Sri Lanka Brief
UN-Sri Lankaපුවත්ජිනීවා: මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සහ ශ්‍රී ලංකා ආන්ඩුව – සුනන්ද දේශප්‍රිය

ජිනීවා: මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සහ ශ්‍රී ලංකා ආන්ඩුව – සුනන්ද දේශප්‍රිය

by

( ජීනීවා හි  ශ්‍රී ලංකා තානාපති රවිනාථ ආරියසිංහ තම රට වාර්තාව සැළකල්ලට ගන්නා බව කීවේ ය)

රී ලංකාවේ අවසන් යුද සමයේ සිදු වූයේ යැයි කියන මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් සකස් කරන ලද වාර්තාව පසුගිය 30 දා මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන් ඉදිරිපත් කරන ලදී. අනතුරුව ඒ පිළිබද විවිධ රටවල් සහ රාජ්‍ය නොවන සංවිධාන අදහස් දැක්වූහ.

තෙපැයක් පුරා පැවැති මෙම ශ්‍රී ලංකා සැසියේ දී කරුණු ගණනාවක් කැපී පෙනුනි. පළමුවැන්න නම් මානව හිමිකම් කවුන්සිලය අමතා විදේශ ඇමැති මංගල සමරවීර පසුගිය 14දා කල අදහස් දැක්වීම කවුන්සිලයේ සියලු සාමාජික රටවල් මහත් ප්‍රසංසාවෙන් යුතුව පිළිගෙන ඇති බවයි. එමෙන්ම ඔහු විසින් ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ වගවිම, සංහිදියාව සහ මානව හිමිකම් ප්‍රවර්නය සඳහා වූ වැඩ සටහන ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ක්‍රියාවට නගනු ඇතැයි මානව හිමිකම්

කවුන්සිලයේ සමාජික රටවල් විශ්වාස කරනු ඇති බවයි. 2015 වසරෙහි ජනවාරි 08 දින සාමකාමි ලෙස සිදු වූ බල පෙරළිය මගින් ශ්‍රී ලංකාව යළි ප්‍රජාතන්ත්‍රවාදී මාවත කරා පැමිණ තිබීම එක්සත් ජාතීන්ගේ බහුතර රටවල කැමැත්තට හේතු වි ඇති බවද ඒ සමඟම කැපී පෙනෙන ලෙස ඉස්මතු වූ කරුණක් විය.

දෙවැන්න නම් ශ්‍රී ලංකාවේ එකී සාධනීය වර්ධනයන් තිබියදීත් මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය විසින් සකස් කරන ලද එකී යුද අපරාධ වාර්තාව බරපතල ලෙස සැළකිල්ලට ගත යුතු බව මානව හිමිකම් කවුන්සිලයේ බොහෝ සාමාජික රටවල් කල්පනා කරන බවයි. එම වාර්තාවේ එන නිර්දේශ ක්‍රියාත්මක කිරීම දැන් බොහෝ දුරටම ශ්‍රී ලංකා ආණ්ඩුව සතු වගකීමක් ලෙස සැළතෙන බවද එමෙන්ම පෙනේනට තිබුණි. වෙනත් වචනයෙන් කියන්නේ නම් මෙම වාර්තාව මත පදනම්ව ශ්‍රී ලංකාවේ යුද අපරාධ ගැන විධිමත් අන්තර් ජාතික පරීක්ෂනයක් මගින් අන්තර් ජාතික තලයෙහි නඩු පැවැරීමක් පිළිබඳ අදහසක් මානව හිමිකම් කවුන්සිලය තුල නොමැති බවයි. එවැනි තත්වයක් මතුවීමේ ඉඩ දැන් නැත්තටම නැති වී ඇතැයි කිවහැකි ය. මේ අතර ශ්‍රී ලංකාණ්ඩුව යුද අපරාධ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහමුලින්ම මඟ හැරිය හොත් පමණක් යළි එවැනි සාකච්ජාවක් මතු වීමට ඉඩක් තිබේ.

