Sri Lanka Brief
පුවත්මාධ්‍ය නිදහස: මෙතැනින් කොතැනට ද? – සුනන්ද දේශප්‍රිය

මාධ්‍ය නිදහස: මෙතැනින් කොතැනට ද? – සුනන්ද දේශප්‍රිය

by

ජනවාරි විප්ලවයේ මුඛ්‍ය අරමුණක් වන යහ පාලනය ජනමාධ්‍ය ක්ෂෙත්‍ර යෙහි පිහිටවනු පිනිස අවශ්‍ය ජනමාධ්‍ය නිදහස පමණක් ප්‍රමාණවත් නැත. ජනමාධ්‍ය සංස්කෘතිය ප්‍රජාතන්ත්‍රීයකරණය ද ඒ සඳහා අත්‍යවශය වේ.

මේ අදහස දෙස බලන්න:

‘මෙරට මාධ්‍ය නිදහස ඇති කිරීමට නම් කරුණු දෙකක් සම්පූර්ණ විය යුතු ය.

අ). රාජ්‍යට අයත් ජනමාධ්‍යයන්හි අගතිගාමී නොවන වාර්තාකරණය

ආ). පුද්ගලික හිමිකාරකම ඇති ජනමාධ්‍ය මාධ්‍ය මූලධර්ම අනුගමනය කිරීම

අද රාජ්‍ය ජනමාධ්‍ය මෙන්ම අනෙක් විශාල ජනමාධ්‍ය ආයතනයන් ද මාධ්‍ය නිදහසට තර්ජනයක් බවට පත්ව තිබේ.

ඒ සඳහා ස්වාධීන මාධ්‍ය කොමිසමක් පිහිටුවිය යුතු ය.

පසුගිය දශකය පුරා මර්දනයට ලක්ව තිබූ මෙරට සිවිල් සමාජය ශක්තිමත් කිරීමට රජය පියවර ගත යුතු ය.’

එම ඉතා වටිනා වචන අයත්වන්නේ වෙන කවරකුටවත් නොව අගමැති රනිල් වික්‍රමසිංහට ය. ඔහු එසේ කියා සිටියේ පසුගිය 11දා සුජාතා ජයවර්ධන අනුස්මරණ දේශණය පවත්වමිනි. එම දේශනයේ මැය වුයේ ‘ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීම’ යනු ය.

(කණගාටුවකට මෙන් එම දේශණයේ සම්පූර්ණ පිටපතක් සොයා ගැනීමට නැත. එම දේශණයේ පිටපතක් ඉල්ලා අගමැතිවරයාගේ කාර්යාලයට යවන ලද විද්‍යුත් ලිපිය ලැබුණ බව දන්වා හෝ ලිපියක් නොලැබුනි.)

මෙම කරුණු දෙක ඌණපූරණය කරන තවත් තීරණාත්මක සාධක දෙකක් වෙයි. ඒවා නම් මාධ්‍ය නීති ප්‍රතිසංස්කරණය සහ ජනමාධ්‍යවේදී ගුණය ඉහළ නැංවීමයි.

රජයේ ජනමාධ්‍ය සහ පුද්ගලික අංශයේ විශාල ජනමාධ්‍ය මාධ්‍ය නිදහසට තර්ජනයක් වී ඇතැයි යන අගමැතිවරයාගේ ප්‍රකාශය විපක්ෂයේ ගත කළ කාලයෙහි ඔහු ලද අත්දැකීම් මත පදනම් වී ඇති බවට සැක නැත. විපක්ෂ නායක වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාකළ කාලයෙහි දේශපාලන වශයෙන් ඔහු විනාශ කිරීම අරමුණු කරගත් ජනමාධ්‍ය ආයතන තිබූ බව නොදන්නේ කව්ද?

මෙරට මාධ්‍ය නිදහස ඇති කිරීමට අවශ්‍ය බවට අගමැතිවරයා විසින් දක්වා ඇති කරුණු දෙක හෝ සම්පූර්ණ කිරීමට ඔහුගේ ආණ්ඩුව සමත් වනු ඇති නම් මෙරට ජනමාධ්‍ය සංස්කෘතියෙහි සුසමාදර්ශී වෙනසක් ඇති කිරීමට ඒ විසින් සමත් වනු නොඅනුමානය.

