Sri Lanka Brief
විවරණඅපට සැබෑ වෙනසක් ඕනෑද? – නිලන්ත ඉලංගමුව

අපට සැබෑ වෙනසක් ඕනෑද? – නිලන්ත ඉලංගමුව

by

1378543423MAITHREEවත්මන් ආණ්ඩුව බිඳ වැටෙන තෙක් බලා සිටින ප්‍රධාන දෙපිරිසක් වෙති. පළමු පාර්ශවය අප ඉදිරියේ වහාම හමුවන කොටස හෙවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන සාධකය ලෙස මතුපිටින් තමාගෙන නමුත් අභ්‍යන්තරයෙන් වෙනම වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටින කොටස වේ. දෙවැන්න මෙම ආණ්ඩුව නොනිල වශයෙන් ( ඇතැම් විට නිල වශයෙන්) නියෝජනය කරන පිරිස වේ.

එකම තැටියේ දෙපැත්ත මාරූ කිරීම මඟින් ලබන ප්‍රමෝදය අපේක්ෂාවෙන් කටයුතු කිරීම හැරෙන්නට, රටේ සමස්ථ සමාජය හමුවේ වෙනසක් ඇති කිරීමට සැබෑ වුවමනාවක් ඇති පිරිස අතිශය සීමා සහිතය. සැබවින්ම, එය නැත්තට නැති තරම්ය.

පසුගිය සති කිහියප තුළ දැක ගත හැකි වූ මූලික කාරණය වූයේ, වත්මන් ආණ්ඩුව තැනීමට සහයෝගය ලබාදුන් ඇතැමුන්, ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති සහ නුවණක්කාර නොවන අදහස් සැලකිල්ලට ගනිමින්, ලහි ලහියේ අත්සෝදා ගැනීමට යන්ත දැරීමය. බොහොමයක් විවේචන තුළ දැකිය හැක්කේ, “සාස්තරකරුවන්ගේ” පේන වචන වලට පෙරළීම හා සමරූපී හැඩයකි. ලංකාවේ විශේෂයෙන් දේශපාලන සහ සමාජ කාරණා හමුවේ දැක ගත හැක්කේ, ඒ ගැන ලියවෙන බොහොමයක් දෑ හුදු ලියවීම් සහ තම පෞද්ගලික චරිතය වීරත්වයට පත්කිරීමට උත්සහ ගැනීමකි. මෙය ස්වභාවික කාරණයක් ලෙස පෙනුනද, සැබවින්ම මෙය රෝගී බුද්ධියක ප්‍රතිඵලයක් යැයි සිතේ. මේ සඳහා මෙරට බිහිකළේ යයි කියන බොහෝ දේශපාලන බුද්ධිමත් නායකයින් ( කන්නගර මහතා සහ ආර් ප්‍රේමදාස මහතා හැර ) අඩු වැඩි වශයෙන් දායක වූවා පමණක් නොව, රෝගය තවත් බරපතළ කළෝය.

ශ්‍රී ලංකාවේ මුලික බිඳ වැටීම හෙවත් ඉතා සුළු පිරිසකට අසීමිත නිදහසක් සහ බලයක් බුක්ති විඳීමට ඇති නිදහස් හැකියාව සහ එම සීමිත පිරිසේ ප්‍රමෝදය වෙනුවෙන් අනෙක් “අඩු ආදායම්ලාබී” බහුතරය හුදු විෂයන් බවට පත්වීම, මුලික වශයෙන් හැඩගැසීමේ ඛේදනීය රේඛාව ඇඳි ඇත්තේ ඒ ඔස්සේය. මෙය, සියල්ලෝම දැන හෝ නොදැන කරන තෝරාගැනීමක් යයි සිතේ.

පසුගිය සති කිහිපය තුළ සිදු වූ මුලික කාරණා දෙකක නිදසුන් ලෙස ගනිමින් ඒ දෙස අවධානය යොමු කිරීම වැදගත් යැයි සිතේ.

පළමුවැන්න, මහින්ද රාජපක්ෂ මහතා යෝගී ව්‍යායාම කරන සේයාරුවක් යොදාගෙන විශාල විනෝදයක් ගැනීමට උත්සහ කිරීමය. මෙය සැබවින්ම විහිළුවකි. දේශපාලන තීන්දු සහ ප්‍රතිපත්ති හමුවේ රාජපක්ෂ මහතා විවේචනය කළ හැකි නමුදු ඔහුගේ යෝගී ව්‍යායාම හාස්‍යයට ලක්කිරීම් විසින් හෙළිදරව් කරනු ලබන්නේ හුදු විවේචකයින්, අනුවණ ලෙස මත්වී සිටින ආකාරයය.

