Sri Lanka Brief
UN-Sri Lankaපුවත්පුවත් විශේෂාංගජිනීවා යෝජනාවෙන් අදහස් වන දේ සහ එය ශ්‍රී ලංකාවට සාධනී්‍ය ලෙස වෙනස් වූ අයුරු

ජිනීවා යෝජනාවෙන් අදහස් වන දේ සහ එය ශ්‍රී ලංකාවට සාධනී්‍ය ලෙස වෙනස් වූ අයුරු

by

මිානව හිමිකම් කවුන්සලයේ 30 වන සැසිවාරය –

කෙටුම්පත් යෝජනාවලිය.

2 වන අයිතමය – ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය, වගවීම හා මානව අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම්‍.

 

මානව හිමිකම් කවුන්සලය.

පෙර වදනට අදාළ ඡේද:

 

අර්ථ නිරූපනය: යෝජනාවලියක පෙරවදනට අදාළ ඡේද මගින් සිදු කරන්නේ අදාළ යෝජනාවලියේ පසුබිම සහ හරය පැහැදිලි කිරීමටයි. යෝජනාවලියේ ක්‍රියාත්මක කිරීමේ පරිච්ඡේද මෙන් පෙරවදනට අදාල ඡේද ක්‍රියාත්මක කිරීමේ වගකීමෙන් බැඳෙන ඡේදයන් නොවන නමුත් එකී ඡේදයන් මගින් යෝජනවට පදනම් වූ තාර්කික චින්තනයන් පැහැදිලි කර දෙනු ලබයි. ක්‍රියාත්මක කිරීමේ පරිච්ඡේදයන් අර්ථ දැක්වීමේදීද මෙම පෙරවදනට අදාල ඡේද උපකාරී වේ. ක්‍රියාත්මක කිරීමේ පරිච්ඡේදයන් අපැහැදිලි වන අවස්ථා වලදී හෝ ඊට එකකට වැඩි අර්ථ ගණනක් ආරෝපණය කල හැකි අවස්ථා වලදී, එකී ක්‍රියාත්මක කිරීමේ පරිච්ඡේදයෙහි වඩාත්ම නිවැරදි අර්ථය හඳුනා ගැනීමට බොහෝ අවස්ථාවලදී පෙරවදනට අදාල පරිඡේද ඇසුරු කර ගනු ලබයි.

මීට පෙර කෙටුම්පතෙහි භාෂාවට සිදු කර ඇති වෙනස්කම් බොහොමයක් වගවීම, එක්සත්ජාතීන්ගේ ක්‍රියාවලිය සහ සංහිඳියාව පිලිබඳ රජයේ දේශපාලන මතය උලුප්පා දැක්වීමේ අරමුණින් කර ඇති බව පාඨකයන්ට පැහැදිලි වනු ඇත.

 

පීපී 1. එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අරමුණු හා මූලධර්මයන් යළි ප්‍රතිඥා දෙමින්,

 

පීපී.2. මානව හිමිකම් පිළිබඳ පොදු ප්‍රකාශනය, මානව හිමිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මතය සහ වෙනත් විධිමත් ලේඛණවලින් මාර්ගෝපදේශකත්වය ලබා ගනිමින්,

පීපී. 3. ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන කටයුතු හා වගවීම පිළිබඳ කටයුතු වර්ධනය කිරීම සම්බන්ධයෙන් 2012 මාර්තු 22 වන දිනැති අංක 19/2 දරණ යෝජනාව, 2013 මාර්තු 21 දිනැති අංක 22/1 දරන යෝජනාව සහ 2014 මාර්තු 27 දිනැති අංක 25/1 දරන යෝජනාවන් ද නැවැත සැලකිල්ලට ගනිමින්,

අර්ථ නිරූපනය: ඉහත දැක්වෙන ඡේදයන් ත්‍රිත්වය මානව හිමිකම් කවුන්සිලයේ සෑම යෝජනාවලියකම පාහේ අන්තර්ගතවන සම්මත ඡේදයන් වේ.

පීපී. 4. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, නිදහස, සමගිය හා භෞමික අඛණ්ඩතාව කෙරෙහි ඇපකැප වන බවට ප්‍රතිඥාදෙමින්

අර්ථ නිරූපනය: මෙම ඡේදය මීට පෙර ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාව පිලිබඳ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවලීන්ගෙන් උපුටා ගත් එකකි. ඇතැමෙක් ප්‍රකාශ කල පරිදි මෙම යෝජනාව වෙනම රාජ්‍යක් පිහිටුවීම අරමුණු කර ගත් එකක් නොවන බව මෙම ඡේදයෙන් පැහැදිලි වේ.

පීපී. 5. මුළු මහත් ජනතාවට සියළුම මානව හිමිකම් හා මූලික නිදහස භුක්ති විඳීමට

ඇති අයිතිය එක් එක් රාජ්‍යය වෙත පැවරෙන වගකීමක් බවට ප්‍රතිඥාදෙමින්,

 

අර්ථ නිරූපනය: අන්තර්ජාතික මානව හිමිකම් නීතියට අනුව රටක මානව හිමිකම් ආරක්ෂා කිරීමේ මුලික වගකීම රජය සතු වේ.

පීපී.6. 2015 ජනවාරි මාසයේ දී හා අගෝස්තු මාසයේ දී පැවති ඓතිහාසික නිදහස් හා සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ගැන සතුටුවෙමින්,

අර්ථ නිරූපනය: ශ්‍රී ලංකාව තුල 2015 වසරේ ජනවාරි මාසයේදීත් ඉන් පසුව අගෝස්තු මාසයේදීත් සිදු වූ වෙනස්කම් පිළිබඳව යෝජනාවලියේ සඳහන් කිරීම පිළිබඳව මෙම යෝජනාවලියේ සම අනුග්‍රාහකයන් ඉමහත් උනන්දුවක් දැක්වීය. ඇමරිකා එක්සත් ජනපදයේ ජිනීවා තානාපති කීත් හාපර් මහතා දිගින් දිගටම අවධාරණය කර සිටියේ මෙම යෝජනාවලිය තුල යථාර්තයන් ද්විත්වයක් සඳහන් කලයුතු බවයි. ඉන් පළමුවැන්න ශ්‍රී ලංකාව තුල ඇති වී තිබෙන වෙනස්කම් වන අතර දෙවැන්න ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිලිබඳ එක්සත් ජාතීන්ගේ පරීක්ෂණ වාර්තාවේ සඳහන් මානව හිමිකම් උල්ලංඝනය වීම් සහ අපරාධයන්හි බරපතලකම සහ වැදගත්කම පිළිබඳව කරුණු දැක්වීමයි.

පීපී.7. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනව වන සංශෝධනය සම්මත කරගැනීම හා ක්‍රියාවට නැංවීම මෙන්ම ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථාපිත යුතුකම් වන ජාතික ප්‍රතිසන්ධානය හා සමගි සමෝධ්‍යාය ඇතුළුව, ප්‍රජාතන්ත්‍රික පාලනය හා ප්‍රධාන ආයතන ගැන ස්වාධීනව සොයා බැලීම සම්බන්ධයෙන් දක්වන ලද උනන්දුව සැලකිල්ලට ගනිමින්,

අර්ථ නිරූපනය: 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතු කොට ගෙන වගවීම සම්බන්ධ සිද්ධීන් පිලිබඳ කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව තවදුරටත් ශක්තිමත් වූ බවට රජය විසින් ඉදිරිපත් කරන තර්කය ශක්තිමත් කිරීමේ අටියෙන් මෙම ඡේදය ඇතුලත් කරන්නට ඇතැයි කල්පනා කල හැකිය. ජනාධිපතිවරයාගේ කාර්යභාරය ඇතුලත් අවසන් පේලි කිහිපය, සැප්තැම්බර් මස 22 වන දින යෝජනා කෙටුම්පත සම්බන්ධයෙන් පැවති නිල නොවන සැසියේදී ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කල යෝජනා වලට අනුව ඇතුලත් කර ඇත.

පීපී.8. මානව අයිතිවාසිකම්වලට වැඩි වැඩියෙන් ගරු කිරීම සහ යහපාලනය හා ප්‍රජාතන්ත්‍රික ආයතන ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය විසින් 2015 ජනවාරි මාසයෙන් පසුව ගන්නා ලද පියවර සතුටින් පිළිගනිමින්,

අර්ථ නිරූපනය: නැවත වරක්, යෝජනාවලිය මගින් ශ්‍රී ලංකාව තුල 2015 වසරේ ජනවාරි මාසයේ සිට සිදුවූ වෙනස්කම් අගය කිරීම තහවුරු කර සිටයි.

පීපී.9. අල්ලස් ගැනීම, දූෂණ, වංචා හා බලතල වැරදි ලෙස පාවිච්චි කිරීම පිළිබඳ චෝදනා පිළිබඳ විමර්ශන පැවැත්වීම, එම විමර්ශනවල වැදගත්කම අවධාරණය කිරීම සහ දුර්විපාක බලපැවැත්වීම වැළැක්වීමෙන් තොරව හායහපාලනයෙන් යුතුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය විසින් දරන ලද ප්‍රයත්න සතුටින් පිළිගනිමින්,

අර්ථ නිරූපනය: මෙම ඡේදය මානව හිමිකම් උල්ලංඝන වීම් හා වංචා දුෂණ අතර ඇති සම්බන්ධය පිළිබඳව කරුණු දක්වන බැවින් වැදගත් වේ. එමගින් මානව හිමිකම් උල්ලංඝනය වීම් හා වංචා දුෂණ විමර්ශනය කිරීමේ යාන්ත්‍රණයන්ට එකවරම දොරටු විවර වේ. රජයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කල ප්‍රකාශයක් උපුටා දක්වමින් “ද අයිලන්ඩ්” පුවත්පත සඳහන් කලේ ඉහත කරුණු දෙකම විමර්ශනය කිරීම විදේශීය සහභාගීත්වය ඇති අධිකරණ ක්‍රියාවලියක් මගින් කල හැකිවනු ඇති බවයි. රජයේ ස්ථාවර ප්‍රතිපත්තිය මෙය නොවීමට බොහෝ ඉඩකඩ පැවතියද රජයේ ඇතැම් පාර්ශවයන් මේ ආකාරයෙන් සිතනව විය හැකිය.

