව පිළිබඳ අපිට තිබෙන්නේ මහත් ගෞරවයක්.

ලෝකයේ අභ්‍යවකාශ යානයෙන් බිමට බැස්ස මිනිසුන් අද මහපොළොවේ පය ගසමින් තොරතුරු තාක්ෂණයත් සමඟ නව ලෝකයේ තරඟකාරිත්වයෙන් ඉදිරියට යන වෙලාවක අධි තාක්ෂණික යුගයක සිටයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ අප කතා කරන්නේ. ඒ නිසා අදට ගැළපෙන විදියට වෙනස්කම් කිරීම බොහෝ දෙනෙක් පිළිගන්නවා.

78 ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කතා කරන විට, 78 ව්‍යවස්ථාව සම්මත වූ අවස්ථාවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිපත්තියක් විදියට 78 ව්‍යවස්ථාවට විරුද්ධ වුණා. එදා සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 78 වන ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි යන මතයේ සිට කටයුතු කළා. 1999 දී එක්සත් ජාතික පක්ෂයේ වාර්ෂික සමුළුව පළවෙනිවරට යෝජනාවක් සම්මත කළා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳ කතා කරන විට ගෙවී ගිය දශක කිපහිය තුළ මේ රටේ දේශපාලනික, ආර්ථීක, සමාජීය වශයෙන් සිදුවූ පුළුල් පරිවර්ථනයක් පිළිබඳ සිහිපත් කරන්නට පුළුවන්. අපේ රටේ බුද්ධිමතුන් මෙන්ම පාසල් දරුවන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිශීලනය කරමින් ඒ පිළිබඳ දැනුම අවබෝධය ලබා ගැනීමට කටයුතු කළේ අද ඊයේ නොවේ.

අගමැතිතුමා සඳහන් කළ ආකාරයට 1946 සෝල්බරි ව්‍යවස්ථාව නිදහසින් පසු ලංකාවේ පළමු ව්‍යවස්ථාව ලෙස සම්මත වීමත් පිළිගැනීමත් තුළ කටයුතු කරමින් 50 දශකය ආරම්භ වනවිට නව ව්‍යවස්ථාවක් පිළිබඳ පාර්ලිමේන්තුව තුළම හඬක් අවදි වී තිබුණා. 47 පාර්ලිමේන්තුවේ සිට 70 පාර්ලිමේන්තුව ගත්විට ඒ බලයට පත්වූ සෑම රාජ්‍ය නායකයෙකුටම සහ පාර්ලිමේන්තුවකටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට 2/3 ක බලයක් ලැබිලා තිබුණේ නැහැ ඒ තුළ 72 ජනරජ ව්‍යවස්ථාව බිහිවුණා. ජනරජ ව්‍යවස්ථාව පිළිබඳත් දැඩි විවේචන එල්ල වුණා. සෝල්බරි ව්‍යවස්ථාවේ සිට ජනරජ ව්‍යවස්ථාව පිළිබඳ කාලය ගත්විට, මේ රටේ දේශපාලනික ප්‍රශ්න, ජනවාර්ගික ප්‍රශ්න, සංස්කෘතික ප්‍රශ්න, ආගමික ප්‍රශ්න වරින්වර ඇති වුණා. 30 දශකයේ සිංහල – මුස්ලිම් කොළහාලය, 40 දශකයේ 50 දශකයේ සිංහල – දෙමළ කෝළහාල මේ සිද්දීන් අපේ මතකයේ තිබෙනවා.

බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුම

එස්.ඩබ්ලිව්, ආර්,ඩී බණ්ඩාරනායක මැතිතුමා චෙල්වනායගම් මැතිතුමා සමඟ සාකච්ඡා කරලා ඉදිරිපත් කිරීමට තිබු යෝජනා පිළිබඳ රට තුළ ඇති වූ දැඩි විරෝධය මත එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා චෙල්වනායගම් මැතිතුමා ඇති කරගත් එකගතාවයෙන් ඉවත් කරගනු ලැබුවා. ඉන්පසු 1965 න් පසුව ඩඩ්ලි සේනානායක මැතිතුමා සහ චෙල්වනායගම් මැතිතුමා අතර ඇති කරගත් එකඟතාවෙන් රටට ඉදිරිපත් කිරීමත් සමඟ ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධතාවක් ඇති වුණා. ඩඩ්ලි සේනානායක මැතිතුමාට, ඩඩ්ලිගේ බඩේ මසල වඩේ කියලා කතා ඇති වුණා. එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමාටත් දැඩි ලෙස විවේචන එල්ල වුණා. මේ කාරණා කොතෙක් දුර ගියද කියනවානම් සෝල්බරි ව්‍යවස්ථාව තුළ ඇති වූ තත්ත්වයන් සමඟ ජාතික සංහිදියා ක්‍රියා පිළිවෙතක් ක්‍රියාත්මක කිරීමට ව්‍යවස්ථාමය ප්‍රතිපාදනවල තිබු අවමභාවයන් තුළ සිංහල, දමිළ, මුස්ලිම්, හින්දු, සියලූ ජනකොටස්වල සහයෝගීතාවක් ගොඩනැගීම පිළිබඳ පුළුල් ලෙස ප්‍රශ්න මතු වුණා. අවසානයේ එල්.ටී.ටී.ඊ. තස්ත්‍රවාදය ඇතිවෙලා ප්‍රභාකරන් නැමැති ත්‍රස්තවාදී මිනිසා බිහිවුණා.

මා විශ්වාස කරනවා කවුරුන් කෙසේ කීවත් බණ්ඩාරනායක – චෙල්වනායගම් එකගතාව ක්‍රියාත්මක කිරීමට ලැබුණා නම් ඩඩ්ලි සේනානායක – චෙල්වනායගම් එකගතාව ක්‍රියාත්මක කිරීමට ඉඩ ලැබුණා නම් ප්‍රභාකරන් කියන මිනිසා බිහිනොවෙන්න තිබුණා. 1983 කළු ජූලිය මේ රටේ බරපතළ ප්‍රශ්නයක් ඇති කළා. කළු ජූලියෙන් ලැබුණු අත්දැකීම් සමඟ ඉන්දු – ලංකා ගිවිසුම නිර්මාණය වුණා. ඉන්දු – ලංකා ගිවිසුම එදා අත්සන් කරනවිට අපි කාටත් මතකයි රටේ තිබු තත්ත්වය. ජනමතයට බණ්ඩාරනායක – චෙල්වනායගම් එකඟතාව ඉවත් කර ගත්තා. ආ විරෝධය නිසා ඩඩ්ලි සේනානායක – චෙල්වනායගම් එකඟතාව ඉවත් කර ගත්තා. ඉන්දු – ලංකා ගිවිසුමත් එක්ක රට තුළ කළ යුතු වෙනසකම් සම්බන්ධයෙන් මුලික වශයෙන් ඇති වෙච්ච ජනතා විරෝධයේදී, ඒදා ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මුළු රටටම දිරි නීතිය දාලා ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කරපු බව අපේ මතකයේ තිබෙනවා. ඉන්දු – ලංකා ගිවිසුමට විරුද්ධව බණ්ඩාරනායක මැතිණියත් සමග මමත් කොටුවේ බස් නැවතුම්පළ ළඟ එදා ඒ සත්‍යග්‍රහයට සහභාගි වුණා. එදා ආණ්ඩුවෙන් බණ්ඩාරනායක මැතිණියට කදුළු ගෑස් ගහන විට බණ්ඩාරනායක මැතිණියව උස්සගෙන ගිහිල්ලා ජීප් රථයට දාගෙන අපි ඒදා බොහොම අමාරුවෙන් පිටත් වෙලා ගියා. ඒ එක්කම රට තුළ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් පුළුල් හඬක් ඇති වුණා.

