Sri Lanka Brief
UN-Sri Lankaපුවත්විවරණජිනීවා වාර්තාව සහ අද කළ යුතු දේ හෙටට කල් නොදැමීම – රංජිත් හේනායකආරච්චි

ජිනීවා වාර්තාව සහ අද කළ යුතු දේ හෙටට කල් නොදැමීම – රංජිත් හේනායකආරච්චි

by

(  2002 -2005 දක්වා සාම ක්‍රියාදාමය කඩාකප්පල් වන තුරුම සිවිල් බලවේග තමන් උපරිම බලයක් යොදා එය කඩාකප්පල් කිරීම වැලකීම සඳහා ක්‍රියාත්මක නොව් ය )

නිදහසින් පසු ලංකා දේශපාලනයේ අඛණ්ඩව පැවත එන මූළිකම සමාජ ප්‍රශ්නය ජනවාර්ගික ප්‍රශ්නය බව අවිවාදිතය. රාජපක්ෂ දේශපාලනය එය එසේ බව පිලිගැනීම ප්‍රතික්ෂේප කළා වුවත් ඔවුනගේ දේශපාලනයේ බලප්‍රාප්තිය සහ උත්කෘෂ්ඨත්වය (සිංහල ජාතිවාදය සහ යුධ ජය) තහවුරු වන්නේද මෙම ප්‍රශ්නය මුල්කරගෙනය. ඒවාගේම රාජපක්ෂ දේශපාලනයේ වැටීමට මුලපුරන්නේද එම ප්‍රශ්නය විසදාගැනීම වෙනුවට එය තම බඩගෝස්තරය කර ගැනීම හේතුකරගෙනය.

කෙසේ වුවද දැන් සිදුවී ඇති දේශපාලන බලමාරුව මෙන්ම එයට ජාත්‍යන්තර සහාය සහ ආශිංසනය ලැබී ඇති ප්‍රමාණයෙන්ද වහාම විසදා ගැනීමට ඇති ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ජනවාර්ගික අර්බුදයයි. ඉතිහාසය තුල මෙම ප්‍රශ්නයට විසදුම් සොයාගැනීම මගහැරීම තුල ලංකා සමාජයට විශාල ලෙස වන්දි ගෙවීමට සිදුවිය. නිදහසින් පසු ලංකා සමාජය ලාංකීය ජනතාවක් ලෙස වර්ධනය වනු වෙනුවට දිගින් දිගටම සිංහල සහ දෙමල වාර්ගික ධ්‍රවීකරණයක් වෙත තල්ලුවෙනු ලැබීය. ඉතිහාසයේ මොනයම් හේතු තිබුනා වුවත් නිදහසින් පසු දේශපාලන බලය හෙබවූ පක්ෂ සහ රජයන් මෙම දේශපාලන තත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුතුය. එක පැත්තකින් සිංහල ජාතික දේශපාලනය එහි වර්ගවාදී සිංහල ජාතිවාදය තුලින් තම පුද්ගල වාසි ලබා ගැනීමට මාන බැලූ අතර මේ නිසාවෙන්ම මතුවන දෙමළ ජාතික දේශපාලනයද ඒ අයුරින්ම එහි දෙමළ ජාතිවාදී අන්තයට ඇදුන හැටි නිදහසින් පසු මෑත ඉතිහාසය හොදින් පෙන්නුම් කරයි. මෙම දේශපාලනය පටු ආත්මාර්ථය මුල්කරගෙන මෙහෙයවීම හේතුකරගෙන වරින් වර මුලින්ම ජීවිත සිය ගණනිනුත් පසුව එය දහස් ගණනිනුත් අවසානයේ එය දස දහස් ගණනිනුත්බි ලි ගත් බව නිදහස් දේශපාලනය තුල අපරට අත්දකිනුලැබූ කටුක සත්‍යයි.

