Sri Lanka Brief
පුවත්විවරණසමන්තා පවර් සහ ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය – නිලන්ත ඉලංගමුව

සමන්තා පවර් සහ ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය – නිලන්ත ඉලංගමුව

by

“අපාය හිස්වී ඇත. ඒ, අපායේ සිටි සියලු යක්ෂයින් මිහිපිටට පැමිණ සිටින හෙයිනි.” මෙරටට ඒමට පෙර තම ඉන්දියානු සංචාරයේදී එක්සත් ජාතීන්ගේ සාම සාධක බලකායේ නව  අභියෝග සමබන්ධයෙන් කතා කරමින් සමන්තා පවර්, ශේක්ෂ්පියරියානු අදහසක් උපුටා දක්වමින් තම කතාව අවසන් කළේ එලෙසය. එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ එක්සත් ජනපදයේ නිත්‍ය නියෝජිතයා ලෙස කටයුතු කරන සමන්තා පවර් තම ඉන්දියානු සංචාරය අවසන් කිරීමන් පසු මෙරටට පැමිණියාය.

තෙදින නිල සංචාරයක් වූ එහිදී, ඇය කොළඹ මෙන්ම යාපනයේ සංචාරය කරමින්, යාපනේදී වැස්සේ තෙමෙමින් එල්ලේ ක්‍රීඩාවේ නිරත වූවාය. ඇය එල්ලේ ක්‍රීඩාව හැඳින්වූයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සහෝදරිය ලෙසය. කොළඹදී පැවති සම්මන්ත්‍රණයකදී ඇය, “තමන්ට ද්‍රවිඩ බස ඉගෙන ගැනීමට කිසිඳු ලෙසකින් හැකියාවක් නැතිමුත්, එල්ලේ ක්‍රීඩාවට ඇති හැකියාව දියුණු කරගත හැකි බව ප්‍රකාශ කළාය”. පෙරදා නොදුටු, ධනාත්මක සහ ශුභවාදී ආකල්පයකින් ඇය මෙරට ගත කළ දින කිහිපය පසු කළාය.

සැබවින්ම, මෙය වත්මන් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය තුළ දැක ගත හැකි ක්‍රමෝපායික සාර්ථකත්වයකි. සමන්තා පවර් වූ කලී පසුගිය ආණ්ඩුවට එරෙහිව ප්‍රභල ලෙස හඬක් නැගූ එක්සත් ජනපද ධූත මණ්ඩල නිලධාරිනියක් වන අතර ඇය ශ්‍රී ලංකා ආණ්ඩුව, රජය සහ රට හමුවේ ඇති වත්මන් අභියෝග ගැන වඩාත් ධනාත්මක නැඹුරුවකට තල්ලු වීම ඉතා වාසී සහගත තත්වයකි. ඊට හිමි, ගරුත්වය වත්මන් ආණ්ඩුව සතුය. එමඟින්, ශේෂ කරන අභියෝග ජය ගැනීම වත්මන් ආණ්ඩුවේ කුසලතාවය මත තීරණය වන කාරණයකි.

ඇය ශ්‍රී ලංකාවේ සංචාරය කළ දින කිහිපය පුරා තැබූ සටහන් මෙන්ම වක්‍රව ඉදිරිපත් කළ දේශපාලන කාරණා  වූ කලී, වත්මන් එක්සත් ජනපද ආණ්ඩුව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන විදෙස් ප්‍රතිපත්තිය වේ. මෙය මීළඟ වසරේ පැවැත්වෙන එක්සත් ජනපද ජනාධිපතිවරණයෙන් පසුව වුවද වෙනස් වේ යැයි සිතීම උගහටය. රිපබ්ලිකන් සහ ඩිමොක්‍රටික් පක්ෂ දෙක අතර දිනෙන දින උණුසුම් වෙමින් පවතින ආකර්ශනීය  දේශපාලන විවාදය සහ නිරායුධ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගෝලීය වශයෙන් මතු වී ඇති අභියෝගකාරී තත්වය ගැන සැලකීමේදී එක්සත් ජනපදයේ ප්‍රතිපත්ති වල  බරපතළ වෙනස් වීමක් සිදුවේ යැයි අනුමාන කළ නොහැකිය.

