Sri Lanka Brief
පුවත්විවරණපත්තරයකට ජනාධිපතිවරයෙක් අතුරුදහන් කරන්න පුළුවන් ද? – සුනන්ද දේශප්‍රිය

පත්තරයකට ජනාධිපතිවරයෙක් අතුරුදහන් කරන්න පුළුවන් ද? – සුනන්ද දේශප්‍රිය

by

( ප්‍රගීත් එක්නැළිගොඩ කාටූනයකි)

පසුගිය දිනෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ටිකක් සැර කතාවක් කියා තිබුණි. ජනාධිපතිවරයා කියා තිබුණේ (ඩේලි මිරර් පුවත්පතට අනුව ) සමහර මාධ්‍ය ආයතන දැන් තමා දේශපාලන වශයෙන් අතුරුදහන් කරන්නට උත්හාස කරන බවයි. එය සැර කතාවක් වන්නේ රාජපක්ෂ භීෂණය අවසන් කොට මෙරට ජනමාධ්‍ය නිදහස තහවුරු කර ප්‍රජාතන්ත්‍රවාදී අවකාශය විවිර කිරීමට තීරණාත්මක දායකත්වය ලබා දුන් දේශපාලනඥයා ද ජනාධිපති සිරිසේන ම වන බැවිනි. තමාට එවැනි තර්ජනයක් ඇතැයි ඔහු සිතන්නේ නම් එය බිය ජනකය.

මේ තාක් කල් මෙරට සිදුව ඇත්තේ ආන්ඩු විසින් ජනමාධ්‍යවේදීන් අතුරුදහන් කිරීමය. ආන්ඩු විසින් ජනමාධ්‍ය ආයතන ගිනි තැබීම ය. තහනම් කිරීම ය. දැන් මෙම ප්‍රකාශයට අනුව සමහර ජනමාධ්‍ය ජනාධිපතිවරයා දේශපාලන වශයෙන් අතුරුදහන් කිරීමට උත්සාහ දරයි! නැත්නම් ජනාධිපතිවරයා එළෙස විශ්වාස කරයි!

(ජනාධිපතිවරයා මෙම කතාව පවත්වා තිබුණේ මෙරට ජනමාධ්‍යවේදීන් ඝාතනය සහ අතුරුදහන් කළාවූත් මාධ්‍ය ආයතන විනාශ කළාවූත් රාජපක්ෂ යුගයෙහි අතුරුදහන්ව සිටි මාධ්‍ය සංවිධානයක සංවත්සරයක දී වීම දෛවයේ සරදමකි.)

ඇත්තටම ජනමාධ්‍යට ජනාධිපතිවරයෙක් හෝ ආණ්ඩුවක් හෝ අතුරුදහන් කරන්න පුළුවන් ද?

අපි අදාළ වාර්තාව දෙස තව දුරටත් බලමු.

ආන්ඩුවේ සිංහල පත්තරය එම කතාවේ අදාළ කොටස වාර්තා කර තබුණේ මෙසේ ය. ‘අතුරුදන්වීම්, සුදු වෑන් සහ බලපෑම් නොමැතිව අලුත් ආණ්ඩුව මාධ්‍ය සමඟ කටයුතු කරනවා. එහි දී දේශපාලන වශයෙන් ආණ්ඩුව අතුරුදහන් නොකිරීම මාධ්‍ය සතු වගකීමක්. රටේ නිදහසත්, මාධ්‍යයේ නිදහසත් උපරිමයෙන් තහවුරු කිරීමට නව ආණ්ඩුව බැඳී සිටිනවා. මා එක්සත් ජාතීන්ගේ මහා සමුළුවට සහභාගීවීම පිළිබඳ පසුගිය සතියේ එක්තරා ඉංගී‍්‍රසි පුවත්පතක ඉතා අසත්‍ය කරුණු රැසක් රසවත් ලෙස පළ කර තිබූ අයුරු දුටුවා’

ආන්ඩුවේ ඉංග්‍රිසි පුවත්පත මෙසේ වාර්තා කර තිබුණි. ‘ අතුරුදහන් කරවීමේ, සුදු වෑන් පැහැර ගැනීම් සහ කවර ආතාරයක හෝ අත පෙවීමේ යුගය අවසන් කරමින් ආන්ඩුව මාධ්‍ය සමඟ කටයුතු කරන විට මාධ්‍යයේ වගකීම් වන්නේ ආණ්ඩුව දේශපාලන වශයෙන් හුදකලා නොකිරීමය.’

