Sri Lanka Brief
පුවත් විශේෂාංගවිවරණගුටි කෑමට නියමිතයි! – රංජිත් හේනායකආරච්චි

ගුටි කෑමට නියමිතයි! – රංජිත් හේනායකආරච්චි

by
නිතියේ පාලනය !

නිතියේ පාලනය !

යම් කිසි නීති විරෝධී ක්‍රියාවක යෙදුනාය යන චෝදනාව ලබා සැකකරුවෙකු ලෙස ලංකාවේ පොලීසිය වෙත ගිය හෝ ගෙන ගිය අයෙකු එහි ඇතුළුවීමටත් ප්‍රථම බියෙන් බිරාන්ත වී බිය නිසාත්ම ආත්මීය වශයෙන්ම මිය ඇදෙන බව ලංකා සමාජයට රහස් නොවෙති. ලංකා පොලීසිය සහ ගුටිකෑම එකට බැදී ඇති වදනක් තරම්ය. වරදක් කලා හෝ නොකලා සැකකරුවෙකු ලෙස හෝ සාක්ෂිකරුවෙකු ලෙස පවා පොලීසියට ගියවිට පරිභවයට ලක්වී පහර කෑමට සිදුවීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇත. දේශාපලන බලය හිමි හෝ එසේ නැතිනම් ධනබලය හිමිකමින් රාජ්‍ය බලයට ඈදුන අයෙකු හැර අනෙක් සෑම ලාංකික වැසියෙකුටම පොලීසියේදී මුහුණ දෙන්ට වන පොදු ධර්මතාවය මෙයයි. පොලීසිය වෙත යන පුද්ගලයාට පරිභව කිරීමේ සිට අතින් පයින් පහරදීම, දණ්ඩෙන් වදයෙන් මුසපත් කිරීමේ සිට වෙඩි තබා දියේ ගිල්වා මරා දැමීම හෝ සම්පූර්ණයෙක් අතුරුදහන් කිරීම දක්වා වන ඕනෑම දෙයක් මෙම නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට ගොඩනගා ඇති ආයතනය තුලදී සිදුවීමට ඉඩඇති බව බලය නැති ඕනෑම රටවැසියෙකු දන්නා කාරණාවකි. ලංකා පොලීසිය තුල සිදුවන්නේම නීතිය සහ සාමය කඩකිරීම බව ලංකා රටවැසියා තම අත්දැකීමෙන්ම ලබා ඇති දැනුමයි.

ලංකාවේ මේ තත්වය අද ඊයේ ඇතිවූ දෙයක් නොවන බව අප දනිමු. පොලිස් අත්අඩංගුවට ගත් මිනිසුනට මහපාර දිග පහර දෙමින් පොලීසිය දක්වා පෙරහැරෙන් ගෙන යන අයුරු අප කුඩා කල ද දැක ඇත්තෙමු. ( හැට ගණන්වල) එදා පොලීසිය රට වැසියා ඉදිරියේ හැසිරුනේ ප්‍රාදේශීය අධිපතීන් ලෙසටය. 71 කැරැල්ල සහ දෙමළ කැරලිකාරී කණ්ඩායම්වල ක්‍රියාකාරිත්වය එතෙක් තිබූ තත්වය වෙනස් කරමින් පොලීසි වලට අභීයෝග කරනු ලැබීය. නමුත් එයට වන්දි ලෙස එම කැරලි කරුවන් දහසක් වද බන්ධනයට යටත් කර බොහෝ විට මරා දමනු ලැබීය. නමුත් මෙම කැරලිකරුවන්ගේ අභියෝගයන් පොලීසිවල යම්කිසි වෙනසක් ඇතිකරනු ලැබීමට හේතුවිය. කෙසේ වුවත් හැත්තෑ ගණන්වල අවසානය වනතුරුම පොලීසිය උසාවිය ඉදිරියේ සුවච කීකරු කොටසක් ලෙස හැසිරුණු බව දකින්නට තිබුනි. (මෙයින් අදහස් වන්නේ ඔවුන් නීතිය අකුරට ක්‍රියාකළා යන්න නොවේ) ඒ එදා පොලීසිය නීතියේ ආධිපත්‍යට යටත්ව පැවතුණ ආයතනයක් බැවිනි.

