Sri Lanka Brief
විවරණවිශ්ලේෂනහෙටක් ගැන හිතක් නැති සිංහල සිනමාවේ අනාගතය – නුවන් ජයතිලක සමඟ කතාබහක්

හෙටක් ගැන හිතක් නැති සිංහල සිනමාවේ අනාගතය – නුවන් ජයතිලක සමඟ කතාබහක්

by

සුළග අප රැගෙනයාවි අධ්‍යක්ෂ නුවන් ජයතිලක

නිදහස් මාධ්‍යවේදියෙකු ලෙස නුවන් ජයතිලක මහතා මීට දශකයකට ඉහත අපට මුනගැසුනේ එවක ඔහු දිවයින හා රාවය පුවත් පත් සමග කටයුතු කරන සමයේයි. පසුව රාජපක්ෂ ආන්ඩුව විසින් වසා දමන ලද පැරණි මව්බිම පුවත් පතෙහි මාණ්ඩලික මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ සමයෙහිදී ඔහුගේ රචනා බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය විය. ප්‍රවීණ සිනමාකරු ධර්මසේන පතිරාජ සමග සිනමාව හා ලලිත කලා අලලා ඔහු ලියූ තීරූ ලිපිය එවක ක්ෂේත්‍රයේ කා අතරත් ජනප්‍රිය විය.

දිගු නිහැඩියාවෙන් පසු නුවන් නැවත අප හමුවට එන්නේ යොවුන් සිනමාකරුවෙකු ලෙසයි. එය ඔහුගේ දිගු කාලීන සිහිනයක් විය. ඒ පසුගියදා නෙදර්ලන්තයේ ඇමැස්ටඩෑම් හිදී නමාව දුටු Cinekid screening club වෙනුවෙන් යුරෝපීය චිත්‍රපට වෙලදපළෙහි තරගකාරී අංශය වෙනුවෙන් කෙරුනු ශ්‍රී ලාංකික නියෝජනය සමගයි. එංගලන්තයේ ලන්ඩන් නුවර පදිංචිවී සිටින ඔහු සමග ලංකා ගාර්ඩියන් සිදුකළ සම්මුඛ සාකච්ඡාවක් පහත පලවේ.

ඔබ පුවත්පත් කලාවේදියකුව සිට සිනමාව දක්වා කෙරුනු හැරවුමේදි මුහුණ දුන් අභියෝග මොනවාද?

එම හැරවුම විශේෂ අබියෝග නිර්මාණය කළේ නැහැ.මොකද පත්තර රස්සාවට මම මුලින්ම ආවේ රැකියාවක් කිරීමේ අරමුණින්.ඊට කලින් මම වේදිකා නාට්‍යයකරුවකු වීමේ සිහිනයෙන් පාසල් අවදියෙහි පටන් වේදිකා පරිපාලකයකු ලෙස කටයුතු කරමින් සිටි අයෙක්. පුවත්පතක රැකියාව කළත් මම ඉන් මිදුනෙ නැහැ.90 දශකයේ නාට්‍යයකරුවන් කිහිපදෙනෙකුගේ නිර්මාණවලට සම්බන්ධ වෙමින් හා ඒ ආශ්‍රිත හැදෑරීම් හා කියවීම් සම්බන්ධයෙන් ස්‌වයං- අධ්‍යනයක නිරත වෙලයි හිටියෙ. කාලයත් එක්ක මා විසින් රචනා කරන ලද ලිපිවලට සේයාරූ ලබා ගැනීමට නිරායසයෙන්ම මට යොමු වෙන්නට සිදුවීම නිසා ලියන ලිපි වල නොකියවෙන පැත්තක් කැමරාව හරහා මා දකින්න පටන් ගත්තා. බොහෝ විට යුධ බිමෙහි වාර්තාකරණයන් අතර සිටින අතරතුර හමුවූ එවක රොයිටර් සේවයෙහි සිටි අනුරුද්ධ ලොකුහපුආරච් වැනි ප්‍රවීණයින් මගේ සේයාරූ දැකලා කළ දිරි ගැන්වීම වෙනස් මානයක් එක්කලා.පස්සෙ කාලෙදි මා එයට වඩ වඩා ඇලුම් කරන්න ගත්තා.මෙහි කෙරවලදි මා සිනමා තිරපට අධ්‍යනයට. ඉන් පසු කෙටි චිත්‍රපට නිර්මාණය කරන්නත් යොමු වුනා.

කාලයක් තිස්සේ ඔබේ රචනා කියවා ඇති නිසා, තිරරචනය පිළිබද කාරනයට වඩා සිනමාවේ තාක්ෂණික කාරනා ඔබ ජයගත් ආකාරය ගැන කතා කිරීම මෙහිදී වඩාත් වැදගත් යැයි අපේ හැඟීමයි.

