Sri Lanka Brief
පුවත්තුන් මාසය ගෙවෙද්දී මෛත්‍රී ගොඩ; රනිල් සහ මහින්ද වැට උඩ

තුන් මාසය ගෙවෙද්දී මෛත්‍රී ගොඩ; රනිල් සහ මහින්ද වැට උඩ

by

කාංචන දසනායක විිසිනි.

අලුත් ජනාධිපතිවරයා සහ අලුත් ආණ්ඩුව පත්වී මාස 3 ක කාලයක් ගත වී ඇත. දැන් මධුසමය අවසන්ය. යථාර්ථයට මුහුණදිය යුතු කාලය එළැඹ තිබේ. ගෙවී ගිය කාලසමයේ මේ ආණ්ඩුවත්, ජනාධිපතිවරයාත් මැතිවරණයේ දුන් පොරොන්දු ඉටුකිරීමට හෝ ඒවා රැකීමට උත්සාහ කළේද? යන ගැටලුව බොහෝ දෙනෙකුට තිබේ. එසේ කියන්නේ පසුගිය සමයේ සිදුවූ ඇතැම් දේ ‘යහපාලනය’ යන වචනයට ගැළපෙන්නක් නොවන නිසාය. ප්‍රශ්නය ඇත්තේ මේවා රාජපක්ෂ සමයේ තරම් බරපතළද? නැද්ද? යන්න නොවේ. රාජපක්ෂ පාලනය නිමාකිරීමට ජනතාව තීරණය කරන්නේ එහි තිබූ දුර්වලතා නිසාය. රාජපක්ෂ පාලනයේත්, චන්ද්‍රිකා පාලනයේත් දැකගත හැකිවූ පොදු ලක්ෂණය වන්නේ ඊට පෙර පැවති ආණ්ඩුව විවේචනය කිරීමයි. ඔවුන් නිසා වර්තමානයේ මෙසේ වෙනවා යැයි කීමයි. එය දින සියයේ යහපාලන ආණ්ඩුවද කරමින් සිටියි. එසේ කියන්නට වී ඇත්තේ ඇයි? මැතිවරණ සමයේ දී තිබූ තත්ත්වය වෙනස් වෙන්නේ ඇයි? ජනතාව පුංචි දෙයත් විශාල ලෙස දකින්නේ ඇයි? මාස 3 ක් ගිය තැන ජනතාව අපේක්ෂා භංගත්වයට පත්වන්නේ ඇයි? විමසිය යුතු කරුණු මේවාය.

මෛත්‍රී සහ ශ්‍රී.ල.නි.ප.ය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයාව සිට විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රී ගැසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ රාජපක්ෂවරුන්ගේ බලයට එරෙහිව කැරැල්ලකි. එසමයෙහි මහින්දට එරෙහි වෙන්නට අද කෑ ගසන කිසිදු ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙකුට හැකියාවක් තිබුණේ නැත. මෛත්‍රී පැහැදිලිවම ජීවිතාවදානමක් ගත්තේය. ඔහුගේ වාසනාවකට ඔහු දිනුවේය.

එයින් පසු රාජපක්ෂ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දියවන්නට ගන්නේ සරල යථාර්ථයට අනුවය. එහෙත් මෛත්‍රී නොකරන්නේ තමන්ගේ බලයක් පක්ෂය තුළ ගොඩනැගීමයි. මැතිනියගේ සිටම වසර 45 කට අධික කාලයක් පක්ෂයේ නායකයා තමන්ගේ බලය රැකගැනීමේ කාර්යය සහ බල ව්‍යාප්තිය සිදුකිරීමට හුරු වී සිටින දේශපාලකයන්ට මෙන්ම ජනතාවටද මෙය තේරෙන්නේ නැත. කොටින්ම කිවහොත් මෛත්‍රී යනු පොදු ජනතාවගේ නායකයා නොවේ. පොදු ජනතාව ඉල්ලා සිටින්නේ තමන්ව තලාපෙලා, බිය ගන්වා තමන්ට නොතේරෙන ලෙස තමන්ගේ සාරය උරාබොමින් එහෙත් වාහනයක යන්නට දෙමින්, වෝකින් පාත් හදමින් සිටින ආණ්ඩුවක්ය. සරලව කිවහොත් නයිට් ක්ලබ් එකකට ගොස් වහ බොන්නට දෙන ආකාරයේ ක්‍රමයකටය. මෙය වැඩිදෙනා කැමති ක්‍රමයයි. මෙය වෙනස් කළ යුතු යැයි දැනෙන්නේ කාලයකට පසුවය. නින්දෙන් ඇහුරුණා සේ මෛත්‍රීට ඡන්දයදී නැවතත් පුරුදු නිද්‍රාවටම ජනතාව වැටී සිටිති. ඔවුන් ඉල්ලන්නේ රාජපක්ෂ ක්‍රමයේ සුව සිහිනයි. එය එළිනොවන විට මෛත්‍රී රාක්ෂයෙකු වෙයි.

