Sri Lanka Brief
පුවත්පුවත් විශේෂාංගමහින්ද රාජපක්ෂගේ (මැද) ඇඟිල්ල – රංජිත් හේනායකආරච්චි

මහින්ද රාජපක්ෂගේ (මැද) ඇඟිල්ල – රංජිත් හේනායකආරච්චි

by

‘ දැන් මේ රජයෙන් දේශපාලඥයන්ගේ නෝනල සහ දරුවොත් බේරගන්න වෙලා තියෙනවා. මේ වෛරක්කාරී දේශපාලනය ඉවර කරන්න ඕනෙ. දේශපාලඥයන්ගෙන් පලිගන්න එහෙම කරන එක වැරදියි. මම කලේ නෑ. කාටවත් මට ඇඟිල්ල දික්කරන්න බෑ. මට පුළුවන් ඕන කෙනෙකුට ඇඟිල්ල දික්කරන්න’ මේ මහින්ද රාජපක්ෂ ශෂී වීරවංශ බලන්නට හිර ගෙදරට ගොස් කළ ප්‍රකාශයකි. මිනීමරුම් නඩුවක සැකකරැවෙක් වු චොකා මල්ලි බැලීමටද මහින්ද රාජපක්ෂ හිරගෙදරට ගොස් කළ ප්‍රකාශයන් මාධ්‍යයෙන් දැක ගත හැකි විය. දැන් දැන් මහින්ද රාජපක්ෂ හිරගෙදරින් හිරගෙදරට යමින් තම පැරණි
අන්තේවාසිකයන් බැහැ දකිමින් සිටින බව පෙනේ. ඒ බැහැ දැකීම්වලට මදි නොකියන්නට මාධ්‍යවේදීන්ද‘අහම්බෙන්’ පැමිණෙන බවද පෙනේ. තාමත් තම වන්දිභට්ට මානසික මට්ටමෙන් නොමිදුන මාධ්‍යවේදීන් පිරිසක් රාජපක්ෂලාට අවශ්‍ය අනුකම්පාව ගොඩනැගීමට සැදී පැහැදී ඇති බව ඔවුන්ගේ ලේඛණ කලාව සහ මාධ්‍ය භාවිතාව පෙන්නුම් කරයි. මහින්දගේ මේ සෑම ප්‍රයත්නයකින්ම පැහැදිලිවම පෙන්වන්නේ ජනතා අනුකම්පාව තමන් වෙත ඇද ගැනීම තුලින් නැවත ලංකාව ඔහුගේ පවුලේ සහ ඔවුන්ගේ සහචරයන්ගේ පුද්ගලික දේපලක් බවට පත්කර ගැනීමට කරන උත්සාහයයි.

මට ඇඟිල්ල දික් කරන්න කාටවත් බෑ. මට පුළුවන් ඕන කෙනෙකුට ඇඟිල්ල දික් කරන්න යැයි මහින්ද මෙසේ පවසන්නේ ලංකාවේ මිනිසුන් ඔල්මාදකාරයන් යැයි සිතාගෙනද සැක සිතේ. පසුගිය වසර 9 ක් තිස්සේම මහින්ද මුළු රටේම ජනතාවට ඔහුගේ මැද ඇඟිල්ල දිගුකර පෙන්නූ අයුරු අපට මතකය. මහජනයාගේ බුද්ධියට නිගා දෙන අයුරින් තමන්ගේ මැර ඇමතිවරු සහ අධීක්ෂණ මන්ත්‍රීවරු මෙහෙයවමින් ජනතාවගේ බුද්ධිය තුට්ටුවට දමමින් ජනයාගේ බුද්ධියට නිගා දෙන අයුරින් හැසිරෙමින් මහින්ද වසර 9ක්ම තම මැද ඇඟිල්ල ජනයාට දික්කර පෙන්වනු ලැබීය. තම බලයට යටත්කරගෙන සිටි රට තුල ඔවුන්ගේ ප්‍රතිවාදීන්ට අත්වූ ඉරණම් අපි එකින් එක මතක් කළ යුතුද? එකම දෙයක් නැවත නැවත ලිවීම මහත් කම්මැලි සහගත දෙයක් වුවත් මොවුන් එකම බොරුව නැවත නැවත විවිධ ආකාරයෙන් ඉදිරිපත් කරයි නම් එයට ඇති පිලිතුර එකක් එකම වූවා වුවත් අපට එය නැවත නැවත මතක් කර දීමට සිදුවන බව කිව යුතුය.

