Sri Lanka Brief
පුවත්විවරණඡන්ද ක‍්‍රමය වෙනස්කිරීම අතනොහැරීමට..

ඡන්ද ක‍්‍රමය වෙනස්කිරීම අතනොහැරීමට..

by


රොහාන් සමරජීව සහ සුජාතා ගමගේ විසිනි

පරිගණක මෘදුකාංග අතිශයින්ම සංකීර්ණය. එක් විධානයක් තවත් විධානයකට පරස්පර වීමට ඉඩ තිබේ. එවැනි අවස්ථාවලදී සම්පූර්ණ මෘදුකාංගයම ඇනහිටීම හෝ විධානයෙන් අපේක්ෂාකරනු ලබන කාර්යයට වෙනස්වූ කාර්යයක් ඉටුවීම සිදුවේ. මෙවැනි ‘දෝෂ’ සිදුවීම පරිගණක ක්ෂේත‍්‍රයේ භාෂාවෙන් ඉමටි නමින් හැඳින්වේ. එම දෝෂ නිදොස්කිරීම හෙවත් debugging කිරීම මෘදුකාංග සංවර්ධන කාර්යයේ වැදගත් කොටසකි. මෘදුකාංගයේ ‘මූලාශ‍්‍ර විවෘතව තැබීම’ හෙවත් open source නම් වූ ක‍්‍රමය ලිනක්ස් මෘදුකාංග පද්ධතියේ පුරෝගාමියා වූ ලිනස් ටෝර්වල්ඞ්ස් විසින් ප‍්‍රචලිත කරන ලද මෘදුකාංග දෝෂ නිවැරදි කරගැනීමේ නවමු ප‍්‍රවේශයකි. ලිනක්ස් මෘදුකාංගයේ පළමුවැනි පිටපත නිර්මාණය කිරීමෙන් පසුව ලිනස් කළේ එහි මූලාශ‍්‍රද සමග මෘදුකාංගය ලෝක ජනතාව වෙත මුදාහැරීමයි. ලොව පුරා එම මෘදුකාංගය භාවිතකළ පුද්ගලයන් විසින් එහි දෝෂ සොයා ඒවා නිවැරදි කරන ලදි. එමගින් සිය මෘදුකාංගය භාවිතයට ගන්නවුන් සම-සංවර්ධකයන් බවට පත්කරගන්නට ඔහු පියවර ගත්තේය. ඒ නිසා අඩු පිරිවැයකින් ද වැඩි වේගයකින් ද වඩා හොඳ මෘදුකාංගයක් නිර්මාණය විය.

ජනාධිපතිවරයාගේ දින 100 වැඩසටහනට ද ‘මූලාශ‍්‍ර විවෘතව තැබීම’ හැර වෙනත් විකල්ප ප‍්‍රවේශයක් නැතැයි යන්න අපේ විශ්වාසයයි. මෙම ක‍්‍රමය අනුගමනය කරනු නොලබන්නේ නම් මැතිවරණ ක‍්‍රම සංශෝධන උපන්ගෙයිම මිය යන්නට ඇති ඉඩකඩ බොහෝය.

ජයග‍්‍රාහී පොදු අපේක්ෂකයා විසින් පසුගිය ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කරන ලද ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අභියෝගාත්මක එකකි. කෙසේවුවත්, රටේ බොහෝ පක්ෂ එකට රොද බැඳුණේ සහ රටේ සාමාන්‍ය ජනතාව සිය ඡුන්දය ප‍්‍රකාශ කළේ මේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය මත පිහිටා බව නොසලකා හැරිය නොහැකි කරුණකි. මේ රටේ දේශපාලන ක‍්‍රමය සහ දේශපාලකයන්ගේ පොරොන්දු සම්බන්ධයෙන් ජනතාව තුළින් ගිලිහී ගොස් ඇති විශ්වාසය මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මක නොකළහොත් නැවත ගොඩනැගිය නොහැකි වනු ඇත. තමා ගොඩනගන්නට කැපවී සිටින්නේයැයි ජනාධිපති සිරිසේන මහතා විසින් ප‍්‍රකාශ කරන ලද නව දේශපාලන සංස්කෘතිය ගොඩනැගීම ජනතා විශ්වාසය ප‍්‍රතිස්ථාපනය කිරීමෙන් තොරව කළහැක්කක් නොවේ.

ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද දින සියයේ වැඩසටහනේ කඩවීමට වඩාත්ම ඉඩ ඇති පොරොන්දුව මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමේ වගන්තිය බව ජනවාරි මාසයේදීම අපි නිගමනය කළෙමු. මන්ද, එය ඉතා සංකීර්ණවූත්, සුළු මෙන්ම විශාල සියලූම දේශපාලන පක්ෂවල එකඟතාව ලබාගත යුතු වූත් කාර්යයකි. එහෙයින්, පවතින මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම දින 100 වැඩසටහනට ඇතුළත් කරනු ලැබීම සහ එයට පක්ෂ සහ සංවිධාන විශාල සංඛ්‍යාවක සහයෝගය පළවීමම අප මවිතයට පත්කරවන්නක් විය. අප ඉදිරියේ අතිශය දුර්ලභ අවස්ථාවක් නිර්මාණය වී ඇති බව මේ අවස්ථාවේ අපට හැඟීගිය හෙයින් මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීමේ කටයුත්තට උරදීම හරහා නව දේශපාලන සංස්කෘතියක් බිහිකිරීමේ ජනාධිපතිවරයාගේ ප‍්‍රයත්නයට අපගේ සහයෝගය නාභිගත කිරීමට අපි තීරණය කළෙමු.

දිනසියයේ වැඩ සටහන අනුව මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සර්ව පාක්ෂික කමිටුව විසින් සිය වාර්තාව ඉදිරිපත්කිරීමට නියමිතව තිබුණේ මාර්තු දෙවැනිදාය. හරියටම මෙම දිනයේ දී විශ්ලේෂණයන් තුළින් ලබාගත් ප‍්‍රතිඵල රටේ නමගිය මත ගොඩනගන්නන් රැුසක් වෙත කොළඹ නගරෝදය මධ්‍යස්ථානයේදී ඉදිරිපත් කිරීමට අපට හැකිවිය. විවිධ පාර්ශ්ව වෙතින් මේ සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ වෙත බලපෑම් එල්ලකිරීම මේ වනවිට ඇරඹී තිබුණු අතර මෙයින් වඩාත්ම කැපී පෙනුණේ මාදුළුවාවේ සෝභිත හිමියන්ය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමේ කටයුත්තට එක්රැුස්ව සිටි සිවිල් සමාජ කොට්ඨාසයට නායකත්වය ලබාදෙන ලද්දේ සෝභිත හිමියන් විසිනි. විධායක ජනාධිපතිවරණ ක‍්‍රමයේ වෙනස්කම් සිදුකළ යුත්තේ මැතිවරණ ක‍්‍රම සංශෝධනයත් සමගින්ම බවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රකාශ කිරීමද මේ වෙනසට විශාල බලපෑමක් කළේය. අපගේ විශ්ලේෂණ ඉදිරිපත්කිරීමේ අවස්ථාවට දේශපාලකයන්ට ආරාධනය කිරීමේ අදහසක් මුලින් නොතිබුණද දිනය ළඟාවත්ම විවිධ දේශපාලක යෝ සහභාගිවීමේ අවස්ථාව ඉල්ලා සිටියහ. පොරොන්දුවූ පරිදි සර්ව පාක්ෂික කමිටුව විසින් නොවුණ ද, මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම පිළිබඳ වාර්තාවක් මේ අයුරින් මාර්තු 2වැනි දින රටට ඉදිරිපත් කරනු ලැබිණ.

