Sri Lanka Brief
පුවත්විවරණමාධ්‍ය නිදහස සහ හිමිකරුවන්ගේ නිදහස (3) – සුනන්ද දේශප්‍රිය

මාධ්‍ය නිදහස සහ හිමිකරුවන්ගේ නිදහස (3) – සුනන්ද දේශප්‍රිය

by

2016 අයවැය සම්බන්ධයෙන් වෘත්තීය සමිති ව්‍යාපාරය විසින් දක්වන ලද විරෝධතාවයන් ආණ්ඩුවේ මහත් සැළකිල්ලට ලක් විය. අගමැති ඇතුලු මැති ඇමැතිවරු ගණනාවක්ම එම ප්‍රශ්ණ විසදීමට මැදිහත් වූ අන්දම අපි දුටුවෙමු. වෘත්තීය සමිති විසින් දියත් කරන ලද උද්ඝෝෂණයේ පදනම වූයේ වෘත්තීය අයිතිවාසිකම් ය.

මෙම මැදිහත් වීම සිදුවන අතරවාරයේ වැඩවර්ජන දිනයට දින කිහිපයකට පෙර අයවැය සම්බන්ධ ජනමාධ්‍ය වැය ශිර්ෂය පසුගිය 11දා සාකච්ජාවට ගැනුනි. එම පාර්ලිමේන්තු විවාදයේ දී ජනමාධ්‍ය සම්බන්ධයෙන් සෑම දේශපාලන පක්ෂයක්ම බැදී සිටි එක් තහනම් වචනයක් දක්නට ලැබුණි. එනම් ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ය. එහිදී කිසිදු පක්ෂයක නියෝජිතයකු මෙරට ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තීය අයිතීන් ගැන කතා කළේ නැත.

ඊට හේතුව නම් ජනමාධ්‍ය හිමියන්ගේ සිත් නරක් කොට ඔවුන්ගේ කලු පොතට ඇතුළත් වීමට මෙරට දේශපාලන පක්ෂ දක්වන බියයි. තම පක්ෂයට වඩා ප්‍රසිද්ධිය ලබා දෙන ජනමාධ්‍ය අයිතිකරුවන් ගැන මිස ඒවායේ සේවය කරන ජනමාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් ගැන උන්නදුවන දේශපාලන පක්ෂයක් මෙරට නැති බව එකී පාර්ලිමේන්තු විවාදයේ දී පෙනී ගියේ ය.

ජනමාධ්‍ය වේදීන්ට පරිඝණක, යතුරුපැදි, බස් අවසරපත් යනාදී වරදාන පිරිනමා ඔවුන්ද මෙරට පවතින දූෂණ සංස්කෘතියේ කොටස්කරුවන් කර ගන්නවා හැර ඔවුන්ගේ වෘත්තීය අයිතීන් සුරැකීමට ඉදිරිපත් වන දේශපාලන පක්ෂයක් අද මෙරට නැත.

සත්‍ය වාර්තා කිරීමට සහ ගවේශණය කිරීමට බාධා පැමිණෙන්නේ රජයෙන් පමණක් නොවේ.මාධ්‍ය හිමිකරුවන් ද යම් යම් තත්වයන් යටතේ මාධ්‍ය මර්ධනයේ සහ පාර්ශවීය වාර්තාකරණයේ කොටස්කරුවන් බවට පත් වෙති. රාජපක්ෂ මාධ්‍ය මර්දනය සාර්ථක වූයේ හිමිකරුවන්ගේ සහයෝගය ද නිසා ය.

සෑම ජනමාධ්‍ය හිමිකරුවකුටම මාර්ග සිතියමක් තිබේ. නිදසුනක් ලෙස සිංහල හෝ දෙමළ ජාතිකවාදය සිය දැක්ම කරගත් පුවත්පත්හි මෙන් සමහර විට එම මාර්ග සිතියම ඉතා පටුය. පුළුල් මාර්ග සිතියම් ඇති ජනමාධ්‍ය ආයතන කිහිපයක් ද මෙරට තිබේ. ඒවායේ සේවය කරන ජනමාධ්‍ය වේදීනට එම මාර්ග සිතියමෙන් පිට පැනීමට අවසර නැත.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය නිදහස යනුවෙන් අප බොහෝ විට අදහස් කරන්නේ ජනමාධ්‍ය හිමියන්ට සිය ව්‍යාපාර පවත්වා ගෙන යෑමට ඇති නිදහස ය. සත්‍ය වාර්තා කිරීමට සහ නිදහස් විවරණයන් ඉදිරිපත් කිරීමට ජනමාධ්‍යවේදීන්ට ඇති නිදහස පුද්ගලික ජනමාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහසට වඩා වෙනස් ය. සාමාන්‍යයෙන් අප එම නිදහස ගැන කතා කරන්නේ නැත.