අපේ ඉතිහාසය තුළ ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේ කාර්යයේ දී සොල්බරි ව්‍යවස්ථාව සහ මේ දක්වාම ගත්විට රට තුළ පැහැදිලිවම ජාතික සංහිදියාව ශක්තිමත් කරමින්, ජාතීන් අතර සමගිය ශක්තිමත් කරමින් ආගමික සහ භාෂාවන් අතරේ එකඟතාවක් ඇති කර ගැනීමට හැකිවන ආකාරයට ඒ ව්‍යවස්ථාවන් නිර්මාණය වී නොතිබු බව අපට ඉතාම පැහැදිලිව පෙනෙනවා. ලෝකයේ දියුණු රාජයයන් වන අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ප්‍රංශය වැනි රටවල්වල සකස් කරලා තිබෙන ව්‍යවස්ථාවන් පුළුල් ලෙස අධ්‍යයනය කිරීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා. ඒ ව්‍යවස්ථාවන් සකස් කිරීමේ දී ඒක පාර්ශ්වික වෙලා නැහැ. එක ආගමකට, ජනකොටසකට වෙන්වූ තත්ත්වයක් ඒ තුළ නැහැ. ඒ නිසා එම රටවල් වල මිනිසුන් සහෝදරත්වයෙන් ජීවත් වෙනවා.

ගරු කතානායකතුමනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගලේ කෙටු අකුරක් ලෙස තිබිය යුතු නැහැ කියලයි මා විශ්වාස කරන්නේ. සමාජය, මිනිසුන්, සිතුම් පැතුම්, ලෝකය වෙනස් වෙනවා තාක්ෂණයත් සමඟ. රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැමවිටම ඒ යුගය තුළ ජනතාවගේ සිතුම් පැතුම් තුළ , තාක්ෂණික දියුණුව තුළ ඇති වන තත්ත්වයන්වලට ගැළපෙන පරිදි වෙනස් විය යුතුයි යන්නයි මා විශ්වාස කරන්නේ. 78 ව්‍යවස්ථාවේ තිබු බොහෝ තත්වයන් වෙනස් කරන්න පුළුවන්කම ලැබුණා 19 වෙනි ව්‍යවස්ථාව සම්මත කිරීම තුළින්. මම අදත් මගේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා 19 වෙනි ව්‍යවස්ථාව සම්මත කිරීමට අදාළව මේ ගරු සභාවේ ඡන්දය භාවිතා කළ සියලූම ගරු මන්ත්‍රීවරුන්ට.

නිකිය සහ දේශපාලනඥයා

නීතිය, ව්‍යවස්ථාව කුමන ආකාරයට තිබුණත්, පොතේ කුමන ආකාරයට ලියා තිබුණත් මේවා ක්‍රියාකරන පුද්ගලයන්ගේ තිබෙන ලක්ෂණ මත තමා මේ බලතල ක්‍රියාත්මක වන්නේ. දේශපාලනඥයෙක්, රාජ්‍ය නිලධාරියකු හෝ සෑම කෙනෙකුටම තමන්ගේ තිබෙන බලතල සහ තමන්ගේ තිබෙන ගති පැවතුම් තුළින් ඒ වෙනස්කම් දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ගෙවී ගිය වසරේ විධායක ජනාධිපති ධූරයේ මම කටයුතු කිරීමේ දී ඒ කටයුතු කළ ආකාර නිසා වෙන්න ඇති ඇතැම් වේලාවට සමහර මිනිසුන් කියනවා විධායක ජනාධිපති ධූරය තිබුණාට අති ප්‍රශ්නය කුමක්ද? දැන් කිසිම ප්‍රශ්නයක් නැහැ කියා. මා විශ්වාස කරනවා ඒ බලය භාවිතා කරන පුද්ගලයාගේ දර්ශනය, දැක්ම, සමාජය පිළිබඳ දරන ආකල්ප මතයි ඒ බලය භාවිතා කරන්නේ.

