Sri Lanka Brief
UN-Sri Lankaපුවත්යුද්ධ අපරාධ: විශේෂ මිශ්‍ර උසාවියක් පිහිටුවන ලෙසට එජා වාර්තාවෙන් ලංකාවට නිර්දේශයක්

යුද්ධ අපරාධ: විශේෂ මිශ්‍ර උසාවියක් පිහිටුවන ලෙසට එජා වාර්තාවෙන් ලංකාවට නිර්දේශයක්

by

(මහ කොමසාරිස් සෙයඩ් ශ්‍රී ලංකාව සම්බන්ධ වාර්තාව ඉදිරිපත් කරමින්)

ජීනීවා ,16 සැප්තැම්බර් 2015.

එක්සත් ජාතීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවෙන්* 2002 හා 2011 අතර කාලයේ ශ්‍රී ලංකාවේ ‍ගැටුමේ දෙපාර්ශ්වය විසින්ම යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි අපරාධ වශයෙන් ප්‍රබලව සැලකිය හැකි ආකාරයේ බරපතල උල්ලංඝනයවීම් සිදු කර ඇති බවට හඳුනා ගෙන ඇත. යුක්තිය ඉටු කිරීමේ අත්‍යවශ්‍ය පියවරක් වශයෙන් ජාත්‍යන්තර විනිශ්චයකරුවන්, අභිවෝදකයන්, නීතිඥයන් හා විමර්ශකයන් ඇතුළත්වන විශේෂ මිශ්‍ර උසාවියක් පිහිටුවීමට එම වාර්තාවෙන් නිර්දේශ කරයි.

‘අපගේ විමර්ශන වලින් ඉවක් බවක් නැතිව කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාර, නීතියෙන් පරිබාහිරව කරන ලද මිනී මැරීම්, බලහත්කාරයෙන් කරන ලද අතුරුදහන් කිරීම්, වධ හිංසා පැමිණවීමේ සහ ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ කම්පාවට පත් කෙරෙන විස්තර ඇතුළත් ශ්‍රි ලංකාව තුළ සිදුව ඇති බිහිසුණු මට්ටම උල්ලංඝණය කිරීම් සහ අපහරණ අපගේ වාර්තාවෙන් හෙළි කරන්නේ’යැයි මහ කොමසාරිස් සෙයිඩ් කීවේය. ‘වඩාත් වැදගත්ව සමස්තයක් වශයෙන් අන්තර්ජාතික ප්‍රජාවේ අවධානයට ලක් වෙන වඩාත් බරපතල ආකාරයේ උල්ලංඝණයවීම්’ වාර්තාවෙන් හෙළි කරයි.

මෙම වාර්තාව ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සහගත තත්වයක් පවත්වා ගත හැකි දේශපාලන සන්දර්භයක් තුළයැයි සෙයිඩ් කීවේය. “සැබැවින්ම මූලික වෙනසක් සඳහා වූ මෙම ඓතිහාසික අවස්ථාව අත් නොහැරීම අතිශයෙන් වැදගත්ය”

වාර්තාවේ සඳහන් වන වඩාත් බරපතල අපරාධ අතර පහත සදහන් කරුණුද ඇතුළත්ය.

