Sri Lanka Brief
විවරණ19 වන සංසෝධනයට සහාය නොදීම ලැජ්ජාවකි – උපුල් ජෝෂප් ප්‍රනාන්දු

19 වන සංසෝධනයට සහාය නොදීම ලැජ්ජාවකි – උපුල් ජෝෂප් ප්‍රනාන්දු

by

ප්‍රමුඛ කාර්යයක් සේ සලකා විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කර අගමැති ප්‍රමුඛ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කරනු ලැබේ – ශ්‍රී ල.නි.ප. ප්‍රතිපත්ති ප්‍රකාශනයල 1982 ජනාධිපතිවරණය

රටට පිළිලයක් බඳු විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු ලැබේ -ශ්‍රී ල.නි.ප. ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය, 1988 ජනාධිපතිවරණය ,1989 මහ මැතිවරණය

විධායක ජනාධිපති ධුරය වහාම අහෝසි කෙරේ. – පොදු පෙරමුණ ප්‍රතිපත්ති ප්‍රකාශනය, 1994 මහ මැතිවරණය, 1994 ජනාධිපතිවරණය

ව්‍යවස්ථා විප්ලවයක් මඟින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු ලැබේ.- පොදු පෙරමුණ ප්‍රතිපත්ති ප්‍රකාශනය. . 1999 ජනාධිපතිවරණය, 2000 මහ මැතිවරණය,
2001 මහ මැතිවරණය

ජනාධිපතිවරයාගේ පළමු නිල කාලය තුළ විධායක ජනාධිපති ක්‍රමය ආහෝසි කෙරේ, _ මහින්ද චින්තනය. 2005 ජනාධිපතිවරණය

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දේ.- මහින්ද චින්තන ඉදිරි දැක්ම, 2010 ජනාධිපතිවරණය.
2010 මහ මැතිවරණය

ඉහත ප්‍රතිපත්ති ප්‍රකාශන දෙස බලන විට පෙනී යන්නේ 1978 සිට 2010 දක්වා වසර 32ක් ශ්‍රී ල.නි.ප.යේ ප්‍රධානතම සටන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම බවය. මේ සටන පටන් ගත්තේ බණ්ඩාරනායක මැතිනියය. 1978දී විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව ශ්‍රී ල.නි.ප.ය නිකුත් කළ නිවේදනයෙන් උපුටා ගත් කොටසක් පහත පළවේ.

‘නව ආණ්ඩුක්‍රම සංශෝධන ආඥාදායකත්වයට මුල පුරයි’

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කළ නව සංශෝධන ආඥාදායකත්වයක් පිළිබඳ මාවතේ ප්‍රථම පියවරකැයි ජාතියට අනතුරු ඇඟවීමක් වශයෙන් හඬගා කීම ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරන විරුද්ධ පක්ෂයක් වශයෙන් අපගේ පූර්ණ යුතුකම වේ යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් නිකුත් කරන ලද ප්‍රකාශයක් කියයි.

ශ්‍රී ලංකා ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යෝජිත දෙවැනි සංශෝධනය පිළිබඳව නිකුත් කර ඇති එම ප්‍රකාශනය සම්පූර්ණයෙන්ම මෙසේය.

“ගරු අගමැති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් ජාතික රාජ්‍ය සභාවේදී දෙවැනි සංශෝධනයෙන් යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය, ගැසට් මඟින් ප්‍රකාශ නොකිරීමෙන් මහජන සාකච්ඡාවට අවස්ථාවක් ලබාදී නැත. ඒ වෙනුවට ජාතියේ මූලික අවශ්‍යතා සහතික කරන මහජන සුබසාධනය පිණිස ඇති අති විශේෂ නියෝග ප්‍රයෝජනයට ගෙන සැප්තැම්බර් මස 22 වැනි දින ජාතික රාජ්‍ය සභාවට ඉදිරිපත් කරන තෙක් මෙම පනත ජනතාවගෙන් වසන් කොට තබන ලදී.

