Sri Lanka Brief
පුවත්යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය අධිකරණමය ප්‍රතිසංස්කරන – ජයම්පති වික්‍රමරත්න

යුක්තිය ඉටු කිරීමට අවශ්‍ය අධිකරණමය ප්‍රතිසංස්කරන – ජයම්පති වික්‍රමරත්න

by

ගරු සභාපතිතුමනි, මම මේ අවස්ථාවේදී කථා කරන්නට බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යාංශය ගැනයි. අපේ ගරු අධිකරණ අමාත්‍යතුමා උපරිමාධිකරණ මෙන්ම පහළ අධිකරණවලද පළපුරුද්දක් තිබෙන ජනාධිපති නීතීඥවරයෙක්; ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයෙක්; ඒ වාගේම legal academic කෙනෙක්. එම නිසා මම හිතනවා, අපට අවස්ථාවක් ලැබිලා තිබෙනවා කියලා අධිකරණ ක්ෂේත්‍රයේ තිබෙන ප්‍රශ්න ගණනාවකට විසඳුම් සොයන්නට, විශේෂයෙන්ම අධිකරණවල තිබෙන ප්‍රමාදය පිළිබඳව. අද මහාධිකරණවල අධිචෝදනා පත්‍ර, අභියාචන සහ ප්‍රතිශෝධන ඉල්ලීම් 20,000කට වැඩි ප‍්‍රමාණයක් තිබෙනවා. ළමා අපයෝජන පිළිබඳ නඩු 3,600කට අධික සංඛ්‍යාවක් තිබෙනවා. එම නිසා මම හිතනවා, අඩුම වශයෙන් මහාධිකරණවල එක එක පළාතට, -විශේෂයෙන් ළමා අපයෝජන පිළිබඳ- විශේෂ අධිකරණ පිහිටුවනවා නම්, ඒක ඉතාමත්ම හොඳයි කියා. මොකද, අද ළමා අපයෝජන වැඩි වෙමින් පවතින අවස්ථාවක, අධිකරණ ක්ෂේත්‍ර ක්‍රමයත් ඒ සඳහා නිසි ලෙස ප්‍රතිචාර දක්වන්නට ඕනෑ. සමහර දිසා අධිකරණවල, -මාතර වාගේ- සාමාන්‍යයෙන් ඉඩම් නඩු ගොඩක් තිබෙන අධිකරණවල නඩුවක් කල් යන්නේ මාස 7ක් වැනි ඈත කාලයකට. අද ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කල් යන්නේ මාස 6ක් 7ක් ඈතට. ශ්‍රේෂ්ඨාධිකරණයේ දිනපතා අවසාන අභියාචනා නඩු – final appeal cases – 10ක් පමණ ලැයිස්තුගත‍ වෙනවා. ඒවායින් එකකට දෙකකට වඩා විමසන්නට කාලය ලැබෙන්නේ නැහැ.

1980 ගණන්වල මෙයට විසඳුමක් ලෙස pre-trial stage එකට – නඩු විභාගයට ගන්නට ඉස්සෙල්ලා තිබෙන එක එක පියවරයන් පිළිබඳව- Court Mastersලා, Court Recordersලා පත් කරන්නට යෝජනාවක් තිබුණා. නමුත් ඒ එකක්වත් ක්‍රියාත්මක වුණේ නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ තනි විනිශ්චයකාරවරයෙකුට පුළුවන් එක එක පියවර, -නඩුවක pre-trial – පිළිබඳව තීන්දු දෙන්නට. අවශ්‍ය නම් ඒ සඳහා ව්‍යවස්ථා වෙනස් කරලා හෝ අවස්ථාව සලසන්නට අපි කල්පනා කරන්න ඕනෑ, විශේෂයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ගැන කථා කරන වෙලාවේ.

