Sri Lanka Brief
පුවත්විශ්ලේෂන‘‘තැටිය හොඳට රත්කර දුන්නත් රොටිය පුච්චාගන්නට පුළුවන් වුණේ බාගෙට” – මාදුළුවාවේ සෝභිත හිමි

‘‘තැටිය හොඳට රත්කර දුන්නත් රොටිය පුච්චාගන්නට පුළුවන් වුණේ බාගෙට” – මාදුළුවාවේ සෝභිත හිමි

by

මාදුළුවාවේ සෝභිත හිමියන් රට වෙනුවෙන් කළ මෙහෙවර අගයා උපහාර පුද කිරීමේ උත්සවයක් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ඉකුත් 29 වෙනි දින පැවැත්විණ. එහිදී සිදුවූ විශේෂ සිදුවීමක් වූයේ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සකස් කළ දස වැදෑරුම් යෝජනාවලියක් ජනාධිපතිවරයා සහ අගමැතිවරයාට පිළිගැන්වීමයි. එයද, වත්මන් දේශපාලන පසුබිමද මුල්කර ගනිමින් මාදුළුවාවේ සෝභිත හිමියන් සමඟ සිදුකළ සාකච්ඡාවකි මේ.


 

බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැත්වුණු ඔබ වහන්සේට උපහාර පිදීමේ උත්සවයේදී ඔබ වහන්සේ සඳහන් කළා ”තැටිය හොඳට රත්කර දුන්නත් රොටිය පුච්චාගන්නට පුළුවන් වුණේ බාගෙට” කියලා. මෙයින් අදහස් කළේ මොකක්ද?

මා මේ අරගලය ආරම්භ කළේ මගේ හැත්තෑවෙනි උපන් දිනය දවසේ. එදත් ඔය වගේම උත්සවයක් පැවැත්තුවා බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේදී. ඒකෙදි මං කිව්වා මගෙන් රටට ඉටු විය යුතු තවත් එක් යුතුකමක් පිළිබඳව. රටට මහා විනාශයක් වෙලා තියන අසීමිත බලතලවලින් හෙබි විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන තුරු අපිට යුක්තියක් හම්බවෙන්නේ නෑ. අපිට සාධාරණයක් ඉෂ්ටවෙන්නේ නෑ. නීතිය ක‍්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ නිසා මෙතනින් පස්සේ මම ආරම්භ කරන ව්‍යාපාරය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි කියන ව්‍යාපාරය බව එදා රැස්වෙලා හිටිය ජනතාව ඉදිරියේදි මං ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළා.

මං අධෛර්ය වුණේ නෑ

ඕක කරන්න පුලූවන් වැඩක්ද? කෙරෙන වැඩක්ද? කියලා ඒ වෙලාවේ බොහෝ දෙනාට ඒක හාස්‍යයට කාරණයක් වුණා. එයින් මං අධෛර්ය වුණේ නෑ. මා එතන ඉදලාම ක‍්‍රියාත්මක වුණා. සියලූම දේශපාලන පක්ෂ හමුවුණා. වෘත්තිය සමිති, සමාජ සංවිධාන සියල්ලෝම හමුවුණා. සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවලදී හැම දෙනාම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි කියන එකට එකඟත්වයක් පළ කළා. මේක උත්සන්න භාවයට පත්වුණාට පස්සේ මේ ගැන රටේ ප‍්‍රබෝධයකුත් ඇතිවුණා. අන්තිමට මේක හදාපු එක්සත් ජාතික පක්ෂයත් අලූත් ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරමින් කිව්වා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න ඕනේ කියලා.

ඊළඟට ආව ප‍්‍රශ්නය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න කුමක්ද කළ යුත්තේ කියන එක. පළමුවෙන්ම කළේ හිටපු ජනාධිපතිතුමාට බලපෑම් කළා. පළවෙනි ධුර කාලය තුළ මේක අහෝසි කරනවා කියලා පොරොන්දුවක් ඔබතුමා ජනතාවට දීලා තියනවා. ඔබතුමාට තුනෙන් දෙකක බලයත් තිබෙන නිසා දැන් ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න කියලා කිව්වා. නමුත් එතුමා ඒක ගණන් ගත්තේ නෑ. එවිට අපි කිව්වා ඔබතුමා මේක ඉෂ්ඨ නොකරනවා නම් අපි පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා.

