Sri Lanka Brief
UN-Sri Lankaපුවත්පුවත් විශේෂාංගඅතුරුදන් කිරීම් සහ අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය – රුකී ප්‍රනාන්දු

අතුරුදන් කිරීම් සහ අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය – රුකී ප්‍රනාන්දු

by

 බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ (“WGEID”) වසර 35ක ඉතිහාසය තුල ඔවුන් විසින් කටයුතු කර ඇති අතුරුදන් කිරීම් පිළිබඳ සිද්ධීන් අතරින් දෙවනුවට වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ශ්‍රී ලංකාවෙන් වීම ලැජ්ජාවට කරුණකි.  එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමෙන් ලැබී ඇති නවතම දත්තයන්ට අනුව, මේ වන විට තහවුරු කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය වෙත යොමු කර ඇති අතුරුදන් කිරීමේ සිද්ධීන් ගණන 12,341 ක්ද රජය විසින් තහවුරු කර ඇති සිද්ධීන් ගණන 6,551ක් ද අනෙකුත් මුලාශ්‍ර මගින් තහවුරු කළ සිද්ධීන් 40ක්ද, අමතර සිද්ධීන් 5,750ක්ද වේ. තවදුරටත් 2006 වසරේ සිට මේ දක්වා (අතුරුදන් වීම් සීඝ්‍රයෙන් ඉහළ ගිය කාලයේ දී), රජයකට යොමු කළ වැඩිම අතුරුදන් වීම් සිද්ධීන් ගණන එනම් සිද්ධීන් 637ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වී තිබේ. ( දෙවනුවට වැඩිම සිද්ධීන් ගණන වූ 169 වාර්තා වුයේ පාකිස්ථානයෙනි.) එසේම 2006 සිට 2009 දක්වා කාලයේදී කැපී පෙනෙන සිද්ධීන් ප්‍රමාණයක් වාර්තා වී ඇත. එනම් 2006 දී 191ක්, 2007 දී 164ක්, 2008 දී 147ක් සහ 2009 දී 123ක් ආදී වශයෙනි.

අතුරුදන් වීම් පිළිබඳව  විටින් විට ශ්‍රී ලංකාව කාගේත් දැඩි අවධානයට ලක් විණ. එක්සත් ජාතීන්ගේ  ක්‍රියාකාරී කණ්ඩායම (“WGEID”), ශ්‍රී ලංකාවට පැමිණීමත් සමග යළිත් වරක් ශ්‍රී ලංකාව දෙසට කාගේත් අවධානය යොමු වනු ඇත. 1991, 1992 සහ 1999 වසර වලින් පසු මෙවර මෙම කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ සිව්වන වරටයි. අවසන් වරට ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ දැනට වසර 16ක් ගත වී ඇත. අතුරුදන් වුවන්ගේ පවුල්වල, ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ඉල්ලීම් මත එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම විසින් 2006 වසරේ සිට ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා ආරාධනයක් වෙනුවෙන් ඉල්ලීම් කර තිබුනද එවකට රජය දිගින් දිගටම ඊට අවසර ලබා දීම ප්‍රතික්ෂේප කරන ලදී.

 බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම (WGEID)

 විශ්වීය න්‍යාය පත්‍රයක් සහිතව ස්ථාපිත කරන ලද  එක්සත් ජාතීන්ගේ  මානව හිමිකම් පදනම් කරගත් ප්‍රථම විශේෂ ක්‍රියා පටිපාටිය (Special Procedures) ලෙස 1980 වසරේදී මෙම කණ්ඩායම (WGEID) පිහිටුවන ලදී.  1970 වසරේ ලතින් ඇමරිකාවේ සිදු වූ මහා පරිමාණ අතුරුදන් කිරීම්වලට පසුව වත්මන් මානව හිමිකම් කවුන්සිලයේ අතීත ආයතනය වූ මානව හිමිකම් කොමිසම විසින් මෙම ක්‍රියාකාරී කණ්ඩායම පිහිටුවන ලදී.