පීපි.10. කලින් ගැටුම්වලින් බලපෑමට ලක් වූ උතුරු හා නැගෙනහිර පළාත් වල සිවිල් පරිපාලනය ශක්තිමත් කිරීමත්, යටිතල පහසුකම් නැවත ගොඩගැනීම, බිම් බෝම්බ ඉවත්කිරීම හා අභ්‍යන්තරව අවතැන්වූවන් නැවත පදිංචි කිරීම, මෙම ප්‍රයත්නයෙන් හිදී විශේෂයෙන්ම කටයුතු කඩිනම් කොට අභ්‍යන්තරව අවතැන් වූ සියලු දෙනාටම කල්පවතින විසඳුම් සලසාදීමෙහි ලා එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය ඉල්ලා සිටීමට ගන්නා ලද පියවර සතුටින් පිළිගනිමින්,

අර්ථ නිරූපනය: මෙම ඡේදයේ භාෂා භාවිතය ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත ශ්‍රී ලංකාවේ යහපත උදෙසා වෙනස් කරන ලදී. මීට පෙර මෙහි දැක්වුණේ, “ ශ්‍රී ලංකා රජය රටේ යටිතල පහසුකම් ගොඩ නැංවීමටත්, අභ්‍යන්තරවශයෙන් අවතැන් වුවන් යලි පදිංචි කිරීමේදීත් රජයේ ප්‍රගතිය පිළිගනිමින් හා අගය කරන අතරම තවදුරටත් යුක්තිය හා ප්‍රතිසංධානය ඇති කිරීමේදී මෙන්ම අභ්‍යන්තරවශයෙන් අවතැන්වූවන්ට දීර්ඝකාලීන විසදුම් ලබා දීමේදී තවමත් සැලකියයුතු කරභාරයක් ඉතිරිව ඇති බව,” යනුවෙනුයි. එහි “තවමත් සැලකියයුතු කරභාරයක් ඉතිරිව ඇති බව” යන කොටස වෙනුවට මෙම ඡේදයෙන් ශ්‍රී ලංකා රජයට සහය දැක්වීමට අන්තර්ජාතික ප්‍රජාවට ඇරයුම් කර සිටී. මෙම වෙනස් කිරීම ශ්‍රී ලංකාව විසින් සැප්තැම්බර් 22 වන දින පැවති නිල නොවන සැසියේදී යෝජනා කරන ලද්දකි.

පීපි.11.ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා

අපචාරයන් පිළිබඳ වාර්තා පිලිබඳ අවධාරණය කරමින්, ලිංගික අපරාධ සහ වදදීම් සම්බන්ධයෙන් මෙන්ම මානව හිමිකම් ආරක්ෂා කරන්නන් හා සිවිල් සමාජ සාමාජිකයින් පැහැරගැනීම, ඔවුන් කෙරෙහි එල්ලවෙන තර්ජන හා බියවැද්දීම් පිළිබඳ ප්‍රශ්ණ සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ප්‍රකාශිතවම කර ඇති ඇප කැපවීම සැලකිල්ලට ගනිමින් සිවිල් සමාජයේ සාමාජිකයින් හා මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සඳහා උදාකර දී ඇති යහපත් වාතාවරණය ගැන සතුට පලකරමින්,

 

අර්ථ නිරූපනය: මෙම ඡේදයේ භාෂාවද ශ්‍රී ලංකාවට සහනශීලී වන අයුරින් මෘදු ස්වරයක් සහිත වන සේ සංශෝධනය කලද, ලිංගික ප්‍රචණ්ඩත්වය හා අමානුෂික වද හිංසා පිලිබඳ වාර්තාවීම් මෙන්ම විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි සිවිල් සමාජ නායකයින්ට හා මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ට එල්ලවී ඇති තර්ජන පිළිබඳව සඳහන් කරයි. කෙටුම්පතෙහි මීට පෙර දැක්වුණේ, “ ශ්‍රී ලංකාවේ සිදුවෙමින් පවතින ලිංගික හා ලිංගිකත්වය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය, වද හිංසා, පැහැරගෙන යාම්, සිවිල් සමාජ නායකයින් හා මානව හිමිකම් ආරක්ෂා කරන්නන්ට එල්ල වන තර්ජන ඇතුළු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අපචාරයන් පිලිබඳ අවධානය යොමු කරමින් ”, යනුවෙනුයි.

 

පීපි.12 ආගම්, විශ්වාස සහ වර්ගවාදය පිළිබඳ භේද ගැන නොතකා සියලුම ශ්‍රී ලාංකිකයන්ට සාමකාමී හා ඒකීය භූමියක් තුළ මානව හිමිකම් පූර්ණ වශයෙන් භුක්ති විඳීම සඳහා ඇති අයිතිය ගැන නැවත ප්‍රතිඥා දෙමින්,

අර්ථ නිරුපනය: නැවත වරක් මෙම ඡේදය මගින් ශ්‍රී ලාංකිකයන් අතර ඇති සමානාත්මතාවය හා ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා එකමුතුව ජීවත්වනු දැකීම සඳහා ඇති කැමැත්තද ප්‍රකාශ කර තිබේ.

පීපි.13. ත්‍රස්තවාදයට විරුද්ධව කටයුතු කිරීම සඳහා ගන්නා ඕනෑම පියවරක දී රාජ්‍ය ජාත්‍යන්තර නීතිය පිලිබඳ බැඳීම්වලට, විශේෂයෙන් අදාළ වන පරිදි ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය, ජාත්‍යන්තර සරණාගතයින් පිළිබඳ නීතිය හා ජාත්‍යන්තර මානව හිතවාදීන් පිළිබඳ නීතිය පිළිබඳ බැඳීම්වලට යටත් විය යුතු බවට නැවත ප්‍රතිඥා දෙමින්,

අර්ථ නිරූපනය: මෙම ඡේදයද 2014 වසරේ මාර්තු මස මානව හිමිකම් කවුන්සිලය විසින් සම්මත කල යෝජනාවේ දැක්වේ. එමගින් ත්‍රස්තවාදයට විරුද්ධව කටයුතු කිරීමේදී ගන්න පියවර පවා නීත්‍යනුකුල විය යුතු බව සිහිපත් කර ඇත.

පීපි.14.2015 පෙබරවාරි 04 වන දින රජය විසින් කරන ලද සාම ප්‍රකාශය සම්බන්ධයෙන් හා සියලුම ජාතිවල හා ආගම්වල ප්‍රචන්ඩත්වයට ගොදුරු වු හා ජීවිත හානියට පත්වූවන් සිහිපත් කිරීම සම්බන්ධයෙන් කරන ලද කටයුතු ගැන සතුට පළ කරමින්,

 

අර්ථ නිරුපනය: මෙම ඡේදය මගින් ශ්‍රී ලංකාවේ සිදුව ඇති වෙනස්කම් පිළිගැනීමට කෙටුම්පත සැකසුවන්ගේ ඇති කැමැත්ත පැහැදිලි වේ.

 

පීපී.15. වගවීම තහවුරු කර ගැනීමත්, සාධාරණත්වය සලසාදීමත්, විපතට පත්වූවන් සඳහා පිළියම් සෙවීමත්, සමථයකට පත් කිරීමත්, ප්‍රතිසන්ධාන කටයුතු කිරීමත්, සමස්ත ආරක්ෂක පද්ධතිව ගැන ස්වාධීනව සොයා බැලීමත්, රජයේ ආයතන පිළිබඳ විශ්වසය තහවුරු කිරීමත්, ජාත්‍යන්තර මානව හිමිකම් පිළිබඳ නීතියට අනුකූලව නීතියේ ආධිපත්‍යය ප්‍රවර්ධනය කිරීමත්, ප්‍රචණ්ඩත්වය හා අපචාර නැවත සිදුවීමේ අවස්ථා ඇහිරීමත් සඳහා අධිකරණමය හා අධිකරණමය නොවන පියවර ගැනීම, තනි පුද්ගල නඩු පැවරීම් හා හානිපූරණයන්, සත්‍ය සෙවීම්, ආයතනික ප්‍රතිසංස්කරණ කටයුතු කිරීම, රාජ්‍ය සේවකයන් හා නිලධාරීන් විශේෂ පරීක්ෂණයට භාජනය කිරීම හා එම කටයුතු නිසි ආකාරව කිරීම සම්බන්ධයෙන් සමවබෝධ ප්‍රවේශයක් ගැනීමේ වැදගත්කම අවධාරණයට ලක් කරමින්, සියලු පාර්ශවයන්ගේ අදහස් විමසමින්, අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාව සලසා දීමට රජයේ කැපවීම පිලිගනිමින්,

 

පහත ඡේදය සඳහා වන අර්ථ නිරුපනය බලන්න.

