Sri Lanka Brief
විවරණවෙනසක් නැති වෙනස; සන්තෝසම් ලෙස වැදගත් තනතුරු දෙනු එපා – මහාචාර්ය සරත් විජේසූරිය

වෙනසක් නැති වෙනස; සන්තෝසම් ලෙස වැදගත් තනතුරු දෙනු එපා – මහාචාර්ය සරත් විජේසූරිය

by

sarathරාජ්‍ය යාන්ත‍්‍රණය ප‍්‍රතිසංස්කරණය කිරීම අභියෝ ගාත්මක කර්තව්‍යයක් බව පැහැදිලිය. එනමුත් එම අභියෝගය ජය ගත යුතුය. අභාග්‍යය වන්නේ නීතිගරුක පුරවැසියන්ට අවශ්‍ය තරමට දේශපාලනඥයන්ට රාජ්‍ය යාන්ත‍්‍රණය ප‍්‍රතිසංස්කරණය කිරීමේ අවශ්‍යතාවක් නොතිබීමයි. ඒ අතර මහින්ද රාජපක්ෂට යළි බලය ලබා දෙන්නට විපක්ෂයේ පිරිසක් උත්සාහ කරන්නේ කුමට ද? රාජ්‍ය යාන්ත‍්‍රණය ප‍්‍රති සංස්කරණය වැළැක්වීම එහි ප‍්‍රධාන පරමාර්ථයකි.

මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිතුමා දේශපාලන ප‍්‍රතිසංස්කරණ සිදු කිරීමට ගන්නා උත්සාහය සහ කැපවීම නීතිගරුක පුරවැසියන්ගේ අපේක්ෂා දල්වන්නේය. එනමුත් ප‍්‍රතිසංස්කරණ උදෙසා ගමන් කිරීමට තිබෙන මාවත අපිරිසිදුය. එබැවින් ගමන අභියෝගාත්මකය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ අගනා මූලධර්ම කාලාන්තරයක් තිස්සේ අප රට තුළ විපරීත වී ඇති අන්දම විස්තර කළ යුතු නොවේ. මහින්ද රාජපක්ෂ යුගයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලධර්ම දරුණු අන්දමට කෙළෙසුණ බැවින් රාජ්‍ය යාන්ත‍්‍රණයේ සැබැවින්ම විකෘතියක් පවතී.

දේශපාලනඥයෝ බලය රැක ගැනීම පිණිස පෞද්ගලික කාර්ය මණ්ඩල පත් කර ගැනීමේ සම්ප‍්‍රදායක් ඇති කර ගත්තෝය. පෞද්ගලික කාර්ය මණ්ඩල ඔස්සේ දේශපාලනඥයන්ගේ බිරින්දෑවරුන් පවා ඇතැම් අමාත්‍යාංශවල කටයුතුවලට අත පෙවීම සිදු වුණ බව කුප‍්‍රකට රහසකි. පෞද්ගලික කාර්ය මණ්ඩලවල පුද්ගලයන් රාජ්‍ය දේපළ හා රාජ්‍ය මුදල් අවභාවිත කරන්නේ ඔවුන්ට එ් සම්බන්ධව කිසිදු වගකීමක් නැති බැවිනි.