අදාළ යෝගී ව්‍යායාමය අතිශය සංකීරණ එකක් වන අතර එම සේයාරුවෙන් ඉගෙන ගැනීමට ඇති දෑ බොහෝ වෙති. රටක හිටපු පාලකයෙකු හෝ මොනයම් පුද්ගලයෙකු එවැන්නක නිරතවීම සැබවින්ම සතුටට කාරණයකි. එය රටේ ජනාතාවගේ සෞඛ්‍ය පිළිබඳ ගැටලුවට කදිම පිළිතුරකි. හිටපු ජනාධිපතිවරයාගේ වයස අනුව සැලකීමේදී ඔහු එවැන්නක නිරතවීම සැබවින්ම වැදගත් පණිවිඩයක් ලබා දෙන්නේය.

එනම්, අවුරුදු 60 සපිරුණු විගස නිවන සහ පරලොව ජීවිතය ගැන සිතා පළමුව මනසින් මියැදී දෙවනුව ශාරීරිකව පීඩා විඳීමට බොහෝ සිංහලයින්ට සිදුවන අතර රටේ පාලකයෙකු ලෙස කටයුතු කළ අයෙකු

හිසෙන් සිට ගැනීම

හිසෙන් සිට ගැනීම

ඔලුවෙන් අතට එල්ලෙන්නේ කෙසේද යන්නය? වෙනත් වචනවලින් කියතොත්, ඔහුගෙන් රටේ අනෙක් මිනිසුන් වෙනස්වන්නේ කෙසේද?  

මීට පිළිතුරු සැපයීම සඳහා බොහෝ දෙනෙකු, “දේවත්වය” ආරූඪ කරති. පෙර පින් ආරූඪ කරති. මෙය ඉතා කණගාටුදායක අසත්‍යය කාරණයකි. මෙම අසත්‍යය නිසා, මව්පිය-දරුවන් අතර ඇති සම්බන්ධය ක්‍රමිකව පලුදුවේ. දරුවන්, තම මව්පියන් කූඩූවලට ගාල් කරති. ශ්‍රී ලංකාවේ වැඩිමහළු (ජ්‍යෙෂ්ඨ පුරවැසියන්) පුරවැසියන් දිනපතා ව්‍යායාම වලට පුහුණු කිරීම, මෙන්ම බරවැඩ කරන අඩුආදායම් ලාබීන්ගේ සෞඛ්‍ය තත්වය රාජ්‍යය යාන්ත්‍රණය ඔස්සේ ප්‍රභල සහ අඛණ්ඩ පරික්ෂාවකට ලක්කොට, ඔවුන්ට නොමිලේ අදාළ පහසුකම් නිසි කලට සැපයීම. ඒ සඳහා හදිසි දුරකථන ඇමතුම් සේවාවන් නොමිලේ ස්ථාපිත කිරීම, ආදීය ඉතා තීරණාත්මක දෑ වේ. වයස අවුරුදු 60 සම්පූර්ණ වූ අයවලුන් සිල් රෙද්දට සහ පිරිත් නූලට සීමා කිරීමෙන් ඔබ්බට ගොස් ඔවුන්ට ඔවුන්ගේ ස්වාධීන ජීවිතයක් ලබාදීම සඳහා රාජ්‍යයට විශාල වගකීමක් පැවරේ. එය රටක පැවැත්මට ඉතා වැදගත් වේ. එවැනි රාජ්‍යය ප්‍රතිපත්ති ආණ්ඩු වෙනස්වීමෙන් වෙනස් නොවිය යුතු නමුත්, වත්මන් ලෝකයට සහ වත්මන් තාක්ෂණයට අනුව සකස්කළ යුතු වේ.

රාජපක්ෂ මහතාගේ එල්ලීම දෙස බලා එය අවඥාවට ලක්කිරීම හැර වෙනත් කෝණයකින් ඒ දෙස බැලීමේ පුහුණුවක් සමාජ වටපිටාව තුළ ගොඩ නැගී ඇත්තේ ඉතා සීමා සහිතවය. එසේම, අදාල සේයාරුව ගැන ගුණ ගයන බොහෝ දෙනෙකු, වික්‍රමසිංහ මහතා හෝ මෛත්‍රීපල සිරිසේන මහතා එසේ කළේ නම් ඔවුහු ඊට විරුද්ධව කතා කරනු ඇත. එවැන්නක්, කාන්තාවක් කළේ නම් ඇයට එරෙහිව බොහෝ දෑ ලියවෙනු ඇත. රටේ රෝගය මෙයයි. අනෙකා මත තම ජීවිතය තීන්දු කිරීමේ නියාලු මානසික ස්වභාවය එයයි.