මෙම ක්‍රියාකාරී කණ්ඩායමේ මූලික කාර්යය වන්නේ අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් හට ඔවුන්ගේ අතුරුදන් වූ සමීපතමයන් පිළිබඳ තොරතුරු දැනගැනීමට උපකාර කිරීමයි. මෙම කාර්යයේදී ක්‍රියාකාරී කණ්ඩායම අතරමැදියකු වන අතර අතුරුදන් වුවන්ගේ පවුල් හා රජය අතර සන්නිවේදන මාධ්‍යයක් ලෙස කටයුතු කරමින් පහසුකම් සලසනු ලබයි. බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් පිළිබඳ පැමිණිලි ක්‍රියාකාරී කණ්ඩායම විසින් එම පුද්ගලයන්ගේ පවුල්වල අයගෙන් සහ එම පවුල් නියෝජනය කරන අයගෙන් භාර ගන්නා අතර ඉන් අනතුරුව එම පැමිණිලි බලහත්කාරයෙන් අතුරුදන් කිරීමක් බවට තහවුරු කර ගැනීමෙන් පසුව පසුව අදාළ රජයෙන් එම සිද්ධීන් පිළිබඳ තොරතුරු විමසනු ලබයි.

 දත්ත සහ අතුරුදන් වූවන්ගේ පෞද්ලික අත්දැකීම්

එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම මගින් ලබා දුන් තොරතුරු, විවිධ විමර්ශන කොමිසම්  මගින් ඉදිරිපත් කර ඇති සංඛ්‍යාත්මක දත්ත, විටින් විට පොලිසිය විසින් කර ඇති ප්‍රකාශ සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් කර ඇති ගණනය කිරීම් වැනි තොරතුරු හැරුණු කොට  ශ්‍රී ලංකාව තුළ අතුරුදන් වූ පුද්ගලයින් පිළිබඳව කිසිදු පැහැදිලි සංඛ්‍යා ලේඛනයක් නොමැත. එහෙත් එය අනිවාර්යෙන්ම දස දහස් ගණනින් වනු ඇත. ඇතැම් විට එය 100,000ක් පමණ වනු ඇත. කෙසේ වෙතත් මාගේ අදහස නම් සංඛ්‍යාවන් විසින්, බොහෝ විට එක් එක් පුද්ගලයාගේ දුක්ඛිත තත්වයන් තනි පුද්ගල සිද්ධීන් සියල්ලෙන්, අවධානය පැහැරගන්නා බවයි.

දමිළ ජාතික මාධ්‍යවේදී  සුබ්‍රමනියම් රාමචන්ද්‍රන්  මහතා පිළිබඳව අවසන් වරට ලද තොරතුරු වන්නේ 2007 වසරේ පෙබරවාරි මස යාපනය ආසන්නයේ හමුදා මුරපොලක් අසල දී නවත්වා ඔවුන් සමග ගෙන ගිය බවයි. ඔහුගේ දෙමාපියන් මා සමග පැවසූයේ ඉන් පැය කිහිපයකට පසු ඔහුගේ දුරකතනයෙන් ඔවුනට ඇමතුම් ලැබුන ද ඉන්පසුව ඔහුට කතා කිරීමට හෝ ඔහුව දැක ගැනීමට නොලැබුණු බවයි. සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මා සමග කටයුතු කර ඇති කාන්තාවන් අතරින් ඉතාමත්ම ධෛර්යවන්තම කාන්තාවකි. ඇය නොසැලෙන ධෛර්යෙන්  හා අධිෂ්ඨානයෙන් යුක්තව අරගල කිරීමත්, ජාතික හා අන්තර්ජාතික වශයෙන් ලද සහයෝගයත් හේතු කොට ගෙන, ඇයගේ සැමියා වන සිංහල මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා 2010 වසරේදී බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් මේ වසරේදී හමුදා නිලධාරීන් කිහිපදෙනෙකුම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදු කෙරෙමින් පවතී.