මානව හිමිකම් මහ කොමාසරිස් සෙයිඩ් අල් හුසේන් වාර්තාව ඉදිරිපත් කළේ ය

මානව හිමිකම් මහ කොමාසරිස් සෙයිඩ් අල් හුසේන් වාර්තාව ඉදිරිපත් කළේ ය

රාජ්‍ය නොවන සංවිධාන අදහස් අතර පැහැදිළී බෙදීමක් දක්නට ලැබුණි. මේතාක් කාලයක් මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයෙන් සැසිවාරයට ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටි සංවිධාන සියල්ලම පාහේ දේශපාලන බල පෙරළියෙන් පසු රට තුල සිදුව ඇති ප්‍රජාතන්ත්‍රවාදී වර්ධනයන් පිළිගනිමින් සාධනීය ආකල්පයකින් කරුණූ ඉදිරිපත් කළහ. ඊට ප්‍රතිවිරුද්ධව කරුණු දැක්වූයේ මෙයට පෙර කිසිදිනෙක ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිට නැති සංවිධාන කිහිපයක් වෙතිනි. ඉන් එක් සංවිධානයක් වූ අප්‍රිකාවේ මාලී රටේ කෘෂිකර්මය පිළිබඳ රාජ්‍ය නොවන සංවිධානය වෙනුවෙන් කතා කළ හිටපු පාම සුරේශ් ප්‍රේමචනද්‍රන් දැක්වූයේ ද නිශේධනීය ආකල්පයකි. එවැනිම සංවිධාන නියෝජනය කරමින් ආනන්දි සිසිදරන්, ශිවාජිලිංගම් සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ද කියා සිටියේ සහමුලින්ම අන්තර් ජාතික යුද අපරාධ පරීක්ෂණයක් මගින් වරද කරුවන්ට දඩුවම් ලබා දිය යුතු බවය. ඒ කිසිවකු එල්ටීටීඊ ය විසින් කරන ලදැයි වාර්තාවේ සඳහන් වන අපරාධ ගැන වචනයක්වත් කීවේ නැත.

මෙම සාකච්ජා වටයට සහභාගි වූ රටවල් කිහිපයක් දැක්වූ අදහස් කෙටියෙන් මෙසේ ය:

කොරියානු ජනරජය (දකුනු කොරියාව):
ශ්‍රී ලංකාවෙහි මානව හිමිකම් කෙළෙසීම් පිළිබද වාර්තාව සකස් කිරීමෙහිලා කරන ලද වැඩ කොටස සම්බන්ධයෙන් කොරියානු ජනරජය මහ කොමාසරිස්වරයාගේ කාර්යාලයට ස්තුතිවන්ත වෙයි. එමෙන්ම බොහෝ සීමා බන්ධනයන් ජය ගෙන මෙම කාරියෙහි නියැලුනු එම කාරය මණ්ඩලයට ද ප්‍රසංසා කරමු.
ශ්‍රී ලංකා ආන්ඩුව රට සාමය සමෘද්ධිය සහ සංවර්ධනය කරා ගෙන යැමේ නම ගමනක් ආරම්භ කර තිබේ. දැන් අන්තර් ජාතික ප්‍රජාව එයට සහාය විය යුතු ය. ප්‍රතන්ත්‍රීයකරණය කරා දුෂ්කර මාවතක යන ශ්‍රී ලංකාවට වගවීම සහතික කිරිමේලා ඇති දුෂ්කරතා අපට තේරුම්ගත හැකි ය. නමුත් එම දුෂ්කරතා ජය ගනු ඇතැයි අපි විශ්වාස කරමු.

සියරා ලියොනය:
මහ කොමාසරිස්වරයාගේ වාචික කරුණු දැක්වීම ද ඔහුගේ කාර්යලය විසින් ඉදිරිපත් කළ වාර්තාව ද අපි අගය කරමු.වාර්තාව විශාල තොරතුරු සමුදායක් ලබා දෙයි. ශ්‍රී ලංකාවෙහි සත්‍ය සෙවීමේ සහ සංහිදියාව ඇති කිරීමේ කොමිසමක් පිහිටුවීමට දැරෙන ප්‍රයත්නයට අප සහාය දිය යුතු ය. සියරා ලියොනයේ අපද එවැනි කොමිසමක් පිහිටුවා ප්‍රතිඑල ලැබූවෙමු. සමහර විට අපේ එම කොමිසම ශ්‍රී ලංකාවට ආදර්ශයට ගත හැකි ය. එවැනි සත්‍ය සෙවීමේ සහ සංහිදියාවේ කොමිසමක ප්‍රථම පියවර වනු ඇත්තේ අවංක සාච්ජාව සහ සහයෝගයයි.
ශ්‍රී ලංකාවේ නව ආණ්ඩුව, එක්සත් ජාතින්ගේ සහ වෙනත් අන්තර් ජාතික ආයතන සමඟ කටුයතු කිරිමට එය පෙන්වා ඇති කැමැත්ත අගය කරමු.

