Sri Lanka Brief
පුවත්අගමැති ගිය ඩාවෝස්, දුගීබව සහ අපි – සුනන්ද දේශප්‍රිය

අගමැති ගිය ඩාවෝස්, දුගීබව සහ අපි – සුනන්ද දේශප්‍රිය

by

අගමැති වික්‍රමසිංහ ලෝක ආර්ථික සමුළුවට සහභාගි වන ප්‍රථම ශ්‍රී ලාංකික අගමැතිවරයා ලෙස වාර්තාවක් තබා ඇතැයි යනුවෙන් ශිර්ෂ පාඨයක් වෙබ් මාධ්‍යයක පළ වී තිබුණි. අගැමතිවරයා තබා ඇතැයි කියන වාර්තාව කෙසේ වෙතත් මේ දිනවල ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන එකි සමුළුව දැනටමත් ආන්දෝලනාත්මක එකක් බවට පත් වී තිබේ.

ස්විස් හිම ක්‍රීඩා අපසුවක පැවැත්වෙන සමුළුවෙහි ආරම්භක සවුදිය පිරෙන්නටත් පෙරම එම ආන්දෝලන දෝංකාරය නැංවූයේ ලෝකයෙහි දුගී බව නැති කිරීම අරමුණු කරගත් ඔක්ස්පෑම් නම් අන්තර් ජාතික සංවිධානය විසිනි. එහි විධායක අධ්‍යක්ෂිකා විනී බ්යන්යීමා ඩාවෝස්හි පැවැත්වෙන සමුළුවෙහි සම-සහාපතිත්වයක් ද උසුලයි.

මෙම සමුළුව ඉලක්ක කර ප්‍රසිද්ධ කරන ලද එම සමීක්ෂන වාර්තාවට අනුව ලෝකයේ සුපිරි ධනවතුන් 64 දෙනෙකුගේ ධනය ලොකයේ දුප්පත්ම සියයට 50 ජනයා සතු ධනයට සමාන ය. පසුගිය වසරෙහි මෙකී සමුළුව පැවැත්වෙන විට එකී ධනවතුන්ගේ ගණන 84ක් විය. ඉන් පෙනි යන්නේ කුඩා පිරිසක් අත ලෝකයේ ධනය ඒකරාශි වීම වළක්වනු වෙනුවට සිදුව ඇත්තේ එම ප්‍රවණතාවය ඉහළ යෑම බවයි. වත්මන් ලෝකයෙහි සෑම නම දෙනෙකුටම එක් අයෙක් ජිවත්වන්නේ නිරාහාරව ය. බිලියනයක් (1,000,000,000) ජනයා ජිවත්වන්නේ දිනකට රුපියල් 200ක සීමාවෙහි ය.

මෙම ප්‍රවණතාවය දිගටම පැවැතුනහොත් ලබන වසරෙහි මෙකි හිම ක්‍රීඩා අසපුව වෙත ලෝකයේ සංවර්ධිත රටවල නායකයින් පැමිණෙන විට ලෝක ජනගහනයෙන් සියයට එකක් අත ඉතිරි සියයට 99ක් වන ජනගහනයට වඩා ධනයක් රුදෙනු ඇති බව ද එම වාර්තාව පෙන්වා දෙයි.

2009 වසරෙහි දී මෙම සියයට එකේ ධනකුවේර කණ්ඩායම අත තිබුණේ ලෝක ධනයෙන් සියයට 44කි. අද එය සියයට 48කි. 2016 වන විට එය සියයට 50ක් දක්වා ඉහළ යනු ඇත. මෙම ලෝක ධනකුවේර ප්‍රභූ කණ්ඩායමෙහි සෑම වැඩිහිටියකුම සතුව ඩොලර් මිලියන 2.7ක සාමාන්‍යක් පවතිනු ඇත.

අද මෙම කණ්ඩායම අත පවතින ලෝක ධනයෙහි සියයට 48 හැරුණ විට ඉතිරි සියයට 52න් ද සියයට 46ක්ම අයත් වන්නේ ලෝක ජනගහණයෙන් සියයට 20 ක් වූ කුඩා පිරිසකට ය. එනයින් අප ද අයත් වන ලෝකයේ සියට 80කටම අයත් වන්නේ ලෝක ධනයෙන් සියයට 5.5ක් පමණකි.

