Sri Lanka Brief
විශ්ලේෂනඅනත්ර් ජාතික සහ දෙමළ බලපෑම හමුවේ වගවීමෙන් මඟ අරින්න ආණ්ඩුවට බැහැ – සුනන්ද දේශප්‍රිය

අනත්ර් ජාතික සහ දෙමළ බලපෑම හමුවේ වගවීමෙන් මඟ අරින්න ආණ්ඩුවට බැහැ – සුනන්ද දේශප්‍රිය

by
අන්තර්ජාතික බලපෑමත් දෙමළ ජනතාවගේ බලපෑමත් ගත්තොත් ප්‍රශ්නය මඟ අරින්න ආණ්ඩුවට බෑ - සුනන්ද දේශප්‍රිය

එදා සිට අද දක්වාම ක්‍රියාකාරී දේශපාලනයේ හා ජනමාධ්‍යකරණයේ නිරත වෙමින් සිටින ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍ය වේදී සුනන්ද දේශප්‍රිය මහතා සමඟ ලංකා නිව්ස් වෙබ් අඩවිය සිදු කළ සාකච්ඡාවයි මේ,01.   අපි සරළ තැනකින් වගේම අතීතයෙන්ම පටන් ගමු.  සුනන්ද දේශප්‍රිය නම් වූ මාධ්‍ය වේදියා ස්වකීය මාධ්‍ය දිවිය ආරම්භ කළ අයුරු බොහොම කෙටියෙන් දැන ගන්න අපි කැමතියි.

මට ඇත්තටම ඉස්කෝලෙ යන කාලේ ඉඳලා ලියන්න ආසාවක් තිබුණා. සිංහල රචනා ලිවීම අතින් මම තමයි පන්තියේ ඉස්සරහින් හිටියේ. ඒ විඳියට මම ඉස්කෝලෙ යන කාලෙත් ලියලා තියෙනවා. නමුත් විශේෂයෙන්ම මම ජවිපෙ ට බැඳුනට පස්සෙ තමයි ලිවීම ආසාවකින් කරන්න පටන් ගත්තෙ. විශේෂයෙන්ම 70 වගේ ඉඳලා ජවිපෙ අත් පත්‍රිකා ගණනාවක් ලිව්වෙ මං තමයි. 1971 ජවිපෙ ඉතාම ජනප්‍රිය සටන් පාඨ සමහරක් මම ලියපු සටන් පාඨ. ඉතිං ජවිපෙ පුවත් පත් වලටත් මම ඒ කාලෙ ලිව්වා. නමුත් මම ජවිපෙ මාධ්‍ය අංශයේ නෙමෙයි හිටියෙ. නමුත් ඊට පස්සෙ හිර ගෙදරදි මම ගොඩක් ලියන්න පටන් ගත්තා.චී විපලවයේ නායකයින් වූ   වූ එන් ලායි සහ මාවෝ සේතුං මැරුණ වෙලේ හිර ගෙදරදි විශාල වෙළුම් දෙකක් කළා. ඒ වෙළුම් දෙකම මම තමයි වැළිකඩ හිරගෙදරදි සංස්කරණය කළේ. ඒ වගේ අපි හිරගෙදර ඇතුළෙ ඉඳන් ජවිපෙ සමඟ කරපු මතවාදි අරගලේදි ලිපි ලේඛන පැත්තෙ වැඩ ගොඩක් කළේ මම තමයි. ඒ හරහා තමයි මගේ මාධ්‍ය ගමන ආරම්භ වුණේ.

 02.   ජවිපෙ පැරණි සාමාජිකයෙක් වශයෙන් අතීතයේ ජවිපෙ තුළ තිබුණ දේශපාලන කථිකාවත සහ වර්තමාන ජවිපෙ දේශපාලන කථිකාවත ඔබ දකින්නෙ කොහොමද?