රුසියානු පෙඩරේෂනය:
අප ශ්‍රී ලංකාවේ නව වර්ධනයන් සහ සංවාදය සඳහා එය පෙන්වා ඇති විවෘත බව සතුටින් පිළිගනිමු. තමන් අනුගමනය කරන්නට යන මාවත තෝරා ගැනීමේ අයිතිය ශ්‍රී ලංකාවට තිබේ. එමෙන්ම මෙම වාර්තාවෙන් ඉදිරිපත් කැරෙන සිදුවීම් පිළිබඳ පරීක්ෂණය ශ්‍රී ලංකිකයින් විසින් කළ යුතු දෙයකි.

යෝජනාව ඉදිරිපත් කරමින් කතා කළේ එක්සත් ජනපදයයි

යෝජනාව ඉදිරිපත් කරමින් කතා කළේ එක්සත් ජනපදයයි

මහා බ්‍රිතාන්‍යය:
මහ කොමාසාරිස්වරයාගේ වාර්තාව අපි ඉහළින් පිළිගනිමු. එය යුද්ධයේ සියළුම පාර්ශව විසින් කරන ලදැයි කියන බරපතල අපරාධ එය ලේඛන ගත කර තිබේ.වාර්තාවේ නිර්දේශයන්ට අනුව වගවීම සහ සංහිදියාව ඇති කිරිම පිනිස ඒකාබද්ධ යෝජනාවකට එකඟ වෙමින් ශ්‍රී ලංකාව දක්වන ලද සාධනීය ආකල්පය සතුටින් පිළිගමු. මෙම යෝජනාවට එහිම අවසානයක් නැති අතර මේ වනාහී අර්ථ පූර්ණ සංහිදියාවක් සහ දිර්ග කාලීන සාමය සහ ස්ථාවරබව සදහා සියලු පාර්ශවයයන්ගේ කැපවීම ඉල්ලා සිටින ක්‍රියාවළියක ඇරඹුම ය.

ජපානය:
ශ්‍රී ලංකාවෙහි සැබෑ සංහිදියාවක් ඇති කිරීමෙහි ලා එරට සහ අන්තර් ජාතික ප්‍රජාව අතර සාධනීය සංවාදයක් අවශය ය. ඒ සදහා ශ්‍රි ලංකාව දරන ප්‍රයත්නයන් ප්‍රවර්ධනය කළ යුතු ය‍.ජපානය වසර ගණනාවක් පුරා එම කාරියෙහි යෙදී සිටි. මහ කොමාසරිස්වරයාගේ කාර්යාලයේ වාර්තාව ශ්‍රී ලංකාව දරන සංහිදියා ප්‍රයත්නයක් ඉහළ නැංවීමට හේතු වනු ඇතැයි අපි විශ්වාස කරමු. එකී ප්‍රයත්න ජපානයේ ප්‍රසංසාවට හේතු වෙයි. ජපානයේ ප්‍රමුඛ පෙළේ අභියෝජකයකු සහ කාම්බෝජයේ අතිවිශේෂ අධීකරණයෙහි විනිසුරුවරයකු සලස සේවය කළ මූටෝ නොගූචි අප ලබන මාසයේ දී ශ්‍රී ලංකාවට යවමු. ඒ අපේ සාධනීය සාකච්ජාවේ එක් පියවරක් ලෙස ය.