මේ වනාහී හුදෙක් ලෝකයේ රාජ්‍ය ප්‍රධානීන් ගේ ප්‍රශ්ණයක් පමණක් නොවේ. ඇතත්ටම නම් මේ වනාහී නූතන ධනවාදයේ ප්‍රශ්ණයකි. නයින්ම එය අප රටටත් පොදු ය.

ශ්‍රී ලංකාවේ තත්වය මිට වෙනස් නැත. 1970 ගණන් මුලදී එවකට මුදල් ඇමැතිවරයා වූ ආචාර්‍ය ඇන්.ඇම්. පෙරේරා පෙන්වා දුන්නේ ශ්‍රී ලංකාව පාලනය කරන්නේ ධනපති පවුල් 47ක් විසින් බවයි. ශ්‍රී ලංකාවේ එවැනි ධන කුවේර පිරිස් ප්‍රධාන දේශපාලන පක්ෂයන්හි සැදැහැවත් දායකයෝ ය.

අද මෙරට ප්‍රධානතම ධනකුවේරයා වන්නේ මෑතදී අත් අඩංඟුවට ගෙන රුදවුම් බාරයට යැවූ රාජපක්ෂවාදි ජාවාරම්කරුවකු වූ ධම්මික පෙරේරා ය. ඔහුගේ වත්කම රුපියල් බිලියන 37ක් යැයි කියනු ලැබේ. 2011 වසරෙහි පළ වූ වාර්තා පෙන්වා දුන්නේ ප්‍රකෝටිපතියන් වන විසි දෙනෙකු රුපියල් බිලයන 120ක් තරම් සොලවමින් මෙරට කොටස් වෙළද පොළ නටවන බවයි. මාසිකව රුපියල් 8000 ක තරම් දුගී වැටුපකට තරුණ තරුණියන් සේවයේ යොදවන ජෝන් කීල්ස් සමාගමේ හිමිකරුවන් දෙවන සහ තෙවන ධනකුවේරයෝ වෙත්. ඔවුන්ගේ වත්කම රුපියල් බිලියන 30කි. ලෝකයෙහි ඉතා වේගයෙන් කෝටිපතියන් බිහිවෙමින් සිටින රටක් ලෙස ශ්‍රී ලංකාව නම් දරා ඇතැයි 2012 වර්ශයේ තවත් වාර්තාවකින් කියවුණි.

ශ්‍රී ලංකාවේ සම්පත් බෙදී යාමෙහි පවත්නා විශමබව පෙන්වන එක් දර්ශකයක් වන්නේ ආදායම් බෙදි යාමයි. මෙරට ධනවත්ම සියයට 20 ජාතික ධනයෙන් සියයට 52ක් උරුම කර ගන්නා අතර දුප්පත්ම සියයට 10ට ලැබෙන්නේ සියයට 02ක් පමණකි.

මෙවැනි සංවර්ධන ප්‍රවණතාවයක විපාකය වන්නේ සාපේක්ෂ මෙන්ම නිරපේක්ෂ දුගී බව ඉහළ යාම ය. එය විශේෂයෙන්ම සමාජ සාධාරණත්වය සහතික කැරෙන තුලන සහ සංවරණ නැති අප වැනි සංවර්ධනය වන රටවලට අදාළ ය. බටහිර සංවර්ධිත සමාජයන්හි ඇති එවැනි සමාජ ආරක්ෂණයන් පවා දැන් ටිකෙන් ටික ලිහිල් වන්නට පටන් ගෙන තිබේ.

ඉහත කී සියයට එකේ ධන කුවේර කණ්ඩායම ධනය රුස් කර ගන්නා එක් ක්‍රමයක් වන්නේ අයබදු නොගෙවා සිය ධනය බදු රහිත අක් වෙරළ දූපත්හි තැන්පත් කිරීම බවත් ඔක්ස්පෑම් වාර්තාව පෙන්වා දෙයි. එය කියා සිටින්නේ අප්‍රිකානු මහාද්වීපයේ ධනයෙන් සියයට 25ක් තරම් එවැනි අක් වෙරළ තිරුබදු රහිත දූපත්හි රහසිගතව තැන්පත් කර ඇති බවයි.

