Sri Lanka Brief
පුවත්ප්‍රවාහණය සහ මගී අයිතිය – ජයම්පතී වික්‍රමරත්න

ප්‍රවාහණය සහ මගී අයිතිය – ජයම්පතී වික්‍රමරත්න

by

මූලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි, ප්‍රවාහනය මා සලකන්නේ ඉතා වැදගත් සමාජ යටිතල පහසුකමක් ලෙසයි. මෙම රජය සමාජ සාධාරණත්වය සඳහා කැප වී සිටින බව කීප වරක්ම සඳහන් කර තිබෙනවා. පාරවල් හැදීම භෞතික යටිතල පහසුකමක් වුණාට, ප්‍රවාහනය සැලකිය යුත්තේ සමාජ යටිතල පහසුකමක් ලෙසයි. ඒ අනුව විශේෂයෙන්ම අධ්‍යාපනය සහ සෞඛ්‍යයට විශාල මුදලක් වෙන් කරනවා වාගේම, මගී ප්‍රවාහනයටද සැලකිය යුතු මුදලක් වෙන් කිරීම ඉතාම අවශ්‍ය වෙනවා. ඒ කාරණය ඉටු කිරීම අත්‍යවශ්‍යයි.

මගීන් අද වැඩි පැය ගණනක් වාහනවල -රෝද උඩ- ගත කරන්නේ. වැඩ කරන්න එන කම්කරුවන්, සේවකයන් දීර්ඝ කාලයක් මේ වාහනවල ගත කරමින් සිටිනවා. එය ඔවුන්ගේ සියලුම වැඩවලට මෙන්ම කාර්යක්ෂමතාවටත් බලපානවා. මීට අවුරුදු කීපයකට කලින් ගිය වෙලාවට සාපේක්ෂව බලන කොට අද හෝමාගම සිට කොළඹට එන්න පැය ගණනක් යනවා. රැකියාවට ඒමට පමණක් නොවෙයි, වෙනත් සමාජ සම්බන්ධතා පවත්වා ගැනීමටත් ප්‍රවාහනය අවශ්‍යයි. සංස්කෘතික අවශ්‍යතා ඉටු කරගැනීමටත් ප්‍රවාහනය අවශ්‍යයි. සවස හයෙන් පසුව තිබෙන ප්‍රවාහන අපහසුතා හේතු කොට ගෙන ජනතාවගේ සංස්කෘතික අවශ්‍යතා -චිත්‍රපට, නාට්‍ය බලන්න යාම- පවා සීමා වෙනවා.

මේ බරපතළ වාහන තදබදය – traffic එක – ගැන අප අද හරියට කථා කරනවා. වාහන තදබදය අඩු කිරීමට නම් ප්‍රධාන වශයෙන්ම කළ යුතු වන්නේ කාර් වැනි පෞද්ගලික වාහන භාවිතය අඩු කිරීමයි. සතියේ දිනවල මෙම පෞද්ගලික වාහන වැඩියෙන් පාවිච්චි කරන්නේ මධ්‍යම පන්තියේ සහ ඉහළ මධ්‍යම පන්තියේ කොටස්. ඒ අය කාර්වලින් තමයි යන්නේ. මොකද, ටයි දමාගෙන හොඳට ඇඳ පැළඳ ගත්තාට පසුව දහඩිය දමාගෙන බස්වල යන්න ඔවුන් කැමැති නැහැ. ඒ වාගේම laptops අරගෙන යන කොටත් මහජන ප්‍රවාහන පහසුකම් පාවිච්චි කරන්න ඔවුන් කැමැති නැහැ. මොකද ඒවායේ තිබෙන අපහසුකම් නිසා. ඒ නිසා මේ මධ්‍යම පන්තිය මහජන ප්‍රවාහන සේවාවලට ආකර්ෂණය කර ගැනීම අද අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තිබෙනවා. එහෙම නැති වුණොත් අපට කවදාවත් මේ ප්‍රශ්නය විසඳන්න හම්බ වන්නේ නැහැ. එම නිසා අර්ධ සුඛෝපභෝගී බස් වැනි ඒවාට රජයෙන් මීට වඩා විශාල මුදලක් ආයෝජනය කළ යුතුයි. වායු සමීකරණය -AC- කළ වාහන මගී ප්‍රවාහනයට යෙදීම මධ්‍යම පන්තියේ පිරිස් මහජන ප්‍රවාහනයට ආකර්ෂණය කර ගැනීමට තිබෙන එක ක්‍රමයක්.