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වූ දමිළ ජාතික කතෝලික පූජකවරයෙකු වූ ජිම් බ්‍රවුන් පියතුමාගේ අතුරුදන් වීම (නාවික හමුදාවේ තර්ජනයන් එල්ල වී තිබු අතර අවසන් වරට යාපනයේ නාවික හමුදා මුරපොලකදී දැක තිබිණ.) ඇතුළුව තවත් ප්‍රසිද්ධ ඝාතන 15ක් පිළිබඳව සොයා බැලීමට පත් කළ විමර්ශන කොමිසම ප්‍රකශ කර සිටියේ සාක්ෂි නොමැතිකම සහ විශේෂයෙන්ම මෘත ශරීරය සොයා ගැනීමට නොහැකි වූ නිසා විමර්ශන කටයුතු කර ගෙන යාමට නොහැකි වූ බවයි. යුද්ධයේ අවසන් සමයේ හමුදාවට යටත් වූ ප්‍රසිද්ධ වැඩිමහලු කතෝලික පූජකවරයෙකු සහ ප්‍රමුඛ පෙලේ එල්.ටි.ටි.ඊ. නායකයන් සම්බන්ධ ඇසින් දුටු සාක්ෂිකරුවන් සිටින හබෙයස් කෝපුස්  නඩු 16 ක් වසර තුනකටත් වැඩි දීර්ඝ කාලයක් තිස්සේ මුලතිවු සහ වවුනියා අධිකරණයන්හි තවමත් විභාග වෙමින් පවතී. 2002 වසරේදී මානව හිමිකම් කොමිසම විසින් පිහිටුවන ලද යාපනය ප්‍රදේශයේ සිදුවූ අතුරුදන් වීම් සම්බන්ධ විශේෂ කමිටුවෙහි සොයා ගැනීම්වලට අනුව හමුදාව විසින් රැගෙන යාමෙන් අනතුරුව දමිළ ජාතිකයන් 248ක් ඝාතනය කර හෝ අතුරුදන් කර ඇති අතර එල්.ටි.ටි.ඊ.ය විසින් රැගෙන යාමෙන් අනතුරුව මුස්ලිම් ජාතිකයන් 25 දෙනෙකු ඝාතනය කර හෝ අතුරුදන් කර ඇත.  මඩකලපුවේ සිටින මගේ මිතුරෙකු විසින් මා හට පවසා සිටියේ ඔහු සහ තවත් දහසකට වැඩි දෙනකු බලා සිටියදී 1990 වසරේදී හමුදාව විසින් දමිළ ජාතික තරුණයින් 158 දෙනෙකු අභ්‍යන්තර වශයෙන් අවතැන්වූවන් සඳහා වන කඳවුරකින් රැගෙන ගිය බවයි. එසේ ගෙන ගිය කිසිවකුත් පිළිබඳව යළි අසන්නට හෝ ඔවුන් දකින්නට නොලැබුණු බව ඔහු කියා සිටියේය. මාගේ මිතුරා විසින් මීට වග කිව යුතු හමුදා නිලධාරීන්ගේ නම් ගම් විස්තර කිහිප විටක්ම ජනාධිපති විමර්ශන කොමිසම් වෙත ලබා දුන්න ද ඒ පිළිබඳව කිසිවක් සිදු නොවූ බව ද හෙතෙම සඳහන් කළේය.

1990 වසරින් පසු අතුරුදන් වූ අයගෙන් බහුතරය දමිළ ජාතිකයන් වේ. නමුත් එසේ අතුරුදන් වූවන් අතර සිංහල සහ මුස්ලිම් ජනතාවද සිටියි. හමුදාව, පොලිසිය (විශේෂ කාර්ය බලකාය) සහ රජයට සම්බන්ධ විවිධ ආරක්ෂක කණ්ඩායම් මෙම අතුරුදන් කිරීම්වලට වග කිව යුතු බවට දිගින් දිගටම හඳුනා ගෙන තිබිණ. ඇතැම් අවස්ථාවලදී අතුරුදන් වූවන්ගේ පවුල්වල සාමාජිකයින් ඔවුන්ගේ ඥාතීන් රැගෙන ගිය හමුදා හෝ පොලිස් නිලධාරීන් හඳුනා ගෙන එසේම ඔවුන් රැගෙන ගිය කඳවුරුවල නම් අදාළ බලධාරීන්ට දැනුම් දී තිබුන ද කිසිදු සහනයක් ලැබී නොමැත. අතුරුදන් කිරීම්වලට වග කිව යුත්තන් ලෙස එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් ද හඳුනා ගෙන තිබේ.  එල්.ටී.ටී.ඊ යෙන් බිඳී ගිය නැගෙනහිර කරුණා සහ ඉනියභාරතිගේ කණ්ඩායම් සහ පසුගිය රජයේ  උතුරේ ප්‍රධාන පාර්ශවකරුවෙකු වූ ඩග්ලස් දේවානන්ද නායකත්වය දුන් ඊ.පී.ඩී.පී.යද රජයේ හමුදා සමග එක්ව සිදු කළ අතුරුදන් කිරීම්වලට වග කිව යුතු බවට හඳුනා ගෙන තිබේ. කෙසේ වෙතත් මේ සියල්ලෙන් පැහැදිලි වන යථාර්ථය වන්නේ අතුරුදන් කිරීම්වලට වග කිව යුත්තේ ආරක්ෂක අංශ හෝ එල්.ටි.ටි.ඊ.ය යන කුමන පාර්ශවයක් වුව ද ඒ සියල්ලන්ටම නව රජය ඇතුළුව (පසුගිය මාස දහය ඇතුලත) සෑම රජයක් යටතේම කිසිදු දඬුවමක් නොලබා නිදහසේ සිටීමට වරප්‍රසාද හිමි වී ඇති බවයි.