මහින්ද කල්ලියේ වැරදි කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවීම ඔවුන් දකින්නේ, ඔවුන් විග්‍රහ කරන්නේ පලිගැනීමක් අයුරිනි. ඒ වැරැද්දකට වැරදි කරුවෙකු නීතිය ඉදිරියට පැමිණවීම නීතිය මත පාලනයක් ලෙස ඔවුන්ට දැකිය නොහැකි නිසාවෙනි. රාජපක්ෂට අමතකවන කාරණය වන්නේ ඔවුන්ගේ දූෂිත පාලනය විවේචනය කළ අයට, ඔවුන්ගේ දේශපාලනයට එකඟ නොවූ අයට, ඔහුගේ මජර වැඩ වලට උදව්වීම ප්‍රතික්ෂේප කළ අයට, මුහුණ දීමට සිදුවූ ඉරණමය. මේවා ගැන එකින් එක කීමට ගියහොත් විශාල පොතක් ලිවිය යුතු වේ. උදාහරණ එකක් දෙකක් පමණක් ගනිමු.

රාජපක්ෂ රෙජීමය විවේචනය කළ අයට ඔවුන් පෙර පිනක් කර තිබුනා නම්, නැතිනම් පූරුවේ වාසනාවක් තිබුනා නම් පමණක් ඔවුනට නීතිය ඉදිරියට (ස්වාධීන නොවුනා වුවත්) ඒමට වාසනාව ලැබුනි. එසේ නැතිනම් ප්‍රගීත් එක්ණැලිගොඩ මෙන් අතුරුදහන්වීමට ලක්වීමට ඉඩ තිබුනි. ලසන්ත වික්‍රමතුංගට මෙන් අධි ආරක්ෂිත කලාපයකදී වෙඩි වැදීමට ඉඩ තිබුනි. ලලිත්, කුගන් මෙන් අහෝසිවී යාමට ඉඩ තිබුනි. මෙසේ මරා දැමුණු හෝ අතුරුදහස් කළ ප්‍රමාණය උතුරේත් දකුණේත් සීමාවක් නොමැත.

එසේ නැතිනම් පෝද්දල ජයන්තලාට සිදුවූ දෙය මෙන් පැහැරගෙන ගොස් අතපය කඩා මහමග දමා යෑමේ සිදුවීමකට මුහුණ දීමට සිදුවිය. තම පුතා සොයාදෙන ලෙස ඉල්ලූ බාලේන්ද්‍රන් ජෙයකුමාරි, මෙන් බූස්ස කඳවුරේ ගාල්වීමට සිදුවේ. ඇගේ දියණිය බාලවයස්කාර විභූෂිකාට මෙන් මවගෙන් වියෝකර ලමා පරිවාස භාරයට පත්කරනු ලැබීමට ඉඩ තිබුනි.

