Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගමාදුළුවාවේ සෝභිත හිමි සංකීර්ණ පසුබිමක මතුවූ සැබෑ බෞද්ධ හඬ – ආචාර්ය ලියනගේ අමරකීර්ති

මාදුළුවාවේ සෝභිත හිමි සංකීර්ණ පසුබිමක මතුවූ සැබෑ බෞද්ධ හඬ – ආචාර්ය ලියනගේ අමරකීර්ති

by

ලංකාවේ සිංහල බෞද්ධයන්ගෙන් අති බහුරය තමන් ගැනත්, තමන්ගේ රට ගැනත් නිවී සැනසිල්ලේ කල්පනා කරන්නට සහ තමන් ගැන ස්වයංවිචාරයේ යෙදෙන්නට අවස්ථාවක් සොයමින් සිටියේය. එසේම ජනතාවගෙන් බොහෝ දෙනෙක් එම ස්වයං විචාර කාර්යයේ යෙදෙන්නට අවස්ථාවක් පමණක් නොව නායකත්වයක්ද සොයමින් සිටියහ.

2009 යුද්ධයේ අවසානයෙන් පසුව ජනතාව සැනසුම් සුසුමක් හෙලූ බව ඇත්තය. ඒ සැනසුම් සුසුමේ අර්ථය යනු ”අපි දෙමළා පැරද වීමු. ඒ නිසා දැන් රටේ ප්‍රශ්නයක් නැත.” යන්න නොවේ. එතැන් සිට ශ්‍රී ලංකාවේ අනාගතය ගැන ස්වයං විචාරයකින්ද යුතුව යළි කල්පනා කරන්නට සූදානම් අතිබහුතරයක් සිංහල ජනතාව අතර සිටියේය. සැබවින්ම යුද්ධයේ අවසානයෙන් පසු නියම සිිංහල බෞද්ධයන් තුළ වූයේ මෙවැනි සිතිවිල්ලකි: ”කවර ආකාරයකින් හෝ යුද්ධය අවසන් වීම වාසනාවකි. යුද්ධයේදී විනාශ වූ සියලූ ජීවිත ගැන ශෝකවිය යුතුය. දෙමළ ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් සෘජුව හෝ වක්‍රව සන්නද්ධ අරගලය සමග සම්බන්ධ වීම සම්බන්ධයෙන් අපිද වගකිව යුතු වෙමු. මේ අවස්ථාවේ අප කළ යුත්තේ එක්තරා වරදකාරී හැඟීමකින්ද යුතුව මේ යුද්ධයේ අවසානය සැමරීමය.” 2009 යුද්ධය අවසන් වූ දවස්වල දේශපාලනික වශයෙන් සංවේදී සිංහලයන් සමග කළ කතා බහේදී අපට ඒ බව අවබෝධ විය.