පෙනෙන විදියට ආන්ඩුවේ ඉංග්‍රිසි පුවත්පත ජනාධිපතිවරයාගේ කතාවේ වූ අතුරුදහන් කරවීම යන වචනය හුදකලා කිරීම බවට සංස්කරණය කර තිබේ.

ජනාධිපති නිල වෙබ් අඩවියෙහි එම කතාව පල වන්නේ මෙසේ ය. ‘අතුරුදහන්වීම්, සුදු වෑන් සහ බලපෑම් නොමැතිව නව රජය මාධ්‍ය සමග කටයුතු කරද්දී දේශපාලන වශයෙන් ආණ්ඩුව අතුරුදහන් නොකිරීම මාධ්‍ය සතු වගකීමක් බව ජනපති පවසයි. තමන් එක්සත් ජාතීන්ගේ මහා සමුලූවට (!) සහභාගීවීම පිළිබඳ පසුගිය සතියේ එක්තරා ඉංග්‍රීසි පුවත්පතක ඉතා අසත්‍ය කරුණු රැසක් රසවත් ලෙස පළ කර තිබූ අයුරු තමා දුටු බව පැවසූ ජනාධිපතිතුමා විවේචන සහ සංවාද යහපාලනය සඳහා වැදගත් නමුත් එහිදී මාධ්‍ය සතු ගුණාත්මක භාවය, ආචාර ධර්ම මෙන්ම ප්‍රමිතීන් ආරක්ෂා කර ගැනීම වැදගත් බවද කියා සිටියේය.’

පෙනෙන විදිහට ජනාධිපතිතුමාගේ කතාවෙහි දී කියන ලද ‘මා දේශපාලන වශයෙන් අතුරුදහන් කිරීමට’ යන්න ආණ්ඩුවේ පත්තර සහ ජනාධිපති නිල වෙබ් අඩවිය විසින් ආණ්ඩුව බවට වෙනස් කර තිබේ. මා එසේ නිගමනය කරන්නේ ඩේලි මිරර් පුවත් පතට ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවැරදි කිරීමක් යවා නැති නිසාත් අදාළ ජනමාධ්‍ය වාර්තාව ආන්ඩුව සමබන්ධව නොව ජනාධිපතිවරයාට අදාළ එකක් වන නිසාත් ය.

ජනාධිපතිවරයා මෙතරම් සැර ප්‍රකාශයක් කළ වාර්තාව කුමක්දැයි නිශ්චිතව කියා නැති බැවින් එකී ප්‍රකාශය පොලීසියේ වචනයෙන් ‘අවම බලය යෙදවීමක්’ ද නැත් ද කියා හෝ දඩුවම් දීමෙහි සාධාරණත්වය මැනෙන ‘සමානුපාතිකතාව’ නීතිය ට අනුකූළදැයි තීරණය කිරීම අමාරු ය.

මෙම ප්‍රකාශය අඩංඟු වූ කතාවෙහි දී ම මෙරට ජනමාධ්‍ය නිදහස සුරකින බවට ජනාධිපතිවරයා ශපථ කොට තිබූ බව ද සඳහන් කළ යුතු ය.