මෛත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වන්නේ රාජපක්ෂ යළි හිස ඔසවනු ඇතැයි යන බියටය. ඔහුට ඒ සඳහා චන්ද්‍රිකා කුමාරතුංගගේ පීඩනය නොතිබුණා යැයි කියන්නට බැරිය. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩි දෙනෙකුටද අවශ්‍ය වන්නේ මහින්ද ක්‍රමයේ නායකයෙකි. කොච්චර හොරකම් කළත් වැරදි වැඩ කළත් දෙපා මුල වැටුණු විට අවසන් වරට කියා සමාව ලැබෙන නායකයෙකි. මේ නිසා ප්‍රශ්නය දුරදිග ගියේය. මෛත්‍රී තනිවෙන තැනට වැඩ සිද්ධ විය. එහි අවසානය වන්නේ මහින්ද වෙනුවෙන් වැඩියෙන්ම කඩේ ගිය පිරිසකට ඇමතිවරු වීමේ අවස්ථාව ලැබීමයි. මහින්ද වෙනුවෙන් නොව පක්ෂය වෙනුවෙන් කෑ ගැසූ බොහෝදෙනා යළිත් පැත්තකට විසිවීමය. මෙය බරපතළ පාවා දීමකි. මෛත්‍රීගෙන් සිදුවූ බරපතළම අත්වැරැද්ද මෙයයි. දැන් ඔහු ඍජුය, ඔහු අවංකය කියන විශ්වාසය ක්‍රමයෙන් හීනවෙමින් යයි. එහෙත් ජනතාව අමතක නොකළ යුතු තත්ත්වයක් වන්නේ මෛත්‍රීගේ බාල සොහොයුරාගේ මරණයයි.

මෛත්‍රී සහ මල්ලී

මෛත්‍රීගේ බාල සොහොයුරා මිය යන්නේ පොරෝ පහරක් වැදීමෙනි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිගේ සොහොයුරාට පොරොවකින් ගසන්නට සාමාන්‍ය මිනිසෙකුට හැකිය. ඔබ අප භුක්ති විඳින නිදහස අර්ථ ගන්වන්නට වෙනත් උදාහරණ අවශ්‍ය නොවේ. රාජපක්ෂ පාලනයේ තබා ජේ.ආර් පාලනයේ දීවත් එවැනි දෙයක් ගැන හිතන්නට බැරිය. රාජපක්ෂ පාලනයේදී ඔවුන්ගේ ඥාතියෙකු නොව හිතවතෙකුට මෙවැන්නක් සිදුවූවා නම් වෙන දේ හිතාගන්නටවත් නොහැකිය. මෛත්‍රීගේ මල්ලීගේ ඝාතකයා පොලීසියට බාරවිය. ඔහු පොලීසියේදී එල්ලී මැරණේ නැත. ඔහු පොරොව තියන තැන පෙන්වන්නට ගොස් පොලිස් නිලධාරියෙකුට පොරොවෙන් ගසන්නට උත්සාහ කළ නිසා පොලිස් වෙඩි පහරට ලක්වූයේද නැත. පොරොව රැගෙන පැමිණෙන විටදී සැකකරුවා පරාක්‍රම සමුද්‍රයට පැන්නේද නැත. මෛත්‍රීගේ පාලනය ගැන මීට වඩා ලියන්නට අවශ්‍ය නැත. මේ නිදහස අතිශය බරපතළ නිදහසකි. කරුමය වන්නේ මෙවැනි නිදහසක් විඳ නැති වීම නිසා අපට එය දිරවා ගන්නට බැරි වීමය.