මේ රජය මේ අන්දමින් ක්‍රියාකර ඇත්තේ කුමන හේතුන් නිසාද? මෙහි එකම අර්ථය වියහැක්කේ මේ නව සංශෝධනයෙහි අඩංගු කරුණු හා එවායින් ඇතිවන දීර්ඝකාලින ප්‍රතිඵල ජාතික රාජ්‍ය සභාවේ සිටින ස්වකීය සාමාජිකයන්ට මෙන්ම රටටද සඟවා තැබීමට රජය විසින් ප්‍රයත්නයක් දරා ඇති බවය. මේ සංශෝධන මඟින් කෙරෙන්නේ ව්‍යවස්ථාමය ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයාට ඇති තත්ත්වය වෙනස් කොට නියත විධායක බලතල ඇති ජනාධිපතිවරයකුගේ තත්ත්වයට ඔහු පත් කිරීම පමණද? මේ වෙනස පමණක් ඉටු කරන්නේ නම් ඒ වනාහි ධුරවල වෙනස් කිරීමක් පමණකි. එනම් ජේ.ආර්. ජයවර්ධන මහතා කලින් අගමැති වශයෙන් ප්‍රයෝජනයට ගත් බලතල ජනාධිපතිවරයා වශයෙන් ප්‍රයෝජනයට ගැනීමක් පමණි. එහෙත් මේ සංශෝධන මඟින් මීට වඩා විශාල වෙනස්කම් සිදුවන බව ශ්‍රී ල.නි.පක්ෂයට පෙනී යයි. අපගේ අදහසේ හැටියට ජනාධිපති ධුරය ජාතික රාජ්‍ය සභාවටද ඉහළින්, ශේ්‍රෂ්ඨාධිකරණයටද ඉහළින් පූර්ණ රාජ්‍ය බලතල පාවිච්චි කරන ආයතනයක තත්ත්වයට තහවුරු කිරීමක් මෙයින් සිදුවෙයි. මෙය සුළු වෙනස්කම් ඇති කරන සාමාන්‍ය සංශෝධනයක් සේ අපි නොසලකමු. සම්පූර්ණ රාජ්‍ය බලතල එක් පුද්ගලයකු අතට භාරකොට ජනතාව මත බලහත්කාරයෙන් ඒකාධිපතිත්වයක් පටවන ක්‍රියා මාර්ගයක් සේ අපි සලකමු. මේ සංශෝධන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට එකතු වූ පසු ප්‍රජාතාන්ත්‍රික ක්‍රියා මාර්ග විනාශවී යෑම නොවැළැක්විය හැකිවා පමණක් නොව ඒවා යළි ප්‍රකෘති තත්ත්වයට පත්කිරීමටද නොහැකි වනවා ඇත.

අගමැතිට බලයක් නෑ
“1972 ජනරජ පනත යටතේ විධායක බලතල ජනාධිපතිවරයා හා අමාත්‍ය මණ්ඩලය වෙත පවරා තිබිණි. ඒ අනුව ජනාධිපතිවරයා ව්‍යවස්ථානුකූල නාමමාත්‍රික ප්‍රධානියා වූ අතර නියම විධායක බලය අග්‍රාමාත්‍ය ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය වෙත පැවැරී තිබිණි. 135 වැනි වගන්තියට අනුව ජනරජ ව්‍යවස්ථාව හැරුණු විට අනෙකුත් සෑම ව්‍යවස්ථාවකදීම ‘අග්‍රාමාත්‍යවරයා’ යන්න සෑම තැනකම ඒ වෙනුවට ‘ජනාධිපතිවරයා’ යන්න යොදනු ලැබේ. 27 වැනි වගන්තියේ ඇති කරන ලද වෙනස හේතුකොට ගෙන ජනාධිපතිවරයාට උපදෙස් දීමට අගමැතිවරයා සතුව තිබූ බලතල අහෝසි වේ. අගමැතිවරයාට අමාත්‍ය මණ්ඩලයේ මුලසුන පවා ඉසිලිය නොහැක. මක් නිසාද යත් 21 (එෆ්.) වගන්තිය යටතේ එයද ජනාධිපතිවරයා සතුවන නිසාය. මහජන ආරක්ෂක පනත යටතේ අගමැතිවරයාට කිසිදු බලයක් නොමැත. මෙම සංශෝධනවලින් පසු අගමැතිවරයා ගැන සඳහන් වන්නේ දෙපළකදී පමණයි. පළමුවැනිව ජාතික රාජ්‍ය සභාවේ විශ්වාසය දිනා ගැනීමට හැකි පදනම යටතේ අගමැතිවරයකු තෝරා ගත යුතු බවද, ජනාධිපති ධුරය හිස් වූ විටක ජාතික රාජ්‍ය සභාව විසින් අනුප්‍රාප්තිකයකු තෝරනු ලබන තෙක් තාවකාලිකව ජනාධිපති ධුරයේ වැඩ බැලිය යුතු බවද සඳහන් වන අවස්ථාවක දෙවැනිව ප්‍රථම ප්‍රතිපත්ති ප්‍රකාශනය හෝ අයවැය ලේඛනය පරාජයට පත්වූ විට අගමැතිවරයා ඉල්ලා අස්විය යුතු බව කියැවෙන තැනය. මෙසේ අගමැතිවරයා ජනාධිපතිවරයාගේ මහජන සම්බන්ධතා නිලධාරියකුගේ තත්ත්වයට ඇද දමා ඇති අතර, රජය පරාජය වූ අවස්ථාවක බැටකන ගෝලයා බවටද පත්කොට ඇත.”

