Sri Lanka Brief
පුවත්විවරණරටේ අනාගතයට රාජපක්ෂලා ඕනෑද? – නිලන්ත ඉලංගමුව

රටේ අනාගතයට රාජපක්ෂලා ඕනෑද? – නිලන්ත ඉලංගමුව

by

මෙතරම් අවබෝධයකට පසු, මොන සමාවක්ද? – ටී. එස්. එලිඔට් ( ජෙරෝන්සන්)

අපි අවබෝධ කර ගත් මූලික කාරණයක් තිබේ. ඒ වූ කලී, ‘ප්‍රජාතන්ත්‍රවාදයට’ මුවා වී රටේ ජනතාවගේ මූලික අයිතීන් කොල්ල කෑමෙන් සිදුවන විනාශය සහ තම කොල්ල කෑම “දේශහිතෛශී” ප්‍රචාරණ උපායන් මඟින් වසා දැමිය හැකි සීමාවන්ය.

රාජපක්ෂලා දේශපාලනික වශයෙන් මුළු රටට පමණක් නොව ලෝකයටම ප්‍රායෝගිකව තේරුම් ගැනීමට අවස්ථාව ලබා දුන් මූලික කාරණය මෙයයි. එම අවභාවිතයෙන් රටක රාජ්‍ය ආයතන පද්ධතියට කළ උපරිම හානිය මඟින් සිදු වූ සෝදාපාළුව සුළුපටු නොවේ. එහි විනාශය කෙතරම්ද කිව හොත් සමස්ථ රටින් බහුතරයක් වත්මන් දේශපාලන සන්දර්භය හමුවේ “තුෂ්නීම්භූත” කොට ඇත. එමඟින් මෛත්‍රීගේ ආගමනය සහ එම නායකත්වයේ ඇති නිහතමානීකම බාල්දු කොට ඇත. ඊට අඩුවටිනාකමක් ලබා දී ඇත.

රටකට අවශ්‍ය දේශපාලන නායකත්වය වූ කලී කඳ, බඩ සහ චන්ඩිකම මතුපිටට පෙන්වමින්, හොරකම සහ අයුක්තිය තම ජීවිතයේ ක්‍රමවේදය බවට පත් කරගත් අයවලුන් පිරිසක් මෙහෙයවා තම පෞද්ගලික අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම නොවේ. එවැනි නායකත්වයක් වැදගත් වූයේ ගෝත්‍රික සමාජයට සහ වනසතුන් දඩයම් කොට ජීවත් වූ යුගයටය. මන්ද එහි විෂය සෑම අයෙකුටම පොදු එකක් වූ බැවිනි. එවැනි යුගයන්වලින් සංඛේතීය වශයෙන් නිදහස් වුවද, දේශපාලනයේදී දැක ගත හැකි වඩාත් ආකර්ශනීය කාරණය වන්නේ,එම යුගයන්වලදී අපට දාව තිබු ගති බැහැර කිරීමට ඇතැමුන් දක්වන මැලිකමයි. යුද්ධය නිමාවීමෙන් පසු, යුධ “ජයග්‍රහණයට” මුවා වී රාජපක්ෂලා සිදු කරනු ලැබූ දේශපාලනය නාභිගත වන්නේ එම මුලික කාරණය මතය.

තමන් අතින් අනුන් නිසා සිදු වූ වැරදි තමන් අවබෝධ කරගෙන ඇති බවත් මින් මතුවට එවැන්නක් සිදු නොවන බවත් හිටපු ජනාධිපතිවරයා මේ දිනවල නිතරම ගයන ගීතයයි. අනෙකාගේ අනුකම්පාව දිනා ගැනීම මෙන්ම, අනෙකා තමන්ට අනුකම්පා කිරීමට පටන්ගෙන ඇති බව අවබෝධ කරගත් විට මෙවැනි ගායනයන් සාමාන්‍ය දෑ වේ. අනුකම්පා කළ පමණින් තම ඡන්දය අනුකම්පාවට බාල්දු කිරීමට යොමුවේදැයි සිතිය නොහැකිය.