POSTER_1මා මුලින්ම නිෂ්පාදනය කළ කෙටි චිත්‍රපටය එවක ජගත් කීර්තියට පත්ව ලංකාවට පැමින සිටි විමුක්ති ජයසුන්දර වෙත පෙන්වන්න අවස්ථාව උදාවුනා.එය නැරඹීමෙන් පසු ඔහු එක හෙලාම ඔහුගේ දෙවන චිත්‍රපටය වන “අහසෙන් වැටෙයි” චිත්‍රපටයේ කටයුතු වලට සම්බන්ධව කටයුතු කිරීමට ආරාධනා කළා. එහිදී තිර පිටපතෙහි සිට නිෂ්පාදනය නිමවෙනතුරු වසරක තරම් කාලයක් නිෂ්පාදන කන්ඩායමෙ සියලුම ඉසව් අලලා කටයුතු කිරීමට ලැබුණා. එහිදී මා චිත්‍රපට නිෂ්පාදනයෙහි මූලික අවධීන් පිළිබද ලංකාවේ ප්‍රවීණයන් පිරිසක් සමග අත් හදා බැලුවා.

පසුව විමුක්ති විසින් ආරම්භකරන ලද වෙළද දැන්වීම් නිශ්පාදන ආයතනය තුළ වඩා වෘත්තීය නිපුනත්වයකින් කටයුතු කිරීමට අවස්ථාව ලැබෙනවා. එහිදී වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයෙහි ප්‍රවීණයන් රැසක් මුණ ගැසෙනවා. සුභාස් පින්නපොල ඒ අතර විශේෂයි. සහය අධ්‍යක්ෂවරයෙකු ලෙස දිගු කලක් ඔහු සමග කටයුතු කිරීමෙන් චලන රූප පිටුපස අති තාක්ෂණයත් එක්ක ඕනැවටත් වඩා ප්‍රායෝගිකව ගැටෙන්නට අවස්ථාව ලැබෙනවා.

ක්ෂේත්‍රයෙහි සිනමාකරුවන් කා අතරත් අදටත් ජනප්‍රිය ඉන්දියාවේ පූනේ සිනමාපාසලේ කෙටිකාලීන පාඨමාලාවට සහභාගීවීමෙන් ලැබෙන දැනුමත්, සියගනනක් දැන්වීම් රූගතකිරීම් වලින් ලබන ඉමහත් අද්දැකීමුත් ඊට පිටිවහලක් වෙනවා. පසුකාලීනව මා විසින් ආරම්භකළ Viral AdFilm නිශ්පාදන ආයතනය තුළ නිෂ්පාදකයෙකු , අධ්‍යක්‍ෂවරයෙකු ලෙස දෑ වසරක් කටයුතු කර ලද පන්නරයත්, විමුක්ති ජසුන්දර නිර්මානය කළ Dark in the White Light චිත්‍රපටයට මාගේ දායකත්වය ලබාදීමට හැකිවීමත් ඊට පෙර කළ Light in the Yellow Breathing Space කෙටි චිත්‍රපටයේත්, සහය අධ්‍යක්ෂවරයකුව හා නිශ්පාදන කලමනාකරනවරයකු වශයෙන් ලද අත්දැකීම් එහිදී තීරණාත්මක වුණා.

මොනතරම් අත්දැකීම් තිබුනත් ප්‍රායෝගිකතලයේදී විවිධ අභියෝග වලට මුහුණ දීමට සිදුවීම සාමාන්‍ය දෙයක්. ඒ සම්බන්ධයෙන් ඔබේ අදහස කෙබඳුද?

