Sri Lanka Brief
පුවත්විවරණමහවිරු දින සංදර්ශන: විවෘත මනසකින් පවසන්නෙමි, සමාවන්න… – නඩරාජා ගුරුබරන්

මහවිරු දින සංදර්ශන: විවෘත මනසකින් පවසන්නෙමි, සමාවන්න… – නඩරාජා ගුරුබරන්

by

සමාජ වෙබ් අඩවි හා ජනමාධ්‍යවල මහවිරු දිනය ( මාවිරු දිනිය නොහොත් එල්ටීටීඊ සටන්කරුවන් සැමැරීම – ශ්‍රීලංකා බ්‍රීෆ්) ගැනවු වාද විවාදකම් ප්‍රධාන තැනකට පැමිණ ඇත. පසුගිය වසර 8ක කාලයක් මෙම මහවිරු දින සතියේදී මානසික පීඩාවට හා දොස් විවේචනවලින් මානසික බලපෑම්වලට ලක්වූ අය අතර මා ද සිටින්නෙමි..

ජාතික නිදහස වෙනුවෙන් කැප වී තම ජීවිතය තම ජාතිය වෙනුවෙන් පරිත්‍යාග කළ සියළු සටන්කරුවන්ව හා ජනතාව සිහිපත් කළ යුතුයි. එහිදී මා හට වෙනත් කිසිදු අදහස් නැත.. ඔවුන්ට මසිතෙහි කිසි දිනෙක විනාශ කළ නොහැකි තැනක් තිබේ.

කෙසේ නමුත්, නිදහස වෙනුවෙන් ජීවිතය පූජා කළ අයව ස්වකිය පැවැත්ම සහ කීර්ති නාමය සඳහා ව්‍යාපාරයක් බවට පත්කිරීම, විනෝදාංශයක් ලෙස, ජීවනෝපාය මාර්ගයක් ලෙස භාවිතා කිරීම ප්‍රශ්ණ හා ගැටළු මතුකරයි.
පසුගිය වසර 8ක් තිස්සේ මහවිරු දිනයේ අවසන් දින දෙක 26, 27 වැනි දිනවල අපගේ එෆ්.එම්. නාළිකාවෙන් සෘජු වැඩසටහන් හැර සාමකාමි ලෙස සිනමා ගීතවලින් තොරව වැඩසටහන් පවත්වාගෙන යන්නෙමු… මෙම ප්‍රතිපත්තිමය ක්‍රියාවලිය නිසා අපි මුහුණ දුන්, මුහුණ දෙන බලපෑම් කිව නිම කළ නොහැක.

ශ්‍රාවකයන් බොහෝ දෙනෙකු අපෙන් ඉවත්වුණි.. බොහෝ දෙනෙකුගේ දැන්වීම්, වාර්ෂික පරිත්‍යාග දායකත්වය අහිමිව තිබේ.. කෙසේ නමුත් අප අපගේ ජනමාධ්‍ය ප්‍රතිපත්තිමය ක්‍රියා කටයුතු කිසිවක් අත්හැරියේ නැහැ.
මහවිරු සතියේදී ඔබලාගේ එෆ්.එම්. නාලිකාවෙන් විශේෂ වැඩසටහන් ඉදිරිපත් කරන්න, අපි අනුග්‍රහය ලබා දෙන්නම් යැයි මෙවර ද බොහෝ දෙනෙකු ඉල්ලා සිටියෝය. එයට අප එකඟවුයේ නැත. එමෙන්ම එනිසා මෙවර ද බොහෝ දෙනෙකුගේ බැනුම්වලට වෛරයට ලක්වී සිටින්නෙමු.

අපට අපගේ හෘද සාක්‍ෂිය විකුණා ජීවත්වීමට නොහැකිය. නිදහස වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ පිරිස සිහිපත් කරන බව පවසා, දැන්වීම් පළකර, විශේෂ වැඩසටහන් පවත්වා, සෙල්ෆි ගසා, ඔවුන්ගේ පරිත්‍යාගය මත ජනමාධ්‍ය වෙළඳාම සිදු කිරීමට සිත ඉඩ දුන්නේ නැත. මෙවරත් දැනුමට අදාල වැඩසටහන්, ගුණාත්මක ගීත විකාශනය කර 26,27 යන එම දිනයන් පසු කළෙමු.