නමුත් වැදගත් කාරණය වූ කලී, රටේ සිදු වූ අකටයුතුකම් වලට හේතුව තමන් වූ විට, තමන් වටා සිටි අයවලුන් විවේචනය කිරීම වූ කලී, තමන් අතීතයේ සිදුකළ දේශපාලන වංචාවේ වෙස් මාරුකර ගැනීමක් පමණි. මෙවැනි දෑ වලට රැවටීමෙන් වත්මන් දේශපාලනික අවස්ථාව ඉතා ඛේදනීය ලෙස අහිමි විය හැකිය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෞද්ගලික ක්‍රමෝපායන් මඟින් තම අභිමතයන් මුදුන් පමුණුවා ගැනීමෙහිලා සාර්ථක දේශපාලනඥයෙකි. නමුත් ඔහුගේ උපායන් ග්‍රාමීය කේන්ද්‍රීය වූ අතර සෑම විටම තම අභිමතය සාදාරනීකරනය කර ගැනීම සඳහා ඕනෑම අයෙකු බිල්ලට දීමට කිසිඳු මැළිකමක් නොදක්වන අයෙකු වූයේය. මෙවැනි මානසිකත්වයක් කොටි සංවිධානය වැනි පසුකාලීනව තම ගැඹුරු දේශපාලන විඥාය යුධමය සහ විදෙස්ගත දෙමල ජනතාවගේ පැවැත්ම වැනි කාරණාවලට යටත් කරනු ලැබූ සංවිධානයක් මර්ධනය කිරීමට වැදගත් වූ නමුත් රටක සැබෑ ගැටලු විසඳීම සඳහා වැදගත් වේ යැයි සිතීම මුලාවකි.

මින් ඔබ්බට යෑමට අවශ්‍යනම් මෙය තේරුම් ගැනීම පමණක් නොව, ඉන් මිදීමේ මාර්ගය අවබෝධ කර ගත යුතුව ඇත.

ඒ සඳහා වූ දේශපාලනික අවබෝධයක් රටේ පවතින ගැටලු වලින් සැබෑ ලෙස බැට කැන ජනතාව අතර තිබේද? එවැනි අවබෝධයක් ජනතාව අතර ඇති කිරීම සඳහා වැඩපිළිවෙලක් තිබේද? එම වැඩපිළිවෙල ජනතාව අතරට රැගෙන යෑම සඳහා සැබෑ පිරිසක් සිටින්නේද?

සෑම දේශපාලන ව්‍යාපාරයක්ම එක්තරා සීමාවකදී කුමන හෝ බලවේගයක අතකොළුවක් බවට පත් වී එහි මුල් අරමුණු යටපත් වන්නේ මන්ද? මෙය ලංකාවට පමණක් පොදු දෙයක් නොවේ. සෑම රටක්ම පාහේ මෙවැනි අවස්ථා පසු කොට ඇත. ඇතැමෙක් තම මුලික අරමුණු වෙනුවෙන් අවසානය දක්වා සටන්වැද ජයග්‍රහණය කොට ඇත, තවකෙක් පෞද්ගලික ආශාවන් හමුවේ එවැනි දෑ බාල්දු කොට සමස්ථ රටම අවාසනාවන්ත තත්වයකට තල්ලු කොට ඇත. ශ්‍රී ලංකාව, පිලිපීනය මෙන්ම ඉන්දුනීසියාව මේ සඳහා කදිම අතීත උදාහරණයන් වේ.

අපට, ලැබී ඇති අවස්ථාවන්වල ඇති වපසරිය තේරුම් නොගෙන ඒවා පටු අභිමතාර්ථයන් වලට ලඝු කිරීමේ වන්දියේ ඇති පරිමාණය තේරුම් ගැනීමට 2015 වනතෙක් ගත විය. නමුත් රාජපක්ෂලා පරාජය කිරීමෙන් පසු ලැබී ඇති අවස්ථාව නිවැරදිව භාවිතා කරන්නේද? මෙම අවස්ථාවද, අත්හල සහ මඟ හැරුණු එකක් බවට ඉතාම කෙටි කාලයකදී පත්වීමට ඉඩ තිබේද? යන කාරනා එකිනෙකා තේරුම් ගත යුතුව ඇත.

දශක ගණනාවක් තිස්සේ රට පාලනය කළ ටියුනිශියාවේ බෙන් අලී, එක් වීදී-වෙළෙන්දෙකුගේ මාර්ගයෙන් ආරම්භ කළ උද්ඝෝෂණයකින් පන්නා දැමීමට හැකි විය. ඊජිප්තුවේ මුබාරක් සංඛේතීය වශයෙන් පමණක් හෝ නීතිමය රාමුවකට යටත් කිරීමට හැකි විය. කුමන බලවේගයක හෝ අරමුණු මුදුන්පමුණුවා ගැනීමට ගඩාෆි බලයෙන් පහ කිරීමට එරට ජනතාව ඒකරාශී වූහ. නමුත් එම දේශපාලනික වෙනස් කම් වලින් පසු එම රටවල් තම කෲර පාලකයා යටතේ තිබු තත්වයට වඩා වෙනස් වූයේද? ඒ වෙනුවට සිදු වූ වෙනස ගැන කලකිරීමට සහ පසු තැවීමට පත් වූයේද? අරාබි වසන්තය තුළ කියවෙන දේශපාලනය, සෑම රටකම ඇති සැබෑ ගැටලු වල ප්‍රතිබිම්භයක් තන්නනේය.

