Sri Lanka Brief
පුවත්විවරණනව ව්‍යවස්ථාව, බලය බෙදීම සහ සම්මුති බද්ධ ආණ්ඩුකරණය ගැන අගමැති වික්‍රමසිංහ කතා කරයි

නව ව්‍යවස්ථාව, බලය බෙදීම සහ සම්මුති බද්ධ ආණ්ඩුකරණය ගැන අගමැති වික්‍රමසිංහ කතා කරයි

by

ශ්‍රී ලංකාවෙහි දෙමළ ප්‍රශ්ණයට කල් පවත්නා දේශපාලන විසදුමක් සඳහා පෙරට යෑම සඳහා සංකීර්ණ නමුත් වාසිදායක වාතාවරණයක් අගෝස්තු 17දින මහා මැතිවරණයෙන් පසු උදා වි ඇතැයි අගමැති රනිල් වික්‍රමසිංහ ඉන්දියාවේ හින්දු පුවත්පත සමඟ පැවැති සාකච්ජාවක දී ප්‍රකාශ කර තිබේ. එවැනි කල් පවත්නා විසඳුමක් සූත්‍ර ගත කිරීමේහිලා ‘ප්‍රධාන පාර්ශවකරුවන් තිදෙනා’ වන්නේ  සිය එක්සත් ජාතික පක්ෂය හා  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන ප්‍රධාන ජාතික පක්ෂ දෙක සහ දෙමළ ජාතික සන්ධානය බව පවසන ඔහු  වෙනස්කම් පියවනු  පිනිස  ‘තමා එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය නම්‍යශීලි ලෙස තබා ගැනීමට උත්සාහ කළ’ බව ද කියා තිබේ. මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග වැදගත් කාර්‍ය භාරයක් ඉටු කරනු ඇතැයි ද වික්‍රමසිංහ පවසයි.

අගමැති වික්‍රමසිංහ පැවැත්වූ සාකච්ජාවෙන් උපුටා ගෙන හින්දු පුවත්පත් විසින් පළ කරන ලද ලිපියෙහි දළ පරිවර්ථනයක් පහත දැක්වේ. එම සාකච්ජාව කරන ලදදේ හින්දු පුවත්පතෙහි එන. රාම් විසිනි. දළ පරිවර්ථනය සුනන්ද දේශප්‍රිය විසිනි.

 

‘ 13 වන සංසෝධනය යටතේ බලය බෙදීම උපරීම කරමු’

 

අගමැතිතුමනි, ඔබ ප්‍රසිද්ධ කර ඇති මහත් බලාපොරොත්තු සහිත කාරිය වන ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කිරීමට කොපමණ කල් යයිද?

මෙහෙමයි, ශ්‍රීලනිපය සිතනවා ඊට වසරක කාලයක් අවශ්‍යයි කියා. අප සිතන්නේ සය මසකදී එය හමාර කළ යුතු බවයි. ප්‍රධාන ප්‍රශ්ණය වන ඇත්තේ නව මැතිවරණ ක්‍රමයක් ඉදිරිපත් කිරීමයි. අප හැම එකඟ වෙනවා එය මිශ්‍ර අනුපාත ක්‍රමයක් විය යුතු බවට. නමුත්  ආසන යළි බෙදා වෙන් කරන්නේ කෙසේ ද යන්නත් පොදු ලැයිස්තුවෙන් පත් කැරෙන්නේ කව්රුන්ද යන්නත් සම්බන්ධයෙන් තවම එකඟතාවයක් නැහැ. ජනාධිපති ධුරය පිළිබඳ ප්‍රශ්ණයත් තිබෙනවා. පුරවැසි කණ්ඩායම් කියන්නේ එය අහෝසි කළ යුතු බවයි. ශ්‍රීලනිපය ඊට එකඟ නැහැ.ඒ නිසා අප කිව්වා සමස්ත සංසෝධනය ම විමසා බලා පාර්ලිමේන්තුව ශක්තිමත් කරන්නේ කෙසේද යන්න තීරණය කළ යුතුයි කියා. අප පළාත් සභා ක්‍රමය දෙසත් බලා එය සැබැවින් ම වැඩ කරන එකක් බවට පත් කළ යුතුයි. මේවා තමයි නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ දී සළකා බැලිය යුතු ප්‍රධාන ප්‍රශ්ණ.