දෙවන නිදසුන, මෛත්‍රිපාල සිරිසේන මහතා, මහේල ජයවර්ධන මහතා සහ කුමාර් සංගක්කර මහතා යන අයවලුන්ට අයත් සමාගමක් සංවිධානය කළ එක්තරා සංගීත සංදර්ශනයක සිදු වූ සිදුවීමක් ගැන තම මතය ඉදිරිපත් කිරීමය. සිදුවීම මෙරට පමණක් නොව වෙනත් බොහෝ රටවටද පුවතක් විය. මෙහිදී ජනාධිපතිවරයා වැරදිද? එය සංවිධානය කළවුන් වැරදිද? නොඑසේනම් අදාළ යට ඇඳුම ලබාදුන් කාන්තාව වැරදිද? එසේත් නොවේ නම්, අදාළ අවස්ථාව පටිගත කළ පිරිස වරදිකරුවන්ද? පිටස්තරයා වැරදිද? යන ගැටලුවලට හතුපිපෙන්නා මෙන්, නොයෙකුත් වාග්මාලාවන් ලියවෙමින් තිබේ. සැබවින්ම මෙය ප්‍රධාන ආරවුල් දෙකක ප්‍රතිඵලයකි.

පළමුවැන්න හෙවත් ගැඹුරට විහිදීගිය කාරණය වූ කලී, “සෙක්ස්” පිළිබඳ සමාජයේ අස්සක් මුල්ලක් නෑරම පැතිරී ගිය (අ)ස්වභාවික සමාජ පීඩාවයි. මෙය බරපතළ විවේචනයක් වී ඇත්තේ, අදාළ අවස්ථාවට සහභාගී වීමට නොහැකි වූ ( බොහෝ විට මුදල් නැතිකම නිසා ) නමුත් සිදුවූයේ කුමක්ද යන්න තෙවැනි වාර්තාවක් මඟින් දැක ගැනීමට හැකි වූ අයවලුන්ටය. රටේ බහුතරය එම පිරිස වන විට එය “සැලකිය යුතු කාරණයක්” බවට පත් වේ. ඉන් පසු, රටේ නායකයාට ඒ ගැන කතා කිරීමට සිදු වේ. මෙය සම්ප්‍රදායික ගැටලුවකි.

රෙදිවැලක එල්ලෙන කාන්තා යට ඇඳුම් සොරකම් කිරීම සහ අදාළ සංදර්ශනයේදී පිටස්තරයෙකුට යට ඇඳුමක් විසිකිරීම අතර විශාල වෙනසක් තිබේද? සොරකම පුරුෂයකු විසින් කරන අතර විසිකිරීම ස්ත්‍රියක විසින් සිදුකොට ඇත. ඒ හැර වෙනත් වෙනසක් තිබේද? එය තනි තනිව, ස්වයං වංචාවක් නොකර සිතා බැලිය යුතු කාරණය වේ. ආශාව සහ ඉන් ප්‍රමෝදය ලැබීමේ පසුතලය වෙනස් වුවද, සැබෑ යටගියාව තුළ ඇත්තේ පොදුබවකි.  

මීට අවශ්‍ය ඌනපූරකයක් ලෙස මෙසේ සඳහන් කළ හැකිය. සිංහලයෙකුට ( සිංහලෙන් සිතන්නෙකුට), “සෙක්ස්” සහ කාමය/ලිංගිකත්වය අතර විශාල වෙනසක් තිබේ. ඔහුට හෝ ඇයට “සෙක්ස්” තෙරන ආකාරයට හාත්පසින්ම විරුද්ධ ආකාරයකින් ලිංගිකත්වය ගැන අවබෝධවේ යැයි සිතේ. මෙම පීඩනය හමුවේ බොහෝ දෙනෙකු පැටලී ඇත්තේ “උභාතොකෝටිකයක” බව බොහෝ දෙනා දනිති. තවත් සමහරුන්, නොදන්නා මෙන් සිටින්නේ, තම දෑතේ ඇති පිරිත් නූල් වල සුදු පැහැය තබා ගැනීමටය.  සිංහලෙන් සිතන්නන් බොහෝ දෙනෙකු “සිංග්ලිස් සිතන්නන්” බවට පත්වීමෙන් තත්වය තවත් උග්‍ර වී ඇත.   [“සෙක්ස්” නොසිතූ සහ අතිශය පහසු මෙන්ම ලාභදායි වෙළඳපොළක් ලබාගන්නා විට එහි මානය වෙනස් කිරීම සඳහා “ජෙන්ඩර්” නමැති  ඇකඩමියානු ප්‍රස්තූතය පොළවට ගෙන ඒමට සිදු වූයේ යයි සිතේ. නමුත් එය බොහෝ ප්‍රමාද විය.]

