Sri Lanka Brief
විවරණවිශ්ලේෂන19 නව සංශෝධන නිසා පාර්ලිමේන්තුව බලවත් වෙනවා – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

19 නව සංශෝධන නිසා පාර්ලිමේන්තුව බලවත් වෙනවා – ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

by


මෑතකදී කෙටුම්පත් කෙරුණු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනතුළ අවුල් සහගත තත්ත්වයක් තිබෙන බවට චෝදනා නැගුණා. මේ තත්ත්වය ඔබ විග‍්‍රහ කරන්නේ කොහොමද?

19 වැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත තුළ අවුල් සහගත තත්ත්වයක් තියෙනවා කියන කාරණය මම පිළි ගන්න සූදානම් නැහැ. මේ ගැන සාක්ච්ඡුාව ආරම්භ කළේ අද ඊයේ නෙමේ. ඡන්දයටත් පෙරයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සෝභිත හිමියන්ගේ නායකත්වය යටතේ මීට වසර දෙක තුනකට ඉහතදී ඉඳලාම සාකච්ඡුා කෙරුණා. එහිදී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සහ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය බලගැන්වීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡුා කෙරුණා. විශේෂයෙන් 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක‍්‍රියාත්මක වූ 2010 අවුරුද්දේ ඉඳලාම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කතා කළා. පසුගිය ජනාධිපතිවරණයේ ප‍්‍රධානතම තේමාව වුණේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හා විධායක ජනාධිපති පාලන ක‍්‍රමයේ වෙනස්කම් ඇති කිරීම පිළිබඳවයි.
සාමාන්‍ය ජනතාවට මේ ගැන දැනුමක් අවබෝධයක් නැතත් පුවත්පත් මගින් වරින් වර මේ අවබෝධය ඇති කරන්න අපි උත්සාහ කළා.

ජයම්පතී වික්‍රමරත්න

ජයම්පතී වික්‍රමරත්න


විපක්ෂයේ පක්ෂ කියන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මුලින්ම සාකච්ඡුා කර තීරණය කළ සමහර කරුණු දැන් කෙටුම්පත් වී තිබෙන ලියවිල්ලේ නැති බවයි?

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පත්කළ දේශපාලන කමිටුව තුළ විවිධ දේශපාලන මත තියෙන අය ඉන්නවා. ඒ නිසා ඒ හැම කෙනෙක්ම මේ කෙටුම්පතට එකඟ නොවෙනවා වෙන්න පුළුවන්. අත්තනෝමතික විධායක බලතල ඉවත් කිරීම හා කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුවට වග කියන ක‍්‍රමයක් ඇති කිරීම අවශ්‍යයි. අත්තනෝමතික වචනය එන්නේ විධායක බලතලවලටත් ඉහළින්.

විධායක ජනාධිපති ක‍්‍රමයේ තිබෙන අත්තනෝමතික කාරණා මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ මැතිවරණ ප‍්‍රකාශයෙන් කියැවෙනවා. විධායක ජනාධිපති ක‍්‍රමයේ සමහර අත්තනෝමතික බලතල පමණක් ඉවත් කර තිබෙන බව කොහේවත් සඳහන් වෙන්නේ නැහැ. එය ඉතාම පැහැදිලියි.

දැනට ඉදිරිපත් වී තිබෙන 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඔබ කෙටුම්පත් කර තිබෙන්නේ රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයාට සහ ඔබට අවශ්‍ය ආකාරයෙන් බව ඩිලාන් පෙරේරා අමාත්‍යවරයා චෝදනා කරනවා. ඔබ මේ කතාව පිළිගන්නවාද?

