Sri Lanka Brief
විශ්ලේෂනමම මහින්ද නම් විශ‍්‍රාම ගන්නවා – ඩිව් ගුණසේකර (ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය)

මම මහින්ද නම් විශ‍්‍රාම ගන්නවා – ඩිව් ගුණසේකර (ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය)

by
දැන් දින සීයේ කාලය අවසානයි. දින සියය ගැන මොකද හිතන්නේ?

මම මීට පෙරත් කිව්වා ප‍්‍රතිපත්තිමය වශයෙන් අපට එකඟ විය හැකි ගොඩාක් දේවල් දින සියය වැඩසටහන තුළ තිබුණා. අපේක්ෂා කළ ආකාරයට නැතත් ජනාධිපතිවරයාගේ බලය අඩු කිරීම ඓතිහාසික කාරණයක්. සියලූ පාර්ශ්වයන් සතුටු වන ආකාරයට සිදු නොවුණත්, අවසාන මොහොත දක්වා සංශෝධන ආවත් 1978 ඉඳන් බලාපොරොත්තු වෙච්ච ප‍්‍රතිසංස්කරණ සිදුකිරීම වැදගත්. අපි 94දී බලාපොරොත්තු වුණ දෙයක්. එදා ඉඳන් අවුරුදු විස්සක් චන්ද්‍රිකා සහ මහින්ද බලයේ ඉඳලා නොකරපු දෙයක් මෛත‍්‍රී ඇවිත් මාස කිහිපයකින් කළා. දින සීයෙන් තවත් වෙනසක් වෙන්න ඕනෑ.

ඒ වෙනස මොකක්ද?

මේකටම බද්ධ වෙච්ච අනෙක් සංශෝධනය මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම සඳහා ගෙනෙන විසිවෙනි සංශෝධනය. 2002දී රනිල් අගමැති කාලයේ මේ සඳහා උත්සාහයක් ගත්තා දිනේෂ් ගුණවර්ධන කමිටුවක් පත් කරලා. මමත්

ඩිව් ගුණසේකර

ඩිව් ගුණසේකර

ඒකට සම්බන්ධ වුණා. ඒත් කිසි දෙයක් වුණේ නැහැ. ඒ ආණ්ඩුවෙන් අපට පුළුවන් වුණා ඡුන්දය දීමේදී හැඳුනුම්පත් අනිවාර්ය කරන්න. ඒක වුණෙත් බරපතළ සාකච්ඡුා මැද්දේ. ඒක ලොකු ජයග‍්‍රහණයක්. ඔබට හිතන්න පුළුවන් නේ පහුගිය ජනාධිපතිවරණයේදී හැඳුනුම්පත අනිවාර්ය නොවුණා නම් මොන වාගේ ප‍්‍රතිඵලයක් ඇතිවෙයිද කියලා. මේක භාර ඇමතිවරයා විදියට හිටපු මටත් අවමානයක් ඒක. වසර පනහක් තිස්සේ තිබුණු හොර ඡුන්ද දැමීමේ අයිතියක් නැති කරනවා වගෙයි 2002දී කට්ටිය සටන් කළේ. 20 වැනි සංශෝධනයේදීත් එන්නේ ඒ වාගේ විරෝධයක්.

දැන් තියෙන්නේ සම්මත කරගන්න බැරි තත්ත්වයක්ද?

මෙය මන්ත‍්‍රීවරුන්ට කෙළින්ම බලපාන දෙයක්. වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමය අනුපාත ක‍්‍රමය බව ඇත්ත. ඒත් ජනතා ඉල්ලීම තියෙන්නේ කොට්ඨාස ක‍්‍රමයට. ඒක පසෙකට දාන්න බැහැ. ප‍්‍රධාන පක්ෂ දෙකේ සහ ටීඑන්ඒ සහාය ලැබෙනවා කොට්ඨාස ක‍්‍රමයට. ඒත් අනුපාත ක‍්‍රමය පසෙකට දාන්න බැහැ. මනාප අහෝසි කරලා අනුපාත ක‍්‍රමයත් තියාගන්න ක‍්‍රමයකට එකඟත්වය තියෙන්නේ. මෙතැන තියෙන්නේ තාක්ෂණික ප‍්‍රශ්න කිහිපයක්. සුළු පක්ෂ සන්තෝස කරන්න ආසන වැඩි නොකර බැහැ. අඩු කළොත් ප‍්‍රශ්නය උග‍්‍රවෙනවා. විශේෂයෙන් සීමා නිර්ණයේදී සංස්කෘතික ප‍්‍රශ්න, ප‍්‍රාදේශීය ප‍්‍රශ්න මතුවෙනවා. මේ වෙද්දී යම් ප‍්‍රමාණයකට ගැටලූ සමනය වෙලා තියෙන්නේ. යහපාලනය ක‍්‍රියාත්මක කරන්න නම් දිස්ත‍්‍රික් ආසන ක‍්‍රමය සහ මනාප ක‍්‍රමය නැති කරන්නම ඕනෑ.