එහෙත් මධ්‍යස්ථ සිංහලයන් තුළ වූ ඒ යළි සලකා බැලීමේ නැඹුරුවට දේශපාලන නායකත්වයක් දෙන්නට කෙනෙක් නොවීය. මහින්ද රාජපක්ෂ යනු ලංකා සමාජය එවැනි ගැඹුරු නැවත සිතා බැලීමකට යොමු කරන්නට සමත් නායකයෙක් නොවේ. ඔහු කළේ සමස්ත සිංහල සමාජයම ජයග්‍රහණයේ උමතුවක ගිල්වා ඉන් ඇති වන ජාතිවාදී මනෝභාවය සිය වාසියට හරවා ගැනීමය. දකුණේ සිංහලයන් ව්‍යාජ දේශප්‍රේමයක් සහ යුදෝන්මාදයක් තුළ ගිල්වා රටේ දේශපාලන සහ ආර්ථික මර්මස්ථාන සියල්ල තමා සහ තම පවුලේ අය අතට ගැනීමට මහින්ද රාජපක්ෂ ක්‍රියා කළේය. ඔහුගේ කතාවල ආ වචන සහ ස්වරය තුළ පවා වූයේ චණ්ඩිකම හා මැරකම මිස නියම බෞද්ධ මධ්‍යස්ථභාවය නොවේ. බුදු දහමේ වැදගත්ම ඉගැන්වීමක් වන්නේ මැදුම් පිළිවෙත බව ජනතාව දැන සිටියත් රටේ ඉහළ නායකත්වය වෙතින් ඒ මැදුම් පිළිවෙත ප්‍රදර්ශනය නොකෙරෙන විට ජනතාවට මැදුම් පිළිවෙත අමතක වේ. මහින්ද රාජපක්ෂ පාලනයේ දෙවැනි අර්ධයේදී සංවර්ධනය යැයි ජනතාව හමුවේ ඉදිරිපත් කෙරුණේද සියලූම ආකාරයක රාජ්‍ය උත්සවවලදී ප්‍රදර්ශනය කෙරුණේද ඉතා අශෝභන අතිශයෝක්තියකි. රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඇඳුම පැළඳුම, ගමන බිමන පමණක් ඔහු සිය වන්දිභට්ටයන්ගෙන් අපේක්ෂා කළ වර්ණනා පවා සීමාන්තික අතිශයෝක්තියක් පෙන්නුම් කළේය. ඒ නිසා ඔහුගේ කාලයේ ඒ අතිශයෝක්තිය කියුම් ගැයුම් නැටුම් ආදිය ලෙස සපයන බිස්නස්කාරයෝ බිහි වූහ. මේ අතිශයෝක්ති බලකාමය පිළිබඳ විචාරයක් සැපයිය හැකි හොඳම ආචාර ධාර්මික ඉගැන්වීම් පද්ධතියක් ඇති බුදු දහම ලංකාවේ ප්‍රධානතම ආගම වුවත් යට කී අතිශයෝක්ති ප්‍රදර්ශන කාමය ගැන සංස්ථාපිත බුද්ධාගම වෙතින් කිසිදු විරෝධයක් පැන නැග ආවේ නැත. සංවර්ධනය නමින් ඉදිරිපත් කර තිබුණු දැවැන්ත වැඩසටහන් අප රටට මුලින්ම අවශ්‍ය දේවල්ද යන ප්‍රශ්නය ඇසුණේ නැත. එක මිනිසෙකු සහ ඔහුගේ පවුලේ ලොකු අතු සහ පොඩි අතු පමණක් ඒ පවුල් ගසේ වෙලී ඇති කමකට නැති නෑදෑ වැල් පවා රටේ මහජන දේපළ සහ මුදල් කාබාසිනියා කරන සැටි ගැන ප්‍රශ්න නැගුණේ නැත.

බෞද්ධ රජෙක්

මෙවැනි පසුබිමක මාදුළුවාවේ සෝභිත හිමියෝ මහජනයා අතරට පැමිණ කතා කරන්නට පටන්ගත්හ. ඒ හිමියන් මහජනයා අතරට එන්නට පෙර මහින්ද රාජපක්ෂ රෙජීමය පිළිබඳ විවිධාකාරයේ විචාරයක් පවත්වාගෙන ගිය ගිහියෝ සිටියහ. ඒ අය අයත් වූයේ එක්කෝ වාමාංශික දේශපාලන පක්ෂවලටය; නැති නම් සිවිල් බුද්ධිමතුන්ගේ කණ්ඩායම්වලටය. මහින්ද රාජපක්ෂ ඉතා සටකපට ලෙස පන්සල් ගානේ යමින්ද එසේ යන බව ජනමාධ්‍යයෙන් ප්‍රදර්ශනය කරමින්ද ප්‍රදර්ශනකාමී බෞද්ධකමක්ද පවත්වාගෙන යමින් සිටියේය. ඒ නිසා බැලූ බැල්මට පෙනුණේ බෞද්ධත්වය සහ මහින්ද අතර වෙන් කළ නොහැකි සම්බන්ධයක් පවතින බවයි. ඔහු ඕනෑම බොරුවක් කීවේද ”අපේ හාමුදුරුවනේ…” යනුවෙන් අමතමිනි. බලය ලබා ගැනීම සහ බලය පවත්වා ගැනීම සඳහා බෞද්ධත්වය උපකරණයක් සේ භාවිත කිරීම ලංකාවේ රජවරුන්ට අමුත්තක් නොවේ. නූතන දේශපාලකයෝද එසේ කළහ. එහෙත් එම ප්‍රයෝගකාරී ආගම් භාවිතය අතින් මහින්ද රාජපක්ෂ තරම් සටකපට කෙනෙක් නොවූහ. යුද්ධයේ ජයග්‍රහණය සහ එහි ගෞරවය එය ලැබිය යුතු සියලූ දෙනා සමග බෙදා නොගෙන එය තමාගේ සහ තම පවුලේ විශාලම සංකේතික ප්‍රාග්ධනය ලෙස භාවිත කිරීම නිසා නියම බෞද්ධ රජෙකු ලෙස සිය ප්‍රතිරූපය නිර්මාණය කරගන්නට ඔහුට හැකි විය.

