Sri Lanka Brief
පුවත්විවරණමොහාන් පීරිස්, අන්තර් ජාතික පරීක්ෂණය සහ ඉදිරි මඟ – මංගල සමරවීර

මොහාන් පීරිස්, අන්තර් ජාතික පරීක්ෂණය සහ ඉදිරි මඟ – මංගල සමරවීර

by

ගිය වසරේ ආරම්භ කෙරුණු ජාත්‍යන්තර පරීක්ෂණයක් එහි අවසානයට ලඟා වෙමින් තිබේ. වහාම සංයුක්ත පියවර ගනිමින් අපේ අධිකරණයේ විශ්වසනීයත්වය යළි ස්ථාපිත නොකරන්නේ නම්, මේ ජාත්‍යන්තර පරීක්ෂණයේ ප‍්‍රතිඵල හේතුවෙන් අපේ සන්නද්ධ හමුදා සාමාජිකයන්ට සහ වෙනත් සිවිල් වැසියන්ටත් ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියේ පෙනී සිටීමට සිදුවනු ඇත. අද අප මුහුණදී සිටින මේ දුෂ්කර තත්වයට මගපෑදුණේ, විශ්වාස කටහැකි දේශීය විමර්ශන යාන්ත‍්‍රණයක් ඇති කිරීමට පසුගිය ආණ්ඩුව අසමත් වීම නිසා ය. වර්තමාන ආණ්ඩුවේ විශ්වාසය වන්නේ, විවිධ ප‍්‍රජාවන් අතර විරසක සමනය කිරීමේ ක‍්‍රියාවලියක ආරම්භයත්, අපේ ස්වෛරීත්වයට හානියක් වෙතැ යි බොහෝ දෙනා සිතන ජාත්‍යන්තර නඩු පැවරීමක් වළක්වා ගැනීමත් කළ හැකි වන්නේ, විශ්වසනීය දේශීය පරීක්ෂණ යාන්ත‍්‍රණයක් හැකි ඉක්මණින් ස්ථාපිත කිරීමෙන් බවයි. ශිෂ්ට සම්පන්න ලෝකයට යළි ඇතුළු වීමෙන් ලැබෙන ප‍්‍රතිලාභ, වරප‍්‍රසාද සහ අයිතීන් සඳහා රටක් වශයෙන් හිමිකම් කීමේ අභියෝගය අද අප ඉදිරියේ තිබේ. එහිදී, ආර්ථික සම්බාධකවලට යට නොවන බවට වගබලා ගැනීම මෙන්ම, යුක්ති ධර්මය පසිඳලීම කෙරෙහි වන යම් බියක් නිසා හෝ අප විසින්ම යුක්ති ධර්මය පසිඳලීමේ විශ්වසනීය මාර්ගයකට පිවිසීමට තරම් වන දුර දැකීමේ නුවණක් නැති කම නිසා හෝ රටක් වශයෙන් අවමානයට පත්නොවීමට සහ කීර්තිය පළුදු කර නොගැනීමට වගබලා ගැනීමත්, අප ඉදිරියේ ඇති අභියෝගයයි.

2015 පෙබරවාරි 1 වැනි දා ‘සන්ඬේ අයිලන්ඞ්’ පුවත්පත වාර්තා කර තිබුණු පරිදි මොහාන් පීරිස්ගේ ප‍්‍රකාශයක මෙසේ සඳහන් වෙයි: ‘‘අගවිනිසුරු ධුරයේ අභිමානය සහ ශිෂ්ටත්වය ආරක්ෂා කර ගනිමින් එහි ගෞරවනීයත්වය සහ හැදියාව ස්ථාපනය කිරීම (මගේ) මූලික අභිලාෂය විය. අපේ අධිකරණ පරිපාලනයේ මුදුන්කොත වශයෙන්, ඊට අයත් නොකැළැල් නිර්මලත්වයෙන්, දැනට මෙන්ම අනාගතයටත් එය පවත්වා ගත යුතුය. යුක්තිය පසිඳලීමේ සාරාර්ථ අගය රැුක ගැනීමේ අවශ්‍යතාව ඒ පසුපස තිබේ.’’

