Sri Lanka Brief
පුවත්ප්‍රජාතාන්ත්‍රික බහුවිධ සමාජයක් වෙත පිය නැගීමේ තීරකය වගවීමේ ක්‍රියාවලිය යි – සරසවි ආචාර්ය එකතුවක්

ප්‍රජාතාන්ත්‍රික බහුවිධ සමාජයක් වෙත පිය නැගීමේ තීරකය වගවීමේ ක්‍රියාවලිය යි – සරසවි ආචාර්ය එකතුවක්

by

( දකුණේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් පිලිබඳව ද මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ සඳහන් වීම සාධනීය කරුණකි)
‘‘සැබෑ ලෙසම ප්‍රජාතාන්ත්‍රික බහුවිධ සමාජයක් වෙත අප රට යොමු කරමින් සංහිඳියාව ලඟා කර ගැනීමට ඇති වඩා වැදගත්ම තීරකය වන්නේ යුධ කාලයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් අප මේ මොහොතේ ක්‍රියාකරන්නේ කෙසේ ද යන සාධකයයි. අපගේ අතීත වැරදි පිලිබඳ අවංක පිලිගැනීමකින් තොරව අපට රටක් හා සමාජයක් ලෙස අනාගත ගමනක යෙදීම අපහසු වනු ඇතැ‘‘ යි සමූහික ප්‍රකාශයක් නිකුත් කරන විශ්ව විද්‍යාලීය ආචාර්ය- මහාචාර්ය එකතුවක් කියා සිටී. නව හිමිකම් උල්ලංඝනයන්ට ලක් වූවන්ගේ අදහස් හා අත්දැකීම් ඔවුනට ප්‍රකාශ කිරීමට අවස්ථාවන් ලබා දිය යුතු බවත් ඔවුන්ගේ හඩට අපි සවන් දිය යුතුය බවත් කිියා සිටින එම ප්‍රකාශය දකුණේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් පිලිබඳව ද මෙම වාර්තාවේ සඳහන් වීම සාධනීය කරුණක් බව ද සඳහන් කරයි. ‘‘සමහරුන් මෙම වාර්තාව ශ්‍රී ලංකා විරෝධී ‍නොඑසේනම් දේශද්‍රෝහී වාර්තාවක් ලෙස අර්ථ දැක්වීමට ගන්නා උත්සාහයන් වලින් හඟවන්නේ අපගේම පුරවැසියන් කොටසක් අප විසින්ම අවතක්සේරුවට ලක් කරන බවත් ඔවුන්ට පුරවැසියන් ලෙස හිමිවිය යුතු සම තත්වය අප පිලිනොගන්නා බව‘‘ යැයි ද ප්‍රකාශය කියා සිටී.

සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

සැප්තැම්බර් 30, 2015

ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා,
ගරු විදේශ කටයුතු පිලිබද අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා,
ගරු විපක්ෂ නායක ආර්. සම්බන්දන් මැතිතුමා,
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිලිබඳ මහකොමසාරිස් සයීඩ් රාද් අල් හුසේන් කුමරු,

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සලය මගින් ශ්‍රී ලංකාව පිලිබඳ නිකුත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාලයීය ප්‍රජාවේ ආයාචනය

ජාතීන් හා ආගමික කණ්ඩායම් අතර සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම අද රජයට මුහණ දීමට සිදුවන ප්‍රධාන අභියෝගයකි. 2009 යුද්ධයේ අවසානයෙන් පසු සිංහල වර්ගවාදී අදහස් වලින් පෝෂණය වී සුලුතර ජනකොටස් පීඩාවට පත් වන ආකාරයේ ක්‍රියාදාමයක පසුගිය රජය කටයුතු කල තත්වයක් තුල මෙම සංහිඳියාව ලඟා කර ගැනීම වඩාත් දුෂ්කර අභියෝගයක් වී තිබේ. වර්තමාන ශ්‍රී ලාංකික රජයත් පාර්ශවකරුවෙකු වන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ යෝජනාවට අප ප්‍රතිචාර දැක්විය යුත්තේ ඉහත සන්දර්භය තුල යි.