නමුත් රටතුල පැවැත්වූ මහවිරු දින වැඩසටහන් ගැන එෆ්. එම්. නාළිකාවේ හා වෙබ් අඩවියේ ප්‍රවෘති ලෙස හැකි තරම් පළකළෙමු. හේතුව එහි සිදුකරන මහවිරුවන් සිහිපත් කිරීමේ වැඩසටහන් ව්‍යාපාරික කටයුත්තක් ලෙස මම සිතන්නේ නැත.. බුද්ධි අංශයේ නිරීක්‍ෂණය යටතේ තම ජීවිතය ගැන නොසිතා තම හැගීම වේදනාව රට තුල සැමැරීම් කරන පිරිස පෙන්වා සිටියි. දෙමළ දේශපාලන පක්‍ෂවල නායකයන්ගේ පහන් දැල්වීමේ වැඩසටහන්වලට දේශපාලන පැවැත්මක් යැයි යමිකිසි කෙනෙකු විවෙචනය කළත්, ඒ සඳහා ඔවුන් ජනතාවගෙන් මුදල් අයකර, උත්සව ආකර්ශව මහවිරුවන්ව සිහිපත් කළේ නැත.

මෙම අවස්ථාවේදී මගේ ජීවිතයේ 2012 වසරේ මට ලැබුණු අමතක නොවන අත්දැකීමක් ගැන ඔබ සමඟ බෙදා ගත යුතුයි. මා දන්නා පුද්ගලයකු, මෙම විදෙස්හි මහවිරු දින වැඩසටහන් පවත්වන අයගේ සහකාර කණ්ඩායමේ සිටියේය.
දිනක් මිතුරකු ලෙස කථා බහ කරමින් සිටියදී මම මෙසේ ඇසුවෙමි.‍ ‘මෙම මහවිරු දින උත්සවයට විශාල ශාලාවන් අරගෙන, මෙතරම් මුදලක් වියදම් කරමින් පැවැත්වීමට මුදල් ලැබෙන්නේ කොහෙන්ද?’

ඔහු පැවැසුවා, “මාවිරු දින වෙනුවෙන් දෙමළ ආයතන, ජනතාවගෙන් එක්රැස් කරන ආධාර මුදල්, ශාලාවේ අලෙවි කරන ආහාර පානවලින් ලැබෙන මුදල්, උත්සවයට සහභාගි වන අය එදින ලබා දෙන පරිත්‍යාගයන්, වැනි සියළු දැය එක්කර අවම වශයෙන් පවුම් ලක්‍ෂ එකහ මාරක් හෝ එයට වැඩි මුදලක් ලැබෙනවා, වියදම අඩු කළ විට අතට 50 – 75 දාහක් පමණ මුදලක් ලැබෙනවා“

එය මට 1990 වසරේ මැද භාගය ඇස් ඉදිරිපිට ගෙන තැබුවේය. “මගේ මිතුරෙක් (ප්‍රාමණන් – පූජකවරයෙක්) 1980දී යාපනයේ හමුවීමෙන් පසු 1990 වසරේ මැද භාගයේදී කොළඹදී හමුවුනි. ‘දැන් මොනවද කරන්නේ’ යැයි මම ඇසුවෙමි, ‘‘දැන් පෑලියගොඩදී කෝවිලක් දාලා තියෙනවා.. ආදායම අවුලක් නැහැ. දැන් හොඳින් ඉන්නවා“ යැයි ඔහු පැවැසීයග (මිතුර, මට සමාවන්න)

ඔහු පැවැසූ කාරණාවත්, මහවිරු දින උත්සවය සඳහා වියදම ගොස් පවුම් 50 සිට 70 දාහක මුදලක් අතට ඉතුරුයි යැයි පැවැසූ දැයටත් විශාල වෙනසක් තිබෙන බවට මට නොපෙනේ. ඔහු ජනතාවගේ දේව භක්තිය ආයෝජනය කර කෝවිල් දමා මුදල් උපයනවා. මොහු නිදහස වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ විරුවන්ව මත ජනතාව තබා ඇති භක්තිය, අභිමානය, තම පැවැත්ම හා සමාජය ස්ථාවරය වෙනුවෙන් ආයෝජනය කරමින් සිටියි.

බ්‍රිතාන්‍යයෙහි ලෝක යුද්දයෙන් මිය ගිය අයව වාර්ෂිකව සිහිපත් කරයි. ඉතා සාමකාමි ලෙස, ඔවුහු වෙනුවෙන් ඉදිකළ ස්මාරක ආසන්න ස්ථානවල ශෝකය පළකරති. මා සිටින ප්‍රදේශයේ මගේ නිවසට අසල උද්‍යාහනයක් තිබේ. එම උද්‍යයානයේ දෙවන ලෝක යුද්දයෙන් මිය ගිය විරුවන් හා ජනතාව වෙනුවෙන් ඉදිකළ ස්මාරකයක් ද තිබේ. එහිදී පාලන පක්‍ෂයේ ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ප්‍රදේශයේ වැදගත් පුද්ගලයෝ ඇතුළු සියළු දෙනාම එක්වී සිය ශෝකය පළකරති.