මැතිවරණ ක‍්‍රමය වෙනස් කරනවාට සුළු පක්ෂ විරුද්ධයි නේද?

සුළු පක්ෂ කිව්වාම සුළු ජාතික පක්ෂවලින් ටීඑන්ඒ සුළු පක්ෂයක් නෙවෙයි ප‍්‍රධාන පක්ෂයක්. මුස්ලිම් කොංග‍්‍රසය ප‍්‍රදේශ කිහිපයක බලය තිබුණත් සුළු පක්ෂයක් ලෙස සලකන්න වෙනවා. ඔවුන්ගේ සාධාරණ ඉල්ලීම් තිබුණත් හැම ප‍්‍රදේශයකම මුස්ලිම් ජාතිකයන්ට ජනවර්ගය මත නියෝජනයක් ඉල්ලීම ප‍්‍රායෝගික නැහැ. ගොඩක් ප‍්‍රදේශවල මුස්ලිම් සහ දෙමළ ජනතාව සමගියෙන් ඉන්නවා. මේකෙන් ඔවුන් අතර භේද ඇතිවන්න පුළුවන්. නැති ප‍්‍රශ්නවලට මුලක්. ජනතා විමුක්ති පෙරමුණේ විරෝධයට සාධාරණ පදනමක් තියෙනවා. ආසනයකට තරග කරලා දිනන්න ඔවුන්ට බැහැ. ඔවුන් යැපෙන්නේ අනුපාත ක‍්‍රමය මත. ඒත් මිශ‍්‍ර ක‍්‍රමය ඒකට හොඳ විසඳුමක්.

විශ්වාසභංගය තමයි විසිවෙනි සංශෝධනයට තියෙන ප‍්‍රධාන බාධාව.

විශ්වාසභංගය ගණන් ගතයුතු නැහැ. 20 සම්මත වුණු ගමන් පාර්ලිමේන්තුව විසුරුවාවි. පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රය හදන්නේ ආණ්ඩු පක්ෂය. විශ්වාසභංගය එනකම් කොහොමත් ඉන්නෙ නැහැ. බැරිම වුණොත් පාර්ලිමේන්තුව විසුරුවයි. විශ්වාසභංගය සටන් පාඨයක් විතරයි. මාධ්‍ය සංදර්ශනයක්.

ඒත් වාසුදේවලා කියන්නේ විස්සටත් වඩා විශ්වාසභංගය වැදගත් කියලයි.

මම එය විශ්වාස කරන්නේ නැහැ. විස්සට ඉහළම ප‍්‍රමුඛත්වය දිය යුතුයි කියලා අපි කතා කළා. විශ්වාසභංගය ජාතික ප‍්‍රශ්නයක් නෙවෙයි. ඕනෑ වෙලාවක විශ්වාසභංගයක් ගේන්න පුළුවන්. 20 කියන්නේ 78න් පස්සේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කරන්නට ලැබුණු ඓතිහාසික අවස්ථාවක්.

ඔබ හිතන්නේ රනිල් අගමැති ධුරය දැරීම නීති විරෝධී කියලාද?

මැතිවරණ ප‍්‍රකාශනයේදී මෛත‍්‍රී ප‍්‍රකාශ කළා රනිල් වික‍්‍රමසිංහව අගමැති කරනවා කියලා. දින 100 තුළ රනිල්ට පාර්ලිමේන්තුවේ සහාය ලැබෙනවා. ඔහු දිවුරුම් දුන්නා. මෛත‍්‍රී හදිසියේවත් ශ‍්‍රීලනිප සභාපතිකම නොගත්තා නම් තමයි ප‍්‍රශ්නය එන්නේ. මම එක්වරක් ජනාධිපති වරයාගෙන් ඕක ඇහුවා. ඔහු කීවේ සභාපති ධුරය නොලැබුණා නම් පාර්ලිමේන්තුව විසුරුවන්න වෙනවා. එහෙම වුණොත් ඡුන්දයකින් එජාපය ඉහළින් දිනන්න ඉඩ තිබුණා කියලයි. එහෙනම් දැන් කොහොමත් තියෙන්නේ එජාප ආණ්ඩුවක්. ශ‍්‍රීලනිපයට මෙය තේරෙන්නේ නැහැ. ව්‍යවස්ථා සංශෝධන, අණපනත් වුණත් සම්මත වුණා නේ. රනිල්ට බහුතරය නැතිනම් ඒක තීරණය වෙන්නේ විශ්වාසභංගයක් ගෙනාවොත්. එහෙම නැත්නම් වෙන මන්ත‍්‍රීවරයෙක්ට විශ්වාස යෝජනාවක් ගෙනාවොත්. මෙතෙක් එහෙම නොවුණු නිසා එජාපයට බහුතරය තියෙනවා.