රාජ්‍ය හිමිකාරකමට යටත් ජනමාධ්‍ය සහ පුද්ගලික හිමිකාරකම සහිත ජනමාධ්‍ය කාණ්ඩ දෙක සම්බන්ධයෙන් අගමැතිවරයා අදහස් දෙකක් ඉදිරිපත් කරයි. පුද්ගලික ජනමාධ්‍ය සම්බන්ධයෙන් ඒවා මාධ්‍ය මූලධර්ම අනුගමනය කළ යුතු යැයි කියා සිටින අගමැතිවරයා රාජ්‍ය ජනමාධ්‍ය සම්බන්ධයෙන් එම නිර්දේශය පමණක් ප්‍රමාණවත් නොවන බව අදහස් කරයි. රාජ්‍ය හිමිකාරකම යටතේ ඇති මාධ්‍ය අගතිගාමී නොවන වාර්තාකරණයක් කරා ගෙන යා යුතු යැයි ඔහු කියන්නේ මූලධර්මයන්ට බැදී සිටීමට නම් ඒවාට වඩා නිදහස අවශ්‍ය යැයි යන අර්ථයෙන් යැයි උපකල්පනය කළ හැකි ය.

අගමැතිවරයා කියා සිටින ජනමාධ්‍ය මූලධර්ම යන්න පුළුල් ලෙස අර්ථ දැක්විය හැකි කරුණකි. එහි පදනම වනු ඇත්තේ ජනමාධ්‍ය අචාර ධර්ම ය. කර්තෘ නිදහස ද ඊට අයත් විය හැකි ය. කර්තෘ මණ්ඩළ විවිධත්වය තවත් අවශ්‍ය සාධකයකි. වෙළද දැන්වීම් පිළිබද ප්‍රමිතීන් ද ඊට අයත් විය යුතු ය.

වඩාත් වැදගත් වනුයේ අගමැතිවරයා විසින් ජනමාධ්‍ය නියාමන කොමිසමක අවශ්‍යතාවය අවධාරණය කිරීමයි. පොදු වශයෙන් ගත් කළ මෙරට ජනමාධ්‍ය ආචාර ධර්ම සම්බන්ධයෙන් තැකීමක් නොකරයි. දේශපාලනඥයින් අතහරින බේගල් මෙන්ම අතේ රෝල් පුවත් මෙරට ජනමාධ්‍යයන්හි නිත්‍ය ලක්ෂණයකි. මෙරට සමහර ප්‍රධාන පෙළේ ජනමාධ්‍ය කාර්‍යාලයන්හි දක්නට ඇත්තේ වෘත්තීය ජනමාධ්‍ය සංස්කෘතියක් නොව අගතිගාමී දේශපාලන කණ්ඩායමක ලක්ෂණය. එපමණක් නොව සමාජයේ බල රහිත ජන කණ්ඩායම් සම්බන්ධයෙන් ද පොදු වශයෙන් ජනමාධ්‍ය දක්වන්නේ ගරුසරු නැති පිළිවෙතකි.

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදී නියැදියක් අතරින් මූලික ජනමාධ්‍ය ආචාර ධර්ම මොනවාදැයි විමසුවහොත් ඊට නිසි පිළිතුර දීමට සමත්වනු ඇත්තේ අතලොස්සක් පමණක් බව නිසැක ය. සිය ආචාර ධර්ම පිළිබඳ නිත්‍ය කතිකාවක යෙදෙන කවර හෝ ජනමාධ්‍ය ආයතනයක් ගැන මා අසා නැත. නිවැරදි කිරීම් පළ කිරීම සම්බන්ධයෙන් මෙර මාධ්‍ය මන්දෝත්සාහී ය.

එබැවින් කෙටි කාලීනව ජනමාධ්‍ය සිය ආචාර ධර්ම පිළිපදින බව සහතික කිරීමේ ප්‍රධාන පියවර වනු ඇත්තේ (බාහිර ක්‍රියා මාර්ගයක් වන) ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය යටතේ පවත්නා ජනමාධ්‍ය පැමිණිළි කොමිසම පුළුල් සහ ශක්තිමත් කොට බල ගැන්වීම ය. ඒ වනාහී අගමැතිවරයා ඉදිරිපත් කොට ඇති එක් කරුණකි.

අගමැතිවරයා ඉදිරිපත් කරන අනෙක් කාරණය වන රාජ්‍ය ජනමාධ්‍ය අගතිගාමිත්වයෙන් මුදවා ගැනීම සඳහා අත්‍යවශය කොන්දේසිය නම් ඒවා දේශපාලන බලපෑමෙන් මුදවා ගැනීමය.