නමුත් මේ තත්වය වෙනත් මග කට ගමන් කිරීම, බලය ඇති දේශපාලඥයින්ගේ උවමනාවට මිනී මරන, ඒවාගේම එතෙක් පොලීසිවල උදහසට ලක්වෙමින් පොලිස් ජීප් රියක් එන හඬට පවා බියෙන් පැන දුවන චන්ඩීන්, හොරුන්, කචල් කාරයන් නැත්නම් ගම්වල සහ නගරවල හැබිචෝල්කාරයින් ලෙස නම්දැරූ අය පොලීසිවල ප්‍රධානීන්ට අණදෙන, පොලීසිවල ප්‍රධානීන් මොවුනට ‘සර්’ කියා අමතන යුගය ඇරඹෙන්නේ ජේ.ආර්.ජයවර්ධන රටේ දේශපාලන බලය තම අතට ගෙන මෙම රස්තියාදුකාරයන් තමන්ගේ ආරක්ෂක වලල්ල ලෙස පාවිච්චි කිරීම ඇරඹීමත් සමගය. කැළණියේ ක්‍රිස්ටෝපර්ලා, ගෝනවල සුනිල්ලා, සොත්ති උපාලිලා ආදී මෙකී නොකී නම්වලින් පතල දූෂිත මැරයන් දේශපාලන බලවතුන්ගේ බලය අතට ගෙන ඔවුන් සමග එක පෙලට ගමන් කිරීම ඇරඹීම සමගය. ගෝනවල සුනිල්ට හෝ සොත්ති උපාලිට ‘සර්’ නොකී මේ වරදට කණ පැලෙන්න ගුටි කෑ පොලිස් ස්ථානාධිපතිවරුනට වහාම ක්‍රියාත්මක වන පරිදි වන්නියට හෝකංකසන්තුරේට දඬුවම් මාරුවක්ද ලැබුණි. ඒවාගේම මෙම මැරයින් තම විරුද්ධවාදීන්ට එරෙහිව යොදාගත් දේශපාලඥයින් ඔවුනට පොලිස් ආරක්ෂාව දෙමින් උසාවි ඉදිරිපිට හූ කීම, නඩු කාරයින්ගේ ගෙවල්වලට ගල් ගැස්සවීමේ සිට එදිරිවීර සරත්චන්ද්‍ර වැනි බුද්ධිමතුනට කාණුවල දමා පහරදීම ආදිය කරවනු ලැබුවේ මෙම මැරයිනට පොලිස් ආරක්ෂාව දෙමිනි.

මෙම ගමනේ ඊළඟ අවධීන් ලෙස මේ චන්ඩීන් පොලීසිවලට ඉහලින් සිටීමත් සියළුම දේශපාලන මැර ක්‍රියාවන්හි යෙදෙද්දී පොලීසිය සමග අත්වැල් බැඳ ගැනීමත් දිගින් දිගටම දකින්නට ලැබුනි. මෙහිම තවත් දිගුවක් අයුරින් මහජන අරගලවලට පහර දෙමින් ඒවාට මැදිවන අය අතුරුදහන් කිරීම සිදුකරනු ලැබීය. මහින්ද රාජපක්ෂ යුගය මෙහි උච්ඡතම තත්වයට පත්වේ. ශිෂ්‍ය පෙලපාලිවලට පහරදෙන මැරයින්ට පොලීසිය ප්‍රසිද්ධියේ උදව්දෙන අයුරුත් ඔවුන්ද එම සිසුන්ට පහර දෙන අයුරුත් ඒවාගේම මෙම මැරයින් විසින් අල්ලා ගන්නා සිසුන්ට පොලීසිය මහමග දිග නිර්ලජ්ජිත අයුරින් පහර දෙන අයුරු රජයේ රූපවාහිනියෙන්ම රටටම දැක ගැනීමට සලස්වනු ලැබීය. ශිරාණි බණ්ඩාරනායක සිද්ධියේදී උසාවි එන නීතිඥයින්ට පවා ප්‍රසිද්ධියේ පහර දෙන හැටි රාජපක්ෂලාම රූපවාහිනියෙන් පෙන්වනු ලබයි. මේ පොලීසිය නන්නත්තාර වන අවධියයි. නීතියට යටත් නැති පොලීසියක් නිර්මාණය කරනු ලැබූ ආකාරයයි. නඩු කාරයින්ගේ අණ පොලීසිය තුට්ටුවකට ගණන් නොගන්නා තත්වයක් ඇතිකරනු ලැබීය. නියෝජ්‍ය පොලිස්පතිවරු පවා කුලියට මිනී මරණ තත්වයක් ඇතිවිය. කප්පම් ගැනීම සඳහා පුද්ගලයින් පැහැර ගැනීම පොලීසියේ සහ මෙම පාතාල මැරයින්ගේ ‍ඒකාබද්ධ ව්‍යාපාරයක් බවට පත්වනු ලැබීය. එහි කොටස්කරුවන් ලෙස බලවත් දේශපාලඥයන්ද සිටි බව දැන් දැන් එළිවෙමින් පවතී.