අද ඇතිවී ඇති දේශපාලන වාතාවරණය (මේසා විශාල අර්බුද මැද පවා) අපේ කේනද්‍රීය ප්‍රශ්නය වන, එමෙන්ම අප සමාජයේ සියළු සංවර්ධනයන් මෙන්ම සියළු සදාචාරයන් වැනසීමට මුල්වූ ප්‍රශ්නය වන ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසදුමක් උදාකර ගැනීමට ඉතිහාසය අප රටට නැවත අවස්ථාවක් ලබා දී ඇත. එම අවස්ථාව ප්‍රයෝජනයට ගන්නවාද, එතුලින් අප නිදහසින් පසු දීර්ඝ කාලීනව අගාධයකට ගමන් කරවූ, තවදුරටත් නිමවී නැති ගමනට තිත තබනවාද යන තීරණාත්මක අවස්ථාවකට අප මුහුණ දී සිටිමු.

මෙවැනි තීරණාත්මක ප්‍රශ්නයකට විසඳුම් සොයා ගැනීමට අවස්ථාවන් සුළභ නොවේ. ජනවාර්ගික ප්‍රශ්නයට විසදුම් දෙනවානම් එසේ විසදුම් දීමට අපට අප ඉතිහාසයේ අවස්ථා ගණනාවක්ම මතුවී තිබූ අතර එම අවස්ථාවන් දේශපාලඥයන්ගේ පටු බලලෝභය සහ මුදල් තන්හාව නිසා බාධා කර මගහරවා ගනු ලැබීමු. වසර ගණනාවකට වතාවක් එසේ ලබන අවස්ථා දේශපාලඥයන්ගේ මේ බලතන්හාව යන පටු හේතුව තුල කඩා කප්පල් කිරීම නිසාවෙන් නැවත නැවතත් ලංකා සමාජයේ අසරණ මිනිස් ජීවිත දහ ගණනින් බිලි ගනු ලැබූ බව අප දනිමු. මෑතම ඉතිහාසයේ 1994 න් පසු ලැබූ අවස්ථාව මගහරවා ගත් අපි නිදහසින් පසු ලංකා ඉතිහාසයේ ඉතා වැදගත්ම ක්‍රියාවක් වන 2002 සාම ගිවිසුම අත්සන් කිරීම තුලින් ලැබූ අවස්ථාවල ජාතිවාදයන්ගේ උන්නතිකාමය (සිංහල සහ දෙමළ) නිසාවෙන් මගහරවා ගත්තෙමු. එහි ප්‍රතිඵලය ලෙස කොපමණ ජීවිත ප්‍රමාණයකින් අප වන්දි ගෙව්වාද යන්න ලෝකයම දනී. එහි වන්දිය ලෙස රටේ සම්පත් විශාල ප්‍රමාණයක් විනාශ කර ගනු ලැබීය. ඒවාගේම එහිම ප්‍රතිඵලය ලෙස රාජපක්ෂ කල්ලියේ අඩස්සියට මුළු ලංකා සමාජයම යටපත් කර ගැනීමට අවස්ථාවද උදාකර දෙනු ලැබීය. සිංහල දෙමළ ජනයා වර්ග ලෙස සම්පූර්ණ ධ්‍රැවිකරණයකට හසුවීම ද මෙහිම ප්‍රතිඵලයකි.

