Sri Lanka Brief
පුවත්විවරණවිද්‍යා දියණිය, ලිංගික අපරාධ සහ පිරිමි අපි – රංජිත් හේනායකආරච්චි

විද්‍යා දියණිය, ලිංගික අපරාධ සහ පිරිමි අපි – රංජිත් හේනායකආරච්චි

by

විද්‍යා දියණියට මුහුණදීමට සිදුවූ ලිංගික බලහත්කාරය, එහි සාපරාධී බව, සාහසිකත්වය සහ අනුවේදනීයත්වය ගැන කීමට හෝ ලිවීමට වචනවලට නොහැකි වේය යන්න මගේ වැටහීමයි. එම සාපරාධී අපරාධය ඒ තරම්ම සාහසිකය. ඒ තරම්ම අනුවේදනීයය. ඒ තරම්ම ම්ලේච්ඡය. ලිංගික බලහත්කාරකම්වලින් සහ ලිංගික අතරවයන්ගෙන් අඩුවක් නොමැති ශ්‍රී ලංකාව තුල වුවද මෙම අපරාධය ඉතා දුර්ලභ ගනයේ එකකි. ලංකා සමාජය තුල දිනපතා ලිංගික අපරාධයන්ට ගොදුරු වන ස්ත්‍රීන් හෝ දැරියන් මෙන්ම ලමුන් ප්‍රමාණය අතිමහත්ය. පසුගිය වසර ගණනාව තුල මෙම සිංහල – බෞද්ධ රාජ්‍ය තුල ලිංගික බලහත්කාරය සහ අපයෝජනයන් පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ වාර්තා වී ඇති අපරාධ ප්‍රමාණය 27937 ක් බව අධිකරණ අමාත්‍යවරයා පසුගිය සතියේ ප්‍රකාශ කරනු ලැබීය. මෙයින් පෙන්නුම් කරන්නේ ලංකා සමාජය තුල ලිංගික බලහත්කාරය ඉතා සුළභ සිද්ධියක් බවට පත්වී ඇති බවයි.

විද්‍යා දැරිය පාසැලෙන් ගෙදර ඒම පමා වූ පසු පොලීසිය වෙත ගිය ඇගේ මවට පොලීසියේ නිලධාරීන් සිනා සී ඇත. ‘ආ එයා එයාගෙ කොල්ලත් එක්ක පැනල යන්න ඇති’ එය ඔවුන්ගේ සරල උත්තරය වී ඇත. උතුරේ හෝ දකුණේ දැරියක් හෝ තරුණියක් අතුරුදහන් වූ පසු ඇය සොයා පොලීසියට යන දෙමාපිය සහෝදර සහෝදරියනට සෑම පොලීසියකින්ම පාහේ දීමට හුරු වී ඇති පිලිතුර විද්‍යා දැරිය අතුරුදහන් වූ කලද එම පොලීසිය විසින් ඇගේ මවට ලබා දී ඇත. එදා පුන්කුඩුතිව් පොලීසිය වහාම ක්‍රියාත්මක වූවානම් බාග විට ලිංගික බලහත්කාරයකට පමණක් ගොදුරු වූ විද්‍යා අද ජීවතුන් අතර පවා සිටින්නට පවා ඉඩ තිබුනි. නමුත් ලංකාවේ පොලීසිය හුරු වී ඇති සිතිවිල්ල සහ පිලිතුර දැරියකගේ අතුරුදහන් වීමකදී ‘ආ… එයා ලවර් එක්ක පැනල යන්න ඇති’ මෙහිදීද ලබා දී තිබේ. දැරියක් අතුරුදහන් වූ වහාම පුරුද්දක් ලෙසින් පොලීසිය විසින් පමණක් නොව සමාජය පවා මෙවැනි පිලිතුරක් දීමට පුරුදු වී ඇත්තේ ඇයි? ලංකා සමාජයේ සෑම කෙනෙකුම පාහේ දැරියකගේ අතුරුදහන්වීමකදී ‘එයා කොල්ලෙක් එක්ක පැනල යන්න ඇති ’ යනු සිතන මට්මකට ලංකා සමාජය පත්ව ඇත. නමුත් මෙවැනි සිතිවිල්ලක් පොලීසියට මෙන්ම සමාජයටද ඇති වන්නේ ඇයි? අපි නොවිමසමු. විද්‍යා දියණියගේ ඛේදවාචකයෙක් අපට ඉගන ගැනීමට ඇත්තේ මෙවැනි දේ අප සමාජයේ සිදු වන්නේ ඇයි යන්න සිතීමත් ඒ පිළිබඳ සංවාදයක් තුලින් මෙවැනි දේ වලකා ගැනීමට සමාජයක් වශයෙන් ක්‍රමවේදයක් ගැන සිතා බැලීමටත් යොමු වීමය. ‘සිදුවීම් සිදුවන්නේ හැඬීමට හෝ සිනාසීමට නොවෙතිය’ කියා කියමනක් අප අසා ඇත්තෙමු. මෙම ඛේදවාචකයේදීද ඒ ගැන හඬා වැලපීමෙන් පමණක් මෙවැන්නක් නැවත ඇතිවීම වලකා ගත නොහැකි වනු ඇත.