තවත් තර්කයක් ඉදිරිපත් කරනවා විධායක ජනාධිපති ධුරය සම්බන්ධයෙන්, මේ විධායක ජනාධිපති ධුරය තිබුණු නිසා තමයි අවුරුදු 26 ක යුද්දය දිනන්න පුළුවන් වුණේ කියලා. විධායක ජනාධිපති ධුරය නිසා යුද්දය දිනන්ට හැකි වුණා කියන මතයේ සිට තවදුරටත් විධායක ජනාධිපති ධුරය පවත්වා ගැනීමට අදහස් කරනවානම් එයින් හැගියන්නේ අතාගතයේ දී යුද්ධයක් බලාපොරොත්තු වෙනවාද කියන කාරණය මම මෙහිදි අහන්නට කැමතයි. අප විසින් කළ යුත්තේ යුද්ධයක් අනාගතයේදී එයි කියලා විධායක ජනාධිපති ධුරය පවත්වා ගැනීම නොව යුද්ධයක් ඇති නොවන තත්ත්වයට අනාගතයට අවශ්‍ය විපර්යාසයන්, පරිවර්තනයන් ඒ සංකල්පයන් වෙනස් කිරීම කියන එකයි මා දැඩි ලෙස විශ්වාස කරන්නේ.

උතුරේ සහ දකුණේ ජනතාව එක් කිරීමේ දී අපට තිබෙන දීර්ඝකාලීන අත්දැකීම් සැලකිල්ලට ගන්නට ඕන. උතුරේ සහ දකුණේ ජනතාව අතර තිබෙන ප්‍රශ්නයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවන් පිළිබඳ අපි දන්නවා දකුණේ ජනතාව ෆෙඩරල් කියන වචනයට බයයි. උතුරේ ජනතාව ඒකීය කියන වචනයට බයයි. උතුරේ සහ දකුණේ සිටින අන්තවාදී කොටස් මේ තත්ත්වයන්ගෙන් බොහෝ වේලාවට වැරැදි ප්‍රයෝජන ගන්නවා. ගෙවි ගිය වසර කීපය තුළ මේ උතුරේ සහ දකුණේ අන්තවාදී කොටස් විසින් ක්‍රියාත්මක කරන ක්‍රියාදාමයන් තුළ මේ රටේ මොනතරම් ලේ සෙලවීම් ඇති වුණාද කියන එක සැලකිල්ලට ගත යුතුයි.

අවුරුදු 26 යුද්දයේ දී උතුරේ සිංහල, දමිළ තරුණයන් වගේම දකුණේ සිංහල, දමිළ තරුණයන් මොනතරම් ජීවිත විනාශ විමකට ලක්වුණාද. ඇති වූ බෝම්බ ප්‍රහාර තුළින් ත්‍රිවිධ හමුදාවල රණවිරුවන් පමණක් නොවේ උතුරේ සහ දකුණේ මුළු රටක් විදියට 26 අවුරුද්දකු තුළ මොනතරම් ජීවිත විනාශ වුණාද කියන කාරණය සැලකිලල්ට ගත යුතු වෙනවා. ඒ පිළිබධ පුඑල් අවබෝධයකින් කටයුතු කිරීම ඉතාමත් අවශ්‍යයි.

පසුගිය දිනවල ආණඩුක්‍රම ව්‍යවස්ථාවක වෙනසකමක් පිළිබඳ ඇති වු සාකච්ඡා අපි මාධ්‍ය තුළින් දැක්කා. ගෞරවනීය මහා සංඝරත්නය මහා නායක ස්වාමීන් වහන්සේලා මගෙන් ඇහුවා මේ අලුත් ව්‍යවස්ථාව හැදීමෙන් බුද්ධාගමට තිබෙන තැන අහිමි වෙන්න යනවාද කියලා. මෙමගින් රටේ ආරක්ෂක හමුදාව විදේශීය හමුදාවල උපදෙස් මත ප්‍රතිසංවිධානය කරන්න යනවාද? එය රටේ ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නේද ? කියලා මගෙන් ඇහුවා. මේ ව්‍යවස්ථා පිළිබදව කතා කරන විට ව්‍යවස්ථා බිල්ලෙක් රටට මවන්නට හොද නැහැ. එය බරපතළ ජාතික ඛේදවාචකයක් විදියටයි මම දකින්නෙ. 21 වන සියවසේ නූතන ශ්‍රී ලංකා රාජ්‍ය ගොඩනැගීම සඳහා අවශ්‍ය වන්නේ සුන්දර වූ ව්‍යවස්ථා දරුවෙක් ගොඩනැගීම බව මා යෝජනා කරනවා මේ ගරු සභාවට.