පෞද්ගලික අංශයට මේ තරම් ප්‍රවාහනයට ඉඩදීලා තිබුණත්, විශේෂයෙන්ම යාපනය සහ දක්ෂිණ අධිවේගී මාර්ගය හැරෙන්නට අනිකුත් පාරවල හොඳ බස් සේවයක් ඇති කිරීමට ඔවුන් අසමත් වෙලා තිබෙනවා. එය ඉතාම කනගාටුදායක කාරණයක්. එම නිසාම තමයි රාජ්‍ය සේවා කෙරෙහි අපට රඳා පවතින්න සිද්ධ වෙලා තිබෙන්නේ. රජය මේ වගකීම භාර ගත යුතුයි. පහසුවෙන්, ලාභයට යෑමට මහ ජනතාවට තිබෙන අයිතිවාසිකම ඉටු කිරීම රජයේ වගකීමක්. මේක මධ්‍යම රජයෙන් විතරක් කළ යුතුයි කියා, මා කියන්නේ නැහැ.

මහනගර සභා, පළාත් සභා වැනි ආයතනවලටත් පොදු ප්‍රවාහනය භාර දිය යුතුයි. පළාත් සභා පිළිබඳව දහතුන්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ, 8වන ව්‍යවස්ථාවේ තිබුණත්, පළාත්වල මගී ප්‍රවාහනය පළාත් සභාවලට භාර දීලා තිබුණත්, අවාසනාවකට, 1991 ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ -National Transport Commission Act- 18වන වගන්තියෙන් ඒක තහනම් කර තිබෙනවා.‍ බොහෝදෙනා ඒ බව දන්නේ නැහැ. පළාත් සභාවලට, නගර සභාවලට සහ වෙනත් පළාත් පාලන ආයතනවලට සිය බස් සේවා පැවැත්වීම තහනම් කර තිබෙනවා. මේක විහිළුවක්. මොකද, බොහෝ රටවල, දියුණු වෙමින් පවතින රටවල පවා නගර සභා, පළාත් පාලන ආයතන බස් සේවා පවත්වාගෙන යනවා. මේ සේවය සපයන්න රජයටත් බැරි නම්, පෞද්ගලික අංශයටත් බැරි නම්, අඩුම ගණනේ පළාත් සභාව සහ මහානගර සභා ඒ සඳහා උනන්දු කළ යුතුයි. ඒ සඳහා ආයෝජනය කළ යුතුයි; උදවු කළ යුතුයි. ඒ නිසා විශේෂයෙන්ම මේ තහනම ඉවත් කිරීමට සංශෝධනයක් ගෙනෙන්නට කියලා මම තරයේ යෝජනා කරනවා.