එක පවුලක් සහ එම පවුල වටා ඒකරාශී වූ හොරුන් රැළක් සාර්ථක සහ දේශහිතෛශී පාලකයින් ලෙස පෙනීම සහ දේශපාලනික පටු අභිමතාර්ථයන් වලින් ඔබ්බට ගිය ශුද්ධ වූ අරමුණකින් බිහිවන දේශපාලනික කණ්ඩායමක් හෝ සංධානයක් අසාර්ථක පරිපාලනයක් වේ යැයි උපකල්පනය කිරීම අතර මෙරට දේශපාලනය සිර වී තිබේ.

එසේ වීමට මුලික හේතුව වූ කලී, මෙම පරිපාලනයන් දෙක තුළම සිටින රාජ්‍ය පරිපාලන නිලධාරී පැලැන්තිය එක සමාන වීමය. මෙම පරිපාලන නිලධාරී පැලැන්තියට දේශපාලනයට වඩා ලාභය වැදගත්ය. රාජකාරියට වඩා තම තත්වය මඟින් අනෙකාව යටපත් කිරීම වැදගත්ය. රටක ආයතන පද්ධතිය දිරා යන්නේ මෙම මැක්කන් හේතුවෙනි. පිලිපීනයේ මාකොස්ගෙන් පසු උදා වූ තත්වය මෙයයි. වර්තමානයේදී පවා බොහෝ දෙනෙකු මාකෝස් සාර්ථක පාලකයෙකු ලෙස දකින්නේ මේ නිසාය.

වර්තමාන භූමිකාව හමුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ භුමිකාව කියවෙන්නේද මේ අනුවය. රාජපක්ෂ ගැලවුම්කරුවකු වන්නේ රටට නොවේ. ඔහු වසර ගණනාවක් තිස්සේ නඩත්තු කරනු ලැබූ අයවලුන්ටය. රටේ රාජ්‍ය ආයතනවල ඉතා වැදගත් ස්ථාන තවමත් ඔවුන්ගේ ග්‍රහණයේ පවතින්නේය.

මෛත්‍රී අතින් සිදුවන එක් සුළු අත්වැරැද්දක් රාජපක්ෂට තම අරමුණු ඉටු කරගැනීමේ මාවතයෙහි සැතපුම් ගණනාවක් පසු ක්‍ෂණිකව පසුකිරීමට අවස්ථාව සලසා දෙන්නේය. මේ නිසා ආඥාදායකයා පරාජය කොට තමන් ජනතාවට ලබා දුන් ඓතිහාසික ජයග්‍රහණය රටේ අනාගතය තීන්දු කරණ බලවේගය බවට පත් කිරීමටනම් තමන් එරෙහි වූ දේශපාලනය සෑම විට ඈත්කර තැබීම සහ එහි හැසිරීම ගැන මනා සිහියෙන් පසුවීම වැදගත් වේ.

රාජපක්ෂලාට, තම අතවැසියන් දමා හූ කීමෙන් සහ ගල් ගැසීමෙන් ඔබ්බට ගිය දේශපාලනයක් නොමැත. එසේම රාජපක්ෂ ශ්‍රී ලංකා නිදහස පක්ෂය කැඩීමට යන්නේ යැයි බළලුන් ලාවා කරණ කොස් ඇට බෑම, මෛත්‍රීට ආශීර්වාදයක් වේ. මන්ද, මහින්ද ශ්‍රී ලංකා නිදහස පක්ෂයෙන් ඉවත් වුවහොත් එය එම පක්ෂය දීර්ඝ කාලීනව අත්පත් කරගන්නා ජයග්‍රහණයකි.

මෙහිදී, යළිත් මතක් කළ යුතු මුලික කරණය වූ කලී, මෛත්‍රී මෙන්ම චන්ද්‍රිකා කටයුතු කළ යුතුව ඇත්තේ, මහින්ද නොමැතිව මැතිවරණ ජයග්‍රහණය කිරීමේ හැකියාව තමන්ට ඇති බව ලෝකය හමුවේ ඔප්පු කිරීමය. එය රාජපක්ෂ පාරාජය කිරීමෙන්ම පෙන්වනු ලැබුවේය. එසේ නම් මහාමැතිවරණ ජයග්‍රහණය කිරීම අපහසුවිය හැකිද?

රාජපක්ෂලා වූ කලී ඉතිහාසයයි. එම ඉතිහාසය තුළ මුළු රටම ඔවුහු හමුවේ දනින් වැටී තම කෘතගුණ සලකා ඇත. වාර්ෂික අයවැයෙන් සීයට අසූවකට ආසන්න මුදලක් වියදම් කිරීමට අවශ්‍ය උපරිම නිදහස ඔහුට ලබා දුන්නේය. එය වර්තමානයට සම්බන්ධ වුවහොත් සිදුවන්නේ විනාශයක් මිස යහපතක් නොවේ. රාජපක්ෂගේ දේශපාලනය ගැන රටම ලබාගත් බරපතල අවබෝධයකින් පසු, තවත් මොන සමාවක්ද?

Back to Top