ජවිපෙ මුල ඉඳලම තිබුණ ප්‍රධානම දුර්වලකම තාමත් ඒ විඳියටම තියෙනවා. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය පිළිබඳව මතයකට එන්න බැරි වෙච්ච එක. ඒ නිසා තමයි මම හිතන්නෙ ජවිපෙ දිගටම පීලි  පැනලා තියෙන්නෙ ශ්‍රී ලංකාවේ ඇත්ත වාමාංශික ව්‍යාපාරයක් බවට පත් වෙන්න බැරි එක හේතුවක් ඒක.  71දිත් ඒ දුර්වලකම තිබුණා. 65,67,68 ඉඳලා දිගටම තිබුණ එකක්. තාමත් ඒක ඒ විඳියටම තියෙනවා. හැබැයි මම හිතන්නෙ 71 ගැන අපි කියන්නෙ අහිංසක විප්ලවයක් වගේ කියලනෙ. අළුතෙන් පටන් ගත්තෙ, ගොඩක් හිටියෙ ඉගෙන ගත්ත  අධ්‍යාපනයක් ලබපු පිරිසක්. අදත් ඒ වගේ පිරිසක් ඉන්නවා විශ්ව විද්‍යාලවලින් ආපු. ජවිපෙ මන්ත්‍රීවරු වශයෙන් පත් වෙලා ඉන්නෙත් ගොඩක්ම විශ්ව විද්‍යාලයෙන් ආපු අයනෙ

1971 මම හිතන්නෙ බලය අල්ල ගන්න සම්පූර්ණ කැපකිරීමක් තිබුණා. අද ඒ කැපකිරීම යම් ආකාරයකට නැති වෙලා තියෙනවා. අද ජවිපෙට බලයට ඒමට දැක්මක් නැහැ වගේ. ඒ නිසාම  මම හිතන්නෙ බලය විසින් ඇති කරන දූෂණයත් එක්ක ඒ කැපකිරීම යම් මට්ටමකට දූෂණය වෙලා තියෙනවා. අද ජවිපෙට එදාට වඩා සමාජ බලපෑමක් තියෙනවා. ඇත්තටම කිවනවා නම් මේ කෙටියෙන් කතා කරන්න බැරි සංකිර්ණ දේශපාලන කාරණයක්.

03.   පෙරටුගාමීන් වශයෙන් ජවිපෙන් මෑතකදි කැඩිලා ගිය පිරිසගේ praxis (ප්‍රයුක්තිය) එක ඔබ දකින්නෙ කොහොමද?

කැඩිලා ආව වෙලාවෙ මං හිතන්නෙ ඒගොල්ලන්ට විශාල විභවයක් තිබුණා. නමුත් මට හරියටම කියන්න බෑ කොහෙද ඒ අයට වැරදුනේ කියලා. නමුත් විශාල විභවයක් ඒ අයට තිබුණා. දැන් 71 අපි ජවිපෙන් කැඩෙනකොට වැඩිම පිරිසක් ක්‍රියාකාරී දිස්ත්‍රික් ලේකම්වරුන් අපි එක්ක තමයි කැඩුණේ. නමුත් ජවිපෙ කියන ජනතාවාදී ප්‍රතිරූපය විජේවීරගෙ ප්‍රතිරූපය තිබු‍ණේ අනිත් පැත්ත නිසා ඇත්ත වශයෙන්ම අපි එක්ක ඉදිරිපෙළ ක්‍රියාකාරී වෙලා හිටියට විජේවීර පාර්ශවය තමයි ජයග්‍රහණය කළේ. ඉතිං මෙතනත් එක්තරා විඳියක ඒ වගේ සමාන්තරයක් පේනවා. මං හිතන්නෙ ජවිපෙ ට විරුද්ධ දේශපාලනයක් කරන්න බැහැ ජවිපෙ විඳියටම. ඒක වෙන විඳියකට කළ යුතු දෙයක්. ඒ ගොල්ල කරගත්ත ප්‍රධාන වැරැද්ද තමයි මං හිතන්නෙ අළුත් දේශපාලනයට යන්නෙ නැතුව ඒ  පෝස්ටර් ගහගෙන , මහා විශාල වේදිකා හදා ගෙන ජවිපෙ විඳියටම අනුකරණය මඟින් ඒකට මූණ දෙන්න යෑම. එහෙම කළොත් ජවිපෙ එක්ක තරඟ කරන්න හරි අමාරුයි.

