Sri Lanka Brief
විශ්ලේෂනඅලූත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා පුරවැසියන් පටන්ගත යුතුයි – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

අලූත් ව්‍යවස්ථාවක් ගැන සාකච්ඡා පුරවැසියන් පටන්ගත යුතුයි – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

by
ජනවාරි 8දා පටන්ගත්තේ සම්පූර්ණයෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරනවා කියලා. ඒත් 19වැනි සංශෝධනය නැවතුණේ ඊට මෙහායින්. ඒ දක්වා ආ ගමන් මාර්ගය කොහොමද?

මැතිවරණ කාලේ වෙනකොටම මුල් අදහසට සීමා වැටෙන්න පටන් ගත්තා. වමේ පක්‍ෂ හා පුරවැසි ව්‍යාපාර පෙනීහිටියේ සම්පූර්ණ යෙන්ම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසිකරන්න. නමුත් පුළුල් දේශපාලන සහයෝගිතාව හැදෙන කොට සීමා වැටුණා. හෙළ උරුමයට වුවමනා වුණේ ජනමත විචාරණයකට යන්නේ නැති සංශෝධන ගෙනෙන්න. යූඑන්පී එක කිව්වේ එක අවුරුද්දේ ජාතික මට්ටමේ මැතිවරණ තුනක් (ජනාධිපතිවරණය, මහ මැතිවරණය, ජනමත විචාරණය) තිබීමේ අමාරුකම ගැන. අපේ වේදිකාවේදීම තවත් සමහරු කිව්වා බලතල අඩුකිරීමක් පමණක් ගැන. මේවා අතර තුලනයක් ඇතිවුණා. කැබිනට් එකට ගිය 19වැනි සංශෝධන කෙටුම්පත විශාල ලෙස, ඒ කියන්නේ සියයට අසූවක් අසූපහක් විතර, ජනාධිපති බලතල අඩුකරන තරමේ එකක්. තුනෙන් දෙකක් ලබාගැනීම සඳහා පක්‍ෂ අතර කළ සාකච්ඡුාවේදීත්, කැබිනට් එකේදීත් ඒකේ සැර බාල වුණා. ඒත් සුප‍්‍රිම් කෝට් තීන්දුව නරක නැහැ. එයින් ඉඩක් තිබෙනවා ජනමත විචාරණයක් නැතුව බොහෝ දේවල් ඉවත් කරන්න. එහිදී කියැවුණ, ඇමතිවරුන් පත්කිරීමේදී අගමැතිගේ උපදෙස් පිට වැඩ කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ කියන එක විසින්ම විශාල කවුළුවක් විවර කරනවා. ඊළඟට ශී‍්‍රලනිපය ඇතුළෙන් බලපෑම් ආවා. අන්තිම මොහොතේ රාජපක්‍ෂ කඳවුරෙන් බලපෑම් ආවා. අන්තිම දවසේ දවල් වනකොටත් සම්මත වේවිය කියලා සහතිකයක් තිබුණේ නැහැ. ආණ්ඩුවත් බොහොම ප‍්‍රවේසම් වුණා. අන්තිමේදී ජනාධිපතිවරයා හුඟාක් මහන්සි වෙලා පුද්ගලිකව එක එක්කෙනාට කතාකරලා මේක රැුකගත්තේ. මුලින් එජාපය බොහොම අකමැත්තෙන් හිටියේ දියාරු කරන වෙනස්කම්වලට, පුරවැසි සංවිධානවලින් බලපෑමක් එයි කියලා.