මෙම තත්වය යටතේ ඔක්ස්පෑම් වාර්තාව ලෝක නායකයින් විසින් ගත යුතු පියවර හතක් යෝජනා කර තිබේ. එම යෝජනා අපේ වැනි රටවල නායකයින්ගේ ද අවධානයට යොමු විය යුතු බව පැහැදිළි ය‍. ඒ මෙසේ ය:

1. සමාගම් සහ ධනවත් පුද්ගලයින් විසින් අයබදු පැහැර හැරීම නතර කරන්න.
2. සෞඛ්‍ය සහ අධ්‍යාපනය වැනි සැමට ලැබෙන නිදහස් මහජන සේවාවන්හි ආයෝජනය කරන්න.
3. කම්කරුවන්ගෙන් සහ පරිභෝජනයෙන් බදු අය කිරීම ප්‍රාග්ධනය සහ ධනය කරා යොමුකර අයබදු බර සාධාරණව බෙදා හරින්න.
4. අවම වැටුපක් හදුන්වාදී සියලු සේවකයින් සඳහා ජීවත්විය හැකි වැටුපක් කරා ගමන් කරන්න.
5. සමාන වැටුප් නීති ඇති කර ස්ත්‍රීන්ට සාධාරණය ඉටුවන පරිදි ආර්ථික පිළිවෙත් ප්‍රවර්ධනය කරන්න.
6. දුගීම ජන කොටස් සඳහා අවම අදායමක් සහතික කරන ප්‍රමාණවත් සමාජ ආරක්ෂණ ඇති කරන්න.
7. අසමානත්වය දුරලන ලෝක ඉලක්කයක් ඇති කර ගන්න.

කෙටියෙන් ගතහොත් ධනකුවේරයන් මත නිසි බදු පැනවීම, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ප්‍රවාහනය යන මහජන සේවාවන්හි රාජ්‍ය මැදැහත්වීම ශක්තිමත් කිරීම සහ දුගීම ජනතීරු සදහා සමාජ ආරක්ෂනයක් පිහිටුවීම එම යෝජනාවන්හි හරය වේ. මහා පරිමාණ දූෂණ වැළැක්වීම අප එයට එක්කළ යුතු ය.

ශ්‍රී ලංකා අගමැතිවරයාද සහභාගි වන ඩාවෝස්හිදී මෙම න්‍යාය පත්‍රයට කොතරම් පිළිගැනීමක් ලැබෙනු ඇත්දැයි කීම දුෂ්කරය. මන්ද යත් ඉහත කී සියයට එකේ ධනකුවේරයෝ ද ජාවාරම්කරුවෝ ද දැවැන්ත ව්‍යවසාය හිමමිකරුවන් වශයෙන් ඩාවෝස් සමුළුවට ද සහභාගි වන නිසා ය. එනමුත් අවම වශයෙන් මෙම යෝජනා ලෝක ආර්ථික සමුළුවෙහි න්‍යාය පත්‍රයට ඇතුල් වීම නිශ්චිත ය‍. අපේ ආර්ථික සංවර්ධන උපාය මාර්ගය තුල එම ඉලක්ක අදාළ පරිදි තහවුරු කර ගැනීම අපේ අභියෝගය බවට පත් වෙයි.

අගමැති වික්‍රමසිංහ ආයෝජකයින් මෙරටට ගෙන ඒමට ඩාවෝස්හිදි උත්සාහ දරනු ඇතැයි කියනු ලැබේ. ආයෝජන රටක දියුණවට අත්‍යවශයය. එමෙන්ම ඔක්ස්පෑම් වාර්තාව පෙන්වා දෙන පරිදි ආයෝජකයින් පමණක් නොව නූතන ධනවාදය විසින් ඇති කරන සමාජ අසමානතාවයන් සමබර කැරෙන මහජන සේවා සහ සමාජ ආරක්ෂන පිළිවෙත්හි අවශ්‍යතාවය ද ඔහු විසින් රැගෙන එනු ඇතැයි අප අපේක්ෂා කළ යුතු ය.

– රාවය

Back to Top