ජාතික හෙළ උරුමයේ භික්ෂූන් වැනි අය ඒ කාරණයේදී ඔහුට සහාය වූහ. එහෙත් කල්යාමේදී ජාතික හෙළ උරුම භික්ෂූන්ටත් වඩා ආවේගකාරී භික්ෂු පිරිසක් රාජපක්ෂ පවුලට අවශ්‍ය විය. බොදු බල සේනා නමින් මතු වී ආවේ බෞද්ධකම චණ්ඩිකමක් බවට පෙරලන භික්ෂු පිරිසකි. එහි වූ ඥානසාර නම් භික්ෂුව අවස්ථාවාදී දේශපාලනය හා සම්බන්ධ වූ ආචාරධාර්මික හරයකින් තොර වූ බෞද්ධකම කෙතරම් අශෝභන විය හැකිද යන කාරණය පිළිබඳ ජීවමාන සංකේතයක් විය. මෙකී භික්ෂූන්ගේ ආචාරධාර්මික බංකොලොත් භාවය තිඹිරයාගම බංඩාර විසින් ඇත්ත පුවත්පතට ලියන ලද ශීර්ෂපාඨයකට මෙසේ හසු විය: ”උන්වහන්සේ පහරදීමට වැඩම කළ සේක.” ඒ ඊනියා සේනා ව්‍යාපාරය තව අවුරුදු දෙක තුනක් පැවතියේ නම් බෞද්ධ සාසනයම පවා ඉමහත් පිළිකුලට ලක් වන්නේය. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිධුරයට පත් වූ වහාම පාහේ ඒ සේනා පසුබැස ගියේ ඔවුන් මහින්ද රෙජීමයේ අතකොලූවක්ය යන මතය සනාථ කරමිනි. රටේ නායකත්වයෙහි මැදහත්ගුණය ඇති විට එය ඉක්මනින් පහළට දැනෙන්නේ බහුතරයක් ජනතාවද මැදුම් පිළිවෙත අගය කරන පිරිසක් බැවිනි.

හෙළ උරුමය

මේ සංකීර්ණ පසුබිම තුළ නියම බෞද්ධත්වයක කටහඬ මතු වී ආවේය. ඒ හඬ මතු වූයේ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ මුවිනි. ඒ හෙඬහි මතු වීම මෙරට නියම බෞද්ධයන්ගේ වාසනාවක් බව දැන් බලන විට පෙනේ. සංඝරත්නය යනු පුහුදුන් මිනිසුන්ට සරණ පැතිය හැකි ආචාර ධාර්මික ක්ෂේම ක්ෂේත්‍රයක් යැයි බුදුදහමේ ඉගැන්වේ. ඥානසාර හාමුදුරුවන් වැනි අය සරණ ගියහොත් සිදුවන්නේ ඉමහත් අසරණභාවයකට ඇද වැටීමක් බව වටහා ගන්නට අවස්ථාවක් මෙරට මධ්‍යස්ථ මතධාරී බෞද්ධයන්ට වැටහී ගියේ සෝභිත හිමිගේ නායකත්වය සහ ආදර්ශය ලැබූ භික්ෂූන් වහන්සේලා නිසාය. ජාතික හෙළ උරුමය වැනි භික්ෂූන් කේන්ද්‍ර කරගත් දේශපාලන ව්‍යාපාර පවා මුලින් මුලින් කළේ සෝභිත හිමිගේ සමාජ-දේශපාලන ක‍්‍රියාවලියට අකුල් හෙලීමයි; එය අපහාසයට උපහාසයට ලක් කිරීමයි. එහෙත් උන්වහන්සේ නොසැලී සිය කාර්යෙහි නියැලී සිටියහ. තමන් අධිරාජ්‍යයෙකු වැනි රජෙකියි සිතා සිටි මහින්ද රාජපක්ෂ ජනවාරි 8 වැනිදා ඔහු සහ ඔහුගේ ගෝලයන් නපුරු සිහිනයක් වෙමින් පරාජයට පත් වනතුරු ඉදිරියට ගියේ සෝභිත හිමි ඇරඹූ ගමනයි.

