Sri Lanka Brief
UN-Sri Lankaපුවත්එය ජාතික සහ ජාත්‍යන්තර එකතුවකින්ම විය යුත්තේ ඇයි? – රංජිත් හේනායකආරච්චි

එය ජාතික සහ ජාත්‍යන්තර එකතුවකින්ම විය යුත්තේ ඇයි? – රංජිත් හේනායකආරච්චි

by

ඕනෑම රටක්, සමාජයක් අවුල් සහගත තත්වයක් මගහරවා ගැනීමට නම්, එම සමාජය තුල පුද්ගල සුරක්ෂිතභාවය තවුරු කර ගැනීමට නම්, වැරදිකළවුන් නීතිය ඉදිරියට ගෙනඒම ඉතා වැදගත් වනවා මෙන්ම අත්‍යවශ්‍ය කාරණයකි. ඒවාගේම වරදකට සැකකරුවන් ලෙස නීතිය ඉදිරියට ගෙන ආ පුද්ගලයන් ඉතා පැහැදිලි ලෙසම වරදකරුවෙකු ලෙස ඔප්පු කළහොත් පමණක් ඔහුව හෝ ඇයව නීතිමය දණ්ඩනයකට යටපත් කළ යුතුය. වරදක් කළ අය නීතිය ඉදිරියට ගෙන නොඒම මෙනම් සාධාරණ සැකයකින් තොරව පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම වාගේම පැහැදිලිවම වරදකරුවෙකු නීතිය මගින් තහවුරු වීමට ප්‍රථම එම පුද්ගලයින් පිළිබඳව මාධ්‍ය මගින් හෙලිදරව් වීම ආදී සියල්ලම නීතිය ක්‍රියාත්මක වීමේ අසාර්ථක භාවයන්ය.

ලංකා සමාජය තුල පසුගිය වසර 10 ක් හෝ ඊටත් වැඩි කලක සිටම නීතිය ක්‍රියාත්මක වූ අයුරු තම තමාගේ දැණුම අනුව සිතා බැලුවහොත් වරදක කළා යැයි සැක කළ පුද්ගලයන් කීදෙනෙකු පිළිබඳ මාධ්‍ය මගින් ප්‍රචාරය කර එම පුද්ගලයාගේ චරිතය ඝාතනය වන අයුරින් දිගින් දිගටම මත ප්‍රචාරය කිරීමක් කරනු ලැබ අවසානයේ පොලිස් අත්අඩංගුවේදී පාපොච්චඡාරණයක්ද කරන මෙම සැකකරුවන් නඩු ඇසීමකින් තොරව ආයුධ පෙන්වන්නට ගොස් පැන යාමට හෝ පොලීසියට පහරදීමට සැරසී වෙඩි කා හෝ දියේ ගිලී මිය ගියේද. එපමණක් නොව පසුගිය සතියේ කුඩා දරුවෙකු කපා කොටා මරා දැමුවාය සැකයට පත් අයෙකු මන්නය පෙන්වන්නට ගොස් ගල් වලක වැටී ගලක් කකුල් මත පෙරලීමෙන් බරපතල තුවාල ලැබූ බවද ලියවී තිබුණි. මේ ලංකාවේ නීතිය සහ පොලීසිය ක්‍රියාත්මක වන ආකාරයයි. බඩල්ගම අකරන්ගහ සේයා දැරිය සාපරාධී ලෙස බලහත්කාරකම් කර මරා දැමීම ගැන සැකයට පත් පාසැල් දරුවෙකු සහ තවත් අයෙකු අත්අඩංගුව ගත් පොලීසිය මේ දෙදෙනාට දින ගණනක් තිස්සේ වද දී ඇති බව දැන් හෙලිදරව් වෙමින් පවතී. නීතිය ක්‍රියාත්මක කරනු වෙනුවට හිතුවක්කාරී අත්තනෝමතිකව ක්‍රියාත්මකවීම ලංකා පොලීසියේ උරුමයයි. එය ඔවුන්ගේ පුරුද්ද වනවා මෙන්ම නීතිය ගැන මෙම පොලීසිවලට අබමල් රේණුවක දැනුමක් හෝ තැකීමක් ඇත්තේද නැත. ඒ ඔවුන් කාලයක් තිස්සේ දේශපාලඥයින් සමග එක්වී හිතුවක් කිරීමට ඇබ්බැහි වීසිටින බැවිනි. ලංකා පොලිස් ඉතිහාසයේම මෙවැනි ක්‍රියාදාමයන් වලට හුරුව තිබූ අතර පසුගිය වකවානුවේ එය උච්ඡ ස්ථානයටම පත්වනු ලැබීය.