නමුත් විදෙස්ගත අපේ අයට මහවිරු දින යනු වාර්ෂිකව පැමිණෙන දීපාවලි, තයිපොන්කල්, අලුත් අවුරුද්ද, නත්තල මෙන් වෙනස්වී තිබේ. මෙම දිනය නිමිත්තෙන්ම අලුත් ඇඳුම්, ආභරණ ගැනීම, ආඩම්රව, උත්සව ආකර්ෂව, විනෝදාංශවලින් පිරී විර පූජාවන් බවට පත්වී තිබේ..

මෙම වැඩසටහන් ජීවතුන් අතර නොසිටින විරුවන්ව සිහිපත් කිරීමට එහා අපගේ දෑස් ඉදිරියේ ජීවතුන් අතර සිටින ආබාධිතයන්ව, සමාජයෙන් ඉවත දැමූ අයව, දිළිදුකමින් ජීවත්වන අයව, අතුරුදහන්වූ තම ඥාතීන්ව සොයා සිටින අයව, ඔවුන්ගේ හැගීම්වලට වේදනාවක් ගෙන දෙන අයුරින් තිබේ.

මහවිරුවන්ගේ ඡායාරූප සමඟ සෙල්ෆි ගන්නා පිරිස, මහවිරු දින ශාලාවේ සිට සෙල්ෆි ගන්නා පිරිස, මහවිරු දින ශාලාවේ සිට සජීවී විකාශනය කරන බවට පවසන පිරිස, සමාජ වෙබි අඩවිවල හා මාධ්‍යවල ඡායාරූප හා දැන්වීම් පළකරන පිරිස, එය තමන් සඳහාවූ සමාජ වැදගම්මක්, කීර්තියක් යැයි සිතාගෙන සිටියි. ඔවුන් කිසිවකු අරගලයෙන් ආබාධිතයන්වූ, සමාජයෙන් ඉවත දැමූ, අසරණව සිටින්නන් සමඟ සෙල්ෆියක් ගනියිද?

මෙහිදී යුද්දයෙන් පසු නිලාන්දන්ගේ කවියක් මතකයට එයි..

මිය ගිය සියළු දෙනාම භාග්‍යවන්තයන්
ද්‍රෝහියා යන ලේබලය ඔවුන්ට නැත
අත්අඩංගුවට පත්වූ, තුවාලවී භාරවූ අයට අහෝ
පරාජයක් ලෙස ශරීර කොටස් නොනැතිවූ අයට, අහෝ.

විවේචන හා විමර්ශණ තිබිය හැක, නැතුවත් ඇති. සියළු දැයට එහා බලාපොරොත්තු කිසිවකු නැතිව ජනතාවගේ නිදහස පමණයි ඉලක්කය යන අරමුණ සමඟ මියගිය විරුවන්, ජනතාවට කිසි දිනක අමතක කළ නොහැක.

ඔවුන්ව සිහිපත් කිරීම සැබැවින්ම ඉතා සරලව තිබිය යුතුයි. ඩයස්පෝරා ජනතාව සිය ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක, උද්‍යාහනයක, පොදු ස්ථානයක එය පැවැත්විය යුතුයි. එලෙස පවත්වන්නේ නම් යුරෝපයේ, උතුරු ඇමරිකාවේ, දකුණු ඇමරිකාවේ, ඔස්ට්‍රෙලියාවේ, ආසියාවේ දහස් ගණනක ගම්මාන හා නගරවල ඔවුන්ව සිහිපත් කරනු ඇත. එහිදී තමන් ජීවත් වන ප්‍රදේශයේ අන් අයට පවා අපගේ දුක, වේදනාව, පෙන්වාදිය හැක.

තවද ශ්‍රී ලංකාවේ වටිනාකමින් වාර්ෂිකව කෝටි ගණනක මුදලක් ඉතුරු කර යුද්දයෙන් අබාධිතවූ විරුවන්, ඔවුන්ගේ පවුල්, මහවිරුවන්ගේ පවුල්වල අයගේ ජීවිතය නගා සිටුවිය හැක.