අන්තර් ජාතික ප්‍රජාව විශේෂයෙන්ම ආර්ථිකය සම්බන්ධයෙන් ඔබ ශක්තිමත් නායකත්වයක් දෙනු ඇතැයි බලා සිටිනවා?

අප ඉදිරියට ගමන් කර සාර්ථක වනු ඇතැයි මා විශ්වාස කරනවා. මා කැමැති යි සම්මුතියක් තුලින් ඉදිරියට යන්න, මොකද එවිට අපේ සාර්ථකත්වයන් අප දේශපාලනයෙන් සමුගැනීමෙන් පසුවත් කාලයක් යනතුරු ම පවතීවි.

වර්ථමාන දේශපාලන තත්වය ඔබේ ප්‍රධාන ජාතික ප්‍රශ්ණය වන උතුරු නැගෙනහිර දෙමළ ප්‍රශ්ණයට දේශපාලන විසදුමක් සොයා ගැනීම උදෙසා වඩා ඉක්මනින් අවස්ථාවක් සපයනු ඇතැයි හැගීමක් තිබෙනවා.  ස්ථිරසාර දේශපාලන විසඳුමක් කරා ගමන් කිරීම සම්බන්දයෙන් පවතින බලාබොරොත්තු කොයි වගේ ද? 2009 යුද්ධය අවසන්වූවාට පස්සේ ලොකු කාලයක් අපතේ ගියා?

බොහෝ  පරිපාලන බාධක තිබුණා. දැන් ඒවා ඉවත් කරළ යි තියෙන්නෙ. දෙවැනිව සමහර පළාත් සභා අදහස් කළා මධ්‍යම ආණ්ඩුව සහ  පළාත් සභා දෙකම ඒකාබද්ධව භාවිත කරන බලතල, ඒ කියන්නේ යම් යම් සමගාමී බලතල පළාත් සභාවලට යා යුතුයි කියා. ඒවා තමයි ප්‍රධාන කාරණා විසඳා ගත යුතු. අප, ප්‍රධාන පක්ෂ දෙක සහ තෙවැනි පාර්ශවය වන දෙමළ සන්ධානය මේ ගැන සාකච්ජා කළ යුතු යි. යොජනා සකස් කිරිමේ දී ප්‍රධාන පාර්ශවයන් තුනක් ඉදීවි.

බොහෝ කාලයක් පුරා දෙමළ ජනයා පළාත් සභාවන් ඉඩම් සහ පොලිස් බලතල ඇතිව බලසතු කළ යුතු යැයි අවධාරණය කර තිබෙනවා. එම ගැටළුව විසදීමට ප්‍රයත්න දැරුනත් කිසිම දෙයක් වෙලා නැහැ?

මා හිතන්නේ ඉඩම් බලතල සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් එකඟ වෙනවා කියළයි. උතුරු නැගෙනහිර ඇති  ප්‍රධාන ප්‍රශ්ණය තමයි ඉඩම් වලින් ඉවත් කළ ජනයා යළි පදංචි කිරීම. ඒ කියන්නේ යාපනයේ සහ නැගෙනහිර. ජාතික ආරක්ෂාව යන ප්‍රධාන සැළකීමට යටත්ව ඉඩම් නිදහස් කරන බව අප කියනවා. දැන් ආරක්ෂක හමුදා මේ සඳහා අවශ්‍ය ක්‍රම සහ විධි සකස් කරමින් ඉන්නවා.

පොලිස් බලතල ගැන බැලුවොත් මා හිතන්නේ අපට ආපහු හිතන්න වෙලා තිබෙනවා කියළයි. ඒ පොලීසිය දේශපාලනකරණයවීම නිසා. ඊට ඉඩ තියන්න බැහැ. අප මුලින් ස්වාධීන පොලිස් කොමිසම තවදුරටත් ශක්තිමත් කර මේ ගැන බලන්න ඕනෑ. එවිට අපට බලන්න පුලුවන් පළාත් සභාවන්ට පැවරිය හැකි කාරිය කුමක් ද කියා. අප හැමෝම ජනාධිපති රාජපක්ෂ යටතේ පොලීසිය දේශපාලනකරණය වීම අත්දැක්කා. මේ ගැන අප හැමෝම වැඩ කරන්නයි යන්නේ. අප පිළිගන්නවා පළාත් සභාවන්ට නීතිය සහ සාමය පවත්වා ගැනීම ගැන යම් බලයක් තිබිය යුතු බව. එය අප ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.