නිතියේ පාලනය !

නිතියේ පාලනය !

රටතුල නීතිය ක්‍රියාත්මක වීම පිළීබඳ බලවත් සැකයක් ලාංකීය සෑම මිනිසෙකු තුලම පැලපදියම් වී ඇත. එයට හේතු සහ උදාහරණ උවමනාවටත් වඩා තිබේ. නීතිපතිවරු ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ බොරු සාක්ෂි කියූ බව ප්‍රකට කරුණකි. ( මොහාන් පීරිස් ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ පගීත් එක්ණැලිගොඩ විදේශයක ජීවත් වේ යැයි කීම) හිටපු අගවිනිසුරුවරිය වූ ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව දේශපාලන පලි ගැනීමේදී නීතිය සහ නීති ආයතන ක්‍රියාත්මක වූ පහත් අයුර ඒ වාගේම ඇයට එරෙහිව ‘කැලෑ උසාවි’ ආකාරයේ උසාවි වලින් දුන් තීන්දු. එමෙන්ම හිටපු අගවිනිශ්චයකාර සරත් නන්ද සිල්වා විසින් දෙනු ලැබූ වැරදි තීන්දු (Helping Hambantota). මේ ආකාර නිමක් නැති ප්‍රසිද්ධ නඩු තීන්දුවලින් කියවෙන්නේ රටතුල නීතිය ස්වාධීනව ක්‍රියාත්මක කිරීමට ක්‍රමවේදයක් නැතිකම දිගින් දිගටම ක්‍රියාදාමයක් ලෙස පැවතුණු බවයි. එනිසාම තැනක සිදුවන අපරාධයකදී ජනසමූහයා කුපිතව ඒකරාශී වී නීතිය අතට ගැනීමට උත්සාහ කරන අයුරු රට පුරාම උතුර දකුණ වෙනසක් නොමැතිව දකින්නට ලැබුණු සුළභ සිද්ධියකි. උදාහරණ ලෙස කොටකෙතන, පුංකුඩුතිව්වලදී විද්‍යා දැරිය ඝාතනය, සේයා දැරිය ඝාතනය ආදී සිදුවීම් කියා නිම කළ නොහැකි තරම්ය.

එසේනම් රටතුල නීතිය මත පාලනයක් නැතිබව එසේ නැතිනම් නීතියේ ආධිපත්‍යයක් නැතිබව රටේ පොදු ජන හැගීමයි. ඒ සාමූහික අපරාධයන් ගැන නොව ඉතා අවම මට්ටමින් ගන්නා එක එක අපරාධ සම්බන්ධයෙන්ද පවතින තත්වයයි. එසේනම් රට තුල රාජ්‍ය කරවන්නන් සහ රාජ්‍ය යන්ත්‍ර යේ මැදිහත්වීම තුලින් සිදුවූ බවට චෝදනා ලබන සමූහ අපරාධ පිළිබඳ සාධාරණ පරීක්ෂණයක් කිරීමේ හෝ සිදුවීමේ හැකියාව දේශීය යාන්ත්‍රණයකට තිබේද? තනි තනි අපරාධයක් අපක්ෂපාතී පරීක්ෂණයක් තුලින් අධිකරණ ක්‍රියාදාමයකට ගෙන ආ නොහැකි මට්ටමක පවතී නම් (ලංකා අධිකරණය ඒ තරමටම බාල්දු වී ඇති හෙයිනි) ඒසා විශාල සාමූහික අපරාධයන්   රාජ්‍ය බලය සහිත කොටස් වලට එරෙහිව විසදුම් කෙසේ සොයන්නද?