විධායක බලතල
5 වැනි වගන්තිය යටතේ පූර්ණ විධායක බලතල ජනාධිපතිවරයා සතුකර ඇති හෙයින් අමාත්‍ය මණ්ඩලයට විධායක බලයක් නොමැත. ජාතික රාජ්‍ය සභාවෙන් නියම වන ව්‍යවස්ථාත්මක බලතල ක්‍රියාත්මක කිරීම හැරුණු විට අමාත්‍ය මණ්ඩලයට ඇත්තේ උප දේශක කොමිටියකට ඇති බලතලවලට වඩා ඉතා සුළු බලයකි. උපදේශක මණ්ඩලයක් වශයෙන් එය කොතරම් වැදගත් වුවද නීති විරෝධීව බලය පාවිච්චි කරන අවස්ථාවකදී ඊට පටහැනිව ව්‍යවස්ථාමය ආරක්ෂාව සලසන මණ්ඩලයක තත්ත්වයට එය කිසිසේත්ම පත්විය නොහැක.

“යෝජිත සංශෝධන යටතේ ජාතික රාජ්‍ය සභාවේ වගකීමෙන් නිදහස් වූ ජනාධිපතිවරයා වෙත පූර්ණ විධායක බලතල පවරා ඇති හෙයින්ද, මහ අධිකරණයට ඉහළින් තබා ඇති හෙයින්ද, අගමැතිවරයාගේ හා අමාත්‍ය මණ්ඩලයේ බලතල බින්දුවට බස්සවා ඇති හෙයින්ද, නව ක්‍රමය යටතේ නියම ආණ්ඩුව කුමක්ද යන ප්‍රශ්නය වහාම මතු වනු ඇත.”
විධායක ජනාධිපති ක්‍රමය සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේදී සම්මත කරගත් අවස්ථාවේ බණ්ඩාරනායක මැතිනිය කළ කතාවෙන් උපුටාගත් කොටස් කිහිපයක් පහත පළ වේ.

සිරිමාවෝ ආර්.ඩී. බණ්ඩාරනායක මහත්මිය (අත්තනගල්ල)
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ ගරු සභාවේදී සම්මත කරන්නට යන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ප්‍රකාශනයක් කිරීමටයි මා නැඟී සිටියේ. ඒ ප්‍රකාශනය කිරීමට දැන් මට අවස්ථාව සලසා දෙනවා ඇතැයි මා විශ්වාස කරනවා.
ගරු ජේ.ආර්. ජයවර්ධන මහතාට, ජනාධිපති සහ අගමැති බලතල පවරා ගැනීම සඳහා ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවැනි සංශෝධනය සම්බන්ධයෙන් 1977 ඔක්තෝබර් මස 4 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ජාතික රාජ්‍ය සභාවේදී ප්‍රකාශයක් කරමින් එම සංශෝධනය අපේ රට ඒකාධිපතිවාදය කරා ගමන් කරවන බවත්, එයින් ගැලවීමේ මඟක් නොමැති බවත් මම පෙන්වා දුනිමි. එම සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංගයක් වීමෙන් පසුව ජනසම්මතවාදය මේ රටෙන් අහෝසි වීම වැළැක්විය නොහැකි බවට අනතුරු ඇඟවීමක්ද කළෙමි.

