Sri Lanka Brief
පුවත්විවරණජවිපෙට සහාය දුන් සහෝදරවරුනි, දැන් කතා කරන්න! – සුනන්ද දේශප්‍රිය

ජවිපෙට සහාය දුන් සහෝදරවරුනි, දැන් කතා කරන්න! – සුනන්ද දේශප්‍රිය

by

( මහා මැතිවරණ සමයෙහි ජවිපෙ වේදිකාවෙහි පෙනී සිටි වාමාංශික පිරිස්  –  ජායාරූපය. ජවිපෙ මුහුණු පොතෙනි)

පසුගිය ජනාධිපතිවරණයේ දී ජනතා විමක්ති පෙරමුණ ප්‍රධාන විපක්ෂය බවට පත් කිරීමේ අරමුනින් දීර්ඝ කාලයක් මෙරට ප්‍රගතිශීලී ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරීන් ලෙස කිර්තිමත් ඉතිහිසයක් තිබූ විශාල පිරිසක් ඊට සහාය පළ කළහ. ජවිපෙට සහාය දෙන ලෙස ඉල්ලා සිටි රුස්වීම්හි කතා පැවැත්වුහ. දැන්වීම්වල පෙනී සිටියහ.

මෙරට ප්‍රගතිශීලි ව්‍යාපාරය ප්‍රධාන සාධක දෙකකින් සමන්විත ය. එකක් නම්   සමාජ සාධාරණය වෙනුවෙන් කැපවීමයි. ඊට සිවිල් දේශපාලන අයිතීන් මෙන්ම සමාජ ආර්ථික අයිතින් ද අයත් වෙයි. අනෙක් සාධකය නම් ජන ප්‍රජාවන්හි සාමූහික අයිතීන් සුරැකීමයි. විශේෂයෙන්ම මෙරට දෙමළ කතා කරන ජනයාගේ සාමූහික අයිතීන් වෙනුවෙන් පෙනී සිටීම යි. ජනවාර්ගික වශයෙන් බහුතර සුලුතර බෙදීමක් ඇති නිසාම ද බහුතරය වන සිංහලයින් සෑම විටක ම රාජ්‍ය බලයේ උරුමකරුවන් වන නිසාම ද මෙරට දෙමළ ජනයාට තමන් විසින් තමන් පාලනය කර ගැනීමේ දේශපාලන ක්‍රමයක් අවශ්‍ය බව මෙරට ප්‍රගතිශීලී ව්‍යාපාරයේ දිර්ඝ කාලීන පිලිගැනීම වේ. අගොස්තු මහා මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුනට සහාය දෙන ලෙස ඉල්ලා සිටි බොහෝ ප්‍රගතිශීලී පිරිස් ද දිර්ඝ කාලයක් එම අදහස දැරූ අය වෙති.

දැන් ශ්‍රී ලංකා ආන්ඩුව මෙරට දෙමල ජනයාගේ දැවෙන ප්‍රශ්ණ දෙකකට විසදුම් සෙවිමට අන්තර් ජාතික ප්‍රජාව සමඟ ගිවිස ගෙන තිබේ. ඒ පසුගිය ඔක්තෝබර 01දා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙහි සම්මත කරන ලද ශ්‍රී ලංකාව පිලිබඳ යෝජනාව මගිනි. එය මෙරට පළාත් සභාවන්ට බලය බෙදීම සම්බන්ධ 13වන සංසෝධනය ක්‍රියාත්මක කරන බවට ශ්‍රී ලංකා ආන්ඩුව එකඟ වී තිබේ. ඇත්ත වශයෙන්ම නම් ජනාධිපතිවරණයේදී සහ මහා මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය එම ස්ථාවරය ප්‍රසිද්ධියේ කියා සිටියේ ය. එමගින් ආන්ඩුව මෙරට ජනතාව සමඟ ද බලය බෙදා හැරීම නියමානුකූළව කිරීමට ගිවිසුමකට එළඹ තිබේ.

පළාත් සභා යනු බලය බෙදීමේ ප්‍රාථමික ක්‍රමයකි. එය සන්ධිය හෝ පෙඩරල් ක්‍රමයක් නොවේ. දැන් දෙමළ ජනතාවගේ ප්‍රධාන දේශපාලන පක්ෂය ද 2015 සැප්තැම්බර් ජිනීවා යෝජනාවට එකඟ වී තිබේ. දශක ගණනාවක යුද්ධය විසින් දෙපලු කර ඇති ශ්‍රී ලංකික ජන සමාජය තුල එකිනෙකා කෙරෙහි විශ්වාශ ඇති කිරීමේ ආරම්භක පියවරක් ලෙස පළාත් සභාවන්ට හිමි බලතල ඒ ආකාරයෙන් ම ලබා දී උතුරු නැගෙනහිර දෙමළ ජනයාට යම් මට්ටමක හෝ දේශපාලන විසදුමක් ලබා දීමට අවස්ථාව මෙමගින් ලැබි තිබේ. එමෙන්ම යුද්ධය විසින් ඇති කරන ලද බියකරු කැලැල් ආමන්ත්‍රණය කිරීමට ද ප්‍රජාවන් අතර විශ්වාසය ගොඩ නැගිමට ද යෝජනාව මගින් අවස්ථා විවර කරයි.