ඊළඟට පොදු අපේක්ෂකයා කවුද කියන තැනට ආවා. මේක ලබාගත්ත මෙලෝ මිනිහෙක් මේක නැති කරයි කියලා බින්දු මාත‍්‍රයක විශ්වාසයක් අපිට නැති නිසා පොදු අපේක්ෂකයෙක් තෝරාගන්න එක හරි අමාරු වැඩක් වුණා. ඒ නිසා මට ඉදිරිපත් වෙන්න කියලා හැම දෙනාම කියන්න පටන් ගත්තා. මා කිව්වා සියලූම දේශපාලන පක්ෂ අනුමත කරනවා නම් මං එනවා කියලා. ඒක අවසාන මොහොත දක්වා අරගෙන යන අතර තමයි මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා අපිට අවසාන මොහොතේදි තෝරාගන්න පුළුවන් වුණේ. මේ ගැන තමයි මං කියන්නේ තැටිය රත් කළා කියලා.

තැටිය හොඳට රත් කළත් රොටිය හොඳට පුච්චගන්න බැරිවුණේ ඇයි කියලද ඔබවහන්සේ හිතන්නේ?

අවුරුදු ගාණක් ඒ විදිහට තැටිය රත් කළ එකේ ප‍්‍රතිපලය තමයි ජනවාරි 08 වෙනිදා හිතන්න බැරි අභියෝග රාශියක් මැද්දේ, මෙලෝ මැතිවරණ නීතියක් ක‍්‍රියාත්මක නොවෙන අවස්ථාවක මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා ජයග‍්‍රහණය කළේ. ඒ තැටිය හොඳටම රත්වෙච්ච වෙලාව.

අපිට ප‍්‍රධාන වශයෙන් රොටි තුනක් පුච්ච ගන්න තිබුණා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි. 17 වෙනි සංශෝධනය යළි ක‍්‍රියාත්මක කළ යුතුයි. පවත්නා මැතිවරණ ක‍්‍රමය වෙනස් කළ යුතුයි. ඒ මූලික ඉල්ලීම් දවස් 100ක් තුළ කරලා අවසන් කරන්නයි පොරොන්දු වුණේ.

රොටිය පුච්චන්න ගියාම එදා තිබුණු උනන්දුව සමහර අයගේ නැතිවෙන්න පටන් ගත්තා. සංශෝධන එන්න පටන් ගත්තා. විධායකය සම්පූර්ණයෙන් අහෝසි කරන්න එපා කියලා කිව්වා. මේ විදිහට මේක විවාදාපන්න වෙලා අවසන් මොහොතේ ශ්‍රේෂ්ඨාධිකරණයට පනත ඉදිරිපත් කළාම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කිව්වා ජනමත විචාරණයකින් තොරව විධායක ජනාධිපති ධුරයේ සම්පූර්ණ බලතල අහෝසි කරන්න බෑ කියලා. ඒ නිසා යම් කොටසක් අයින් කරලා තමයි 19 සංශෝධනය සම්මත කරගන්න හැකිවුණේ. සම්පූර්ණ විධායකය අහෝසි කරන්න පුළුවන් වුණේ නෑ. ඒකයි මං කිව්වේ රොටිය බාගෙට පිච්චුණේ කියලා. 19 සංශෝධනයෙන් අපි ලබාගත් දේවල් පිළිබඳ එක්තරා ප‍්‍රමාණයකට අපි සෑහීමකට පත්වෙනවා. නමුත් අනාගත බලාපොරොත්තුවක් තියනවා කවද හරි දවසක අපි මේක ජයග‍්‍රහණය කරනවා කියලා.

කෝ ඒ පොරොන්දු?

කෝ ඒ පොරොන්දු?