මා විසින් එදා විස්තර කළ ඒකාධිපති මාර්ගයේ අවසානය කරා පැමිණීමට මෙම රජයට සහ මෙම සභාවට ගතවූයේ යම්තම් දස මාසයකි. තව දින කිහිපයකින් හෝ සමහර විට තව පැය කිහිපයකින් වුවත් නිදහසේ අන්තිම පහන්සිළුව නිවී යෑමට ඉඩ ඇත. ගත වූ මාස කිහිපය තුළ සිදුවීම් හිට්ලර් බලයට පැමිණීමට කලින් තිබුණු ජර්මන් ජනරජයේ අවසාන කාලය සිහිකරවනසුලුය. හිට්ලර් කළේ වයිමා ජනරජ ව්‍යවස්ථාව උපයෝගී කර ගනිමින් මුළු ව්‍යවස්ථානුකූල රාජ්‍ය ක්‍රමය විනාශ කර දැමීමයි. (බාධා කිරීම්)

ප්‍රථමයෙන් හිට්ලර්ද කළේ ජනාධිපතිගේ සහ කැබිනට් මණ්ඩලයේ නායකයා වූ චාන්සලර්ගේ සියලුම විධායක බලතල තමාටම පවරා ගැනීමයි. අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් මඟින් එතෙක් ජනසම්මතවාදී සමූහ ආණ්ඩුවක් වශයෙන් පැවැති රජය ඒකාධිපති රජයක් බවට පරිවර්තනය කර තමාම එහි ආඥාදායකයා බවට පත්වීමයි. හිට්ලර් ඊට කලින් පැවැති මහජන මතය විමසීමේදී තමා ලත් අති විශාල මහජන වරම පාවිච්චි කළේ වයිමා ජනරජ ව්‍යවස්ථාවේ ප්‍රජාතාන්ත්‍රික අංග සියල්ල අනුක්‍රමයෙන් අහෝසි කිරීම සඳහාය. අන්තිමේදී ජර්මනියේ ඉතිරි වූ එකම දේශපාලන තන්ත්‍රය ඒක පුද්ගල ආඥාදායකත්වයක් පමණකි.

එම තත්ත්වය හමුවේ උදාසීනව සිටීමේ අති භයානක ප්‍රතිඵල ජර්මනිය පමණක් නොව මුළු මහත් ලෝකයම වින්දාය.

නිදහසේ මේ ව්‍යවස්ථාව ගැන කතාකිරීමට මට ලැබෙන අවසාන අවස්ථාව මෙය විය හැකිය. (බාධා කිරීම්) දැන් එම මහඟු වරප්‍රසාදයේ බලයෙන් මා වෙනුවෙන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් එක්තරා වැදගත් ප්‍රකාශයක් කරනු කැමැත්තෙමි. එනම් ඊනියා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උපයෝගී කරගෙන ගරු ජූනියස් රිචඩ් ජයවර්ධන මේ රටේ ආඥාදායකයා බවට පත්වනදා (බාධා කිරීම්) අපද මෙම ගරු සභාවෙන් බැහැරව නිදහස් සටන අරඹන බවයි. අපි මහජනතාව වෙත ගොස් ඔවුන් සමඟ උරෙන් උර ගැටී ඔබ විසින් නිවා දමනු ලබන නිදහසේ පහන්සිළුව යළිත් දැල්වීමට වෙර වඩමු.

එම සටනේදී අපට විරුද්ධව එල්ලවන බලවේගයන් අපි දනිමු. ඔබ විසින් යළිත් පණගන්වනු ලැබූ දේශීය ප්‍රතිගාමීත්වය සහ නැවතත් ශ්‍රී ලංකාවට පය ගැසීමට අවස්ථාව සලසා දුන් විදේශීය නව යටත් විජිතවාදී බලවේග, අපට එරෙහිවනු ඇත. එමෙන්ම අපටද විරුද්ධව මුළු රාජ්‍ය තන්ත්‍රයේම බලතල පාවිච්චි කෙරෙනු ඇත. (බාධා කිරීම්) ඔබේ නව අණ පනත් යටතේ ඔබේ නව උසාවි ඉදිරියට අප කැඳවා සමහර විට ඔබේ අලුත් පන්නයේ සිර ගෙවල්වලට අප තල්ලු කිරීමට බලාපොරොත්තු වනවා විය හැකිය. (බාධා කිරීම්) එහෙත්, නිදහස සඳහා සටන් කරනු ලබන ජනතාවක් එවැනි බලපෑම්වලින් හෝ ක්‍රියාවලින් බිය ගැන්විය නොහැක. තම නායකයාගේ ලෙයින් අතිපාරිශුද්ධත්වයට එළඹි ඇපකැප වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිසේත් එවැනි තර්ජනවලින් පසුබට නොවනු ඇත. (බාධා කිරීම්)