පහත නම් සඳහන් අප රජය සහ එල් ටී ටී ඊ සංවිධානය අතර යුද්ධයේදී විවිධ ආස්ථාන දැරූ හ. අපි සමහරෙක් යුද්ධයට විරුද්ධ වූ අතර සමහරෙක් එල් ටී ටී ඊ ය යුධමය වශයෙන් පරාජය කල යුතු යැයි විශ්වාස කලෙමු. අප යුද්ධය ගැන දැරූ අදහස් කෙසේ වෙතත්, 2009 දී යුද්ධයේ අවසානයෙන් පසු ශ්‍රී ලංකා රජයේ ක්‍රියාකාරීත්වය විසින් වාර්ගික අසමගිය වර්ධනය වූ බව විශ්වාස කරමු. ලොව කිසිදු යුද්ධයක් අහිංසක හෝ පිරිසිදු එකක් යැයි කිව නොහැකි ය. සෑම යුද්ධයක්ම පරාජිතයන් සහ යුද්ධයේ ගොදුරු බවට පත් වූ ප්‍රජාවන් බිහිකරයි. යුද්ධයේ අවසාන අදියරේ දී සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් පිලිබඳ ව මානව හිමිකම් කවුන්සලයේ අලුත්ම වාර්තාව පැහැදිලි සාක්ෂි සහිතව ගෙනහැර දක්වයි. වාර්තාවෙන් පරිබාහිරව, උතුරු නැගෙනහිර අප සහෝදර ජනයා මුහුණ දුන් දුක් ගැහැට හා කම්පනයන් පිලිබඳව අප‍ගේ අත්දැකීමෙන්ම අපි දනිමු. පසුගිය රජය විසින් උතුරු නැගෙනහිර ජනයාගේ මෙම අත්දැකීම් හෑල්ලුවට ලක් කොට අවතක්සේරු කිරීමේ ක්‍රියා පිලිවෙත ජාතික සංහිඳියාවට එරෙහිව මතු වූ විශාලතම බාධකයක් විය. පසුගිය රජයේ මෙම ක්‍රියා පිලිවෙත තුල උතුරු නැගෙනහිර ජනයාගේ අත්දැකීම් යම් අන්දමකින් හෝ පිලිගැනීමට ගත් සෑම උත්සහයක්ම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්, දේශද්‍රෝහී ක්‍රියාවක් නැතහොත් ආන්ඩුව අස්ථාවර කිරීමේ උත්සාහයන් ලෙස නිරූපනය විය. මෙවන් මිත්‍යාවන් සදාකාලිකවම බැහැර කිරීමේ කාලය පැමිණ ඇත. මෙම මානව හිමිකම් උල්ලංඝන චෝදනාවන්ට මුහුණ දීමට යුද්ධය ජයගත් ශ්‍රී ලාංකික රජය අනිවාර්යයෙන් බැඳී සිටියි.‍ මෙම යුද්ධය අපගේම සහෝදර පුරවැසි කොට්ඨාශයක් සමඟ අතීතයේ දී රාජ්‍යය ගොඩනැගීමේ දී අප විසින් සිදු කල වැරදි හේතුවෙන් සිදු කෙරුනු යුද්ධයක් බව ද අපට අමතක කල නොහැකි ය.

ඒ නිසා මෙම යුද්ධයෙන් පීඩාවට පත් වූවන් ගේ අත්දැකීම් පිලිගත යුතු යැයි අප තරයේ විශ්වාස කරමු. මානව හිමිකම් උල්ලංඝනයන්ට ලක් වූවන්ගේ අදහස් හා අත්දැකීම් ඔවුනට ප්‍රකාශ කිරීමට අවස්ථාවන් ලබා දිය යුතු ය. ඔවුන්ගේ හඩට අපි සවන් දිය යුතුයි. දකුණේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් පිලිබඳව ද මෙම වාර්තාවේ සඳහන් වීම සාධනීය කරුණකි. සමහරුන් මෙම වාර්තාව ශ්‍රී ලංකා විරෝධී ‍නොඑසේනම් දේශද්‍රෝහී වාර්තාවක් ලෙස අර්ථ දැක්වීමට ගන්නා උත්සාහයන් වලින් හඟවන්නේ අපගේම පුරවැසියන් කොටසක් අප විසින්ම අවතක්සේරුවට ලක් කරන බවත් ඔවුන්ට පුරවැසියන් ලෙස හිමිවිය යුතු සම තත්වය අප පිලිනොගන්නා බවත් ය. මානව හිමිකම් උල්ලංඝනයන් විමර්ශනය කොට ඊට වගකිවයුත්තන් හඳුනා‍ගැනීමේ ක්‍රියාවලිය නිශේධනය කිරීමට ගන්නා උත්සාහයන් ට අප දැඩිව විරුද්ධ වන්නේ ඉහත සන්දර්භට තුල යි. මානව හිමිකම් උල්ලංඝනය වීම් විමර්ශනය කිරීම රණවිරුවන්ට එරෙහි විදේශ කුමන්ත්‍රණ ලෙස අර්ථ දැක්වීම සංහිඳියාවට එල්ල කරන බලවත් ප්‍රහාරයකි. ශ්‍රී ලංකාව අන්තර්ජාතිකව සිය පුරවැසියන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීමට බැඳී සිටින බව අපි සියල්ලන්ටම අවධාරණය කර සිටීමට කැමැත්තෙමු. විශේෂයෙන්ම මෙම විමර්ශන වලට එරෙහිව හඩ නගන්නන් මේ බව අවබෝධ කර ගත යුතු ය.