රාජ්‍ය මාධ්‍ය මහජන සේවා ජනමාධ්‍ය බවට පරිවර්ථනය කිරීම සම්බන්ධයෙන් මෙරට මාධ්‍ය සංවිධාන ඇතුළු සිවිල් සමාජීය සංවිධාන විසින් පුළුල් විමර්ශණයන් සහ සාකච්ජා මගින් සකස් කරන ලද වාර්තා ගණනාවක්ම තිබේ. ලේක්හවුසිය පොදු අයිතියට පැවැරීම සම්බන්ධයෙන් 1995 සිදත් සී. නන්දලෝචන වාර්තාව තිබේ. නමුත් මා දන්නා තරමින් දක්ෂිනාංශික දේශපාලනඥයකු වන රනිල් වික්‍රමසිංහ මහතා මහජන සේවා ජනමාධ්‍ය සම්ප්‍රදායට එතරම් කැමැත්තක් නොදක්වයි. 2002 – 2004 අතරතුර අගමැති වශයෙන් ඔහු විශ්වාස කළේ වෙළද පොළ බලවේග මගින් සමාන තරඟ භූමියක් ජනමාධ්‍ය සඳහා ද ඇති කළ යුතු බවය.

එම තත්වය යටතේ රාජ්‍ය ජනමාධ්‍ය ප්‍රජාතන්ත්‍රීයකරණය පිළිබඳ සාකච්ජාව පුළුල් දේශපාලන කථිකාවක් බවට පත් කිරීම මගින් ඊට සාධනීය විසඳුම් ලබා ගැනීම ජනවාරි විප්ලවය ඉදිරියට ගෙන යෑමෙහි ලා ප්‍රජාතන්ත්‍රවාදී සිවිල් සමාජය මත පැවරෙන වගකීමක් බවට පත් වේ.

ජනමාධ්‍ය නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ආර්ටිකල් 19 නම් අන්තර් ජාතික සංවිධානය විසින් ඉදිරිපත් කරනලද වාර්තාව මෙන්ම 1995 ආර්.කේ.ඩබ්. ගුණසේකර වාර්තාවද තිබේ. ඒවා ඉතා පෘතූල මෙන්ම පුළුල් පිළිගැනීමකට ද ලක් වී තිබේ. කර්තෘ සංසදය, හිමිකරු සංගමය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සාමූහිකව ප්‍රසිද්ධ කරන ලද 1998 මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශණය එකී සියළු වාර්තාවන් ඇසුරින් සකස් වූ එකකි. නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවළිය තුල ජනමාධ්‍ය නිදහස පිළිබඳ අන්තර් ජාතික ප්‍රමිතීන් අඩංගු කර ගැනීම දුෂ්කර විය නොහැක. එනමුත් ඒ සම්බන්ධ සුවිශේෂ අවධානය පවත්වා ගැනීම ද අපේ වගකීමක් බවට පත් වෙයි.

ජනමාධ්‍ය නීති ප්‍රතිසංස්කරණ හැරුණ විට රටක මාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීම පිණිස අදාළ අනෙක් අත්‍යවශ්‍ය කොන්දේසිය නම් ජනමාධ්‍යවේදී ගුණය ඉහළ නැංවීම ය. ඒ පිණිස ජනමාධ්‍යවේදී පුහුණුව සහ ජනමාධ්‍යවේදී අයිතිවාසිකම් තහවුරු කිරීම අවශය ය. ‍‍ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය සමාජය තුළ දක්නට ඇති දුර්වලම සාධකයක් නම් ජනමාධ්‍ය කලාවක් ලෙස ප්‍රගුණ කිරීමට ඇති මැළිකමයි.

අඩුපාඩු තිබියදීත් ජනවාරි විප්ලවයේ ප්‍රථම සංවත්සරය අත ‍ළඟ ඇති මේ අවස්ථාවෙහි ජනමාධ්‍ය ප්‍රජාතන්ත්‍රීයකරණය සඳහා සාධනීය සාධක අප හමුවෙහි තිබේ. නව ව්‍යවස්ථාවක් පිළිබද සාකච්ජාව ද උපයෝගී කර ගනිමින් යුග වෙනසට මඟ පාදන ජනමාධ්‍ය සංස්කෘතියක් සඳහා පෙරට යෑම අද අත්‍යවශය වේ.

 

 

 

 

 

 

 

 

 

.

 

Back to Top