රජු හෝ රාජ්‍යය සමග අවිචාරාත්මක වූද බලකාමී වූද සම්බන්ධයක් පවත්වගෙන ගිය භික්ෂූන් ලංකා ඉතිහාසයේ අපමණ සිටියද ආචාරධාර්මික වශයෙන් හරවත් වූද බුදුන් වහන්සේගේ ඉගැන්වීම නිසි ලෙස පිළිපදින භික්ෂුව කළ යුත්තේ රජු හෝ රාජ්‍යය සම්බන්ධයෙන් විචාරයේ සම්බන්ධයක් පවත්වාගෙන යාමයි. ඒ විචාරයේ පදනම විය යුත්තේ තමන්ට රාජ්‍යය වෙතින් යම් යම් වාසි හෝ ලාභ නොලැබීම නිසා ඇති වන ද්වේෂය නොවේ. එහි පදනම විය යුත්තේ ධාර්මික රාජ්‍යය පිළිබඳ බුදුන්ගේ ඉගැන්වීමයි.

බෞද්ධ පොතපතෙහි ධාර්මික රාජ්‍යයත් පිළිබඳ ඉගැන්වීම් අපමණ තිබේ. කූට දන්ත සූත්‍රයෙහි එන එක් නිදර්ශනයක් මෙසේය: එහි එන රජුට මහා විශාල ප්‍රදර්ශනකාමී යාගයක් කරන්නට අවශ්‍ය වෙයි. එය හම්බන්තොට වරාය සහ මත්තල ගුවන්තොටුපල විවෘත කිරීමේ මහෝත්සව වැනි ධනය නාස්ති වන වැඩකි. ඒ රජුගේ ධාර්මික උපදේශකවරයා රජුට උපදෙස් දෙන්නේ මහජන බදු මුදල් විනාශ කරන යාගය නොපත්වන ලෙසයි. රටේ ආර්ථිකයද අයහපත් ඒ මොහොතේ කළ යුත්තේ මහජනයාට ආර්ථික නැංවීමට අවශ්‍ය පහසුකම් සැපයීම බව ඒ උපදේශකවරයා කියයි. කූටදන්ත සූත්‍රය යනු ධාර්මික රාජ්‍යයත්වය පිළිබඳ ත්‍රිපිටක සාහිත්‍යයෙහි එන ඉගැන්වීම් අතර එන එක් සූත්‍රයක් පමණි.

සෝභිත හිමියන්ගේ අරගලය තුළ රාජ්‍ය පාලනය පිළිබඳ මෙවැනි සාම්ප්‍රදායික ප්‍රඥාවේ මූලාශ්‍රවල බලපෑම තිබිණ. ඒ නිසා ඒ හිමිගේ අරගලය එන්ජීඕ අදහස් සහ බටහිර සංකල්ප අතට ගත් අරගලයක් යනුවෙන් සිංහල ජාතීවාදීන් කළ චෝදනාවට පදනමක් නොවිණ. සමාජ සාධාරණය පිළිබඳ සටන් පාඨ බටහිර සටන් පාඨ නම් බුදුන්ගේ සමස්ත ඉගැන්වීම් පද්ධතියම බටහිර ඉගැන්වීම් යැයි කියන්නට සිදු වේ. ඒ නිසා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවේ මාධ්‍ය නිරන්තරයෙන් කළ එම චෝදනාව මගින් සිදු වූයේ ඒ මාධ්‍යවල විශ්වාසය බිඳ වැටීමයි.