සමන්තා පවර්ගේ සංචාරය මෙන්ම මීට පෙර සිදු වූ රාජ්‍යය ලේකම් ජෝන් කෙරීගේ සංචාර සහ ඉන් මතුවන සැබෑ දේශපාලනය ගැන විමසීම වැදගත් වන්නේ මේ නිසා යැයි සිතේ.

විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධයේ අවසන් අදියර සම්බන්ධයෙන්  මතු වූ ප්‍රභල නමුත් එකිනෙකට පටහැණි චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ මුලික සුක්කානම හසුරවනු ලැබුවේ, හිටපු තානාපති රොබර්ට් බ්ලේක් විසිනි.

 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මෝහය සංකේන්ද්‍ර ගත වූ දරදඬු ප්‍රතිපත්ති, අනෙකාට වාසිය උදාකරන්නක් වූවා පමණක් නොව අනෙකාගේ අවකාශය තහවුරු කරන්නක්ද විය. තම උපායන් වලදී දැකගත හැකි වූයේ හිතාමතා සිදුකරන මඟහැරීමක් සහ මෙරට දේශීය දේශාපාලනය තුළ හැඟීම් ඇවිස්සීමට ජාත්‍යන්තර දේශපාලන කාරණා නියාලු සහ නොවැදගත් ලෙස අර්ථ නිරූපණය කිරීමය. දේශපාලන හීනමානය ජාතිකාභිමානය ලෙස විරූප කිරීමය. පුහුමානය, දේශප්‍රේමීත්වය ලෙස අර්ථ නිරූපණය කිරීමය.

එය වඩාත් “ඝෝර” ලෙස අත්හදා බැලීම සඳහා ඉතා වැදගත් ස්ථාන වල ශ්‍රී ලංකා නියෝජනයද බාල්දු කරනු ලැබීය. මෙය වඩාත් වාසි සහගත වූයේ ශ්‍රී ලංකාවේ ගැටලුව සහ ඉන් ඇති කරනු ලැබූ පාරිසරික තත්වය මෙවලමක් ලෙස භාවිතා කළ පිරිස් වලට සහ අර්බුධ හමුවේ තම පෞද්ගලික වාසී වෙනුවෙන් පෙනී සිටින්නන් හටය. කොටි සංවිධානය මුලිනුපටා දැමීම වැනි බොහෝ දෙනෙකු අපේක්ෂා නොකළ ජයග්‍රහණයක් අත්පත් වීමෙන් මතුවූ දොරෙගලායන ජයග්‍රහණය නිවැරදිව කළමනාකරනය කිරීමට නොහැකි වීම සහ පශ්චාත්-ගැටුමක දේශපාලනය නිවැරදිව කියවීමට නොහැකි වීම යන කාරණා තුළ මෙරට පැවති පරිපාලනය හිරවිය. තමන් ඇති සිදු වූ වැරදි ගැන කතාබහට ලක් කරන්නා සතුරෙකු ලෙස දැකීමේ නොදියුණු සංස්කෘතිය රටේ මුලික අවබෝධය බවට පත් විය.

එම තත්වය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වූ එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්තිය විෂයෙහිලාද සාධනීය ලෙස බලපාන ලදි.

බ්ලේක් විසින් මතුකරනු ලැබූ අතිශය තීරණාත්මක කාරණාවල මුලික හඬ තියුණු කරනු ලැබුවේ, සමන්තා පවර් විසිනි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්, එක්සත් ජනපදය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ ඉදිරිපත් කළ පළමු යෝජනාවේ මුලික හැඩතලය අඳිනු ලැබුවේ ඇගේ මුලිකත්වයෙනි. ඉන්පසු, ඉදිපත් කළ යෝජනාවල මුලික හැඩය නිර්මාණය කරනු ලැබුවේද ඇය විසිනි. මෙය වඩාත් වාසිසහගත තත්වයක් දක්වා තල්ලු කිරීමට වත්මන් ආණ්ඩුවට හැකි වීම, සැබවින්ම මෙරට අනාගතය සම්බන්ධයෙන් ඉතා වැදගත් වේ. මෙය, මෙරට විදේශ ප්‍රතිපත්තිය තුළ නිරීකෂණය කළ හැකි සිත් ඇදගන්නා කාරණයකි.