නීති විරෝධී මිනී මැරුම්: 2002 හා 2011 අතර කාලයේ දී දෙපාර්ශ්වයම විසින්ම මෙන්ම ආරක්ෂක හමුදාවලට සම්බන්ධ සන්නද්ධ කණඩායම් විසින් සිදු කරන ලදැයි සැලකෙන නීති විරෝධී මිනී මැරුම් ගණනාවකි. ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා සහ ඔවුන්ට සම්බන්ධ සන්නද්ධ කණ්ඩායම් වලින් වින්දිත තත්වයට පත් වූවන්යැයි සැලකෙන අය අතර දෙමළ දේශපාලකයන්, මානුෂීය සේවකයන් ජනමාධ්‍යවේදීන් හා සාමාන්‍ය පුරවැසියන් වේ. මිනී මැරුම්වල හඳුනාගත හැකි රටාවක් දැකිය හැකිය. නිදසුනක් වශයෙන් ආරක්ෂක මුරපොළවල් සහ හමුදා කඳවුරු අසළ සහ ගැටුම් අවසානයේ අල්ලා ගත් හෝ යටත් වූ වෙනත් අය වැනි පුද්ගලයන් ආරක්ෂක හමුදා අත් අඩංගුවේ සිටිය දී නීතියට පරිබාහිරව මරා දැමීම. තමිල් ඊළාම් විමුක්ති කොටි සංවිධානය ද ( LTTE) ඉවක් බවක් නැතිව මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගේ ප්‍රහාර එල්ල කිරීමෙන්, සහ බිම් බෝම්බ ප්‍රහාර වලින් හා රජයේ නිලධාරින්, ශාස්ත්‍රවේදීන් හා විරුද්ධ මත දරන දෙමළ දේශපාලකයන් ඇතුළු පුද්ගලයින් ඝාතනය මෙන්ම දෙමළ, මුස්ලිම් හා සිංහල සාමාන්‍ය වැසියන් නීති විරෝධීව ඝාතනය කළ බවද වාර්තාවේ.ලිංගික හා ස්ත්‍රී පුරුෂ භාවය පදනම් ප්‍රචණ්ඩත්වය: විමර්ශනයේ දී ඔවුන් කම්පාවට පත් කළ සොයා ගැනීමක් වූයේ රැඳවුම්කරුවන්ට එරෙහිව ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා විසින් සිදු කරන ලද අතිශයෙන් කුරිරු ආකාරයේ ලිංගික ප්‍රචණ්ඩත්වයයි. එම වින්දිතයන් අතර ගැහැනුන් මෙන්ම මිනිසුන්ද වේ. සම්මුඛ සාකච්ඡා කරන ලද ලිංගික ප්‍රඡණ්ඩත්වයට ලක් වූ වින්දිතයන් 30 කගේ කම්පාවට පත් කෙරෙන සාක්ෂිවලින් පෙනි යන්නේ ලිංගික ප්‍රඡණ්ඩත්වය පිළිබඳ සිද්ධීන් හුදකලා ක්‍රියා නොව සිතාමතාම වද හිංසා පැමිණවීමේ දී අනුගමනය කරන සමාන රටාවක සහ සමාන ක්‍රම යොදා ගැනීමේ ප්‍රතිපත්තියේ කොටසකි යන්නයි. එම වාර්තාවේ, ප්‍රශ්න කිරීමේ අවස්ථාවේ දි සිදු කරනලද ලිංගික වද හිංසා සහ බොහෝ විට ප්‍රශ්න කිරීම් සිදු නොවන අවස්ථාවලදි සිදු වූ බව පෙනෙන දූෂණය කිරීම් රටාවන්ද සඳහන් වේ. ගැටුම් පැවති සමයේ හා ඉන් පසුව විවිධ ආරක්ෂක හමුදා විසින් රැඳවුම් මධ්‍යස්ථාන ගණනාවක දී ලිංගික වධ හිංසා සිදු කර ඇත. සන්නද්ධ ගැටුමට අදාල කාලයේ දි සිදු කරන ලදැයි සැලකෙන ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ සිද්ධීන් එකක් හෝ සම්බන්ධයෙන් නීතියෙන් වැරදිකරුවන් කර නැත.

බලහත්කාරයෙන් සිදු කරන ලද අතුරුදහන් කිරීම් : එල්ටීටීඊය සමග පැවති වසර 26 ක ගැටුම් කාල සීමාවේ දී මෙන්ම දශක ගණනාවක් තුළ ශ්‍රී ලංකාවේ දස දහස් ගණනාවක් බලහත් කාරයෙන් අතුරු දහන් කිරීම් සිදුව ඇත. බලහත්කාරයෙන් සිදු කරන ලද අතුරුදහන් කිරීම් සාමාන්‍ය ජනතාවට එරෙහිව පුළුල්ව සහ ක්‍රමානුකූලව සිදු කරන ලද ප්‍රහාරයන් බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතී. විශේෂයෙන්ම යුද්ධයේ අවසාන කාල සීමාවේ දී භාර වූ පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අතුරුදහන්ව ඇති බවටත් ඔවුන් ගැන තොරතුරු නැති බවටත් විශ්වාස කිරීමට සාධාරණ හේතු පවති. ගැටුම හා සෘජු සම්බන්ධයක් නැති වෙනත් බොහෝ දෙනෙක් “සුදු වෑන්” වලින් පැහැර ගෙන ගොස් අතුරුදහන් කර ඇත.