මොහාන් පීරිස් බලයට ආවේ හමුදා රැකවරණයෙන්

මීට වසර දෙකකට පෙර අපකීර්තිමත් ආකාරයෙන් එම ධුරයට පත්වීම් ලැබීමත්, එවක් පටන් එම ධුරය තුළ ප‍්‍රකාට කළ නින්දිත හැසිරීමත් විසින් අපේ සමස්ත අධිකරණ පද්ධතිය ජාත්‍යන්තර අවමානයට සහ ගැරහීමට ලක්කළ මොහාන් පීරිස්, කන්‍යා භාවයේ මහාර්ඝත්වය ගැන දෙසන වෙසඟනක් සේ, අගවිනිසුරු ධුරයේ ‘‘නොකැළැල් නිර්මලත්වයක්’’ ගැන දැන් කඳුළු සලයි.

අවුරුදු දෙකකට පෙර, 2013 ජනවාරි 14 වැනි දා විශාල හමුදා බලඇණියක් ශ්‍රේෂ්ඨාධිකරණ භූමියට ආහ. ඊට පසු දා පාන්දර සිට එම ප‍්‍රදේශයට ඇතුළු වීම මහජනයාට තහනම් කෙරුණි. එසේම කැරලි මර්දන භට කණ්ඩායම් ඒ අවට යොදවා සිටි අතර හමුදා බාධක සහ වතුර තුවක්කු තැන් තැන්වල සවි කොට තිබුණි. මේ සියල්ල කෙරුණේ, මොහාන් පීරිස්ව ශ්‍රේෂ්ඨාධිකරණයේ ‘පිටවීමේ’ දොරටුවෙන් ඇතුළු කැරැුවීමට ය. එය නම්, හොර විනිසුරෙකුට කියාපු පිවිසුමකි.

    මොහාන් පීරිස් අගවිනිසුරු ධුරයට නීත්‍යානුකූලව පත් නොකරන ලද බව පෙන්වන වැදගත් වූත්, පරිපාටිමය වූත් කරුණු ගැන අද වන විට බොහෝ දෙනා පැහැදිළි කොට පෙන්වා දී තිබේ. ‘ව්‍යවස්ථානුකූල නොවන ක‍්‍රියාපරිපාටි’ පිළිබඳ තමන් විශේෂඥයෙකු යැයි ඔහුම කියන නිසා, එදා සිටි නීත්‍යානුකූල අගවිනිසුරුවරියව එම ධුරයෙන් පහ කෙරුණු ව්‍යවස්ථා විරෝධී ස්වභාවයේ තරමත්, එහි ප‍්‍රතිඵලයක් වශයෙන්, විශේෂ පොලිස් කාර්ය සාධක බලකායේ රැුකවරණ යටතේ ඔහු එම පුටුවේ වාඩි වූ ආකාරයත්, එසේ වාඩි වීම තරමටම ව්‍යවස්ථා විරෝධී ආකාරයකින් එම ධුරයේ ඔහු කටයුතු කළ ආකාරයත් ගැන ඔහුට මනා වැටහීමක් තිබිය යුතුය. එසේම අධිකරණය හෑල්ලූ කිරීමටත්, එහි අභිමානය, ස්වාධීනත්වය, විෂයබද්ධතාව සහ කීර්තිය වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ තමා විසින්ම විනාශ කිරීම ගැනත් ඔහු හොඳින් දැන සිටිය යුතුය.

බල විභේදනය අපේ ව්‍යවස්ථාවේ මූලික ලක්ෂණයක් බව මෑතකදී ඔහු කීවේය. ඒ වචන අනුසාරයෙන්ම ගත් විට, අමාත්‍ය මණ්ඩලයේ නීති උපදේශකයෙකු වශයෙන් සිටි කෙනෙකු, සෙලාන් බැංකුවේ සභාපති වශයෙන් සිටි කෙනෙකු, ලංකා ලොජිස්ටික් සමාගමේ (ආරක්ෂක අමාත්‍යාංශයේ අවි ආයුධ මිළදී ගැනීමේ ඒකකයේ) අධ්‍යක්ෂවරයෙකු වශයෙන් සිටි කෙනෙකු, රක්නා ලංකා ආරක්ෂක සමාගමේ (ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් ස්ථාපිත කළ සමාගමක) අධ්‍යක්ෂවරයෙකු වශයෙන් සිටි කෙනෙකු, ආරක්ෂක අමාත්‍යාංශයේ නීති උපදේශකයෙකු වශයෙන් සිටි කෙනෙකු, යුද අපරාධ චෝදනා ප‍්‍රතික්ෂේප කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ ලංකා රජය වෙනුවෙන් ප‍්‍රකාශකයෙකු වශයෙන් කටයුතු කළ පුද්ගලයෙකු, අධිකරණයේ ‘තත්වාකාර’ අගවිනිසුරු පදවිය හෙබවිය යුතු නැති බව මම කියා සිටිමි.