ඊළඟට මම මතු කරන්නට කැමැතියි මේ කාරණයත්. විනිශ්චයකාරවරුන් උසස්වීම් ලබලා යන විට හෝ විශ්‍රාම ලබා යන විට සමහර විට නඩු සිය ගණනක තීන්දු නොදී ඔවුන්ට යන්න වනවා. ඉතාමත්ම හොඳ විනිශ්චයකාරවරුන් අභියාචනාධිකරණයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණයට යන විට නඩු 100ක් විතර ඉතිරි කරලා ගිය අවස්ථා තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශ්‍රාම ගන්නා විට නඩු 100ක් විතර ඉතිරි කරලා ගිය අවස්ථා තිබෙනවා. ඒ, නඩුව අහලා, නමුත් නඩු තීන්දුව දුන්නේ නැති අවස්ථා. මම යෝජනාවක් කරන්නට කැමැතියි. මේ පිළිබඳ විශේෂ විධිවිධානයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හා අධිකරණ සංවිධාන පනතට ඇතුළත් කරන්නට පුළුවන්ද කියා අපි සාකච්ඡා කරන්න අවශ්‍යයි. මේ විනිශ්චයකාරවරුන් විශ්‍රාම ගියත් සීමිත කාලයක්, -මාස 3ක් හෝ මාස 6ක්- තුළ ඔවුන් තමන් අහලා අවසන් කළ නඩුවල තීන්දුව දීම සඳහා පමණක් සීමා කරලා; ඔවුන්ගේ නිල කාමරවල සිට කටයුතු කරලා නඩු තීන්දුව දීමට පමණක් විනිශ්චය ආසනයකට ඇවිත් කටයුතු කරන්න අපට අවස්ථාව දෙන්න පුළුවන්කමක් තිබෙනවාද කියා අප විමසා බැලිය යුතුයි. අපට ඒ වාගේ අලුත් ක්‍රම සහ විධි සොයා ගන්නට සිද්ධ වෙනවා. මේ සඳහා විශේෂ ප්‍රතිපාදන අපට ඇති කරන්නට වෙයි. දිස්ත්‍රික් උසාවියෙන් මහාධිකරණයට ගියාම, එහෙම නැත්නම් අභියාචනාධිකරණයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියත්, අධිකරණවලින් විශ්‍රාම ගියාට පසුවත් සීමා සහිත කාලයක් තුළ අවසන් කළ නඩුවල තීන්දු දීම සඳහා ඔවුන්ට අවස්ථාව ලබා දීම සඳහා විශේෂ ප්‍රතිපාදන ඇති කරන්නට පුළුවන්ද කියලා අපි බලන්නට ඕනෑ.

නඩුවල තවත් මෙහෙම කාර්ය පටිපාටියක්  තිබෙනවා. විශේෂයෙන්  ශ්‍රේෂ්ඨාධිකරණයේ  සහ අභියාචනාධිකරණයේ  කැබිනට් මණ්ඩලයට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩුවක් දානවා නම්, කැබිනට් මණ්ඩලයේ සිටින ඇමතිවරු  60 දෙනාම පාර්ශ්වකරුවන් කරන්නට ඕනෑ.