සංශෝධනය කිරීමේ අවශ්‍යතාව

‘මනාප ක‍්‍රමය නිසා මැතිවරණ සඳහා අතිවිශාල ධනස්කන්ධයක් වැය කිරීමට අපේක්ෂකයන්ට සිදුවේ. මම මෙය සපුරා වෙනස් කරමි.’

පොදු අපේක්ෂකයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙහි ඉහත හේතුව අවධාරණය කොට තිබේ. 2010 මහ මැතිවරණයේදී මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා තමා රුපියල් ලක්ෂ 800 ක් හෙවත් මිලියන 80 ක් වැයකළ බව හිටපු ඇමතිවරයකු වූ කුමාර වෙල්ගම මහතා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශකොට තිබේ. එතුමා නියෝජනය කරන කළුතර දිස්ත‍්‍රික්කයේ (වර්ග කිලෝමීටර 1576, ඡුන්දදායකයන් 8,97,349) තත්ත්වය එසේ වී නම් රට පුරා ප‍්‍රශ්නයේ බරපතළකම එයින් වටහා ගතහැකිය.

වැයකිරීම සඳහා තමන්ගේම ධනය නොමැති පුද්ගලයන්ට හෝ අවශ්‍ය ධනය සපයාගැනීම උදෙසා සිය සදාචාරාත්මක අගයන් පාවාදීමට සූදානම් නැති පුද්ගලයන්ට දේශපාලනයට අවතීර්ණ වීමට බාධා පමුණුවා ඇත්තේ සාර්ථක මැතිවරණ ව්‍යාපාරයක් දියත්කිරීම සඳහා අවශ්‍ය වන මේ දැවැන්ත මුදල් සම්භාරය විසිනි. වර්තමාන ක‍්‍රමය අනිවාර්යයෙන් දූෂණයට මගපාදයි.

එකම පක්ෂයේ අපේක්ෂකයන් එකිනෙකා නසාගන්නා ප‍්‍රචණ්ඩත්වයක් ඇතිකිරීමට වර්තමාන ක‍්‍රමය තුළ මග පෑදේ. පක්ෂ අභ්‍යන්තරයේ ප‍්‍රජාතන්ත‍්‍ර වාදය විසින් හික්මවනු නොලැබුවාවූ පක්ෂ නායකයනට පෙර පැවති සමානුපාත ක‍්‍රමය තුළ අසීමිත බලතල ලැබිණ. මනාප ඡුන්ද ක‍්‍රමය හඳුන්වාදීමත් සමග පක්ෂ බලධාරීන්ගේ බලය යම් ප‍්‍රමාණයකට සීමාවුණද මැතිවරණ පිරිවැය හා ප‍්‍රචණ්ඩත්වය ඉහළ නැංවීමට එය දායක වුණි.

පරාමිතීන්

‘මනාප ක‍්‍රමය නිසා මැතිවරණ සඳහා අතිවිශාල ධනස්කන්ධයක් වැය කිරීමට අපේක්ෂකයන්ට සිදුවේ. මම මෙය සපුරා වෙනස් කරමි. එහි පරමාර්ථය වන්නේ මනාප ක‍්‍රමය අවසන් කිරීම හා සෑම මැතිවරණ කොට්ඨාසයකටම අනිවාර්ය යෙන්ම එක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු හෝ සිටින බව සහතික වීමයි. මෙම ව්‍යවස්ථා සංශෝධනයේදී කේවල ආසන ක‍්‍රමය හා පරාජිත අපේක්ෂකයන්ගේ සමානුපාත ඡන්දයේ සංකලනයක් භාවිත වේ. මෙම යෝජනාව මගින් පාර්ලිමේන්තුවේ සංයුතිය සමස්තයක් ලෙස වෙනස් නොවන බැවින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ දේශපාලන පක්ෂ එකඟ කර ගැනීමට මා හට හැකි වනු ඇත.’ යනුවෙන් පොදු අපේක්ෂකයා විසින් යොදාගෙන ඇති වදන්ම මෙම කටයුත්තේදී අපේ මාර්ගෝපදේශය ලෙස තබා ගත් බව මෙහිදී සඳහන් කළ යුතුය.