ඩයස්පෝරා ජනතාව මෙය කවදා වටහා ගන්නේද එවිට තමයි මුළාවෙන් මිදී ජීවත්වීම සඳහාවූ අයිතිවාසිකම් අරගලයේ සැබෑ සහකරුවන් බවට පත්විය හැකි වනු ඇත්තේ. එය හැර මගේ පුතා, මගේ දුව, මගේ අයියා, මගේ අක්කා, මගේ මල්ලි මහවිරුවෙක් යැයි පවසා, ඔවුන්ගේ පරිත්‍යාගයෙන් තමන්ට කීර්ති නාමයක් ලබා ගැනීමත්, සමාජයේ උසස් පිරිසක් යැයි පෙන්වා ගැනීමටත්, මහවිරුවන් නොවන, මහවිරුවන් නැති පවුල් සමාජයේ පහත් මට්ටමේ පිරිස යන මානසිකත්වය ඇති කිරීමෙන් ජනතාවගේ නිදහස සඳහා ඉදිරි පියවරක් ලෙස කිසිවක් නොතිබිය හැක.

පසුගිය වසරේ මහවිරු දින සතියේදී මා විසින් ලියන ලද කරුණුවලින් මත භේද රැසක් ඇතිකර තිබුණි.. ඔබගේ අදහස්වල සාධාරණයක් තිබෙන නමුත් ඇයි එය මාවිරු දිනවලදීම පළ කරන්නේ යැයි ඇතම් පිරිසක් මා වෙත දොස් පවරා තිබුණි. මෙවර මහවිරු දින සතියේ නිහඞව සිටියෙමි..

ඊයේ මහවිරු දින සතිය අවසන්වූ පසු බොහෝ දෙනා මුළාවෙන් මිදෙමින් සිටියි.. නැවැත යුරෝපීය සිනමාහල් වල නිකුත් කරන දකුණු ඉන්දිය චිත්‍රපටය පළමු දවසේදීම නැරඹීමටත්, දකුණු ඉන්දියාවේ සිට පැමිණෙන නාට්‍ය කලාකරුවන්ගේ වැඩසටහන් නැරඹීමටත්, දැවැන්ත සංගීත වැඩසටහන් බැලීමට සිය ගණනක යුරෝ, පවුම් වියදම් කිරීමටත්, සූදානම්ව සිටි.

මෙම අවස්ථාවේදී මනස විවෘත කරන්නෙමි. මට සමාවන්න.. සැබැවින්ම සංවේදි අයව මගේ අකුරු කිසිවිටක වේදනාවට ගෙන නොඑනු ඇත.

මෙම අකුරු දැක කව්ද තිගැස්සී කලබලවී ලියන්නේ ද, ඔවුන් කව්රුන් දැයි හඳුනා ගත හැක. මෙවැනි ලිපියකින් පසු සාමාන්‍ය පරිදි මට මඩ ගැසීමට පටන් ගන්නා අයටත්, දොස් පවරන අයටත්, මම පිළිතුරු දීමට ඉදිරිපත්වන්නේ නැත‍. මගේ අදහස්වල සාධාරණයක් තිබෙන්නේ නම් පිළිගන්න, නැතිනම් ප්‍රයෝජනමත් විමර්ශණ ඉදිරිපත් කරන්න. මෙය භාවිතා කර කොටි සංවිධානයට පක්‍ෂපාති හෝ විරුද්ධ අය තම දේශපාලනය ඉදිරිපත් කරන අයහපත් විමර්ශන හා අදහස් සටහන් කළ හොත් ඒවා වේබ් අඩවියෙන් නම් එය ඉවත් කරන බව ද කාරුණිකව දන්වා සිටින්නෙමි.

අපගේ ප්‍රතිපත්ති අනුමගනය නිසා, මාධ්‍ය ආයතනක් වශයෙන්, අප ආරම්භයේ සිට අද දක්වා දැන්වීම්, ආධාර, පරිත්‍යාගයන්, පාඨකයන්, ශ්‍රාවකයන්ව අහිමිවි තිබේ. දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණ දෙමින් සිටින්නෙමු.. අනිසි විවේචන, මඩ ගැසීම්, දොස් බැනුම් නිසා මානසික බලපෑම්වලට ලක්වන්නෙමු යන කරුණු කාරණා සත්‍යයක් වන නමුත්, මාධ්‍ය ආයතනයකට තිබිය යුතු සීමාව, ප්‍රතිපත්තිය සියයට 100ක්ම අල්ලා ගැනීමට නොහැකිවුනත් අපි 75ක ප්‍රතිශතයකට පැමිණ සිටින්නෙමු යන සිත් සැනසීමක් තිබේ.

– GLOBAL TAMIL NEWS [ SINHALA ]

Back to Top