Sri Lanka Brief
පුවත්ඡන්දදායකයා නැති මැතිවරණ ක්‍රම ප්‍රතිසංස්කරණ කාටද? – ශිෂ්ඨ ලංකා2015

ඡන්දදායකයා නැති මැතිවරණ ක්‍රම ප්‍රතිසංස්කරණ කාටද? – ශිෂ්ඨ ලංකා2015

by

පවතින මැතිවරණ ක්‍රමය යහපත් අයුරින් වෙනස් කර ගැනීමේ දේශපාලන අවශ්‍යතාව මේ සමාජයට කලෙක සිට තිබුණකි. එය වෙනස් කිරීමේ මූලික අවශ්‍යතාව තිබූයේ වඩා පිරිසිදු හා ශක්තිමත් ජනතා නියෝජනයක් සහිත දියුණු පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමටය. ඒ සඳහා සමස්ථ මැතිවරණ කි‍්‍රයාවලිය දූෂණයෙන් තොර මැතිවරණ කි‍්‍රයාවලියක් විය යුතු අතර, තරග වදින දේශපාලන පක්ෂද පිරිසිදු මුදල් ගනුදෙනු සහිත ජනතාවට වග කියන්නාවූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂ විය යුතුය. එනිසා මැතිවරණ ක‍්‍රමයෙහි කෙළවර පමණක් වෙනස් කිරීමට 20 වන සංශෝධනය ලෙස යෝජනා කරන මේ ප‍්‍රතිසංස්කරණ කිහිපයෙන් මේ සමාජය ඉල්ලා සිටින යහපත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වෙනස සිදුවන්නේ නැතැයි අපි පළමුව කියමු.

මැතිවරණ ක‍්‍රමයෙහි සියලූ දෝස මනාප ඡන්දයට බාරදීම පහසු වූවත් එය මුසාවකි. ඒවාට උත්තරයක් ලෙස පැරණි මන්තී‍්‍ර ආසන ක‍්‍රමය අනුපාත ක‍්‍රමයට බද්ධ කිරීමෙන් මැතිවරණ කි‍්‍රයාවලිය ශිෂ්ඨ වන්නේ නැතැයි අපි කියමු. මැතිවරණ ක‍්‍රමය එසේ ශිෂ්ඨ කළ හැකි නම්, ඉන්දියාවේ පාර්ලිමේන්තුව වැදගතුන්ගෙන් පිරි සුපිරි පාර්ලිමේන්තුවක් විය යුතුය. එහෙත් අපරාධ චෝදනා ඇති මන්තී‍්‍රවරුන් 186 ක් වර්තමාන ඉන්දීය පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත. ඉන්දියාවේද ප‍්‍රශ්නය ඇත්තේ දූෂිත ව්‍යාපාරිකයන් හා කලූ සල්ලි අපුල්ලනවුන් සමග දේශපාලන පක්ෂ හා දේශපාලනඥයන් තබා ගන්නා නොකියවෙන සම්බන්ධය ය. මැතිවරණ කි‍්‍රයාවලියේ එක කෙළවරක් වෙනස් කිරීමෙන් පමණක් ඒ ¥ෂිත මාවත් අහුරා දමන්නට නොහැක. එනිසා දේශපාලන පක්ෂ විසින් ගොඩ නගා ගන්නා මැතිවරණ අරමුදල් හා අපේක්ෂකයන්ගේ මැතිවරණ අයවැය කල් තබා ප‍්‍රසිද්ධ කිරීමේ නෛතික කොන්දේසි මේ මැතිවරණ ක‍්‍රම ප‍්‍රතිසංස්කරණයට ඇතුලූ නොකළහොත් ඉදිරි මැතිවරණද ¥ෂිත මන්තී‍්‍රවරුන්ගෙන් පිරි පාර්ලිමේන්තු පත් කරගනු ඇතැයි අපි අවධාරණයෙන් කියමු.