නවසීලන්තය තුළ 1996 වර්ෂයේදී සිට භාවිතයේ පවතින ‘මිශ‍්‍ර මන්ත‍්‍රී නියෝජන ක‍්‍රමය’ සංසන්දනය කිරීමේ කාර්යය සඳහා අප විසින් විශ්ලේෂණය කරන ලදි. මෙය, අතිශය සංකීර්ණවූ ජර්මානු ක‍්‍රමයේ දියුණුකළ සංස්කරණයක් වන අතර සමානුපාත නියෝජන ක‍්‍රමයන් අතර විශිෂ්ටතම ක‍්‍රමය වේ. මනාප ඡුන්ද මත යැපීමක් නොමැති මෙය, පක්ෂයක් විසින් ලබාගැනීමට සමත්වන ඡුන්ද සංඛ්‍යාව මත ආසන ලබාදීම සිදුකෙරෙන පිරිසිදු සමානුපාත ක‍්‍රමයකි. සමහර තත්ත්වයන් යටතේ පක්ෂවලට අමතර ආසන කිහිපයක් ලබාදෙන හෙයින් පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී සංඛ්‍යාව සුළු වශයෙන් වෙනස්වීමට ඉඩ ඇත. සමස්ත මන්ත‍්‍රී සංඛ්‍යාවෙන් ලොකු ප‍්‍රතිශතයක් (42%) තෝරාගනු ලබන්නේඵී අමතර පුද්ගලයන්ගේ ඵීලැයිස්තුව නමින් හැඳින්වෙන ලැයිස්තුවෙනි. මෙහි සිටින පුද්ගලයන් ඡුන්දය ඉල්ලීම සඳහා ජනතාව ඉදිරියට නොගියවුන්ය. දේශපාලන පක්ෂ අභ්‍යන්තරයේ ශක්තිමත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නොමැති ශ‍්‍රී ලංකාවේ මෙය ගැටලූසහගත වනු ඇත. ඡුන්දයේදී පරාජිත වන අපේක්ෂකයන් යළි පත්කිරීමේ පොදු අපේක්ෂක පොරොන්දුව මෙමගින් ඉටුවන්නේ නැත.

විකල්ප විශ්ලේෂණය

දිනේෂ් ගුණවර්ධන මන්ත‍්‍රීවරයාගේ නායකත්වයෙන් යුතුව 2003 වර්ෂයේ පත්කරන ලද පාර්ලිමේන්තු තේරීම් කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවේ නිර්දේශයන් සුළු වශයෙන් වෙනස්කිරීමෙන් පොදු අපේක්ෂකයාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ සඳහන් කර ඇති සියලූම උපමානයන්ට ගැළපෙන විසඳුමක් සකස් කරගැනීමේ අවස්ථාව විවෘතව පවතී. එම වාර්තාව අනුව ආසන 140ක් කේවල ක‍්‍රමයෙන් ඡුන්ද ලබාගන්නා අපේක්ෂකයන්ට හිමිවේ. එම අපේක්ෂකයන්ට වැටුණු ඡුන්ද සංඛ්‍යාව ඉවත්කිරීමෙන් අනතුරුව ඉතිරිවන ඡුන්ද සංඛ්‍යාව පාදක කරගෙන මුළු ඡුන්ද සංඛ්‍යාවෙන් සියයට 5කට වඩා ලබාගන්නා පක්ෂ අතර ආසන 70ක් බෙදී යයි. ජාතික ලැයිස්තුවෙන් පත්කිරීම පිණිස සුපුරුදු සමානුපාත ක‍්‍රමය යටතේ ඉතිරි ආසන 15 බෙදී යනු ඇත.

දේශපාලන පක්ෂ විසින් 2000, 2001, 2004 සහ 2010 මහ මැතිවරණයන්හිදී ලබාගන්නා ලද ඡන්ද සංඛ්‍යාවන් අප විසින් නවසීලන්ත ක‍්‍රමයට සහ තේරීම් කමිටුව විසින් නිර්දේශ කරන ලද ක‍්‍රමයට සහ එහි ප‍්‍රභේදයන් දෙකකට අදාළ කර විශ්ලේෂණය සිදුකරන ලදි.