මෙවැනි දෑ තම කුහක අන්තවාදී දේශපාලන වාසී සඳහා භාවිතා කොට, මෙරට බහුතර ජනතාව ඇවිස්සීම ඕනෑම අයෙකුට කළ හැකිය. ඕනෑම අයෙකුට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට හෝ වෙනත් රටක ඕනෑම නායකයෙකුට එරෙහිව “මාරාන්තික උපවාස” කොට රටේ විදේශ ප්‍රතිපත්තිය කොළඹ කාණු දිගේ දොරේ ගලා යෑමට සැලැස්විය හැකිය. නමුත් මෙවැනි සාධනීය තත්වයක් නිර්මාණය කිරීම, එනම් පෙරදා “පරම” සතුරා වර්තමානයේ ක්‍රමෝපායික මිතුරා බවට පත්කර ගැනීම, මනා පරිශ්‍රමයෙන් කළ යුතු කාරණයකි. ඒ සඳහා දේශපාලන විඥානය තිබිය යුත්තේය.

වතිකානුවේ පාප් තනතුරට ලතින් ඇමරිකානු පූජකවරයෙකු පත් වූ විට සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිධූරයට අප්‍රිකානු අමෙරිකානුවකු පත්වූ විට, කියුබාව සහ එක්සත් ජනපදය අතර ඇති දේශපාලන සම්බන්ධතා නව හැඩයක් ගනු ඇතැයි, කියුබාවේ හිටපු ජනාධිපති කස්ත්‍රෝ සඳහන් කළේ එවැනි පුළුල් දේශපාලන අර්ථයකිනි. එවැනි අර්ථ නිරූපණයක් කිරීමට, මෙරට දේශපාලන ව්‍යාපාර අව්‍යාජ නොවන්නා සේම බොහොමක් ව්‍යාපාර තම කපටි දේශපාලන ගුණ්ඩු ඇටවීම, “ව්‍යාජ දේශප්‍රේමය” නමැති  ගඳ ගසන සළුවෙන් ආවරණය කරගෙන සිටිති. එයට කළ හැක්කේ, රටේ සාමන්‍යය ජනතාවගේ මුලික අයිතීන් වලපල්ලට තල්ලු කිරීම පමණි.

කෙසේ වෙතත්, එක්සත් ජනපදය සම්බන්ධයෙන්, බොහොමයක් පිරිස් මතුකරන මුලික සහ ගෝලීය වශයෙන් පිළිගැනෙන විවේචනයක් තිබේ. එසේම තම සංචාරයේදී, සමන්තා පවර්, අදාළ විවේචනය සම්බන්ධයෙන් වක්‍රව පිළිතුරු ලබා දුන්නාය.

එනම්, එක්සත් ජනපදය මානව හිමිකම් කතා කිරීම සහ අනෙක් රටවලට ඒ සඳහා ප්‍රබල දේශපාලනික බලපෑම් එල්ල කිරීම, කුහක බක තපස් රැකීමක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. එය දීර්ඝ කාලයක් තිස්සේ මතු කරනු ලබන දේශපාලන විවේචනයකි. එවැනි විවේචන වල දේශපාලන වැදගත්කමක් ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ.  

විශේෂයෙන්ම, සෝවියට් ආක්‍රමණයට එරෙහිව, සන්නද්ධ ජිහාඩ් ව්‍යාපාර සඳහා අනුබල දීම, ඉන් පසු තම බලය ව්‍යාප්ත කිරීම සඳහා ජිහාඩ් සංවිධාන වලට එරෙහිව කටයුතු කිරීම, ඉරාකයේදී මරා දමනු ලැබූ ජෝදානයේ විදී චණ්ඩියෙක් ලෙස ජීවිත ගෙවාදමා පසුව ශුද්ධ යුද්ධයේ ශුද්ධවන්තයෙකු වීමට උත්සහ දැරූ අබු මුසාබ් අල් සර්කාවී විසින් නිර්මාණය කරනු ලැබූ ඉස්ලාමීය රාජ්‍යය වැනි සීමා රහිත ත්‍රස්ත ව්‍යාපාර වලට අනුබලදීම මාර්ගයෙන් මැදපෙරදිග ආණ්ඩු තමන්ට රිසි සේ වෙනස් කිරීමට උත්සහ කිරීම, සෞදි අරාභිය වැනි මැදපෙරදිග පාලනය කරන පැහැදිලි අපරාධකාරයින් හමුවේ මුනිවත රැකීම, ආදී වූ දීර්ඝ ලැයිස්තුවක් ඉදිරිපත් කළ හැකිය.