ඔව්. මා තිර පිටපත ලියන්නට යොමු වුණේ මීට සිව්වසරකට පෙරාතුවයි.ඒ මොහොතේ සිට මේ ගතකරමින් සිටින මොහොත හා ඉන් පසුවත් ගෙවෙන හැම නිමේශයක්ම කටුක මෙන්ම වේදනාකාරීයි. නිදහස් චිත්‍රපට නිර්මාණකරුවෙකු ලෙස මුදල් ඇතුලු සියලුම කටයුතු තනිවම සිදුකරගැනීමට සිදුවීමේ අත්දැකීම සුලු පටු නැහැ.පිටපතෙහි කටයුතු අවසන් වූ පසු ඒ වෙත නිශ්පාදකයකු සොයාගැනීම කිසිසේත්ම කළ නොහැකි දෙයක් වුනා. ඉන්පසු මේ නිශ්පදන පිරිවැය කොටස්කිහිපයක් යටතේ සිදුකිරීමට අපට සිදුවුනා.එහිදී තාක්ෂණික මෙවලම් හා සේවා සපයන ආයතන මෙන්ම ඇතැම් රංගන ශිල්පීන්, ක්ෂේත්‍රයේ ඇතැම් පිරිස් ඉතා සාහසික ලෙස හැසිරුනා.ඊට පෙර මාගේ සමකාලීන නවකයන්ගේ මෙන්ම ක්ෂේත්‍රයේ බොහෝමයක් දෙනාගෙන් පළමු චිත්‍රපටයට සම්බන්ධවීමෙන් ඔවුන් ලද ඉතාම නීරස අත්දැකීම් මීට හීතු වී තිබුණා. එහෙත් කාලයක් මා සමග කතයුතු කළ මා විශ්වාස කළ පිරිස අවසානයේදී එය යතර්ථයක් බවත්ට පත් කළා.

ඔබේ පරම්පරාවම ඔබට අබියෝගය කියලා කියන මෙමතත්වය තව දුරටත් පැහැදිලි කළ හැකිද?

ඔබේ අරුත් ගැන්වීමට මා විරෝධය පලකරෙන්නේ නෑ.මොකද පසුගිය දශකයේ මුලු ලොකයේම සිනමා කර්මන්න්තය උඩු යටිකුරු වුනා. Digital revolution එකත් එක්ක නිශ්පාදනය වන චිත්‍රපට ගණන දෙගුණ තෙගුණ වුනේ නවකයන් බොහෝමයකගේ ආගමනයත් එක්ක.මේක ලංකාවේත් එහෙමම වුනා. නමුත් ලාංකිය අරුතෙන් මේ කියන ආකාරයේ ගැටලු පැනනැගුනෙ නුපුහුනු ආදුනිකයන්ගේ ආගමනය නිසයි. එහෙම පැමිනිය අය කර්මාන්තයෙ තියන හරය හදුනා ගත්තෙ නෑ. විශේෂයෙන්ම මෙහිදි අර්බුදයට ලක්වුනෙ පලපුරුදුකාර්මිකයන් හා කැමරා ආදී තාක්ෂනික උපකරණ කුලීපදනමත ලබා දෙන ආයතනයි. මේ ආයතනවල සේවා වෙනුවෙන් අයකරගතුව තිබෙන හිග මුදල් ප්‍රමාණය දිනෙන් දින ඉහල යාම, නලු නිලියන්ගේ පඩිනඩි පවා නොගෙවන දෑ කර්මාන්තය ඇතුලෙ අනන්තයි. එමනිසා මේ අය නවකයකු ඉදිරියේ හැසිරෙන ආකාරය සාහසිකයි. මෙන්න මේ වැනි තත්වයත් එක්ක මම වගේ නවකයෙකුගේ මුල්ම චිත්‍රපටය පිටුපස තිබෙන කතාව සුන්දර නැහැ.විශ්වාසය දිනා ගැනීම, අතහිත දෙන්නන් නොමැතිවීම ආදී කාරනා මුහුණ දෙන්න සිදුවන සැබෑ තත්වය.එහෙත් නොසැලෙන ආත්ම විශ්වාසය කෙසේ හෝ මේ මොහොතෙත් මා ඉතිරි කරගෙන ඉන්න බවයි මගේ හැඟීම.

ඔබ ජාත්‍යන්තර සිනමාව පිළිබදව සිහින දකින්නේ මෙවැනි පසුබිමකද?

ජාත්‍යන්තර සිනමාව නියෝජනය කිරීමේදී ඊට අවශ්‍ය වෙළඳපොල නිර්මාණය කරගැනීම සහ ඊට අවශ්‍ය පසුබිම සකස්කර ගැනීම මුලික අවශ්‍යතාවය හැටියට. ලංකාව තුළ චිත්‍රපට බෙදාහැරීමට නිශ්චිත ක්‍රමවේදයක් නොමැතිව, පාඩු ලබන කා කොටාගනන්න, බෙලිකපන ප්‍රවීණයින් දෙස මෙන්ම මෑතකාලීන සිනමා ඉතිහාසය දෙසත් බැලුවහම නවකයන් ලෙස අපට වෙනමගක් නැහැ. එසේම, වේගයෙන් සිනමාවල් හල් වැසෙන, ප්‍රේක්ෂකාගාර දිනෙන් දින පහත වැටෙන රටක සිනමාවක හෙට දවසක් ගැන හීනදැකීම විශාල කාලය නාස්ති කිරීමක්. එතදි ඊට පරිබාහිරව දකුනු ආසියාවේ අනිකුත් රටවල සිනමාකරුවන් පසුගිය දශක කිහිපයතුළ ලෝක සිනමාව තුළ ඇරඹු ගමන් මාර්ගයකට අසීරුවෙන් වුනත් අපට අවතීර්ණ වෙන්න වෙනවා. වෙන කළයුතු දෙයක් නැහැ. හැබැයි ලංකාව වගේ සිනමා පාසලක් හෝ නිසි පදනමක් නොමැතිව රස්තියාදුවෙන් තක්සෙරුවක් නැතිව හදන ආධුනික චිත්‍රපට රැගෙන ලෝක වෙලදපළට යන්නෙ කොහොමද කියන ගැටලුවද මෙහිදී නැතුවාම නොවෙයි. නමුත් මේක හොද ආරම්භයක් වේවි.