දැන් රත්වුණු තැටිය නිවීගෙන යනවා

දන් දවස් 100 පහු වුණාට මැතිවරණ ක‍්‍රමය වෙනස් කරගන්න තවම බැරිවුණා. දැන් රත්වුණු තැටිය ටික ටික නිවීගෙන යනවා. නිවිලා ගියොත් ආයේ රොටී පුච්චන්න ලැබෙන්නේ නැහැ. ඒ වගේම මේ වෙලාවේ තැටිය නිවුණොත් නැවත රත්කරගන්න එකත් ලේසි නෑ.

ආය මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා වගේ ජනාධිපති කෙනෙක් හම්බවෙයි කියලා හිතන්න අමාරුයි. මුලදී එතුමා ගැනත් අපිට විශ්වාසයක් තිබුණේ නෑ. නමුත් අපිට වැඩි උනන්දුවක් එතුමාට තිබුණා විධායක ක‍්‍රමය අහෝසි කරන්නට. ඒ නිසා මේ වෙලාවෙම 20 වෙනි සංශෝධනයත් පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගැනීමේ අවශ්‍යතාවක් තිබෙනවා. මොකද ජනතාව ඒ වෙනස ඉල්ලනවා. මේ පවතින මැතිවරණ ක‍්‍රමය තුළ අපේක්ෂකයන් ප‍්‍රචාරක කටයුතුවලට කෝටි ගානක් වියදම් කරන්න ඕනේ. එතකොට පාර්ලිමේන්තුවට යා හැකි වන්නේ ධනවත් පන්තියට පමණයි. විශේෂයෙන් මුදලාලිලාට. කුඩු විකුණන අය. කසිප්පු ව්‍යාපාරිකයෝ. සූදුකාරයෝ වගේ අයට. උගතුන් වියතුන් අයින් වෙනවා.

ආසනයකට බලපාන මන්ත‍්‍රීවරයෙක් ලබාගන්න ඕනේ. සල්ලි නැතිවුණත් උගත්, වියත්, දක්ෂ, පාර්ලිමේන්තුවට යා යුතු පුද්ගලයන්ට යන්න ඉඩ තියන්න ඕනේ. මැතිවරණයකදි වියදම් කළ හැකි මුදල් ප‍්‍රමාණය පනතකින් සීමා කරන්න ඕනේ. මන්ත‍්‍රීවරුන්ට පක්ෂ මාරු කිරීමට ඉඩ අහුරන්න ඕනේ. පසුගිය ජනාධිපතිවරණයේදී අපි දැක්කා මන්ත‍්‍රී ධුරය ප‍්‍රසිද්ධ වෙන්දේසියේ විකිණෙනවා. ජනතාව හරි පිළිකුලෙන් ඒ දිහා බැලූවා. ඒ වගේම මැතිවරණ නීති කඩ කිරීම නතර කළ යුතුයි. එතැනට අපි ගමන් කිරීම සඳහා තමයි මේ වෙලාවේ කොහොම හරි 20 වෙනි සංශෝධනය සම්මත කරගත යුතු වන්නේ.

මේ විදිහට ආණ්ඩුවක් ගෙනියන්න බෑ

සමහර විට ඉදිරි මැතිවරණයෙදි මේ ක‍්‍රමය ක‍්‍රියාත්මක කරන්න බැරිවෙයි. කමක් නෑ. අඩුගානේ සම්මත කරගත යුතුයි. සියලූ පක්ෂ ඉල්ලනවා සම්මත කරන්න කියලා. ඒ අතරේ යම් යම් කොන්දේසිත් දානවා. අපි කියන්නේ පාර්ලිමේන්තුව වහාම විසුරුවන්න. අද තියන තත්ත්වය තුළ බහුතරය තියෙන්නේ විපක්ෂයට. මේ විදිහට ආණ්ඩුවක් ගෙනියන්න බෑ.