එක්සත් ජාතීන්ගේ මහ සමුළුව හා ජනාධිපතිවරයා සම්බන්ධ කොට, බොහෝ විට ජනාධිපතිවරයා විසින් ඉලක්ක කරන්නට ඇතැයි අනුමාන කළ හැකි සති අන්ත ඉංග්‍රිසි පුවත්පතෙහි විවේචනාත්මක වාර්තා දෙකක් පළ විය. එකක් නම් ඔහුගේ පුත්‍රයා එම සමුළුවට සහභාගි වූ ශ්‍රී ලංකා ආන්ඩුවේ නිල දූත මණ්ඩලයට ඇතුලත් කර තිබීමයි. දෙවැන්න නම් ජනාධිපතිවරයාගේ සංචාරයට ප්‍රයෝජනය ගැනීම පිණිස විශාල වාහන සංඛ්‍යාවක් ඇනවුම් කර ඇතැයි යන වාර්තාව යි. මෙම දෙවන වාර්තාව සදොස් බව අනියමින් පෙන්වන වාර්තාවක් ඊළග සතියෙහි එම පුවත්පතම පළ කර තිබුණි.

ජනාධිපතිවරයාගේ පුත්‍රයා එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි කර ගැනීම ලැව් ගින්නක් සේ සමාජ ජාලයන්හි පැතිර ගියේ දැඩි විවේචනයට සමගිනි. ඊට පසුබිමක් තිබේ. එනම් රාජපක්ෂ කුමාරයින් විසින් පියාගේ බලය පාවිච්චි කරමින් කරන ලද අවකල්ක්‍රියා විසින් අප සමාජය හෙල්ලුම් කා තිබූ නිසා ය. ගිනිපෙණෙල්ලෙන් බැට කෑ මිනිසා කණමැදිරියාටත් බය යැයි කියනු ලැබේ. ජනාධිපති පුත්‍රයා සම්බන්දයෙන් පළ වූ මාධ්‍ය වාර්තා තේරුම් ගත යුතු පසුබිම මෙය යි.

කවර හෝ පුවතක් දොස් සහිත නම් එය නිවැරදි කිරීම ජනාධිපතිවරයකුට දුෂ්කර නැත. කළ යුතුව තිබුණේ එය නොවේ ද?

ඒ කෙසේ වෙතත් මෙම ‘අතුරුදහන් කරවීමේ’ ප්‍රකාශය සමඟ බැදී එන අනෙක් අදහස දෙස බලන විට යම් කුකුසක් ඇතිවීම වැලැක්විය නොහැක. ඉන් කියැවෙන්නේ මාධ්‍ය නිදහස සහතික කොට ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කර ඇති බැවින් මෙම ආන්ඩුවට ජනමාධ්‍ය සහාය දිය යුතු බවය. අඩු වශයෙන් ඉන් ඇඟවෙන්නේ එයයි.

එය එසේ නම් එය නම් එය වරදකි. මන්ද යත් ජනමාධ්‍ය විසින් ගත යුතු දේශපාලන ස්ථාවරය ආන්ඩුවේ මතයක් ලෙස එමගින් ප්‍රකාශයට පත් වන නිසා ය. ප්‍රජාතන්ත්‍රවාදී ආන්ඩුවකට තමන්ගේ සාධනීය ක්‍රියාකාරකම් මොනවාදැයි කියා සිටීමට අයිතියක් තිබේ. නමුත් එම අදහස් එළෙසම ජනමාධ්‍ය මගින් අනුමත කළ යුතුයැයි කියා සිටීමට අයිතියක් නැත.

නිදසුනක් පිනිස රාජ්‍ය මාධ්‍ය සම්බන්ධ මෑත කාලීන අත්දැකීම් දෙස යළි හැරි බලමු. එම අති විශාල රාජ්‍ය මාධ්‍ය ජාලය හුදෙක් බලයේ සිටින දේශපාලනඥයින්ට ස්ත්‍රෝත්‍ර ගයන හොරනෑකරුවන්ගේ ගුබ්බෑයම් බවට පත් වූ බව අපි දනිමු.

ඒ සඳහා පදනම සැපයූයේ ආන්ඩුවේ මතය ම ජනමාධ්‍ය විසින් ගෙන යා යුතුය යන සදොස් මතවාදය නිසා ය‍.