නමුත් මේ කිසිඳු කාරණයක්, මෙරට කුණු වූ දේශපාලනය ශුද්ධ කිරීම සඳහා ප්‍රයෝජනවත්  ලෙස භාවිතා කළ හෝ කරන දේශපාලන ව්‍යාපාරයක් තවමත් ඇති වී නැත. මතු වූ ඇතැම් කුඩා දේශපාලන කල්ලි වලට සිදු වූයේ තම ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට ගෙන යාමට අවශ්‍ය මාර්ගයක් නොමැති වීමය. ඔවුහු ඔවුන්ගේ ලෝකය තුළ වීරයන් වී හුදෙකලා වූහ. මේ නිසා, බොහොමයක්, විවේචන වල අඩංගු වන්නේ නීරස ලෙස තම දේශපාලන වාසී ලබා ගැනීමේ ආශාව මිස, මෙරට සාමන්‍යය ජනතාවගේ මොළය පෝෂණය කොට ඔවුහු වැදගත් තීරණ ගැනීම සඳහා පෙළඹවීම නොවේ.

ඇමෙරිකානු හෙවත් පොදුවේ බටහිර දේශපාලන භාවිතාවන් විවේචනය කරන බොහෝ දෙනෙකු තම පෞද්ගලික ජීවිතයේ ආරක්ෂාව සහ අනාගතය බාරාදී ඇත්තේ එම රටවලටම වීම, මෙහිදී  නිරීක්ෂණය කළ හැකි හාස්‍යජනක නමුත් සැබෑ ඇත්තය. මෙහිදී, විවේචනයට බඳුන්වන විෂය පමණක් නොව විවේචකයාද දෙබිඩි පිළිවෙත අනුගමනය කරන ආකාරය පැහැදිලිව දැක ගත හැකිය. එනම් මෙම සන්දර්භය, තුළ අවබෝධ කරගත හැකි මුලික අභියෝගය වූ කලී, හුදු “දේශප්‍රේමී” විවේචකයින්ගේ දෑත් මත, රටේ සාමන්‍යය ජනතාවට ඇති දේශපාලනික අයිතිය යළිත් දිය වීමට ඇති ඉඩ ඇහිරීමයි.

මේ නිසා, සමන්තා පවර් පමණක් නොව,  ඇය නියෝජනය කරන “දේශපාලන ප්‍රවාහය”, දේශපාලනික වශයෙන් වටහා ගැනීම මෙන්ම එය ක්‍රමෝපායිකව මෙරට ජනතාවගේ සුගතිය වෙනුවෙන් භාවිතා කොට රට හමුවේ ඇති සැබෑ අභියෝග නිවැරදිව අවබෝධ කරගැනීම වැදගත් වේ.

සමන්තා පවර්  කලක් එක්සත් ජනපදයේ මාධ්‍යවේදිනියක් ලෙස  කටයුතු  කළාය. විශේෂයෙන්, බුෂ් පරිපාලනය සම්බන්ධයෙන් ප්‍රභල විවෙච්කාවක් වූ ඇය, එක්සත් ජනපදය, එක්සත් ජාතින්ගේ සංවිධානය තුළ සිදුකළ වැරදි දේශපාලන මැදිහත්වීම් බරපතළ ලෙස විවේචනය කළාය. එක්සත් ජනපදය විසින් සිදු කළ මානව සංහාර සම්බන්ධයෙන් ඇය ප්‍රසිද්ධ කළ “ප්‍රොබ්ලම්ස් ෆ්‍රොම් ද හෙල්”, වර්තමානය්දීද බහුල ලෙස කතා බහට ගැනෙන සහ බොහෝ දෙනෙකු ඇගේ වත්මන් දේශපාලන ස්ථාවරය විවෙච්නය කිරීම සඳහා භාවිතා කරන රචනාවක් බවට පත් වී තිබේ.