පීපී.16. පසුගිය කාලයේ සිදු වූ අපචාරයන් හා උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් සහන කටයුතු කරන ආයතන ස්වාධීන, අපක්ෂපාතී හා විනිවිදභාවයෙන් යුතු වන විට, ඒවා ඉහළම නිපුණත්වයෙන් යුතු, අවංක හා අපක්ෂපාතී පුද්ගලයින් විසින් නිර්මාණාත්මක හා සහභාගිත්ව ක්‍රම අනුගමනය කරමින්, එනම් සියලුම ප්‍රදේශවල සියලුම ආගමික හා වාර්ගික කොටස් නියෝජනය කරන විපතට පත්වූවන්, කාන්තාවන් හා තරුණ තරුණියන්ගේ සහභාගිත්වය ඇතිව, එහෙත් ඔවුන්ට පමණක් සීමා නොකොට සියළු දෙනා සාධාරණ සහයෝගිත්වයෙන් දේශීය හා විදේශීය අත්දැකීම් ඇති අයගේ විශේෂඥ උපදෙස් සහිතව නිර්මාණය කර ක්‍රියාත්මක කිරීම්දී එම යාන්ත්‍රණය මනාව ක්‍රියාත්මක වන බව පිළිගනිමින්,

 

අර්ථ නිරුපනය: ඉහත ඡේදයන් ද්විත්වය ඉතාම වැදගත් වේ. සම අනුග්‍රාහකයින් විසින් මීට පෙර බෙදා හරින ලද කෙටුම්පතෙහි දැක්වුණේ “සංක්‍රාන්ති යුක්තිය” යන පදයයි, නමුත් ඒ වෙනුවට “ අතීතය පිලිබඳ කටයුතු කිරීම” යන වාක්‍ය ඛණ්ඩය භාවිත කිරීමට ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍යංශය කැමැත්තක් දැක්වූ බව අවබෝධ කරගත හැකි වේ. මේ වාක්‍ය ඛණ්ඩ අතර පැහැදිලි වෙනසක් නැති අතර මෙහි වෙනස බොහෝ විට අධ්‍යයන කව මට්ටමින් සාකච්ඡාවට බඳුන් වන එකකි. විදේශ අමාත්‍යංශය “සංක්‍රාන්ති යුක්තිය” යන්න භාවිත කිරීමට මැලි වුයේ මන්ද යන්න ගැටලුවකි.

 

මෙම ඡේදයන් ද්විත්වය “ සංක්‍රාන්ති යුක්තිය” නොහොත් “අතීතය පිලිබඳ කටයුතු කිරීමට” අයත් වන්නේ කුමන දේවල්ද යන කරනවා සම්බන්ධයෙන් ඉතා පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරයි. සත්‍ය සෙවීම, නඩු පැවරීම, හානි පුර්ණය, මානව හිමිකම් උල්ලන්ඝනයන්ට සම්බන්ධ පුද්ගලියින් හමුදාවෙන් හා පොලීසියෙන් ඉවත්කිරීම හා ඒවාට බැඳීමට ඉඩ නොදීම සහ අපරාධ යලි ඇති වීම වැලැක්වෙන පරිදි ආයතනික ප්‍රතිසංස්කරණ සිදු කිරීම ආදී ප්‍රධාන වශයෙන් වැදගත් වන කරුණු එහි අඩංගු වී ඇත.

 

එසේම අතීයය පිලිබඳ කටයුතු කිරීමේ ප්‍රතිපත්ති සැකසීමේදී අපක්ෂපාතීත්වය, ස්වාධීනත්වය හා විනිවිද භාවය යන වැදගත් මුලධර්මයන් පදනම් කරගනිමින් උපදේශන සහිතව කටයුතු කිරීමේ වැදගත්කම පිළිබඳවත් කරුණු දක්වයි. මෙහිදී සෑම

කේෂ්ත්‍රයකින්ම උපදේශන ලබා ගැනීම වැදගත් වේ. අවසානයේ රට තුලින් හා පිටතින් යන දෙකොට්ඨාශයෙන්ම ලබා ගත උපදේශන මත අතීතය පිලිබඳ ක්‍රියා කිරීම සඳහා වන ප්‍රතිපත්ති සැකසිය යුතු වේ.

පීපී.17. මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා අයථා භාවිතය වඩාත්ම වගකිව යුතු

පුද්ගලයන් හා විශ්වාසනීය වගවීමේ ක්‍රියාවලියන් ස්ථාපනය කිරීම මගින්, ගරුත්වයෙන් හා වෘත්තීයභාවයෙන් යුතුව යෝග්‍ය ආකාරයෙන් කටයුතු කළ ආරක්ෂක හමුදා ඇතුළු සියලු පුද්ගලයන්ගේ කීර්තිය ආරක්ෂා වනු ඇති බව පිළි ගනිමින්,

 

අර්ථ නිරුපනය: සම අනුග්‍රාහකයින් විසින් මෙම ඡේදය ඇතුලත් කර ඇත්තේ වග වීම සම්බන්ධ ක්‍රියාවලියේ අරමුණ හමුදාවේ සියලු දෙනාට දඬුවම් කිරීම නොවන බව ශ්‍රී ලංකාවේ ජනතාවට සහ හමුදාවන්ට හැඟවීම සඳහායි. එහිදී නීත්‍යනුකුලව කටයුතු කල සියලු නිලධාරීන්ගේ ගෞරවය ආරක්ෂා වන පරිදි, නීතිවිරෝධී ක්‍රියාවන් සිදු කළවුන් හට පමණක් ඒ ඒ වරදෙහි වගකීම පවරනු ලැබේ.

 

පී.පී.18. වරදට දඬුවම් ලබා නොදීමේ යුගය අවසාන කිරීමේ අරමුණ සහිතව ජාත්‍යන්තර නීතිය යටතේ අපරාධ ගණයෙහි ලා සැලකෙන මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝණය කිරීම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංඝණය කිරීම් සඳහා වගකිව යුතු වන පුද්ගලයන්ට චෝදනා කිරීම සඳහා ඇති බැඳීම ඉටු කිරීම පිණිස රාජ්‍යයන්ට ඇති වගකීම සිහිපත් කරමින්,

අර්ථ නිරුපනය: මෙම ඡේදය මගින් අන්තර්ජාතික අපරාධයන් පිළිබඳව පිළිගත් අන්තර්ජාතික නීතිය කුමක්ද යන්න දක්වා ඇත. 2014 වසරේ මාර්තු මස සම්මත වූ 25/1 දරන යෝජනාවේද මෙවැනිම ඡේදයක් අඩංගු විය.

 

පීපී.19. රජය විසින් පවරා ගෙන තිබූ අධි ආරක්ෂිත කලාප පිළිබඳව සමාලෝචනයට ලක් කර, එම ඉඩම් නැවත ඒවායේ නියම හිමිකරුවන් වූ සිවිල් ජනතාවට ලබාදීමට හා සිය ජීවනෝපායයන් ආරම්භ කර නැවත සාමාන්‍ය ජීවිතයට එළඹීම සඳහා දේශීය ජනතාවට සහායවීමට රජය ගත් මූලික පියවර පිළිගනිමින්,

 

අර්ථ නිරුපනය: සාමාන්‍ය ජනතාවගේ ඉඩම් යලි ලබා දීමේදී රජය විසින් අත් කරගෙන ඇති ප්‍රගතිය මෙමගින් හඳුනාගෙන තිබේ. “ රජය ගත මුලික පියවර” යන කොටස ඉවත් කරන ලෙස ශ්‍රී ලංකා රජය කල ඉල්ලීම පසෙකලා එම කොටස තවමත් මෙම ඡේදයේ තිබීම මගින් පැහැදිලි වන්නේ, මානව හිමිකම් කවුන්සිලයේ, එසේම මේ වන විට ශ්‍රී ලංකා රජයේ, අදහස වන්නේ ඉඩම් යලි ලබා දීමේ කටයුතු තව දුරටත් ක්‍රියාත්මක විය යුතු බවයි.

 

පීපී.20. දේශපාලන බලතල බෙදා හැරීම සඳහා ශ්‍රී ලංකා රජය දක්වන කැපවීම පිළිගැනීමට ලක් කරමින්,

 

අර්ථ නිරුපනය: ක්‍රියාත්මක කිරීමේ පරිඡේද 16 හි අර්ථ නිරුපනය බලන්න.

 

පීපී.21. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභා වාර්තාවේ ඇති හිතකර නිර්දේශ

ඵලදායී ලෙස ක්‍රියාත්මක කරන මෙන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිමින්,

 

අර්ථ නිරුපනය: මෙම භාෂා භාවිත මානව හිමිකම් කවුන්සිලය 2012 වසරේ මාර්තු මස සිට පිලිවෙලින් 2013 මාර්තු මස , 2014 මාර්තු මස සහ 2015 සැප්තැම්බර් මස , එනම් මේ දක්වා සම්මත කර ඇති සියලුම යෝජනා වල දක්ක්නට තිබේ.

 

පීපී.22. 2015 මාර්තු 30- අප්‍රේල් 03 අතර කාලය අතරතුර සිදුවූ සත්‍ය්‍ය, සාධාරණත්වය, හානිපූරණය හා මෙවැනි සිදුවීම් නැවත ඇති නොවන බවට තහවුරු කිරීම ප්‍රවර්ධනය කිරීම පිළිබඳව විශේෂ වාර්තාකරුගේ සංචාරය හා ඊට අදාළ නිරීක්ෂණ මෙන්ම නොවැම්බර් මාසයේ දී සිදුකිරීමට නියමිත බලාත්කාරයෙන් හා ස්වේච්ඡා නොවන අතුරුදහන් කිරීම් පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමේ සංචාරය ද පිළිගැනීමට ලක් කරමින්,

 

අර්ථ නිරුපනය: 2014 වසරේ යෝජනාව මෙම කාර්ය භාරයන් ලත් කණ්ඩායම් වලට ශ්‍රී ලංකාවට තාක්ෂණික සහය හා උපදෙස් ලබා දීමට උනන්දු කරන ලදී. එම කණ්ඩායම් සමග ශ්‍රී ලංකාව එක්ව කටයුතු කිරීම මෙමගින් ඇගයීමට ලක්ව ඇත.