පසුගිය කාලයේ නරක අන්දමට වර්ධනය වූ ප‍්‍රවණතාවක් වන්නේ අමාත්‍යාංශ ලේකම් පදවි, තානාපති පදවි සඳහා සිවිල් නිලධාරීන් වෙනුවට, විදේශ සේවයේ පුහුණු නිලධාරීන් වෙනුවට, වෙනත් ක්ෂේත‍්‍රවල උදවිය දිගින් දිගටම පත් කිරීමයි. එ් තත්ත්වය හමුදා නිලධාරීන් පත් කිරීම දක්වා වැඞී වර්ධනය වූ බව නොරහසකි.
රටේ ඇති වූ තවත් කැපී පෙනෙන ප‍්‍රවණතාවක් වන්නේ මැතිවරණයක් ආසන්න වන විට දේශපාලනඥයන්ට සමීප වී තනතුරු ලැබීමයි. එසේ තනතුරු ලත් අය අතර දැනඋගත් පිරිස ද කැපී පෙනේ. ඇතැමුන් වැදගත් ආයතනවල වැදගත් රැුකියාවන් කළ උදවියයි. අභාග්‍යය වන්නේ නිදහස් අධ්‍යාපන වරප‍්‍රසාදයෙන් පිබිදුණ, වැදගත් රැකියාවන්හි නිමග්න පුද්ගලයන් දේශපාලනඥයෙකුගේ රෙදි සෝදන්නන් බවට පත්වීමයි. මේ අපරාදය කළ පුද්ගලයන් අතර විශ්වවිද්‍යාල ආචාර්ය භවත්හුද කැපී පෙනුණෝය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අමාත්‍යාංශයක හෝ ආයතනයක අවශ්‍යතාවකට විශේෂඥ සහායක් ලබා දීම එකකි. යම් ආයතනයක අවශ්‍යතාවක් වෙනුවෙන් එ් සම්බන්ධ නිසි ප‍්‍රාමාණිකයෙකු නම්, අවශ්‍යම පුද්ගලයෙකු නම්, කෙටි කාලයකට තම රැකියාවෙන් නිවාඩු ලබා තම සේවය ලබා දීම ද තවත් එකකි. යම් ක්ෂේත‍්‍රයක නිසි විශේෂඥයෙකු නොවන්නෙකු, තමන් නිල වශයෙන් කරන රැකියාව නිසා හිමි සිවිල් බලය හා තමන් සතු මුඛරිකම පමණක් ඉවහල් කර ගනිමින් ආණ්ඩුවක් පවතින තුරු තනතුරක් දැරීම මොන අන්දමකින්වත් යුක්තියුක්ත නොවන්නේය.

විශ්වවිද්‍යාලයක ආචාර්ය වරයෙකු පර්යේෂණ කරමින් නව දැනුම සොයමින් තම වෘත්තීය ජීවිතයේ අභිවෘද්ධියට අවශ්‍ය සුදුසුකම් සපුරා ගනිමින් වැඩ කළ යුතුය. එ් කිසිවක් නිසි ලෙස නොකර, දේශපාලන බලය ඉවහල් කර ගෙන තම තනතුරෙන් නිදහස් වී දේශපාලනඥයෙකු වෙනුවෙන් සේවය කිරීම, වෙනත් ආයතනයක සේවය කිරීම, රාජ්‍ය යාන්ත‍්‍රණයේ යහපැවැත්මට හිතකර නොවේ. එහි අනෙක් ඛේදය වන්නේ ඔහු හෝ ඇය නිසා විශ්වවිද්‍යාලයේ තනතුර රැක ගෙන සිටීමට පාලකයන්ට සිදු වීමයි.

කිසියම් පුද්ගලයෙකු රාජ්‍ය යාන්ත‍්‍රණයේ පැවැත්මට තමන් නැතිවම බැරි පුද්ගලයෙක් යයි සිතන්නේ නම් විශ්වවිද්‍යාල සේවයෙන් අස්වී යාම වැදගත්ය. එසේ නැතිනම් වසරකට හෝ දෙකකට නිවාඩු ලබා ගෙන යාම, නිදහස් වී යාම ශීලාචාරය. ආණ්ඩුවක් පවතින තුරා තම තනතුර ගල් කර විශ්වවිද්‍යාලයේ ගබඩා කර තබා දේශපාලන ව්‍යාපෘතියක වැඩ කිරීම ශිෂ්ට සම්පන්න නැත.

විශ්ව විද්‍යාලයක ස්ථිර තනතුරක් හිමි කර ගත් පුද්ගලයෙකු එ් තනතුර ගල් කර ගබඩා කිරීමෙන්, දීර්ඝ කාලයක් ඉන් ඉවත් වී සිටීමෙන් සිදු වන අනර්ථයන් ගණනාවකි. 1. අදාළ පුද්ගලයා අතින් විෂය දැනුම යාවත්කාලීන කර ගැනීම සම්බන්ධ පර්යේෂණ සිදු නොවීම. 2. ඔහුගේ වෘත්තීය කුසලතා දුර්වල වීම හා වෘත්තියේ අභිවෘද්ධිය සිදු නොවීම. 3. ඔහු සේවය කරන දෙපාර්තමේන්තුවේ ගුණාත්මක තත්ත්වය පිරිහීම. 4. විද්‍යාර්ථීන්ට නිසි අන්දමින් විෂය දැනුම ලබා ගැනීමට තිබෙන අවකාශයන් හීනවීම. 5. විද්‍යාර්ථීන්ට ආචාර්යවරයා සමඟ අධ්‍යයන කටයුතුවලට අවශ්‍ය කාලය අහිමිවී යාම. 6. දෙපාර්තමේන්තුවක දේශන හා අධ්‍යයන කටයුතු ප‍්‍රධානියාට කළමනාකරණය කිරීමට අපහසු වීම.