එසේම හෙලිටුවර්ස් හරහා මුදල් ගෙවා තමන්ගේ සොහොයුරා කොළඹට ගෙන ආ මෛත්‍රීගේ සොයුරු ඩඩ්ලි අප මේ සම්බන්ධයෙන් විමසූ විට අපූරු කතාවක් කීවේය. ඔහු කීවේ තමන් මුදල් ගෙවා මෙම හෙලිකොප්ටරය ලබාගත්තද ඒ සම්බන්ධයෙන් ඇති කතා පිළිබඳව මාධ්‍යයට ප්‍රකාශයක් නොකරන බවය. ඒ තමන් ජනාධිපතිවරණයෙන් පසු මාධ්‍යයෙන් ඉවත්ව සිටීමට තීරණය කර ඇති නිසා බවයි. සිතනවා නම් එහිද ධනාත්මක යමක් තිබේ.

නිදහස් පක්ෂයේ ඩබල් ගේම්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් මේ වනවිට කරන්නේ ඩබල් ගේම් ගැසීමකි. ඔවුහු අල්ලපු අත්තත් පය ගහපු අත්තත් යන දෙකම රැකගැනීමේ උත්සාහයක නිරතවෙති. ඔවුන් පසුගිය කාලයේ මැතිවරණ රැලිවලට ලංගම බස් ගෙනිච්ච බව දන්නේ නැත. සිරිසේන කියා ඩමියක් මහින්ද රාජපක්ෂ සමග ගමන් කළ බව විපක්ෂ නායකවරයා දන්නේම නැත. දැකලාවත් නැත. ඔවුන් ගාව තඹ සතයක මුදලක් නැත. එසේම මහින්ද රාජපක්ෂ සමයේ සිදුවූ කිසිදු දෙයක් වැරැද්දක් ලෙස දකින්නේ නැත. මහින්දට විරුද්ධව වචනයක්වත් කියන්නේ නැත. මෛත්‍රී ගැන ඇසුවොත් ඒ අපේ පක්ෂයේ නායකයානෙ, අපේ ජනාධිපතිතුමානෙ කියා ඇඟ බේරාගනිති.

මෙසේ වෙන්නේ ඇයි? ඒ මහින්ද යළි පැමිණේ යැයි ඇති බියය. මහින්ද යළි ආවොත් තමන්ට සිදුවන්නේ කුමක්දැයි දන්නා නිසා දෙපැත්තම ෂේප් කර ගන්නට ඔවුහු කටයුතු කරති. මෙය දේශපාලනය යැයි බොහෝදෙනා අර්ථ දක්වති. එහෙත් මෙය ශ්‍රී ලංකාවේ දේශපාලනය විනා දේශපාලනය නොවේ. දේශපාලනය යනු ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කිරීමයි. ප්‍රතිපත්ති මාරු කරමින් බලය ආරක්ෂා කර ගැනීම නෙවේ. ඒ අතින් විමල්, වාසු, දිනේෂ් මෙන්ම ප්‍රසන්න රණතුංගටත් ප්‍රතිපත්තියක් තිබේ. ඔවුන් මේ දෙපැත්තටම නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල මන්ත්‍රීවරුන්ට වඩා හොඳය.
එහෙත් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවෙන් පසු විධායක ජනාධිපතිවරයාට සැකිය යුතු බලයක් නිර්මාණය වෙයි. මේ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රීට හිතවත් මන්ත්‍රීවරුන්ගේ ප්‍රමාණය වැඩි වීම නතර කළ නොහැකිය. ඔවුන්ගේ දෙබිඩි බව ක්‍රමයෙන් අඩුවනු ඇත.