රාජ්‍ය මාර්ධනයට එරෙහිව නැගී සිටීම නිසා ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් අන්තර් ජාතික ක්ෂේත්‍රෙයහි තැගි පිට තැගි දිනා තිබෙන යාපනයේ උදයන් පුවත් පත උදාහරණයකට ගනිමු. මෑත දී ඉහළ පෙළේ ඇමෙරිකානු රාජ්‍ය ∞නියෝජිතවරියක වූ සමන්තා පවර්ද එහි ගොස් වර්ණනා මුඛයෙන් කතා කළා ය. එය නිසි වර්ණනාවකි.

එනමුත් එහි සේවය කරන ජනමාධ්‍යවේදීන්ගේ ජිවන තත්වය සහ වෘත්තීය අයිතිවාසිකම් ගැන සමන්තා පවර් හෝ ප්‍රංශයේ ‘දේශසීමා නැති ජනමාධ්‍යෙව්දීයෝ’ ආයතනය හෝ උනන්දු වන්නේ නැත. ඔවුන්ට රැකියා අයිතීන් තිබේ ද, අනතුරු ජීවිත රක්ෂන ලබා දී ඇත් ද, නිසි වැටුපක් ලැබේ ද, වෘත්තීය සමිති අයිතින් තිබේ ද කියා විමසන්නේ නැත.

ජනමාධ්‍යවේදීන්ගේ නිදහස තහවුරු කැරෙන සාධක ගණනාවක්ම තිබේ. නිසි බඳවා ගැනීමේ පරිපාටි සහ එකී මාධ්‍ය ආයතනයේ ආචාර ධර්ම පද්දතිය, මතවාදී දැක්ම සහ මාර්ග සිතියම බඳවා ගැනීමේ දී දක්වා සිටීම, සේවය වෙනුවෙන් නිසි වැටුප්, හිමිකරු සහ කර්තෘ අතර ස්වාධීනත්වය සහ මේ සියල්ල සහතික කැරෙන ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තීය සංවිධාන යනු ඒවා ය.

මේ කිසිවක් ගැන ශ්‍රී ලංකාවේ දේශපාලන හෝ ජනමාධ්‍යමය හෝ සාකච්ජාවක් නැත.

අඩුම වැටුප් ලබන ඇඟළුම් සේවිකාවන්ගේ වැටුපවත් නොලබන පූර්ණ කාලීන ජනමාධ්‍ය වේදීහු සහ වේදිනියෝ සිය ගණන් මෙරට ‘කීර්තිමත්’ ජනමාධ්‍යන්හි සේවය කරති. මා දන්නා තරමින් කිසිදු ජනමාධ්‍ය ආයතනයක සේවා රක්ෂණ හෝ අනතුරුදායක වාර්තා කිරීම් උදෙසා රක්ෂන ආවරණ නැත.

මෙරට ප්‍රාදේශීය වාර්තාකරුවන් ගැන මෑතදී රංග කළන්සූරිය කියා තිබුණේ ඔවුන් සමහරෙක් වාර්තා ලිවීමෙන් නොව නොලියා සිටීමෙන් වඩා ආදායමක් ලබන බවයි. ඉන් අදහස් කැරෙන්නේ සිදුවීමක් වාර්තා නොකර සිටීමට මුදල් ලබා ගැනීම ය. තුන් දහස ඉකමවා සිටින මෙරට ප්‍රාදේශීය වාර්තාකරුවන් බහුතරය සේවය කරන්නේ ඉතා පහළ ගෙවීමකට ය.

අප ජනමාධ්‍ය නිදහස ගැන කතා කරන්නේ එය අනුළංගනීය මානව හිමිකමකි යන පදනම මත ය. ජනමාධ්‍ය ව්‍යාපාරය කරවළ වෙළදාමට වෙනස් වන්නේ එය මානව හිමිකමක් මත ගොඩ නැඟුනු මහජන සේවාවක් වන නිසා ය. ‘

පුද්ගලික අංශයේ ජනමාධ්‍ය ලාභ ලැබිය යුතු ය. එනමුත් ඒවා පැවැතිය යුත්තේ හුදෙක් ලාභය පදනම් කර ගෙන නොවන්නේ එනිසා ය.