ජයම්පතී වික්‍රමරත්න

ජයම්පතී වික්‍රමරත්න

28වැනි අඟහරුවාදා හවස් වෙනකොට පුරවැසි සංවිධානත් ඉඟිකලා, මොකක් හරි අතරමැද තත්ත්වයකට යන්න කියලා. ඒ අනුව තමයි අවසාන එකඟත්වයට එන්න පුළුවන් වුණේ. මම හිතන්නේ අවසානයේදී විධායක ජනාධිපති ක‍්‍රමයේ බලතලවලින් සියයට හැටපහක පමණ ප‍්‍රමාණයක් කපාහරින්න පුළුවන් වුණා. නමුත් එයින් ඉදිරි වෙනස්කම් සඳහා පදනම වැටුණා. අගමැතිවරයා විතරක් නෙවෙයි විපක්‍ෂ නායකයා පවා කිව්වා, මේක මෙතැනින් නතර කරන්නේ නැහැ කියලා. ඒක හොඳ ලකුණක්.

ජනතා අභිලාෂයන් දේශපාලන බලවේග සමග තුලනය කරනකොට ඒවායේ සමහර පරාජයන්, පසුබැසීම් වන බව මෙයින් පැහැදිලි වෙනවා නේද?

ඔව්. පසුබෑමක් තමයි. නමුත් අමතක කරන්න එපා මේ තියෙන්නේ ජනතා අදහස් නිරූපණය කරන පාර්ලිමේන්තුවක් නෙවෙයි. 2010 යුද්ධය දිනලා ලබාගත්තු රාජපක්‍ෂගේ පාර්ලිමේන්තුවක්. එයින් කෙසේ වත් ජනතා අභිලාෂයන් නිරූපණය වන්නේ නැහැ. නමුත් සංශෝධනය විවාදයට ගැනුණු දවස් දෙකේ අපිට අදහස් දැක්වූ හැමදෙනාම දුන්නේ ‘ඔව් මේක මදි තමයි. ඒත් කොහොමහරි පාස් කරගන්න.’ කියන පණිවිඩයයි. මට එක්කෙනෙක්වත් කිව්වේ නැහැ, ‘හොඳම දේ නැත්නම් 19 අතහැරලා දාන්න’ කියලා. ඒ වගේම සම්මත වුණාට පස්සේ හැමෝම කිව්වේ මේක ලොකු ජයග‍්‍රහණයක් කියලා. මොකද, හැමදෙනාම තේරුම් ගත්තා දේශපාලන යථාර්ථය මොකක්ද කියලා. මේක කඩාකප්පල් කළේ ස්ථිර වශයෙන්ම ඊළඟ පාර්ලිමේන්තුවේ නොසිටින අය.

මේ වෙනස්කම්වලට ඔබ නායකත්වය දැරූ කෙටුම්පත් කමිටුව හැටියට බලපෑමක් කරන්න පුළුවන්කමක් තිබුණාද?