නාගතයේ සකස් වන ඕනෑම යාන්ත්‍රණයක් තුල යුද්ධයෙන් පීඩාවට පත් වූ ජනයාගේ අවශ්‍යතා ප්‍රමුඛ විය යුතු බව ශ්‍රී ලංකා රජයට, සියලු දේශපාලන පක්ෂ වලට හා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අපි අවධාරණයක කර සිටිමු. මෙහි දී ඔවුන්ගේ මානසික හා සමාජයීය අවශ්‍යතා ඔවුන්ගේ පුද්ගල ආරක්ෂාව හා සමානව සැලකිය යුතු ය. මෙම ක්‍රියාදාමය තුල අදාල ප්‍රජාවන් යලිත් පීඩනයට ලක් වීමේ අවදානමක් ඇති බැවින් මෙය ඉතා සංවේදීව කල යුතු ය. මෙහි දී යුද්ධයෙන් පීඩාවට පත් වූවන් ගේ ද්‍රව්‍යමය, සමාජයීය, මානසික හා භාවමය අවශ්‍යතා සියල්ල සැලකිල්ලට ගත යුතු අතර වැරදිකරුවන් හඳුනාගෙන දඩුවම් දීම පමණක් ප්‍රමාණවත් නොවන බව අවධාරණය කරමු. මේ සඳහා මෙම ක්‍රියාවලිය වෙත ඉතා පුලුල් ප්‍රවේශයක් ගැනීම අත්‍යාවශ්‍යවේ.

දේශපාලන වාසි තකා යුද්ධයෙන් බැට කෑ ප්‍රජාවන්ගේ අත්දැකීම් භාවිතා‍ නොකරන ලෙස සියලු පාර්ශවයන්ගෙන් අපි දැඩිව ඉල්ලා සිටිමු. යම් ආයතනයක, කන්ඩායමක හෝ පුද්ගලයෙකුගේ ප්‍රතිරූපය ගොඩනැංවීම සඳහා භාවිතා නො‍කොට මානව හිමිකම් පිලිබඳ වගවීමේ ක්‍රියාවලිය අර්ථාන්විත ලෙස ක්‍රියාත්මක කරන ලෙසට ශ්‍රී ලංකා රජයෙන් සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අපි ඉල්ලා සිටිමු.

ඉහත සන්දර්භය තුල විමර්ශන හා වගවීමේ ක්‍රියාවලිය අපක්ෂපාතී හා යුක්තියුක්ත එකක් විය යුතු ය. ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතියේ ස්වාධීනත්වය දැඩි ලෙස අර්බුදයට ලක් වී තිබෙන තත්වයක් තුල හුදු දේශීය යාන්ත්‍රණයකින් පමණක් යුද්ධයෙන් පීඩාවට පත් වූ ජනයාගේ විශ්වාසය නැවත ස්ථාපනය කිරීම අපහසු වනු ඇත. එසේම අන්තර්ජාතික නියෝජිතයන් සිටීම තුලින් පමණක් මෙම ක්‍රියාදාමය සාර්ථක නොවනු ඇත. ශ්‍රී ලංකාවේ ස්ථාපනය කිරීමට බලාපොරොත්තු වන යාන්ත්‍රණය දකුණු අප්‍රිකාව හා කාම්බෝජියාව වැනි රටවල ස්ථාපිත යාන්ත්‍රණ වල ආදර්ශය මත පදනම් කොට ගෙන ගොඩනංවන ලෙස මෙම ක්‍රියාවලියට වගකියන සියල්ලන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

සැබෑ ලෙසම ප්‍රජාතාන්ත්‍රික බහුවිධ සමාජයක් වෙත අප රට යොමු කරමින් සංහිඳියාව ලඟා කර ගැනීමට ඇති වඩා වැදගත්ම තීරකය වන්නේ යුධ කාලයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් අප මේ මොහොතේ ක්‍රියාකරන්නේ කෙසේ ද යන සාධකයයි. අපගේ අතීත වැරදි පිලිබඳ අවංක පිලිගැනීමකින් තොරව අපට රටක් හා සමාජයක් ලෙස අනාගත ගමනක යෙදීම අපහසු වනු ඇත.
ස්තුතියි.