මෙම මාහැඟි අවස්ථාව විනාශ කිරීමට රාජපක්ෂ සමාගම කටයුතු කිරීම තේරුම් ගත හැකිය. මන්ද යත් බලයට ඒමේ රාජපක්ෂ හීනය රඳා පවත්නේ අමු ජාතිවාදය මගින් සිංහල ජනයා කුලප්පු කිරීම මත නිසා ය.

යාපනයේ පැවැති ජවිපෙ චේ අනුස්මරණ උත්සවය 2015  ජායාරූපය. ජවිපෙ මුහුණු පොතෙනි)

යාපනයේ පැවැති ජවිපෙ චේ අනුස්මරණ උත්සවය 2015 ජායාරූපය. ජවිපෙ මුහුණු පොතෙනි)

නමුත් පසුගිය මහා මැතිවරණයේ දි ස්වාධීන වාමාශික බුද්ධිමතුන් සිය වේදිකාවට කැඳවමින් නව මුහුණුවරක් ලබා ගත් ජනතා විමුක්ති පෙරමුණ ද දැන් මේ සම්බන්ධයෙන් වඩා ලංවන්නේ රාජපක්ෂ පිලට ය.ජවිපෙ සිය ඉතිහාසය පුරාම බලය අල්ලා ගැනීම සම්බන්ධ කළේ පන්ති සටනට වඩා අනෙක් ජන ප්‍රජවන්ට එරෙහිව සිංහල රණකාමය ඇවිල වීමට ය. දැන් යළිත් ජවිපෙ පියවර මනිමින් සිටින්නේ එම ලාබ ජනප්‍රියත්වය කරා දැයි දැන් සැක සිතේ.

ජිනීවි යෝජනාව සම්මතවිමෙන් තෙදිනකට පසු ඒ පිලිබදව පුවත්පත් සාකච්ජාවක් පැවැත් වූ ජවිපෙ මෙසේ කිවේ ය:

‘‘ ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්ණයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සාකච්ජාවට ගැනීමත් විමර්ශන වාර්තාවක් ප්‍රසිද්ධ කිරීමත් රටට හානියකි. …පසුගිය රිජීමය කටුනායක දී , හලාවත දී සහ වැලිවේරියේ දී අයිතීන් ඉල්ලූ ජනයා ඝාතනය කළහ. අන්තර් ජාතික ප්‍රජාව මෙම සිදුවීම් අප රටට එරෙහිව චෝදනා කිරීමට අල්ලා ගත්හ. එමෙන්ම මාධ්‍ය වේදීන් පහර දී ඝාතනය කර මාධ්‍ය ආයතයන්ට ගිනි තැබූහ. මෙම සිදුවීම් ද මානව හිමිකම් කවුන්සිලය විසින් පාවිච්චි කරන ලදී. මහින්ද රාජපක්ෂ 13 වන සංසෝධනය යටතේ බලය බෙදීමට ද එකඟ විය. මෙම වසරේ ජිනීවා යෝජනාවෙන් විදේශීය විනිසුරන්, අභියෝජකයින්, නීතිවේදීන් සහ විමර්ශකයින් ඇතුළත් මිශ්‍ර උසාවියක් පිහිටුවනු ලෙස නිර්දේශ කර තිබේ. තවද එය උතුරෙහි ප්‍රශ්ණය 13 වන සංසෝධනය මගින් විසඳිය යුතු යැයි ද කියා සිටී. ’’

අන්තර් ජාතික ප්‍රජාව මෙරට මානව හිමිකම් ගැන කතා කිරීමජවිපෙ දකින්නේ අනවශ්‍ය අත පෙවීමක් ලෙස ය! ඉන් මෙරට මානව හිමිකම් ආරක්ෂා වීමට ලද සහාය එය දකින්නේ නැත.