අධිකරණය, පොලීසි එසේ වනවා වාගේම දේශපාලන අධිකාරය ගැනත් අප මොහොතක් මනස යොමු කරමු. මහින්ද රාජපක්ෂ වෙනුවට මෛත්‍රී සිරිසේන ජනාධිපතිවරයා පත්කර ඇත. දිමූ ජයරත්න වෙනුවට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා පත්කර ඇත. නමුත් මේ දෙදෙනා සමගම පාර්ලිමේන්තුව පිරී පවතින්නේ වසර ගණනාවක් තිස්සේ රටේ දේශපාලන අපයෝජනයට වගකිව යුතු දේශපාලඥයින් පිරිසකි. (මොවුනට තම මනාප වැඩි වැඩියෙන් දෙමින් පාර්ලිමේන්තුවට එවා ඇත්තේ මේ රටේ ජනතාවයි)

මෙම දේශපාලඥයන්ගේ ප්‍රකාශයන් දෙස බලන විට පෙනී යන්නේ රටේ සිදුවී ඇති අපරාධයන් පිළිබඳව ඔවුන් පාවිච්චි කරන වචන බොහෝවිට හරශූන්‍ය ඒවා හෝ ප්‍රලාප බවයි. අධිකරණ ඇමතිවරයා වන විජේදාස රාජපක්ෂ ප්‍රසිද්ධියේ පවසන්නේ අප රට තුල දේශපාලන සිරකරුවන් නැත කියායි. උතුරේ යුද්ධය හා බැඳුන විවිධ ක්‍රියාකාරකම් මත සිරගෙවල රඳවාගෙන සිටින සැකකරුවන් සහ සිරකරුවන් දේශපාලන සිරකරුවන් බව නොදන්නා අධිකරණ ඇමතිවරයෙකු සිටින රටක අධිකරණ පද්ධතිය ස්වදේශීයව ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් තනිව කිරීමට හැකිවේයැයි සිතීමට හැකි වන්නේ මන්ද බුද්ධිකයින්ට පමනි. ඒවාගේම විජේදාස රාජපක්ෂ අප රටට මෙවැනි ස්වාධීන පර්යේෂණයක් කිරීමට අත්දැකීම් ඇති බව හුවා දක්වන්නේ 71 කැරැල්ල ගැන විමසීමට අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභාව පත්කිරීම වැනි මෝඩ තර්කයක් උදාහරණයට ගනිමිනි. අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන්සභා පනත සම්පූර්ණ දේශපාලන පක්ෂග්‍රාහී අවනීතියක් බවවත් ඔහු නොදනී.

එමෙන්ම බොහෝ දේශපාලඥයන්ගේ කියමන් තුල පසුගිය වකවානුවේ රටතුල වූ මිනිස් ඝාතනයන් වැරදි ක්‍රියාදාමයක් බව වටහා නොගන්නා බවත් පෙන්නුම් කරති. ඔවුන් පවසන වචනවල ගැබ්ව ඇත්තේ ‘රටට එරෙහිව විදේශ පරීක්ෂණ’ යන්නයි. නමුත් ඔවුන් කිවියයුතු වන්නේ රටෙහි වැරදි කළ නායකයින්ට එරෙහිව දෙස් විදෙස් පරීක්ෂණ යන්න වෙයි. නමුත් ඔවුන් සෑම විටම පාවිච්චි කරනුයේ තම දේශපාලන වාසිය සඳහා වංචා සහගත ලෙස වැරදි මතයක් සමාජ ගත කිරීමයි. ඔවුන් කිසිවිටෙක පරීක්ෂණ පැවැත්වෙන්නේ ලංකාවට විරුද්ධව නොව ලංකාවේ වැරදිකළ බලධරයන්ට එරෙහිව බව නොපවසන සත්‍යයි. ඒවාගේම ‘අපි මහින්ද විදුලි පුටුවෙන් බේරා ගත්තා යයි ඔවුන් පවසති. නැති විදුලි පුටුවකින් ඔවුන් මහින්දව බේරා ගත්තා කියන මේ වංචා සහගත කියමන කොතරම් ආකාරයකින් ජනතාව ගොනාට ඇන්දවීමට තැත් දරයිද?

අධිකරණ නිදහස අද සම්පූර්ණ ද?

අධිකරණ නිදහස අද සම්පූර්ණ ද?