කෙටුම්පත්කරුවන්ට තියෙන්නේ සීමාසහිත භූමිකාවක්. මම කියන්නේ නැහැ කාර්යභාරයක් නැහැ කියලා. අපිට යම් යම් දේවල් තල්ලූ කරන්න පුළුවන්කම තිබුණා. සමහරු කියනවා රනිල් වික‍්‍රමසිංහ හොරෙන් වගන්ති ඇතුළත් කළා කියලා. එහෙම කරන්න බැහැ. හැම දේශපාල නඥයාම මෝඩයෝ නෙවෙයිනේ. ඔවුන් මේක හොඳින් කියවනවා. ඒ පක්‍ෂවල ඉන්නවා සමහරු කොමාවේ ඉඳන්ම මේක හොඳින් හොයලා බලන. ඒ නිසා හොරෙන් යමක් කරන්න බැහැ. නමුත් කෙටුම්පත් කමිටුවටත් යම් යෝජනා ඉදිරිපත් කරන්න පුළුවන්. මූලික අයිතිවාසිකම් පරිච්ඡෙදයට තොරතුරු දැනගැනීමට අයිතිය ඇතුළු කළේ මගේ මැදිහත්වීමෙන්. ඒක මැතිවරණ ප‍්‍රකාශනයේ තිබුණු එකක්වත් නෙවෙයි. ඒවා අනිත් අය පිළිගත්තා. ඒ නිසා ගෞරවය හැමෝටම අයිතියි. ජාතික ප‍්‍රසම්පාදන කොමිසම පිළිබඳ අදහස චන්ද්‍රිකාගේ. හිටපු නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම් දයා ගිනිගේ සහ හිටපු ජනමාධ්‍ය ලේකම් ඩබ්ලිව්ජේඑස් කරුණා රත්නට ඇය කිව්වා මට උපදෙස් දෙන්න කියලා. ඔවුන් ඉතාමත් හොඳ මුල් කෙටුම්පතක් හැදුවා. අපි ඒක රනිල් කැඳවපු දේශපාලන කමිටුවට දැම්මා. අල්ලස් කොමිසමට ව්‍යවස්ථානුකූල තත්ත්වයක් දෙන්නට ඕනෑ සහ එයට කිසිවකුගේ පැමිණිල්ලක් නැතිව තමන් විසින්ම පරීක්‍ෂණයක් ආරම්භ කරන්න පුළුවන් කියන එක යෝජනා කළේ මම. ඒක අනිත් අය පිළිගත්තා. නමුත් හැම යෝජනාවක්ම දේශපාලන අධිකාරියෙන් අනුමත කරගන්න අපි පරෙස්සම් වුණා. දේශපාලන කමිටුවේ සමහර සාමාජිකයෝ හැම වාක්‍යයක්ම හොඳින් කියවලා බලලා ඔවුන්ගේ අදහස් අපිට කිව්වා. ඔය වගේ තමයි වුණේ. අපිටත් භූමිකාවක් තිබුණා. නමුත් ඒකේ සම්පූර්ණ ගෞරවය අපට ගන්න බැහැ.

නමුත් මේක කිහිප දෙනෙක් හොරෙන් කළ වැඩක් හැටියටත් චෝදනාවක් තිබුණා..

හරිම අසාධාරණ චෝදනාවක්. ඒ වගේම රනිල් වික‍්‍රමසිංහට ඕනෑ විදියට කළා කිව්වා. ඒවාට කිසිම පදනමක් නැහැ. කිසිම කෙනෙක් අපට පෞද්ගලිකව බලපෑම් කළේ නැහැ කිසිවක් කරන්න කියලා. මම 2000 ව්‍යවස්ථාව කෙටුම්පත් කළ කමිටුවේත් සාමාජිකයෙක්. එතැනදී අපිට නිදහස වැඩියෙන් තිබුණා. මොකද අපි දැනගෙන හිටියා චන්ද්‍රිකා කොච්චර දුරක් යනවාද කියලා. ඒකෙන් ලොකු අවකාශයක් විවෘත වුණා. මේ සැරේ ඒ අවකාශය තිබුණේ නැහැ. විවිධ දේශපාලන කණ්ඩායම්වල විවිධ මත එකතුවෙලා මේක හැදීම ඊට හේතුවයි. අපි ඒ බව දැනගෙන ඒ සීමාවන් තුළ තමයි වැඩ කළේ.

නමුත් කෙටුම්පත පටන්ගත්තේ කිසියම් ඉහළ තත්ත්වයකින්. පසුව එය වෙනස්වුණා.

ඒක ඇත්ත. මීට අවුරුදු දෙකහමාරකට විතර පෙර සෝභිත හාමුදුරුවන්ගේ ව්‍යාපාරයෙන් තමයි මුල් කෙටුම්පත හැදුණේ. මමත් නීතිඥ වැලිඅමුණත් ඒකට අවශ්‍ය මූලික කරුණු එකතු කළා. ලංකාවේ ඉන්න හොඳම නීති කෙටුම්පත්කරුවාය කියන්න පුළුවන් මහත්මයා ලවා තමයි අපි මූලික කෙටුම්පත හදවාගත්තේ. නමුත් අපි දැනගෙන හිටියා ඒ කෙටුම්පතේ සැර බාල විය හැකි බව.