රාජපක්ෂලා සහ ඔවුන්ගේ හිත මිතුරන්ගෙන් ආණ්ඩුව පළිගන්නවා කියන චෝදනාව ගැන ඔබ මොකද හිතන්නේ?

හැමදාම බලය තියෙන ආණ්ඩුවක් විපක්ෂයට දූෂණ චෝදනාවක් ගෙනාවාම කියන්නේ එය දේශපාලන පළිගැනීමක් කියලා තමයි. අවසානයේ අධිකරණය ගන්නා තීන්දුව මත දූෂණයක් ඔප්පුවීමයි වැදගත්. මෙතැනදී මම අනුමත නොකරන්නේ මාධ්‍ය සංදර්ශනයක් විදියට මේක ක‍්‍රියාත්මක වීමයි. අධිකරණය, රහස් පොලිසිය සම්බන්ධ සිදුවීම් රහස්‍ය විදියට සිද්ධවෙන්න ඕනෑ. චෝදනා ඔප්පු වුණාම මාධ්‍යවලින් ප‍්‍රසිද්ධ කළ යුතුයි. දැන් රහස් පොලිසියෙන් ප‍්‍රශ්න කිරීමක් කළත් මාධ්‍ය අරගෙන යනවා. විමර්ශන අංශයකට පැමිණිල්ලක් අරන් ගියත් මාධ්‍යවලට කතා කරනවා. මේවායින් මේ ආයතන හෑල්ලූ වෙනවා. දූෂණ ගැන ඍජු තීරණ ගත්තු එකම නායකයා තමයි බණ්ඩාරනායක මහත්තයා. ඔහුගේ ප‍්‍රබලම ඇමතිවරුන්ට දූෂණ වංචා ඔප්පු වෙලා ඉල්ලා අස්වෙන්න සිද්ධ වුණා. වංචා ඔප්පු වෙනකම් මාධ්‍ය ඒ ගැන දන්නේ නැහැ. දැන් ඒ සංස්කෘතිය බිඳ වැටිලා. හැමෝටම ඡන්දය ගන්න ඕනෑ. හුදු මාධ්‍ය සංදර්ශන කරනවා.

ආණ්ඩුවට එල්ල වුණු දූෂණ චෝදනාවක් මහ බැංකු බැඳුම්කර සිදුවීම. මේ සම්බන්ධ කෝප් කමිටුවේ නිරීක්ෂණය මොන වගේද?

පාර්ලිමේන්තු ඉති හාසයේ පළවෙනි වතාවට මේ වගේ පරීක්ෂණයක් සිද්ධවෙන්නේ. සාමාන්‍ය යෙන් අවුරුද්දකට දෙපාරක් විගණකාධිපති වාර්තා මත තමයි පරීක්ෂණ කරන්නේ. මෙතැන එහෙම නැහැ. ජනමාධ්‍ය හරහා ඇවිත් කතානායකවරයාගේ නියෝග මත තමයි කමිටුව රැුස්වුණේ. මෙතැනදී රටේ මූල්‍යය හසුරුවන ප‍්‍රධාන ආයතනයක් වන මහ බැංකුවේ අධිපතිවරයාට තමයි චෝදනාව තියෙන්නේ. මෙය බැංකු ක‍්‍රමයට සහ රටේ මූල්‍ය පද්ධතියට බලපානවා. ඒ නිසා මේ ගැන වරින්වර මාධ්‍යවලට කීම සුදුසු නැහැ. මට අයිතියක් තිබුණත් ප‍්‍රශ්න කළ දේවල් ගැන කිව්වොත් මීළඟට එන අයට ඒක බලපානවා.