“විශේෂ මනාව සංහාර සිදුවන විට එය නතර කිරීම සඳහා එක්සත් ජනපදය යොමු නොවීම සම්බන්ධයෙන් ජනතාව පැහැදිලි කොට තිබෙනවා. ඊට හේතුව හිතා මතා කරනු ලැබූ මගහැරීම සහ අපරාධ සිදුවන විට එය වැලක්වීමෙන් කිසිඳු ප්‍රතිඵලයක් අත්නොවන බවට වූ පූර්ව පිළිගැනීමයි. එක්සත් ජනපදයේ ප්‍රතිපත්ති තීරකයින් අපරාධ සිදුවන බව හොඳින්ම දැන සිටි බව මා සොයා ගත්තෙමි. නමුත්, සමහර ඇමෙරිකානුවන් ඒ ගැන සැලකිල්ලක් දැක්වුහ. එසේම ඒ වෙනුවෙන් සටන් කළහ. පෞද්ගලික  මෙන්ම වෘත්තිමය වශයෙන් පරිත්‍යාග කරනු ලැබූහ. එසේම එක්සත් ජනපදයට, ඝාතන කිරීම් අවම කිරීමට සහ වැලක්වීමට ගණනය කළ නොහැකි තරම් අවස්ථා තිබුණි. නමුත් යලි යළිත්, වැදගත් මහත්වරු මෙන්ම නෝනාවරුන් මේ මාර්ගය තෝරාගත් සැටියෙකි. අපි සියල්ලම සංහාර සිදුවන විට උඩබලාගෙන සිටින්නන් බවට පත් වී ඇත්තෙමු. ගැටලුව, එහෙම සිදු වුණේ ඇයිද, කියන එකයි.” ( උපුටා ගැනීම: ප්‍රොබ්ලම්ස් ෆ්‍රොම් ද හෙල් ) වරක් සමන්තා පවර් සටහන් කළාය.

ඇගේ බොහොමයක් රචනා කියවීමේදී නිරීක්ෂණය කළ හැකි මුලික කාරනා දෙක වූ කලී, මානව හිමිකම් සම්බන්ධයෙන් දක්වන අවධානය සහ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටීමය.

ශ්‍රී ලංකා ආණ්ඩුව, ජිනීවාහිදී තම රට සම්බන්ධයෙන් වූ යෝජනාවලීයට සම අනුග්‍රහයකත්වය ලබාදීම වූ කලී ඇගේ දේශපාලනය නිවැරදිව කියවීමක් ලෙස නිරීක්ෂණය කළ හැක්කේ ඒ අනුවය. රට මුහුණ දී තිබූ සැබෑ තත්වය හමුවේ එය වූ කලී කාලෝචිත වැදගත් තීන්දුවකි. එසේම ඇය, කොළඹදී පැවති හමුවේදී, තමන් මුහුණ දී සිටින සැබෑ දේශපාලන උභතෝකෝටිකය පැහැදිලි කළාය.  ඒ වූ කලී, පිටස්තරයෙකු ලෙස තමන් විසින් වැරදි යැයි පට්ට ගැසූ ඇතැම් කාරණා සම්බන්ධයෙන්, රාජ්‍යය නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීමේදී, යම් ආකාරයක සම්මුතියකට එළඹීමට සිදුවන බව කීවාය.

විප්ලවාදී විවේචකයකු, ප්‍රයෝගික දේශපාලන ප්‍රවාහය හමුවේ මුහුණ දෙන සැබෑ අභියෝගය එයයි. ඉන් ශ්‍රී ලංකාව වැනි රටකට, දේශපාලන වාසී ලබා ගැනීමේ හැකියාව තීරණය වන්නේ, සමන්තා පවර්ගේ දේශපාලන ජීවිතය නිවැරදිව කියවීමට ඇති හැකියාව සහ මෙරට සිදු වූ බොහොමයක් දෑ සම්බන්ධයෙන් නිවැරදි ලෙස අර්ථ නිරූපණ ඉදිරිපත් කිරීමට ඇති හැකියාව මතය. දේශපාලන ව්‍යාපාරයකින් රටට සුගතියක් අත්වන්නේ එවිටය.

තම දේශපාලන මගෝඩිකම් හේතුවෙන් පෙරදා හුදෙකළා වූ රාජ්‍යය වටා “පැරණි” සතුරන් මිතුරන් ලෙස පෙළ ගැසීම සුභවාදී කාරණයක් බව සැබෑය. එසේම ඒ හමුවේ ඇති අභියෝග ජයගැනීමේ හැකියාව රඳා පවතින්නේ, රටේ නායකත්වය සතු දේශපාලන විඥාණය මතය.