මේ යාපනයේ දී 

මේ යාපනයේ දී

අද වන විට මෙම පොලිස් හිංසනය සිදුවන අයුරු පිළිබඳ සිය ගණන් වීඩියෝ පට අන්තර්ජාලය හරහා විකාශනය වේ. නීතිය සහ සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින ආයතනය නැවත හීලෑ කළ යුතව ඇත. එය නැවත නීතියේ ආධිපත්‍ය වෙත එනම් අධිකරණයට යටත්ව පවතින ආයතනයක තත්වයට පත්කළයුතුව තිබේ. පොලිසිය සම්පූර්ණයෙන්ම දේශපාලන ආධිපත්‍ය යෙන් මුදවා අධිකරණය යටතට පත්කළ යුතුව ඇත.
යහපාලනය ඇතිකිරීම යන්න වචන හරඹයක් නොවී ප්‍රා යෝගිකව ක්‍රියාත්මක විය යුතු වැඩ කොටසකි. එයින් ප්‍රධානම එක වන්නේ නීතිය මත පාලනය ඇති කිරීමයි. ඒ සඳහා නීතියේ ආධිපත්‍ය මත ක්‍රියාත්මක වන පොලිස් සේවාවක් අත්‍යවශ්‍ය වේ.

නමුත් පොලිසිය දැන් ඇත්තේ අයාලේ ගොස් කුලෑටි වූ හරක් රෑණක් මෙනි. එය නැවත හීලෑ කළ යුතුව ඇත. රාජපක්ෂ කල්ලියේ හිතුවක්කාරී බවින් පෝෂණය ලැබූ එහි විශාල කොටසක් තාම පැරණි තත්වයෙන්ම ක්‍රියාත්මක වන බව පසුගිය වකවානුවේ විවිධ ක්‍රියාවන් තුලින් පෙන්නුම් කරනු ලැබීය. සේයා දැරිය ඝාතනයේ සැකකරුවන් ලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයන් කී දෙනෙකු පපොච්ඡාරණය කළ බවත් ඔවුන් එම වැරදිකරුවන් බවත් පොලිසිය ප්‍රසිද්ධියේ ප්‍රචාරය කරනු ලැබුණිද? වාසනාවකට මෙන් ඔවුන් ආයුධ පෙන්වීමට ගොස් පැන යාමට තැත් කරනු නොලැබීය. නැතිනම් අපරාධකරුවා ලෙස පාපොච්ඡාරණය කළ අහිංසකයෙකු වරද කරුවෙකු ලෙස දියෝ ගිලී හෝ වෙඩි වැදී මිය යන්නට ඉඩ තිබුනේ සැබෑ වරදකරු නිදැල්ලේ හැසිරෙද්දීය.

මෙහිදීම මතක් කළ යුතු තවත් කරුණක් වන්නේ පසුගිය වකවානුවේ (යුධ අවසානයෙන් පසු) ආරක්ෂක ලේකම්වරයාගේ අධීක්ෂණය යටතේ පවත්වා ගත් විශේෂ පොලිස් ඒකක සහ වෙනත් පොලීසි මගින් අපරාධකරුවන් ලෙස හංවඩු ගැසූ (කුඩු කාරයින්, ස්ත්‍රී දූෂකයන්, හොරුන් සහ මංකොල්ලකරුවන්, මිනීමරුවන් ලෙස ) කොපමණ නම් පිරිසක් තමන් එම අපරාධය කළ බවට පාපොච්ඡාරණය කර ආයුධ පෙන්වීමට ගොස් මාංචු පිටින් දියට පැන පීනා යාමට ගොස් දියේ ගිලී හෝ මාංචු දැමූ දෑතින් පොලීසියට ආයුධයකින් පහරදීමට උත්සාහ කර පොලිස් වෙඩි පහරකින් මිය යනු ලැබුවේද? දැන් ඇතිවන ප්‍රශ්නය මේ අපරාධවලට වගකිවයුතු ලෙස හංවඩු ගසා පාපොච්ඡාරණයක්ද කර මියගිය (මරා දැමූ) පුද්ගලයන් සැබෑවටම එම අපරාධකරුවන්ද යන ප්‍රශ්නයයි. අනෙක් කරුණ එම අපරාධකරුවන් එසේ නම් තාමන් නිදල්ලේ සිටිනවා විය නොහැකිද? අනෙක් අතින් මෙම පොලිස් වෙඩි පහරින් මියගිය සෑම පුද්ගලයෙක්ම ඔවුන් මොන වරද කර තිබුනා වුවත් පොලීසිය විසින් මරා දැමීම මිනී මැරුමක් නොවේද? මෙවැනි විශාල ප්‍රශ්න ප්‍රමාණයක් අප ඉදිරියේ මතුවේ.