කෙසේ වුවද මේ සියළු විනාශයන්ගෙන් පසුව වුවත් දැන් නැවත එම අවස්ථාව මින් පෙර කිසිදිනෙක නොලද අයුරකින් අපට නැවත ලැබී ඇත. රටෙහි ප්‍රධාන පක්ෂ දෙකෙහිම කොටස්වලින් සමන්විත රජයක් අප වෙත ලැබී තිබේ. ප්‍රශ්නයට දේශපාලන විසදුම් දිය යුතුය යන මතය දරණ ජනාධිපතිවරයෙකු සහ අගමැතිවරයෙකු ද පත්ව සිටී. දෙමළ ජනයා නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂය මෙම ප්‍රශ්නය දේශපාලන විසදුමකින් විසදා ගැනීමට තම දෑතම ලංකා රාජ්‍ය වෙත දිගුකර තිබේ. සිවිල් සමාජයේ සහ ලංකා සමාජයේ වැසියන්ගෙන් වැඩි ප්‍රමාණයක් මෙම ප්‍රශ්නය විසදා ගැනීමට රජය සහාය දීමට එකපයින් සැදී සිටී. ඔවුන් එය විසදාවි යැයි ප්‍රාර්ථනය කරති. තවදුරටත් මෙයට එරෙහිව සිටින්නේ රාජපක්ෂ කල්ලියේ ජාතිවාදී, බඩගෝස්තරවාදී, මජර දේශපාලන කල්ලිය පමනි. ඔවුන් පැහැදිලිවම රටේ සුළුතරයයි. ඔවුන් පරදවා ජය ගැනීමට මේ මොහොත පාවිච්චි නොකරන්නේ නම්, රට නවීන ලෝකය තුල සභ්‍යත්වයක් ඇති රටක් දෙසට යොමු නොකරන්නේ නම් එය ලංකා ජාතියේ අවාසනාවකි. ඉතිං මේ මහගු අවස්ථාව නැවතත් අප මගහරිමු නම් එය නැවත අප සමාජයට ලේ ගංඟාවල පිහිනීමටත් රටක් ලෙස සංවර්ධනය වීම වෙනුවට අගාධයටම ඇද වැටීමටත් මග පාදනු ඇත.

ඉතිහාසයේ මෙම ප්‍රශ්නයට විසදුම් සෙවීමට ලැබූ හැම අවස්ථාවක්ම අප නැතිකර ගනු ලැබුවේ එයට විසදුම් සෙවිය යුතු මොහොතේ ඒ ගැන කල්බැලීම හේතුවෙනි. ඉන්පසුව එම ප්‍රශ්නයට විසදුම් සෙවීමට තිබූ එම අවස්ථාව නැතිවූවායින් පසු ලතවීම අපට හුරු ක්‍රමයයි. එනිසා දැන් අප වෙත ලැබී ඇති මේ අවස්ථාව කල් බලමින් ගත නොකොට හෙට ප්‍රමාද වැඩි බව වටහා ගෙන අදම ප්‍රශ්නයට විසදුම් සෙවිය යුතුව ඇත.

මෙහිදී සිවිල් සමාජය සතුවද විශාල වගකීමක් තිබෙන බව අප අමතක නොකළ යුත්තෙමු. ඉතිහාසයේ අත්දැකීම් අපට පෙන්වා දෙන්නේ නිදහසින් පසු ලංකාව මෙවැනි අගාධයකට ගෙනයාමට දේශපාලන නායකත්වය හේතු වූවා මෙන්ම ලංකාවේ සිවිල් සමාජයද එම වැරැද්ද මගහැරවීමට තමන් සතු වගකීමද හරියාකාරයෙන් ඉටු නොකළ බවයි. එසේ නැතිනම් ප්‍රශ්නය විසදීම දේශපාලඥයන්ටම භාරදී බලා හිද ඇත. නිදහසින් පසු හතලින් අටේදී පුරවැසි පනත තුලත්, පනස් හයේදී දී සිංහල පමණක් තුලිනුත් කළ වැරදි මෙන්ම පනස් අටේදී විසදුමක් සෙවීමට ඉඩ ඇහිරීම, හැටහතේදී එම අවස්ථාව නැවත නැතිකර ගැනීම ආදී දේශපාලඥයන්ගේ අසාර්ථක බව හදුනාගැනීමට උවමනාවටත් වඩා ඉඩකඩ සිවිල් සමාජයට තිබුනා වුවත් ඔවුන්ද නැවත නැවතත් වගකීම දේශපාලඥයන්ටම පවරා බලා සිට ඇත. අනූහතරේදී යම් ප්‍රමාණයකට සිවිල් සමාජය පෙරට ආවා වුවත් එහිදීද තම වගකීම නැතිනම් තමන්ද ප්‍රශ්නය විසදීමේ කොටස්කරුවන් බව අමතක කර පැත්තකට වී ඇත. ඒවාගේම 2002 -2005 දක්වා සාම ක්‍රියාදාමය කඩාකප්පල් වන තුරුම සිවිල් බලවේග තමන් උපරිම බලයක් යොදා එය කඩාකප්පල් කිරීම වැලකීම සඳහා ක්‍රියාත්මක නොවූබව අප දන්නෙමු.

