Sri Lanka Brief
පුවත්නොගිය ගමනක කටු සටහන – සුනන්ද දේශප්‍රිය

නොගිය ගමනක කටු සටහන – සුනන්ද දේශප්‍රිය

by

(සන්ධ්‍යා, එස්තෙලා සහ ජමීනා (C) සුනන්ද දේශප්‍රිය)

මෙම සටහන ලිවීම පටන් ගන්නා අදට එනම් අප්‍රේල් 13දාට හරියටම මසකට පෙර උදෑසන 9.00 වන විට මා ක්ෂමා ජාත්‍යන්තරයේ වැඩ මුළුවකට යා යුතුව තිබුණි. ඒ මානව හිමිකම් කවුන්සිලයේ මාර්තු සැසිවාරයට සහභාගිවීමට පැමිණ සිටි ජමීනා සිත්ති සහ සන්ධ්‍යා එක්නැළිගොඩ යන දිරිමත් සහ අධිශ්ඨානශීලී ස්ත්‍රීන් දෙදෙනාගේ අදහස් ඉංග්‍රිසියට පෙරළා වැඩ මුළුවට ඉදිරිපත් කිරීම පිණිස ය.

එමෙන්ම ශ්‍රී ලංකාවේ අතුරුදහන්වීම් පිළිබඳ මාර්තු සැසි වාරයෙහි සිය ක්‍රියාරිත්වයන්ට සහභාගි වීම පිණිස ක්ෂමා ජාත්‍යන්තරය විසින් ආරාධනා කරන ලද ආජන්ටීනියානු මානව හිමිකම් ක්‍රියාකාරිනියක වූ එස්තෙලා දි කරලොත්තෝගේ අදහස් සිත්ති සහ සන්ධ්‍යාට සිංහල බසින් පැහැදිලි කිරීම ද පිණිස ය. එස්තෙලා දි කර්ලොත්තෝ ‘ආජන්ටීනාවේ අතුරුදහන්වූ මුණුපුරන් මිණිපිරියන්ගේ මිත්තණියන් සහ මුත්තනුවන්ගේ සංවිධානය’ හි ස‍භාපතිනිය වේ.

ඒ ගමන යාමට ඔන්න මෙන්න කියා තිබියදී අහම්බ අනතුරකට ලක් වූ මා තවම ඉන්නේ අර්ධ ආබාධිත තත්වයේ ය. ජමීනා, සන්ධ්‍යා සහ එස්තෙලා යන නිර්භීත ස්ත්‍රීන් තිදෙනා අරභයා මසිතෙහි ඇදෙමින් තිබූ කටු සටහන් වචන බවට පත් කිරීමට මාසයක්ම ගත වුයේ මෝෆීන් සහ වැලියම් විසින් අඩපණ කරනු ලැබ සිතිවිළි එකළස් කර ගත නොහැකිව සිටි නිසා ය.

ජමීනා සිත්තිගේ පුතා වූ මොහොමඩ් හකීම් 2009 වසරෙහි මාර්තු 21 දා පොලිස් නිලධාරීන්ට සමාන පිරිසක් විසින් අත් අඩංඟුවට ගන්නා ලදුව ආගිය අතක් නැති විය. ත්‍රී රෝද රථ රියදුරකු වූ හකීම්, කැනඩාවේ සිට පැමිණි බව කී දෙමළ ජාතික තරුණයකු සමඟ කුලී ගමනක යෙදී සිටිය දී සුදු වෑන් රථයකින් පැමිණි පිරිසක් රථය නවත්වා එම තරුණයා අත් පැහැර ගත්තේ ය. ‘අයියා මාව බේරා ගන්න’යි එම තරුණයා කළ හඩා වැටීම හමුවෙහි ‘ඇයි සර් මෙයා අරන් යන්නේ? ’ යැයි හකිම් අසුවිට ‘ ආ උඹටත් යන්න ඕනෑ ද? ’ යි ඇසු සුදු වෑන් කල්ලිය ඔහු ද වෑන් රථයට දා ගත්තේ ය.

ජමීනා සිත්ති එදා සිට සිය පුත්‍රයා සොයමින් යන ගමනෙහි එක් අවස්ථාවක් වූයේ පසුගිය මාර්තුවෙහි මානව හිමිකම් කවුන්සිලයට ආ ගමන ය. ජමීනා සිත්ති රාජපක්ෂ භීෂන යුගයෙහිද සිය පුත්‍රයා සොයා යක ගමනෙහි ජිනීවා පැමිණ තිබුණි. එපමණක් නොව මානව හිමිකම් මහ කොමසාරිස්වරිය වූ නවී පිල්ලේගේ ශ්‍රී ලංකා සංචාරය අතරතුරද කැපී පෙනෙන භූමිකාවක් රඟ පා තිබුණි.