එ.ජා.ප.ය

එක්සත් ජාතික පක්ෂය මේ දින සියයේ ආණ්ඩුව කියවා ගත්තේ වැරදියටය. ඔවුන් තම පක්ෂයේ යහපතට කටයුතු කළ පිරිසකට තනතුරු දීමට මේ ආණ්ඩුව යොදාගත් බව පැහැදිලිය. එය එක්සත් ජාතික පක්ෂය කරගත් වැරැද්දයි. මේ නිසා ඉතා අඩු ඇමති මණ්ඩලයක් පත් කරගෙන දින සීයේ දීගය ඉතා රහට කන්නට තිබූ අවස්ථාව එක්සත් ජාතික පක්ෂය නැතිකර ගත්තේය. එයින් පසු ඇතිවන සියලු ප්‍රශ්න එහි ප්‍රතිඵල වෙයි. අනෙක් අතින් මහ බැංකු සිදුවීමේදී එක්සත් ජාතික පක්ෂය ක්‍රියාකරන දරදඬු ආකාරය එතරම් සුබ නැත. මෙය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට වඩා හොඳ තත්ත්වයක් වුවද ජනතාව බලාපොරොත්තු වන්නේ එවැනි තත්ත්වයකටත් එහා ගිය තත්ත්වයකි. විනිවිදභාවයක් සහිත තත්ත්වයකි. මේ නිසා මේ තත්ත්වය ප්‍රයෝජනයට ගෙන අපේ කාලයේ නම් එහෙම නෑ කියන්නට මහින්ද පාර්ශ්වයට හැකි වී තිබේ.

එසේම මෛත්‍රී සමග පැමිණි රාජිත සේනාරත්න ඇතුළු පිරිස කරන යම් යම් ප්‍රකාශ හරහාද ආණ්ඩුවේ අර්බුද නිර්මාණය වෙමින් තිබේ. විශේෂයෙන්ම පෝට් සිටි සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශකයා සහ අගමැතිවරයා කළ ප්‍රකාශ අතර දැවැන්ත පරස්පරතා තිබිණි. ඔහු හැසිරෙන්නේ රනිල් අගමැති වුවද මම ඒ කැබිනෙට්ටුවේ නොවන ආකාරයටය. එයට හේතුව මෛත්‍රීගේ දෑත් ශක්තිමත් කළ පළමු පුද්ගලයා රාජිත වීමය. මේ නිසා පැහැදිලි නොගැළපීම් මතුවෙමින් තිබේ. මේ අනුව දින සීයේ ආණ්ඩුවෙන් එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක්ද අනාගන්නා බව පෙනේ.

එහෙයින් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අර්ථ නිරූපන වලට අනුව එ.ජා.පයට කරන්නට ඇති හොඳමය දෙය හැකි ඉක්මනින් මැතිවරණයකට යෑමයි. එසේ නොවන තත්ත්වයකදී එ.ජා.පයට විශාල පාඩුවක් සිදුවෙයි. අනෙක් අතින් මහින්ද කර අරමින්, පොරොන්දු දෙමින් දිගු කරගත් මානව හිමිකම් චෝදනාවලට මුහුණදීමේ අභියෝගයද රනිල් ඇතුළු රජයට ලැබී තිබේ. එය පැහැදිලි ප්‍රශ්නයක් වන්නේ මේ අවස්ථාව මගහැරියොත් එයින් රටට වන හානිය වැඩි වීමය. ඒ වෙනුවෙන් කටයුතු කළොත් ජාතික බලවේගවල උදහසට එ.ජා.ප.ය ලක්වෙයි. මේ අනුව එ.ජා.ප.ය පැහැදිලිවම ගිරයට හසුවී ඇත. මහින්ද සිටියා නම් අපට සම්බාධක අනිවාර්යය. එහෙත් ජාතිය ඉදිරියට දමා ඔහු අපව බඩගින්නේ තබනු ඇත. එහෙත් එ.ජා.ප ආණ්ඩුවක් එසේ කරනවාට ජනතාව කැමති නැත. එහෙයින් හොඳම කටයුත්ත වන්නේ අලුත් ආණ්ඩුවකට මේ ප්‍රශ්නය පැවරීමය. එය එ.ජා.ප වුවත් සන්ධාන වුවද දැන් එ.ජා.පයට කරන්න දෙයක් නැත.