මෙහිදී සැලකිය යුතු දෙවැනි කාරණය, වෙළඳපොළය. කුමාර් සහ මහේල නමැති පුද්ගලයින් දෙදෙනා තම වෙළඳපොල පදම්කර ගැනීම සඳහා, අමරදේව වැනි “ශාත්‍රීය” සංගීතඥයෙකු හෝ වෙනත් වත්මන් දේශීය “පොප්” ගායෙකු වෙනුවට, රැඩිකල් “පිටස්තර” ( මෙය පළමු අවස්ථාව නොවේ) හඳුන්වාදීමක් ඉහල මිලකට විකිණීමට හැකි තත්වය හඳුනාගැනීමය. සෑම නව වෙළඳපොළක් විසින්ම සිදුකරනු ලැබුවේ මෙයයි. මේ අනුව, ඔවුහු සිදුකොට ඇත්තේ, එක් උපායක් අත්හදා බැලීමක් පමණි. බෞද්ධ භික්ෂුන් දස දහසක් දළදාමාලිගාව අභියසට ගෙන්වා දන්දී, එය ජාතියේ නාළිකාවකින් හෝ පවුලේ නාළිකාවකින් සජීවී ලෙස විකාශණය කිරීම වෙනුවට, අතිශය ඉහල මිළකට ප්‍රවේශපත් විකුණා එවැන්නක් සාර්ථකව සංවිධානය කිරීමට ඇති හැකියාව සලසන සමාජ යථාර්ථයයි. මෙම ඇත්ත පිළිගත යුතුව ඇති අතර, එය සඟවා කළ හැකි දේ සීමිතය.

සැබවින්ම රාජපක්ෂ මහතාගේ යෝගී සේයාරුව සහ සංදර්ශනයේ කාන්තා “යට ඇඳුම” ඔස්සේ මතුවන වෙළඳපොල එකකින් අනෙක අතිපිහිත වන්නේ මෙතනදීය. ඇත්ත; මෙය තේරුම් ගැනීම ඇති සංකීරණ කාරණයකි. මන්ද; හුදු තොරතුරු සහ එසැණ පුවත් මෙන්ම වර්තමානයේ බොහොමයක් සමාජ ජලා ඔස්සේ අනෙකාගේ ආශාවට සරිලන ලෙස තම වියෝව වසා ගැනීමේ  ප්‍රවණතාවය හෙවත් වඩාත් ආකර්ෂණීය යැයි අනෙකා සිතනා දෑ ප්‍රසිද්ධ කිරීමේ නැඹුරුව, ඔස්සේ අපි ගමන් කරමින් සිටින දිශානතිය මෙයය. මෙය හරි හෝ වැරදි යැයි ප්‍රකශ කිරීමට වඩා වැදගත් වන්නේ සාමාජ ගැටලුව හඳුනා ගැනීමය. එක්, කාරණයක් පැහැදිලිය. අපි “සිවිල් විමුක්තිය” ( සිව්ල් ලිබර්ටි) ගැන දොඩවන්නේ මෙම මුලික දිශානතිය කෛරාටක සහ කුහක ලෙස භාවිතා කරමිනි. මුහුණු පොත වැනි සමාජ ජලාවල “ලයික්” වලට මෙතරම් දේශපාලනයක් ලැබී ඇත්තේ මේ නිසාය.

60 දශකයේ  ඇෆ්ගනිස්ථානය සහ ඉන් පසු තලේබාන් අතික්‍රමනයෙන් පසු වත්මන් ඇෆ්ගනිස්තානය, ලෝකයට උගන්වන මුලික පාඩම එයයි. එසේම, ලෝකයේ වැඩිම ඛණිජතෙල් සපයන්නා වන සෞදි ආරභියේ වෙසෙන කාන්තාවන්, සහ ඔවුහු තායිලන්තයට පැමිණ මෙයෙහවන “ලිංගික සේවවාන්” සපයන ස්ථාන ආදියෙන් ලබාදෙන මුලික පණිවිඩය එයයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නායකයෙකු ලෙස සොයන සත්‍යය ඇත්තේ ඔහු අවටම බව, තේරුම්ගෙන ඇත්තේද? සැබවින්ම, මේ මුලික කාරනා හමුවේ, ලබාදෙන ප්‍රධාන පණිවිඩය වූ කලී, අපට සැබෑ වෙනසක් ඕනෑද? යන්නයි.

අපට අප අහිමි වී බොහෝකල් ගොස් ඇත. අපට අප අහිමි වූ බව තේරුම් ගැනීමට ගත වූ කාලයද ගෙවී ගොස් බොහෝ කල්ය. මේ නිසා, තමන්ට බාහිර සිදුවන්නේ යයි සිතන දෑවල පැත්ත මාරුකරමින් අපි සතුටු වෙති. ඒ ගැන ලියති. මෙය සැබෑ සතුට නොවේ. එනම්, තම ඉඩ අහිමිවේ යන බියට හසුවී මතුවන අනාරක්ෂාව නිසා ඇතිවන “අසතුටේ” සතුට යැයි සිතේ.

සුභ නව වසරක් වේවා!

Back to Top