වධ හිංසා සහ වෙනත් ආකාරයේ කුරිරු අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්: ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා මෙම වාර්තාවෙන් ආවරණය වන දශකය පුරාත් විශේෂයෙන්ම ගැටුම් අවසන් වූ වහාමත් පුළුල් ලෙස කුරිරු වධ හිංසා පමුණවා ඇත. පොදුවේ යොදා ගත් සමහර මධ්‍යස්ථාන වල කාමර තුළ වධ හිංසා පැමිණවීමේ උපකරණ සවි කර තිබිණ. ඉන් පැහැදිලි වන්නේ වධ හිංසා පැමිණවීමේ සිතා මතාම සහ සිදු කළ ක්‍රමානුකූල ස්වභාවයයි. මෙම කාමරවල යකඩ පොළු සහ පහර දීමට යොදා ගත් පොළු වතුරේ ගිල්වීමට යොදා ගත් බැරල් සහ වින්දිතයන් එල්ලා තැබීමට කුඩා රෝද වැනි දේ තිබිණ. සම්මුඛ සාකච්ඡාවට පැමිණි වින්දිතයෝ මෙම කාමරවල බිත්තිවල හෝ බිම තැවරි ලේ පැල්ලම් දුටු බවත් තමන් ලක් වූ වධ හිංසා විස්තරාත්මකවත් පැහැදිලි කළහ.

ළමයින් හමුදාවට බඳවා ගැනීම සහ ඔවුන් සටන්වලට යොදා ගැනීම මෙන්ම වැඩි හිටියන් පැහැර ගෙන යෑම සහ බලහත් කාරයෙන් හමුදාවට බඳවා ගැනීම: ගැටුමේ අවසාන කාල සිමාවේ දී එල්ටීටීඊය විසින් බලහත්කාරයෙන් හමුදාවට බදවා ගැනීමට වැඩිහිටියන් පැහැර ගෙන යෑමේ රටාව උග්‍ර වූ බවට තොරතුරු පවතී. එල්ටිටීඊය විසින් සහ 2004 දී එල්ටීටීඊයෙන් බිඳී ගොස් රජය හා එක් වූ කරුණා ගේ සන්නද්ධ කණ්ඩායම විසින් ළමයින් පුළුල් වශයෙන් හමුදාවට බඳවා ගැනීමත් ඔවුන් සටනට යොදා ගැනීමත් ලේඛන ගත කර ඇත. බොහෝවිට නිවෙස්, පාසල් පන්සල් හෝ මුර කපොළු වලදී බලහත් කාරයෙන් බඳවා ගන්නා ළමයින් මූලික පුහුණුවකින් පසුව සටන් පෙරමුණට යවා ඇත. බොහෝ වාර්තා අනුව ගැටුමේ අවසාන මාස කිපයේ දී එල්ටීටීඊය වයස අවුරැදු 15 ට අඩු ළමයින් වැඩි වැඩියෙන් බදවා ගෙන ඇත. මෙම සිද්ධීන් අධිකරණයකදී තහවුරු වුවහොත් යුද අපරාධ ලෙස සැලකිය හැකිය.