මාස ගණන් විලි වැද අමාත්‍ය මණ්ඩලයෙන් අනුමත කළ බවට ප‍්‍රකාශ කෙරෙන වර්තමාන ප‍්‍රතිසංස්කරණ සැකසීම පවා ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාවලියකින් තොරව හදා ගත්තාවූ අංක ගණිතමය සුත‍්‍රයකි. ඒවා පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින් හා ඔවුන්ගේ හිතවතුන් කිහිප දෙනෙකුට සීමා වූ රහස්‍ය සාකච්ඡා විය. පාර්ලිමේන්තුවේ මන්තී‍්‍ර සංඛ්‍යාව 225 සිට ඉහළට තීන්දු කෙරෙන්නේ ජනතා නියෝජනය ශක්තිමත් කිරීමේ වුවමනාව අනුව නොවේ. ඒ ගැන සඳහන් නොකරන, ආණ්ඩුවේ පා පුවරුවට නැග ගත්තවුන් ආසන සංඛ්‍යාව ගැන කියන්නේ එය කුඩා පක්ෂ වලටත් කාන්තා හා තරුණ නියෝජනයටත් ඉඩ දීමට අවශ්‍ය වැඩි කිරීමක් බවය.

ඒ අනෙක් බරපතල මුසාවය. කාන්තා හෝ තරුණ නියෝජනය තීන්දු වන්නේ ආසන සංඛ්‍යාව අනුව නොව, දේශපාලන පක්ෂ කාන්තාවන්ට හා තරුණන්ට දේශපාලනය කිරීමට කෙතරම් ඉඩ දෙන්නේද යන්න අනුව පමණි. දේශපාලන පක්ෂ එවැනි නිදහසක් නොදෙන බැවින් වරක් කොළඹ දිස්ති‍්‍රක්කයට කාන්තාවන්ගේ ස්වාධීන අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කෙරුණි. ‘‘කුඩා පක්ෂ’’ සංකල්පය අනුපාත ක‍්‍රමයට මාරුවීම සඳහා ජයවර්ධන ජනාධිපති ඉදිරිපත් කළ බොරුවකි. මැතිවරණයෙන් මැතිවරණයට දේශපාලන පක්ෂ ලොකු කුඩා යැයි තීන්දු කරන්නේ ඡුන්දදායකයා ය. එතෙක් ආණ්ඩු බලයේ සිටි එ.ජා.පය 1956 මහ මැතිවරණයෙන් සමසමාජ පක්ෂයටත් වඩා කුඩා පක්ෂයක් බවට පත් කෙරුවේ ඡුන්දදායකයා ය. එවගේම එ.ජා.පය මන්තී‍්‍ර ආසන 168 න් 140 ක් දිනා ගත් 1977 මහ මැතිවරණයේදී ශී‍්‍ර.ල.නි.පය කෙතරම් කුඩා වීද යත් ප‍්‍රධාන විපක්ෂය බවට පත් වූයේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ය. ඒ තීන්දුවද ඡුන්දදායකයාගේ තීන්දුවකි. ජයවර්ධන ජනාධිපති අදහස් කළ යාවත්කාලීන ‘‘කුඩා පක්ෂ’’ වේ නම්, එහි එකම අර්ථය, ජනතාවට කවමදාවත් ඒවායින් වැඩක් නැති බව ය. එනිසා එවැනි කුඩා පක්ෂ වලට සරිළන යෝධ පාර්ලිමේන්තු හැදීම ජනතාවට අදාල නැත.