එසේනම් ලංකාව තුල ස්වදේශීය නීතිමය යාන්ත්‍රණයකට පමණක් සාමූහික අපරාධයන් පිළිබඳ පර්යේෂණ කළ නොහැකි බව පැහැදිලිය. එනිසා රට තුල අගතියට පත් දස දහස් ගණන් ජනයාට සාධාරණයක් ඉටු කර ගැනීමට නම් ජාත්‍යන්තර සහයෝගයෙන් ජාත්‍යන්තර අත්දැකීම් සමග අත්වැල් බැඳගත් දේශීය යාන්ත්‍රණයක් අත්‍යවශ්‍ය වේ. දේශීය සහ ජාත්‍යන්තර සහයෝගයෙන් ගොඩ නැගෙන අධිකරණ ක්‍රියාදාමයක් ලංකා සමාජයේ ඉදිරි ගමනට අවශ්‍ය වන්නේ හේතු ගණනාවක් නිසාවෙනි. මුලින්ම ඉහත ඉදිරිපත් කළ අයුරින් එසේ තනිව ක්‍රියාත්මකවීමට තරම් පක්ෂග්‍රාහී නොවූ දේශපාලන යාන්ත්‍රණයක් රට තුල නොවීමයි. දෙවනුව එසේ චෝදනා ගොනුකර ඒවා නීතිය ඉදිරියට පත්කිරීමට තරම් ස්වාධීන සහ පරිණත පොලිස් සේවාවක් රට තුල නොවීම. තෙවනුව දේශපාලන සහ වාර්ගික මනසකින් තොර අධිකරණ පද්ධතියක් අප රට තුල නොමැති වීමයි.

මේ සියල්ල සඳහා අවශ පරිණත දැනුමක් මේරූ ක්‍රමවේදයක් හෝ උවමනාවක් ලංකා රාජ්‍ය සතු නොවේ. අනික් අතින් මෙසේ දෙස් විදෙස් එකතුවකින් සිදුවන නීතිමය ක්‍රියාදාමයක්තුල ලංකාවට ඉගෙන ගත හැකිවීමයි. ඒවාගේම මෙම ජාතික සහ ජාත්‍යන්තර සහයෝගයෙන් ඇතිවන අධිකරණ ක්‍රියාදාමය අප රට තුල ම සිදුවීම ඉතා වැදගත්ය. ඒ එතුලින් සිදුවී ඇති අපරාධයන් පිළිබඳව රටතුල ඇතිවන සංවාදය ලංකා සමාජය ප්‍රජාතන්ත්‍රීකරණය වීමට අත්‍යවශ්‍ය කාර්යක් වනවවා මෙන්ම විශාල තල්ලුවක්ද දෙන බැවිනි. රට තුල සිදුවන එවැනි ස්වාධීන අධිකරණ ක්‍රියාදාමයක් නිසා ලංකා සමාජයට සිදුව ඇති අපරාධයන්හි බරපතල කම ගැන දැනුවත්වීමක් සිදුවන අතර එනිසාම සමාජය තුල විශාල සංවාදයක් ඇතිවීමට ඉඩකඩද සලසනු ඇත. (මෙයට එක උදාහරණයක් නම් 71 කැරැල්ලේදී මරා දැමූ ප්‍රේමවතී මනම්පේරි පිළිබඳ නඩු විභාගය තුලින් පොලීසි සහ හමුදා කැරැල්ල මැඩ පැවැත්වීමේදී ක්‍රියාකළ සාපරාධී  ආකාරය පිළිබඳ ලංකා සමාජයට හෙලිදරව් කරනු ලැබීම)

 ඒවාගේම දේශීය සහ විදේශීය යාන්ත්‍රණයකින් ඇති කරන අධිකරණ ක්‍රියාදාමයකට එනම් දෙස් විදෙස් සහයෝගී පරීක්ෂණයකට එරෙහිව ලංකා තාලිබාන් කල්ලිය (විමල් – වාසු – ගම්මන්පිල- දිනේෂ්) ‘සිංහල – බෞද්ධ’ දෙමුහුන් වර්ගය විනාශ කිරීමට හදනවා යැයි බෑගිරි ගසනු ඇත. ඒ බෑගිරිය සිංහල ජාතිවාදයේ මරලතෝනිය මිස වෙනත් යමක් නොවෙති. නමුත් මේ ලංකා තාලිබාන් කල්ලියේ බෑගිරිය තමන්ට අඬහැරයක් කර ගන්නා පිරිසක්ද ලංකා සමාජය තුල පැතිර සිටින බව අප අමතක නොකළ යුතු වෙමු.

Back to Top