04.   ජවිපෙ පැරැණි සාමාජිකයෙක් නිසා මං දැනගන්න කැමතියි කෙලී සේනානායක ජවිපෙන් ඉවත් කිරීම ඔබ දැක්කෙ කොයි ආකාරයට ද? කියලා දැනගන්න.
මෙහෙමයි. කොහොමත් ජවිපෙ ප්‍රශ්න කරපු අයට ජවිපෙන් එළියට යන්න සිද්ද වුණා. දැන් අපි 1971 අගෝස්තු මාසෙ අගෝස්තු මාසෙ  දිහාට හිර ගෙවල්වලදි  ප්‍රශ්න කරන්න ගන්න කොට අපිට ඒකෙන් පිටට යන්න වුණා. සුනන්ද කව්ද පක්ෂෙ හඳන්න විජේවීර තමයි පක්ෂෙ හඳලා තියෙන්නෙ කියලා විශාල පිරිසක් අපිත් එක්ක ඉවත් කළා. කෙළී සහෝදරයා එතකොට ජවිපෙ හිටිය විජේවීරගෙ ළඟම හිතවතෙක්. නමුත් කෙළීටත් පස්සෙ අවබෝධ වුණා, ලයනල් බෝපගේටත් ,උයන්ගොඩටත් පස්සෙ අවබෝධ වුණා ජවිපෙ යන මේ පාර වැරදියි කියලා. නමුත් ඒ ඒ වෙලාවට විවේචනය කරන අය  පක්ෂෙන් නෙරපා හරින්න ජවිපෙ තුළ ඓන්ද්‍රීය යාන්ත්‍රණයක් තියෙනවා. ජව්පෙ හරියට පරිඝනක වැඩ සටහනක් කවාපු සජීවී මැෂිමක් වගේ.හරියට නූතන චිත්‍රපටවල ඉන්න තමන්ම පුනර්ජිවනය කර ගන්න රොබෝවරු වගේ. ඒ කවාපු පරිඝනක වැඩ සටහන ද්‍රෝහියා කියන සාධකයට මැරන්නම පහර  දෙන්නයි හදළ තියෙන්නේ. ඉතිං කෙළීට වුණෙත් ඒක තමයි මම හිතන විඳියට. එක රුයින් ද්‍රෝහියෙක් වුනා.

05.   ඔබේ සහෝදරයා වන මහින්ද දේශප්‍රිය මහතා( මැතිවරණ කොමාසාරිස්) පසුගිය ජනාධිපතිවරණයේදී කටයුතු කළ ආකාරය ගැන බොහෝ දෙනා ප්‍රශංසා කළා. සහෝදරයෙක් විඳියටත් මාධ්‍ය වේදියෙක් විඳියටත් ඔබට ඒක ෆීල් වෙන්නෙ කොහොමද?

මම හැමදාම කියලා තියෙනවා එයා බලයට හෝ මුදලට නැමෙන කෙනෙක් නෙමෙයි කියලා. මම ඒක එයාගෙ ජීවිතෙන්ම දන්නවා ඇත්තටම ගත්තොත්. එයා තමයි අපේ පවුලෙ අයගෙන් සාමාන්‍යයම ජීවිතයක් ගත කරන පුද්ගලයා. අනිත් එක එයා හුඟක් දක්ෂ කෙනෙක්. බුද්ධිමය පැත්තෙන් ගත්තොත් එයා ඉස්කෝලෙදි වගේම විශ්ව විද්‍යාලයෙදිත්  ඉඳිරියෙන් ම හිටියා. ඉතිං ඒ දක්ෂතාවයයි නොනැමෙන ගතියයි නිසා තමයි එයාට ඕක කරන්න පුළුවන් වුණේ. ඉතිං ඒක මට ලොකු සතුටක්.

06.   රාජපක්ෂ රෙජිමය යටතේ ගත වෙලා ගිය දශකයකට ආසන්න කාලය මාධ්‍යවේදියෙක් විඳියට ඔබ දකින්නෙ කොහොමද?