 

පීපී.23. ශ්‍රී ලංකාවේ සිදුවූ බවට පැවසෙන මානව හිමිකම් බරපතල ලෙස උල්ලංඝනය

කිරීම්, අයථා භාවිතයන් හා ඒ හා අදාළ අපරාධ සම්බන්ධයෙන් 25/1 මානව හිමිකම් කවුන්සල යෝජනාව මගින් ඉල්ලා සිටි විමර්ශනය අවශ්‍ය වූයේ වගවීම පිළිබඳ විශ්වාසනීය ජාතික ක්‍රියාවලියක් නොමැති වූ නිසා බව හඳුනා ගනිමින්,

 

අර්ථ නිරුපනය: යෝජනා කෙටුම්පත සම අනුග්‍රාහකයන් අතර බෙදා හරින අවස්ථාවේ ඇතුලත්ව නොතිබු එනිසාම බොහෝ දුරට ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත ඇතුලත් කරන්නට ඇතැයි සිතිය හැකි මෙම ඡේදය වැදගත්කමින් ඉතා ඉහලය. ශ්‍රී ලංකාව තුල විශ්වසනීය වග වීමේ යාන්ත්‍රණයක් නොතිබීම මානව හිමිකම් කවුන්සිලයේ 25/1 දරන යෝජනාව මගින් ඉල්ලා සිටි විමර්ශනයට හේතු වූ බව හඳුනා ගනී. එක්සත් ජාතීන්ගේ විමර්ශනයට වගකීම් සහිත රජයක් විසින් දැක්වූ ප්‍රතිචාරය පිළිබඳව මේ වන විට ඇති වී තිබෙන දේශපාලන තර්ක විතර්ක හා කතාබහ බොහෝ දුරට මේමත පදනම් වී ඇත.

ක්‍රියාත්මක කිරීමේ පරිච්ඡේද

 

  1. මානව හිමිකම් කවුන්සලයේ 27 වන සැසිවාරයේ දී මහ කොමසාරිස්වරයා විසින් ඉදිරිපත් කළ වාචික යාවත්කාලීන කිරීම්, ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධානය හා වගවීම ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ වාර්තාව හා 25/1 මානව හිමිකම් කවුන්සිල යෝජනාවලිය මගින් ඉල්ලා සිටි පරිදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා විසින් සකස් කරන ලද විමර්ශන වාර්තාවේ සොයා ගැනීම් හා නිගමන ඇගයීමට ලක් කිරීම හා සත්‍ය සෙවීම, සාධාරණත්වය, හානිපූරණය හා එවැනි සිද්ධීන් නැවත සිදු නොවන බවට සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේ දී ඒවායේ ඇතුළත් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය උනන්දු කරවමින්, අගය කරමින් සැලකිල්ලට ගන්නෙමු.

 

අර්ථ නිරුපනය: මෙමගින් මහ කොමසාරිස්වරයාගේ සහ එක්සත්ජාතීන්ගේ ශ්‍රී ලංකාව පිලිබඳ පරීක්ෂණ වාර්තාවන්හි සොයා ගැනීම් සහ නිර්දේෂයන් අගය කරමින් සැලකිල්ලට ගනිමින්, එම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය උනන්දු කරවයි.

මීට පෙර සම අනුග්‍රාහකයින් අතර බෙදා හරින ලද කෙටුම්පතෙහි සඳහන් වුයේ “පිළිගනිමින්” යන වචනයයි. ඒ වෙනුවට ශ්‍රී ලංකාව “සැලකිල්ලට ගනිමින්” යන යෝජනා කලද පසුව මැදහත් එකඟතාවයකට පැමිණ “අගය කරමින් සැලකිල්ලට ගනී” යනුවෙන් යොදා ඇත. එක්සත් ජාතීන්ගේ යෝජනාවලීන්හිදී නිතර භාවිත වන පදයක් වන මෙය “ පිළිගනී” හෙවත් වාර්තාවක අන්තර්ගතයට සම්පුර්ණ එකඟතාවය දැක්වීම හැඟවීම සහ – “සැලකිල්ලට ගනී” හෙවත් වාර්තාවක් පිළිගන්න නමුත් එහි අන්තර්ගතය සම්පුර්ණයෙන්ම පිළිගැනීමට ඇති අකමැත්ත ප්‍රකාශ කිරීම යන අර්ථයන් දෙකෙහි අතරමැදි අර්ථයක් දක්වයි. කෙසේ වෙතත් පරිච්ඡේදයේ දෙවන කොටසේදී ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාව කිසිදු පැහරහරීමකින් තොරව ඉටු කිරීමට එකඟ වී ඇත. මෙය ඉතා විශේෂ කරුණකි.

  1. 2015 ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා රජය හා මානව හිමිකම් මහ කොමසාරිස්වරයා හා ඔහුගේ කාර්යාලය අතර පැවති ධනාත්මක වූ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය පිළිගනිමින්, මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම හා ආරක්ෂා කිරීම පිණිස සහ සත්‍ය සෙවීම සහ සාධාරණත්වය සඳහා ශ්‍රී ලාංකීය ක්‍රියාවලීන්ට සහභාගිවීම පිණිස මෙන්ම ජාත්‍යන්තර සහාය ලබාදිය හැකි යෝග්‍ය ආකාරයන් සොයා බැලීම පිණිස ද එවැනි අන්තර් සම්බන්ධතා දිගින් දිගටම පවත්වා ගෙන යා යුතු බවට දිරිමත් කිරීමට උත්සුක වෙමු.

අර්ථ නිරුපනය: මෙම ඡේදය සම අනුග්‍රාහකයින් අතර බෙදාහරින ලද කෙටුම්පතෙහි ඇතුලත් නොවූ අතර ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත ඇතුලත් කර ඇත. එමගින් පැහැදිලි වන්නේ 2015 වසරේ ජනවාරි මාසයෙන් පසුව ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරයා හා ඔහුගේ කාර්යාලය සමග එක්ව කටයුතු කිරීමට කැමැත්තක් දක්වන විදහා දැක්වීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරන බවයි.

  1. සත්‍ය සෙවීම, සාධාරණත්වය ඇති කිරීමේ හා හානිපූරණ ක්‍රියාවලීන් හි විශ්වාසනීයත්වය ශක්තිමත් කිරීම හා ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීමට සහාය ලබාදෙමින්, ජාත්‍යන්තර විශේෂඥතා සහය හා විශිෂ්ඨ පරිචයන්ගෙන් ආභාෂය ලබා ගැනිමට, මෙම ක්‍රියාවලීන් සැලසුම් කරන හා ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව අදහස් ලබා ගනිමින් බලපෑමට ලක් වූ සියලු ප්‍රජාවන්, වින්දිතයන් හා සිවිල් සමාජය, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළත් කරගනිමින්, පුළුල් ජාතික කතිකාවතක නියැලීම, මෙවැනි සිද්ධීන් නැවත ඇති නොවන බවට සහතික වීම සම්බන්ධ වන ක්‍රියාමාර්ගවලට සහයෝගය දෙමු.

අර්ථ නිරුපනය: මෙම ක්‍රියාවලීන් නිර්මාණය කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ කේෂ්ත්‍රයන්හි පාර්ශව කරුවන්ගේ උපදෙස් ලබා ගැනීමේ අවශ්‍යතාවය මෙන්ම එසේ උපදෙස් ලබා ගැනීම සඳහා අන්තර්ජාතික සහයෝගය ලබා ගැනීම පිළිබඳව මෙම පරිඡේදය කරුණු දක්වයි. සම අනුග්‍රාහකයින් අතර මීට පෙර බෙදා හැරුණු කෙටුම්පතෙහි මෙම පරිච්ඡේදයෙහි ඇතුලත් වූ “මෙවැනි යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලීන්හි විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම සඳහා නව රජයේ ධනාත්මක කැපවීම තහවුරු කිරීමට අන්තර්ජාතික …. ලබා ගැනීම සඳහා රජය උනන්දු කරනු ලබයි”, ආදී වශයෙන් වූ භාෂාවෙන් මිදී වඩාත් මෘදු ස්වරයකින් යුත් භාෂාවක් මෙහිදී භාවිත කර තිබේ.

 

  1. අධිකරණ හා අධිකරණමය නොවන පියවර ගණනාවක් ඇතුළත් කරමින් අතීතය පිළිබඳ කටයුතු කිරීම සඳහා විස්තීරණ ප්‍රවේශයකට එළඹීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිලිගනිමු. මේ සම්බන්ධයෙන් සත්‍යය සෙව්ම, සාධාරණත්වය, ඇතිකිරීමේ‚ ප්‍රතිසන්ධානය හා නැවත මෙවැනි සිදුවීම් ඇතිවීම වළක්වාලීම සඳහා කොමිෂන් සභාවක්, අතුරුදන් වූ පුද්ගලයන් සඳහා කාර්යාලයක් හා හානි පූර්ණය සඳහා වූ කාර්යාලයක් ස්ථාපනය‚ කිරීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති යෝජනාව පිළිගන්නා අතර, මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ජාත්‍යන්තර පාර්ශ්වකරුවන්ගෙන් මුල්‍යමය, ද්‍රව්‍යමය හා තාක්ෂණික සහාය ලබාගැනීම සඳහා එම එක් එක් යාන්ත්‍රණයට නිදහස ලබාදීමට රජය දක්වන කැමැත්ත ද පිලිගන්නෙමු.එමෙන්ම මෙය පූර්ණ ලෙස හා විශ්වාසනීය ලෙස ඉටුකරනු ලැබුවහොත්, බරපතල අපරාධ සඳහා සියලු පාර්ශ්වවල වගවීම ප්‍රවර්ධනය කිරීමටත් ප්‍රතිසන්ධානය ළඟාකර ගැනීමටත්, එමගින් සහාය සැලසෙනු ඇති බවත් විශ්වාස කරන්නෙමු.