දේශපාලනයේ බලවතුන්ටම එම වගකීම පවරා (දේශපාලන බලය විසින් මේ විසඳුම දියයුතු වූවා වුවත්) සිටීමෙන් එම විසදුම් දීමට ඔවුන් දක්වන නොහැකියාව සහ මැලිකම් නිසා එම අවස්ථාවන් නැති වීමට ඉඩ සැලසී තිබේ. නමුත් එම දේශපාන තීන්දු නිසා රටවැසි ජීවිත දස දහස් ගණන් බිලිගත් බව නොරහසකි. එදා හතලිස් අටේදී පනස් හයේදී හෝ පනස් අටේදී, හැට පහේදී හෝ හැත්තෑවේදී තිබූ සමාජ දැනුමට වඩා සමාජ දැනුමක් අද සිවිල් සමාජය සතුය. එදා නොලැබූ ජාත්‍යන්තර සහායක් අද ලබා ගත හැක. ලෝකය එදා මෙන් දුරස්ථ තැනක් නොව ළඟ තැනකි. රටතුල සිවිල් සමාජයට රටින් පිට ජීවත් වන සිවිල් සමාජ සහාය ලබා ගත හැක. දේශපාලඥයන් තම පටු උවමනාවන් තුල සිරවී සිටීනම් ඔවුන් ලව්වා තම සමාජ ප්‍රශ්නය විසදවා ගැනීම සඳහා ඔවුනට බලපෑම් කිරීම සිවිල් සමාජය සතු කාර්යයකි.

ඉතිහාසය තුල මගහැරුණු අවස්ථා ගැන ලතවීම හෝ එනිසාම දුර්මුඛව අධෛර්යෙන් බලා සිටීම වෙනුවට දැන් නැවත මෙම ප්‍රශ්නය විසදා ගැනීමට පැමිණ ඇති අවස්ථාව තුල එයට විසදුම් සෙවීමට දේශපාලනයට විවේචනාත්මක සහායක් දෙමින් බලපෑමක් කිරීම, ඒ සඳහා සිවිල් ජනයා පෙලගැස්සවීම දැන් සිවිල් සමාජය සතු වගකීමයි.

‘උනුත් එකයි මුනුත් එකයි’, ‘මොක්කු ආවත් එකම දේමයි’ එසේ නැත්නම් ‘අපි ඕක තමා කිව්වෙ’ ආදී වදන් ප්‍රශ්නයට විසදුම් හෝ කිසිවෙකුට ප්‍රයෝජනයක් නොගෙනෙනු ලබයි. එතුලින් කළ හැක්කේ තමන්ගේ ඇඟ ගලවා ගැනීමට මගක් හෙලිකර ගැනීම පමනි. එනිසා අද ඇතිවී ඇති මෙම ඉඩකඩ මේ ප්‍රශ්නය විසදා ගැනීමට ප්‍රයෝජනයට ගනිමු. තවත් වසර ගණනක් ජනවාර්ගික ප්‍රශ්නය නිසා ජනසංහාරයන් සිදුවීමට දැන් තිත තැබිය යුතුව ඇත. එය දේශපාලඥයන්ගේ සහ සිවිල් සමාජයේ මේ මොහොතේ වගකීමයි.

Back to Top