බැංගලෝර් ප‍්‍රතිපත්ති මාලාව

මොහාන් පීරිස් මහත් උජාරුවෙන් කතා කරන අධිකරණයේ ‘ගරුත්වය’ රඳා පවතින්නේ එහි අපක්ෂපාතීත්වය සහ වාස්තවිකත්වය මත සේම, විධායකයෙන් සහ ව්‍යවස්ථාදායකයෙන් එය ස්වාධීන වීමත් මතයි. එසේම එම අධිකරණ පද්ධතියේ නියමුවා, නීතිඥ ප‍්‍රජාවේ ගෞරවය දිනා ගත් පුද්ගලයෙකු ද විය යුතුය. එහෙත් එම නීතිඥ ප‍්‍රජාව මෙවර සිටියේ අගවිනිසුරු ධුරයෙන් පහ කරන ලද අගවිනිසුරුවරියව නැවත එම තනතුරේ පිහිටුවීමේ අරගලයේ ය. මොහාන් පීරිස්ගේ සේවා කාලය තුළ, මේ කියන ගරුත්වය සහ ස්වාධීනත්වය, එකිනෙක ගැටුණු ඕනෑඑපාකම් පැටළුණු මකුළුදැළක් විය. ඔහු සැබවින්ම පාලක පක්ෂයේ අතකොලූවක් විය.

ජාත්‍යන්තර වශයෙන් ස්වර්ණමය ප‍්‍රමිති මානකයක් වශයෙන් සැළකෙන අධිකරණමය චර්යාව පිළිබඳ බැංගලෝර් ප‍්‍රතිපත්ති මාලාවට අනුව, ‘‘විනිසුරුවරයෙක් විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ නුසුදුසු සම්බන්ධතාවලින් සහ බලපෑම්වලින් විනිර්මුක්ත විය යුතුවා පමණක් නොව, එය එසේ වන බව සාධාරණ නිරීක්ෂකයෙකුට පෙනී යන සේ හැසිරිය යුතු ද වන්නේය’’. ගිය වසරේ අපේ‍්‍රල් 14 වැනි දා, ගෝඨාභය රාජපක්ෂ සමග කොළඹ සිට තංගල්ලට යමින්, ජනාධිපති රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ අයවළුන් සමග එකට හිඳ සිංහල සහ හින්දු අළුත් අවුරුද්ද සමරමින්, ශුභ මොහොතින් එකිනෙකාට කිරිබත් කවා ගනිද්දී, තමා දරණ අධිකරණ නිලයේ පවිත‍්‍රත්වය ගැන මොහොතකටවත් මොහාන් පීරිස් සිතුවේද? ගිය වසරේ සැප්තැම්බර් මාසයේ ජනාධිපති රාජපක්ෂ වතිකානුවට ගිය නිල සංචාරයේ තමනුත් සාමාජිකයෙකු වීම තමා දරණ නිලයේ අංගයක් වශයෙන් මොහාන් පීරිස් සිතුවේද? තමන්ට යම් තානාපති තනතුරක් දෙන්නැ යි වත්මන් ආණ්ඩුවේ විධායක බලධාරීන්ගෙන් මොහාන් පීරිස් ආයාචනා කරද්දී, තමා අසුන් ගෙන සිටින ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවය ගැන මහජනතාව කෙසේ සිතයිදැ යි ඔහු තඹේකටවත් සිතුවේද? මැතිවරණයක් පැවැත්වෙන දවසක එක් ජනාධිපති අපේක්ෂකයෙකුට නීති උපදෙස් දීම සඳහා (ඔහු කියා සිටින පරිදි* ඔහුගේ ගෙදරට යාම රටක අගවිනිසුරුවරයෙකුගේ රාජකාරියක් ද?