 මානසික සහ ආර්ථිකමය බලපෑම

 අතුරුදන් කිරීම් නිසා එසේ අතුරුදන් වන්නන්ගේ පවුල්වල දෙමාපියන්, දරුවන්, අඹු සැමියන්, සහ සහෝදර සහෝදරියන් ඇතුළු සාමාජිකයන් බරපතල මානසික පිඩාවන්ට ගොදුරු වේ. ජිම් බ්‍රවුන් පියතුමාගේ වයස්ගත දෙමාපියන් නිරන්තරයෙන්ම මා සමග පැවසුවේ ඔවුන් මිය යාමට පෙර තම පුත්‍රයා පිළිබඳ තොරතුරක් දන ගැනීමට ඇති බලවත් උවමනාවයි. එහෙත් ඔහුගේ මව ඔහු පිළිබඳව කිසිඳු තොරතුරක් නොලබාම මීට වසර කිහිපයකට පෙර මිය ගියාය. ඔහුගේ පියාටවත් ඔහු පිළිබඳ තොරතුරක් අසන්නට ලැබේදැයි යන කාරණය ගැන මට විශ්වාසයක් නැත.  සත්‍යය සහ යුක්තිය වෙනුවෙන් අරගල කරන අතරතුර සන්ධ්‍යා එක්නැලිගොඩට තම බාල පුතු  උපදේශනය සඳහා යොමු කිරීමට සිදු විය.

එසේම අතුරුදන් කිරීම් නිසා බරපතල ආර්ථික ගැටළු ඇති වී තිබේ. ඔවුන් අත කිසිදු වරදක් නොමැති වුවද ඔවුන්ගේ ආත්ම ගරුත්වය පසෙකලා ජීවිතය පවත්වාගෙන යාම සඳහා අන් අයගේ උපකාර පැතීමට අතුරුදන් කිරීම් වලට ලක්වුවන්ගේ පවුල්වල උදවියට සිදු වී තිබේ. 2013 වසරේදී සිය සැමියා අතුරුදන් වීම නිසා ආර්ථික වශයෙන් අපහසුතාවයට පත් තරුණ සිංහල මවක් මේ මස මුල් භාගයේදී මා හට දුරකථන ඇමතුමක් ලබා දී ඇයගේ කුඩා දරුවන් දෙදෙනාට කිරිපිටි ලබා ගැනීමට අවශ්‍ය මුදල් සොයා ගැනීමට උපකාර ඉල්ලා සිටියාය. සමාජයේ, රජයේ හා පරිත්‍යාගශීලීන්ගේ අවම අනුකම්පාව යටතේ අතුරුදන් වුවන්ගේ පවුල්වලට මූල්‍යමය උපකාර ලබා ගැනීම ඉතාම අපහසු කටයුත්තකි. මුල්‍යමය උපකාර අඩු වීම, සත්‍ය හා යුක්තිය වෙනුවෙන් අරගල කිරීමට බාධාවක් වී තිබේ.

 තර්ජන, බියගැන්වීම්, අපහාස සහ සීමා කිරීම්  

අතුරුදන් කිරීම්වලට එරෙහිව අභියෝග කිරීමට අතුරුදන් වුවන්ගේ පවුල්වල පිරිස්, සහෝදර මානව හිමිකම්  ක්‍රියාකාරීන්  සහ මා විසින් ගත් උත්සාහයන් නිසා අප සැමට රජයේ තර්ජන, බිය ගැන්වීම් සහ විවිධ සීමා වලට යටත් වීමට සිදු විණ. හමුදාවට යටත් වීමෙන් අනතුරුව අතුරුදන් වූ තරුණයෙකුගේ මවක වන බාලේන්ද්‍රන් ජයකුමාරි මහත්මිය 2014 වසරේදී අත්අඩංගුවට පත් විණ. ඇය පිළිබපිළිබඳ සොයා බැලීමටත් ඇයගේ දියණියට නවාතැන් ගැනීමට ස්ථානයක් සෙවීමටත් කටයුතු කළ මාද අත්අඩංගුවට ගන්නා ලදී. පසුගිය වසරේ අතුරුදන් වුවන්ගේ පවුල් වල ඥාතීන්, නීතිඥවරුන්, පූජ්‍ය පක්ෂය සහ රාජතාන්ත්‍රික නිලධාරීන්  සමග කොළඹ පිහිටි දේවස්ථානයක දී පැවැති රැස්වීමකට හදිසියේ ප්‍රකෝපකාරී කණ්ඩායමක් කඩා වැදුනි. අප විසින් ඒ පිළිබඳව පොලිසියට දැනුම් දුන් අවස්ථාවේදී එම කණ්ඩායම ඉවත් කර අපට ආරක්ෂාව සැපයීම පොලිසිය විසින් ප්‍රතික්ෂේප කරන ලදී. පොලිසිය විසින්ම ඔවුන්ගේ හැසිරීම සියැසින් දැක අනන්‍යතාවය පවා තහවුරු වී තිබුන ද එම ප්‍රචණ්ඩකාරී ක්‍රියාවට සම්බන්ධ වූ කිසිවෙකුටත් එරෙහිව නීතිමය පියවර ගෙන නැත.