අපි හැමෝම දන්නවා ඒක මර්දනකාරී කාල පරිච්ඡේදයක්. ඒක ඉතිං වෙනස් කරන්න ක්‍රමයක් තිබුණ් නැහැ. මම හිතන්නෙ ඒක වෙනස් කරන්න තිබුණා චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ රනිල් වික්‍රමසිංහ අතරෙ එකඟතාවයක් ඇති වුණා නම්, මේ බල සමතුලිතතාවය 2004 – 2005 දි ඇති වුණා නම්. නමුත් රනිල් තමයි ඒකට අකමැති වුණේ. රනිල් කල්පනා කළා ඔහුට තනියම බලය ලබා ගන්න පුළුවන් කියලා. ඉතිං එතනින් පස්සෙ මහින්ද රාජපක්ෂ බලයට එන එකත් ප්‍රභාකරන් යුද්ධයකට යාමත් වෙන්න තිබුණ දෙයක්. නමුත් මේක මීට වඩා අඩු විනාශයකින්, මානව හිමිකම් පැත්තෙන් බලන අතරවාරයේ ජාත්‍යන්තර බලවේගයන්ගේ එකඟතාවයකින් යුතුව මේ යුද්ධය මීට වඩා අඩු විනාශයකින් වෙන්න තිබුණා, අපි අර හිතපු රනිල් චන්ද්‍රිකා එකඟතාවය කලින් ඇති වුණා නම්. ඒක කැඩිලා මහින්ද ආවට පස්සේ මේක තමයි යන්න තිබුණ මාර්ගය. මහින්ද රාජපක්ෂ මම හිතන්නෙ කිසිසේත්ම සාමය බලාපොරොත්තු වුණ පුද්ගලයෙකුත් නෙමෙයි. ඉතිං ඔහුට යන්න වෙන පාරක් තිබුණ් නෑ. ඔහුගේ දේශපාලන දැනුම හා අනිත් දේවල් අනුව ඔහුට ශ්‍රී ලංකාව ඒ විඳියට ඇරෙන්න ඉස්සරහට ගෙනියන්න ක්‍රමයක් තිබුණ් නෑ.

07.‘පිටුවහළ‘, ඉතිං ඒ ගැනත් ඔබේ අත්දැකීම් ටිකක් අපිට කියන්න..
එක්තරා ක්‍රියාකාරී ජනමාධ්‍යවේදී පරම්පරාවක්ම රට ගියානෙ. ඒක මම හිතන්නෙ යම් කිසි විඳියකට නොවිය යුතුව තිබුණ දෙයක් කියලයි. මම ඒක දිගටම හිතපු දෙයක්. නමුත් ඒක වුණාට පස්සෙ ඒක වළක්වන්න බෑ. මොකද මේ අවස්ථාවෙ තමයි ප්‍රථම වතාවට තමයි සිංහල ජන කණ්ඩායමක් අතරින් සමස්ථයක් වශයෙන්ම පිටුවහළ ගිහිල්ලා තියෙන්නෙ. ඉතිං 1989ත් අපි මරණයට මුහුණ දීලානෙ හිටියෙ. 89 ඇත්තටම මගේ සහෝදරවරු මරලා තියෙනවා රාජපක්ෂ සමයේ මැරුවට වඩා. සති දෙකකට ඒ කාලෙ එක්කෙනා ගානෙ මරලා තියෙනවා. නමුත් ඒ කාලෙ කව්රුත් පිටරටවල ගියේ නෑ නෙ. ඉතිං මං හිතන්නෙ මේක යම් ආකාරයකට නොවිය යුතු දෙයක් කියලයි.. අපිට අද පේන්න තියෙනවා ලංකාවේ ජනමාධ්‍ය ක්‍රියාකාරිත්වය ඇතුළේ විශාල විවරයක් තියෙනවා. ඒ  විවරය ඇති වුණේ මේ පිටුවහළ නිසා තමයි. පිටුවහළට ආවට පස්සෙ ඒක විශම චක්‍රයක්. ඒකෙන් කැඩෙන්න හරි අමාරුයි. ඒකෙන් කැඩිලා ආපහු ඇවිල්ලා ශ්‍රී ලංකාව ඇතුළේ තමන්ගේ තත්වය ලබා ගන්න හුඟ දෙනෙක්ට අමාරු වෙනවා. පිටුවහළ කියන්නෙ කව්රුත් ආසාවෙන් ඉන්න දෙයක් නෙමෙයි. නමුත් බොහොම ටික දෙනෙක් ඇරුණාම අනිත් හැමෝම කරන්නෙ තමන් කැමති දේවල් නෙමෙයි ජීවත්වීම උදෙසා. එක්කො ආණ්ඩුවකින් හම්බවෙන සොච්චමකින් ජීවත් වෙනවා. නැතිනම් තමන් කවදාවත් කරන්න හිතපු නැති රැකියා කරන්න සිද්ද වෙනවා. ඒක ඇත්තටම උභතෝකෝටිකයක්. ඒක වෙනම කතා කළ යුතු දෙයක්. කැමැත්තකුත් තියෙනවා මේ රටවල ඉන්න අනිත් අතට අකමැත්තකුත් තියෙනවා. කොහොමහරි අවසාන විග්‍රහයෙදි මේ පිරිසෙන්  සීයට අසූවක් විතර තීරණය කරයි යුරෝපීය පුරවැසියන් බවට පත් වෙන්න.