දේශපාලනඥයන් දූෂණවල යෙදෙන එක මේ රටේ දේශපාලන සංස්කෘතියේ ප‍්‍රශ්නයක් නේද?

දේශපාලන සංස්කෘතිය මේ වනවිට බරපතළ ප‍්‍රශ්නයක්. මේකෙ වෙනසක් වෙන්න ඕනෑ. මේකට බලපාන ප‍්‍රධාන සාධක තමයි මැතිවරණ ක‍්‍රමය, රාජ්‍ය සේවය දේශපාලනීකරණය වීම වගේ දේවල්. ව්‍යවස්ථා සම්පාදකයා කියන එක බින්දුවට බැහැලා. අද මන්ත‍්‍රීවරු පත්වීම් ලියුම් දෙනවා, ළමයින් ඉස්කෝලෙට දාන්න ලියුම් දෙනවා. ව්‍යවස්ථා සම්පාදනය හැර හැම දේකටම මැදිහත් වෙනවා. අන්තිමේ පනතක් ගැන කතා කරද්දී පාර්ලිමේන්තුව හිස්. මේක වෙනස් කරන්න බැහැ. මැතිවරණ ක‍්‍රමයට කළු ආර්ථිකය රිංගලා තියෙන්නේ. මේක වමේ පක්ෂවලටත් බලපාලා තියෙන්නේ. අපේ අය පවා ගැලවිලා නැහැ. ඇත්තටම මන්ත‍්‍රීවරුන්ට විමධ්‍යගත අරමුදල් දෙන එකත් නවත්වන්න ඕනෑ. සංවර්ධන යෝජනා ගෙනල්ලා ඒකට අවශ්‍ය ප‍්‍රතිපාදන විතරක් ලබාදෙන ක‍්‍රමයක් හදන්න ඕනෑ. පහුගිය ආණ්ඩුව මේකට හොඳටම ඇබ්බැහි වෙලා හිටියේ. පරාදවෙන්න ප‍්‍රධාන හේතුවක් ඒක. මේ ආණ්ඩුවේත් ඒ ලක්ෂණ පේනවා. මේවා වෙනස් විය යුතුයි. දැන් ඉස්කෝලෙ මහත්තයෙක්ට පාර්ලිමේන්තු එන්න පුළුවන්ද? දැන් ප‍්‍රාදේශීය සභාවලත් ඉන්නේ ජනාධිපතිවරයාට ඡන්ද එකතු කරන මිනිස්සු.

මහින්දලානේ මේක හොඳටම ක‍්‍රියාත්මක කළේ. පහුගිය ඡුන්දයේදී මහින්දට සහාය දෙන්න තීරණය කිරීම ගැන මොකද හිතන්නේ?

ප‍්‍රතිපත්තිමය එකඟ තාවක් මත අපි ඒ තීරණය ගත්තා. මෛතී‍්‍ර ආණ්ඩුවෙන් ඉවත් වුණේ එක්වරම. ඔහු එජාපය එක්ක කටයුතු කළේ. අපේ පක්ෂයට අසීරු තීරණයක් ගන්න වුණා. මොන තීරණය ගත්තත් පක්ෂයේ බෙදීම් ඇතිවන තත්ත්වයක් තිබුණේ. මහින්දට සහාය දුන්නේ පුද්ගල කාරණා මත නෙවෙයි. අපේ පක්ෂයේ ඡුන්ද පදනම ගැනත් හිතන්න වුණා. මහ ඡුන්දයක් ළඟ තිබුණේ. ශ‍්‍රීලනිපය සමග තමයි අපි සමීපව කටයුතු කළේ. කෙසේ හෝ මහින්ද පරාද වුණා. ඉන්පසුව ඇතිවුණු දේශපාලන යථාර්ථය අපි සැලකිල්ලට ගන්නවා. ඡුන්දයෙන් පසුදින මෛත‍්‍රී මාව මුණගැහෙන්න ආවා. ඔහු මගේ හොඳ මිත‍්‍රයෙක්. කිසිදු ගැටලූවක් ඔහුට තිබුණේ නැහැ. ඒ අනුව අපි මෛත‍්‍රීට ලැබුණු ඡුන්ද පදනමත් සැලකිල්ලට අරන් දින සීයට සහාය දුන්නා.

ඓතිහාසිකව ගත්තාම මහින්ද පරාද වුණු එක හොඳයි නේද? ඔහු ආවා නම් ඔය සංශෝධන මොනවත් කරන්නෙ නැහැ.