ජනමාධ්‍ය සේවය කළ යුත්තේ අණ්ඩුවට නොවේ. මහජනයාට ය. ආණ්ඩුව සහ මහජනයා කිසිම විටෙක් එකක් වන්නේ නැත.

තිත්ත නමුත් ඇත්ත නම් බලයට පත් වී දස මාසයක් ගෙවීයමින් තිබියදීත් රාජ්‍ය මාධ්‍යයන්හි කැපි පෙනෙන අදීනත්වයක් සහ ප්‍රබුද්ධ බවක් ඇති කිරීමට මෛත්‍රී-රනිල් ආණ්ඩුව අසමත් වී සිටීන බවය. කිසිම ආණ්ඩුවක් සර්ව සම්පූර්ණ නොවේ. එනයින්ම වත්මන් ආණ්ඩුව විවේචනයට ලක් විය යුතු බොහෝ කරුණු කාරණා තිබේ. එනමුත් රාජ්‍ය මාධ්‍යයෙහි එවැනි කිසිදු බරපතල විවේචනයක් නැත. ආණ්ඩුවේ මාධ්‍ය පිළිවෙතෙහි කැඩපත රාජ්‍ය මාධ්‍යය වේ. එසේ නම් රාජ්‍ය මාධ්‍ය හැසිරීමෙන් අණ්ඩුව අවශේෂ මාධ්‍යට සහ සමාජයට දෙන පණිවිඩය කුමක් ද?

සමහර ජනමාධ්‍ය තමන් අතුරුදහන් කිරීමට කැස කවන්නේ යැයි ජනාධිපතිවරයාම කියන විට රාජ්‍ය ජනමාධ්‍යට ඉන් ලැබෙන පනිවිඩය වනු ඇත්තේ ද පරණ පදේටම නැටීම ඇඟට ගුණ බවය.

දේශපාලනඥයින් ඉදිරියේ වැඳ වැටීමජනමාධ්‍ය දුරාචාරයකි ( ප්‍රගීත් එක්නැළිගොඩ කාටූනයකි)

දේශපාලනඥයින් ඉදිරියේ වැඳ වැටීමජනමාධ්‍ය දුරාචාරයකි ( ප්‍රගීත් එක්නැළිගොඩ කාටූනයකි)

රාජ්‍ය මාධ්‍ය පමණක් නොවේ. ඉහත් කී අන්දමේ වාර්තාවක් සම්බන්ධයෙන් ‘තමා දේශපාලන වශයෙන් අතුරුදහන්කරන්නට’ යන්නේ යැයි ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ චෝදනා කරන විට සිදු වන්නේ පසුගිය දස වසර පුරා ආණ්ඩුවලට කඩේ යෑම සිය එකම මාධ්‍ය සදාචාරය කරගත් ඊනියා ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය මේ ආණ්ඩුවටත් කඩේ යෑමට පටන් ගැනීම ය. ආණ්ඩු කරන්නන්නට ඇති බය තවම අප සමාජයෙන් ඉවත්ව ගොස් නැත.

උදාහරණයක් බලමු.

එක්සත් ජාතීන්ගේ මහ සමුලුවට ගොස් ආපසු පැමිණ ජනාධිපතිවරයා පිළිගැනීමට කළ සැරසිලි රුපියල් කෝටියක් වන්නට ඇතැයි තවත් පුවතක් පළ විය. සමාජ ජාල මාධ්‍යයෙහි එය පළ වූයේ රුපියල් 65,000කින් දිව්රුම් දුන් ජනාධිපති ගුවන් තොටෙහි දී පිළිගැනීමට කෝටියක සැරසිළි කියා ය. රට පුරා දස දහස් ගණනින් කටවුට් ගසාගෙන පරාජය වූ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ අභාවාචක අත්දැකීමෙහි උණුසුම යන්නටත් පෙර එවැනි විලම්භීත සන්නියන් නැටවූයේ ඇයිදැයි කියා අසන්නට නිර්භීත වන ජනමාධ්‍යක් නැති සමාජයක විසම්මුතිය පලබර වන්නේ නැත.