08.ඒ කියන්නේ පිටුවහළ සම්බන්ධයෙන් ඔබට ස්වයං විවේචනයක් තියෙනවා කියන එකද?
අනිවාර්යෙන්ම. මොකද මම පිටුවහළ් වෙන්න හිටපු කෙනෙක් නෙමෙයි. මං යූ.එන්. එකේ කරපු කතාවක් නිසානෙ මට මෙහේ ඉන්න සිද්ද වුණේ. දවස් පහකට ආපු ගමන තමයි මට නවතින්න වුණේ. ඕන කෙනෙකුට ලෝකෙ ඕන තැනක ජීවත් වෙන්න අයිතියක් තියෙනවා කියලා මං පිළිගන්නවා. ඒක වැරැද්දක් නෙමෙයි. නමුත් අර විදියට  ක්‍රියාකාරී කණ්ඩායමක් රටින් පිට ගියාම ඒ විවරය පුරවන්න හරි අමාරුයි. ඉතිං අපිට තිබුණා මීට වඩා වෙනස් විඳියට කල්පනා කරලා ලංකාව ඇතුළෙ රැඳී ඉන්න. නැතිනම් ආසියානු රටවල රැදී ඉඳලා ආපහු ලංකාවට ඉක්මනින් එන්න ක්‍රමයක් තමයි අපිට හදා ගන්න තිබුණේ.

09.රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමට නිව් මීඩියා(අන්තර්ජාල වෙබ් අඩවි) ගත් සාර්ථක උත්සාහය(මක් නිසාද රෙජීමය දැනට පරාජය වී ඇති බැවින්) ගැන පළපුරුදු සහ මුද්‍රිත මාධ්‍ය වල දීර්ඝ කාලයක් සේවය කළ මාධ්‍ය වේදියෙක් හැටියට  පොඩි කමෙන්ට් එකක් දෙන්න පුළුවන්ද?
ලංකාවේ දේශපාලන වෙනස ඇති කිරීම සඳහා නව මාධ්‍ය වලින් විශාල කාර්ය භාරයක් කරලා තියෙනවා. ඒක අපි අනිවාර්යෙන්ම පිළිගත යුතු දෙයක්. අපි දන්නවා අද මිනිස්සු තොරතුරු බලන්නෙ නව මාධ්‍ය හරහා. මේ සිංහල ප්‍රදේශ වල විතරක් නෙමෙයි මං යාපනේ ගිය වෙලාවෙත් මිනිස්සු කිව්වෙ ඔය ප්‍රවෘත්තිය කළින් අර වෙබ් එකේ දාලා තිබුණනෙ කියලා. ඉතිං අද නව මාධ්‍ය වලට විශාල බලපෑමක් තියෙනවා. මූණු පොත, ට්විටර් ජාලය, පුවත් වෙබ් අඩවි යන මේ සියල්ලම ගත්තම  දැවැන්ත බලවේගයක්. නමුත් අපට ප්‍රශ්නයක් තියෙනවා විස්වාසනීයත්වය පිළිබඳ ප්‍රශ්නයක් නව මාධ්‍ය සම්බන්ධයෙන්. ඒ කඩ ඉම ඇත්තටම විශේෂයෙන්ම ප්‍රවෘත්ති වෙබ් අඩවි වලට ලොකු අභියෝගයක්. මම හිතන්නෙ ඒක තමයි නව මාධ්‍ය ඉස්සරහට යා යුතු ගමන. මොකද රාජපක්ෂ සමය නෙමෙයි දැන් තියෙන්නෙ. ඒ නිසා අපි දැන් බලන්න ඕන විස්වාසනීයත්වයෙන් යුතු වෘත්තීය නව මාධ්‍යයකට යන්නෙ කොහොමද කියලා. ඒ අභියෝගය තමයි අපිට දැන් ජයගන්න තියෙන්නෙ.