හැම තැනම අවුල්. මුළු රටම අක‍්‍රියයි. අමාත්‍යවරු වැඩ කරන්නේ නෑ. ඒ නිසා 20 වෙනි සංශෝධනය සම්මත කරගෙන වහාම මැතිවරණයක් පවත්වන්න කියලයි අපි කියන්නේ. ආයේ මේ වගේ වෙලාවක් එන්නේ නැහැ. පක්ෂ අනුව මැතිවරණයට ගියාට පස්සේ කාටවත් තුනෙන් දෙකක බලයක් ලැබෙන එකක් නැහැ. ඊට පස්සේ මේක සම්මත කරගැනීමට මහන්සි වෙන්නේ නැහැ.

පක්ෂ අතරේ 19ට තිබුණු එකඟතාවවත් 20 වෙනි සංශෝධනයට නැති කොට කොහොමද ඒක සම්මත කරගන්නේ ?

නැතිවීමක් නැහැ. හැබැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කොන්දේසියක් දානවා ”අපි කැමතියි මේක සම්මත කරගන්න හැබැයි මේ මැතිවරණය පවත්වන්න ඕනේ ඒ යටතේ” කියලා. කොමසාරිස්තුමා කියනවා එහෙම හදිස්සියට මට කරන්න බැහැ කියලා. ඒ තර්කය උඩ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අත උස්සන්නේ නැහැ කියලා කියනවා.

19 වෙනි සංශෝධනය වෙලාවෙත් අපි දැක්කා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වගේ ඉෂ්ට කරන්න බැරි කොන්දේසි ඉදිරිපත් කරලා ඒ සංශෝධනය හෑල්ලූ කළා?

දුර්වල කළා. ඇත්තෙන්ම විධායක සභාවට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් පත් කිරීම නොකළ යුතුයි. නමුත් ඡන්ද ලබාගැනීම සඳහා එහෙම කරන්න සිදු වුණා. ඒවගේ දේවල් සිදුවුණා.

20 වෙනි සංශෝධනය සම්මත කරගන්න තෙක් පාර්ලිමේන්තුව විසුරුවා හරින්න එපා කියා ඉල්ලා ඔබවහන්සේ ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට ලිපියක් යවා තිබෙනවා. දැන් තියන තත්ත්වයත් එක්ක ඒ ඉල්ලීම වත්මන් පාර්ලිමේන්තුවේ කාලය ලබන අවුරුද්දේ අපේ‍්‍රල් වෙනතෙක් ගෙනයාමට හේතුවෙන්නක් පමණක් විය හැකියි නේද?

හැම තැනම අවුල්. මුළු රටම අක‍්‍රියයි

ඇත්තටම ඔය උත්සවයත් මට උපන් දිනය සමරන්න ඕනේ නිසා තියපු එකක් නෙවෙයි. මේ තුන්හතර දෙනාම ඉස්සරහා තියාගෙන මට කියන්න උවමනා දෙයක් තිබුණා. ඒකට කළ එකක්. 20 වෙනි සංශෝධනය සම්මත නොකර ජනතාව අතරට යන්න එපා. ඒ වගේම ඒක ප‍්‍රමාද කරන්නත් එපා කියන එකයි ඒ. ඒ පණිවිඩය. හෙට අනිද්දා වෙනකොට අපි නැවත පාරට බහිනවා. 20 වෙනි සංශෝධනය වහාම සම්මත කරගන්න කියලා. මේක අපි කතා කළ මාතෘකාවකුත් නෙවෙයි. දිනේෂ් ගුණවර්ධන මහත්තයාගේ ප‍්‍රධානත්වයෙන් අලූත් මැතිවරණ ක‍්‍රමයක් නිර්මාණය කරලා තිබෙනවා. සුළු පක්ෂවලට ආගම්වලට පාඩුවක් නොවෙන විදිහට ඒකම සංශෝධනය කරලා ගන්නයි තිබෙන්නේ.