සුළු වාර්ගික, ආගමික හෝ වෙනත් එවැනි විශේෂ ජන නියෝජනයක් ගැන කතාව ඇත්ත අවධාරණයක් ලැබිය යුත්තකි. එනිසාම මේ මැතිවරණ ක‍්‍රම ප‍්‍රතිසංස්කරණ පාර්ලිමේන්තුවට සීමා නොකළ යුතු යැයි අපි කියමු. මේ රටේ ඕනෑම මැතිවරණ ක‍්‍රම ප‍්‍රතිසංස්කරණයක් ගැන කතා කළ යුත්තේ පළාත් සභා සතු ජනතා නියෝජනයද හවුල් කර ගනිමින් ය. පළාත් සභා දැන් ආණ්ඩු පාලනයේ දෙවැනි තට්ටුව වන බැවිනි. මැතිවරණ ක‍්‍රම ප‍්‍රතිසංස්කරණ එළෙසින් ගෙන කතා කරන්නේ නම් සියලූ වාර්ගික, ආගමික හා වෙනත් සුළුතර ප‍්‍රජාවන් ප‍්‍රජාතන්ත්‍රවාදී නියෝජන ව්‍යුහයන්ට ඇතුලූ කර ගැනීමේ වැදගත් ශිෂ්ඨ ක‍්‍රම ගැන කතා කළ හැක.

මේ කරන්නට යන්නේ ඒ කිසිත් නොවේ. මේ කරන්නට යන්නේ අවජාතක අශීලාචාර පාර්ලිමේන්තුවක ඉන්නා කණ්ඩායම්, ඊළග මැතිවරණයෙන් තම අනාගතය සහතික කර ගැනීමේ උප්පරවැට්ටිය, 20 වන සංශෝධනය ලෙසින් ජනතාවට විකිණිම ය. යෝජනා කෙරෙන හා සම්මත කිරීමට අවශ්‍ය යැයි කියන්නා වූ එම 20 වන සංශෝධනය ඊළග මැතිවරණයට අදාල නොවන්නේ යැයි කීමෙන් එය ඔප්පු වන්නකි. ඊළග මැතිවරණයට අදාල නොවන්නේ නම් මේ හදිස්සිය කුමක්දැයි අපි අසමු. මැතිවරණයෙන් පසු පත්වන පාර්ලිමේන්තුවට මේ ප‍්‍රතිසංස්කරණ ඉදිරිපත්කර සම්මත කර ගැනීමේ ඇති අවුල කුමක්දැයි අපි අසමු.

එනිසා ඉදිරියේද මන්තී‍්‍රකම් ඇමතිකම් බලාපොරොත්තු වන දේශපාලනඥයින් හා ඔවුන්ගේ පුරෝහිතයින් කිහිප දෙනෙකුට 20 වන සංශෝධනය හදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අයිතියක් නැතැයි අපි කියමු. තමන් කෙසේ නියෝජනය විය යුතුද යන්න තීන්දු කළ යුත්තේ ඡන්දදායකයන් ය. මේ සමාජයට මැතිවරණ ක‍්‍රමයේ වෙනස් කිරීම් පිළිබඳ හදිස්සියකින් තොර කතිකාවක් අවශ්‍යව ඇත. එසේ කිරීමට 19වන සංශෝධනය සම්මත කිරීමේදී මෙන් නොව, මේ ප‍්‍රතිසංස්කරණ විශේෂයෙන් සිංහල හා දෙමළ බසින් සමාජයට ඉදිරිපත් කළ යුතුය. එවගේම කලවාන අතුරු මැතිවරණයේදී පාර්ලිමේන්තු සංයුතිය වෙනස් කිරීම පිළබඳව අගවිනිසුරු නෙවිල් සමරකෝන් ඇතුළු විනිසුරුවන් පස් දෙනෙකු විසින් 1981 දී තීන්දු කරනු ලැබූ ජනමත විචාරණයක ව්‍යවස්ථාමය අවශ්‍යතාව මේ 20 වන සංශෝධනයටද එළෙසින්ම අදාලවන බවද අපි අවධාරණයෙන් යුතුව කියමු.
නීතිඥ හරිෂ්ක සමරනායක
decentlanka2015@gmail.com
දුරකතනය – 0771100111
ශිෂ්ඨලංකා2015
සම්බන්ධිකරණ කමිටුව වෙනුවෙන්

Back to Top