මීට

මහාචාර්ය ජය‍දේව උයන්ගොඩ – කොළඹ විශ්වවිද්‍යාලය
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි – කොළඹ විශ්වවිද්‍යාලය
ආචාර්ය නේවිස් මොරායස් – විවෘත විශ්වවිද්‍යාලය
ආචාර්ය මහීම් මෙන්ඩිස් – විවෘත විශ්වවිද්‍යාලය
දිලීප විතාරන – විවෘත විශ්වවිද්‍යාලය
ආචාර්ය හරිනි අමරසූරිය – විවෘත විශ්වවිද්‍යාලය
ආචාර්ය හර්ෂණ රඹුක්වැල්ල – විවෘත විශ්වවිද්‍යාලය
ආචාර්ය ෆර්සානා හනීෆා – කොළඹ විශ්වවිද්‍යාලය
ආචාර්ය තිය‍ඩෝර් ප්‍රනාන්දු – විවෘත විශ්වවිද්‍යාලය
මහාචාර්ය ගමීලා සමරසිංහ – කොළඹ විශ්වවිද්‍යාලය
එන්. ජී. ඒ. කරුණාතිලක- කැලණිය විශ්වවිද්‍යාලය
සිතුමිණි රත්නමලල – මොරටුව විශ්වවිද්‍යාලය
ආචාර්ය අබුබකර් රමීස් – අග්නිදිග විශ්වවිද්‍යාලය
ආචාර්ය ප්‍රභාත් ජයසිංහ – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
ආචාර්ය පවිත්‍රා කයිලාසපති – කොළඹ විශ්වවිද්‍යාලය
ආචාර්ය ජෙයශංකර් සිවඥානම් – නැගෙනහිර විශ්වවිද්‍යාලය
ආචාර්ය සෙංගාරපිල්ලේ අරිවලාහන් – යාපනය විශ්වවිද්‍යාලය
ආචාර්ය සුමති සිවමෝහන් – පේරාදෙනිය විශ්වවිද්‍යාලය
අතුල කුමාර සමරකෝන් – විවෘත විශ්වවිද්‍යාලය
ආචාර්ය රුවන් වීරසිංහ – කොළඹ විශ්වවිද්‍යාලය
දිනේෂා සමරරත්න – කොළඹ විශ්වවිද්‍යාලය
උපාලි පන්නිලගේ – රුහුණ විශ්වවිද්‍යාලය
ආචාර්ය ජානකී ජයවර්ධන – කොළඹ විශ්වවිද්‍යාලය
ආචාර්ය ඒ.ඩබ්ලිව්. විජේරත්න – සබරගමුව විශ්වවිද්‍යාලය
අචාර්ය රොමෝලා රසූල් – කැලණිය විශ්වවිද්‍යාලය
ආචාර්ය චන්ද්‍රබෝස් සුප්පියා – විවෘත විශ්වවිද්‍යාලය
ආචාර්ය දිනුක විජේතුංග – කොළඹ විශ්වවිද්‍යාලය
අචාර්ය ඩී. එච්. එස්. මෛත්‍රීපාල – පේරාදෙනිය විශ්වවිද්‍යාලය
ආචාර්ය කෞශල්‍යා පෙරේ‍රා – කැලණිය විශ්වවිද්‍යාලය
ආචාර්ය නෙලූෆර් ද මෙල් – කොළඹ විශ්වවිද්‍යාලය
ආචාර්ය ජේ. කෙනඩි – නැගෙනහිර විශ්වවිද්‍යාලය
ආචාර්ය ශාමිනී හෙට්ටිආරච්චි – කැලණිය විශ්වවිද්‍යාලය
චන්ද්‍රගුප්ත තේනුවර – සෞන්දර්යය විශ්වවිද්‍යාලය
ආචාර්ය ජෙයරත්නම් ජයදේවන් – යාපනය විශ්වවිද්‍යාලය
ආචාර්ය එස්. ක්‍රිෂ්ණකුමාර් – විවෘත විශ්වවිද්‍යාලය
මහාචාර්ය ප්‍රියාන් ඩයස් – මොරටුව විශ්වවිද්‍යාලය
ආචාර්ය රනිල් ඩී ගුණරත්න – කොළඹ විශ්වවිද්‍යාලය
ක්‍රිෂාන්ත ෆෙඩ්රික්ස් – කොළඹ විශ්වවිද්‍යාලය
ආචාර්ය ජයසීලන් ඥානසීලන් – වව්නියා විශ්වවිද්‍යාලය
රවි ද මෙල් – විවෘත විශ්වවිද්‍යාලය
එස්. සෙල්වරාජන් – යාපනය විශ්වවිද්‍යාලය

Back to Top