1977 ඔක්තෝබර් 20 වැනි දින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සලකා බැලීම සඳහා මෙම ගරු සභාවෙන් පත්කළ විශේෂ කාරක සභාවේ සාමාජිකාවක් ලෙස කටයුතු කළ නිසා මම ගරු සභවටත්, රටටත්, මා විසින් කරුණු පැහැදලි කළ යුතුව තිබේ. (බාධා කිරීම්) එදින මෙම ගරු සභාවෙන් ස්ථිර කරගනු ලැබූ යෝජනාව වූයේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා විශේෂ කාරක සභාවක් පත්කළ යුතු බවය. වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විශේෂ කාරක සභාවෙන් ප්‍රශ්න මාලාවක්ද නිකුත් කරන ලදී. විශේෂ කාරක සභාව ඉදිරියේ සාක්ෂි ලබාගත්තේද වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන සම්බන්යෙනි. කාරක සභාවට ඉදිරිපත් කළ වාර්තා කෙටුම්පත් දෙකෙන් එකක්වත් වර්තමාන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සහමුලින්ම ඉවත් කිරීම සම්බන්ධයෙන් වගන්තියක් නොවීය. (බාධා කිරීම්) එවැනි වගන්තියක් එහි නොවූ නිසා කාරක සභාවේ පදනම හා පරමාර්ථ වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම බව වැඩිදුරටත් තහවුරු විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ කාරක සභාවේ කටයුතුවලට සහභාගි වූයේ එම මූලික විශ්වාසය උඩය. එමෙන්ම එසේ සහභාගි වීමෙන් අප බලාපොරොත්තු වූයේ ජාතික රාජ්‍ය සභාවට හිමිවිය යුතු උත්තරීතර තත්ත්වය එයින් තවදුරටත් ගිලිහී යෑම වැළැක්වීම පමණක් නොව එකී ජාතික රාජ්‍ය සභාවේ බලතල එක් පුද්ගලයෙක් අතට ගැනීම නිසා එම පුද්ගලයා ජාතික රාජ්‍ය සභාවේත්, උසාවිවලත් අණසක අබිබවා තවදුරටත් යෑම වැළැක්වීම සඳහාය.

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමට යෝජනා කර ඇති පිළිවෙතට අපි විරෝධය දක්වා සිටිමු. ජනාධිපතිවරයාගේ නිල කාලය පාර්ලිමේන්තුවේ නිල කාලයට වඩා දීර්ඝ වන හෙයින් (බාධා කිරීම්) ජනාධිපතිවරයාගේ පක්ෂය මහමැතිවරණයකදී පරාජය වුවහොත් ඉන් පසුව උග්‍ර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදයක් උදාවන බව මුල සිටම අපි තරයේ පෙන්වා දී ඇත්තෙමු. (බාධා කිරීමක්) අපි මෙය පෙන්වා දුන්නේ කාරක සභා අවස්ථාවේදීයි. බලයේ සිටින ජනාධිපතිවරයාට යම්කිසි විටෙකදී පාර්ලිමේන්තුවේ බහුතර ආසන සංඛ්‍යාවක් හිමි විපක්ෂයට මුහුණදීමට සිදුවුවහොත් එහි ප්‍රතිඵලය වනුයේ තිස් අවුරුද්දකට වැඩි කාලයක් මෙරට සමාජයේ පැවැති ස්ථිරසාර හා පෘෂ්ටිමත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන වාතාවරණය බිඳ වැටීමේ හේතුවෙන් නිතර ගැටෙන සුළු සමාජ අසහනයකට රට භාජනය වීමය.