ජයග්‍රාහකයා

මේ දින සීයේ ආණ්ඩුවේ මේ වනවිට ලකුණු දමා ගනිමින් සිටින දෙදෙනෙකු සිටියි. ඒ මහින්ද සහ චම්පිකය. මීට අමතරව පසුගිය සමයේ හොරකම් කළා යැයි පැහැදිලිව පෙනෙන්නට සිටි එහෙත් ඒවා ඔප්පු කර ගැනීමට නොහැකි වී ඇති මැති ඇමතිවරුද ජයග්‍රාහකයෝය. මහින්ද මහා දිග හෙවණැල්ලක් පෙන්වමින් තමා යෝධයෙකු බව ජනතාවට කියමින් සිටියි. එහි විශේෂත්වය වන්නේ ඔහු විමල්, උදය, වාසු, දිනේෂ් ඇතුළු පිරිසගේ කරට නැග එය කරන බව ජනතාවට නොතේරීමයි. මේ නිසා මහින්ද පැහැදිලිවම ජයග්‍රාහකයා වෙමින් ඉදිරියට එයි. ඔහු වෙනම පෙරමුණකින් ඡන්දය ඉල්ලයි නම් මේ රටේ අගමැතිවරයා වීමට වැඩි අවස්ථාවක් ඔහුට වෙයි. එසේ කියන්නේ ඇයි? ඔහුට ලක්ෂ 58 ක ජනබලයක් නැත. එහෙත් මේ අවස්ථාවේදී නිර්මාණය කර ගන්නා පෙරමුණ හරහා ඔහුට අවම වශයෙන් පාර්ලිමේන්තු ආසන 25 ක් හෝ 30 ක් දිනා ගැනීමේ අවස්ථාව තිබේ. ඒ අනුව කේවල් කිරීමේ බලය මහින්දට ලැබේ. එය සිංහල බෞද්ධ කේවල් කිරීමකි. මුස්ලිම් හෝ දෙමළ කේවල් කිරීමක් නොවේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආසන 70 ක් දිනා ගත්තද අගමැති තනතුර නොදෙන්නේ නම් සහාය නොදෙන බව මහින්දට කියන්නට හැකිය. එවිට එ.ජා.ප.යේත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත් මන්ත්‍රීවරුන් 90 ක් තමන්ගේ යටතට ගැනීමට මහින්දට මේ අවස්ථාවේදී හැකිය.
මේ දින සීයේ අනෙක් ජයග්‍රාහකයා වන චම්පික උත්සාහ කළේ ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇති විය හැකි මහින්දගේ මේ බලපෑම නතර කරන්නටය. මහින්ද අගමැති වුවහොත් මෛත්‍රීව එළැවීමේ කටයුත්තට ඔහුට අත තබන්නට බැරි වෙන ලෙස විධායකය ශක්තිමත් කරන්නට චම්පික උත්සාහ කළේය. එහි යටි අරමුණ 2020 ජනාධිපති අපේක්ෂකයා වීම විය හැකිය. එහෙත් මේ අවස්ථාවේදී ඔහු මහින්ද සතුරා ලෙස හඳුනාගෙන කටයුතු කරයි. එහෙත් ඔහු උපායශීලීව මහින්දගේ නම නොකියා එතැනට රනිල් යන නම දමා ප්‍රචාරණය දියත් කරයි. ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපනය සමග චම්පික ජය ගත්තේය.
යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන ගැටලුව ඔවුන් කියූ තරම් හොරකම් එළිකර ගැනීමට නොහැකි වීමයි. සියල්ල ගැන පැහැදිලි සටහන් නොමැති වීමයි. ඇතැම් මාර්ග සංවර්ධන කොන්ත්‍රාත් සඳහා දැවැන්ත සමාගම් කොන්ත්‍රාත් අත්සන් නොකර දායක වී ඇතැයි අගමැතිවරයා පැවසුවේය. එයින් අදහස් වන්නේ දූෂණ පිළිබඳව සාක්ෂි නොමැති බවයි. එවැනි තත්ත්වයක අදාළ සමාගම්වලට මුදල් නොගෙවා ව්‍යාපෘති නතර වූ තැන ජනතාව සිතන්නේ තමන්ට ලැබෙන්නට තිබූ පාර, වෝකින් පාත් එක, සුපිරි වෙළඳ සංකීර්ණය ආණ්ඩුව නැති කළ බවය. අනෙක් අතින් බොහෝ මන්ත්‍රීවරුන් ගැන සොයනවා කිව්වාට එය වේගයෙන් සොයා ගැනීමට නොහැකි වීමයි. එය එසේ වන්නේ කෙසේදැයි කියන්නට ආණ්ඩුවට මාධ්‍යයක් නැත. මාධ්‍ය නිදහස් කිරීම හරහා මහින්දගේ මිත්‍රාදීහු පෙර පුරුදු කටයුත්තම කරගෙන යති.