සාමාන්‍ය ජනතාවට සහ පොදු ස්ථාන වලට ප්‍රහාර එල්ල කිරීම: යුද්ධයේ අවසාන අවදියේ දි සිදු කරන ලද බොහෝ ප්‍රහාර සටන් කිරීම පිළිබඳ අන්තර්ජාතික මානුෂීය නීතියේ මූලධර්ම වලට, විශේෂයෙන්ම වෙනස් කොට හැදින ගැනීමේ මූලධර්මවලට අනුකූල නොවු බවට විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතී. රජය විසින්ම ‘සටන් මුක්ත කලාප” (No Fire Zones ) ලෙස ප්‍රකාශයට පත් කළ එල්ටිටීඊයේ පාලනය යටතේ පැවති අධික ජන ගහණයෙන් යුත් ප්‍රදේශවල මානුෂීය පහසුකම්වලට සහ රෝහල් වලට රජයේ හමුදා දිගින් දිගටම ෂෙල් ප්‍රහාර එල්ල කළ බව වාර්තාවේ සදහන් වේ. පොදු ස්ථානවලට සහ/හෝ ගැටුම්වලට සෘජු සම්බන්ධයක් නැති සාමාන්‍ය ජනතාවට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම අන්තර්ජාතික මානුෂිය නිතිය බරපතල උල්ලංඝණය කිරීමක් වන අතර යුද අපරාධ සේ සැලකිය හැකිය. ගැටුම්වලට කෙළින්ම සම්බන්ධ එල්ටීටීඊ සාමාජිකයන් වැඩි වශයෙන්ම සිවිල් ජනතාව සිටින ප්‍රදේශවල සිටීම සහ ගැටුම් පවතින ප්‍රදේශවල රැඳී සිටීමට සිවිල් ජනතාවට බල කිරීමේ එල්ටීටීඊ ප්‍රතිපත්තිය ද අන්තර්ජාතික මානුෂීය නීතිය උල්ලංඝණය කිරීමක් විය හැකිය. අන්තර්ජාතික මානුෂීය නිතියට රජයන් ගරු කිරීම විරුද්ධ පාර්ශ්වයේ හැසිරීම මත රඳා නොපවතින අතර එය විරුද්ධ පාර්ශ්වයේ හැසිරිම මත තීරණය ‍වන්නක් නොවේ.

මානුෂීය ආධාර වැළැක්වීම: රජය මානුෂීය ආධාර කටයුතුවල ‍යෙදෙන පුද්ගලයන් ගේ එහා මෙහා යෑමේ නිදහස සහ එහි වැඩ කටයුතු පිළිබඳව සීමාවන් පැනවීමට ඇති බවටත් උතුරු පළාතේ වන්නියට ප්‍රමාණවත් ආහාර ආධාර සහ වෛද්‍යාධාර ලබා දීම සිතාමතාම බාධා කළ බව විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතී. එය සාමාන්‍ය ජනතාව කුස ගින්නේ තබා ගැනීම යුද්ධයේම කොටසක් ලෙස යොදා ගැනීමක් විය හැකිය. එවැනි ක්‍රියා අධිකරණකදී තහවුරු වුව හොත් යුද අපරාධ වශයෙන් සැලකිය හැකිය.

විවෘත නොවු කඳවුරුවල අභ්‍යන්තරව අවතැන් වු පුද්ගලයන් රැඳවීම: එල්ටීටීඊයේ හිටපු සටන්කරුවන් සාමාන්‍ය ජනතාව‍ගෙන් වෙන් කිරීම සදහා කරන ලද පරික්ෂා කිරිමේ ක්‍රියාවලිය අන්තර්ජාතික ප්‍රමිතීන් සැපිරීමට අපොහොසත් වූ අතර නරක ලෙස සැලකීම සහ අපහරණය පහසු කරවීය. විවෘත නොවු අභ්‍යන්තරව අවතැන් වුවන්ගේ කඳවුරුවල පැවති තත්වය සෞඛ්‍ය, හා ජලය හා සනීපාරක්ෂාවට ඇති අයිතිය ඇතුළත් මානව අයිතිවාසිකම් ගණනාවක් උල්ලංගනය කිරීමකි. 300,000 පමණ වන අභ්‍යන්තර අවතැන් වූවන් අන්තර්ජාතික නීතිය අනුව පිළිගත් කාලසීමාවට වඩා කඳවුරුවල රඳවා ගැනීම ඔවුන්ගේ නිදහස අහිමි කිරීමකි. අභ්‍යන්තරව අවතැන් වුවන් ඔවුන්ගේ දෙමළ වාර්ගිකත්වය නිසා සැක කරුවන් ලෙස සලකන ලද බවටත් රඳවා ගත් බවටත් විශ්වාස කිරීමට සාධාරණ හේතු පවතී. මෙය වෙනස් කොට සැලකිමේ සහ පීඩාවට පත් කිරීමේ මානුෂිකත්වයට එරෙහි අපරාධයක් ලෙස සැලකිය හැකිය.