 

අර්ථ නිරුපනය: මෙම පරිච්ඡේදය වැදගත් කරුනු ද්විත්වයක් දක්වයි. පළමුව එය අතීතය පිලිබඳ කටයුතු කිරීමට වැඩපිළිවෙලක් හදුන්ව දීමට රජයේ ඇති කැපවීම පිළිගනී. “ අධිකරණ හා අධිකරණමය නොවන පියවර ගණනාවක්” යන වාක්‍ය ඛණ්ඩය සංක්‍රාන්ති යුක්තිය පිලිබඳ සාහිත්‍යයේ සුපුරුදු වාක්‍ය ඛණ්ඩයක් වන අතර සංක්‍රාන්ති යුක්තිය පිලිබඳ අන්තර්ජාතික මධ්‍යස්ථානයේ “සංක්‍රාන්ති යුක්තිය” පිලිබඳ නිර්වචනයේද ඇතුලත් වේ. එයින්පැහැදිලි වන්නේ රජය විසින් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමටත් අධිකරණමය නොවන සත්‍ය සෙවීමේ කොමිසම්, අනෙකුත් සෙවීමේ යාන්ත්‍රණයන්, හානි පුර්ණය සහ ආරක්ෂක අංශ ප්‍රතිසන්ධාන ගත කිරීම ආදී ක්‍රියාමාර්ග ගැනීමට එකඟ වී ඇති බවයි. ශ්‍රී ලංකාව මගින් පිහිටුවනු ලබන සියලු යාන්ත්‍රණයන්ට විදේශීය පාර්ශවකරුවන්ගෙන් තාක්ෂණික, ද්‍රව්‍යමය හා මුල්‍යමය උපකාර ලබා ගැනීමට ශ්‍රී ලංකාවට නිදහසක් ඇති බව, විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සැප්තැම්බර් මාසයේදී පැවති මානව හිමිකම් කවුන්සිලයේ සැසිය අමතා කල කතාවේදී ප්‍රකාශ කළේය. එසේම සැප්තැම්බර් 22 වන දින පවතී නිල නොවන සැසි වාරයේදීද ශ්‍රී ලංකා රජය මේ සඳහා ඉල්ලීම් කළේය. මෙම පරිච්ඡේදය පෙර කෙටුම්පත්හි ක්‍රියාත්මක කිරීමේ පර්ච්ඡේද 6 සහ 7 එකතු කොට සැකසුවක් සේ හඳුනා ගත හැකිය.

 

  1. ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකමි සංවිධානයේ විමර්ශන වාර්තාවේ (OISL) සඳහන් කර ඇති ආකාරයට දෙමල ඊළාම් විමුක්ති කොටි සංවිධානය විසින් කරන ලද මානව හිමිකම් උල්ලංඝණය කිරීම් හා නීති කඩ කිරීම් සෙවීම සඳහා වගවීමේ හා ප්‍රතිසන්ධාන ක්‍රියාවලියක අවශ්‍යතාවය අපි පිලිගන්නෙමු.

අර්ථ නිරුපනය: එල්.ටි.ටි.ඊ.ය විසින් සිදු කර ඇති අපරාධ හඳුනා ගැනීම සඳහා මෙම පරිච්චේදය ඇතුලත් කර ඇත. යෝජනාවේ අන් කිසිදු තැනක මෙය යලි සඳහන් නොවන බැවින් යෝජනාවට තුලනාත්මක බවක් එකතු කිරීමට මෙය ඇතුලත් කර ඇත.

  1. නීතියේ ආධිපත්‍යය ආරක්ෂා කිරීම සහ ශ්‍රී ලංකාවේ සියලු ප්‍රජාවන්ට අයත් ජනතාව තුළ අධිකරණ ක්‍රියාවලිය පිළිබඳ විශ්වාසය ගොඩ නැංවීම සඳහා වගවීම අත්‍යවශ්‍ය බවට ශ්‍රී ලංකා රජය විසින් හඳුනාගෙන තිබීම පිළිගැනීමට ලක් කිරීම සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීම් සිදුකරන ලදැයි පැවසෙන අවස්ථා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා අදාළ පරිදි විශේෂ නීති උපදේශකවරයෙකු හෙවත් අධි නීතිඥවරයෙකුගෙන් සමන්විත අධිකරණ යාන්ත්‍රණයක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා රජය කර ඇති යෝජනාව ඇගයීමට ලක් කරමු. එමෙන්ම විශ්වාසනීය අධිකරණ ක්‍රියාවලියක් ඇති කිරීම සඳහා අවංක හා අපක්ෂපාතී පුද්ගලයන් විසින් මෙහෙයවන ස්වාධීන අධිකරණ හා අභිචෝදක ආයතන පවතින බවට සහතිකවීමත් පොදු රාජ්‍ය මණ්ඩලීය හා වෙනත් විදේශීය විනිසුරුවරුන්, විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්, බලයලත් අභිචෝදකයන් හා විමර්ශකයන්ගේ සහභාගිත්වය සහිත එමෙන්ම විශේෂ උපදේශක කාර්යාලයකින් සමන්විත ශ්‍රී ලාංකික අධිකරණ ක්‍රියාවලියක් පැවතීමත් අවශ්‍යවන බව සහතික කිරීමට කැමැත්තෙමු.

 

අර්ථ නිරුපනය: තර්කනුකුලව බලන කල මෙම යෝජනාවේ වඩාත්ම වැදගත් පරිච්ඡේදය වන්නේ මෙයයි. “විශේෂ නීති උපදේශකවරයෙකු හෙවත් අධි නීතිඥවරයෙකුගෙන් සමන්විත අධිකරණ යාන්ත්‍රණයක්” යනුවෙන් විදේශ ඇමතිවරයා ඔහුගේ කතාවේදී කල ප්‍රකාශය මත පදනම්ව ගොඩ නැගීමට මෙය උත්සාහ දරා ඇත. “විශේෂ නීති උපදේශකවරයෙකු හෙවත් අධි නීතිඥවරයෙකු” යන්න පැමිණිලි මෙහෙයවන්නෙකු හෙවත් බලයලත් අභිචෝදකයෙකු යන අරුතින් භාවිත වී ඇත. එය තව දුරටත් විනිසුරුවරුන්ගේ සහ පැමිණිලි මෙහෙයවන්නන්ගේ විශ්වසනීයත්වය හා අපක්ෂපාතීබව අවධාරණය කරයි. අවසාන වාක්‍ය ඛණ්ඩය වැදගත්වන්නේ එමගින් පොදු රාජ්‍ය මණ්ඩලය හා වෙනත් විදේශීය විනිසුරුවරුන්, විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්, අභිචෝදකයන් හා විමර්ශකයන් මෙන්ම විශේෂ උපදේශ කාර්යාලය යන මේ සියල්ල “ශ්‍රී ලාංකික අධිකරණ ක්‍රියාවලියක්” සඳහා සහභාගී වීමේ වැදගත්කම අවධාරණය කරන බැවිනි. මෙහිදී “ශ්‍රී ලාංකික අධිකරණ ක්‍රියාවලියක්” යන වාක්‍ය ඛණ්ඩය යොදා ගනිමින්, යෝජනාව රජයට මෙම අධිකරණ යාන්ත්‍රනය දේශීය එකක් මිස විදේශීය එකක් නොවන බව දැක්වීමට ඉඩ සලසා දී ඇත.

කෙසේවෙතත් මෙමගින් “ පොදුරාජ්‍ය මණ්ඩලීය හා වෙනත් විදේශීය” නිලධාරීන්ගේ වැදගත්කම අවධාරණය කරයි. ජනධිපතිවරණයෙන් පසුව මංගල සමරවීර මහතා ඉන්දීය සඟරාවකට කල ප්‍රකාශයකට අනුව පැහැදිලි වන්නේ පොදුරජ්‍ය මණ්ඩලීය විනිසුරුවරුන් පිලිබඳ අදහස රජය සතුව පෙර සිටම පවතී බවයි. එහිදී ඔහු සඳහන් කලේ “ අපි එක්සත් ජාතීන්ගේ තාක්ෂණික සහය අපේක්ෂා කරනවා. ඇතැම් විට දැනට අප රට සභාපතිත්වය දරන පොදුරජ්‍ය මන්ඩලයේ විනිසුරුවරුන්ගේ සහයත් බලාපොරොත්තු වනු ඇති”. කෙසේ වෙතත් පරිච්ඡේදයේ දැක්වෙන පරිදි පොදුරාජ්‍ය මණ්ඩලයට බාහිරින්ද විනිසුරුවරුන් පත් කල හැකි බව සඳහන් වේ.

මෙම පරිච්ඡේදය “බලයලත් අභිචෝදකයන් හා විමර්ශන නිලධාරීන්” පිළිබඳව කරුණු දක්වයි. මෙම “බලයලත්” යන වචනය ශ්‍රී ලංකාවේ ඉල්ලීම මත පසුව ඇතුලත් කරන ලද්දකි. එය අර්ථ රහිත බවක් පෙනී යන්නේ අධිකරණ ක්‍රියාවලියකට සහභාගී වන සියලු දෙනා අනිවාර්යෙන්ම බලයලත් ය වීම හේතු කොට ගෙනයි. කෙසේ වෙතත් මෙම “බලයලත්” යන පදය “පොදු රාජ්‍ය මණ්ඩලිය සහ වෙනත් විනිසුරුවරුන්” යන පදයන්ට අදාල නොවනේයැයි යනුවෙන් ඉදිරිපත් වන ඕනෑම වැරදි වැටහීමක් නිෂ්ප්‍රභා කිරීමට “ විශේෂ උපදේශක කාර්යාලයකින් සමන්විත” යන වචන ඛණ්ඩය උපයෝගී වේ.

මෙම පරිච්ඡේදය මීට පෙර ඉදිරිපත් කර තිබු කෙටුම්පත් වලින් වෙනස් වී තිබේ. මීට පෙර කෙටුම්පත් අන්තර්ජාතික නිලධාරීන් පිළිබඳව කතා කලද මෙය පොදුරාජ්‍ය මණ්ඩලීය සහ අනෙකුත් විදේශීය විනිසුරුවරුන් ගැන කතා කරයි. මෙම යෝජනාව “සහභාගිත්වය” ගැන සඳහන් කරන අතර පැරණි කෙටුම්පත මැදිහත් වීම” යන වචනය භාවිත කර තිබුණි. එසේම ඉහත සඳහන් කල පරිදි “සමන්විත” යන පදයද යොදා ගෙන තිබේ.