ජිනීවා හි මා නවාතැනෙහි හවුලේ බුරියානි පිසමින් සිටින අතර වාරයෙක ‘ලංකාවට ආ විට අපේ ගෙදරත් එන්නැයි’ ජමීනා කළ ආරාධනය අනුව මේ අප්‍රෙල් මාසයේ එහි එන බව ශ්‍රී ලංකාවේ අතුරුදහන්වීම් පිළිබඳව මාර්තු 12 වනදා ජිනීවාහි පැවැති උද්ඝෝෂනයේ දී ඇයට මම කීවෙමි. සිය පුත්‍රයා ගැන යළි යළි මෙනෙහිවීමෙන් ඇගේ දැස් කඳුළින් පිරී තිබුණි. උද්ඝෝෂණය තිබුණේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියෙහි කකුළක් පුපුරා ගිය පුටුව ඇති චතුරශ්‍රයෙහි දී ය. ඇයට කොතරම් හැඩුම් ආවේ ද යත් ඇය ඇද වැටිමට ආසන්න විය. එහි වූ බංකුවක් අසළට වාරුවෙන් ගිය ජමීනා ‘මං මෙතන ටිකක් වාඩි වෙන්න ද’ යැයි ඇසුවා ය. ඇය අස්වැසීමේ යෙදී සිටියේ මොහාමඩ් හකීම් අතුරුදහන් වී මාස 10කට පසු අතුරුදහන් වූ සිය සැමියා සොයා අනවරත අරගලයක යෙදී සිටින සන්ධ්‍යා එක්නැළිගොඩ ය.

එස්තෙලා ආජන්ටීනාවෙහි යුද හමුදා පාලකයින් විසින් අතුරුදහන් කරන ලද තිස් දහසකට ආසන්න ජනයා වෙනුවෙන් නැගී ආ ඥාති ව්‍යාපාරයන්හි කොටස්කාරියක බවට පත් වූයේ මෙයට 37 වසරකට පෙර 1079 දී ය. ඇයගේ පවුල හමුදා ඒකාධිපතිත්වයට එරෙහිවූ විවිධාකාර ජනතා ව්‍යාපාරන් හා සම්බන්ධ වූ පසුබිමක් පැවැතුනි. එස්තෙලාගේ දියණිය ලවුරා සහ ඇගේ සහකරැ 1977 නොවැම්බර් මාසයේ දී යුද හමුදා පිරස් විසින් පැහැර ගන්නා ලදී. පැහැර ගැනුණු අවස්ථාවෙහි ලවුරා තෙමස් ගැබිණියක විය. 1978 ජූනි මාසයේ දී පුත්‍රයකු ප්‍රසූත කරන තුරු යුද කදවුරක රඳවා සිටි ලවුරා නිදහස් කරනු ලදැයි සඳහන් කොට ඝාතනය කරන ලදී. ගැබ්බර සැකකාරියන් මරා දමනු වෙනුවට යුද හමුදාව කළේ දරුවන් ප්‍රසූත කිරීමෙන් පසු ඔවුන් ඝාතනය කිරීමයි. එම දරුවන් එක්කෝ යුද හමුදා නිලධාරීන් හෝ යුද හමුදාවට සම්බන්ධ පවුල් විසින් අරන් හදා ගැනුණි. යටි බඩ සහ මුහුණ දරුණු ලෙස තුවාල කර මරා දමා තිබූ ලවුරාගේ මළ