වසර ගණනාවක් තිස්සේ කරන ලද ප්‍රතික්ෂේප කිරීම් සහ සැඟවීම්, කඩිනමෙන් විමර්ශනය කිරීමට අපොහොසත්වීම්, අතර මග නතර කරන ලද විමර්ශන සහ යුක්තිය ඉල්ලා සිටි වින්දිතයන්ගේ පවුල්වලට සහ අනෙකුත් අයගෙන් පළිගැනීම් පිළිබඳව තොරතුරැ වාර්තාවේ සදහන් වේ.

යුක්තිය ලබා දිමට පවත්වන ලද දේශීය විමර්ශන ගණනාවක්ම නැවත නැවත් අසාර්ථකවීම නිසා වින්දිතයන් තුළ, විශේෂයෙන්ම “ උල්ලංඝනය කිරීම් සහ අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු ව්‍යුහයන් බොහොමයක් තවමත් ඒ ආකාරයෙන්ම පැවතීම” නිසා සැකය, කෝපය හා අවිශ්වාසය පවතින බව එහි සඳහන් වේ. විශේෂයෙන්ම යුද හමුදාව හෝ ආරක්ෂක බලකා සම්බන්ධයෙන් වන විට මෙම අපරාධ විසඳීමේ පද්ධති දුර්වලතාවයක් පවතින බවද වාර්තාවේ සදහන් වේ. “ රජයේ නිලධාරීන් සම්බන්ධයෙන් මානව අයිතිවාසිකම් නඩු පැවරීමට උත්සාහ කළ අධිකරණ සහ අනෙකුත් වෘත්තිකයන්ට කෙරේ එල්ල වූ පලිගැනීම්” ද එහි විස්තර කෙරේ.

“දේශිය ක්‍රියාවලියක් තුළින් වගවීමක් ලබා දිමට නව ආණ්ඩුවේ ඇති කැපවීමට ප්‍රශංසා කළ යුතුය. …. එහෙත් අවාසනාවන්ත යථාර්ථය වන්නේ ශ්‍රී ලංකාවේ අපරාධ අධිකරණ පද්ධතිය තවමත් ඊට සූදානම් නොවීමයි” වාර්තාව සඳහන් කරයි. “පළමු සහ වැදගත්ම කරුණ වන්නේ වින්දිතයන් සහ සාක්ෂි කරුවන් රැක ගැනීමේ විශ්වාස කටයුතු ක්‍රමයක් නොවිමය. දෙවැනිව මෙවැනි පරිමානයකින් යුත් අන්තර්ජාතික අපරාධ සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට ශ්‍රී ලංකාවේ දේශිය නීති රාමුව ප්‍රමාණවත් නොවිමය. තුන්වැනි අභියෝගය වන්නේ ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශය සහ අධිකරණ පද්ධතිය දශක ගණනාවක් පැවති හදිසි තත්වය, ගැටුම් හා දඩුවම් නොලැබ සිටීම නිසා විකෘතිවීම් වලට සහ දූෂණයට ලක්ව ඇති ප්‍රමාණයයි.”

මෙම වසරේ ජනවාරි මාසයේ සිට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නව රජයෙන් ගනු ලැබු සාධනීය පියවර ගැන සතුට පළ කරන මහ කොමසාරිස්වරයා පවසන්නේ එහෙත් ශ්‍රී ලංකාව දශක ගණනාවක් තිස්සේ මානව අයිතිවාසිකම් ඛාදනයකට ලක්ව තිබී‍මෙන් පසුව ගැඹුරට කිඳා බැස ඇති මර්දනකාරී ව්‍යුහයන් සහ ආයතනික සංස්කෘතිය ඉවත් කිරීමට පියවර ගත යුතුය”යන්නයි.