    ජනාධිපතිවරණය ජය ගැනීමෙන් පසු මේ ආණ්ඩුව බලයට පත්වීම වැළැක්වීම සඳහා කැසකැවුණු කුමන්ත‍්‍රණයේ මොහාන් පිරීස් ද පාර්ශ්වකරුවෙකු වූ බවට වන විශ්වසනීය තොරතුරු මත පදනම්ව මා විසින් පොලිස් අපරාධ විමර්ෂන අංශයට පැමිණිලි කොට ඇත. මේ මිනිසාගේ බාහිර ක‍්‍රියාකාරකම්, පුද්ගල සම්බන්ධතා සහ විවිධ ගනුදෙනු අනුව බලන විට, අධිකරණමය කල්ක‍්‍රියාව පිළිබඳ පවතින ජාත්‍යන්තර ප‍්‍රමිතීන් ඔහු විසින් අමු අමුවේ උල්ලංඝණය කොට ඇති බවත්, ඒ නිසා අධිකරණයේ වගවීමක් සහ පාරදෘෂ්‍ය භාවයක් අපේක්ෂා කරන ජාත්‍යන්තර ප‍්‍රජාවේ හෝ වෙනත් ඕනෑම අවංක ශ‍්‍රී ලාංකිකයෙකුගේ ගෞරවය සහ විශ්වාසය දිනා ගැනීමට ඔහු අපොහොසත් බවත් පැහැදිළි ය.

ශිරානි බණ්ඩාරනායක ඉවත් කිරීඹ සහ අන්තර් ජාතික ප්‍රතිවිපාක

මොහාන් පීරිස් අධිකරණය ස්වාධිනත්වයේ අවසානය විය

මොහාන් පීරිස් අධිකරණය ස්වාධිනත්වයේ අවසානය විය

එම ඉවත් කිරීම හෙලාදකිමින් සහ නැවත ඇයව එම තනතුරේ පිහිටුවන ලෙස ඉල්ලා සිටිමින් විවිධ ආණ්ඩු ද, අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා ද, ජාත්‍යන්තර නීතිවේදීන්ගේ කොමිසම ද, ජාත්‍යන්තර නීතිඥ සංගමය සහ විවිධ රටවල වෙනත් නීතිඥ සංගම් ද ප‍්‍රකාශ නිකුත් කොට තිබුණි. ‘‘පොදුරාජ්‍ය මණ්ඩලීය මූලික සාරධර්ම සහ ප‍්‍රතිපත්ති උල්ලංඝණය වෙතැ යි පෙනෙන්ට ඇති’’ තත්වය ගැන ‘පොදුරාජ්‍ය මණ්ඩලයේ දැඩි සාමූහික කණස්සල්ල’’ පළ කරන බව, අද අප සභාපතිත්වය දරණ පොදුරාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම්වරයා එදා එම සිද්ධිය සම්බන්ධයෙන් කියා තිබුණි.

නීත්‍යානුකූල අගවිනිසුරුවරිය නැවත එම තනතුරේ පිහිටුවන ලෙස, සෑම මහද්වීපයකම වෙසෙන විනිසුරුවරු 45 දෙනෙක් අපේ ආණ්ඩුවෙන් එදා ඉල්ලා සිටියහ. අපේ අගවිනිසුරුවරියව ‘‘වැරදි ක‍්‍රියාපරිපාටියක් ඔස්සේ’’ එම තනතුරින් එසේ පහ කිරීම, ‘‘ශ‍්‍රී ලංකා අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කළ බරපතල ඇඟිලි ගැසීමක් සේම, ශ‍්‍රී ලංකාවේ නීතියේ ආධිපත්‍යයේ මාරක පසුබැසීමක්’’ ද වන බව, මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය කියා සිටියාය. බලධාරීන් විසින් බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් කළ බවට නැගෙන චෝදනා විභාග කිරීම අරභයා මොහාන් පීරිස් වැන්නෙකුගේ ස්වාධීනත්වයක් හෝ අපක්ෂපාතීත්වයක් ගැන කිසිවෙකුට විශ්වාස තැබිය හැක්කේ කෙසේදැ යි ඈ තවදුරටත් ප‍්‍රශ්න කොට සිටියාය. ඔහුගේ පත්වීමට එරෙහිව ඉදිරිපත් වූ නඩු විභාග කෙරුණේ හෝ වීසි කෙරුණේ ඔහු විසින්ම පත්කරන ලද විනිසුරු මඬුලූ විසිනි. නඩුවක වගඋත්තරකරුවා විසින්ම එසේ විනිසුරු මඬුලූ පත් කිරීම ස්වභාවික යුක්ති ධර්මයේ මූලික ප‍්‍රතිපත්ති අමුඅමුවේ උල්ලංඝණය කිරීමක් විය. ‘‘තමාගේ නඩුවේ තමාම විනිසුරා විමට කිසිවෙකුට නොහැක.’’