මෙය මිශ්‍ර අධිකරණයක්ද නැතහොත් දේශීය අධිකරණයක්ද යන්න විවාදයට කරුණකි. එසේම එය අදාල නොවන කරුණකි. “මිශ්‍ර අධිකරණය” යන්නට කිසිදු නිර්වචනයක් නොමැත. එයින් බොහෝ දේ අදහස් විය හැකිය. මෑතකදී පුවත්පතක් වාර්තා කල අයුරින් නිදහසින් වසර 8ට පසුවත් 1955 වසර දක්වා ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉංග්‍රීසි විනිසුරුවරුන් සිට ඇති හෙයින් ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයද මිශ්‍ර අධිකරණයක් සේ සැලකිය හැකිය. උදලගම සහ පරණගම කොමිසම්හිද විදේශීය නිලධාරීන් උපදේශකයන් ලෙස කටයුතු කල නිසා, මිශ්‍ර කොමිසම් සේ සැලකිය හැකිය. මිශ්‍ර අධිකරණයකද නොඑසේනම් දේශීය අධිකරණයක්ද යන විවාදය ප්‍රධාන කරුණු දෙකක් මතු කරයි. ඉන් එකක් නම් විශාල වශයෙන් දේශපාලනීකරණය වූ අන්තර්ජාතික අපරාධ පිලිබඳ නඩු මෙහෙයවීමේදී විනිසුරුවරුන්ගේ හා පැමිණිලි මෙහෙයවන්නන්ගේ ස්වාධීනත්වය තහවුරු කරන්නේ කෙසේද යන්නයි. දෙවැන්න නම් ඔවුනට මෙවන් දරුණු ගනයේ අපරාධ පිලිබඳ නඩු මෙහෙයවීමට ශක්‍යතාවයක් ඇතැයි තහවුරු කරගන්නේ කෙසේද යන්නයි.

2015 ජනවාරි මස විදේශ අමාත්‍යවරයා පොදුරාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරුන් පිලිබඳ කල ප්‍රකාශ සඳහා දැනගැනීම සඳහා පිවිසෙන්න. http://swarajyamag.com/world/new-sri-lankan-foreign-minister-our-tilt-towards-china-needs-a-course-correction/

 

  1. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව මගින් ආවරණය කරන ලද කාල පරිච්ඡේදය ද ඇතුළත් වන සේ මානව හිමිකම් උල්ංඝනය කිරීම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම්වලට අදාළව ජාතීන්ගේ ප්‍රජාව විසින් හඳුනාගෙන ඇති සාමාන්‍ය නීති මූලධර්ම යටතේ සියලු අපරාධවලට වඩාත්ම වගකිව යුතු පුද්ගලයන් සම්බන්ධයෙන් නඩු විභාගයක් කර දඬුවම් ලබාදීම ද ඇතුළත් කරමින් හා ජාත්‍යන්තර බැඳීම්වලට අනුකූල වන ලෙස, සිය වගකීම් හා උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාවේ නිර්දේශ මෙන්ම, 25/1 යෝජනාවලිය මගින් දක්වා ඇති මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ වාර්තාවේ නිර්දේශ ද ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ හැකි බවට සහතික කෙරෙන අන්දමින් සිය දේශීය නීතිය ප්‍රතිසංස්කරණය කිරීමට ශ්‍රී ලංකා රජය දිරි ගැන්වීමට ද කැමැත්තෙමු.

අර්ථ නිරූපනය: මෙම පරිච්ඡේදයේ ප්‍රධාන කරුණු ත්‍රිත්වයක් අන්තර්ගතව ඇත. පළමුවැන්න වන්නේ දරුණු ගනයේ අපරාධ සඳහා වඩාත්ම වගකිවයුතු පාර්ශවයන්ට නඩු පවරා දඬුවම් දීමත් ඊට සරිලන ආකාරයෙන් නීති සංශෝධනය කිරීමත් වේ. මෙය අන්තර්ජාතික අපරාධ සම්බන්ධයෙන් ඇති අන්තර්ජාතික සම්මතය වේ. රජය අවම වශයෙන් අපරාධයට “වඩාත්ම වගකිවයුතු පුද්ගලයන්” සොයා නඩු පවරා දඬුවම් කල යුතුයි. එමගින් ශ්‍රී ලංකාවට අණ දෙන්නන්ගේ හෙවත් නියෝග නිකුත් කරන්නන්ගේ වගකීම පිලිබඳ වන නීති සිය නීති පද්ධතියට ඇතුලත් කිරීමට ආරාධනා කර තිබේ.

දෙවනුව මෙම නඩු පැවරීම් මානව හිමිකම් උල්ලංගනය වීම හා අන්තර්ජාතික මානුශීයවාදී නීතියට යටතේ “ජාතීන්ගේ ප්‍රජාව විසින් හඳුනා ගෙන ඇති නීතියේ සාමාන්‍ය මුලධර්මයන් මත පදනම් වූ පුළුල් පරාසයක විහිදුනු අපරාධ” සඳහා විය යුතුයි. “ජාතීන්ගේ ප්‍රජාව විසින් හඳුනා ගෙන ඇති නීතියේ සාමාන්‍ය මුලධර්මයන්” යන වාක්‍ය ඛණ්ඩය සිවිල් හා දේශපාලන අයිතීන් පිලිබඳ අන්තර්ජාතික සම්මුතියේ 15(2) වගන්තියෙන් උපුටා ගෙන ඇත. එසේම සේපාල ඒකනායක නඩු තීන්දුවේදී ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(6) වගන්තිය අන්තර්ජාතික සම්ප්‍රදයන්ගේ නීතිය ලෙස අර්ථකථනය කර ඇත. එමගින් අන්තර්ජාතික සම්ප්‍රදයන්ගේ නීතිය තුල මානව හිමිකම් හා අන්තර්ජාතික මානුෂවාදී නීතිය යටතේ එන යුධ අපරාධ සහ මනුශීයත්වයට එරෙහි අපරාධ ඇතුලත් වේ. එම නිසා යෝජනාව ශ්‍රී ලංකාවේ දේශීය නීතියට යුධ අපරාධ හා මනුශීයත්වයට එරෙහි අපරාධ ඇතුළු කිරීමට ශ්‍රී ලංකාව උනන්දු කරවයි.

තුන්වනුව, මෙම යෝජනවා අවම වශයෙන් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසම් වාර්තාව ආවරණය කල 2002 සිට 2009 දක්වා කාල සීමාව අවම වශයෙන් ආවරණය කල යුතු බවයි. යෝජනාව මගින් අන්තර්ජාතික අපරාධ දේශීය නීතියට ඇතුලත් කිරීම පමණක් නොව එකී නීතීන් 2002 වසර තරම් අතීතයට බලපවත්නා පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(6) වගන්තියට යටත්ව සැකසීමටද රජය උනන්දු කරවයි.

  1. ආරක්ෂක හමුදාවන් හි ගරුත්වය හා වෘත්තියභාවය වර්ධනයවීමට ඉඩ සැලසෙන පරිදි සංක්‍රාන්තීය අධිකරණ ක්‍රියාවලියේ කොටසක් ලෙස, ආරක්ෂක අංශයේ ප්‍රතිසංස්කරණ සඵලදායී ආකාරයට හඳුන්වාදීම සඳහා, ශ්‍රී ලංකා රජය දිරි ගන්වන අතර මානව හිමිකම් උල්ලංඝණය හෝ මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම්වලට සම්බන්ධ යැයි අපක්ෂපාති පරිපාලන ක්‍රියාවලියක් මගින්, වරදකර`වන් වූ ආරක්ෂක හා බුද්ධි ඒකක සාමාජිකයන් ඇතුළු කිසිදු අයෙක් ආරක්ෂක හමුදාවලට බඳවා ගැනීමට හෝ ආරක්ෂක හමුදාවල රඳවා ගැනීමට කිසිදු ඉඩකඩක් නොපවතින බවට තහවුරු කරමින්, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම හා ප්‍රවර්ධනය කිරීම ඉලක්ක කර ගත් පුහුණු වැඩසටහන් හා ප්‍රෝත්සාහන ලබාදීම් වැඩි කිරීම දිරිගන්වනු කැමැත්තෙමු.

 

අර්ථ නිරූපනය: ආරක්ෂක අංශ ප්‍රතිසංස්කරණය මෙම යෝජනාවේ වැදගත්ම කොටසකි. එමගින් බලාපොරොත්තු වන එක ප්‍රතිපලයක් ලෙස සඳහන් වන්නේ “ආරක්ෂක අංශයන්හි ගරුත්වය හා වෘත්තීයභාවය වර්ධනය කිරීමයි”. මෙසේ ආරක්ෂක අංශ ප්‍රතිසංවිධානය කිරීමේ අරමුණ වන්නේ ආරක්ෂක අංශ මානව හිමිකම් ආරක්ෂා කරන්නන් පිරිසක් බවට පත් කොට නැවත එවැනි අපරාධ ඇති වීම වැලක්වීමයි. එහිදී ඇති කල යුතු පැහැදිලි වෙනස්කම් දෙකක් සඳහන්කොට ඇත. එකක් නම් මානව හිමිකම් උල්ලංගනයනට දායක වී ඇති පිරිස් ආරක්ෂක අංශ වල කටයුතු කිරීම හා ආරක්ෂක අංශ වලට අලුතින් එකතු වීම වැලැක්වීමට අපක්ෂපාති පරිපාලන ක්‍රියාවලියක් භාවිත කිරීමයි. දෙවැන්න නම් මානව හිමිකම් ආරක්ෂා කිරීමට හා ප්‍රචලිත කිරීමට ප්‍රමාණවත් පරිදි පුහුණුවීම් හා දිරි ගැන්වීම් ලබා දීමයි. මෙහි පළමුවැන්න කාගේත් කතා බහට තුඩු දුන් අර්බුදකාරී එකක් වන නමුදු පැරණි බෝල්කන් රාජ්‍යන් ආදී ලෝකේ අනෙකුත් රටවල් වල සාර්ථක ලෙස ක්‍රියාත්මක කර ඇත.

 

  1. සාක්ෂිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ නීතිය යාවත්කාලීන කිරීමට හා නීතිය සමාලෝචනය කිරීමට මෑතකාලීනව ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිගැනීමට ලක් කිරීම හා සාක්ෂිකරුවන්, වින්දිතයන්, විමර්ශනයන්, අභිචෝදකයන් හා විනිශ්චයකාරවරුන් ඵලදායී ලෙස ආරක්ෂා කිරීමට අනුග්‍රහ සැලසීම මගින් මෙම අත්‍යවශ්‍ය ආරක්ෂක විධිවිධාන ශක්තිමත් කිරීම සඳහා පියවර ගැනීමට ශ්‍රී ලංකා රජය දිරි ගැන්වීමට ද කැමැත්තෙමු.