ඊළඟට, පෞද්ගලික බස් පිළිබඳව ගනිමු. පෞද්ගලික බස් ප්‍රවාහනයට ඉඩ දුන්නාට අද ඒ පිළිබඳ නියාමනයක් වෙන්නේ නැහැ. ඒ පිළිබඳ කිසිම නියාමනයක් නැහැ; කිසිම regulation එකක් නැහැ. අද මධ්‍යම ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා, පළාත් සභා අපොහොසත් වෙලා තිබෙනවා පෞද්ගලික බස් රථ ගමනාගමනය ප්‍රමාණවත් ලෙස නියාමනය -regulate- කරන්න. කාල සටහන්වලට අනුව බස් ධාවනය වෙන්නේ නැහැ. මට පෙර කථා කළ මන්ත්‍රීවරු කීප දෙනෙක් සඳහන් කළා වාගේ, බස් දීර්ඝ වෙලාවක් තැන් තැන්වල නවත්වාගෙන ඉන්නවා. මගීන් ඒ ගැන පැමිණිලි කරනවා. නමුත් සමහර තැන්වල මිනිත්තු 10, 15 නවත්වාගෙන ඉන්නවා, මගීන්ගෙන් බස් එක පිරෙනකම්. ඒ වාගේමයි, CTB එක්ක තිබෙන තරගය. ඒ නිසා මගීන් දැඩි අපහසුතාවට පත් වනවා. මේ නිසා මේ කටයුතු සඳහා රජය මැදිහත් විය යුතුයි. රජය ඒ කටයුතු නියාමනය කළ යුතුයි. Regulate කරන්නේ නැතුව මේ කටයුතු කරන්න බැහැ. දියුණු රටවල පවා පෞද්ගලික බස් සේවා සියල්ලම නියාමනය කරනවා. නමුත් අපේ රටේ අද ඒ පිළිබඳ කිසිම නියාමනයක් සිදු වෙන්නේ නැහැ. ඒක කියන්න කනගාටුයි.

මා දීර්ඝ වශයෙන් උදාහරණ ගන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම එක උදාහරණයක් පමණක් ගන්නට කැමැතියි, කැලණිවැලි දුම්රිය සහ හයිලෙවල් පාර පිළිබඳව. දුම්රිය දෙපාර්තමේන්තුවේ website එකට අනුව අවිස්සාවේල්ලේ සිට කොටුවට දිනකට දුම්රිය 4ක් ධාවනය කෙරෙනවා. උදේ‍‍ට 3ක්, හවසට 1ක් වශයෙන්. අනෙක් පැත්තට, ඒ කියන්නේ කොටුවේ සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය 5ක් ධාවනය කෙරෙනවා. උදේට 3ක්, හවසට 2ක් වශයෙන්. ‍අවිස්සාවේල්ලේ සිට කොටුවට ඇති කිලෝමීටර් 61 යන්නට පැය දෙකහමාරක් යනවා. ඒ කියන්නේ, පැයට කිලෝ මීටර් 24ක වේගයකින් තමයි දුම්රිය ගමන් කරන්නේ. ඉතින් එහෙම ප්‍රමාදවන කොට මගීන් දුම්රියේ යයිද? එහෙම යන්නේ නැහැ. අපි නවීකරණය ගැන කථා කරනවා. අලුතෙන් tracks හදන එක ගැන කථා කරනවා. අලුතෙන් engines ගැනීම ගැන කථා කරනවා. නමුත්, අවිස්සාවේල්ලේ ඉඳලා කොටුවට යන්න පැය දෙහහමාරක් ගත වනවා නම්, මොන මගියාද ඒ ගමන සඳහා දුම්රිය තෝරා ගන්නේ?