 ආර්ජන්ටිනාවේ සිට පැමිණි අත්තම්මාගෙන් ලැබුණු පන්නරය

 2007 වසරේ සිට මා විසින් සැලකිය යුතු කාලයක් ගත කර ඇත්තේ අතුරුදන්වුවන්ගේ පවුල්වල පිරිස් සමගයි.  ඇතැම් අය සමග රෝහල්, කඳවුරු, පොලිස් ස්ථාන ආදියට යමින්, අතුරුදන් වූවන් පිළිබඳ සෙවීමටත්, තවත් විටක ඔවුන් සමග ඔවුන්ගේ නිවෙස්වලට ගොස් හෝ මගේ කාර්යාලයේ සිට කතා බහ කිරීමත්, ඔවුන් විසින් කොළඹදී සහ ජිනීවා වැනි නගරවල දී සංවිධානය කරන ලද උද්ඝෝෂණවලට සහභාගී වෙමිනුත්, නිලධාරීන් හා දේශපාලකයන් හමු වීමට යමිනුත්, අධිකරණයට, මානව හිමිකම් කොමිසමට සහ නොයෙකුත් කොමිසම් වලට යමින් කොළඹ, යාපනය, ජිනීවා  ආදී නොයක් ප්‍රදේශ වලදී කතා පවත්වමින් මෙන්ම එම පවුල් හා අතුරුදන් වුවන් පිළිබඳ ලිපි ලියමින්, මා විසින් කළ සියලු කැප කිරීම් අවසානයේ මා විසින් අත් කරගෙන ඇත්තේ කුමක්ද ?

ඒ ගැන සිතන විට වරක කළකිරුනද, අතුරුදන් වුවන්ගේ පවුල්වලින් නොනවත්වාම පන්නරය ලැබෙමින් පවතී.  ශ්‍රී ලංකාව තුළ සිටින සන්ධ්‍යා එක්නැලිගොඩ සහ රටින් පිට සිටින එවැනි තවත් බොහෝ සිංහල, දමිළ, මුස්ලිම් සහ විදේශීය මවුවරුන්ගෙන් එසේ ලැබෙන පන්නරය විශාලය. මේ වසරේ දෙවරක්ම මට හමුවූ ආර්ජන්ටිනාවේ සිට පැමිණි 84 හැවිරිදි එස්ටෙලා ඩි. කාලොට්ටෝ නම් අත්තම්මාද එවන් පන්නරය දුන් කෙනෙකි. ආර්ජන්ටිනාවේ යුද්ධයේදී අතුරුදන් වීමට සැලැස්වූ පුද්ගලයින්ට දාව උපන් දරුවන් උපතේදී පැහැරගෙන හදා ගැනීමට පිටස්තරයන්ට දී ඇත. එසේ  අතුරුදන් වූ සිය මුණුබුරන් සෙවීමට Plaza de Mayoහි අත්තම්මාවරු යන සංවිධානය ආරම්භ කර ඇත්තේ ඇය විසිනුයි. ආර්ජන්ටිනාව තුළ මෙන්ම පොදුවේ සමස්ත ලෝකයේම, අතුරුදන් වූවන් පිළිබඳ මහජන මතය සහ රජයේ මතය ද වෙනස් කිරීමට එස්ටෙලා ඉමහත් දායකත්වයක් දක්වා ඇත. ඇයගේ දියණිය අත්අඩංගුවට ගෙන දරුවාට උපත දීමෙන් අනතුරුව ඝාතනය කිරීමෙන් වසර 36කට පසු එනම් පසුගිය වසරේදී ඇය විසින් තම මුණුපුරා සොයා ගෙන ඇත.  අනෙක් සියලු මුණුපුරන් සොයා ගන්නා තෙක් හෝ ඇය මිය යන තෙක් සෙවීම නතර නොකරන්නට ඇය දැඩි ලෙස අධිෂ්ඨාන කර ගෙන සිටියි. “නිවසේදී හඬා මහමගදී අරගල කිරීම” යන ඇයගේ වදන් බොහෝදුරට ශ්‍රී ලංකාවේ අතුරුදන් වූවන්ගේ පවුල්වල සැබෑ කතාවයි. මා පිළිබඳව ද එය සැබෑවකි.

මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු ලෙස ශ්‍රී ලංකාව තුළ විශාලම අභියෝගය වී ඇත්තේ අතුරුදන් වූවන් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් කරනු ලබන අරගලයට සාමාන්‍ය  ශ්‍රී ලාංකික ජනතාවගේ අනුකම්පාව සහ සහයෝගය ලබා ගැනීමයි.  විශේෂයෙන්ම යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ ඇති වී ඇති මානව හිමිකම් සහ සමාජ සාධාරණත්වය පිළිබඳ විශාල පරාසයක ගැටළු හේතු කොටගෙන, අතුරුදන් කිරීම් වලට එරෙහිව හඬ නැඟීමට සාමන්‍යයෙන් එකතු වන  පිරිස්වලට පවා නොකඩවා මෙම අරගලයට දායකත්වය ලබා දීම අපහසු වී ඇත. අතුරුදන් වුවන්ගේ පවුල්වලට සහය දක්වමින් ඔවුන් පිළිබඳ සමාජ අවධානය යොමු කිරීමේදී විපක්ෂයේ දේශපාලඥයන්, නීතිඥවරුන්, ආගමික පුජකවරුන් සහ රාජ්‍ය නොවන සංවිධාන ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත. එහෙත් ඇතැම් විට වටහා ගැනීමට අපහසු කරුණ වන්නේ එසේ දායකත්වය සපයන ඇතැම් පාර්ශවයන් තම තමන්ගේ පෞද්ගලික අරමුණු පරමාර්ථ ඉෂ්ට කරගැනීම සඳහා මෙම පවුල් භාවිතා කරන්නේද යන කාරණයයි. ඇතැම් ක්‍රියාකාරීන් මෙම අරගල දේශපාලන අරමුණු පදනම් කරගත් ඒවා ලෙස පහත් කොට දැක්වීම කණගාටුවට කරුණකි.

මෙම අරගලය කිසි සේත්ම පහසු එකක් නොවේ. මෙය සහභාගී වන සියලු දෙනාටම විශාල පිරිවැයක් දැරීමට සිදු වන එසේම ඇතැම් විට දිගින් දිගටම කරගෙන යාමට ශක්තිය පවත්වා ගැනීමට ඉතාමත් අපහසු වන ආකාරයේ දුෂ්කර අරගලයකි.  කෙසේ වෙතත් එස්ටෙලාගේ කතාව සහ සියලු බාධක හමුවේ දශක ගණනාවක් තිස්සේ Plaza de Mayoහි අත්තම්මාවරුන්ගේ උද්වේගකර අරගලය පිළිබඳ කතාව, කිසිදා නොනවතින අරගලයක් සේ පෙනෙන ශ්‍රී ලංකාවේ අතුරුදන් වූවන් හා ඔවුන්ගේ පවුල් වෙනුවෙන් කෙරෙන මෙම සටන දිගටම කරගෙන යාමට මා පොළඹවමින් පන්නරයක් ලබා දෙයි.

 එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමට ශ්‍රී ලංකාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කළ හැක්කේ කුමක්ද?