තම මුද්‍රණාලයේ මුද්‍රණය කර පෝස්ටරයක් හේතු කොට ජයම්පති බුලත්සිංහල අත්අඩංගුවට ගැනීමට ආ ඔවුන් ජයම්පතිගේ බිරිඳ සහ ඇගේ සොයුරන් පවා සාපරාධී ලෙස අත්අඩංගුවට ගෙන හිරකරනු ලැබුවේ මහින්දගේ පලි නොගැනීමේ ක්‍රියාපිලිවෙත නිසා බව අපි දනිමු. මෙසේ කොපමණ සැක කරුවන්ගේ පවුල්වල අය ඔවුන් විසින් කිසිම චෝදනාවක් නොමැතිව අත්අඩංගුවට ගෙන සිරකරනු ලැබුවාද?
සරත් ෆොන්සේකාගෙන් පලිගැනීමට ඔහුගේ බෑනා පමණක් නොව ඔහුගේ මෑණියන් පවා රාජ උදහසට ලක්කළ හැටි මහින්දට අමතක වී ඇත්නම් ඔහුට ‘අල්සයිම’ රෝගය වැලදී තිබිය යුතුය. ශිරාණි බණ්ඩාරනායකගෙන් සහ ඇගේ පවුලේ හිතවතුන්ගෙන් පවා පලිගත් හැටි අමතකනම් අපට මහින්දට කීමට සිදු වන්නේ අසනීපය හොඳටම උග්‍ර වි ඇති බවයි.

පසුගිය දූෂිත පාලනය තුල සිදුකළ අපරාධයන් සහ දූෂණයන් වලට වගකිවයුතු අය නීතිය ඉදිරියට ගෙනඒම පලිගැනීමක් ලෙස හැදින් වීමට මහින්ද -විමල් කල්ලිය දැන් අරඹා ඇත. නීතිය මත සිදුවන සියළුම ක්‍රියාදාමයන් පලිගැනීමක් ලෙස හුවා දැක්වීමට ඔවුන් සූදානම්ය. ඒ එසේ සිදුවන්නේ ද ඔවුන් නීතිය මත පාලනය කියා දෙයක් නොදන්නා කම නිසා සහ ඔවුන්ගේ මජර පාලන කාලය තුල පලිගැනීම් හැරුණු විට විනිවිදභාවයක් ඇති නීතිමය ක්‍රියාදාමයක් කිසිදිනෙක සිදු නොකළ හෙයිනි. අත්තනෝමතිකත්වය රජකළ ඔවුන්ගේ පාලන කාලය මේ පුද්ගලයන්ගේ හිතුවක්කාරකමටම නතුව පැවතුනි. නැවත නීතිය මත පාලනයක් රටේ ස්ථාපිත කිරීම එතුලින් දූෂණ සහ අපරාධ කළවුනට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගැනීම ඉදිරියේ ඔවුන් බිරාන්ත වී ඇති බවක් පෙනේ.