හයිලෙවල් පාර අද බස්වලින් පිරිලා. බස්වලින් සන්තෘප්ත -saturate- වෙලා. එම නිසා පාරවල් වෙනස් කරලා, bus lanes හදන තෙක් බස් ප්‍රවාහනය දියුණු කළ හැක්කේ සීමා සහිතවයි. මම හිතන හැටියට ඉතාම වැදගත් bus lanes වෙන් කරන එක. අපට බස් bus lanes වෙන් කරන්නට බැරි නම්, අඩු ගණනේ ඒ සඳහා වෙන විකල්පයක් තිබිය යුතුයි. ගාලු පාරේ bus lane එකක් වෙනම දැම්මා. සතියයි, දෙකයි ඒක ක්‍රියාත්මක වුණේ. මොකද, පොලීසියට ඒ bus lanes නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ. ඒ නිසා මම යෝජනා කරනවා, ජකර්තා නගරයේ වාගේ කොන්ක්‍රීට් තීරුවක් දාලා bus lane එක වෙන් කරන්න කියලා. ජකර්තා නගරයේ එහෙම වෙන් කරපු bus lanes තිබෙනවා. වෙන කිසිම වාහනයකට ඒ තීරුවේ යන්න බැහැ. මම පිළිගන්නවා, හැම පාරක්ම ප්‍රමාණවත් ලෙස පළල් නැති නිසා bus lanes දාන්න බැහැ කියලා. නමුත්, bus lanes දාන්න පුළුවන් පාරවල් තිබෙනවා. ගාලු පාර, ඩුප්ලිකේෂන් පාර වැනි පාරවල් තෝරාගෙන, ඒවාට වෙනම bus lanes දාලා, ඒ බස්වලට නිදහසේ යන්නට ඉඩ ඇති කළොත් මිස, නගරය තුළ බස් සේවාවේ දියුණුවක් අපට බලාපොරොත්තු වන්නට බැහැ. මේ කටයුත්ත ප්‍රවාහන අමාත්‍යාංශය පමණක් ‍නොවෙයි, මහාමාර්ග අමාත්‍යාංශයත් සම්බන්ධ වී කළ යුතු දෙයක්. මේ පිළිබඳව අවධානය යොමු කරන ලෙස මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා.

ගරු අශෝක් අබේසිංහ මහතා

(மாண்புமிகு அசோக் அபேசிங்க)

(The Hon. Ashok Abeysinghe)

අපි ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට සාකච්ඡා කරගෙන යනවා.

ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා

(மாண்புமிகு (கலாநிதி) ஜயம்பதி விக்ரமரத்ன)

(The Hon. (DR) Jayampathy Wickramaratne)

බොහොම ස්තුතියි.

ගරු අශෝක් අබේසිංහ මහතා

(மாண்புமிகு அசோக் அபேசிங்க)

(The Hon. Ashok Abeysinghe)

කැලණිවැලි දුම්රිය මාර්ගය දෙපස අනවසරයෙන් පදිංචි වූ පවුල් 1,600ක් පමණ ඉන්නවා. දුම්රිය රියදුරු මහත්මයෙක් මට කිව්වා, signal එක දිහා බලන්නේ ගෙදරක ජනේලයක් ඇතුළෙන් කියලා. එවැනි විශාල ප්‍රශ්න තිබෙනවා. ඒ සඳහා මූලික වැඩ කටයුතු කරන්න අපි මෙවර අය වැයෙන් රුපියල් කෝටි 150ක් වෙන් කර තිබෙනවා.

ගරු (ආචාර්ය) ජයම්පති වික්‍රමරත්න මහතා

(மாண்புமிகு (கலாநிதி) ஜயம்பதி விக்ரமரத்ன)

(The Hon. (DR) Jayampathy Wickramaratne)

බොහොම ස්තුතියි. ඒ පිළිතුර දීම සම්බන්ධයෙන් මම සතුටු වනවා. මේ කටයුතු දියුණු කිරීමට අපට යන්න තිබෙන්නේ ඒ මාර්ගයේ තමයි කියලා මම හිතනවා. මම අවසාන වශයෙන් අවධාරණය කරන්නේ, මහජන ප්‍රවාහනය සමාජ යටිතල පහසුකමක් ලෙස සැලකිය යුතුයි කියන කාරණය. ඒ පිළිබඳ වගකීම රජය භාරගත යුතුයි. අධ්‍යාපනය ගැන වගකීම රජය බාර ගන්නවා වාගේම, සෞඛ්‍ය ගැන වගකීම රජය බාර ගන්නවා වාගේම මේ පිළිබඳ වගකීමත් රජය බාර ගත යුතුයි. එහෙම නැත්නම් මේ ප්‍රශ්නය කවදාවත් විසඳන්න බැහැ. බොහොම ස්තුතියි.

ගරු (ආචාර්ය) ජයම්පති වික්රමරත්න මහතා අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවකදී කළ කතාවකි.

 

 

Back to Top