තවද “මෙය එක වරම සිදු වන්නක් නොවේ. මෙම කාර්යේ බරපතලකම කිසිවෙකු අඩුවෙන් තක්සේරු කල යුතු නොවේ”යැයි ද ඔහු කිවේය. “ආණ්ඩුව නව පිටුවක් පෙරළීමටත් බලහත් කාරයෙන් සිදු කරන අතුරුදහන් කිරීම් වැනි භාවිතා අවසන් කිරීමටත් පොරොන්දු වුවත් මුක්තිය ඉවත් කිරීමට අපොහොසත්විමත් එවැනි අපහරණ නැවත සිදු කිරීමට ඉඩ සැලසෙන පද්ධති ප්‍රශ්න ඉවත් කිරිමටත් ආණ්ඩු අසමත්වීමෙන් අවශ්‍ය විටක ‘සුදු වෑන්’ නැවත ක්‍රියාත්මක කිරීමේ අවස්ථා ගණනාවක් අප ශ්‍රී ලංකා ඉතිහාසයේ දැක ඇත. දඩුවම් නොකිරීමේ පුරුද්ද සදහටම ඉවත් කිරීමේ සුවිශේෂී අවස්ථාව ශ්‍රී ලංකාව ග්‍රහණය කර ගත යුතුය. ඉන් අදහස් වන්නේ ආයතන සහ නිලධාරීන් ක්‍රියාත්මක වන ආකාරයේ මුල සහ අග වෙනසකි.”

පසුගිය වසර 30 තිස්සේ සිදු වු මානව අයිතිවාසිකම් උල්ලංගනය කිරීම් විමසීමට හා ඒවා නැවත සිදුවිම වැළැක්විමට සංක්‍රාමීය යුක්ති ප්‍රතිපත්තියක් වර්ධනය කිරීමට පියවර ගණනාවක් වාර්තාවෙන් නිර්දේශ කරයි.

“මෙම වාර්තාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කිරීමේ සිට පිළිගැනිම සහ වෙනසක් ඇති කිරීමට නිර්මාණාත්මකව සම්බන්ධවීම දක්වා වූ අවස්ථාවක්” සේ දකින ලෙස මහ කොමසාරිස් සියලු ප්‍රජාවන්ගෙන්, ඩයස්පෝරාව ඇතුළු සමාජයේ සියලු කොටස් වලින් ඉල්ලා සිටී.

“වසර ගනනාවක් තිස්සේ සිමාවකින් තොරව මානව අයිතිවාසිකම් උල්ලංඝනයවීම් සහ ආයතනගත දඩුවම් ‍නොලැබ සිටීමෙන් පසුව දෙපාර්ශ්වයේම වින්දිතයන්ගේ දුක් වේදනා ගැඹුරුවී ඔඩු දුවා ඇතැයි සෙයිඩ් කියයි.” ඔවුන්ගේ දුක් වේදනා ගැඹුරෙන්ම විසඳීමට පියවර නොගෙන ඒවා දිගටම පැවතුණ හොත් එම වේදනා තව තවත් උග්‍රවී ප්‍රතිසන්ධානයට බාධාවක් වනු ඇත. වඩාත්ම හානිකර වන්නේ ඒවා තවත් ගැටුම් ඇතිවීමේ බීජයන්වීමේ අනතුරයි.”

“ ශ්‍රී ලාංකීය ජන සමාජයේ පුළුල් කොටස් තුළ රාජ්‍ය අධිකාරීන් සහ ආයතන කෙරේ ඇති අවිශ්‍වාසයේ ප්‍රමාණය අඩුවෙන් තක්සේරු කළ යුතු නොවේ”යැයි මහ කොමසාරිස් කියයි. ජාත්‍යන්තර වින්ශ්චයකරුවන්, අභිචෝදකයන්, නීතිඥයන් සහ විමර්ශකයන් ඇතුළත් මිශ්‍ර අධිකරණයක් පිහිටුවිම අත්‍යාවශ්‍ය වන්නේ මෙම කාරණය නිසාය. සම්පූර්ණයෙන්ම දේශීය අධිකරණ ක්‍රියාවලියකින් දශක ගණනාවක් තිස්සේ ඇති වූ උල්ලංඝනය කිරීම්, අවභාවිතා සහ කඩවූ පොරොන්දු වලින් ඇති වූ පුළුල් සහ හේතු යුක්ති කළ හැකි සැක ඉවත් කිරීමේ අවස්ථාවක් නැත.”

“ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම සඳහා දේශීය අපරාධ අධිකරණ පද්ධතිය ශක්තිමත් කොට ප්‍රතිශෝධනය කළ යුතුය. වසර ගණනාවක් ගතවන එම ක්‍රියාවලිය විශේෂ මිශ්‍ර උසාවියට සමාන්තරව ස්ථාපනය කළ යුතු අතර එය විශේෂ මිශ්‍ර උසාවිය වෙනුවට පිහිටුවීමක් නොවිය යුතුය. ඇත්තෙන්ම එවැනි උසාවියක් ශ්‍රී ලංකාව යුක්තිය ඉටු කිරීමේ නව මාවතකට යොමු කිරීමට අවශ්‍ය ප්‍රතිශෝධන වලට උත්තේජනයක් වනු ඇත. ඒ සමගම මහජන විශ්වාසයද ගොඩ නැගෙනු ඇත.”

එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කවුන්සලය පසුගිය වසරේ දී 2002- 2011 කාල සීමාවේ ශ්‍රී ලංකාවේ දෙපාර්ශ්වය විසින්ම කරන ලදැයි පවසන බරපතල උල්ලංඝනය කිරීම් සහ මානව අයිතිවාසිකම් අපහරණ සහ ඒ සම්බන්ධ අපරාධ පිළිබදව පුළුල් විමර්ශනයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් වරයාගේ කාර්යාලයට බලය පැවරුවේය. මෙම විමර්ශන වාර්තාව පදනම්ව ඇත්තේ ඇසින් දුටුවන්ගේ සාක්ෂි, වින්දිතයන් සහ සාක්ෂිකරුවන් සමග කරන ලද සම්මුඛ සාකච්ඡා, අධිකරණ වෛද්‍ය සහ හමුදා විශේෂඥයන් විසින් විශ්ලේෂණය කරන ලද චන්ද්‍රිකා ඡායාරූප ඇතුළත් වීඩියෝ පට සහ ඡායාරූප, (ඒ බොහොමයක් මීට පෙර ප්‍රසිද්ධ කර නොතිබිණ.) සහ ලිඛිත ප්‍රකාශ සහ ඉදිරිපත් කිරීම් 3000 ක් පමණ සහ කලින් ප්‍රකාශයට පත් නොකළ වාර්තා ඇතුළත් පුළුල් ලිපි ලේඛන විමර්ශන ඇසුරෙනි. එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් මහ කොමසාරිස් වරයාගේ කාර්යාලයේ විමර්ශන කණ්ඩායමට ශ්‍රී ලංකාවට ඇතුළුවීමට අවසර ලබා දුන්නේ නැති අතර කලින් පැවති රජය තර්ජනය කිරීම්, බිය වැද්දීම් සහ විශේෂයෙන්ම රටේ උතුරේ ජනතාව විමර්ශනයට සහයෝගය දැක්වීම වැළැක්වීමට සෝදිසියෙන් සිටීම ඇතුළත් වෙනත් බාධා කිරීම්වලට ලක් විය.

*මෙම වාර්තාව එකිනෙකට සම්බන්ධ කොටස් දෙකකට බෙදා ඇත.

1) ප්‍රති සන්ධානය ප්‍රවර්ධනය කිරීම, වගවීම සහ මානව අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස්ගේ කාර්යාලයේ සවිස්තරාත්මක වාර්තාව. (A/HRC/30/61);

2) ඊට සම්බන්ධ ශ්‍රී ලංකාව පිළිබඳ OHCHR විමර්ශන වාර්තාව (A/HRC/30/CRP.2)

කොටස් දෙකම මෙන්ම කොරතුරු පත්‍රිකා සහ විමර්ශනයට අදාල වෙනත් කරුණු මෙම වෙබ් අඩවියට පිවිස ලබා ගත හැකිය: weblink http://www.ohchr.org/EN/HRBodies/HRC/Pages/OISL.aspx

වැඩි තොරතුරැ ලබා ගැනීම සදහා අමතන්න: ජිනිවා: Rupert Colville ( +41 22 917 9711/ rcolville@ohchr.org )

Back to Top