නවසීලන්තයේ භාවිත කෙරෙන ක‍්‍රමය යටතේ 1996 සිට අද දක්වා එක් දේශපාලන පක්ෂයක් විසින් පාලනය කරනු ලබන රජයක් බිහිවී නැති අතර ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් ද මෙවැනිම තත්වයක් ඇතිවීමට ඉඩ තිබේ. එහෙයින්, රජයක් පිහිටුවීම සඳහා කුඩා පක්ෂ සමග සන්ධාන ගතවීමට විශාල දේශපාලන පක්ෂවලට සිදුවනු ඇති අතර ඒ හරහා කුඩා පක්ෂ සදාකාලිකවම විපක්ෂයට සීමාවීමට ඇති ඉඩකඩ නැතිවනු ඇත. අප විසින් මේ ක‍්‍රමය අදාළ කොට කරන ලද ගණනය කිරීම්වලදී පෙනීගියේ ජයග‍්‍රාහී පක්ෂය 2000 දී ආසන 102 ක් ද, 2001 දී ආසන 103 ක් ද, 2004 දී ආසන 103 ක් සහ අසාමාන්‍ය සංඛ්‍යාවක් ලබාදෙමින් 2010 දී ආසන 136 ක් ද වශයෙන් දිනාගැනීමට ඉඩ තිබූ බවයි. අප පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබාගැනීමට ආසන 113ක් අවශ්‍යවේ. මෙම ක‍්‍රමයට කේන්ද්‍රීයවූ ඵීඅමතර පුද්ගල යන්ගේඵීලැයිස්තුව දේශ පාලන පක්ෂවලට සැලකිය යුතු බලයක් ලබාදෙන අතර එය පරාජිත අපේක්ෂකයන්ට හෝ ‘හොඳම පරාජිතයන්’ට ඉඩ නොසලසයි. එමෙන්ම පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රී සංඛ්‍යාව සමහරවිට විචලනය විය හැක.

තේරීම් කමිටුවේ නිර්දේශයේ පළමුවන ප‍්‍රභේදය අනුව ආසන 125ක් කේවල ක‍්‍රමය මත තීරණය වන අතර ආසන 75ක් ශේෂ ඡුන්ද පාදක වූ සමානුපාත නියෝජන ක‍්‍රමය යටතේ තීරණය වේ. සංඛ්‍යාව 125ක් දක්වා අඩුකර මැතිවරණ කොට්ඨාස නැවත සීමා නිර්ණය කිරීමේදී ඒවා ප‍්‍රමාණයෙන් විශාල වේ. එබැවින්, නුවරඑළිය සහ මැද කොළඹ වැනි කොට්ඨාසවල (1977ට පෙර මේවා බහුමන්ත‍්‍රී ආසන වශයෙන් පැවතිණි). බහු වාර්ගිකත්වය නියෝජනය වීම සහතික කරනු උදෙසා දෙවැන්නාට සමානුපාතික ක‍්‍රමයෙන් දෙන ආසනයක් දීම වැනි අතිරේක විධි ක‍්‍රම අවශ්‍ය වනු ඇත. ඉතිරි ඡන්ද සංඛ්‍යාව මත පදනම්ව තෝරාගනු ලබන මන්ත‍්‍රීන් සංඛ්‍යාවට ‘හොඳම පරාජිතයන්’ ඇතුළත් කරගැනීමට ඉඩ ලැබෙනු ඇත. පොදු අපේක්ෂකයා පොරොන්දුවූ සියලූම උපමානයන් මෙහිදී ඉටුවේ. තමන් විසින් ලබාගන්නා ලද ඡන්ද සංඛ්‍යාවේ අනුපාතයට ආසන්න වන අයුරින් කුඩා පක්ෂවලට දිගටම පාර්ලිමේන්තු නියෝජන අවස්ථා ලැබෙනු ඇත. යුද්ධය ජයගැනීමෙන් පසුව පවත්වන ලද 2010 මහ මැතිවරණය වැනි අසාමාන්‍ය අවස්ථාවක දී හැර තනි පක්ෂයක් විසින් රජයක් පිහිටුවීමට පවතින ඉඩකඩ අඩුය. ජාතික ලැයිස්තුවට මන්ත‍්‍රීවරුන් පත්කිරීමෙහි දැනට පවතින ක‍්‍රමයට වඩා විශේෂ වෙනසක් සිදු නොවන අතර ජාතික ලැයිස්තුවෙන් එක් මන්ත‍්‍රීවරයකුට වඩා පත්කිරීමේ අවස්ථාව ලබන පක්ෂවලට අවම වශයෙන් එක් කාන්තාවක හෝ පත්කිරීම සඳහා බලකෙරෙන නීති පැනවීමේ අවස්ථාව තිබේ.