 අතුරුදන් වුවන්ගේ පවුල් සහ ඔවුන් හා කටයුතු කරන මානව හිමිකම් ක්‍රියාකාරීන් සතුව එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳව ඉහළ බලාපොරොත්තු පවතී. ක්‍රියාකාරී කණ්ඩායම පැමිණි පලියටම අතුරුදන් වුවන් පිළිබඳ තොරතුරු ගලා එන්නේ නැත. එසේ තොරතුරු සොයා ගැනීම ඔවුන්ගේ කාර්ය පටිපාටියට යටත් වගකීමක් නොවන්නා සේම ඊට අවශ්‍ය බලය ඔවුන් සතු නොවේ. නමුත් මාගේ බලාපොරොත්තුව වන්නේ මෙම සංචාරය හේතු කොට ගෙන අතුරුදන් වූවන් පිළිබඳ තොරතුරු සෙවීමේ කාර්යය ඔවුන්ගේ පවුල්, වෘත්තීයවේදීන් සහ අන්තර්ජාතික පාර්ශ්වයන් සමග එක්ව වඩාත් සංවිධානාත්මකව හා ශක්තිමත් ලෙස කරගෙන යාමට අවශ්‍ය පසුබිම සකසා ගත හැකි වනු බවයි. එසේම තවදුරටත් යුක්තිය, වන්දි සැපයීම සහ යළි සිදු නොවීම පිළිබඳ වගකීම යන කරුණු තහවුරු කරගැනීම සඳහා ද මෙම සංචාරය වැදගත් වනු ඇති බව මාගේ හැඟීමයි. මේ සඳහා ක්‍රියාකාරී කණ්ඩායමේ සංචාරය සිදු වන කාල වකවානුව ඉතා වැදගත් වේ.

අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් සොයා බැලීමට පසුගිය රජයන් විසින් විටින් විට විමර්ශන කොමිසම් පත් කරන ලදී. එසේ අවසන් වරට පත් කරන ලද කොමිසම තවමත් ක්‍රියාත්මක අතර, මේ වන විට ඊට පැමිණිලි 23,249ක් ලැබී ඇත.( ඉන් පැමිණිලි 5000 රජයේ ආරක්ෂක අංශවල පුද්ගලයන් අතුරුදහන් වීම් සම්බන්ධයෙනි.)  මාගේ දැනුමේ තරමින් අතුරුදන් වූ එකදු පුද්ගලයෙකු පිළිබඳව හෝ තොරතුරු සොයා ගැනීමට මෙම කොමිසම සමත් වී නැත.

අන්තර්ජාතික රතු කුරුස කමිටුවේ සහය ඇතිව අතුරුදන් වුවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීමට නව රජය කැපවී සිටියි. ශ්‍රී ලංකාවේ වරදකරුවන් දඬුවම් නොලබා සිටීම පිළිබඳව සහ වගවීම තහවුරු කිරීම සඳහා එක්සත් ජාතීන් විසින් ශ්‍රී ලංකාව තුළ සිදු වූ බරපතල ගණයේ අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳව නිකුත් කෙරුණු ඓතිහාසික විමර්ශන වාර්තාව නිකුත් වී මාස දෙකක් ඇතුළත, අතුරුදන් කිරීම් පිළිබඳඑක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම (WGEID) ශ්‍රී ලංකාවට පැමිණීම සිදු වෙයි. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් කාර්යාලය  එම වාර්තාවේදී  ශ්‍රී ලංකාවේ සිදු වූ අතුරුදන් කිරීම් පිළිබඳව සවිස්තරව දක්වා ඇති අතර මෙසේ නිගමයකට එළඹ ඇත.

[…] ශ්‍රී ලංකාවේ වග කිව යුතු පාර්ශ්වයන් විසින්, විහිදුනු හා සංවිධානාත්මක ආකාරයකින්, වින්දිතයන් බොහෝ දෙනෙකුට ඔවුන්ගේ නිදහස අහිමි කර ඇති අතර ඉන් අනතුරුව එසේ නිදහස අහිමි කිරීම පිළිබඳව පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීම හෝ අතුරුදන් වුවන් පිළිබඳ තොරතුරු වසන් කිරීම සිදු කර ඇති බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතී. එහි ප්‍රතිඵලයක් ලෙස එම පුද්ගලයින්ට නීතියේ රැකවරණය අහිමි වී ගොස් ඇති අතර ඔවුන් තවදුරටත් අනතුරේ හෙලා ඇත.

ආරක්ෂක අංශ විසින් එකම ජන සමුහයක් ඉලක්ක කර ප්‍රහාරයන් එල්ල කළ භූ ගෝලීය පසුබිම සහ කාල රාමුව සලකා බැලීමේදී බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම් සිවිල් ජනතාවට එරෙහිව සිදු කල විහිදුනු හා සංවිධානාත්මක ප්‍රහාරයන්ගේ කොටසක් ලෙස සිදු කළ බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතී.

එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීම සිදු වෙන්නේ, අතුරුදන් වුවන්ගේ පවුල් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් විසින් වසර ගණනාවක් තිස්සේ; බලහත්කාරයෙන් අතුරුදන් කිරීමට එරෙහි අන්තර්ජාතික සම්මුතිය සම්මත කිරීමටත්, ශ්‍රී ලංකාව තුළ අතුරුදන් කිරීම් සාපරාධී ක්‍රියා ගණයට ඇතුලත් කිරීමටත්, මරණ සහතික වෙනුවට අතුරුදහන් වූ බවට සහතික නිකුත් කිරීමටත්, කළ ඉල්ලීම් ඉටු කිරීමට රජය විසින් කැමැත්ත පළ කර මාස දෙකක් ඇතුළතයි. කෙසේ වෙතත් මෙම පොරොන්දු ඉටු කිරීමට රජය විසින් කිසිදු කාල රාමුවක් හෝ ඒවා ඉටු කරන ආකාරය පිළිබඳ තොරතුරක් හෝ ලබා දී නොමැත.

වසර 35ක් තුල ස්වාධීනව, අවංකව සහ ඍජුව අතුරුදන් වූවන්ගේ පවුල්වලට සහ ක්‍රියාකාරීන්ට උපකාර කිරීම නිසා  අතුරුදන් කිරීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායම (WGEID) ගෝලීය වශයෙන් විශාල ලෙස ඇගයීමට පාත්‍ර වී සිටියි.  ශ්‍රී ලංකාව විසින් එම පිළිගැනීම උරගා බලනු ඇත. හුදෙක් වචන මාත්‍රයෙන් බැහැරව සැබෑ ලෙසම අතුරුදන් වුවන්ගේ පවුල් සහ ක්‍රියාකාරීන් සමග පොදුවේ සහ පෞද්ගලිකව ශක්තිමත් බැඳීමක් ඇති කර ගැනීමට අවශ්‍ය වන ක්‍රම සොයා ගැනීමට ඔවුනට සිදු වනු ඇත. පසුගිය සමයේ අතුරුදන්වුවන් පිළිබඳ කර ඇති අධ්‍යයනයන් ඉතාමසූක්ෂම ලෙස අධ්‍යයනය කර  අතුරුදන්වූවන්, සමුහ මිනීවලවල් සහ රහසිගත රැඳවුම් මධ්‍යස්ථාන පිළිබඳව හැකි තාක් තොරතුරු ලබා ගැනීමට උත්සාහ කළ යුතු වේ. අතීතයට සහ අනාගතයට අදාළ වන පරිදි නීති, ආයතන සහ ක්‍රියාවලීන් පිළිබඳව තොරතුරු රැස් කළ යුතු වේ. රජයේ ධනාත්මක කැපවීම් හඳුනා ගන්නා අතරම ඔවුන් විසින් දෙනු ලබන ආකර්ශනීය පොරොන්දුවලට නොරැවටී සිටීමට ද වග බලා ගත යුතු වේ. මන්ද යත් එකී පොරොන්දුවල යථා ස්වභාවය වටහා ගැනීම පහසු නොවන බව මෙතෙක් දුන් පොරොන්දුවලට පවා කිසිඳු කාල රාමුවක් නොදීමෙන් පැහැදිලි වන බැවිනි. යහපත් රාජතාන්ත්‍රික සබඳතා සහ දේශපාලන හේතු සාධක මත පදනම්ව ඇසිය  යුතු අපහසු ප්‍රශ්න නොඅසමින්, හෙළි කරගන්නා අඳුරු සත්‍යය ප්‍රසිද්ධ නොකරමින්, ඉදිරිපත් කළ යුතු නිර්දේශයන් රජය සහ බහුතරය විරුද්ධ වන නිසාවෙන් ඉදිරිපත් නොකර සිටිමින් වැළකී සිටීමට සංචාරය අතරතුර දී මෙන්ම ඉන් පසුවත් ක්‍රියාකාරී කණ්ඩායම විසින් වග බලා ගත යුතු වේ. කෙසේ වෙතත් මේ සියල්ලෙහි සාර්ථකත්වය බොහෝ විට පදනම් වන්නේ සංචාරයෙන් පසුව 2016 වසරේ සැප්තැම්බර් මාසයේදී ක්‍රියාකාරී කණ්ඩායම විසින් සම්පුර්ණ වාර්තාවක්  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඉදිරිපත් කරන තෙක්, පසු විපරම් කටයුතු කිරීමට ඔවුන් විසින් කොතෙක් දුරට කැමැත්තක් දක්වන්නේ ද සහ ඔවුන්ට ඒ සඳහා ඇති හැකියාව කොපමණ ද යන කාරණය පදනම් කරගෙනයි.

 

Back to Top