ඔව් ඒ චෝදනාව මට කර තිබුණා මම රාවය පුවත්පතින් දැක්කා. ඒකට මම පිළිතුරක් දීම අවශ්‍යයි. ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය කොහොමද කරන්නේ කියලා එතුමා දන්නේ නැතුව ඇති. රනිල් වික‍්‍රමසිංහ අගමැතිතුමාට ඕන විදිහට මම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කළ බව ඩිලාන් පෙරේරා මහත්මයා මට චෝදනා කරනවා. අගමැතිවරයා ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ඇමතිවරයා හැටියට නම් කරලා තිබුණේ නැතිවුණාට ඒ විෂය භාරදීලා තියෙන්නේ අග‍්‍රාමාත්‍යවරයාටයි. ඒ අනුව එතුමා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳව දේශපාලන කමිටුවක් කැඳෙව්වා. ඒ කමිටුවට ආණ්ඩුවේ ඉන්න සියලූම දේශපාලන පක්ෂ සම්බන්ධයි. ආණ්ඩුවේ නැතත් යෝජිත 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙන දෙමළ ජාතික සන්ධානය සහ ජවිපෙත් මේ දේශපාලන කමිටුවට ආරාධනා ලැබ තිබෙනවා.

මෙම කමිටුවේදී 19වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පතට ඇතුළත් වියයුතු කරුණු කාරණා සාකච්ඡුා කරනවා. මට ඕනෑ විදිහට මේවා කෙටුම්පත් කරන්න මට කිසිම බලයක් නැහැ. මට ඕනෑ ආකාරයට කිසිම ප‍්‍රතිපාදනයක් මෙහි එකතු කරලා නැහැ. මෙහි ඇතුළත් කරුණු කාරණා සියල්ලම දේශපාලන කමිටුවෙන් ගත් තීන්දු. දේශපාලන කමිටුවේ අනුමත නොකළ කිසිම කරුණක් කෙටුම්පතට ඇතුල් කරලා නැහැ. අත්‍යවශ්‍යම මූලික කෙටුම්පත හදන තුන්දෙනෙක් ඉන්නවා. එහි එක් සාමාජිකයෙක් මම.

අනිත් දෙන්නා කවුද?

අනිත් දෙන්නාගේ නම් ප‍්‍රකාශ කරන්න මට කිසිම අයිතියක් නැහැ. ඒක කරන්න බැහැ. ඒ අයත් මේ ක්ෂේත‍්‍රයේ අත්දැකීම් බහුල ප‍්‍රවීණයන්. විශ‍්‍රාමිකයන්.

ඔබ අනිත් දෙන්නා සමගින් මේ කමිටුවේ මොනවාද කෙරුවේ?.

මූලික කෙටුම්පත සම්පාදනය කරලා එය දේශපාලන කමිටුවට ඉදිරිපත් කරනවා. දේශපාලන කම්ටුවේ ඉන්න අය සියලූදෙනාම නීතිඥයන් නොවන නිසා සමහරුන්ට නීතිමය කරුණු ගැන අවබෝධයක් නැහැ. ඒ නිසා අපි සංකල්ප පත‍්‍රිකාවක් හදලා භාෂා තුනෙන්ම මුද්‍රණය කරලා දේශපාලන කමිටුවට දුන්නා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් වන කරුණු කාරණා පිළිබඳ සාරාංශයක් මේ සංකල්ප පත‍්‍රිකාවේ තියෙනවා.

මේ කමිටුව සතියකට වරක් හෝ දෙවරක් එකතුවෙලා සාකච්ඡුා කෙරුවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ කෙටුම්පතට ඇතුළත් කරන කරුණු එකතු කරන්න වගේම වෙනස් කරන්නත් යෝජනා ආවා. ඒ සියල්ලම මම සටහන් කරගෙන කෙටුම්පත් කමිටුවෙන් සකස් කරලා නැවත දේශපාලන කමිටුවට දුන්නා. මට තනියම හදන්න අවසර තිබුණා නම් මම ඔය වගේ කෙටුම්පතක් හදන්නේ නැහැ.