නාමකරණය පිළිබඳ විවරය එහෙම ම තියෙනවා. එක් පාර්ශවයක්  ‘පෙඩරල් ’ ( සන්ධීය) විසඳුමක් ගැන කතා කරනවා. අනෙක් අතට ව්‍යවස්ථාවෙන් ඉඩ සැළසෙන්නේ ‘ඒකීය’ රාජ්‍යයකට.  මේ නාමකරණ විවාදයෙන් ඉවතට ගිහින් ඔබ කියන ‘ බලය බෙදීම’ සම්බන්ධව, එහෙමත් නැත්නම් ‘ එක්සත් සහ නොබෙදුනු ශ්‍රී ලංකාවක් තුළ ස්වයං පරිපාලන අවස්ථා සඳහා හරවත් පියවරයන්’ යැයි කිව හැකි අන්තර්ගතයන් ගැන කතා කරන්න බැරිද?

අප බැලිය යුත්තේ අන්තර්ගතය දෙස. ඇත්ත වශයෙන් ම නම් අප ශ්‍රී ලංකාවෙහි බෙදා ඇති බලය සමහර අංශයන්හි පෙඩරල් ව්‍යවස්ථාවන්ටත් වඩා දුර යනවා. ඉදින් අප කළ යුත්තේ මේ සමස්ත ක්‍රමයම ක්‍රියාවට දැමිය හැක්කේ කෙසේදැයි බලා ඉදිරි පියවර ගැනීම යි. ඉන්දියාවත් පිළිගෙන තිබෙන යෝජනා මාලාව එනම් 13 වන සංසෝධනය තුලින් මෙය සාක්ෂාත් කර ගන්නේ කෙසේදැයි, එය උපරීම කරන්නේ කෙසේදැයි බලමු. එය  පදනම ලෙස ගෙන ඉදිරියට යමු. දැනට අප හිතන්නේ ඔන්න ඔහොමයි.

( එම පදනමේ සිට) ඉදිරියට යාම ගැන ඔබට විශ්වාස ද?

මා හිතන්නේ එය ඉටු කිරීමට අපට හැකි විය යුතු බවයි.

දැන් මානව හිමිකම් ප්‍රශ්ණ. අන්තර් ජාතික පරික්ෂණයක් සඳහා ඉල්ලීමක් තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව තුළ එකඟතාවය තියෙන්නේ පරීක්ෂණය දේශීය එකක් විය යුතු බවට යි?

එය දේශිය විය යුතු බවට අප එකඟ වූයේ අප රෝම ප්‍රඥාප්තියට අත්සන් තබා නැති නිසයි. 2009 දී රාජපක්ෂ පාලනය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට  දුන් පොරොන්දුව විවිධාකාරයෙන් අර්ථ දක්වන්න පුළුවන්. එක් අවස්ථාවකදී එක්සත් ජාතීන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අන්තර් ජාතික පරීක්ෂණයක් කරා ගමන් කරමින් තිබුණා. නමුත් එක්සත් ජාතික පක්ෂය වන අප සෑම විටම කියා සිටියේ ශ්‍රී ලංකාව තුළ අන්තර් ජාතික පරික්ෂණයකට අවකාශයක් නැති බවත් එය දේශීය පරීක්ෂණයක් විය යුතු බවත්. සමහර පුද්ගලයින් අන්තර් ජාතික පරීක්ෂණයක් ඉල්ලා සිටියේ මෙරට අධිකරණය අරභයා විශ්වාසය පිරිහුණු නිසා. මෙයට පෙරදීත් උතුරෙහිදී  වගේම දකුණෙහිදීත් අපට මෙම ප්‍රශ්ණය ම තිබුණා. අප කැමැති යි අප ව්‍යාවස්ථාවෙහි සීමාවන්ට යටත්ව එමෙන් ම ශ්‍රී ලංකාවේ සියළු ප්‍රජාවන්ට සහ අන්තර් ජාතික ප්‍රජාවට  පිළිගත හැකි දේශීය යාන්ත්‍රණයක් ඉදිරිපත් කරන්න.