දීර්ඝ කාලයක් දේශපාලන බලයක් සමඟ තනතුරක් දරා සිටි විශ්වවිද්‍යාලයක ආචාර්යවරයෙකු යළි විශ්වවිiාලයට පැමිණ සිය තනතුර හිමි කර ගනියි. ඔහු වෙනුවෙන් එ් තනතුර ගල් වී තිබුණ නිසා ආයතනයට එ් තනතුර දෙන්නට සිදු වේ. එසේ පැමිණෙන පුද්ගලයෙකු මා දකින්නේ, බිරිඳගෙන් නීත්‍යනුකූලව වෙන් නොවී වෙන කාන්තාවක සමඟ ජීවත්වී, දිගු කලකට පසුව යළි බිරිඳ සොයා පැමිණ සැමියෙකු හා පියෙකු වීමට තැත් දරන්නෙකු ලෙසය.

ඊළඟ කාරණය වන්නේ ආණ්ඩුවේ තනතුරක් හොබවමින් යමෙකු එ් තනතුර ඔස්සේ රටට, සමාජයට අගනා මෙහෙවරක් සිදු කළේ ද යන්නයි. සැබවින්ම එසේ කළ බවට කිසිදු ‘සාධනීය ශේෂ පත‍්‍රයක්’ කිසි තැනකින් නොලැබේ. ඔවුන් හරහා අඩු වැඩි වශයෙන් සිදුව තිබෙන්නේ රාජ්‍ය දේපළ හා රාජ්‍ය ධනය අවභාවිත වීමය. මහින්ද රාජපක්ෂ මෙවර පරාජය නොවී නම් එ් එ් තනතුරු හෙබවූ උදවිය තව දුරටත් එ් එ් ආයතනවල රැඳී සිටින බවත් පැහැදිලිය. ඔවුන් විශ්වවිද්‍යාලයේ තනතුර ගල් කර ගබඩා කර දමා සිටියේ රාජපක්ෂ පරාජය නොවේය යන විශ්වාසය ඇතිවය.

විශ්වවිද්‍යාලයක ආචාර්ය වරයෙකු යම් රාජ්‍ය ආයතනයක විශේෂඥයෙකු ලෙස සේවයක් ලබා දීම සිදු කරමින් සිටියේ නම්, මැතිවරණයක් අබිමුව එ් තනතුර අතහැරීම කළ යුතු වන්නේය. රාජපක්ෂ ආණ්ඩුවේ තනතුරු දැරූ කිසිවෙකු එසේ කළේ නැත. මැතිවරණ සමය තුළ ඔවුහු රාජ්‍ය බලය අවභාවිත කරමින් දේශපාලනය කළෝය. ඔවුන් විනයක් නැති දේශ පාලනඥයන්ටත් වඩා සාපරාධීය.

අලූත් තත්ත්වය

රාජපක්ෂ පාලනය අවසන් වූ පසුව අද දක්නට ලැබෙන්නේ කුමන තත්ත්වයක් ද? ‘අපිරිසිදු මාවත’ පිරිසිදු නොවන තත්ත්වයකි පෙනෙන්නේ. ‘අරයලා වෙනුවට අපි’ එ් පුටු අයිති කර ගත යුතුය..! වැනි තත්ත්වයකි පෙනෙන්නේ.

රාජපක්ෂ පාලන සමය තුළ කටක් අරින්නට අසමත් වූ පුද්ගලයන් අද ආණ්ඩුවේ තනතුරු ලූහු බඳින්නේ රාජපක්ෂ පරාජය කිරීමට දිවි පරදුවට තබා තමන් කළ කැපවීමට වන්දි ඉල්ලන්නන් සේය. මේ අවිනීත තත්ත්වය රාජ්‍ය යාන්ත‍්‍රණය ප‍්‍රතිසංස්කරණයට හානිකර බලපෑම් කරන බව පැහැදිලි කාරණාවකි.

දේශපාලනික පසුබිමකින් පිටස්තරයන් ආයතනයකට ඇතුල් වන විට රාජ්‍ය ආයතනවලට අදාළ සම්ප‍්‍රදායන් හා රීතින් මත එ් ආයතන ගොඩනැඟීමට අභ්‍යන්තරයෙන් නිසි සහායක් නොලැබේ. සිවිල් නිලධාරියෙකු වාඩි විය යුතු පුටුවක මොන අන්දමේ උගතෙකු වුව ඔහු රාජ්‍ය සේවයට පිටස්තරයෙකු නම් එය ආයතනයක ඵලදායිතාව දුබල කරන්නේය.