තේරීම් කමිටුවේ නිර්දේශ අනුව කේවල ක‍්‍රමය මත මන්ත‍්‍රීවරුන් 140ක් ද ශේෂ ඡන්ද සංඛ්‍යාව පාදක කරගත් සමානුපාතික ක‍්‍රමයෙන් 70 ක් ද ජාතික ලැයිස්තුවෙන් 15 ක් වත්මන් සමානුපාත පදනම යොදාගනිමින්ද තීරණය කෙරේ. මැතිවරණ කොට්ඨාස 140 දක්වා යළි සීමා නිර්ණය කිරීමේදී ඉහත දක්වා ඇති විසඳුමේ පමණට මෙන්ම විශාල නොවෙතත් දැනට පවතින කොට්ඨාසවලට වඩා විශාල සහ ඡන්දදායකයන් ලක්ෂයක් පමණ අඩංගුවන කොට්ඨාස නිර්මාණය වනු ඇත. අකුරණ, හාරිස්පත්තුව සහ පොතුවිල් වැනි ප‍්‍රදේශවල බහුවාර්ගිකත්වය නියෝජනයවීම සහතික කිරීම උදෙසා විධික‍්‍රම යොදා ගැනීමට සිදුවනු ඇත. ශේෂ ඡන්ද සංඛ්‍යාව යොදාගනිමින් සමානුපාත නියෝජනය යටතේ මන්ත‍්‍රීවරුන් 70ක් පත්කෙරෙන නිසා මෙය සිදුකළ හැකිය. මෙම ක‍්‍රමය ද පොදු අපේක්ෂකයා ඉදිරිපත් කර ඇති සියලූම උපමානයන් සපුරනු ඇත. තමන් ලබාගන්නා ඡුන්ද සංඛ්‍යාවට ආසන්න අයුරින් සුළු පක්ෂවලට පාර්ලිමේන්තු නියෝජනය ලැබේ. එහෙත් මෙය 125 (ආසන)/75 (සමානුපාත) /25 (ජාතික ලැයිස්තු) ක‍්‍රමය තරම්ම සුළු පක්ෂවලට වාසිදායක නොවේ. එක් පක්ෂයක් විසින් පාලනය කරනු ලබන රජයක් ඇතිවීමේ ඉඩකඩ පවතින නමුත් එම රජය සතු බහුතරය අඩු වනු ඇත. මෙම ක‍්‍රමය යටතේ ජයග‍්‍රාහක පක්ෂයට 2000 දී එක ආසනයක බහුතරයක් හිමිවන අතර, 2001 වසරේ ආසන දෙකක බහුතරයක් සහ 2010 දී 20ක බහුතරයක් ලැබෙනු ඇත. 2004 මැතිවරණයේ බහුතරයක් ලැබෙන්නේ නැත. ජාතික ලැයිස්තුවෙන් පත්වනු ඇත්තේ දැනට පත්වන සංඛ්‍යාවෙන් අඩක් පමණක් වන නිසා එය ප‍්‍රමාණවත් කාන්තා සහ වෘත්තික නියෝජනය අඩංගුකිරීම දුෂ්කර වනු ඇත.