ඔව්. ඉතිහාසය ලියැවෙන කොට එහෙම ලියැවෙයි. මහින්දගේ මැතිවරණ ප‍්‍රකාශනයේ ව්‍යවස්ථාමය වෙනසක් ගැන තිබුණත් කවුරුත් එය සැලකිල්ලට ගත්තේ නැහැ. 94 ඉඳන් ශ‍්‍රීලනිපය කිව්වාට මෙය කළේ නැහැ. ව්‍යවස්ථාව ගෙනා අය විදියට එජාපය මේක කිව්වාම වැඩි සැලකිල්ලට ලක්වුණා. මහින්ද සහ චන්ද්‍රිකා වසර විස්සක් නොකළ දෙය මෛත‍්‍රී දින ගාණක් තුළ කළා. ඒ නිසා ඔබේ ප‍්‍රකාශය ප‍්‍රතික්ෂේප කරන්න බැහැ.

පැරදුණු මහින්ද බලයට එන්න ගන්න උත්සාහය එක්ක එකඟද?

මම මහින්දගේ තත්ත්වයේ හිටිය නම් විශ‍්‍රාම ගන්නවා. ඔහුගේ ගමේ අපේ මහ ගෙවල් ඉතා ළඟින් තිබුණේ. ඔහුගේ සහෝදරවරු හැර පාර්ලිමේන්තුවේ ඔහු ගැන වැඩිපුරම දන්න කෙනා මම. දුර්වලතා වගේම ප‍්‍රබලතා. මම හිතන්නෑ මහින්ද එයි කියලා. ඒක ඕනෑ මහින්ද වටේ ඉන්න අයට.

ඇත්තටම රටේ මහින්ද රැල්ලක් තියෙනවාද?

ශ‍්‍රීලනිපය ප‍්‍රමුඛ බලවේගවල තියෙනවා මහින්දවාදී රැල්ලකට වඩා එජාප විරෝධයක්. මහින්ද නොවෙයි ප‍්‍රධාන සාධකය. මොකද මෛත‍්‍රී ජනාධිපති වුණත් සන්ධානයේ ඡන්දදායකයන්ට මේක පෙනෙන්නේ එජාප ආණ්ඩුවක් විදියට. මේක මෛත‍්‍රී අතින් වුණු වැරැද්දක ප‍්‍රතිඵලයක්. පාක්ෂිකයන්ව දැනුවත් කරන්න තිබුණා අලූත් දේශපාලන යථාර්ථය ගැන.

ඇයි පාක්ෂිකයන්ට තේරුම් ගන්න බැරිද?

ලංකාවේ ප‍්‍රතිපත්ති දේශපාලනය නැහැනේ. ඔබ කලින් කිව්වා වගේ දේශපාලන සංස්කෘතියේ ප‍්‍රශ්නයක්. පසුගිය වසර දහයක් තිස්සේ ප‍්‍රතිපත්ති දේශපාලනයක් තිබුණේම නැහැ. ජනතාවට කිසිදෙයක් උරාගන්න බැහැ. ශ‍්‍රීලනිපය වමත් එක්ක ඓතිහාසික කාර්යභාරයක් කරලා තියෙනවා තමයි. කුඹුරු පනත වගේ ඒවා ගම්වල මිනිස්සු සහභාගි කරවාගෙන කරපු ප‍්‍රගතිශීලී වැඩ. අන්තිම අවුරුදු දහයේ ඒ වාගේ කිසිදෙයක් කළේ නැහැ. දැන් මිනිස්සු මහින්ද වටේ එක්වීම පුදුමයක් නෙවෙයි. අර මිනිස්සු ඉල්ලපු දේට අවශ්‍ය රික්තය මහින්ද පිරෙව්වා.

ඔබේ දේශපාලන මිත‍්‍රයා වාසුදේවත් කොන්දේසි විරහිතව මහින්ද පස්සේ යනවා. ඔහුගේ හැසිරීම අන්තිමයි. මොකද ඔහුට වෙලා තියෙන්නේ.

ඒක නම් අවංකවම මටත් හිතාගන්න බැහැ. කියන්න ඕනෑ හැමදෙයක්ම මම ඔහුට පෞද්ගලිකව කිව්වා. අපට පුද්ගලාභිවන්දනයක් නැහැ. ඔහු කළ ඓතිහාසික කාර්යභාරයක් ඉතිරි වෙලා තියෙනවා. මේ වැඬේට මටත් ආරාධනා කළා. ඒත් මම ප‍්‍රතික්ෂේප කළා.

තරිඳු උඩුවරගෙදර / රාවය 

Back to Top