ඉන් අදහස් කෙරෙන්නේ දැන් කෙටුම්පත් වී තිබෙන ලියවිල්ල කෙරෙහි ඔබේ කැමැත්තක් නැති බවද?

දැන් සකස්වී තිබෙන කෙටුම්පතෙහි සමහර යෝජනා කෙරෙහි මම සෑහීමකට පත්වෙන්නේ නැහැ. මම පුද්ගලිකව විරුද්ධයි. අවසන් වශයෙන් ව්‍යවස්ථාව හදන්නේ මම නෙමේ. 1972 අවුරුද්දේදීත් කොල්වින් ආර්. ද සිල්වා මහත්තයා කිව්වේ එතුමා ඇමති වුණත් ව්‍යවස්ථාව හදපු නැති බවයි. එය කමිටුවකට භාර වුණා. කමිටුවේ අය එක්වී කළ සාකච්ඡුාවෙන් පසු ගත් සාමූහික තීරණයකින් ව්‍යවස්ථාව සම්පාදනය වුණා.

කෙටුම්පත්වල තියෙන හොඳ දේ සාමාන්‍යයෙන් යන්නේ දේශපාලනඥයන්ට. ඒවායේ තියෙන නරක දේ එන්නේ ව්‍යවස්ථාව කෙටුම්පත් කළ අයටයි. දේශපාලන කමිටුවෙන් පස්සේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන සාකච්ඡුාව ජාතික විධායක සභාවටත් ගියා. ඉන් අනුමත වුණාට පස්සෙයි කැබිනට් අනුමැතියට ගියේ. මේ කෙටුම්පත ශ‍්‍රීලනිපය ඇතුළු අනිකුත් පොදු පක්ෂ එක්ක සාකච්ඡුා කළ බව ඉන් පැහැදිලි වෙනවා. කැබිනට් එකට ගිය ලියවිල්ල මගින් රටේ පාලන ක‍්‍රමයේ මූලික වෙනසක් සිදුවෙනවා.

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන පාර්ලිමේන්තුව බලගන්වන තත්ත්වයක් මෙහි අඩංගු වුණා. දේශපාලන පක්ෂ සමග කළ සාකච්ඡුාවේදී ජනාධිපතිවරයාත් ඔහුගෙන් පස්සේ ආණ්ඩුවේ ප‍්‍රධානියා වෙන්නේ කවුද යන ප‍්‍රශ්නයත් පැන නැගුණා. ශ‍්‍රීලනිපයත් ජාතික හෙළ උරුමයත් සිටියේ වෙනස් මතවල. ඒ නිසා ජනාධිපතිතුමා සහ අගමැතිතුමා කියා සිටියේ ඒ දෙපළ මේ ගැන සාකච්ඡුා කරලා ඒ සම්බන්ධයෙන් එකඟත්වයකට එන බවයි. එතෙක් ජනාධිපතිවරයා ආණ්ඩුවේ ප‍්‍රධානියා ලෙසටද, අග‍්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා ලෙසටද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය එළිදක්වන්න තීරණය කළා. ඉන් පසු අපි මේ කෙටුම්පත කැබිනට් මණ්ඩලයට භාර දුන්නා. එය අපි ගැසට් කළේ ‘‘ජනාධිපති තුමා සහ අගමැතිතුමා සාකච්ඡුා කර එකඟවනතුරු’’ යනුවෙන් සඳහන් කරමින්. මේ සම්බන්ධයෙන් සාකච්ඡුා කර පසුව එකඟත්වයකට ඒමට තීරණය කළා. ඊට මගේ බලවත් අකමැත්තක් තියෙනවා.

ගැසට් කළ කෙටුම්පතට තවත් යම් යම් සංශෝධන ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා සහ අගමැතිතුමා නැවතත් කිව්වා. ඒ දෙපළ මේ ගැන වැඩිදුරටත් සාකච්ඡුා කරලා තිබුණා.