මේ සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කවුළුවක් විවර කිරීමක් හැටියට ඔබ හැඳින්වූවා. මොකක්ද හරියටම ශ්‍රේෂ්ඨාධිකරණය කීවේ?

වැදගත්ම දේ තමයි, ‘ජනාධිපතිවරයා අවසාන ක‍්‍රියාව කරන තුරු හෝ එය ඔහුගේ තීරණය වන තුරු ඕනෑම වෙනසක් කරන්න පුළුවන්ය’ කියන එක. හොඳම උදාහරණය, ඇමතිවරුන් පත්කරන්නේ අගමැතිගේ උපදෙස් මත. ‘උපදෙස් අරගෙන’ ජනාධිපති ‘පත්කරනවා’ නම් ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට තිබෙන බලතල ඉතාම විශාල ප‍්‍රමාණයකින් සීමා කළා. ඒකට කිසිම අවුලක් නැහැ. ඒක තමයි මේකේ හරය. එයින් කවුලූව විවෘත වෙනවා ඉදිරියට යන්න.

නමුත් ඒ විවෘත වූ දෙයින් සම්පූර්ණයෙන්ම ප‍්‍රයෝජන අරන් ඉදිරියට යන්න අපට පුළුවන් වුණේ නැහැ. ඒ දේශපාලන කේවෙල් කිරීම් නිසා. ශ්‍රේෂ්ඨාධිකරණය අව ධාරණය කළ අනෙක් වැදගත් දේ තමයි, කැබිනට් ආණ්ඩුක‍්‍රමය ගැන. ‘ජනරජයේ පාලනය මෙහෙයවීම හා ඒ පාලනය පිළිබඳ විධානය භාර ඇමති මණ්ඩලයක් වන්නේය’ කියන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වගන්තිය මේ තීන්දුවෙන් අවධාරණය කළා. ඒ වගේම ජනාධිපතිට අගමැතිව ඉවත්කරන්න බැහැ. ඒක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවටම පමණයි. සමහරු වැරදි විදියට කිව්වා, අගමැතිවරයා ඉවත්කරන්න කාටවත් බැහැ කියලා. ඒත් හරිම පැහැදිලියි, අයවැය පැරදුණාම, ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පැරදුණාම, විශ්වාස භංග යෝජනාවක් ආවාම පාර්ලිමේන්තුවට පුළුවන් සරල බහුතරයකින් අගමැති ඉවත්කරන්න.

සමහරු මේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ දිහා බැලූවේ හැමදාම ජනාධිපති මෛත‍්‍රී, අගමැති රනිල් කියලා හිතලා. එහෙම බලන එක වැරදියි. අගමැතිට බලතල දෙනකොට ශක්තිමත් වෙන්නේ පාර්ලිමේන්තුව හා කැබිනට් මණ්ඩලය බව තේරුම් ගන්න ඒ අයට බැරිවුණා.

මෙයින් සිදුවුණේ ජනාධිපතිගේ සමහර බලතල ඉවත්කරලා කැබිනෙට්ටුවට දීමක් පමණයි. ක‍්‍රමය මුළුමනින් වෙනස්වුණේ නැහැ. මෙවැනි තත්ත්වයකදී බලකේන්ද්‍ර දෙකක් පවතින නිසා ද්විත්ව පාලන අවදානමක් ඇතිවෙන්න පුළුවන්ද?