ව්‍යවස්ථාවක් පිළිබඳ කතා කරන විට ඇයි මේ කලබලයක්? ඇයි මේ නොසන්සුන්භාවක්? බුද්ධිය, පරිණතභාවය, හැකියාවන්, අත්දැකීම් මේ සියල්ල භාවිතා කරලා නේද අපි සියලුදෙනා හැසිරිය යුත්තේ කියා අවධාරණය කරගත යුතු වෙනවා. රටේ අනාගතය වෙනුවෙන් සුන්දර රටක් ගොඩනගන්න අද දවසේ කාර්යය වගේම හෙට දවසේ අපේ කාර්යය සදහා අප විසින් කළ යුතු යුතුකම් සහ වගකීම් මේ ගරු සභාව විසින් ඉටුකළ යුතුයි කියන කාරණාව අමතක කරන්න ඒපා. අපේ රට ගොඩනගන්නට ඉඩ ලැබු බොහෝ අවස්ථාවන් අප විසින් අත්හැරියා කියා මා විශ්වාස කරනවා.

අත හුරුණු ව්‍යවස්ථා

1970 දී 2/3 ක බලය පාවිච්චි කරලා ජාතික සංහිදියාව ශක්තිමත් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට එදා තිබුණා. 1977 මැතිවරණ ප්‍රතිඵල අනුව 2/3 ක ඡන්ද බලව පාවිච්චි කරලා ජාතික සංහිදියාව ශක්තිමත් වන විදියට ඒ කාර්යය ඉටු කරන්න කිබුණා. 2009 යුද්දය අවසන් වෙලා රටේ ඇතිවූ සන්සුනබව සාමකාමිබව එක්ක පශ්චාත් යුධ ශ්‍රී ලංකාවේ ඉටුකළ යුතු කාර්යයන් 2010 දී 2/3 ක බලයත් එක්ක කරන්න පුළුවන්කම තිබුණා. මේ කිසිදු අවස්ථාවක ඒ තත්වයන් සැලකිලල්ට අරගෙන ක්‍රියා කළේ නැහැ කියන එකයි මා විශ්වාස කරන්නේ . 2010 මැතිවරණ ජයග්‍රහණයේ 2/3 ක බලයක් ලැබීම තුළ මේ ගරු සභාවේ සිටින මැති ඇමතිවරුන් වගේම මම ඉතාමත් කැපවීමෙන් කටයුතු කරපු කෙනෙක්. 2010 දී 2/3 ක බලය පාවිච්චි වුණේ 18 වන ව්‍යවස්ථාවට පමණයි මගේ මතකයේ හැටියට. නමුත් ඒ 2/3 ක බලය පාවිච්චි කරන්න තිබුණා මේ රටේ යුද්දය ඇති වීමට හේතු කුමක්ද කියා සොයලා බලලා එවැනි තත්වයන් වළක්වා ගැනීමට.