ඒ අනුව ජනාධිපතිතුමා ආණ්ඩුවේ ප‍්‍රධානියා නොව විධායකයේ ප‍්‍රධානියා ලෙස සඳහන් කෙරුවා. ආණ්ඩුවේ ප‍්‍රධානියා ලෙසට කිසිවෙක් විස්තර කෙරෙන්නේ නැහැ. අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා. මෙය ලංකාවට අලූත් දෙයක් නෙමේ. සෝල්බරි ව්‍යවස්ථාව යටතේත් 1972 ව්‍යවස්ථාව යටතේත් මේ කාරණය තිබුණා. අපේ රාජ්‍ය නායකයා විධායකයේ ප‍්‍රධානියා. එහෙත් ඔහු වැඩ කළේ කැබිනට් මණ්ඩලයේ උපදෙස්වලට අනුවයි. වත්මන් ජනාධිපතිතුමා සහ අගමැතිතුමා එකතුවෙලා කැබිනට් මණ්ඩලයට එකතු කළ සංශෝධන අනුව ආණ්ඩුවේ ප‍්‍රධානියා කියන කාරණයට ජනාධිපතිවරයාගේ කාර්යය භාරයත් ඉවත් කිරීමට තීන්දු කළා. ජනාධිපතිවරයා කටයුතු කළයුත්තේ අගමැතිවරයාගේ උපදෙස් අනුව බවද තීන්දු කළා.

අගමැතිවරයා කියන්නේ කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා. කැබිනට් මණ්ඩලයේ තීරණ ජනාධිපතිවරයාට දන්වන්නේ අගමැතිවරයායි. ඡුන්ද කාලයේදී අපි එකඟවුණේ ජනාධිපතිවරයා කිසිම බලයක් නැති කෙනෙක් විය යුතු බවයි. අපි යෝජනා කරන්නේ නාමික ජනාධි පතිවරයෙක් නෙවෙයි. ජනාධිපතිවරයා අගමැති වරයාගේ උපදෙස් පිට කටයුතු කළ යුතුයි. යම්කිසි උපදේශයකට ජනාධිපතිතුමා එකඟ වෙන්නේවත් පිළිගන්නේත් නැත්නම් අලූත් සංශෝධනයට අනුව තමන් ඊට එකඟ නොවන බව ජනාධිපතිතුමා අගමැතිතුමාට දන්වනවා. එය නැවත අගමැති තුමා පාර්ලිමේන්තුවට දන්වනවා. පාර්ලිමේන්තුව දරන මතය අවසන් මතය ලෙසට ගණන් ගැනෙනවා. මේ කාරණය ඉතාම වැදගත්. පාර්ලිමේන්තුව අවසන් තීරණ ගන්න නිසා පාර්ලිමේන්තුව ශක්තිමත් වෙනවා. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගෙන් පස්සේ ජාතික වැදගත්කමක් ඇති ඕනෑම කාරණයක් පිළිබඳව සාකච්ඡුා කිරීමට කැබිනට් මණ්ඩලය කැඳවීමට තීරණය කළා.

19 වැනි සංශෝධනයට ගෙනෙන යෝජිත වෙනස්කම් පසුගිය සතියේ අගදී සියලූම දේශපාලන පක්ෂ නායකයන්ට දැනුම් දුන්නා. ඉන්පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගයට ගැනීමට තීරණය කළා.

විධායක බලතල ඉවත් කළොත් අධිකරණ ක‍්‍රියාවලියකට යන බව ජාතික හෙළ උරුමය කියනවා.

එය ඔවුන්ට තියෙන අයිතියක්. ඒක අපි පිළිගන්නවා. වෙනස් මතයක් තිියෙනවා නම් ඊට එරෙහිවිය හැකියි. මීට ජනමත විචාරණයක් අවශ්‍යද නැද්ද කියන කාරණය ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි. මුලදී නම් එකඟ වුණේ ජනමත විචාරණයකට ඉදිරිපත් කරන්නේ නැති බවයි. මම ඉන්නේත් මේ ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ කියන මතයේ. එහෙත් ශ්‍රේෂඨාධිකරණය සමහර වගන්ති පිළිබඳව වෙනස් මතයක් දැරුවොත් ඒ අනුව අපි කටයුතු කරන්න සූදානම්.