එසේනම් ලංකා පොලීසිය පුනරුක්ථාපනය කළ යුතු බව අවිවාදිතය. පොලීසියට නැවත ඔවුන් සතු කාර්ය භාරය හදුන්වා දිය යුතුව ඇත. ඒ සඳහා ලංකා පොලීසියට තමන් තමන් විසින්ම පුනරුක්ථාපනය විය නොහැකි බවද සත්‍යයකි. එයට ලෝකයේ වෙනත් රටවලින් ඉගෙන ගැනීමට හා පුහුණුවක් ලැබීමට දැන් කාලය පැමිණ ඇත.

පොලීසිය පසුගිය වකවානුවේ අඩුම තරමින් යුද්ධය අවසානයෙන් පසු කාලයේදීවත් ඔවුන් කළ වැරදිවලට පොලිස් කොස්තාපල්වරයාගේ සිට පොලිස්පති දක්වා ඔවුන්ගේ තරාතිරම් නොබලා නීතිය ඉදිරියට පැමිණවිය යුතුව ඇත. එතුලින් පමනි මින් ඉදිරියට එවැනි වැරදි නොකර සිටීමට ආයතනයක් වශයෙන් වගබලාගනු ලබනු ඇත්තේ. එසේ මෙම වැරදි කළ නිලධරයන් නීතිය ඉදිරියට ගෙන නොඑන්නේනම් මේ වැරැද්ද තවදුරටත් දිගින් දිගටම පැවතීම නොවැලැක්විය හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රමයක් ස්ථාපිත කිරීමේ කාර්යයට මෙම පොලිස් ක්‍රියාදාමය නීතිය සහ සාමයේ ආරක්ෂාව සඳහා ඇති ආයතනයක් ලෙස පැවැත්වීම වැදගත්ය. ඒ සඳහා මීට ඉහත ඔවුන් කළ වැරදි වලට එම වැරදි කළ නිලධාරීන් නීතිය ඉදිරියට ගෙන ඒම අත්‍යාවශ්‍ය කරුණකි. රජය මේ පිළිබඳ පියවර ගත යුතුය. නමුත් අනෙක් සෑම කරුණකදීම මෙන්ම මෙහිදීද සිවිල් සමාජය (දැනටමත් සිවිල් සමාජයේ විවිධ ක්‍රියාධරයන් සහ සංවිධානයන් මෙම ක්‍රියාවන්හි යෙදෙමින් පවතී) සතුව විශාල කාර්ය භාරයක් තිබේ.

සිදුවී ඇති පොලිස් අක්‍රමිකතා අතිවිශාල බැවින් ඒවා පිළිබඳ නීතිමය ක්‍රියාවන් සඳහා සිවිල් සමාජය වෙනම ඒකාබද්ධ වැඩ පිළිවෙලක් ඇතිකර ගත යුතුය. නීතිවේදීන් සහ සිවිල් සමාජ ක්‍රියාධරයන්ගෙන් සමන්විත‘වරදකරුවන් නීතිය ඉදිරියට ගෙනඑමු’ යන තේමාව යටතේ කාර්යාලයක් ගොඩ නැගිය යුතු අතර මාධ්‍ය මගින් එයට ප්‍රචාරයක් ලබා දිය යුතුය. තමනට වූ අකටයුත්ත ගැන තොරතුරු එක්කරන මධ්‍යස්ථානයක් ලෙස මෙය පවත්වා ගනිමින් එතැනට තොරතුරු, පැමණිලි, සාක්ෂි ආදිය ලබාදෙන ලෙස ප්‍රසිද්ධ කළ යුතුය. නීතිපති දෙපාර්තමේන්තුවේද සහාය ඇතිව හෝ නැතිව මෙම චූදිතනයට එරෙහිව නීති ක්‍රියාමාර්ග වෙතට ගමන් කළ යුතුව ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට පහරදීම් ආදිය ගැන අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වීඩියෝ පට සාක්ෂි අන්තර්ජාලය තුල තිබේ. අසාධාරණයට ලක්වූ පුද්ගලයින් ශක්තිමත් කර ඔවුන් සමග පැමිණිලි ගොනුකර නීති ක්‍රියාමාර්ග වෙත ගමන් කළ යුතුව ඇත. එවිට පසුගිය වකවානුවේ පොලිස් නිලධාරීන් විසින් කරනු ලැබූ එම නීති විරෝධී ක්‍රියාවන් විශාල ප්‍රමාණයක් එලිදරව් වනු ඇත. නීතිය ඉදිරියට පමුණුවන ඔවුනට දඬුවම් දීම හෝ සමාව දීම අධිකරණ ක්‍රියාදාමයක් තුල සිදුවිය යුතුය. පොලිස් නිලධාරීන් මෙම වැරදි නැවත නැවතත් කිරීම වලකා ගත හැකි වන්නේ එතුලින් පමනි. ඒවාගේම පොලිසිය ආයතනයක් වශයෙන්ම පුනරුක්ථාපනය කළ යුත බවද මගේ වැටහීමයි.

Back to Top