සුළග අප රැගෙනයාවි චිත්‍රපටය Cinekid වෙළඳපලට පිවිසීම මෙහිදී තීරනාත්මක වන්නේ ඒ නිසා?

පැහැදිලිවම. නිදහස් සිනමාකරුවෙකු ( Independent filmmaker ) කෙනෙකු ලෙස ඉතාමත් වෙහෙසකර ගමනක් යමින් තිබෙන මොහොතක මට එය ක්ෂේමභූමියක් වගෙයි.මොකද මා මේ චිත්‍රපටය අලවි කළ හැකි වෙළඳපොළවල් තිබෙන සිනෙමා උළෙලවල් කිහිපයකටම මෙය ඇතුලත් කිරීමට උත්සාහ කළා. ඒ උළෙලවල් වලට ඇතුලත් කිරීමේ ගාස්තු ලෙස ඇති ඉහල මිල ගණන් දරාගැනීමට නොහැකිවීම නිසා ඇතිකල ගැටලු වලට මේ මොහොතෙත් මා ලතවෙමින් සිටිනවා. තමන්ගේ කළා නිර්මාණය විකුණා ගන්න බැරිනම් ලෝකෙට පේන්න හුදු පුවත් නිර්මාණය කිරීමට චිත්‍රපටි උළෙලවල් වලට ගිහින් වැඩක් නෑ. Cinekid මට විශාල තල්ලුවක් වන්නේ එනිසා. ආධුනික සිනමාකරුවකු වුණත් දකුනු ආසියාවේ වෙනමම රටක් නියෝජනය කරන චිත්‍රපටයක් නිසා යුරෝපය කේන්ද්‍ර කරගත් බෙදා හැරීම් ක්‍රමවේදයකට මගේ චිත්‍රපටය ඇතුලත් කිරීමට ඔවුන් සහය පලකොට තිබෙනවා.

ලංකාවේ ජනතාව අතරට ඔබේ චිත්‍රපටය ගෙනයන දින වකවානු මොනවාද?

ඇත්තටම මට ඒ පිළිබදව තවම අදහසක් නෑ. ලංකාවේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීම පිටුපස ප්‍රචාරණය හා බෙදාහැරීම වෙනුවෙන් කළ යුතු විශාල පිරිවැය වෙනුවෙන් මට විශාලම වෙහෙසක් දරන්න සිදුවෙනවා. නමුත් ඒ වෙනුවෙන් කිසියම් ආයෝජකයෙකුගේ සහය ලබා ගැනීම වෙනුවෙන් මටත් වඩා නිෂ්පාදිකාව ලෙස මායා විසින් විශාල වැඩ කොටසක් කරමින් සිටිනවා. ඇගේ වෑයම අසාර්ථක වුනොත් නැවතත් මට ඒ වෙනුවෙන් වැඩකළ යුතු වෙනවා. හැබැයි ඒ මේ යුරෝපීය බෙදාහැරීම සම්පූරණයෙන්ම නිමවුනු දවසක. අනික තත්වය ඒ වගෙ වුනොත් චිත්‍රපට ප්‍රදර්ශනයට ගොස් වසර ගණනක් තිස්සෙ තවමත් පෝලිමේ බලා ඉන්න ප්‍රවීනයන් ගොඩට එකතුවෙලා කිසියම් විසදුම් මගකට යොමුවෙන්න මට සිදු වේවි. නමුත් බලමු කාලය සියල්ල තීරණය කරාවි. මට ලොකු හදිස්සියක් නෑ.

සුළග අප රැගෙනයාවි ගැන වැඩිදුර කියවීම සඳහා පහත වෙබ්අඩවි වලට පිවිසිය හැකිය

– ශ්‍රී ලංකා ගාර්ඩියන්

Back to Top