එම පුවත්පත් සාකච්ජාවේ දී ම මෙරට මානව හිමිකම් සුරැකිය යුතු බවටත්, දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතු බවටත් මානව හිමිකම් කඩ කළ පුද්ගලයින්ට දඩුවම ලබා දිය යුතු බවටත් ජවිපෙ තර්ක කල බව සඳහන් කළ යුතු ය. එසේ නමුත් මෙම සාකච්ජාවේ මූලික හරය වන්නේ ශ්‍රි ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් මැදිහත් වීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අයිතියක් නැති බවටත් 13 වන සංසෝධනය ක්‍රියාත්මක කරන්නට යැම වරදක් බව කීමත් ය‍.එමෙන්ම විදේශිය විනිසුරන් යනාදීන්ගෙන් සමන්විත මිශ්‍ර උසාවිය ශ්‍රී ලංකාවට අධිරාජ්‍යවාදී අත පෙවීමක් බව කීමටත් ය.

මේ එක්තරා විදිහකට දේශපාලන වශයෙන් 1983 සහ 2005 කරා පසු බැසීමකි.

දැනටමත් ප්‍රධාන පෙළේ ලේඛකයින් කිහිප දෙනෙකු විසින් ම පෙන්වා දී ඇති පරිදි මෙරට ඉතිහාසයේ කැපි පෙනෙන අවස්ථා දෙකක දී මෙවැනි මිශ්‍ර උසාවි පිහිටුවා තිබේ. එනම් 1959 අගමැති බණ්ඩරනායක ඝාතන නඩුව සම්බන්දයෙන් හා 1992 ජෙනරල් කොබ්බෑකඩුව ඝාතනය සම්බන්ධයෙනි. එම මිශ්‍ර උසාවි/ කොමිෂන් සභා එක් ශ්‍රී ලාංකික විනිසුරකු සහ විදේශීය විනිසුරන් දෙදෙනෙකු බැගින් සහභාගි වූ ඒවා විය.

උක්ත පුවත්පත් සාකච්ජාවේදී ම ජවිපෙ කියන්නේ දැනටමත් නව ආන්ඩුව යටතේ අධිකරණය ගැන විශ්වාශය පලදු වෙමින් ඇති බවත් ධනවතුන් කෙරෙහි පක්ෂග්‍රාහීත්වයක් ඇති බව පෙනී යන බවත් ය‍.

ශ්‍රී ලංකාවේ පසුගිය කාලයෙහි පත් වූ ශ්‍රේෂ්ඨාධිකරන අග විනිසුරන් සහ අග විනිසුරියන් බලයේ සිටි ආන්ඩු වලට කොතරම් පක්ෂග්‍රාහී වුයේ ද යන්න රහසක් නොවේ. සරත් සිල්වා අධිකරණය ගඳ ගැස් වූ අතර මොහාන් සිල්වා එය දේශපාලන වැසිකිළියක තත්වයට පත් කළේ ය. තවමත් ශ්‍රේෂ්ඨාධිකරණයෙහි ඇති රාජපක්ෂ බලපෑම ද රහසක් නොවේ.

වත්මන් ආන්ඩුවේ ඇමැතිවරුන්ගේ බලපැම් හමුවේ මැතිවරණ සමයේ මහා ආන්දෝලනයක් වු පාවෙන සහ නොනිල අවි ගබඩා තිබූ අවන්ට් ගාඩ් ආයතනය පිලබඳ පරීක්ෂනය වසා දමනු ලැබ තිබේ. එමෙන්ම මැතිවරණ සමයේ ඉලක්කයක් වූ ප්‍රභාකරන්ගෙන් පසු එල්ටීටීඊ නායකයා වූ කේපි නොහොත් කුමරන් පත්මනාදන් ද දැන් නිදහස් ය.

ශ්‍රී ලංකාවේ පොලීසියේ තරම සේයා ළදැරිය ඝාතන පරීක්ෂනය හත් පොලේ ගා ගනිමින් සිටින සැටියෙන් ම පෙනේ. ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතන පරික්ෂණය තීරණාත්මක සිවිල් සමාජීය මැදිහත් වීමක් නොතිබුනි නම් දැනටමත් වළපල්ලේ ය. අර්ජුන මහේන්ද්‍රන් මගඩිය වසා දැමීමට සම්බන්ධ වුයේ ආන්ඩුවේ ඉහළම තැන් ය.

තවමත් සනාථ නොකල වරදවල් වෙනුවෙන් වසර 19ක් 16ක් 12ක් යනාදී ලෙස දෙමළ තරුණයින් සිරගත කොට ඇති අතර මිලියන 600ක වංචාවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවෙහි නඩු පැවැරී ඇති රාජපක්ෂගේ ඉහළ පෙළේ නිලධාරීන්ට ඇප ලැබේ.