මේ දේශපාලන සන්දිස්ථානයේ දී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගට කුමනාකාර භූමිකාවක් ද ඔබ දකින්නේ?

ඇය ජාතික සමගිය සඳහා කාර්යාලයේ නායකත්වය දරනවා. දැන් ඇය ශ්‍රීලනිපයේ ද නායක භූමිකාවක් රඟපානවා. අප පක්ෂ දෙක අතර එකඟතා ගිවිසුම සකස්කළ ශ්‍රීලනිප කමිටුවේ සභාපතිත්වය දැරුවේත් ඇයයි. ජනාධිපති සිරිසේන සහ හිටපු ජනාධිපතිනි කුමාරතුංගට ශ්‍රීලනිපය මධ්‍යස්ථ කළ හැකි බලපෑමක් තිබෙනවා. මා හිතන්නේ ඔවුන් යළිත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යන ළකුණ ප්‍රතිස්ථාපනය කිරීමේ ව්‍යායාමයකට  මුලිකත්වය දෙමින් සිටිනවා. එජාපයේ අප කිසි විටෙක අපේ අනන්‍යතාවය නැති කර ගත්තේ නැහැ. අපත් සන්ධානයන්ට ගිය නමුත් අපේ අනන්‍යතාවය පාවා දුන්නේ නැහැ. ශ්‍රිලනිපය අද අත්විදින්නේ පොදු ජන එක්සත් පෙරමුණ තුළ දියව ගොස් පුද්ගලාභිවාදන කල්ලිවට ඉඩ හැරීමේ වරදයි.

දෙමළ ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් හැඩ ගස්වා ගැනීමේ දීත් ඇයට සහාය විය හැකි යි. ඇය ජනාධිපතිවරියව සිටි අවදියෙහි යම් යම් යහපත් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කෙරුණා.

ඇයට වත්මන් තත්වයෙහි භුමිකාවක් තිබෙනවා. අප බලමු එකඟවිය හැකි පොදු කරුණු මොනවා ද කියා. මා එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය නම්‍යශීලීව තබාගෙන සිටින්නේ වෙනස්කම් සමනය කරන්නට හැකිවනු පිනිසයි.

ඔබ සහ ජනාධිපතිවරයා අතර ඇතිකර ගත් ගිවිසුම නිසා අශෝබන පක්ෂ මාරකිරීම් වළක්වා තිබෙනවා. ඒ වන විටත් ශ්‍රීලනිප මංත්‍රීවරු පිරිසක් පක්සයෙන ඉවත් වී ඔබ හා එක්වීමටයි සිටියේ. ඇත්තටම එවැනි තත්වයක් තිබුනා ද?

