Sri Lanka Brief
පුවත්ජවිපෙ සහ මායාදුන්නේ දුටු මායාව – සුනන්ද දේශප්‍රිය

ජවිපෙ සහ මායාදුන්නේ දුටු මායාව – සුනන්ද දේශප්‍රිය

by
හිටපු විගනාකාධිපති සරත්චන්ද්‍ර මායාදුන්නේ පදගතාර්ථයෙන් ම මහත්මයෙකි. ඔහු අද තමාට හිමි වූ ජනතා පෙරමුණේ ජාතික ලැයිස්තු මංත්‍රී ධුරයෙන් ඉවත් විය.

එම තීරණයට හේතු වශයෙන් ඔහු දක්වා ඇත්තේ මහාජනයාගේ වැරුද්ද ය. එම ප්‍රකාශය කියවූ මට 1971 කැරැල්ල පරාජය වෙමින් තිබියදී මා සමඟ අත් අඩංඟුවට පත් හිඟුරක්ගොඩ ‘සකළයා’ මතක් විය. අප තිදෙනෛකු පොලීසියට අල්ලා දන්නේ මා පියා විදුහල්පතිධුරය දැරූ අම්බලන්ගොඩ දූවේ ජනපිරිසක් විසිනි. ඔවුන් අතර මා හොඳින් දන්නා අය ද සිටියහ. දරුණු වධ හිසංවන්ට ලක්ව මරණයට නියමිතව සිටි නමුත් අප තිදෙනාගේ ම දිවි ගැලවුනි. ප්‍රථමයෙන් ගාලු සිරගෙදර ද පසුව විදුදය අංක තුන කඳවුරෙහි ද අප තිදෙනා ම සිටියේ එකට ය. කැරැල්ලේ පරාජය ගැන අප කතා බස් කළ හැම අවස්ථාවකදීම වාගේ හාස්‍යෝත්පාදක කටකාරයකු වූ සකළයා කිවේ ඊට හේතුව ‘කැරි ජනතාව’ බවය. නමුත් ඇත්ත නම් 1971 නැගිටීම යනු ජනතාවට හොරා විප්ලවයක් කරන්නට දරන ලද උත්සාහයක් බවයි. වරද තිබුණේ ජනතාව අත නොව අප අතෙහි ය.

එක අතකට වියපත් සහ දැමුණ මනසැති ශ්‍රාස්ත්‍රඥයකු වන මායාදුන්නේ මහතාගේ 2015 ප්‍රකාශය අනෙක් අතට නොමේරූ සහ ඇසූ පිරෑ තැන් නොතිබූ තරුණයකුගේ 1971 කතාව හා සමාන වන අරුමය කුමක් ද?

මේ කතා දෙකටම වස්තු වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ය. එමෙන්ම එයට අපේක්ෂිත ජන ප්‍රසාදය ලබා ගත නොහැකි වූයේ මන්දැයි යන්න ය.

මන බඳින සෝබමාන වේිදිකා එදත් අද මෙන්ම තිබුණි

මන බඳින සෝබමාන වේිදිකා එදත් අද මෙන්ම තිබුණි

අද අනුර කුමාර දිසානායකගේ කතා අසන්නට එන ජනයාට වඩා උද්යෝගිමත් ජන පිරිස් එදා 1971ට පෙර රෝහණ විජේවීරගේ කතා අසන්නට පැමිණයහ. මන බදන වර්ණවත් සෝබමාන සැරසිළි එදා ද අඩුවක් නොවිනි.

නමුත් ප්‍රතිපලය එදා මෙන්ම අද ද සමාන ය. ස්වයං මෝහනය ජවිපෙ සතු උපන් ගෙයි සිටම නිදන්ගත රෝගයකි. එය තමන් මෝහනය වනවා පමණක් නොව සිය ප්‍රේක්ෂකයින් ද මෝහනය කිරීමට සමත් ය. 1971 දී සුසිල් සිරිවර්ධන වැන්නෝ ඊට උදාහරණ වෙති.

තම තීරණයට හේතු වශයෙන් මායාදුන්නේ මහතා කියා සිටින කාරණය දෙස බලමු.

‘ජනතා විමුක්ති පෙරමුණ තමන් වැනි නිර්පාක්ෂික ස්වාධීන පුද්ගලයින්ද තවත් බුද්ධිමතුන්, විද්වතුන්ද ඇතුළු ජාතික ලැයිස්තුවක් ඉදිරිපත් කරමින් වංචාවට දූෂණයට වැටබැඳීමට ගත් උත්සාහට අදාළ ජනවරමක් ජනතාව විසින් ලබා නොදුන් බැවිනුත් ප්‍රධාන පක්ෂ දෙකහිම වංචා දූෂණයන්ට හවුල්වූන්ගේ කාරනා සුළු කොට තකා වැඩි වශයෙන් පාර්ලිමේන්තුවට එවා ඇති බැවිනුත් තමන් එම ජන මතය මත පදනම්ව සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙමි’.

කණගාටුවෙන් වුවත් කිව යුත්තේ අගොස්තු 17වන දින පැවැති පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිපල සම්බන්ධයෙන් මායාදුන්නේ මහතාගේ එකී විග්‍රහය ගස් මිස කැලය නොදැකීමක් බවය.