මොහාන් පීරිස් එහි අසුන් ගෙන සිටි දෙවසර තුළ අධිකරණය පිළිබඳ පැවති විශ්වාසය එක දිගටම පිරිහුණි. අතුරුදහන් කළ මාධ්‍යවේදී එක්නැලිගොඩ, සැපෙන් සහ ආරක්ෂාවෙන් යුතුව වෙනත් රටක ජීවත් වන බව, ‘දරුණු වධහිංසා පැමිණවීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව’ ඉදිරියේ කියා සිටියේ ද මේ මොහොන් පීරිස්මයි. එම රට කුමක් දැ යි හෙළි කරන ලෙස ඉන් පසු අවස්ථාවක ලංකාවේ අධිකරණයක් මගින් ඉල්ලා සිටි අවස්ථාවේ ඔහු කියා සිටියේ ‘දෙයියෝ තමයි දන්නේ’ කියා ය. මොහාන් පීරිස්ගේ පදවිය යටතේ වින්දිත භාවයට පත්වුවන් අතර ‘ත‍්‍රස්තවාදයෙන් ආරක්ෂා වීමේ පනත’ යටතේ අත්අඩංගුවට ගැනුණු ගනේෂන් නිමලරූබන්, සංවර්ධනයක නාමයෙන් කොම්පඤ්ඤ වීදියෙන් පාරට දැමූ නිවැසියෝ සහ වැලිකඩ හිරගෙදරදී ඝාතනය කෙරුණු සිරකරුවෝ කැපී පෙනෙත්.

මොහාන් පීරිස් දූෂිතයෙක්

දේශීය වශයෙන් විවිධ ජාතීන් අතර ඇති කරගත යුතු ජාතික සුවපත් වීමක් සඳහා මෙන්ම, දේශීය සංහිඳියා ක‍්‍රියාවලියක් නොමැති කමින් ඇති විය හැකි විදේශීය මැදිහත් වීමක් වළක්වා ගැනීම සඳහාත් අත්‍යාවශ්‍ය කරන විශ්වසනීය අධිකරණ පද්ධතියකට මොහාන් පීරිස් වැන්නෙකු සත්තකින්ම අවහිරයකි. ඔහු ළඟ කලින් වැඩ කළ කණිෂ්ඨ නීතිඥයන් ඔවුන්ගේ වෘත්තිය නීති සේවා කාර්යාල මේ අගවිනිසුරුවරයාගේ නිල නිවසේ සිට පවත්වාගෙන ගිය බව කුප‍්‍රකට කාරණයකි. එසේම යම් අභියාචනා නඩුවක පාර්ශ්වකරුවෙකු ඔහුගේ මිතුරෙකු හෝ නෑයෙකු වන විට එම නඩුව ඊට නියමිතව තිබූ විනිසුරු මඬුල්ලෙන් තමා වාඩි වන විනිසුරු මඬුල්ලට මාරු කර ගැනීමට ඔහු කටයුතු කළ බව ද කුප‍්‍රකට ය. උදාහරණයක් වශයෙන්, ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියට පැමිණි, ‘‘ඒෂියා ඇසෙට් ෙෆෙනෑන්ස්’’ සමාගම අභියාචනාකරු වූ නඩුවක් තමා වාඩි වන විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගත යුතු බවට ඔහු නියෝග කිරීම ගත හැකිය. මේ සමාගමේ සභාපති වුණේ මොහාන් පීරිස්ගේ මස්සිනා ය. එසේම ඔහුගේ බිරිඳ එම සමාගමේ අධ්‍යක්ෂිකාවක් වූ අතර ඔවුහූ එම සමාගමේ ප‍්‍රධාන කොටස් හිමිකරුවෝ ද වූහ.