දේශපාලනඥයන් රාජ්‍ය ආයතනවල විවිධ තනතුරු පිටස්තරයන්ට ප‍්‍රදානය කරන්නේ ඔවුන් හරහා රාජ්‍ය බලය හා රාජ්‍ය ධනය අවභාවිත කිරීමටය. ‘බලය රැක ගැනීමේ සටනට’ අවශ්‍ය සේවාදායකයන් වේලාසනින් සම්පාදනය කර ගැනීමේ අරමුණ එ් තුළ ඇත. රාජ්‍ය ආයතන දිගින් දිගටම විපරීත වුණේ මේ තත්ත්වය නිසාය. මේ අවලස්සණ තත්ත්වය නිර්භීතව රාජ්‍ය පාලකයෙකු වෙනස් කළ යුතුය.

තමන්ට උදව් උපකාර කළ අය අතර රැුකියාවක් නැති අය සිටිනවා නම් එවැනි කෙනෙකුට සුදුසුකම් සලකා බලා යම් රැුකියාවක් දීම එකකි. මා විමසන්නේ, වැදගත් තනතුරක් දරන පුද්ගලයෙකුට ඔහු දරන තනතුර හෝ එ් ආයතනය ගැන නොසිතා තනතුරක් ප‍්‍රදානය කරන්නේ මන්ද යන්නයි. ඉන් රටේ වැදගත් ආයතනවලට, සිවිල් සේවයට, විදේශ සේවයට අනර්ථයක් වන බව නොවැටහෙන්නේ ද?

අද අපට ඉතා හොඳින් පෙනී යන්නේ ඇතැම් තනතුරු ලබන්නේත්, තනතුරු ප‍්‍රදානය කරන්නේත් ඊට නැතුවම බැරි විශේෂඥයන්ට නොවන බවයි. ඇතැම් අවස්ථා මහින්ද රාජපක්ෂගේ තනතුරු ප‍්‍රදානයටත් වඩා පහළට වැටී ඇත. මේ සම්බන්ධව නිදසුනක් දැක්වීමට කැමැත්තෙමි.

රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ

රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ තනතුරට ආචාර්ය දර්ශනී ගුණතිලක නම් ආචාර්යවරිය පත් කර ඇති බව පළ වී ඇත. මා කල්පනා කරන්නේ මෙය වැරදි පත්වීමක් බවයි. මා එසේ පවසන්නේ වැදගත් කරුණු දෙකක් පදනම් කර ගනිමිනි. 1. එතුමියට වැදගත් රැුකියාවක් ඇත. ඇය මේ තනතුර ලබන්නේ ඇගේ රැුකියාව ආණ්ඩුව පෙරළුණ විටක පැමිණ භාර ගැනීම සඳහා ‘ගල් කර ගබඩා කර’ තබමිනි. එ් පෙර වූ තත්ත්වයමයි. එය වරදකි. ඉන් විශ්වවිiාලයට වන්නේ අනර්ථයකි. ඇගේ වෘත්තීය ජීවිතයට ද එය අනර්ථකාරීය. 2. මෙතුමිය මේ තනතුර වෙනුවෙන් අවශ්‍යම, විශේෂඥතාවක් තිබෙන තැනැත්තියක් නොවන්නීය. කලින් මේ තනතුර දැරූ මහාචාර්ය ආරියරත්න ඇතුගල සමඟ හෝ සස\ බැලූවහොත් ඇය මේ පුටුවේ වාඩි කිරීමට සාධාරණ කාරණා කිසිසේත් ඉදිරිපත් කළ නොහැකිය.

පිරුවට ඇඳීම

විශ්ව විද්‍යාල පද්ධතියේ නමක් දිනා සිටින උදවිය, වෘත්තීය නිපුණත්වයක් උරුම කර ගෙන සිටින උදවිය ආණ්ඩුවේ තනතුරු දැරීම පිරුවට ඇඳීමකි. රාජ්‍ය යාන්ත‍්‍රණය ප‍්‍රතිසංස්කරණයට එය අනර්ථකාරීය.