බැලූබැල්මට ව්‍යවස්ථාව අනුව එවැනි සේයාවක් තියෙනවා. නමුත් ප‍්‍රායෝගික වශයෙන් එහෙම වෙන්නේ නැහැ. ඒක සංසන්දනය කරමු, චන්ද්‍රිකා ජනාධිපති-රනිල් අගමැති යුගයට. ඒ කාලේ චන්ද්‍රිකා ප‍්‍රායෝගික වශයෙන් හුඟක් සීමාකම්වලට යටත්වුණෘ. කිසිම දෙයක් කරගන්න බැරි තත්ත්වයට. කැබිනට් රැුස්වීම්වලටවත් ගියේ නැහැ. රබර් මුද්‍රාවක් බවට පත්වුණා. රනිල්ට වුවමනා විදියට තමයි ඇමතිවරු පත්කළේ. විෂයයන් තීරණය කළේ. තටු සිඳිච්ච කෙනෙක් හැටියට නමුත් ඇය බොහොම ඉවසීමෙන් හිටියා. ඇයට බලතල දෙකක් තිබුණා. වෙලාව බලලා ඒවා පාවිච්චි කළා. ඇමතිවරු අයින් කරලා තමන්ට ඕනෑ අය නම් කළා. ඊළඟට පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. හැබැයි ඒ දෙකෙන් එකක්වත් දැන් කරන්න බැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න බැහැ අවුරුදු හතරහමාරක් යනකම්. ඇමතිවරු ඉවත්කරන්න පුළුවන්. ඒත් තමන්ට වුවමනා ඇමතිවරු පත්කරන්න බැහැ. අගමැති ඉවත්කරන්න බැහැ.

17 සංශෝධනය ක‍්‍රියාත්මකව තිබුණු කාලේ කිසියම් ව්‍යවස්ථාමය අගුල්වල හිරවුණා. 19 අතරමැද හිරනොවෙන්න මොනවාද ඇතුළත් කරලා තිබෙන විධිවිධාන?

ඒ කාලේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ අන්තිම සාමාජිකයා පත්නොකර හිටියානේ. දැන් පත්නොකර ඉන්න බැහැ. ජනාධිපති පත්නොකළත් සුමාන දෙකෙන් පත්කළා සේ පිළිගැනෙනවා. දැන් සභාවේ පුරප්පාඩු තිබුණත් රැුස්වෙන්න පුළුවන් ගණ පූරණය තියෙනවා නම්. ඒ හිදැස් ඔක්කොම වැහුවා. ඇත්ත වශයෙන්ම මේවා අලූත් දේවල් නෙවෙයි, ඩිව් ගුණසේකර තේරීම් කාරක සභාවේ පිළිගත්තු ඒවා.

රාජ්‍ය නායකයාව මුළුමනින්ම නීතිය ඉදිරියේ නිරාවරණය කරන අවස්ථා තියෙනවාද? උදාහරණ මොනවාද?

ඇයි අමෙරිකාවේ? වෝටර්ගෙට් සිද්ධියට අදාළව රිචඞ් නික්සන්ට මුක්තියක් නැති බව අධිකරණය තීරණය කළා. ඉන්දියාවෙත් ජනාධිපතිගේ නමින් කරන විධායක ක‍්‍රියා අධිකරණ විමසුමට යටත්.

ඇයි ලංකාවේ ඒ දුර යන්න මේ අවස්ථාවේදී බැරිවුණේ?

දේශපාලන වශයෙන් ආ එකඟත්වය තමයි ජනාධිපති වරයාගේ නිල කාලය සඳහා, නිල කාර්යයන් පමණක් අභියෝගයට ඉඩදෙමු කියලා. සමහරුන්ගේ බයක් තිබුණා, පහළ උසාවිවලට ගිහින් නඩු සිය ගණනක් දමාවි කියලා. අවසාන එකඟත්වය ආවේ ශ්‍රේෂ්ඨාධිකරණයට පමණක් බලය පැවරෙන තත්ත්ව යකට යමු කියලා. ඒ අනුවයි මූලික අයිතිවාසිකම් කඩවුණාම නඩු දාන්න පුළුවන් කිව්වේ.

මතක තියාගන්න වුවමනා දේ තමයි, මූලික අයිතිවාසිකම්වල සමානාත්මතාවට අදාළ 12වැනි ව්‍යවස්ථාව අනුව දැන් ඉතා පුළුල් පරාසයක නඩු දාන්න පුළුවන්.