පසුගිය වර ජනාධිපතිවරණයේදී හිටපු ආණ්ඩුවේ ආධාරකරුවන් පිරිසක් එවක විපක්ෂයේ ආධාරකරුවන් පිරිසකට පහර දීමේ චෝදනා මත මහේස්ත‍්‍රාත්වරුන් වෙත ඉදිරිපත් කළ අවස්ථා දෙකකදී, එම මහේස්ත‍්‍රාත්වරුන් ඇමතූ මොහාන් පීරිස් අදාළ චූදිතයන්ට ඇප දෙන මෙන් නියෝග කළ බව තවත් කුප‍්‍රකට කාරණයකි. ‘වධ බන්ධනයට එරෙහි ප‍්‍රඥප්තියට’ අයත් ආයතයනක් වන ‘වධබන්ධනයට එරෙහි කමිටුවේ’ වාර්තාවල පවා මොහාන් පීරිස් එම කමිටුව ඉදිරියේ බොරු කී බව සඳහන් වෙයි. එකී කමිටුවේ එක් සාමාජිකයෙක් මොහාන් පීරිස් බොරුකාරයෙකු බව කෙලින්ම ප‍්‍රකාශ කළ බවත් එහි වාර්තා වෙයි. එය අපේ අධිකරණයේ අන්ත දූෂිත භාවයට පැහැදිළි සාක්ෂියකි.

මොහාන් පීරිස්ගේ ඉස්තාන්බුල් බලහත්කාරය

2013 නොවැම්බර් මාසයේදී තුර්කි ජනරජයේ අගවිනිසුරුවරයා සහ එක්සත් ජාතීන් විසින් කැඳවන ලද ‘ආසියා සහ ශාන්තිකර කලාපයේ අගවිනිසුරුවරුන්ගේ සම්මේලනයකට’ මොහාන් පීරිස් අනාරාධිතව සහභාගී වූ බව ඔබ බොහෝ දෙනෙකු නොදන්නවා ඇති. ඒ වසරේ ජනවාරි මාසයේ සිදුවූ දේවල් නිසා ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මෙකී සම්මේලනයෙන් හිතාමතාම ඉවත් කොට තිබුණි. ශ‍්‍රී ලංකාවේ අගවිනිසුරුවරයා වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයවත්, තුර්කියේ ශ්‍රේෂ්ඨාධිකරණයවත් මොහාන් පිරීස්ව පිළිගත්තේ නැත. එසේ තිබියදීත් ඔහු සිය බිරිඳ සමග තුර්කි අගනුවරට ගියේය. එසේ ගොස් සම්මේලන හෝටලයට තමාව ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලමින් එකී සම්මේලනයට ඔහු සහභාගී වුණේ එම සම්මේලනයේ සහභාගීකරුවෙකු වශයෙන් ඔහුව නොපිළිගෙන තිබූ තත්වයක ය. එපමණක් නොව, ඉස්තාන්බුල් නගරයෙන් පිටවෙද්දී, තමාගේ ගුවන් ගමන් ගාස්තුවත් ගෙවන ලෙස එම සංවිධාකයන්ගෙන් ඔහු ඉල්ලා ඇත. එම සම්මේලනය අවසානයේ සම්මත කර ගත්, ‘අධිකරණ ක‍්‍රියාවලියේ පාරදෘෂ්‍ය භාවය පිළිබඳ ඉස්තාන්බුල් ප‍්‍රකාශනයේ’ ඔහුගේ නමවත්, සහභාගී වු රටක් වශයෙන් ශ‍්‍රී ලංකාවේ නමවත් සඳහන් නොවෙයි. අධිකරණමය නිලයේ ගෞරවයට හානියක් විය හැකි කල්ක‍්‍රියාවෙන් විනිසුරුවරයෙකු වැළැකිය යුතු බවට, ‘අධිකරණමය චර්යාව පිළිබඳ බැංගලෝර් ප‍්‍රතිපත්ති’ යටතේ ඉල්ලා සිටිනු ලැබේ. එහෙත් මොහාන් පීරිස්ගේ කල්ක‍්‍රියාව අපේ අධිකරණයේ ගෞරවය සහ කීර්තිය තව වසර ගණනාවකට පළුදු කොට ඇත.