වත්මන් ආණ්ඩුව බලයට පත් කිරීමේ ව්‍යාපාරය ඔබවහන්සේගේ මූලිකත්වයෙන් සහ සිවිල් සමාජයේ දායකත්වයෙන් ක‍්‍රියාත්මක වූ එකක්. නමුත් බලයට පත්වුණාට පස්සේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මේ දේශපාලන වෙනස අපේක්ෂාවෙන් ක‍්‍රියාත්මක වූ සිවිල් සමාජය පැත්තකට කරලා නේද වැඩකරගෙන යන්නේ? ජනාධිපතිවරයා සහ අගමැතිවරයා රට වටේ පන්සල්වලට ගිහින් මහා සංඝරත්නයේ අනුශාසනා ලබාගන්නවා. බලයට පත්වීමෙන් පසුව මේ දෙදෙනා අඩුතරමින් එකම වරක් හෝ ඔබවහන්සේ හමුවී සාකච්ඡා කරන්න ආවේ නෑ නේද?

ජනවාරි 08වෙනිදා ඡන්දයට පෙර සංවිධාන 49ක් විහාර මහා දේවි උද්‍යානයේදී ගිවිසුමක් අස්සන් කළා. බලයට පත්වුණාට පස්සේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ඒ කණ්ඩායමත් එක්ක තිබුණු සම්බන්ධය මදි. වරක් දෙවරක් හම්බවුණා. නමුත් හමුවුණා මදි. පුළුල්ව සාකච්ඡා වුණා මදි.

ඔබවහන්සේ සඳහන් කළ භාගයක් පිච්චුණු රොටියේ ඉතිරි භාගය පුච්චා ගැනීමේ අවශ්‍යතාව ජනතාවට තිබෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමේ කටයුත්ත සඳහා ඉදිරියේදී අපිට විශ්වාසය තැබිය හැක්කේ කවුරුන් කෙරෙහිද?

දැනට තිබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හොඳ එකක් නෙවෙයි. මේකේ දුර්වලකම් අප‍්‍රමාණයි. තවතවත් මේක සංශෝධනය කර කර ඉදීමට වඩා අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකට යන එක තමයි හොඳම දේ. මේ වෙලාවේ ඒක කරන්න බෑ. ඒකට සෑහෙන කාලයක් ගතවෙනවා. අපි කියන්නේ මේ මැතිවරණයේදී හඬක් නඟන්න අපි අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් හදනවා කියලා. ඊළඟට පත්වෙන ආණ්ඩුව විසින් මුළුමහත් පාර්ලිමේන්තුවම කාරක සභාවක් වශයෙන් එකතු වෙලා අලූත් ව්‍යවස්ථාවක් හදලා, ජනතා අදහස් විමසලා ඒ කටයුත්ත කළ යුතුයි. නෙල්සන් මැන්ඩෙලා අවුරුදු පහක් ගත්තා ව්‍යවස්ථාව හදන්න. ඒ වගේ කලබල නැතිව අලූත් ව්‍යවස්ථාවක් ගේන කොට අපිට විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න පුලූවන්.

ජනාධිපතිවරණයට පෙර මෛත‍්‍රීපාල සිරිසේන පොදු අපේක්ෂකයාත්, රනිල් වික‍්‍රමසිංහ විපක්ෂ නායකවරයාත් දේශපාලන වශයෙන් කර තබා ගත්තේ ජනතා න්‍යාය පත‍්‍රය. නමුත් ජනවාරි 08 වෙනිදා ඔවුන් බලයට පත්වුණාට පසුව අද වෙන කොට මේ දෙදෙනාම ඉන්නේ ඒ අයගේ පක්ෂ න්‍යාය පත‍්‍ර කරේ තියාගෙන. කතා කරන්නේ, වැඩකරන්නේ ජනතා න්‍යාය පත‍්‍රය ගැන නෙවෙයි පක්ෂය දිනවන එක ගැන. පක්ෂයේ ආණ්ඩුවක් බිහිකරන එක ගැන. මේ පසුබිම තුළ තවදුරටත් රටට නව දේශපාලන සංස්කෘතියක් හදුන්වා දීමට මේ දෙදෙනා කටයුතු කරනු ඇතැයි විශ්වාස කළ හැකිද?