 

අර්ථ නිරූපනය: විදේශ අමාත්‍යවරයා සිය කතාවේදී වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම පිලිබඳ පනත යලි සලකා බැලීමට කල යෝජනාව දක්වමින්, මෙම යෝජනාවේ භාෂාව වඩාත් ශක්තිමත් කරන ලදී. එකසත් ජාතීන්ගේ විමර්ශන් වාර්තාවේද මෙහි අවශ්‍යතාවය දක්වා ඇත.මේ වන විට පාර්ලිමේන්තුව විසින් පෙර පැවති පාලනය යටතේ සැකසු නීතියක් සම්මත කලද එය තවමත් ක්‍රියාත්මක කර නොමැත.

  1. ඉඩම් නැවත ලබාදීමට ගනු ලැබූ ආරම්භක පියවර පිළිගැනීමින් සහ ඉඩම් එහි නියම හිමිකරුවන්ට නැවත ලබාදීමේ කටයුතු කඩිනම් කිරීමටත්, ඉඩම් භාවිතය හා හිමිකාරිත්වයට අදාළව පවතින ඉදිරි කටයුතු නිරාකරණය කිරීම සඳහා; විශේෂයෙන්ම සිවිල් කටයුතුවලට හමුදාවේ මැදිහත්වීම අවසන් කිරීම, සිවිල් ජනතාවගේ ජීවිත නැවත සාමාන්‍ය තත්ත්වයට පමුණුවා ඔවුන්ගේ ජීවනෝපායයන් නැවත ආරම්භ කිරීම, ආදිය සඳහා තවදුරටත් කටයුතු කිරීම වෙනුවෙන් රජය දිරිගන්වන අතර මෙම ප්‍රයත්න සඳහා සිවිල් සමාජ නියෝජිතයන්, සුළු ජාතීන් ඇතුළු දේශීය ජනතාවගේ පූර්ණ සහභාගිත්වය ලබා ගැනීමේ වැදගත්කම අවධාරණය කිරීමට කැමැත්තෙමු.

අර්ථ නිරූපනය: මෙම පරිච්ඡේදය අලුතින්ම එක් කර ඇත්තේ රජය දෙස ධනාත්මක ඇසකින් බලමිනි.මීට පෙර කෙටුම්පත මීට වැඩ දැඩි භාෂා ශෛලියක් භාවිත කර තිබිණ. එහි කියවුනේ “රජය විසින් හමුදා පාලනය යටතේ පැවතී ඉඩම් එහි නියම හිමිකරුවන්ට යලි ලබා දීමේදී තවත් අමතර පියවර අනුගමය කල යුතු බව අවධාරණය කර සිටි. එසේම එසේ ඉඩම් යලි පවරා දීමේ කටයුතු වේගවත් කිරීමටත්, එසේම ඉඩම් භාවිතය හා අයිතිය සම්බන්ධව ඉතිරිව ඇති සැලකිය යුතු ප්‍රමාණයක් වන කටයුතු කරගෙන යාම සඳහා තවදුරටත් ක්‍රියාමාර්ග ගැනීමටත්, විශේෂයෙන්ම සිවිල් කටයුතුවලට හමුදාවේ මැදිහත්වීම අවසන් කිරීමටත් , සිවිල් ජනතාවගේ ජීවිත නැවත සාමාන්‍ය තත්ත්වයට පමුණුවා ඔවුන්ගේ ජීවනෝපායයන් නැවත ආරම්භ කිරීමටත් කටයුතු සලසා දීමටත්, මේ සියලු කටයුතු වලදී සුළු ජාතීන් ඇතුළු දේශීය ජනතාවගේ සහභාගිත්වය තහවුරු කිරීමටත් රජය උනන්දු කර තිබේ” යනුවෙනුයි.

 

  1. පුවත්පත්කලාවේදීන්, මානව හිමිකම් ආරක්ෂා කරන්නන්, සුළු ජාතික කණ්ඩායම්වල සාමාජිකයන් හා සිවිල් සමාජයේ වෙනත් සාමාජිකයන් හා ආගමික ස්ථාන එල්ල කරමින් පුද්ගලයන් හා කණ්ඩායම් විසින් සිදුකරන ලදැයි පැවසෙන ප්‍රහාර පිළිබඳව විමර්ශනය කිරීමටත් එම ප්‍රහාරවලට වගකිව යුතු අපරාධකරුවන්ට ඒ සම්බන්ධ වගකීම පැවරීමටත්, අනාගතයේ දී එම ප්‍රහාර වැළැක්වීම සඳහා පියවර ගැනීමටත් ශ්‍රී ලංකා රජය දිරිගැන්වීමට කැමැත්තෙමු.

 

අර්ථ නිරුපනය: මෙම පරිච්ඡේදය සම්පුර්ණයෙන්ම 2014 වසරේ මාර්තු මාසයේ යෝජනාවට සමාන වේ. මෙය එම වසරේ මුස්ලිම් ජනතාවට මුලික කරගෙන සිදුවූ ජාතිවාදී ප්‍රචණ්ඩත්වය හේතු කොටගෙන ඉදිරිපත් කල එකකි.

 

  1. මහජන ආරක්ෂක පනත සමාලෝචනය කිරීමට හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සමාලෝචනය කර අවලංගු කර ඒ වෙනුවට ජාත්‍යන්තරව විශිෂ්ට යැයි සැලකෙන තත්කාලීන පරිචයන්ට අනුකූල ත්‍රස්තවාදයට එරෙහි නව පනතක් ගෙන ඒමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිලිගන්නෙමු.

අර්ථ නිරුපනය: මෙය විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මානව හිමිකම් කවුන්සිලයේ කල කතාව පාදක කොට ගත්තකි. ඒ වන විට එක්සත් ජාතීන්ගේ විමර්ශන වාර්තාව ප්‍රකාශයට පත් කර නොතිබුණද, ඔහුගේ කතාවට ප්‍රථම එහි පිටපතක් ඔහුට ලබා දී තිබින. ඔහුගේ කතාව තුල එම වාර්තවේ කරුණු හා නිර්දේශ අන්තර්ගතව තිබෙන්නට ඇත.

  1. බලහත්කාර අතුරුදන් කිරීම්වලින් සියලු පුද්ගලයන්ව ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියන්ට අප්‍රමාදීව අත්සන් තැබීමට හා බලහත්කාර අතුරුදන් මතු කිරීමටත්, බලහත්කාර අතුරුදන් කිරීම් අපරාධ ලෙස සැලකීමටත්, තාවකාලිකව සහය පියවරක් වශයෙන් අතුරුදන්වූවන්ගේ පවුල්වලට “ප්‍රවාසය” පිලිබඳ සහතික නිකුත් කිරීම ආරම්භ කිරීමටත්, ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම පිලිගනු කැමැත්තෙමු.

අර්ථ නිරූපනය: මෙයද විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා මානව හිමිකම් කවුන්සිලයේ කල කතාව පාදක කොට ගත්තකි. එහි විශේෂත්වය නම් දශක ගනනක් තිස්සේ පැහැරගෙන යම් වලට එරෙහි මානව හිමිකම් ක්‍රියාකාරීන් කල ඉල්ලීම් වලට සවන් දී තිබීමයි. පලමුව එමගින් අතුරුදන්වූවන් පිලිබඳ සම්මුතිය සම්මත කිරීමටත් දෙවනුව බලහත්කාරයෙන් පැහැරගෙන යාම් සාපරාධී අපරාධ ක්‍රියාවක් ලෙස නම් කිරීමටත්, එසේ අතුරුදන් වුවන්ගේ පවුල් වල සාමාජිකයන්ට ප්‍රවාසය පිළිබඳ සහතික නිකුත් කිරීමත් එහිදී සඳහන් කෙරින.

  1. පූර්ව ජනාධිපති කොමිෂන් සභා වාර්තා ප්‍රසිද්ධියට පත් කිරීමට ශ්‍රී ලංකා රජයේ ඇති කැපවීම ද පිලිගනු කැමැත්තෙමු.

අර්ථ නිරූපනය: මීට පෙර කෙටුම්පත් විවිධ වාර්තාවන් ගැන සඳහන් කරන නමුත් රජය සමග කල සාකච්ඡා වලදී එම වාර්තා වල නම් ඇතුලත් නොකරන ලෙස රජය කල ඉල්ලීමට අනුව ඒවා ඉවත් කර තිබේ.මීට පෙර වාර්තාවේ පහත පරිදි සඳහන් වේ. “උදලගම හා පරණගම වාර්තා මේ මස අවසානයේදීත්, 2013 අගෝස්තු 31 දින වැලිවේරිය ප්‍රදේශයේදී අවි රහිත සාමාන්‍ය වැසියන්ට හමුදාව එල්ල කල ප්‍රහාරය සම්බන්ධ නඩු වාර්තාව ඇතුළුව ආරක්ෂක අංශ විසින් සිදු කල නීති විරෝධී ක්‍රියා සම්බන්ධ විමර්ශන වාර්තාවන්ගේ ප්‍රතිපල ඉදිරිපත් කරන ලෙස”. වැදගත් කරුණක් වන්නේ විදේශ අමාත්‍යවරයා උදලගම හා පරණගම විමර්ශන වාර්තා මෙම මාසයේදී ඉදිරිපත් කරන බවට මානව හිමිකම් කවුන්සිලයට ප්‍රකාශ කිරීමයි. නමුත් තවමත් ඒවා ප්‍රකාශයට පත් වී නොමැත. එයින් මතුවන හැගීම වන්නේ රජය මෙම විමර්ශන වාර්තා එකක් හෝ සියල්ලම ප්‍රකාශයට පත් කිරීමට කිසිසේත් අපේක්ෂා නොකරන්නේද යන්නයි. නමුත් ඊට හේතුව තවම සිත ගැනීමට අපහසුය.