සමන්තා පවර් නොකියා කියූ දේශපාලන කතාවේ ප්‍රායෝගික අභියෝගය එයයි. දශක ගණනකට පෙර නොබැඳි ජාතීන්ගේ විදෙස් ප්‍රතිපත්තිය ධාවක බලවේගය බවට පත් කරගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ බටහිර වෙළඳපොල යථාර්තය තම පරිපාලනය හැඩගස්වන මූලික ඒකකය බවට පත්කරගත් එක්සත් ජාතික පක්ෂය එකතුවීම විසින් නිර්මාණය කොට ඇති භූ-දේශපාලනික තත්වය එයයි. මෙය රනිල්ට තනිවම හෝ මෛත්‍රීට තනිවම කළ නොහැකි සහ කළ නොයුතු කාරණයකි. මෙය සැබවින්ම ආකර්ශනීය මෙන්ම අභියෝගකාරී දේශපාලන පාරිසරික තත්වයකි. දෙමුහුන් යහපාලනයේ ඇති විවිධත්වය තුළ සාර්ථක පරිපානයක් ගොඩනැගීම ස්ථානගත වී ඇත්තේද මෙම මූලය තුළ යැයි සිතේ.

එහි සාර්ථකත්වය රඳා පවතින්නේ, යුක්තිය වෙනුවෙන් රාජ්‍යය නායකත්වය දක්වන අවධානය සහ කැපවීම මතය. එය, පූසන් දෙදෙනකු කේක් කැබැල්ලකට රණ්ඩු කරමින් සිටින බව දුටු රිලවකු, පූසන් දෙදෙනාගේ ගැටුම සමනය කිරීම සඳහා පෙනී සිටීම හා කියවෙන සම්ප්‍රදායික කතාවෙන් ඔබ්බට ගිය වැඩපිළිවෙලක් විය යුත්තේය. කතාව ගලා යන්නේ මෙසේය. මිත්‍ර පූසන් දෙදෙනෙකුට කේක් කැබැල්ලක් හමුවේ. එය සමානව කඩා අනුබව කිරීමට දෙදෙනා තීරණය කළහ. එය කැඩූ පසු ඉන් කැබැල්ලක් විශාල බව දක්නට ලැබුණි. දෙදෙනාම, ලොකු කෑල්ල වෙනුවෙන් රණ්ඩු කළහ. එය දුටු රිලවකු, ගැටුම සමනය කිරීම සඳහා මැදිහත් විය. පළමු පියවර ලෙස, විශාල කෑල්ලෙන් කොටසක් කැඩූ රිලවා දෙක සමාන දැයි බැලුහ. එවිට අනෙක් කැබැල්ල විශාල වූ හෙයින් ඉන් කොටසක්ද කෑවේය. ඒ ආකාරයෙන් කේක් කැබලි දෙක පියවරෙන් පියවර තම ග්‍රහණයට ගැනීමට රිලවා සමත් විය. අදාළ කතාවට අනුව, රිලවාගේ යුක්තිය වූ කලී අගතියට පත් පාර්ශවයන් දෙකෙන්ම වාසී ලබාගෙන තම බඩ පුරවා ගැනීමය. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරා සිදු වූයේද; ගැඹුරට විහිදීගිය සමාජ රෝගවල රෝග ලක්ෂණ ලෙස ත්‍රස්තවාදය වැනි බිහිසුණු උපායන් වලට යොමු වී කාලකන්ණි ජාතියක් බවට පත් වීමට සිදුවූයේද, එවැනි “රිලා යුක්තියක්” සමාජ යතාර්ථය බවට පත් වී තිබු අවදිය තුළය.

වත්මන් ආණ්ඩුවේ සාධනීය වැඩපිළිවෙල නිර්මාණය විය යුත්තේ පැවති අප්‍රසන්න සම්ප්‍රදාය මුලිනුපුටා දැමීමට සහ මානවීය ගුණයෙන් මෙන්ම අභිමානයෙන් යුතු පරිපාලනයක් හැඩගස්වා ජාතික මෙන්ම ජාත්‍යන්තර පරිසරය තුළ අහිමු වූ නම්බුව සහ ගරුත්වය රැක ගැනීම අරමුණු කර ගනිමිනි.  නායකත්වයක සාර්ථකත්වය රඳා පවතින්නේ, ඔහුගේ පෞද්ගලික කෞශල්‍ය මත පමණක් නොව, ඔහු වටා ඒකරාශී වන පිරිස් වල ඇති සැබෑ වුවමනා සහ කැපකිරීම් මත

Back to Top