ලංකා සමාජය යනු විශාල ලිංගික අසහනයකින් පෙලෙන සමාජයක් යන්න මගේ හැගීමයි. එය ආදරය කිරීමට තහංචි දමා ඇති ආදරය කිරීම වරදක් බවට හංවඩු ගසා ඇති සමාජයකි. නව යෞවනය සමග ඇතිවන ස්වාභාවික ලිංගික ආදරය උදෙසා ඇතිවන හැගීම්වලට සමාජය තුල ඉඩකඩ අහුරා දමා ඇත. වැඩිවිය පත් පාසැල් යෞවනයට ආදරය කිරීම තහනම්ය. නමුත් නව යෞවනයේ ශාරීරික ක්‍රියාදාමයක් වන හෝමෝනයන් ඉල්ලා සිටින්නේ ස්වාභාවිකව සිදුවිය යුතු මේ ක්‍රියාදාමයයි. නමුත් ආදරය තහනම්, ආදරය කිරීමේ වරදට තම වැඩිහිටියන්ගෙන් මෙන්ම ගුරුවරුන්ගෙන් දඬුවමට ලක්වන යුවති යුවතියන් කොපමණද? ආදරය කිරීමේ වරදට අපහාසයට හා නිගරුවට ලක්වන ප්‍රමාණය කොතරම්ද? ඉතිං යම් සමාජයක මිනිසාට ස්වභාවයෙන් ලැබෙන මානසික ශාරීරික උවමනාවන්ට ස්වභාවිකව ක්‍රියාත්මක වීමට ඇති ඉඩකඩ බාධක, කඩුළු තහංචි දමා දණ්ඩනයට යටත් කර හිර කළ පසු සිදුවන්නේ ඒවා විකෘති ආකාරයකින් පුපුරා යාමයි. ඒවාගේම ඒ පුද්ගලයින් තුල විකෘතියක් ඇති වීමයි. එය විවිධ ආකාරයෙන් මුළු සමාජයටම හානි කර ආකාරයකින් පුපුරා මතුවීම ස්වභාවයයි. ලිංගික ප්‍රචන්ඩත්වයද මෙම විකෘතියේම එක් අවස්ථාවකි. මිනිසාගේ ස්වභාවික වර්ධනයට ඒවා මත තහංචි දැමීම තුලින් සිදුවන්නේ හරියට ගලා යන දොලක් හරහා බැම්මක් බැදීම වැනි දෙයකි. කෙමෙන් පිරෙන ජලය වතාවකදී මේ බැමි පුපුරවා හෝ උතුරා ගලා යන බව නොවැලැක්විය හැකිය.

ලංකාවේ පිරිමින්ගෙන් වැඩි දෙනෙකු බස් රථයක් තුලදී හෝ වෙනත් මිනිසුන් තෙරපෙන ස්ථානයකදී තරුණියකගේ හෝ ස්ත්‍රියකගේ ඇගකට හේත්තු වී, එසේ නැතිනම් යන්තන් ඇගිල්ලක් ඇගේ ඇඟේ ගාවා හෝ වින්දනයක් ලබති. වින්දනයක් ලැබීමට තැත් දරති. පාරේ යන තරුණියකට මොනවා හෝ වචනයක් පවසා එතුලින් (ලිංගික) තෘප්තියක් ලබන පිරිමි ප්‍රමාණය කොතරම්ද? කඩපිල්වල, හන්දිවල, බෝක්කු උඩ මග තොට රැක සිටින පිරිමි කණ්ඩායම් ඔවුන් පසුකර යන ස්ත්‍රීන් කොපමණ දෙනෙකු වුව වචනයෙන්, නොයෙක් ශබ්ද දැමීමෙන් සහ බැල්මෙන් ලිංගිකව හිංසනයකට හසු කරන්නේද? පිරිමින් එකතුවුන තැනක සමාජයේ ඉහල සිට පහලට, කතා කරන භාෂාව වන්නේ ‘මරු බඩුව, නියම ගෙඩිය, කොහොමද පුක ගහන්ඩ තියනවනම් නියමයි’ ආදී මෙකී නොකී වදන් වැල්ය‍.