17 වැනි සංශෝධනයේ කරුණුවලට මොනවාද කරන්නේ?

17 වැනි සංශෝධනයේ කරුණුවලට සියලූදෙනාම එකඟයි. තොරතුරු ලබාගැනීමේ පනතටත් කිසිවෙක් විරද්ධ නැහැ. ප‍්‍රධාන වශයෙන් යම් වෙනස් මත තියෙන්නේ ආණ්ඩු පාලන ක‍්‍රම පිළිබඳවයි. විධායක ජනාධිපති ක‍්‍රමය වෙනස් කළ යුතුද පාර්ලිමේන්තු ක‍්‍රමය වෙනස් කරනවාද. මේ දෙක අතර තිබෙන සංකල්පය කුමක්ද? ඉවත් කරන බරපතළ මොනවාද ආදී කාරණා.

ජනාධිපතිවරයාට ව්‍යවස් ථාවේ දැනට තිබෙන බලතලවලට අමතරව තවත් සුවිශේෂී කාරණා කිහිපයක්ම එකතු වෙනවා. ජනාධිපතිවරයා ජාතික සමගියේ සංකේතය විය යුතුයි. මේ ජාතික සමගිය වෙනුවෙන් එතුමාට යම් කාර්යභාරයක් තියෙනවා. ආණ්ඩුවේ සියලූම අංශ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ආරක්ෂා කරන බවටද ක‍්‍රියාත්මක කරන බවටද වගබලා ගත යුතුයි. ආගමික ජනවර්ග අතර සහජීවනය ඇති කිරීම, සුරක්ෂිත කිරීම හා පහසු කරණය මෙන්ම ජාතික ප‍්‍රතිසන්ධානය හා ඒකාබදධතාව ප‍්‍රවර්ධනය කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සහ ස්වාධීන කොමිෂන් සභාවන්හි නිසි කි‍්‍රයාකාරීත්වය පහසු කරලීම ජනාධිපති විෂය පථයට වැටෙනවා.
මැතිවරණ කොමිසමේ උපදෙස් මත නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම හා ඒ සඳහා උචිත වාතාවරණයක් ඇති කිරීම. මීට අනුව ජනාධිපතිවරයා රූකඩයක් නොවන බව කාටත් වැටහෙනවා. වැදගත් දේ වෙන්නේ කැබිනට් මණ්ඩලයේ මතය, උපදේශය සලකා බැලීමටයොමු කිරීමට තිබෙන අයිතිය. ජනාධිපති හා පාර්ලිමේන්තුව අතර එකඟත්වයක් නැති වුණාම එය පාර්ලිමේන්තුවට යනවා. පාර්ලිමේන්තුව ශක්තිමත් වෙනවා.

19 වැනි සංශෝධනයත් එක්ක 18 වැනි සංශෝධනයට මොකද වෙන්නේ?

18 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ තියෙන සියලූම ප‍්‍රතිපාදන පාහේ ඉවත් වෙනවා. 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත තිබුණ තත්ත්වයට ගෙනෙනවා. උදාහරණයක් වශයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේ ඔහු 17 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව යම් පත්කිරීම් නොකර හිටියා. සමහර රාජ්‍ය ආයතනවල පුරප්පාඩු තිබුණා. එවැනි අවස්ථාවක තමන්ට ලැබෙන නාම යෝජනාවලට අනුව පුරප්පාඩුවලට පුද්ගලයන් පත් නොකළොත් උපරිම සති දෙකක කාලයකදී පත් කළා සේ සැලකෙනවා.