රටේ විදේශ ඇමතිවරයා වශයෙන් ශ‍්‍රී ලංකාවේ අවශ්‍යතා මෙන්ම ශ‍්‍රී ලංකාවේ සුපිළිපන් භාවයත් ස්වෛරීත්වයත් ආරක්ෂා කිරීම සහ ප‍්‍රවර්ධනය කිරීම මගේ රාජකාරිය සහ වගකීම වන්නේය. විදේශ ඇමති ධුරය භාර ගැනීමෙදී මට මුහුණදීමට ඇති එක් වැදගත් ප‍්‍රශ්නයක් වන්නේ, ලංකාවේ සිදුවිණැ යි කියන යුද අපරාධ සහ ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංඝණයන් ගැන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් දැනට පවත්වාගෙන යන ජාත්‍යන්තර පරීක්ෂණයයි.

ඒ ප‍්‍රශ්න සම්බන්ධයෙන්, දේශීය යාන්ත‍්‍රණයන් හරහා කටයුතු කිරීමට ශ‍්‍රී ලංකාවේ අපටම පුලූවන් කමක් ඇති බවත්, එසේ හෙයින් අපේ පුරවැසියන්ව ජාත්‍යන්තර අධිකරණයක් ඉදිරියට පැමිණවීමේ අවශ්‍යතාවක් නැති බවත් ජාත්‍යන්තර ප‍්‍රජාවට ඒත්තු ගැන්වීමට මට හැකියාවක් ලැබෙන්නේ, ලෝකයේ පවතින වෙනත් ඕනෑම සුපිරිසුදු අධිකරණයක් තරමට කාර්යක්ෂම වූත්, ස්වාධීන සහ අපක්ෂපාතී වූත් අධිකරණයක් අපට ඇතැ යි, අවංකව සහ අව්‍යාජව ජාත්‍යන්තර ප‍්‍රජාව ඉදිරියේ ප‍්‍රකාශ කොට සිටීමට මට හැකියාවක් ඇතොත් ය. එවැනි අධිකරණයක් කලකදී අපට තිබුණේය. එහෙත් ඒ, බොහෝ කලකට කලිනි.

අපේ අතින් සිදුව ඇති බොහෝ ප‍්‍රතිගමනයන් හේතු කොටගෙන අප ගැන ලෝකයා තුළ ඇති වී තිබෙන නිෂේධනීය ආකල්ප වෙනස් කිරීමටත්, යෝජිත ඕනෑම ජාත්‍යන්තර යාන්ත‍්‍රණයක් තරමටම සාධාරණ වූත්, කාර්යක්ෂම වූත් අපේම වන දේශීය විමර්ශන යාන්ත‍්‍රණයක් ඇති කර ගැනීමේ හැකියාවක් රටක් වශයෙන් අපට ඇති බවත් ලෝකයා ඉදිරියේ ඔප්පු කිරීම සඳහා අපට තව බොහෝ දුරක් යාමට තිබේ. අභිනවයෙන් පත්වු අගවිනිසුරුතුමා යටතේ ද, එසේම අප හඳුන්වා දීමට අපේක්ෂිත නව ප‍්‍රතිසංස්කරණ හරහා ද, අපේ අධිකරණය මේ වන විට වැටී ඇති ප‍්‍රපාතයෙන් ගොඩ ඒමටත්, ලංකාව වැනි බහු-වාර්ගික, බහු-ආගමික සහ බහු-භාෂාමය රටක මූලික ප‍්‍රජාතන්ත‍්‍රීය අවශ්‍යතාවන්ට අනුගත සහ සමකාලීන ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුගත අධිකරණයක් සකසා ගැනීමටත් අපට හැකි වෙතැ යි අපි විශ්වාස කරමු. මේ විවාදයට මා සහභාගී වුණේ ඒ හේතුව පෙරදැරිවයි.

( 2015 පෙබරවාරි 2 වැනි දා විදේශ අමාත්‍ය මංගල සමරවීර පාර්ලිමේන්තුවේ දී කළ ප‍්‍රකාශයේ සිංහල පරිවර්තනය ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙන්)

Back to Top