මේ සෑම තැනකම සිදුවන්නේ පිරිමින්ට ගැහැණියක් ‘හිලක්’ ලෙසින් පෙනීමේ විපාකයයි.ස්ත්‍රියක් තමන් මෙන්ම මනුෂ්‍ය කොටසක් බව නොපෙනෙන මායා තත්වයකට ලංකා පිරිමි සමාජය පත්ව ඇත. අප සමාජයට මෙම ලිංගික අසහනය කොපමණ ලෙස බලපානවාද යත් පිරිමින්ගෙන් අති බහුතරයකට ආදරය යනු අනෙකා සමග ඇති වන සුන්දර, සෞම්‍ය සම්බන්ධයක් නොව තම පුරුෂ ලිංගය මොකක් හෝ හිලකට ඔබා තෘප්තියට පත්වීමේ යාන්ත්‍රීය ක්‍රියාදාමයක් පමනි.

‘අම්මා බුදු වේවා’ කියන සමාජයක් ඊළග මොහොතේ ‘අම්මාට හු–වා’ යන්න කීමට ගත වන්නේ සුළු මොහොතකි. මේ අපි මිස පිටසක්වලින් පැමිණි අය නොවෙති. යුද්ධයේදී වෙඩි වැදී මිය ගිය ස්ත්‍රී මලමිණී ඉදිරිපිට කතාවෙන් පවා ලිංගික තෘප්තියක් ලබන හැටි අප දැක ඇත්තෙමු. මියගිය ස්ත්‍රීන්ගේ මළ සිරුරු නිරුවත් කළ පිරිමින් (සොල්දාදුවන්) ‘තාම රස්නෙයි ගහන්න පුළුවන්, නියම බඩු බං’ ආදී දේ පවසති. මේ ලංකා සමාජයේ පිළිබිඹුවක් මිස මෙම සොල්දාදුවන්ගේ පමණක් ක්‍රියාදාමයක් නොවෙති. මා මෙසේ ලියන්නේ අප අප ගැනම සිතන්න කාලය එළඹ ඇති බැවිනි.
සමාජයක් හොද හෝ නරක තැනකට ගෙන ඒමේ කාර්යයෙහි වගකීම ඇත්තේ එම සමාජයේ ජීවත්වන මිනිසා තුලයි. ප්‍රචන්ඩත්වය පිරුණු සමාජයක් පිළිබිඹු කරන්නේ එම සමාජය අත්යන්තනේම අසහනයෙන් පෙලෙන බවයි. මෙයින් ගොඩ ඒමට නම් අපට අප සමාජය වසා පැතිර ඇති මේ වැරදි ගැන අවංකව සාකච්ඡා කර ඒ තත්වය ඇතිවීමට හේතු සොයා ඒවාට විසදුම් සෙවිය යුතුව ඇත. මෙය කෙටි කලෙකින් කළ නොහැකි බව පැහැදිලිය.

උතුරේ මෙන්ම දකුණේද සාපරාධී අපරාධයක් හෝ එවැනි තත්වයක් ඇති වූ විට එයට එරෙහිව ජන සමූහයා නැගිට විත් ප්‍රකෝපකාරී ලෙස හැසිරෙමින් දේපළ ගිනි තබමින් සිදුවූ අපරාධය හා සමානවම අපරාධයක් සඳහා ප්‍රචන්ඩත්වයම ප්‍රගුණ කරති. එයට උදාහරණ ලෙස ‘පැෂන් බග්’ වලදී තරුණයෙක් තරුණියකට බලහත්කාරකම් කලාය යන චෝදනාව උපයෝගීකරගෙන එම ආයතනය වටකර එය කඩා බිද දමමින් සමූහය හැසිරුනේ වියරුවෙන් මෙනි. කහවත්තේ හෝ අලුත්ගම සිද්ධිය මෙන්ම මෙවැනි අවස්ථා විශාල ප්‍රමාණයක් දකුණේ සිංහල ප්‍රදේශවලද දැකිය හැකි විය. එමෙන්ම මේ හැම සිදුවීමක් පිටුපසම එම අපරාධයට ගොදුරු වූ පුද්ගලයා හෝ තැනැත්තියට සාධාරණයක් ඉටු කර ගැනීම වෙනුවට තම දේශපාලන කණ්ඩායමක මතුවීම සදහා මේ අවස්ථා යොදා ගැනීමද මේ අපරාධයන් හා සමානම අපරාධයකි. ඇත්ත වශයෙන්ම මෙම ලිංගික අසහනයෙන් පෙලෙන උන්මත්තකයන් කළ විද්‍යා දියණියට කළ සාපරාධී සාහසික අපරාධය අපට මේ පිළිබඳ කතිකාවක් ඇතිකර ගැනීමට අවස්ථාව කර ගත යුතුව ඇත.
වචනයෙන් හෝ ක්‍රියාවෙන් ලිංගික හිංසනයට ලක්නොවූ ස්ත්‍රියක් ලංකා සමාජයේ නැති තරම්ය. මේ සියල්ල සිදු වන්නේ ලංකා සමාජයේම පිරිමින් අතින් නම් මේ ප්‍රශ්නය අප සමාජයේ කොතැනක හරි වරදක් සමග බැදී ඇති බව නොපෙනේද?