එවැනි අවස්ථාවකින් රටේ උදාවන තත්ත්වය වනුයේ එක දිගටම පාර්ලිමේන්තුව විසුරුවා හැරීම් මාලාවක් හෝ අවදානම් සහිත සුළු පක්ෂ ආණ්ඩු ගණනාවක් බිහිවීමය. ජනාධිපති හා පාර්ලිමේන්තු ආයතන අතර නිබඳවම ගැටීම් ඇතිවීමෙන් සිදුවන ආණ්ඩු අර්බුද වැළැක්විය හැකි එකම ක්‍රමය වනුයේ මහා මැතිවරණයක් පවත්වා එහි ප්‍රතිඵල අනුව බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් දේශපාලන පක්ෂයේ නායකයා ජනාධිපති වශයෙන් තෝරපත් වූ බව ප්‍රකාශ කිරීමය. මේ ක්‍රමයෙන් ජනාධිපති හා පාර්ලිමේන්තුව අතර ඇති විය හැකි ගැටීම් වැළැක්විය හැකි වන අතරම ජනාධිපති ආණ්ඩු ක්‍රමයක ඇතැයි කියන වටිනා ගුණාංග ලෙස දක්වන ස්ථාවර පාලනයද සහතික කරගත හැකි වනු ඇත. සත්තකින්ම ජන රජයේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා පත් කිරීම සඳහා වර්තමාන රජය පවා අකුරටම යොදාගෙන ඇත්තේද මේ ක්‍රමයම බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

මේ දක්වා පැහැදිලි කිරීමට මා උත්සාහ ගත් හේතූන් උඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම ව්‍යවස්ථා කෙටුම්පත පිළිබඳ විවාදයට සහභාගි නොවීමට තීරණය කර ඇති බව දන්වන්න කැමැතියි. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත සම්මත කර ක්‍රියාත්මක කිරීමෙන් පසු මෙම රජය හිට්ලර් අකුරටම අනුගමනය කළා වනු ඇත. ඒ මඟින් මේ රජය පාර්ලිමේන්තු ක්‍රමය විහිළුවකට ලක්කර, හිට්ලර් කළාක් මෙන්ම, පාර්ලිමේන්තු ක්‍රමයේ ආධාරයෙන්ම ඒකාධිපතියකු බිහි කිරීමට ක්‍රියාකර ඇති බව පෙන්වා දෙන්න කැමැතියි. එහෙත් හිට්ලර්ගේ ඉරණම ගැන සලකන විට ඉතා පැහැදිලි වන කරුණක් නම් පැසිස්ට්වාදී නීතිවලින් හෝ අවි බලයෙන් හෝ මිනිස් නිදහස් මැඬලිය නොහැකි බවයි. මිනිසා ඉවසීමේ අන්තයට පැමිණි විට හා මිනිසා පීඩනයේ උච්ච අවස්ථාවට එළැඹි විට කොතරම් දරදඬු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් තිබුණත්, ධර්මිෂ්ඨ මන්ත්‍රණය කොතරම් වරක් ජප කළත්, මිනිස් නිදහසට හා රටේ ස්වාධීනත්වයට එරෙහිව කෙරෙන මෙම දරුණු පාප කර්මයේ ප්‍රතිවිපාකවලින් මිදීමට මේ රජයට කිසිසේත් නොහැකි වන බව එක එල්ලේම කියා සිටිනවා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන 19 ව්‍යවස්ථා සංශෝධනයට අපි ඡන්දය දෙන්නේ නෑ යැයි කියන ශ්‍රී ල.නි.ප.යට මේ ඉතිහාසය අමතක වී තිබීම ලැජ්ජාවට කාරණයකි. ශ්‍රී ල.නි.ප.යේ නායිකාව සිය කතාව අවසන් කරන්නේ 78 ව්‍යවස්ථාව සම්මත කිරීමෙන් රටේ ස්වාධීනත්වයට එරෙහිව කෙරෙන මෙම දරුණු පාප කර්මයේ ප්‍රතිවිපාකවලින් මිදීමට එ.ජා.ප. රජයට කිසිසේත් නොහැකි වන බවය. ඇය කීවා හරිය. එ.ජ.ප.ය 1994 සිට අද දක්වාත් ගෙවන්නේ ඒ වන්දියය. එ.ජා.ප.ය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ ඒ පාප කර්මයෙන් මිදෙන්න විය යුතුය. එයට බාධා කරන ශ්‍රී ල.නි.ප.යට ඒ පක්ෂයේ නායිකාව මැතිනියගේ වචන වලින්ම කියන කතාවය‍

මව්බ්ම

Back to Top