10.මේ වන විට ජීනිවා වල තත්වය කුමක්ද? යුධ අපරාධ සම්බන්ධයෙන් සෙවීමත් වැරදි කරුවන්ට දඬුවම් ලබා දීමත් නිසි අයුරින් සිදු වේවි කියලා ඔබ හිතනවද?
ආණ්ඩුව ගමන් කරන විඳිය බැලුවොත් ඇත්තටම හැමෝටම පේනවනෙ හැඳන ගහ දෙපත්තෙන් පෙනේ කියලා. ඉතිං දෙපැත්තෙන් බැලුවොත් එහෙම දෙපැත්තම හැඳෙනවා කියලා පෙන්නුම් කරන් නෑ. නමුත් අන්තර්ජාතික බලපෑමත් දෙමළ ජනතාවගේ බලපෑමත් ගත්තොත් මේ ප්‍රශ්නය මඟ අරින්න ශ්‍රී ලංකාවේ රාජ්‍යයට බෑ. නමුත් මේ ප්‍රශ්නය මඟහැරීම අද තියෙන ඉතිහාසයේ සන්ධිස්ථානය අනුව හරිම අමාරුයි. මොකද අන්තර්ජාතික බලපෑම සහ රට තුළ දෙමළ ජනතාවගේ ප්‍රභල හඬ මේ ආණ්ඩුවට සහයෝගය දීපු එකක්. ඒ නිසා මේ අවස්ථාවේ වැරදුනොත්, මේ අවස්ථාවේ මේක ක්‍රියාත්මක වුණේ නැතිනම්. අපි හිතන් නැති ප්‍රතිඵල ඇති වෙන්න පුළුවන්. ඒක අද අපේ ප්‍රධාන පෙළේ ඉන්න දේශපාලඥයෝ දන්නවා ඇති කියලා විශේෂයෙන් මං හිතනවා. මේ ප්‍රශ්නයෙන් මඟ හැරීම අද ශ්‍රී ලංකාවේ රාජ්‍යයට අමාරුයි. ඒ නිසා මං හිතන්නෙ අපිට හොඳ යාන්ත්‍රණයක් ආණ්ඩුව විසින් ඇති කළ යුතු වෙනවා. මොකද උතුරු නැගෙනහරි සිද්ද වුණ ඇත්ත කවදාවත් වහන්න බෑ. ඒ ඇත්ත කවදා හරි එළියට එනවා. ඉතිං ඒ සත්‍ය එළිදරව් කිරීම ශ්‍රී ලංකා රාජ්‍යයයේ පැවැත්ම පීළිබඳ අත්‍යාවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා. ඉතිං ඒ පැත්තෙන් යම්කිසි ප්‍රතිඵලයක් ලැබෙන්න පුළුවන් කිලා තමයි මං හිතන්නෙ.


සාකච්ඡා කළේ
බාසුරු ජයවර්ධන
basurujayawardana@gmail.com

Back to Top