ප්‍රජාතන්ත්‍රවාදී පොරෙන්දු මගින් රාජ්‍ය බලය ලබා ගන්නා දේශපාලන නායකයින් සෑම කල්හිම එම මාවතෙහිම ගමන් කරනු ඇතැයි නියමක් නැත. ආරම්භයේ දී ප්‍රජාතන්ත්‍රවාදී වන දේශපාලන නායකයින් ක්‍රමයෙන් ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන ක්‍රම සහ විධි කරා ඇදී යනු ශ්‍රී ලංකාවෙහි ( මෙන්ම අනෙක් රටවලදී ද) අප දැක ඇත්තේ වරක් දෙවරක් නොවේ.

ඊට හොඳම උදාහරණයක් නම් හිටපු ජනාධිපති චන්ද්‍රකා බන්ඩාරනායක කුමාරතුංග ය. ඇය ආරම්භයේ දී දැක්වූ ජන ප්‍රසාදිත ප්‍රජාතන්ත්‍රවාදී ගුණාංග වැඩි කළක් යා නොදී එහි විරුද්ධත්වය බවට පත් විය.ජේ.ආර්. ජයවර්ධනගේ 1982 ලාම්පු- කළගොඩි ජන මත විචාරනයට පමණක් දෙවැනි විය හැකි 1998 වයඹ පළාත් සභා ජන්ද මංකොල්ලය ඇයගේ පාලනයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී දිශානතියයෙහි ආරම්භක ප්‍රචන්ඩ සංඥාව විය.

නොසැළකිය යුතු ප්‍රකාශයක් යැයි අයෙක් තර්ක කල හැකි ‘ ජනාධිපතිවරයා ජනමාධ්‍ය විසින් අතුරුදහන්කිරීම’ පිළිබඳ මෙම සටහන ලියූයේ එම අතීතය යළි දැකීමට ඇති අකමැත්ත නිසා ය.

අප දැක ඇත්තේ දේශපාලනඥයින් විසින් පොරොන්දු ඉටු කිරිම නොව ඒවා යළි යළි පයට පාගා දැමීම ය. මහා ජනයාගේ ප්‍රජාතන්තවාදී අයිතිවාසිකම් සම්බන්ධයෙන් එය වෙසෙසින්ම සැබැ ය. ඉදින් ‘අතුරුදහන් කිරීමේ කතාව’ ගැන අප නිහඩව සිටිය යුතු ද ?

දේශපාලනයින් දේශපාලනයෙන් අතුරුදහන් වෙන්නේ විවේචනාත්මක ජනමාධ්‍ය නිසා නොවේ. බඩගෝස්තරවාදි ජනමාධ්‍ය නිසා ය. රටෙහි සැබැ යතාර්ථය පිළිබිඹු නොකර පාලකයින් මුරුංගා අත්තේ තබන එවැනි ජනමාධ්‍යට රැවටෙන නිසා ය.

ජනමාධ්‍ය පාලනය අසාර්ථක උපායකි (ප්‍රගීත් එක්නැළිගොඩ කාටූනයකි)

ජනමාධ්‍ය පාලනය අසාර්ථක උපායකි (ප්‍රගීත් එක්නැළිගොඩ කාටූනයකි)

ජනමාධ්‍යයේ කාරිය ජනප්‍රවාදගත කොලු පැටියා මෙන් මහ රජතුමා හෙළුවෙන් බව කෑ ගසා කීම ය. සිතාම්බරපටය අස්සේ රිංගා ගැනීම නොවේ. ඇත්ත වශයෙන්ම නම් යහපාලන ජනාධිපතිවරයාගෙන් අප අපේක්ෂා කරන්නේ මෙවැනි කියමනකි:

‘දේශපාලනඥයින් අතුරුදහන් වෙද්දෙන්, ඇත්ත කියන්න.

Back to Top