මෙවැනි තත්වයක් ඇති රටක යුද අපරාධ වැනි බරපතල චෝදනා ස්වාධීනව විභාග කිරීමට හුදෙක් දේශීය විනිසුරන් පමණක් ඇති අධිකරණයක් සමත් වනු ඇතැයි සිතිය හැකි ද? එවැනි විශ්වාසය කඩ වූ අධිකරණයකින් තමන්ට යුක්තිය ඉටු වනු ඇතැයි දෙමළ ජනයා විශ්වාස කරනු ඇත් ද?

වගවීම පිළිබඳ මෙම ප්‍රශ්ණයේ දී සහ පොදු වශයෙන් ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් අඩුම වශයෙන් විවෘත ස්ථාවරයක සිටීමට ජවිපෙට හැකි විය යුතුය.

ජවිපෙ හොදාකාරවම දන්නා පරිදි 1989 – 1990 කාලයෙහි ජවිපෙ සටන්කාමීන්ගේ මානව හිමිකම් රුක ගැනීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ වෙනත් අන්තර් ජාතික මානව හිමිකම් ආයතන උපයෝගි කර ගැනුනි. මැත කාලයෙහි මාතලේ සමූහ මිනීවල පිළිබඳ පරික්ෂනය සඳහා පවා අන්තර් ජාතික සහාය අත්‍යවශය විය.

මේ වනාහී ජනතා විමුක්ති පෙරමුණයට සහාය දුන් ප්‍රගතිශීලී පිරිස් මුහුණ දෙන අභියෝගයකි. ජවිපෙ මෙයට පෙර තිරණාත්මක අවස්ථාවලදීමෙන් බලය බෙදීමට සහ 13වන සංසෝධනයට විරුද්ධ ජාතිවාදී මඩ ගොහොරුව කරා යළි ඇදී යාම වැළැක්වීම ඒ සැමගේ වගකීමකි. ජනතා විමුක්ති පෙරමුණහි දේශපාලන ස්ථාවරය වෙනස් නොවුන හොත් විරවංශ – රාජපක්ෂ යනාදින් විසින් එල්ල කරනු ඇති ජාතිවාදී තෙරපුම් හමුවෙහි ජවිපෙ ද තමන්ගේ ම වූ ජාතිවාදී පදනමකට ඇදී යාමට ඉඩ තිබේ. එමගින් එය තව දුරටත් මෙරට සුලුතර ජනවර්ග කෙරෙන් හුදකලා වනු ඇත.

සමාජ සාධාරණත්වය සහ පිරිසිදු දේශපාලනයක් වෙනුවෙන් නමක් දිනා ගෙන ඇති ජනතා විමුක්ති පෙරමුණ ප්‍රගතිශීලී සහ ප්‍රජාතන්ත්‍රවාදී පුලුල් ව්‍යාපාරයක් බවට පත් වන්නේ ද නැත් ද යන්න මෙම දේශපාලන අවස්ථාවෙහි දී කරුණූ තුනක් මත රදා පවතී.

පළමු වැන්න නම් රටක ජනතාවගේ මානව හිමිකම් රැක ගැනීම හුදෙක් ජාතික රාජ්‍යයේ සීමාවට කොටු නොවන බවත් මානව හිමිකම් විශ්මය වටිනාකම් බැවින් ඒවායේ අන්තර් ජාතික මානය ද පිලිගැනීම ය. නූතන යුගයේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් විමට නම් මෙම මතවාදී වර්ධනය අතවශ්‍ය වේ.

දෙවැනිව මෙරට දෙමළ ජනතාව වාර්ගික පීඩනයකට ලක්ව සිටින බවත් එබැවින් සාකච්ජාමය දේශපාලන විසදුමක් මගින් ඊට විසදුම් සැපයිය යුත් බවත් මෙම අවස්ථාවෙහි 13වන සංසෝධනය ක්‍රියාත්මක කිරීමෙහි වැදගත්කම පිලිගැනීමත් ය‍

තෙවැනිව යුද්ධ කාලීන මානව හිමිකම් කෙලෙසීම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කිරීම පිනිස ස්වාධීන සහ විශ්වසනීය යාන්ත්‍රණයක් වෙනුවෙන් පෙනි සිටීමත් බෙදී ගිය රට එක් කිරීම පිනිස දිර්ඝ කාලීන වශයෙන් සත්‍ය සෙවීමේ සහ ප්‍රති සන්ධාන ක්‍රියාදාමයක් අත්‍යවශ්‍ය බව පිලිගැනීමත් ය‍.

මෙම කරුණු පිලි නොගෙන ඒවා හෙළා දැකීම මගින් ද ජවිපෙට පුලුල් ව්‍යාපාරයක් විය හැකි ය. ඒ පසුගාමි සහ ජාතිවාදී දේශපාලන ව්‍යාපාරයක් ලෙස ය.

 

 

Back to Top