පළාත්බද අමාත්‍ය මණ්ඩලය නම් ඇමතිවරුන් පස්දෙනාම, යම්කිසි කොමිසමක් නම් ඒ කොමිසමේ සියලු සාමාජිකයන් නම් කරන්න ඕනෑ. එහෙම වුණාම මොකද වෙන්නේ? නඩුව යනවාත් එක්කම ඒ ඇමතිවරුන් එක්කෝ වෙනත් ඇමතිකම් භාරගන්නවා. එහෙම නැත්නම් ඔවුනට ඇමතිකම් අහිමි වෙනවා. එහෙමත් නැත්නම් ඇමතිකම මාරු වෙනවා. ඒ හැම වෙලාවේම ශීර්ෂය සංශෝධනය කරන්න ඕනෑ. මාස ගණන්, සමහර විට අවුරුදු ගණන් කල් යනවා, ඒ හේතුව නිසා. මා පෙනී සිටින නඩුවක් තිබෙනවා  ශ්‍රේෂ්ඨාධිකරණයේ, බස්නාහිර පළාත් සභාව සම්බන්ධව. දැන් අවුරුදු 7ක් තිස්සේ අපට නඩුව ගන්න බැහැ. මොකද, හැම අවස්ථාවේම ඒ ඇමතිවරුන් පස්දෙනාගෙන් කවුරුන් හෝ කෙනෙකු මාරු වෙනවා; එක්කෝ විෂය මාරු වෙනවා. ඒ හැම වෙලාවේම ශීර්ෂය වෙනස් කරන්න ඕනෑ. එම නිසා, එක්කෝ ශ්‍රේෂ්ඨාධිකරණ රීති වෙනස් කරලා, එහෙම නැත්නම් අවශ්‍ය නම් විශේෂ නීතියක් ගෙනැල්ලා, ඇමතිවරුන්; කොමිෂන් සභාවල සාමාජිකයන් වෙනස් වුණත් ශීර්ෂය සංශෝධනය කරන්නේ නැතිව නඩුව දිගට රැගෙන යන්න පුළුවන් වන විධියට අපි ප්‍රතිපාදන ඇති කරන්න ඕනෑ. දැනටත් ඒ විධියට තිබෙනවා. අභියාචනාධිකරණයේ rulesවල තිබෙනවා, රාජ්‍ය නිලධාරින් මාරු වුණත්, ශීර්ෂය වෙනස් කරන්නේ නැතිව නඩුව ගෙන යන්න පුළුවන් කියලා. මා හිතන්නේ ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයටත් අදාළ කරලා, අමාත්‍ය මණ්ඩලයේ සහ කොමිෂන් සභාවල වෙනස්කම් ඇති වුණත් ශීර්ෂය ඒ විධියටම දිගටම රැගෙන යන්න අපි ඉඩ සලස්වන්න ඕනෑ කියලායි.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ සිටින විනිශ්චයකාරවරුන් සංඛ්‍යා 1978 සිට එන සංඛ්‍යාවන්මයි. නමුත් අද ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු දහස් ගණනින් වැඩි වෙලා. ඒ නිසා ඒ විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව වෙනස් කරන්න අද කාලය පැමිණ තිබෙනවා. ඒ වාගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් -Constitutional Court එකක්- පිහිටුවා, විශේෂයෙන් ඒ පිළිබඳව දැනුමක් තිබෙන විනිශ්චයකාරවරුන් පත් කරලා එම නඩු එවැනි විශේෂ අධිකරණයකට යවන්න කාලය ඇවිත් තිබෙනවා. විශේෂයෙන් අද තිබෙනවා, සිවිල් මහාධිකරණ. අද බස්නාහිර පළාතේ එවැනි සිවිල් මහාධිකරණ, අභියාචනාධිකරණ ගණනාවක් තිබෙනවා. එමඟින් quality එකට ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. එහෙම වෙලා නැහැ කියන්න බැහැ. ඒ නිසා තමයි අද ශ්‍රේෂ්ඨාධිකරණයට දහස් ගණන් අභියාචනා -appeals – ඇවිල්ලා තිබෙන්නේ, ඒ උසාවිවලින්. ඒ නිසා මම යෝජනා කරනවා, අභියාචනාධිකරණය පුළුල් කරලා, සංඛ්‍යාව පුළුල් කරලා පළාතෙන් පළාතට විනිශ්චය සභා ඇති කරලා -එවැනි විනිශ්චය ආසන හදලා- මේ ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන්න කියලා. එහෙම නැතිව මෙය කරන්න බැහැ. මා කලිනුත් යෝජනා කර තිබෙනවා මේ පිළිබඳව. එහෙම කළාම අපට පුළුවන් තමන්ට අවශ්‍ය අපරාධ නඩු විතරක් අහන මහාධිකරණ නැවතත් පිහිටුවන්න. ඒ නිසා මේ පිළිබඳව බරපතළව සාකච්ඡා කරන්න අද අවශ්‍ය වෙලා තිබෙනවා. ඒ සඳහා විනිශ්චයකාවරුන්, නීතිඥවරුන් සහ ප්‍රජාව සමඟ සාකච්ඡා කරලා මේ පිළිබඳව කටයුතු කරන්න අවශ්‍යයි.
මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අද මූලික අයිතිවාසිකම් නඩු අහන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ විතරයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනා – appeals – නැහැ. වැරදුණොත් එහෙම, ඉවරම තමයි. ඊට වඩා හොඳයි පහළ අධිකරණයකට දීලා -අභියාචනාධිකරණයට දීලා- ශ්‍රේෂ්ඨාධිකරණයට, එහෙම නැත්නම් අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයට අභියාචනයකට ඉඩ හරින එක. මා හිතන්නේ ඒක වඩා හොඳයි කියලායි. මේ පිළිබඳව ද නීතිඥ ප්‍රජාව සමඟ සාකච්ඡා කරලා අපේ අධිකරණ ව්‍යුහය වෙනස් කිරීමට අවශ්‍ය කාලය දැන් පැමිණ තිබෙනවා කියලායි මා හිතන්නේ.