  1. මානව හිමිකම් කඩකිරීම්, ජාත්‍යන්තර මානුෂීය නීතිය කඩකිරීම් හා අයථා භාවිතයන්ට අදාළව රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනවල පවතින සියලු වාර්තා ලිපිලේඛන ආරක්ෂා කිරීම සඳහා විස්තීරණ සැලසුමක් හා යාන්ත්‍රණයක් සැකසීමට ශ්‍රී ලංකා රජය දිරිමත් කිරීමට කැමැත්තෙමු.

අර්ථ නිරූපනය: මෙමගින් මානව හිමිකම් උල්ලන්ගනයන්ට හා අන්තර්ජාතික මානුෂවාදී නිතිය කඩ කිරීම් සම්බන්ධ සියලු ලිපි ලේඛන ආරක්ෂාකාරීව තබා ගැනීමේ රජයේ යුතුකම අවධාරණය කරයි. මෙය අන්තර්ජාතික නීතියේ පිළිගැනෙන රජයක් විසින් අනුගමනය කෙරෙන යහපත් පිළිවෙතක් මෙන්ම නීතිමය වගකීමකි.

  1. අවශ්‍ය ව්‍යවස්ථාමය පියවර ගැනීම මගින් දේශපාලන විසඳුමක් සඳහා යාමට ආණ්ඩුවේ ඇති කැපවීම පිළිගන්නා අතර, ප්‍රතිසන්ධානය හා ජනගහනයේ සියලු කොටස් විසින් මානව හිමිකම් පූර්ණ වශයෙන් භුක්ති විඳින බව තහවුරු කිරීම සඳහා අත්‍යවශ්‍ය වූවක් වන දේශපාලන බලය බෙදා හැරීම වෙනුවෙන් ආණ්ඩුව දරන වෑයම දිරිමත් කරමු. ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනයට අනුකූලව සියලු පළාත් සභාවලට ඵලදායී ලෙස කටයුතු කළ හැකි බව තහවුරු කරගැනීම සඳහා, ශ්‍රී ලංකා රජය දිරිමත් කිරීමට ද කැමැත්තෙමු.

අර්ථ නිරූපනය: මෙම පරිච්ඡේදයට එරෙහිව අදහ පළවූ අතර සාකච්ඡාවට බඳුන් කරන ලදී. පළාත් සභා සහ 13 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දක්වන දෙවන පරිච්ඡේදය 2014 මාර්තු යෝජනාවෙන් උපුටා ගත එකකි. කෙසේවෙතත් “අවශ්‍ය ව්‍යවස්ථාමය පියවරයන් මගින් දේශපාලන විසඳුමක් සඳහා යාමට ආණ්ඩුවේ කැපවීම” යන වාක්‍ය ඛණ්ඩය විදේශ අමාත්‍යවරයාගේ කතාවේදී දමිල ජනතාවගේ ගැටළු වලට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් විසදුමක් ලබා දීම පිළිබඳව කල සඳහනට අදාල වේ. අමාත්‍යවරයා යොදා ගත “නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව” වෙනුවට මෙහි “ව්‍යවස්ථා පියවරයන්” යන්න යොදා තිබේ. බලය බෙදීමක් තුලින් දේශපාලන විසදුමක් කර යාම දෙමල ජාතික සන්ධානය දිගු කාලයක සිට කල ඉල්ලීමකි.

  1. වදහිංසා, දූෂණ හා ලිංගික අපරාධ ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝණය කිරීමට අදාළ සියලු ක්‍රියා තහනම් කර ඇති බවටත්, එවැනි උල්ලංඝණය කිරීම්වලට වගකිව යුතු පුද්ගලයන් පිළිබඳව විමර්ශනය කොට, දඬුවම් ලබාදෙන බවටත් ආරක්ෂක අංශවල සියලු කොටස්වලට පැහැදිලිව උපදෙස් නිකුත් කිරීම සඳහා රජයේ ඇති කැපවීම පිළිගැනීම හා ලිංගික අපරාධ හා වදහිංසාවලටඅදාළ සියලු වාර්තා සම්බන්ධයෙන් කටයුතු කිරීමට රජය දිරිමත් කිරීම ද,

අර්ථ නිරූපනය: මෙම ප්රිච්ඡේදයද විමර්ශන වාර්තාවේ සඳහන් වූ එහෙත් යෝජනාවේ මුල් කෙටුම්පත්වල සඳහන් නොවූ පරිච්ඡේදයකි. මෙයද විදේශ අමාත්‍යවරයාගේ කතාවෙන් පසු ඇතුලත් කල කොටසකි.

  1. මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයාගේ කාර්යාලයේ නිර්දේශ හා ප්‍රතිසංධානයට, වගවීමට හා මානව හිමිකම්වලට අදාළ වෙනත් ක්‍රියාවලීන් ක්‍රියාත්මක කිරීමෙහි ලා දක්වන ප්‍රගතිය ඇගයීම සඳහා අඛණ්ඩව කටයුතු කරන මෙන් ද, මානව හිමිකම් කවුන්සිලයේ තිස්දෙවන සැසිවාරයේ දී එම කටයුතුවල තත්ත්වය පිළිබඳ වාචික යාවත්කාලීන කිරීමක් ඉදිරිපත් කරන මෙන් ද, මානව හිමිකම් කවුන්සිලයේ තිස් හතරවන සැසිවාරයේ දී වත්මන් යෝජනාවලිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් ද මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලයෙන් ඉල්ලා සිටීම ද,

අර්ථ නිරූපනය: මෙම පරිච්ඡේදයේ ක්‍රමික විකාශය ඉතා අපුරු එකකි. සාමාන්‍යයෙන් මෙවැනි පරිච්ඡේදයක සදහන් වන්නේ මහා කොමසාරිස්වරයාට ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා ඉල්ලීමක් කිරීමයි. නමුත් ශ්‍රී ලංකා රජයට වෙනස් අකාරයේ භාෂා භාවිතයක් අවශ්‍ය වූ බව තේරුම් ගත හැකිය. මුල් කෙටුම්පතෙහි අඩංගු වුයේ “ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිලිබඳ තත්ත්වය සොයා බලා තහවුරු කර ගැනීමට” යනුවෙනි. ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිලිබඳ තත්වය සොයාබැලීම/ නිරීක්ෂනය යන වචන දැන් යෝජනාවේ අඩංගු නොවේ. ඒ වෙනුවට වගවීම, සංහිඳියාව හා මානව හිමිකම් පිලිබඳ නිර්දේෂයන් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය නොකඩවා සොයා බැලීමට මානව හිමිකම් මහා කොමසාරිස් කාර්යාලයට ඇරයුම් කර තිබේ. මෙසේ මානව හිමිකම් සම්බන්ධ ක්‍රියාවලීන් නිරීක්ෂණයට කර ඇති ඉල්ලීමේ අර්ථකතනයන් පදනම් කර ගෙන මානව හිමිකම් මහා කොමසාරිස් කාර්යාලයට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිලිබඳ නිරීක්ෂනය කිරීමට හැකි වනු ඇත.

වාර්තා කිරීමේ කාල රාමුව මේ පරිදි වේ. මානව හිමිකම් මහා කොමසරිස් කාර්යාලය විසින් කරනු ලබන වාචික දැනුම් දීමක් 2016 වසරේ ජුනි මාසයේදී සහ අවසාන සවිස්තර වාර්තාව 2017 වසරේ මාර්තු මාසයේදී. මෙම කාල සීමාව විදේශ අමාත්‍යවරයා වගවීම සම්බන්ධ ක්‍රියාවලිය ක්‍රියාවට නැංවීම සඳහා ගතවන්නේ යයි ප්‍රකාශ කල මාස 18 කාල සීමාවට සමාන වේ.

කියවන්න: “ විදේශ අමාත්‍ය වරයා DailyFT වෙත කල ප්‍රකාශයේ දැක්වෙන්නේ වසරක් හෝ මාස 18ක් ඇතුලත නිර්දේශ වල සඳහන් ක්‍රියාවලින් ක්‍රියාත්මක කිරීමට රජය බලාපොරොත්තු වන බවයි…” වැඩිදුර තොරතුරු සඳහා පිවිසෙන්න: http://www.ft.lk/article/471161/Accountability-framework-for-Lanka-s-own-sake–Mangala%C2%A0#sthash.XFOh9J7P.dpuf”

  1. ඉටු නොකළ ඉල්ලීම්වලට විධිමත්ව ප්‍රතිචාර දැක්වීමද ඇතුළුව, විශේෂ කාර්ය පරිපාටි බලපත්‍ර හිමියන් සමඟ අඛණ්ඩ සහයෝගිතාවයෙන් යුතුව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය දිරිගැන්වීමටද කැමැත්තෙමු.

අර්ථ නිරූපනය: රටවල් පිලිබඳ වන බොහෝ යෝජනා වලදී දක්නට ලැබෙන සම්මත පරිච්ඡේදයකි. පාර්ශවකරුවන් ඉවත්කොට පෙර භාවිත කල වාක්‍යයන් කෙටි කොට දක්වා ඇත.

  1. ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කර ඔවුන්ගේ එකඟත්වය ලබාගෙන, ඉහත කී පියවර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හා තාක්ෂණික සහාය ලබාදීම සඳහා මහ කොමසාරිස් කාර්යාලය හා අදාළ විශේෂ කාර්ය පරිපාටි බලපත්‍ර හිමියන් දිරිමත් කිරීමට කැමැත්තෙමු.

අර්ථ නිරූපනය: මෙයද රටවල් පිලිබඳ වන බොහෝ යෝජනා වලදී දක්නට ලැබෙන සම්මත පරිච්ඡේදයකි. ශ්‍රී ලංකාව පිළිබඳව සෑම යෝජනාවකදීම 2012 වසරේ සිට මෙය අඩංගු විය.

– South Asian Centre for Legal Studies-

 

Back to Top