මහාචාර්ය දම්මික ගංගානාත් දිසානායක ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා ලෙස පත් කර ඇත. එතුමා එ් තනතුර දරන්නට සුදුස්සෙකි. එනමුත් ඔහු එ් තනතුර භාර නොගත යුතුව තිබුණි. රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මහාචාර්ය සුනිල් සාන්ත පත් කර ඇත. එතුමා එ් තනතුරට ගැළපෙන කෙනෙකු බවට සැකයක් නැත. එනමුත් ඔහුද එ් තනතුර භාර නොගත යුතුව තිබුණි. ආචාර්ය ලලිතසිරි ගුණරුවන් ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත් කර ඇත. එතුමා එ් විෂය පිළිබඳ ප‍්‍රාමාණිකයෙකු විය හැකිය. එනමුත් ඔහු එ් තනතුර භාර නොගත යුතුව තිබුණි. ඔවුන් සියල්ලන්ම විශ්වවිiාලයේ සේවය කරමින් තම දැනුමෙන් හා කුසලතාවෙන් පිරිසක් තැනීමට දායක වන එක වඩා වැදගත්ය යන්න මගේ අදහසයි.

මෙබඳු නිදසුන් තවත් ඉදිරිපත් කළ හැකිය. එ් සියල්ලෙන් විශද වන්නේ ‘වෙනසක, වෙනසක්’ නැති බවයි.
මා අවංකවම කල්පනා කරන්නේ ඉහත සඳහන් තනතුර දැරීමට ප‍්‍රාමාණික සිවිල් නිලධාරීන් රටේ සිටින බව යි. යථාර්ථය එය නම් පිටස්තරයන් අනුයුක්ත කිරීමේ තත්ත්වය තුළ රාජ්‍ය සේවය කාර්යක්ෂම වේවි ද? දිගින් දිගටම සිවිල් නිලධාරීන් අපේක්ෂාභංගත්වයට පත්වීමය සිදු වන්නේ. ඉක්බිතිව හොරපාරවලින් තනතුරු ලූහු බඳින්නට ඔව්හු පටන් ගනිති. එතැනදී දේශපාලනඥයෝ බලසම්පන්න වෙති. එය ඛේදයකි.

විශේෂිත පදවි

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට අභිමත පදවි ඇත. එ්වාට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ම පත් විය යුතු වන්නේය. උදාහරණයක් ලෙස විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව දැක්විය හැකිය. මේ ආයතනය මහින්ද රාජපක්ෂ යටතේ දේශපාලනිකකරණය වූ බව කිව යුතු නැත. මේ වන විට විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව පත් කර තිබේ. එනමුත් එ් ආයතනය හරහා කටයුතු සිදු වන්නේ සුපුරුදු රීතියෙන්ම නම් එය ඛේදයකි.

විශ්ව විද්‍යාලවල පාලක මණ්ඩල සඳහා සාමාජිකයන් පත් කිරීමේ කටයුත්ත මේ වන විට සිදුව ඇත. මේ පත්වීම් සිදු කර තිබෙන්නේ ඇමතිවරයාගේ පුද්ගලික හිතවත්කම් පමණක් සලකා බලමින් බවය පෙනෙන්නේ. විශ්වවිiාලයක පාලක සභාවට පත් කරන පුද්ගලයා ගෞරවනීය පුද්ගලයෙකු විය යුතු වන්නේය; එ් තනතුර හෙබවීමට ප‍්‍රාමාණිකයෙකු විය යුතු වන්නේය. එ්වා හිතවතුන්ට දෙන තුටු පඬුරු නොවිය යුතු වේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනියව සිටි අවධියේ පේරාදෙණිය විශ්වවිiාලයේ පාලක සභාවට පත් කළ ආචාර්යවරයෙකු ගැන මම දනිමි. එතුමා එ් පදවිය භාර නොගත්තේය. එ් මන්දැයි එතුමාගෙන් විමසීමි. දුන් පිළිතුර මට හොඳට මතකය.

‘‘මම සහාය මහාචාර්යවරයෙක්නෙ. ප‍්‍රතිපාදන කොමිෂන් සභාව එ් ගැන අවශ්‍ය අවබෝධය ඇමතිවරයාට ලබා දීලා නැහැ. මම එ් පදවිය භාර ගත්තාම විශ්වවිiාලයේ පාලක සභාව හෑල්ලූ වෙනවා. අනෙක මහාචාර්යවරයෙකු පත් කරන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක මට වාඩි වෙන්න වෙනවා. මට මහාචාර්ය පදවිය නැතුව මම කොහොමද මහාචාර්යවරයෙක් පත් කරන මණ්ඩලයක වාඩි වෙන්නේ. එ්ක සදාචාර සම්පන්න නැහැ.’’