දෙවිදිහක බෞද්ධයෝ

සෝභිත හිමිගේ අරගලය නිසා ලංකාව තුළ බෞද්ධවීමේ ක්‍රම දෙකක් ඇත යන කාරණය පෙනී ගියේය. එක් බෞද්ධ වීමක් නම් ”සිංහල බෞද්ධ” වීමයි. ඉන් අදහස් වන්නේ බුදු දහම සිංහල ජනවාර්ගික අනන්‍යතාවේ ප්‍රධාන සංකේතය ලෙස ගැනීමයි. එහිදී අදාළ පුද්ගලයා යහපත් බව පිළිබඳ බුදුන්ගේ ඉගැන්වීම් කෙතරම් දුරට පිළිපදින්නේද යන්න වැදගත් නැත. අවශ්‍ය වන්නේ කාටත් පෙනෙන්නට පන්සල්යාම, පිරිත් නූල් බැඳගෙන සිටීම ආදී දහසකුත් එකක් වතාවත්වල යෙදීමත් ඒවා මාධ්‍යයෙහි පෙන්නීමත්ය. මහින්ද රාජපක්ෂ යනු ඒ බෞද්ධකම නියමෙටම රඟපා පෙන් විය හැකි සටකපට කෙනෙකි. ඒ අතින් ඔහු නැසීගිය ආර්. ප්‍රේමදාස මහතා පවා පරාජය කළ හැකි කෙනෙකි. මහින්ද රාජපක්ෂ යටතේ බොහෝ දේශපාලක හොරුන් සුදු ඇඳ පන්සල් යමින් කුලියට ගත් භික්ෂූන් සමග ගැවසෙමින් බෞද්ධකම් ප්‍රදර්ශනය කරනු දැකිය හැකි විය.

බෞද්ධවීමේ අනික් ක්‍රමය ආචාරධාර්මිකව බෞද්ධ වීමයි. එහිදී ප්‍රමුඛත්වය ලැබෙන්නේ සිංහල යන ජනවාර්ගික අනන්‍යතාව මතු කර දැක්වීමේ උපකරණයක් ලෙස බුද්ධාගම භාවිත කිරීම නොව යහපත් මනුෂ්‍යයෙකු වීම පිණිස බුදුන්ගේ ඉගැන්වීමේ හරය තමන් වෙත උකහා ගැනීමයි. එවැනි බෞද්ධයෙකුට තමන්ගේ ජනවාර්ගික අනන්‍යතාව ඉක්මවා පොදු මිනිස් යහපත පිළිබඳ කල්පනා කරන්නට හැකියාව ඇත. ලංකාව රටක් ලෙස ගොඩගත හැකි බෞද්ධකමක් වේ නම් ඒ මේ දෙවැනි බෞද්ධකමයි.

සෝභිත හිමිගේ අරගලයෙහි සටන් පාඨවලින් මතු වී ආවේ ඒ දෙවැනි බෞද්ධකමේ ස්වරූපයයි. යුද්ධයේ අවසානයෙන් පසු ලංකාව යළි ගොඩනැගීමේදී මේ දෙවැනි බෞද්ධකම ඉතා අවශ්‍ය වේ. ඒ කාරණයේදී යුද්ධයේ පැනනැගීමට එක් හේතුවක් මා විස්තර කළ පළමු බෞද්ධකමද හේතු වූ බව විචාරාත්මකව වටහා ගැනීම අවශ්‍ය වේ. ලංකාව තුළ සිංහලයාගේ අනන්‍යතාකාරකය ලෙස බුදු දහම භාවිත කළ යුත්තේ බුදුදහමේම එන ධාර්මිකත්වය පිළිබඳ ඉගැන්වීම්වලට හානි නොවන ලෙසය. සමස්ත ලෝකයම සැදී පැහැදී සිටින්නේ සිංහල බෞද්ධත්වය විනාශ කිරීමට යැයිද බටහිර ශිෂ්ටාචාරය පවතින්නේම සිංහල බෞද්ධකම විනාශ කරන්නට යැයිද අදහන අයට කළ නොහැකි කාර්යක් සෝභිත හිමියෝ කළහ.

පොදු අපේක්ෂක

සෝභිත හිමිගේ අරගලයේ විශේෂ ජයග්‍රහණයක් වූයේ මා ඉහත විස්තර කළ මධ්‍යස්ත බෞද්ධකමට නායකත්වයක් දිය හැකි මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂාවේ නායකත්වයට පත් කර ගැනීමයි. සිරිසේන මහතාගේ රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට ගැනීම අතුරලයේ රතන හිමිගේ වැඩක් යැයි පුවත්පතක තිබිණි. එය ඇත්තක්දැයි මම නොදනිමි. බොහෝ බ්‍රෝකර්වරු දැන් ඒ ඓතිහාසික සිද්ධියට උරුමකම් කියති. එහෙත් සිරිසේන මහතාගේ පැමිණීම වෙනුවෙන් දීර්ඝ කාලයක් බැණුම් අසමින් පසුබිම සකස් කළේ සෝභිත හිමියන් බව ඒ ක්‍රියාකාරකම් පේරාදෙණිය වැනි ඈතක සිට බලා සිටි මට පවා පෙනිණ.