සිංහල අවුරුද්ද

මේ අනුව මේ ගෙවෙන සිංහල අවුරුද්දෙන් පසුව වඩාත් තීරණාත්මක දේශපාලන වටපිටාවක් නිර්මාණය වනු ඇත. මහින්ද යළි අගමැති වන්නේ නම් හොඳම දෙය මේ අවස්ථාවේ පාර්ලිමේන්තු ඡන්දයක් පැමිණීමය. මහින්ද නොව වෙනත් අයෙකු අගමැති වන්නේ නම් තවත් අවුරුද්දක් කුමක් හෝ ආණ්ඩුවක් මේ රට පාලනය කළ යුතුය. එවිට මහින්දගේ රැස් අඩුවෙයි. මේ දෙකෙන් කුමක් වුවත් අගමැති වන පුද්ගලයාට දැඩි වගකීමක් පැවරෙයි. මහින්ද අගමැති වන්නේ නම් ඔහු එකක් ඉගෙන ගත යුතුය. එනම් තමන්ට වැරදුණේ ඇයිද යන්නය. එය මහින්ද තවමත් ඉගෙනගෙන නැත. පීකොක් මන්දිරයේ පිහිනුම් තටාකයට වැලි පුරවන්නේ ඒ නිසාය. වසර දෙකක් ඉතිරිව තිබියදී ජ්‍යොතිෂ්‍යකරුවන්ගේ පස්සේ ගොස් සියල්ල නැතිකර ගත් මහින්ද තවම එය ඉගෙනගෙන නැත. තමන් වටා සිටි පිරිස කොතරම් හොරකම් කළාදැයි නොදන්නා තරමට සිටීමේ ආදීනව මහින්ද තවම දැනගෙන නැත. මේ නිසා අගමැති වන්නට සිටිනවා නම් පළමුව තමන්ට වැරදුණු තැන් සහ වැරැද්දූ පුද්ගලයන් සොයාගැනීම අනිවාර්යය.

එ.ජා.ප. මේ අවස්ථාවේ දී තමන් ගත් නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැන ජනතාවට ඉක්මනින් දැන්විය යුතුව තිබේ. එහෙත් මහ බැංකු බැඳුම්කර සිද්ධිය පිළිබඳව ඉතා ඉක්මනින් තීරණයක් දීම ඔවුන්ගේ ක්‍රමය ගැන විශ්වාසය ඇති වීමට හේතුවක් වනු ඇත. එසේ නොවුණහොත් එ.ජා.ප.යට මේ අවස්ථාව බොහෝ පාඩුය. ඒ අනුව එ.ජා.යට මේ අවස්ථාව තීරණාත්මකය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කැඩුණද ඔවුන්ට එකට එක්වීමට ඇති අවස්ථා බොහොමයකි. ඔවුන් රනිල්ට වඩා මහින්දට කැමතිය. මහින්ද තමන්ගේ ගෝලයන්ට කැමතිය. මාස 3 ක් ගත වෙද්දී මෛත්‍රී ගොඩ ගියේය. දැන් මහින්ද සහ රනිල්ගෙන් කවුරුන් ගොඩ යයිද නැත්නම් නිමල් සිරිපාල ද සිල්වා ගොඩ යයිද කියා බලා සිටිය යුතුය.

– ස්තුතිය අද පුවතපතට

Back to Top