මහින්දගේ ඇඟිල්ල දිගු වෙමින් පවතින්නේ මෙන්න මේ නීතිය මත ඇතිවන පාලනයට එරෙහිව බව අප වටහා ගත යුතුය. නීතිය මත ඇතිවන පාලනයක් සියලු බලයන් යොදා වලකා ගැනීම ඔවුන්ගේ පරමාර්ථය වී ඇත. එනිසාම මහින්ද ඇතුළු පිරිස ‘යහපාලනයට’ පොඩි සමච්චලයක්ද කරයි. විමල් වීරවංශ ඇතුළු කල්ලිය ‘යහපාලන මහත්වරු’ ලෙස අලුතින් පත්වූ රජය හැඳින්වීමට යොදා ගන්නා වචනයයි. මොවුන් මේ සමච්චලයට ලක්කිරීමට උත්සාහ කරන්නේ රටක මිනිසුන්ට ඇතිකරන යහපාලනයක් හැඳින්වීමටයි. මෙය ඇත්තෙන්ම තවත් ඛේදවාචකයකි. ලංකාවේ කලින් කලට මේ තකතීරු දේශපාලඥයන් විසින් භාෂාවේ ඇති වචනයන්ට ඇති අර්ථය විකෘති වන ලෙස ඒවා හුවා දක්වයි. එසේ සිදුවූ වචන ‘සන්ධීය ක්‍රමය’ ‘මිනිස් අයිතීන්’ වැනි ඒවා වෙති. මිනිස් අයිතීන් ගැන කථා කරන්නේ ජාතිද්‍රෝහීන් බව පසුගිය කාලයේ දේශපාලඥයන් විසින් සමාජ ගත කරනු ලැබූ මතයයි. සන්ධීය යනු එකකට එකක් එක්වීම, එකට සන්ධිවීම යන්න සිංහලෙන් ගම්‍ය වන අර්ථය වූවා වුවත් එය දේශපාලන අර්ථ දැක්වීමේදී ‘බෙදීම’ අර්ථය සමාජ ගත කර හමාරය. එමෙන්ම යහපාලනය යනු විහිළුවක් කිරීමට ඔවුන් උත්සාහ කරමින් පවතී. යහපාලනය යන්නෙන් රාජ්‍යයක ඇතිවිය යුතු පාරදෘෂ්‍යභාවය, ජනතාවට පාලනයේ කොටස්කරුවන් වීමට ඇති ඉඩකඩ, රාජ්‍ය ආයතනයන්හි දූෂණයෙන් තොර බව, නීතිය මත පාලනය තිබීම සහ පාලකයින් තුල අත්තනෝමතික බවක් නොවීම ආදී ගුණයන් මෙයින් අර්ථ ගැන්වේ. මෙවැනි ගුණාංගයන් දූෂිත පසුගාමී පාලනයක ප්‍රධාන සතුරන් බව අප දනිමු. පසුගිය දූෂිත පාලකයන් දැන් උත්සාහ කරනුයේ මේ යහපාලනය යන්න විහිළුවක් කර ගැනීමට සූදානම් වීමයි. එතුලින් යහපාලනයක් සමාජය හදුනාගත යුතු ආකාරය වැලැක්වීම හෝ විකෘති කිරීමට උත්සාහ කිරීමයි.

එමෙන්ම යහපාලනයක් සඳහා බලයට පත්කර ගනු ලැබූ නව රජයේ සමහර කොටස්ද තමනට හුරු වංචා සහ දූෂණ පාලනයම තවදුරටත් ක්‍රියාත්මක කිරීමේ යොමුව වෙතට යොමු වී ඇති බවද මේ වන විට එකින් එක පෙනෙන්නට තිබේ. සමහර මහපරිමාණ අපරාධකරුවන් සහ දූෂිතයන්ට රටෙන් පැන යාමට හෝ නීතියෙන් ගැලවී සිටීමට ඉඩකඩ දේශපාලඥයන්ගේ සහායෙන් ලැබී ඇති බවක්ද කියවේ. ඒවාගේම විශාල අපරාධයන්හි වගඋත්තර කරුවන් කිසි හානියක් නොමැතිව තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතින බවද නොරහසකි. කාලාන්තරයක් සමාජයේ මුල් දුවා නිදන් ගත වී ඇති දූෂණ සහ අපරාධී සංස්කෘතිය පහසුවෙන් ඉවත් කළ නොහැකි බව පැහැදිලිය. මෙයත් හරියට ජර්මනියේ නාට්සි බලය පෙරලා දැමුවාට පසු ඇතිවූ රජයේ ද ඉහළ නිලතලවල විශාල ප්‍රමාණයක් නාට්සි ක්‍රියාකාරීන්ම හෙබවූවා වැනි බව පෙනෙන්නට තිබේ.

යම් අයුරකින් මේ අපරාධකරුවන්, වැරදි කළවුන් නීතිය හමුවට ගෙනඒමේ ක්‍රියාදාමයක් ඇති නොවුන හොත් ඇත්තෙන්ම මහින්දගේ මැද ඇඟිල්ල පමණක් නොව තවත් බොහෝ දූෂකයන් සහ අපරාධකරුවන් මෙම නව රජයට සහ එහි යහපාලනයට මැද ඇඟිල්ල පෙන්වනු නොඅනුමානය.

Back to Top