සිරුර දරු උපතින් මසකට පසු සොයා ගැනුණි. අතුරුදහන් වූ දස දහස් ගණනාව අතුරින් ඝාතනයෙන් පසු සොයා ගැනුණූ ඉතාම සුළු පිරිස අතරට ඇය එක්විය.
එවකට විදුහල්පතිනියක වූ එස්තෙලා දි කරලෙත්තෝ එම අගොස්තුවේ දී ම විශ්‍රාම ගෙන 1979 අප්‍රේල් මාසයේ දී සිය මුණුපුරා සොයා ගනු වස් ‘ආජන්ටීනාවේ අතුරුදහන්වූ මුණුපුරන් මිණිපිරියන්ගේ මිත්තණියන් සහ මුත්තනුවන්ගේ සංවිධානය’ ට බැදුණි. අතුරුදහන් කරන ලද සිය දියණියන්ගෙන් පැහැර ගන්නා ලදැයි වාර්තා ගතව සිටි අලුත උපන් දරුවන් 500ක් පමණ නිදහස් කරවා ගැනීම එම මිත්තණියන් සහ මුත්තණුවන්ගේ සංවිධානයේ අරමුණ විය.
අතුරුදහන් වු සිය සැමියා සොයා දැනට වසර පහක් පුරා අනවරත ව්‍යාපාරයක යෙදී සිටින සන්ධ්‍යා එක්නැළිගොඩ සහ අතුරුදහන් කරන ලද සිය පුත්‍රයා සොයා දෙන ලෙස වසර සය වසරක් පුරා අතනෑර අයදිමින් සිටින ජමීනා සිත්ති මෙන් එස්තෙලා දි කර්ලෙත්තෝද උප්පත්තියේ දී පැහැර ගන්නා ලද සිය මුණුපුරා සෙවීමට සිය ජීවිතයම කැප කර සිටියා ය. ඇය විවිධ හෝඩුවා අනුව නගරයෙන් නගරයට පමණක් නොව රටින් රට පවා ගියා ය. සිය සංවිධානය පිහිටුවා වසර පහකට පසු මිත්තණියන් සහ මුත්තනුවන්ගේ සංවිධානය ප්‍රථම මුණුපුරා සොයා ගත්තාය. අද වන විට ඔවුන් විසින් එළෙස උපතේදී පැහැර ගන්නා ලද දරුවන් 114 දෙනෙකු සොයා ගෙන තිබේ. ඒ එස්තෙලාගේ මුණුපුරා ය.

ආජන්ටීනාවෙහි යුද හමුදා පාලනයන් පෙරළා දමා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් ඇති කිරීම මෙම සොයා ගැනීම් සඳහා මහෝපකාරී වූ නමුත් අතුරුදහන්වුවන්ගේ සංවිධාන හුදු උද්ඝෝෂනික මාවතට සීමා නොවී වඩා විධිමත් ක්‍රියාකාරිත්වයන් කරා ගමන් කිරීම ද අත්‍යවශ්‍ය සාධකයක් විය. ඒ සඳහා ඔව්හු ඝාතනය කරන ලද දියණියන්ගේ ජාන බැංකුවක් ස්ථාපනය කොට පැහැර ගන්නා ලද දරුවන්ගේ උපන් දින යනාදිය ප්‍රසිද්ධියට පත් කරමින් පුළුල් ප්‍රචාරයක් ගෙන ගියා ය.

සිය නොදුටු මුණුපුරා සොයා ගැනීම පිණිස සිය ජීවිතය කැප කර වසර 35කට පසු එනම් 2014 අගෝස්තු 05 දා තමා සිය මුණුපුරා සොයා ගත් බව එස්තෙලා ප්‍රකාශ කළේ හැඟුම් බරවය. මිත්තණියන් සහ මුත්තනුවන්ගේ සංවිධානය විසින් පිහිටුවා තිබූ ඝාතනය කරන ලද දියණියන්ගේ ජාන බැංකු හමුවෙහි ස්වේජ්චාවෙන් ඉදිරිපත් වූ ඉග්නාට්සියෝ හුර්බන් නම් තරුණයාගේ ජාන එස්තෙලාගේ දියණියගේ ජාන සමඟ ගැලපුනි. ඔහු ඒ වන විට ජෑස් සංගීත කණ්ඩායමකට නායකත්වය දෙමින් ඔලවේරියා නම් ආජන්ටීන නගරයක සංගීත පාසැළක අධ්‍යක්ෂක ලෙස දිවි ගෙවමින් සිටියේ ය. සිය සැඟවුණ අනන්‍යතාවය ප්‍රසිද්ධියේ හෙළිකිරිමෙන් ටික දිනකට පසු ඔහු සිය නම ඉගනාට්සියෝ ගුයිදෝ මොන්තායෝ කර්ලෙත්තෝ නමින් වෙනස් කර සිය මව සහ පියාගේ නාමය ලබා ගත්තේ ය.

එස්තෙලාගේ මෙකී අත්දැකීම් බෙදා ගැනීමට නියමිත වූ මාර්තු 13 දා මා සිටියේ අඩ සිහියෙන් එක දිගට නහර ගත කැරුණු මොෆීන් සහායෙන් වේදනාව තුනී කර ගනිමිනි. මා සීටී ස්කෑනයට යොමු කල ජිනීවා කැන්ටන් රෝහලෙහි වෛද්‍යවරු මගේ තුනටිය අයත් ඊට පහළ කටී (lumbar)යනුවෙන් හදුන්වන පළමුවන ඇටය බිදී ඇති බව පැවසූහ. ඒ සමඟම ඔව්හු මෙසේද කීහ: ‘ නමුත් ඔබේ හතරවන කටී ඇටය ද කළකට පෙර බිදී තිබෙනවා’ ඒ බිඳුම සිදු වූයේ 1995 වසරෙහි යුදවාදී නන්නත්තාර කන්ඩායමක් විසින් බේරුවල දී මා වට කොට කරන ලද මාරාන්තික පහරදීමක් නිසා ය. චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව යාපනය අල්ලා ගැනීමේ ජය සිකුරු මෙහෙයුම දියත් කර තිබූ අතරවාරයෙහි යුද විරෝධියකු ලෙස මා හදුනා ගත් එම කල්ලිය පහර දුන්හ. එම පිරිස සංවිධානය කරන ලද්දේ ‘ඔබේ යාලුවෙක්’ යැයි මට කීවේ එවකට එම ආන්ඩුවේ ම ඇමැතිවරයකු වූ මහින්ද රාජපක්ෂ මහතා ය. ඔහු මගේ යාළුවා යැයි සඳහන් කළේ තවත් අමැතිවරයකු වූ එස්.බී. දිසානායක මහතා ය.