තවමත් මං හිතන්නේ මේ අය නිගමනවලට එළැඹිලා නැහැ. දැන් යම් යම් සාකච්ඡා සිදුවෙමින් පවතිනවා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මහ මැතිවරණයේදිත් හංසයාගෙන්ම තරග කරන්න. ඉදිරි අවුරුදු පහ තුළ රටේ අලූත් දේශපාලන සංස්කෘතියක් ඇතිකරගැනීම සඳහා අපි හංසයා වටා එකතු වෙමු කියලා. ජනාධිපතිවරණයේදී වගේම අනෙකුත් පක්ෂ සමඟ සම්මුතියකට එළැඹිලා පොදු ලකුණකින් තරඟ කරන්න. ඒ යෝජනාව දැන් සාකච්ඡා වෙමින් තිබෙනවා.

දීර්ඝ කාලයක් අපේ අත්දැකීම තමයි ලංකාවේ තට්ටු මාරු ක‍්‍රමයට බලයට පත්වෙන ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක දෙන පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉටු නොකරන බව. ජනතාව මුළා කරන බව. මේ තත්ත්වය වෙනස් කරන්න ඉදිරියේදී විකල්ප දේශපාලන පක්ෂයක් හෝ එකමුතුවක් බලයට පත්කර ගැනීම වඩා සුදුසු නොවේද?

විශිෂ්ට නායකයෙක් හිටියොත් ඒක කරන්න පුලූවන්. දුර්වල නායකයන් වටා මිනිස්සු එකතු වෙන්නේ නැහැ. එහෙම විශිෂ්ට නායකයෙක් දැන් අපිට පේන තෙක් මානයක නැහැ. ඒ නිසා සුළු පක්ෂවලටත් මේ දෙකට අනුගත නොවී පැවැත්මක් නැහැ. පොදු ප‍්‍රතිපත්තියක් හදාගත්තොත් ඒකට අනුගත වෙන්න පුලූවන් නේ. කොහොමත් ජාතික ප‍්‍රතිපත්තියක් හදාගන්න අවශ්‍යයි රට ගොඩනඟන්න. ඒකට ඔය පක්ෂය අතෑරලා මෛත‍්‍රීපාල සිරිසේන මහත්තයා ආයෙත් පොදු ප‍්‍රතිපත්ති මාලාවක් එක්ක පොදු අපේක්ෂකයෙක් ලෙස එන්න ඕනේ. ඒක ජයග‍්‍රහණය කරවන එක කිසි අමාරුවක් නැහැ.

පුළුල් ජන පදනමක් නැතත් ජනතා විමුක්ති පෙරමුණ මෑත කාලයේ ජනතාවගේ විශ්වාසය දිනාගන්නා ආකාරයෙන් කටයුතු කරමින් සිටිනවා. ඔබවහන්සේ හිතන විදිහට මේ වගේ පක්ෂයක් ගැන ජනතාව කොයි විදිහට සලකා බැලිය යුතුද?

රට ප‍්‍රධාන පක්ෂ දෙකට බෙදිලා

රට ප‍්‍රධාන පක්ෂ දෙකට බෙදිලා තියෙන්නේ. මේක කඩාගෙන යන්න නම් මහා විශිෂ්ට චරිතයක් නායකත්වය දෙන්න ඕනේ කරනවා. එවැන්නක් පේන තෙක් මානෙක නැහැ. ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහත්තයා කතා කරනකොට මිනිස්සු හරි කැමතියි. ඒ වගේම ඒ පක්ෂයේ සල්ලාලයෝ නෑ. වංචාකාරයෝ නෑ. පගාකාරයෝ නෑ. කුඩුකාරයෝ නෑ. බාර්කාරයෝ නෑ. හොඳ මිනිස්සු ඉන්නේ. ඒක අපි පිළිගන්න ඕනේ. අපි අනෙක් පක්ෂවලටත් කියන්නේ අන්න ඒ ජාතියේ මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට පත්කරන්න කියලා. නමුත් ඡන්දයේදි මිනිස්සු පක්ෂයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවක් පිහිටුවන්න ඡන්දය දෙන්නේ නැහැ. ජනතාවගේ ඔලූවේ තිබෙන මානසිකත්වය තමයි ක‍්‍රියාත්මක වෙන්නේ. මේ පක්ෂය කොහාට හරි ඇතුල් කරගත්තොත් හොඳ ගමනක් යන්න පුලූවන්. චන්ද්‍රිකා මැතිනිය ටික දවසකට ජේවීපිය සම්බන්ධ කරගත්ත වෙලාවේ හොඳ ප්ලෑන් ආවා. ගමනක් යන්න පටන් ගත්තා. මේ ගොල්ලත් ඇතුල් කරගත්තොත් පත්වෙන ආණ්ඩුව ක‍්‍රියාකාරී වෙනවා. නමුත් තනියෙන් නම් ඒ අයට ආණ්ඩු පිහිටුවන්න අමාරුයි.