අගෝස්තු 17 මැතිවරණයේ ප්‍රමුඛතම පණිවිඩය නම් මෙරට ජනයා රාජපක්ෂ ඒකාධිපතිවාදයට යළි ඉඩක් නොදීමට තීරණය කළ බවයි. රාජපක්ෂ පරාජයට පත් කළ එක්සත් ජාතික පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරීපත් මහජන නියෝජිතයින් දෙස බලන විට කිහිප දෙනෙකු හැර බහුතරය වංචා දූෂණ සම්බන්ධයෙන් චෝදනා ලබා ඇතැයි කිව නොහැකි ය. (සමහර විට ඒ ඔවුන් බලයේ නොසිටි නිසා විය හැකි ය).

වංචා දූෂණ චෝදනා ලද කප්පිත්තන් වැඩිම මනාප ලබා පාර්ලිමේන්තුවට පත් වුයේ රාජපක්ෂගේ ජන්ද ව්‍යාපාරය වූ පොදු ජන එක්සත් පෙරමුණ හරහා ය. ඩලස් අලහප්පෙරුම සහ නාමල් රාජපක්ෂගේ සිට ප්‍රසන්න රණතුංග හරහා මහින්දාන්නද අලුත්ගම දක්වා ඇති ඇත්ත එයයි.මහින්ද රාජපක්ෂ දූෂණයේ ද භීෂණයේ ද දේශපාලන සංකේතය විය. එනමුත් ඔව්හු අති විශාල ලෙස ජන්ද ලබා ගත්හ.

සටන් රාජපක්ෂවාදීන් කි පරිදි ම ගල උඩ සටනක් විය. පරදින පාර්ශවය බිමට පෙරළීයාමට නියමිතව තිබුණි. එනයින් එකි කදවුරු දෙක මැද දේශපාලන අවකාශය කොතෙක් සීමාවූයේ ද යන්න පොන්සේකා සහ ඥණසාර ලබා ගත් සොච්චං ජන්ද ප්‍රමාණයෙන්ම පෙනේ.

ජනතා විමුක්ති පෙරමුණට අපේක්ෂිත ජන්ද පදනම කරා ගමන් කිරීමට නොලැබුණේ ජනතාව දූෂණයට සහ භීෂණයට පක්ෂ වූ නිසා නොව එකී රාජපක්ෂ දුෂ්ඨත්වය පරාජය කිරීමට නම් එක්සත් ජාතික පෙරමුණට ජන්දය දිය යුතු බව තීරණය කළ නිසා ය‍. රාජපක්ෂ ද නැත්ද යන ප්‍රශ්ණයේ දී ජවිපෙ විපක්ෂය කරමු යන සටන් පාඨයට තැනක් තිබුණේ නැත. මන්ද යත් අවශ්‍ය වූයේ විපක්ෂයක් නොව ආණ්ඩුවක් නිසා ය.

බොහෝ විට ඉදිරි දේශපාලන මැතිවරණයක දී අවශ්‍ය වෙනස්කම් කරගතහොත් ජනතා විමුක්ති පෙරමුණට මිට වඩා ජනතා කැමැත්තක් ලබා ගැනීමට හැකි වීමට ඉඩ තිබේ.

අගොස්තු 17වන දින ජනතා කැමැත්ත දූෂණයට සහ භීෂනයට පක්ෂපාත එකකැයි කීම, අර කී සකලයාගේ කීමට අසමාන නැත. අප මෙම තීරණයට පැමිණය හොත් සිදු වන්නේ නිශේධාත්මක ප්‍රවිශ්ඨයක් ඇති වීමය. අද අපට අවශ්‍ය කරන්නේ ජනවාරි 18 සහ අගොස්තු 17 ජනතා කැමැත්ත පාවා දීමට ඉඩ නොදී අපේක්ෂිත ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිස්ස්කරණ සහ ජනවාර්ගික ප්‍රශ්ණයට සාකච්ජාමය දේශපාලන විසදුමක් කරා ඉදිරියට ගෙන යෑමට කටයුතු කිරීමයි. ජනතා විමුක්ති පෙරමුණ ජනප්‍රියත්වය පිනිස යළි ජාතිවාදය කරා ඇදී නොයන්නේ නම්, එහි දේශපාලන අවකාශය පිහිටනු ඇත්තේ ද ජනවරම ඉදිරියට ගෙන යෑමේ ක්‍රියාකාරිත්වයන් තුළය.

එම අරගලයෙහිලා සිවිල් සමාජ භූමිකාව තීරණාත්මක වනු ඇත.

ඊට ඇති හොඳම නිදසුන ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැර ගැනීම සහ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ නිසා පරිදි ඉදිරියට යෑම සහතික කිරීමට පෙරට එමින් වෙබ් ජනමාධ්‍ය ඇතුලු සිවිල් සමාජ කණ්ඩායම් දක්වන ආදර්ශය යි. මෙකි ඉදිරි අභියෝගයන් ජයගනු පිණිස මයාදුන්නේ වැනි ජෙෂ්ඨ පුරවැසියන්ගේ කාර්‍ය භාරය ද ඉතා වැදගත් වනු ඇති බව ගෞරවයෙන් මතක් කර සිටිමි.

සුනන්ද දේශප්‍රිය | Sunanda Deshapriya

Back to Top