ඒ කෙසේ වෙතත් ඉහත සඳහන් දේශපාලනඥයින් බොහෝ දෙනෙකු, වෙසෙසින්ම එවකට ක්‍රීඩා ඇමැතිවරයා වූ එස්.බී. නිසි ප්‍රතිකාර ලබා ගැනීමට මට සහාය වූහ. නමුත් වෛද්‍යවරුන් කියා සිටියේ මෙම බිදීමෙන් ඇතිවන වේදනාව කාලය සමඟ උත්සන්න වනු ඇති බවයි.

මේ සියළු සිතිවිළි විසින් අඩපණ කර තිබූ මා හට මේ අවස්ථාවේදී දිරිය සැපයීමට සන්ධ්‍යා සහ සිත්ති පැමිනීම දෛවයේ ඉරමණක් බදුවිය. ඊට පෙරදා මා ඔවුන්ට දිරිය සපයමින් සිටියෙමි.ඔවුන් සිටියේ දුක් බරිතවය. දැන් ඉන් දිනකට පසු දුක් බරිත වූ මා ඇඳ අසළ මට දිරිය සපයමින් සිටි පිරිස අතර අතුරුදහන් වූ සිය සැමියා සහ පුතා සොයමින් මහා අරගලයක නිරත මෙම ස්ත්‍රීන් දෙදෙනා කැපී පෙනුනි. මා දෑත් අල්ලාගෙන ‘ ඉක්මනට හොඳ වෙන්න’ යැයි පැතූහ. ආපසු ලංකාවට යනු පිණිස ගුවන් තොටට යන ගමනේ දී පවා හනි හනික ඒ දෙදෙනාම මා සැනසීම පිණිස රෝහලට ආහ.

යුද බිමෙහි ලද දරා ගත නොහැකි වේදනාව ඉවසා දරා සිටින්නේ කෙසේ දැයි අප තරුණ කාලයේ වීර කාව්‍යක් වූ ‘සැබෑ මිනිසකුගේ කතාව’ හි වීරයා වන පවෙල් කොර්චාගින්ගෙන් ඇසූ විට ඔහු මෙසේ කිය යි. ‘ඔරොද් කියවන්න’. ඔරොද් යනුවෙන් රුසියානු බසට පරිවර්ථනය වූ එතල් ලිලියන් වොයිනිච්ගේ ‘ද ගැඩ් ප්ලයි’ නම් පවෙල් කොර්චාගින් කියූ ඒ කතාව මට කියවන්නට ලැබුනේ සිර ගෙදරින් නිදහස්ව නෙදර්ලන්තයට ගිය 1979 දී ය. පසු කළෙක සුගතපාලද සිල්වා විසින් ‘ඇට මැස්සා’ නමින් සිංහලට පරිවර්ථනය කරන ලද්දේ මා ලංකාවට රුගෙන ආ එම පිටපත ය.

කටී ඇට දෙකක් බිදීමෙන් ඇතිවූ මහත් වේදනාවෙන් අසරණව සිටි මට ඉවසා සිටීමට ‘ඔරොද්’ යළි කියවීම අවශ්‍ය නොවීය. ඒ ඇද වටා සිටි සන්ධ්‍යා සහ සිත්තා ඇතුලු බොහෝ දෙනෙකු ද මා අමතා කතා කළ එවැනි කායික සහ මානසික වේදනාවන්ට ලක්වූ බොහෝ සහෝදර සහෝදරියන්ද නිසා ය. එස්තෙලා ද කර්ලෙත්තෝ වැනි සදා කාලික වේදනාව අරගලය සඳහා සතුට මුසු පන්නරයක් බවට පත් කරගත් ලොව පුරා අතනෑර සටන් කරන ගැහැනුන් ද නිසා ය.
ඒ හැමට ජයවේවා!

Back to Top