මේ ව්‍යවස්ථාමය තත්වයන්ගෙන් බාහිරව ගත්විට 2004 සුනාමි තත්වයන් එක්ක මුළු රටම එකතු වෙච්ච අවස්ථාවක්. 2004 සුනාමියෙන් පස්සේ දේශපාලන පක්ෂ, ආගම් , කුල ජාතී ඒ සියල්ල නැතුව රටේ ජනතාව එකතු වුණා. 2009 මැයි මාසේ 19 වෙනිදා තස්ත්‍රවාදය පරාජය කළාට පස්සේ මේ රටේ සෑම කෙනෙක්ම එකට එකතු කරගෙන කටයුතු කිරීමේ හැකියාව තිබුණා. නමුත් රටේ අනාගතය සඳහා ඒ කාර්යයන් ඉටු නොකළා කියා මා විශ්වාස කරන්නේ. අද අපි හැම කෙනෙක්ම අතීතයේ අමිහිරි අත්දැකීම් සමග අනාගතය සඳහා සකස් විය යුතුයි කියා මා විශ්වාස කරනවා. අපි අතරේ දේශපාලන පක්ෂ, විවිධ ආකාරයේ මතයන් තිබෙනවා. නමුත් අපිට ඇයි බැරි රට වෙනුවෙන් සාකච්ඡා කරලා එකඟතාවයක් හදාගන්න බැරි? එම නිසා අද දවසේ කළ යුතු කාර්යය අප විසින් අද දවසේ ඉටු කරන්නේ නැත්නම් හෙට දවස අපිට කණගාටු දායක කාලයක් කියන එක මතක් කරන්නට ඕන.

අපි කාටත් වගකීමක් තිබෙනවා යුතුකමක් තිඛෙනවා අවශ්‍ය තීන්දු තීරණ අරගෙන කටයුතු කිරීමේ. අපි බලාපොරොත්තු වන උතුරේ අන්තවාදයත් දකුණේ අන්තවාදයත් ප්‍රතික්ෂේප කරමින් රටේ පොදු මහජනතාව තුළ, ඔවුන්ගේ අදහස් සැලකිල්ලට ගනිමින් අප විසින් කළ යුතු කාර්යයන් අපි පැහැදිලිව තේරුම් ගතයුතු වෙනවා. 1956 දී ඇති වූ තත්වයන්ගෙන් අපි කුමන ආකාරයේ අත්දැකීම් ලබාගෙන තිඛෙනවාද. කළු ජූලියෙන් කුමන ආකාරයේ අත්දැකීම් ලබාගෙන තිබෙනවාද? ඉන්දු – ලංකා ගිවිසුමෙන් අපි කුමන ආකාරයේ පාඩම් ඉගෙන ගෙන තිබෙනවාද? 1971 කැරැල්ලෙන් අපි පාඩම් ඉගෙන ගෙන තිබෙනවාද? ඒ වගේම 2009 න් පසු පත් කරල ලද එල්.එල්.ආර්.සී කොමිෂන් සභා වාර්තාවේ තත්වයන්ගෙන් අපි පාඩම් ඉගෙන ගෙන තිබෙනවාද? අපි සෑම කෙනෙක්ම විවේචනයට සීමා වී තිඛෙනවා. මේ තත්වයන් සැලකිල්ලට අරගෙන අපි කටයුතු කිරීම අවශ්‍ය වෙනවා.

විදෙස් බිල්ලා

මම දැක්කා සමහර අය මාධ්‍යවලට කියනවා, විදේශීය රටවල උපදෙස් මත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න යනවා කියලා. මම බොහෝම පැහැදිලිව කියනවා මටවත්, අගමැතිතුමාටවත් කාටවත් විදේශීය රටකින් කියලා නැහැ මේ විදියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න කියලා. විදේශ රටවල්වලින් කිසිම බලපෑමක් නැහැ. අපි යථාර්ථය පිළිගන්න ඕන. අපිට කිසිසේත්ම බලපෑමක්, යෝජනාවක් ඇවිල්ලා නැහැ. අපේ රටේ බුද්ධිමතුන්, ආණ්ඩුක්‍රම විශාරදයින් මේ උත්තරීතර සභාව සියලූ දෙනාම එකතු වෙලා අවශ්‍ය පියවර ගතයුතු බවයි ඉතාම වැදගත් වෙන්නේ.