මෛත්‍රීපාල සිරිසේන තුළ බෞද්ධ මධ්‍යස්ථභාවය උපතින්ම පිහිටා ඇති බවක් පෙනේ. මහින්ද රාජපක්ෂගේ වෛරයේ සහ චණ්ඩිකමේ වචන වෙනුවට යහපත්බවේ වචන ඔහුගෙන් ඇසේ. දේශපාලන සහ ආර්ථික අවස්ථවාදීන් විසින් මතු දවසදී වටකරනු ලැබ ඔහුගේ මධ්‍යස්ථභාවයේ කටහඬ ඔහුට අහිමි වේදැයි මම නොදනිමි. මෙරට මධ්‍යස්ථ මතධාරී ජනතාව කළ යුත්තේ ඔහුට ඒ මධ්‍යස්ථභාවය අත්නොහැර සිටීමට ඔහුට උදව් කිරීමයි. අපේ සමාජයේ සිදුවිය යුතු ඉදිරි ව්‍යුහමය පරිවර්තන සඳහාද එකී මධ්‍යස්ථභාවයේ දේශපාලනය ආරක්ෂා කරගැනීම අවශ්‍ය වේ.

එන්ජීඕ මතවාද

සෝභිත හිමි හදිසියේ පහළ වූ යහපාලන එන්ජී ඕකාරයෙකු යැයි හඳුන්වන මහින්දවාදියෝද සිටිති. එහෙත් උන්වහන්සේගේ ක්‍රියාකාරිත්වය දෙස කාලයක් තිස්සේ බලා සිටි අයට පෙනෙන දෙයක් නම් අද අප දකින සාධාරණ සමාජයක් උදෙසා අරගල කරන සෝභිත හිමියන් යනු කාලයක් තිස්සේ අප සමාජය සමග ගැටෙමින් විකාශනය වූ විඥානයක් පෙන්නුම් කරන කෙනෙකු බවයි. උන්වහන්සේ පසුගිය වසර 30ක් තරම් කාලයක කළ කී දේ දෙස ක්ෂණික බැල්මක් හෙළන කෙනෙකුට වුවත් ඒ විකාශනය දකින්නට පුළුවන. මේ කාරණය පැහැදිලි කරන්නට පැරණි පුවත්පත් සාකච්ඡාවක් පමණක් නිදසුන් කොට දක්වන්නට කැමැත්තෙමි. 1992 පෙබරවාරි 02 වැනිදා ලක්බිම පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී එවකට පැවති ප්‍රේමදාස රජය වෙතත් එවක භික්ෂු සංස්ථාව වෙතත් උන්වහන්සේ සිය විචාරාත්මක දෘෂ්ටිය හෙළන අයුරු දක්නට හැකිය. පවතින රජය විසින් දෙනු ලබන වරදාන වෙනුවෙන් අවිචාරාත්මකවද නිහඬවද වාසය කරන නායක හිමිවරුන් 1987-9 කාලයේ තරුණ භික්ෂූන් වහන්සේලා වෙත එල්ල වූ රාජ්‍ය මර්දනය ගැන පවා අසංවේදී පිරිසක් බව සෝභිත හිමියෝ එදා කීහ. ඒ සම්මුඛ සාකච්ඡාවේදීම එවකට උතුරු නැගෙනහිර පැවති යුද්ධය ගැන සඳහන් කරමින් උන්වහන්සේ කීයේ තමන් බෙදුම්වාදයට විරුද්ධ වුවත් දෙමළ මුස්ලිම් ජනතාවගේ සාධාරණ අයිතිවාසිකම් සැලකිල්ලට ගත් බලය බෙදා හැරීමක් අවශ්‍ය බවයි.