තේරීම් කමිටු නිර්දේශයේ ඊළඟ ප‍්‍රභේදය අනුව දැනට පවතින මැතිවරණ ප‍්‍රදේශ සංඛ්‍යාව වන 160 යළි සීමා නිර්ණය කිරීමේ කොමිෂන් සභාවක් මගින් සීමා නිර්ණය කර එක සමාන ඡන්ද කොට්ඨාස සංඛ්‍යාවක් බවට පරිවර්තනය කිරීම අවශ්‍ය වේ. තවත් ආසන හැටක් ශේෂ ඡුන්ද සංඛ්‍යාව සමානුපාතික ක‍්‍රමය මත තීරණය වනු ඇති අතර ආසන පහක් කුඩා පක්ෂ සඳහා වෙන්කෙරේ. මෙහිදී ජාතික ලැයිස්තුවට ඉඩක් නොමැත. යළි සීමා නිර්ණයේදී නිර්මාණය වන ඡන්ද කොට්ඨාස ඉහත ප‍්‍රභේදවලට සාපේක්ෂව කුඩා වනු ඇත. මෙහිදී ද පොදු අපේක්ෂකයාගේ උපමානයන් සම්පූර්ණ වේ. අමතර ආසන 5ක් වෙන්කරන ලෙස හකීම්-සිවලිංගම් මන්ත‍්‍රීවරුන් විසින් තේරීම් කමිටුවට කරන ලද යෝජනාව ක‍්‍රියාත්මක කරනු නොලැබුවහොත් සුළු පක්ෂවල නියෝජනය අඩූ වනු ඇත. තනි පක්ෂයකට ආණ්ඩුව පිහිටුවීමේ අවස්ථාව ලැබෙනු ඇත (2000 දී බහුතරය 6; 2001 දී 7; 2004 දී 3; 2010 දී 27). ජාතික ලැයිස්තුව ඉවත්කිරීම හේතුවෙන් කාන්තා සහ වෘත්තික නියෝජනයට ඇති ඉඩ ඇහිරෙනු ඇත. අදාළ දත්ත සහ අනුගමනය කරන ලද ක‍්‍රමවේදය tanthri.lk අඩවියෙහි ඔස්සේ අවශ්‍ය කෙනෙකුට ලබාගත හැක. විෂය පිළිබඳ උනන්දුවක් දක්වන පුද්ගලයන්ට අප ඉදිරිපත් කර ඇති ප‍්‍රතිඵල වැඩිදුර විශ්ලේෂණය කිරීමට සහ ඔවුන්ගේම ක‍්‍රමවේද සංවර්ධනය කරගනිමින් විසඳුම් සෙවීමට අවස්ථාව උදාකරදීම අපගේ අපේක්ෂාවයි. කැපවීමකින් ක‍්‍රියාකරන ශ‍්‍රී ලාංකික පුරවැසියන් අප විසින් ඉදිරිපත් කර ඇති විසඳුමෙහි පවතින කවර හෝ අඩුපාඩු පිළිසකරකර අපේ රටේ තත්ත්වයට හොඳින්ම ගැළපෙන මැතිවරණ ක‍්‍රමයක් දින සියය ඇතුළත සම්මත කරවාගැනීමට ආණ්ඩුවේ සහ පක්ෂවල බලධාරීන් නම්මවා ගැනීමට හැකි වනු ඇතැයි අපි තරයේ විශ්වාස කරමු. වැඩක් නොකිරීමට හේතු සෙවීම මෙන්ම වැරැුදි සෙවීම ඕනෑ කෙනෙකුට කළ හැක. සැබෑ දක්ෂතාව පිළිබිඹු වන්නේ දුෂ්කරතා මැද වැඬේ කරන හැටි පෙන්නා දීම තුළිනි.
– Ravaya

Back to Top