ජනමාධ්‍ය සම්බන්ධයෙන් ස්වයං නියාමනයක් තිබිය යුතු බව අප පිළිගන්නා නමුත් ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය නියාමනයන් පවතින්නේ නමට පමණකි. එවැනි නියාමනයක් පවත්වා ගෙන යෑම සඳහා පිහිටුවා ඇති ශ්‍රී ලංකා ජනමාධ්‍ය පැමිණිළි ආයතනයට නිසි ස්වාධීනත්වය හෝ බලය ලබා දීමට හිමිකරුවන් කැමැති නැත. එය ‘ ස්වාධීන කොමිෂන් සභාවක්’ නොවේ .

වැඩකරන ජනතාවගේ උද්ඝෝෂන යනාදිය වාර්තා කරන ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජනමාධ්‍ය ආයතන කීයක් වෘත්තීය සමිති අයිතිය පිළිගෙන තිබේ ද? මාසිකව රුපියල් 15, 000 – 20,000 තරමේ වැටුපට වැඩකරන ජනමාධ්‍යවේදීන් කොපමණ කොළඹ සිටී ද?

ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ජනමාධ්‍යවේදීන් යනු මෙරට අන් සියළු වෘත්තිකයිනට හිමි වෘත්තීය සමිති අයිතිය අහිමි සේවක කණ්ඩායමකි. පුදුමයට කරුණ නම් අන් සෑම තැනකම වෘත්තීය සමිති පිහිටුවීමට උනන්දුවන සහ රාජ්‍ය මාධ්‍යන්හි සිය සමිති පිහිටුවා ඇති වාමාංශික පක්ෂ පවා මෙම ක්ෂේත්‍රයට අත නොතැබීම යි. ඊට හේතුව ජනමාධ්‍යවේදීන්ට වඩා හිමිකරුවන් ඔවුනට වැදගත් වීමය.

ශ්‍රී ලංකා වෘත්තීය පත්‍රකලාවේදීන්ගේ සංගමයට විරුද්ධව නැගී ඇති ප්‍රවණතාවය මීට හොඳ නිදසුනකි. මෙරට ජනමාධ්‍ය වේදීන්ගේ වෘත්තීය සමිතියක් නැති බැවින් පත්‍ර කලාවේදීන්ගේ සංගමය වෘත්තීය සමිතියක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය කළක පටන් තිබුණි. එහි මුල් අරමුණද එය විය.

එහි නව නායකත්වය එම අවශ්‍යතාවය සපුරමින් නීත්‍යානුකූල ලෙස එම සංගමය දැන් වෘත්තීය සමිතියක් බවට පත් කොට තිබේ. මෙම නව වර්ධනය අගැයීමට ලක්කරනු වෙනුවට දැන් සිය ගණනාවක් සාමාජිකයින් ඇතිව යම් යම් හිමිකරුවන්ගේ සහ කතුවරුන්ගේ සහාය ඇතිව එනමින්ම ඊට විරුද්ධව නව ජනමාධ්‍ය සංවිධානයක් ආරම්භ කර තිබේ. එය පිහිටුවා ඇත්තේ “ඔන්න වෘත්තීය සමිතියක් හදලා, ඒක පරාද කරන්න සහාය වෙන්න” යැයි පුද්ගලික අංශයේ හිමිකරුවන් සහ කතුවරුන් සමහරක් බිය ගැන්වීම මගිනි.

ජනමාධ්‍යවේදීයාගේ ආත්ම ගරුත්වය, ස්වාධීනත්වය, නිපුණතාවය සහ නිසි වැටුපකට හිමිකම යනාදිය තහවුරු නොවේ නම් එවැනි දේශයක ප්‍රජාතන්ත්‍රවාදී භූමිකාව රඟ පෑ හැකි ජනමාධ්‍ය සංස්කෘතියක් ඇති වන්නේ නැත. ජනවාරි විප්ලවය ඉදිරියට ගෙන යාමට නම් එවැනි සංස්කෘතියක් කරා මුල් පියවර තැබීම අත්‍යවශය වේ.

ජනවාරි විප්ලවයේ ප්‍රථම සංවත්සරය අත ලඟ එන ලබන සතියෙහි ඒ ගැන කතා කරමු.

 

 

 

Back to Top