විද්‍යා දියණියට කළ අපරාධය හමුවේ එය කළවුන් නීතිය ඉදිරියට ගෙන ඒමට බල කිරීම සමගම තවත් කොටසක් ප්‍රචන්ඩත්වය අතට ගෙන උසාවි වලට පවා ගල්මුල් ගසමින් සාහසික ලෙස හැසිරුණි. පැෂන් බග් හෝ වෙනත් තැනක දකුණේද එය මෙසේම සිදුවිය. මෙම ප්‍රචන්ඩ සිදුවීම්වලට මූලිකත්වය දෙමින් ප්‍රචන්ඩත්වයට මුල් වන්නේද පිරිමින්මය. අපරාධයකදී අපරාධකරුවා මෙන්ම අපරාධයට විරුද්ධවී මෙම ප්‍රචන්ඩත්වය භාවිතා කරන්නේද පිරිමින්ය.

පාරේ යන තරුණියකට වචනයෙන්, බසයක් තුල අතපත ගෑමෙන් හෝ වෙනත් අයුරකින් ලිංගික හිංසනය කිරීමත් එය දුරදිග ගොස් අවස්ථාව සහ මත්පැන් සමග සිදුවන බරපතල ලිංගික බලහත්කාරයේ අපරාධයන් සෑම එකකම ඇත්තේ එකම ආකාරයක ලිංගික හිංසාකාරීත්වය සහ ප්‍රචන්ඩත්වය පැතිරවීමකි. ලිංගික ප්‍රචන්ඩත්වයද ලංකා සමාජය වසා ඇති අනෙක් ප්‍රචන්ඩත්වයේ එක අවස්ථාවක් පමනි. මේ දෙක අතර ඇත්තේ ඉතා සියුම් වෙනසකි. බොහෝ විට මෙසේ ලිංගික අපරාධයකට එරෙහිවනවාය කියමින් ප්‍රචන්ඩත්වයෙන් සාහසික හැසිරීම තුල පිළිබිඹු කරන්නේද එකම දෙයකි. මෙසේ වීරයින් ලෙස හැසිරෙන මේ පිරිමින්ගෙන් කීදෙනෙකු මහමග තරුණියකට තනිව යාමට ඉඩ නොහැර වචනයෙන්, හැසිරීමෙන් හෝ ක්‍රියාවෙන් ලිංගික හිංසනයන්හි යෙදෙන අය වෙත්ද?. පිරිමින් වන අපි මේ ගැන, එනම් අපි අපි ගැනම සිතා බැලීමට කාලය පැමිණ ඇත. ගැහැණියක් දෙස ‘හිලක්’ දෙස බලන මානසිකත්වයකින් අප වැසී ඇත්තේ ඇයි කියා අපම සිතා බැලිය යුතුව ඇත්තෙමු. මෙම ලිංගික බලහත්කාරය ලංකා සමාජයේ සමාජීය ප්‍රශ්නයක් මිස දෙමළ හෝ සිංහල හෝ වෙනත් ජන කණ්ඩායමක අයෙකු වීමේ ප්‍රශ්නයක් නොවෙති. මෙය ලංකා සමාජයේ පිරිමින්ගේ මානසිකත්වය පිළිබද ගැටලුවකි. මෙය ලංකා පිරිමි සමාජයේ දැක්ම පිළිබද, ආකල්ප පිළිබද ගැටළුවකි.

විද්‍යා දියණියගේ ඛේදවාචකය මෙම ගැටළුව ගැන සාකච්ඡා කිරීමට සහ එවැනි සාහසික අපරාධයක් නැවත ඇති නොවීමට මග පාදා ගැනීම සඳහා කතිකාවක් ආරම්භ කිරීමට මාර්ගයක් කර ගත යුතු බව මගේ හැඟීමයි.

Back to Top