උපහාර උළෙලේදී ඔබවහන්සේ නැවතත් සාධාරණ සමාජයක් සඳහා ජනතා ව්‍යාපාරයේ යෝජනා ඇතුළත් පොතක් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දුන්නා. එහි ඇතුළත් වූ යෝජනා මොනවාද?

අපේ කලින් ඉදිරිපත් කළ ප‍්‍රධාන යෝජනා ඇතුළත්ව තවත් යෝජනා කීපයක් එයට ඇතුළත් වුණා. රටේ ආර්ථික දර්ශනයක් හදුනාගත යුතුයි. මේක කෘෂිකාර්මික රටක්. ගොවීන්ට තිබෙන ජල ප‍්‍රශ්නය විසඳන්න. වහල් වෙළදාම නවත්තන්න. අධ්‍යාපන ක‍්‍රමය මීට වඩා සමාන එකක් බවට පත්කරන්න. ඔය වගේ ඉල්ලීම් ටිකක් තමයි අපි ඉදිරිපත් කළේ.

ජාතිවාදී පදනමෙන් දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීම මෑත කාලයේ ශ්‍රීලංකාවේ දක්නට ලැබෙන ප‍්‍රවණතාවක්. දැන් ආගම් පදනමෙනුත් දේශපාලන පක්ෂ පිහිටුවන්නට යනවා. මේ ගැන ඔබවහන්සේගේ අදහස් මොකක්ද?

නිදහසින් පසු අපේ රට මේ තත්ත්වයට ඇද දැම්මේ ජාතිවාදය. නැත්නම් අපි මීට හුගාක් ඉදිරියට යනවා. අපි අතර අනෝන්‍ය විශ්වාසය නැති වුණා. භේද වුණා. මිනී මරාගත්තා. ඒක නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන්ම ජාතිවාදී , ආගම්වාදී පදනමින් පක්ෂ ලියාපදිංචිය තහනම් කරත් කමක් නැහැ. සිංගප්පූරුවේ වගේ දේශපාලන පක්ෂ පිහිටුවිය යුත්තේ සියලූම ජනතාවට බලපාන ආකාරයට.
පන්සල දේශපාලනයට යොදාගැනීම අද වෙන විට විවාදාත්මක මාතෘකාවක් බවට පත්ව තිබෙනවා.

ඔබවහන්සේ කොහොමද මේ කාරණය දකින්නේ?

අපි බණ කියන්නේ මොනවටද? මිනිහව හදන්න. රට හදන්න. ඒක බණ කීමෙන් පමණක්ම කරන්න බැරි නම් අපිට ඒකට වෙනත් මාර්ග හොයාගන්න වෙනවා. ජනතාවට නිසි මග පෙන්වන එක පන්සලේ යුතුකම. මං කිසිම දේශපාලන පක්ෂයකට අයිති කෙනෙක් නෙවෙයි. හොඳ දේට හොඳයි කියනවා. වැරදි දේට වැරදි කියනවා. ඡන්දයේදී වුණත් අපි ඉල්ලන්නේ දූෂිතයන්ට, වංචනිකයන්ට කසිප්පුකාරයන්ට ඡන්දය දෙන්න එපා කියලයි. එතකොට පන්සලෙන් අපි කරන්නේ වරදක්ද? නමුත් පක්ෂ දේශපාලනය පන්සලට ගේනවා නම් ඒක වැරදියි.

කතා බහ -ශ‍්‍රීලාල් සෙනෙවිරත්න/ කලම්බු පොස්ට්

Back to Top