අප තීරණය කළා එළෙස සිදු නොවිය යුතු බවට. අපට අනෙක් පැත්තේන් දහ පහළොස් දෙනෙක් ගන්න තිබුණා. ඒත් එහෙම වුණා නම් ජනාධිපතිවරයා ඉතාම අපහසු තත්වයකට පත් වෙන්න තිබුණා. අනෙක් අතට අප ශ්‍රීලනිපය සමඟ සහයෝගීව කටයුතු කිරීම,  පහළොස් දෙනෙක් ගන්නවාට වඩා බොහෝ වාසි සහගත යි. මන්ද කියනවා නම් අප උත්සාහ කරන්නේ අඩුම වශයෙන් ඉදිරි වසර දහය සඳහා ජාතික රාමුවක් තහවුරු කර ගැනීමට නිසා.  අපට පාර්ලිමේන්තුවේ සමස්ත බහුතරයක් තිබුනේ නැහැ. එවැනි තත්වයක් යටතේත්  වැඩ කෙරෙන විදියේ ක්‍රමයක් අවශ්‍ය වෙනවා. බලන්න ඉන්දියාව දෙස. බීජේපීයට ලෝක් සබාවෙහි පැහැදිළි බහුතරයක් තිබෙනවා. නමුත් රාජ සභවෙහි එය සුලුතරයක්. ඒ නිසා හැම දෙයක් ම බෙදිලා, කිසිවක් ඉස්සරහට යන්නේ නැහැ. මට අවශ්‍ය නැහැ, සෑම ප්‍රධාන නීති කෙටුම්පතක් ම සඳහා සටන් කරන්න වෙන තත්වයක්. වඩා හොද ක්‍රමය තමයි අප එකඟතාවයෙන් නීති සම්මත කර ඒවා ක්‍රියාත්මක වෙන්නේ කෙසේදැයි විමසිල්ලෙන් සිටීම. ඒවා වැඩ කළොත් හැමෝම එක් වේවි. අසාර්ථක වුනොත් ජනයා තම තමන්ට කැමැති අතට යාවි. මට සියයට සියයක් ම සහතිකයි අප සාර්ථක වන බවට. අපේ පුද්ගලික සහ දේශපාලන විරුද්ධවාදීකම්වලට එහා යන විසඳිය යුතු දැවැන්ත අභියෝග අප හමුවෙහි තිබෙනවා.රැකියා ප්‍රශ්ණය; අප අන්තර් ජාතික ආර්ථිකයට ගැලපෙන්නේ කෙසේද; ජාතික තලයෙහි ප්‍රජාතන්ත්‍රවාදය යළි පිහිටුවීම; ජාතික සමගිය වෙනුවෙන් කටයුතු කිරීම; අපේ අධ්‍යාපන ක්‍රමය ඉහළ නැංවීම; නිදහස් අධ්‍යාපනය; නිදහස් සුව සේවාව; සහ ජාතික ණය. වගකිව යුත්තේ කව්රුන්දැයි කැ ගසනවාට වඩා බලමු, අප මේ ඉන්නා තැනින් ගොඩ එන්නේ කෙසේ ද කියා.

අවසන් වශයෙන් අන්තර් ජාතික සම්බන්ධතා ගැන. ඇත්තටම දැන් ප්‍රවිශ්ඨයෙහි සැබැ වෙනසක් වෙන්න යනවා ද?

බොහෝ දෙනෙක් ජනාධිපති රාජපක්ෂ ගත් ප්‍රවිශ්ඨයට කැමති නැහැ. මා හිතන්නේත් එය වරදක් කියළයි. අප බටහිර තරහ කර ගත යුතුව තිබුණේ නැහැ. අපේ ප්‍රවිශ්ඨය මේකයි: බටහිර සහ ඉන්දියාව සමඟ තිබූ සමීප සබඳතා යළි ඇතිකර ගැනීම සඳහා අප කටයුතු කරනවා. ඒ අතරම දිර්ඝ කාලීන සබඳතාවයක් වන චීනය සමඟ වන සබඳතා ද පවත්වා ගන්නවා. කලාපයෙහි අපේ භූමිකාව කුමක්ද යන්නත් යම් යම් ප්‍රධාන අන්තර් ජාතික ප්‍රශ්ණ සම්බන්ධයෙන් අප ගන්නා ස්ථාවරයන් මොනවාද යන්නත් සළකා බලනවා.

ඔබට බොහෝ දේශීය ප්‍රශ්ණ විසදීමට තිබෙන බැවින් ඔබ ප්‍රියකරන ව්‍යාපෘති සම්බන්ධයෙන්, නිදසුනක් ලෙස ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පාළම වැනි කාරණා සම්බන්ධයෙන්  කාලය මිඩංඟු කිරීමට ඔබට වේලාවක් තියෙයි ද?

අප මුලින් ම රට ඉදිරියට යාම සහතික කළ යුතුයි. එයයි මූලිකත්වය. ඉන් පස්සේ අනෙක් කාරණා  සළකා බලන්න පුලුවන්.

සම්පුර්ණ සම්මුඛ සාකච්ජාව ඉංග්‍රිසි බසින් කියවීම සඳහා මෙහි පිවිසෙන්න:

http://www.thehindu.com/news/international/n-ram-speaks-to-sri-lankan-prime-minister-ranil-wickremesinghe-on-tamils-and-13th-amendment/article7572191.ece

දළ පරිවර්ථනය සුනන්ද දේශප්‍රිය විසිනි

Back to Top