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, මා වචන කීපයක් කථා කරන්න කැමැතියි, නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව. නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව නොයෙකුත් ප්‍රශ්න මතු වුණා. අපට පරණ විධියටම -ඒ විධියටම- නීතිපති දෙපාර්තමේන්තුව තියාගන්න ඕනෑද? ආණ්ඩුවක් වෙනස් වුණාම, අලුත් ආණ්ඩුවට අයිතියක් තිබෙන්න ඕනෑ තමන්ට ඕනෑ කෙනාගෙන් නීති උපදෙස් ගන්න. තමන්ට විශ්වාසය තිබෙන නීතිඥවරයා ළඟට නේ යන්නේ. අප පුද්ගලිකව නඩුවක් දැම්මාම, අපට විශ්වාසය නැති නීතිඥ‍යකු ළඟට යන්නේ නැහැ. එම නිසා අපි මෙය නැවත සලකා බලන්න ඕනෑ. ඉන්දියාවේ එහෙමයි වෙන්නේ. ඉන්දියාවේ ආණ්ඩුව වෙනස් කරන කොට නීතිපතිවරයා වෙනස් වෙනවා. නීතිපතිවරයාගේ කාර්යය වෙනස්. සෝලි සොරාබ්ජි නමැති සුප්‍රසිද්ධ නීතිඥවරයා – Senior Advocate – කොංග්‍රස් ආණ්ඩුව යටතේත් සිටියා; වී.පී.සිං යටතේත් සිටියා; චන්ද්‍රසේකර යටතේත් සිටියා; පසුව BJP එක යටතේත් සිටියා. නමුත් ආණ්ඩු වෙනස් වන විට නීතිපතිවරයා වෙනස් වෙන්න ඕනෑ. අපේ රටට වඩා වෙනස් කාර්යයක් තමයි එරට නීතිපතිවරයා ඉටු කරන්නේ. එම නිසා මම හිතනවා, අපි නැවත මේ පිළිබඳව සලකා බලන්න ඕනෑ කියා. අපරාධ නඩු සම්බන්ධයෙන් කථා කළොත්, ඒ සඳහා Director of Public Prosecutions කියලා වෙනම ආයතනයක් පිහිටුවා – අපට DPP කෙනෙක් සිටියා, 1970 ගණන්වල. ඒ ක්‍රමය සෑහෙන හොඳට සාර්ථක වුණා. නැවත අප ඒ පිළිබඳව සලකා බලන්න ඕනෑ. මා කියන්නේ ඒ පිළිබඳව නැවතත් සාකච්ඡාවක් අවශ්‍ය බවයි. අපරාධ නඩු ඉදිරිපත් කිරීම පිළිබඳ සම්පූර්ණ ස්වාධීනත්වයක් තිබෙන්න ඕනෑ. මම ඒක පිළිගන්නවා. එම නිසා එය වෙනම දෙපාර්තමේන්තුවක් හැටියට තියන්න ඕනෑ. ඉන්දියාවේ Attorney-General නොවෙයි අපරාධ නඩුවල කටයුතු අරගෙන යන්නේ. ඒවා කරන්න අපරාධ නඩු මෙහෙයවන වෙනම අංශ තිබෙනවා. අපේ රටෙත් මේ තත්ත්වය වෙනස් කරන්න අපි හිතලා බලන්න ඕනෑ.