කොල්වින් ආර් ද සිල්වා මහතාගේ කාලයේ ඉඳලාම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය හිරවී තිබෙන බව ඔබ කිව්වා. ඒ කියන්නේ මෙදා සංශෝධනයෙනුත් ගැලවීමක් නැද්ද?

කොල්වින් ආර්. ද සිල්වා මහත්තයා එවකට ව්‍යවස්ථා කටයුතු පිළිබඳ ඇමතිවරයා. මම ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ සාමාජිකයෙක් විතරමයි. ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියේ ජනාධිපතිතුමාගේ උපදේශක ලෙසට මම කටයුතු කරනවා. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේදී මට තියෙන්නේ ඉතාම සීමිත කාලයක්. නමුත් එය ඉතාම වැදගත්. මම ඒ රැුස්වීම්වලට සහභාගි වෙනවා. මූලික වශයෙන් මම අවධාරණය කරන්නේ මෙහිදී අවසන් තීන්දුව ගත්තේ දේශපාලන කමිටුව හා ආණ්ඩුවයි. මම හැම වෙලාවේම වැඩ කෙරුවේ අවසන් තීන්දුවලට අනුවයි.

මේ ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලියේ අවසානය කුමක්ද?

ව්‍යවස්ථා සංශෝධනයක් කියන්නෙ නිතරම තනි කැමැත්තට හදලා ඉවර කරන දෙයක් නෙමේ. සියලූදෙනාම එකතු වෙලා එකඟවෙලා මෙය කෙටුම්පත් කළ යුතුයි. එහිදී සියලූදෙනාම නම්‍යශීලීව කටයුතු කිරීම වැදගත්. මට හිතෙන්නේ එය හොඳ ක‍්‍රියාවක්. ව්‍යවස්ථාවක් දීර්ඝකාලීනව පවතින්නේ ව්‍යවස්ථාවට බොහෝ දෙනා එකඟවෙන තරමටයි. කොහොම හරි හැම දෙනාවම එකඟකර ගතයුතු බව ඉන් අදහස් කරන්නේ නැහැ.
එය කවදාවත් කළ නොහැකි ක‍්‍රියාවක්. දේශපාලන අදහස් තියෙන අයව එකඟ කරගත යුතුයි. සාමූහික එකඟතාව වැදගත්.

මේ වනවිට 19 වැනි ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලියේ කඹ ඇදිල්ලක් තියෙනවා. මෙය අවම කරගෙන ජනතාවට ඵලදායී ආණ්ඩුක‍්‍රම සංශෝධනයකට යාමට තිබෙන හැකියාව කවරාකාරද?

මේ කඹ ඇදිල්ල ලෝකයේ හැම රටකම තියෙනවා. අපි හිතනවා ජනතාවට මේවාට උනන්දුවක් නැහැ කියලා. මේ රටේ මිනිස්සු ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලියට තියෙන උනන්දුව මටනම් හොඳටම තේරෙනවා. මේ දවස්වල ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය සිදුවන නිසා ඒ ගැන මිනිස්සු මට යෝජනා ලියලා එවනවා. දවසකට විශාල ලියුම් කන්දරාවක් මට ලැබෙනවා. මම මේ ලියුම් එකක් නෑර කියවනවා. ඒවායින් බොහෝ දේ ඉගෙන ගන්නවා. ව්‍යවස්ථා සම්පාදනය හා ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් පුරවැසියන්ට තියෙන දැනුම ගැන මම සතුටුවෙනවා.

ඕනෑම පුරවැසියෙකුට මේ කෙටුම්පතට විරුද්ධ වෙන්නත් පුළුවන්. විරුද්ධනම් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන්නත් පුළුවන්. පුද්ගලිකව හෝ කණ්ඩායම් වශයෙන් එසේ කළ හැකියි.

රුක්මාල් සිල්වා
– SLM

Back to Top