ඉස්සර තිබුණු විදියට සමානාත්මතාව කඩවීම ගැන කියන්න, දෙන්නෙක් හෝ වැඩි දෙනෙක් අතර සංසන්දනයක් තියෙන්න ඕනෑ. ඒ නිසා කිසියම් අත්තනෝමතික ක‍්‍රියාවක් සිද්ධවුණු පළියටම එයින් සමානාත්මතා මූලධර්මය කඩවෙන්නේ නැහැ. කෙනෙකුට, තවත් කෙනකුට සාපේක්‍ෂව නීතියට පටහැනිව සලකලා තියෙන්න ඕනෑ. නමුත් මාක් ප‍්‍රනාන්දු විනිසුරුතුමා පසුව නඩු තීන්දුවක කියනවා, ‘තවත් කෙනක්ව පෙන්නන්න ඕනෑ නැහැ, සංසන්දනය කළ යුත්තේ අදාළ රීතිය හෙවත් නෝම් එක සමග පමණයි’ කියලා. ඊට අවුරුදු ගණනාවකට පෙර ඉන්දියාවේ භගවතී අගවිනිසුරුතුමා නඩුතීන්දු ගණනාවකදී මේක කියලා තිබුණා, ඕනෑම අත්තනෝමතික ක‍්‍රියාවක් නිසා සමානාත්මතාව කැඩෙනවා කියලා. ඒ නිසා ජනාධිපතිතුමා කරන කිසියම් ක‍්‍රියාවකින් සමානාත්මතා මූලධර්මය කැඩෙනවා නම් උසාවි යන්න පුළුවන්. ඒක විශාල පරාසයක්.

19වැනි සංශෝධනය සඳහාවූ පුරවැසි දායකත්වය ඔබ දකින්නේ කවරාකාරයටද?

විශාල දායකත්වයක්. සෝභිත හිමියන් දුන්නු නායකත්වය කියලා නිමකරන්න බැහැ. ඒ වගේම විවිධ තනි හා සංවිධානාත්මක පුරවැසි දායකත්වයන් විශාල බලපෑමක් කළා. කෙටිකරලා කියනවා නම්, 27වැනි සඳුදා පාර්ලිමේන්තුව කරා ගිය පාගමන අතිවිශාල බලපෑමක් කළා. මා දන්න විදියට පොලිස් ඇස්තමේන්තුව 13,000ක් 14,000ක විතර සෙනඟක් ඊට එකතුවුණු බවයි. අපේ පුරවැසි ශක්තිය ගැන අපි ආඩම්බර විය යුතුයි. දැන් ඔක්කොම කියන්නේ මෙතැනින් ඉදිරියට යා යුතු බවයි. පුරවැසියන් දේශපාලන පක්‍ෂවලින් ප‍්‍රශ්න කළ යුතුයි, ඉදිරි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනස්කම් ගැන ඔවුන් මොනවාද කියන්නේ කියලා. විධායක ජනාධිපති ක‍්‍රමය ගැන, මූලික අයිතිවාසිකම් ගැන, මැතිවරණ ක‍්‍රමය ගැන, බලය බෙදීම ගැන මොනවාද ස්ථාවර කියලා ප‍්‍රශ්න කළ යුතුයි.

කිසියම් ඉඩක් තියෙනවාද අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතකට යන්න පුරවැසියන්ගේ පැත්තෙන්?

පුළුවන්. මම හිතන්නේ පුරවැසියන්ට පුළුවන් දැන් හිටන්ම පුරවැසි කොමිසමක් වැනි දෙයක් පත්කරලා ඒ ගැන සාකච්ඡුා පටන්ගන්න. ආණ්ඩුවටත් පුළුවන් ඒකට සහාය ධෛර්යය දෙන්න. එහෙම නැත්නම් ආණ්ඩුවේ කොමිසමකුත් පත්කරන්න.

සාකච්ජාව ඇරුණ ජයවර්ධන විසිනි

Back to Top