දේශපාලන එකඟතා

සෝභිත හිමිගේ අරගලය ලංකාවේ සියලූ ප්‍රශ්න විසඳන්නේ නැති බව වර්තමාන තරුණ වාමාංශික කණ්ඩායම් කියනු පෙනේ. එය උන්වහන්සේම පවා දන්නා කාරණයකි. සියලූ දේශපාලන පක්ෂ එකවර විසඳන දේශපාලන ව්‍යාපාර ඇත්දැයි මම නොදනිමි. සාමාන්‍යයෙන් විප්ලවීය සමාජ පෙරළි වටහා ගනු ලබන්නේ අදාළ සමාජයේ ප්‍රධාන ගැටලූ කාලානුක්‍රමයෙන් සෙමින් සෙමින් විසඳෙනු බලා නොසිට වේගයෙන් කරන ව්‍යූහමය පරිවර්තනයක් ලෙසයි. නිදර්ශනයක් ගනිමු. ජනවාරි 8 වැනිදා සිදු වූ දේශපාලන වෙනස විප්ලවීය පරිවර්තනයක් වී නම් මහින්ද රාජපක්ෂගේ ගෝලබාලයන් රොත්ත පිටින් හිරේ දමා නැත්නම් හිස ගසා දමා 19 වැනි සංශෝධනය ජයග්‍රාහකයාට අවශ්‍ය ආකාරයටම සම්මත කරගන්නට තිබිණි. එහෙත් දැන් සිදු වූයේ ආචාරධාර්මිකව බංකොලොත් වූද දූෂිත වූද පාර්ලිමේන්තු නියෝජිතයක් රොත්තකගේ එකඟතාව ගැනීමට සම්මුතියට යාමයි. මේ පසුබිමේදී සෝභිත හිමියෝ කම්පාවෙන් යුතුව පසෙක සිට බලා සිටියහ. උන්වහන්සේ තමන් අපේක්ෂා කළ සමාජ පරිවර්තනය සම්පූර්ණ කිරීමට සූදානමින් සිටිනුද පෙනේ. රැඩිකල් සමාජ පරිවර්තනය ගන විශ්වාස කරන කණ්ඩායම් මහින්ද රාජපක්ෂ තවදුරටත් බලයේ සිට අප සමාජය විනාශය කරා රැගෙන ගියේ නම් මැනවියි කල්පනා කරනුද පෙනේ. ඔවුන් කල්පනා කරන්නේ රාජපක්ෂවරුන් විසින් සම්පූර්ණයෙන් විනාශ කරන ලද සමාජයක් තුළින් ෆීනික්ස් කුරුල්ලන් සේ නැගිට අලූත් සමාජයක් ගොඩ නැගීම විය යුතුය.

ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්ෂ ජයගත්තේ නම් ඔහු ලංකාව පෙරළනු ඇත්තේ කිසිම මිනිස් හරයක් හෝ වටිනාකමක් ඉතුරු වූ සමාජයක් බවට නොවේ. එය ජාතික කොඩි සහ බෞද්ධ කොඩි එස වූ අමු සොහොනක් වීමේ ඉඩ තිබිණි. එදා ”ඔව් සර්” කියන්නට පමණක් කට ඇරිය දේශපාලකයෝ අද පාර්ලිමේන්තුවේ තමන් කැමති ඕනෑම වචනයක් කියති. 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී කටක් නොඇරිය අය 19 වැනි සංශෝධනය ගැන උජාරු විවාද කළහ. ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්ෂ ජයගත්තේ මේ පිරිසට සිදුවන්නේ ”ඔව්” කියන්නට වත් ඉඩ නොලැබ ”සර්” කියන්නටය.

මේ නිසා මාදුළුවාවේ සෝභිත හිමියන් මට පෙනෙන්නේ දැහැමි බෞද්ධත්වයක්, මනුෂ්‍යත්වයත් ආරක්ෂා කරගන්නට අපට එක් තීරණාත්මක අවස්ථාවක් අපට ලබා දුන් පූජනීය කෙනෙකු ලෙසිනි. උන්වහන්සේ අපට උදා කළ වාසනාව ගමනක අවසානය නොව ආරම්භය ලෙස ගෙන අප සමාජය සාධාරණය සහ යහපත් බව දෙසට පරිවර්තනය කරන්නට අපට හැකි විය යුතුය.

Back to Top