ජර්මනිය:
ශ්‍රී ලංකාවේ වත්මන් වර්ධනයන්, එනම් පනාධිපතිවරණය සහ සාමකාමී බල හුවමාරුව එරටෙහි සහ එරට පුරවැසියන්ගේ අනාගතය සම්බන්ධයෙන් පෙනෙන දිරිමත් සළකුණකි. එසේ වෙතත් මහ කොමසාරිස්වරයාගේ වාර්තාව සිවිල් යුද්ධය අතරතුර එරට සිදුව ඇති බරපතල සහ පැතිරුණූ මානව හිමිකම් කෙළෙසීම් මතකයට නංවයි. එම අනර්ඝ වාර්තාව සම්බන්ධයෙන් අපි ස්තුතිවන්ත වෙමු.

දශක ගණනාවක යුද්ධයකින් පසු සමාජයට පුලුල් සහ විස්තිර්ණ සංහිදියා ක්‍රියා දාමයක් අවශය ය. එහිලා වින්දිතයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වලට හඩක් තිබිය යුතු ය‍.

මෙම ක්‍රියාදාමය සාර්ථක කර ගැනීමෙහිලා ශ්‍රී ලංකා ආණ්ඩුවේ කැපවීම අපි ඉහළින් අගය කරමු.ඉදිරිපත්ව ඇති යෝජනාවෙහි ඇති සාධාරණ සහ සමබර බස විශාල ඉදිරි පිම්මක් නියෝජනය කරයි.

යුරෝපා සංගමය මහ කොමසාරිස්වරයාගේ වාර්තාවෙහි එන නිර්දේශ සියල්ල සමඟ එකඟ විය. ඒ අනුව යුරෝපා සංගමයේ සියලු රටවල් එම ස්ථාවරය හා බැදේ. මානව හිමිකම් කවුන්සිලය හමුවෙහි අදහස් දැක් වූ ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඩෙන්මාර්කය, ස්විස්ටර්ලන්තය, නොර්වේ, තායිලන්තය, ඇල්බේනියාව යන රටවල් ජනවාරි 08දා පැවැති ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකාවේ සිදුවෙමින් ඇති සහ සිදුවන ප්‍රජාතන්ත්‍රීයකරණය අගය කළහ. එමෙන්ම වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළහ. වගවීම පිළිබඳ තිබිය යුත්තේ හුදෙක් දේශීය යාන්ත්‍රණයක් ද නැත්නම් දෙමුහුන් යාන්ත්‍රණයක් ද සම්බන්ධයෙන් විවිධ රටවල් වෙනස් අදහස් දැක් වූහ. ඒ කෙසේ වෙතත් ශ්‍රී ලංකාව පිළිබද යෝජනාවට යම් විරුද්ධත්වයක් දැක්වූයේ අයර්ලන්තය පමණි. එය කියා සිටියේ යෝජනාව ප්‍රමාණවත් තරම් දැඩි නැති බවයි.

දැන් ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ඒකාබද්ධ යෝජනාවක් ලෙස සම්මත වී තිබේ. දැන් අනතුරුව එළඹෙනු ඇත්තේ ශ්‍රී ලංකාවේ වාරය යි. එනම් වගවීම, සංහිදියාව සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ තමන් විසින් දේශිය සහ විදේශිය වශයෙන් දී ඇති පොරොන්දු ඉටු කිරීම කරා පෙරට යෑමයි.

වාර්තාවී ඇති යුද අපරාධ පිළිබඳ පරීක්ෂා කැරෙන විශේෂ කවුන්සල්වරයාගේ කාර්යාලය මෙන්ම සත්‍ය සහ සංහිදියා කොමිසම පිහිටුවෙනු ඇත්තේ මෙතැන් සිට මාස 12 -18ත් අතර කාලකදී බව අමාත්‍ය මංගල සමරවීර මානව හිමිකම් කවුන්සිලය හමුවේ කියා සිටියේ ය. එනමුත් ඒසා කාලයක් යුද්දයෙන් විපතට පත් ජනයාට බලා සිටිය නොහැකි ය. ඔවුන්ට සිය ජීවිතය ඉදිරියට ගෙන යෑමට අවශ්‍ය පරිසරය සකස් කිරීම ශ්‍රී ලංකා ආන්ඩුව නොපමාව පියවර ගත යුතු අතර එමගින් වගවීම සහ මානව හිමිකම් කරා වූ සිය කාර්ය පටිපාටිය පිලිබඳව වින්දිතයින් අතර විශ්වාශයක් ගොඩ නැගීමට කටයුතු කළ යුතු ය.

Back to Top