අද දවසේ මේ ආරම්භය ඇති කළේ ඉතා වැදගත් අවස්ථාවකට. මෙමගින් රටේ කුමන ආකාරයකට නොසන්සුන් තත්ත්වයක් ඇති කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා. අසත්‍ය ප්‍රචාරන යවන්න එපා කියලා මම ඉල්ලීමක් කරනවා. ආණ්ඩුව අපහසුතාවට පත්කරලා රට නොසන්සුන් කරන්නට අතැම් අය උත්සාහ කරනවා කියලා පේනවා. අපිට අත්දැකීමක් තිබෙනවා ගරු කතානායකතුමනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පිළිබඳ ඒ කටයුතු කරපු සෑම වෙලාවේම මේ තත්වය ඇති වෙලා තිබෙනවා. ඒ තත්වය ඇති වෙන්නේ රටට ආදරය කරන අයගෙන් නොවොයි. අන්තවාදී පිරිස් බලෙන් තමා ඒ තත්වය ඇති වෙන්නේ.

අපි අපේ මාතෘ භූමිය වෙනුවෙන් අප විසින් ඉටු කළ යුතු වගකීම් යුතුකම් නිසි ලෙස ඉටු කරලා මේ නූතන ශ්‍රී ලංකාව ගොඩනැගීමේ කාර්යය 21 වන සියවසට ගැළපෙන රාජ්‍යක් ගොඩනැගීමේ කාර්යය සදහා මේ රටේ දේශීය තත්වය වර්ධනය කරගෙන රටේ ආර්ථීකය ශක්තිමත් කරගෙන දුගීභාවය රටෙන් තුරන් කරගෙන සමෘද්ධිමත් ආණ්ඩුවක් ඇති කරගෙන රට තුළ ජාතික සංහිදියාව ශක්තිමත් කරගෙන සියලු ජාතීන් සමගියෙන් කටයුතු කිරීමට අධිෂ්ඨානශිලීව කටයුතු කරමු කියා ඉල්ලා සිටිමින් ඔබෙන් සමුගන්නවා.

(ජනවාරි 09 දින ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තුවෙහි කරන ලද කතාව අසුරෙනි.)

– Dinamina

Archive

Latest news

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...

Related news

මානසික රෝගින් අතර අත්දැකීම් කිහිපයක් – වෛද්‍ය රුවන් එම් ජයතුංග 

මානසික රෝගීන්  ආශ්‍රිතව ප්‍රතිකාර කිරීම සමහරක් විට අභියෝගී තත්වයකි. මානසික රෝගීන්  වනාහී චණ්ඩ විස්වාස කල නොහැකි කොටසක් බව බොහෝ දෙනා සිතති. එහත් මෙය මිත්‍යාවකි....

සිරකරු අයිතිවාසිකම් කමිටුවෙන් මදූශ් ඝාතනය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

මාකදුරේ මදූශ් නම් තැනැත්තා පොලිස් අත් අඩංඟුවෙහිදී ඝාතනය කිරීම පිළිබඳ අපක්ෂපාත පරීක්ෂණයක් පවත්වන සේ ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කම්ටුව වෙනුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම්...

වෙනස කෙටියෙන්: විසිවන යුගයක ඇරඹුම – රුවිනි අයේෂා බියගම

පාර්ලිමේන්තු ඡන්ද 156 කින් 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත්කෙටුම්පත 2020 ඔක්තොම්බර් 22 වන දින සම්මත වූයේ අනාගතය පිළිබදව අවිනිශ්චිතතාවක්, සැක සංකාවක් සුළුතරයකගේ සිතෙහි...

මතුවෙන පොලිස් -මිලිටරි රජයක කළල රෑප – සුනන්ද දේශප්‍රිය

ඡායාරූපය: විපක්ෂයේ සිට අලෙවී වූ  මුස්ලිම් මංත්‍රීවරු හත්දෙනෙකුගේ ඡන්දට පිං සිදුවන්නට 20වන සංසෝධනය සම්මත කරගත් රාජපක්ෂ දේශපාලනය දැන් ඔලුවෙන් සිටුවා තිබේ. ( ජායාරූපය රාජපක්ෂ...