මම අවසාන වශයෙන් මේ කාරණය කියන්න කැමැතියි. මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපි කනිෂ්ඨ නීතිඥවරු හැටියට ඉන්න කාලයේ රජයේ නීතිඥවරු නරක නඩුවක් තිබුණා නම් ඇද ගෙන ගියේ නැහැ; ඒවා නැවැත්වූවා; crash කෙරුවා. දැන් ඒ සම්ප්‍රදායයන් වෙනස් වී ගෙන යනවා. රජයේ නීතිඥවරුන්ගෙන් වැඩි දෙනා ඉතාමත් හොඳින් ඒ සම්ප්‍රදායන් රැගෙන යන අතර. විශේෂයෙන්ම සමහර අපරාධ නඩුවල සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ කෙරෙන මූලික අයිතිවාසිකම් රිට් ආඥා නඩුවලදී විධායකයට වඩා වැඩි විධායක මනසකින් කටයුතු කරන නීතිඥවරු ඉන්නවා. ඒ තත්ත්වය වෙනස් විය යුතුයි. කමලසබේසන් නැමති සුප්‍රසිද්ධ කවුරුත් ගරු කරන නීතිපතිවරයා ඔහුගේ කනිෂ්ඨ නීතිඥවරුන්ට හැම දාම උපදෙස් දුන්නා, නරක නඩුවක් fight කරන්න එපා කියලා. නමුත් කනගාටුයි කියන්න, හැම රජයේ නීතිඥවරයාම ඒ උපදේශය අනුගමනය කරන්නේ නැහැ. එම නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ මූලික අයිතිවාසිකම්, අභියාචනා රිට් ආඥා සහ එක්තරා දුරකට අපරාධ නඩුත් අනවශ්‍ය ලෙස ඇදී යනවා. ඒ නිසා මේ පිළිබඳවද අපි සාකච්ඡා කළ යුතුයි.

අධිකරණය සහ නීතිපති දෙපාර්තමේන්තුව පිළිබඳව බලවත් විවේචන පසු ගිය කාලයේ ඇති වුණා. එක යෝජනාවක් තිබුණා, නීතිපතිවරයා පාර්ලිමේන්තුවට ගෙනැල්ලා ප්‍රශ්න අහන්න ඕනෑ කියලා. ඊට විරුද්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ‍යෝජනාවක් සම්මත කෙරුවා. මම ඒක සම්පූර්ණයෙන් අනුමත කරනවා. ඒත් එක්කම ශ්‍රී ලංකා නීතිඥ සංගමය කිව්වා, මේ විවේචනය ගැන හිතා බලන්න කියලා. අධිකරණයට සහ නීතිපති දෙපාර්තමේන්තුවට කිව්වා, “මේ රටෙන් එන විවේචනය,මහ ජනතාව තුළින් එන විවේචනය ඔබලාගේ සැලකිල්ලට ගන්න” කියලා. මම විශේෂයෙන්ම මේ කාරණය සඳහන් කරන්න ඕනෑ. අධිකරණයට යුතුකමක් තිබෙනවා, නීතිපති දෙපාර්තමේන්තුවටත් යුතුකමක් තිබෙනවා, මේ රට පුරා නැ‍ඟෙන එක්තරා විධියක විරෝධතා හා අද අධිකරණය සහ නීතිපති දෙපාර්තමේන්තුව පත්ව තිබෙන තත්ත්වය පිළිබඳව රටේ ජනතාවගේ අදහස් සැලකිල්ලට භාජන කරලා මීට වඩා හොඳ තත්ත්වයකින් අධිකරණයත්, නීතිපති දෙපාර්තමේන්තුවත් රැගෙන යාමට. ඒක වුණේ නැත්නම් අපේ රටේ ජනතාව තුළ නීති අංශය කෙරෙහි, අධිකරණය කෙරෙහි තිබෙන විශ්වාසය කඩා වැටුණොත් මුළු රටම කඩා වැටෙන නිසා. ඒ නිසා ඒ පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතුයි කියා මා යෝජනා කරනවා. බොහොම ස්තුතියි.

(ගරු (ආචාර්ය) ජයම්පති වික්රමරත්න මහතා අයවැය විවාද කාරක සභා අවස්ථාවේ දී කළ කතාවකි)

Back to Top