අද සිදු වන්නේ කුමක් ද? සහාය මහාචාර්යවරුන් ලෙස විශ‍්‍රාම ගිය පුද්ගලයෝ, මහාචාර්යවරුන් ලෙස පෙනී සිටිති. ඔවුහු ඔවුන්ට සදාචාරාත්මකව දරන්නට නොහැකි පදවි දරති. මෙවර විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව මේ බරපතළ වරද සිදු කර ඇත.

මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති පදවිය දැරූ කාලයේ, විශ්ව විද්‍යාල පාලක සභාවලට පත් කිරීමට යෝජනා වූ විශ්ව විද්‍යාලවල සේවය කර විශ‍්‍රාම ගිය පුද්ගලයන් දැරූ තනතුර හා ඔවුන් සම්බන්ධ ජීවදත්ත වාර්තාවක් ඔහු හෝ ඇය සේවය කළ විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරීවරයාගෙන් ලිඛිතව ගෙන්වා ගැනීම සිදු කළේය. විශ්ව විද්‍යාලයක සේවය කර විශ‍්‍රාම ගිය පුද්ගලයෙකු ගැන නිල සහතිකයක් ලබා දීමට නිසි පුද්ගලයා අදාළ විශ්ව විද්‍යාලයේ ලේඛකාධිකාරීවරයා වේ. ස්ටැන්ලි කල්පගේ අනුගමනය කළ පිළිවෙත ඉතා නිවැරදි පිළිවෙත වේ. යහ පාලනයට අදාළ ධර්මතාවකි ඉන් විශද වන්නේ. එකල එ් තනතුරු දැරූ පුද්ගලයන් තම ‘වගකීම හා වගවීම’ සම්බන්ධව විදහා පෑවේ ඉහළම අගයක් බව ද මෙබඳු නිදසුන්වලින් විශද වේ. ඇමතිවරයා නම් කළ පමණින් පත්වීම් සිදු කළේ නැත.

විභාග දෙපාර්තමේන්තුව දිගින් දිගටම සිදු කරන කටයුත්තක් ගැන ද යමක් මෙහිදී පැවසිය යුතුය. වැදගත් විභාගවල ප‍්‍රශ්න පත‍්‍ර සකස් කිරීම, ප‍්‍රමිත කිරීම, ප‍්‍රධාන පාලක පරීක්ෂකවරුන් ලෙස පත් කිරීම සම්බන්ධ තත්ත්වය හිටපු විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ දූෂණය කළේය. එ් නිසා විභාග දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය කෙළෙසුණි. අභාග්‍යය වන්නේ අලූත් කොමසාරිස්වරයාද පරණ පුරුදු නුසුදුසු පුද්ගලයන්, ඔවුන්ගේ භාර්යාවන් හිරිකිතයකින් තොරව සේවයට යළි යළිත් යෙදවීමයි. ජාතියේ දරුවන්ගේ ඉරණම සමඟ මේ සෙල්ලම සාපරාධීය. අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානය යොමු විය යුත්තේ මේ අතිසංවේදී කාරණාවලටද, ඉස්කෝලවල නාමපුවරු වෙනස් කිරීමට ද යන්න අවධාරණයෙන් ඇසිය යුතුව තිබේ.

විපරීත රාජ්‍ය පාලකයෙකු යටතේ සියලූ ආයතන විපරීත විය. එ් පාලකයා පරාජය වී ඇතත් කුණු වූ යාන්ත‍්‍රණය තවමත් එලෙසය. මේ කුණු වූ යාන්ත‍්‍රණය වෙනස් කිරීමට සාධනීය ප‍්‍රතිසංස්කරණ අවශ්‍ය වේ. මේ වැදගත් කර්තව්‍යයට දැනඋගත් පුද්ගලයන් ශිෂ්ට සම්පන්න ලෙස තම දැනුම හා කුසලතා සද්චේතනාවෙන් කැප කිරීමය අවශ්‍ය වන්නේ. අවසාන වශයෙන් මා දේශපාලනඥයන්ට පවසන්නේ හිතවතුන්ට, උදව් උපකාර කළ පුද්ගලයන්ට සන්තෝසම් ලෙස වැදගත් තනතුරු ලබා දීමේ පිළිවෙත සාමූහිකව අත්හරින ලෙසයි. එහි වගකීම ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැරිය යුතු වන්නේය.
රාවය

 

Back to Top